JDS Sinhala

මන්නාරම සමුහ මිනීවළ පිළිබඳ තොරතුරු ලබාදීම නිසි බලධාරියෙක් යටතට

කිත්සිරි විජේසිංහ විසිනි.


න්නාරම සමූහ මිනීවළේ කැණීම් සහ වෝහාරික පරීක්ෂණ කටයුතු පිළිබඳව ජනමාධ්‍ය වෙත තොරතුරු ලබාදීම එහි පරීක්ෂණ කටයුතු භාර වෝහාරික විශේෂඥයන්ට තහනම් කරමින් ඒ පිළිබඳව කටයුතු කිරීමේ බලය නිසි බලධාරියෙකු යටතට පත් කොට ඇත.

මන්නාරම නව මහේස්ත්‍රාත් ටී. සරවනරාජ් විසින් නිකුත් කොට ඇති එකී නියෝගයට අනුව සමූහ මිනීවළ සම්බන්ධයෙන් ජනමාධ්‍යයට තොරතුරු ලබා දීමේ නිසි බලධාරියා වන්නේ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා ය.

පරීක්ෂකයන්ට මාධ්‍ය තහනම්

සමූහ මිනීවළේ කැණීම් සහ පරීක්ෂණ කටයුතු පිළිබඳව විමසීමේදි එහි පරීක්ෂණ කටයුතු සිදුකරන වෝහාරික විශේෂඥවරයෙක්  ජේඩීඑස් හා කියා සිටියේ මින් පසු  ජනමාධ්‍ය  වෙත තොරතුරු ලබා දීම නිසි බලධාරියා හැරුණු කොට වෙනත් අයට තහනම් කරමින් මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් පනවා ඇති බවයි.

"වළේ පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ කණ්ඩායම වශයෙන් කිසිම ප්‍රකාශයක්, නිවේදනයක්, තොරතුරක් ජනමාධ්‍ය වෙත නිකුත් කරන්න අපිට දැන් අවසර නැහැ. ඒ සියළු බලතල සහිතව මාධ්‍ය කටයුතු පිළිබඳව මින් ඉදිරියට නිසි බලධාරියා වශයෙන් ක්‍රියා කරන්නේ අධිකරණ රේජිස්ට්‍රාර්වරයායි" හේ පැවසීය.

මෙයට පෙර සිටි මහේස්ත්‍රාත් ටී ජේ ප්‍රභාකරන් විසින් ද මාධ්‍යයට තොරතුරු ලබාදීම  වාරණය කරමින් පසුගිය අගෝස්තු මාසයේදි අධිකරණ නියෝගයක් නිකුත් කළ අතර, එම නියෝගය නිකුත් කිරීමට හේතු වු කරුණු ලෙස දක්වනු ලැබුවේ දකුණේ ඇතැම් ජාතික පුවත්පත්වල සමූහ මිනීවළ සම්බන්ධයෙන් පලව තිබුණු අසත්‍ය පුවත් වාර්තාවන් ය.නමුත් නව මහේස්ත්‍රාත්වරයා විසින් මාධ්‍ය කටයුතු හැසිරවීමට නිසි බලධාරියෙකු පත් කොට ඇත්තේ කවර නිශ්චිත හේතුවක් මතදැයි  කියන්නට තමන් නොදන්නා බව පරික්ෂණ කටයුතු භාර විශේෂඥයෝ පවසති.

වෝහාරික රෙජිස්ට්‍රාර්

කෙසේ නමුත් ජනමාධ්‍ය විසින් මිනීවළේ කැණීම් සහ එහි පරීක්ෂණ කටයුතු පිළිබඳව නිවැරදිව තොරතුරු විමසිය යුතු වන්නේ ඒ පිළිබඳ නිසි දැනුමක් සහ තාක්ෂණික සහ විද්‍යාත්මක කරුණු පිළිබඳව නිසි පරිදි පැහැදිලි කළ හැකි වෝහාරික විශේෂඥවරුන්ගෙන් නොවේ දැයි අප කළ විමසීමේදි පෙර කී විශේෂඥවරයා කියා සිටියේ මහේස්ත්‍රාත්වරයා කැණීම් සිදුකරන සෑම දිනකම පැමිණ ඒ පිළිබදව නිරික්ෂණය කරන බවත්, කැණීම් භාර විශේෂඥවරුන් විසින් ලබා දෙන වාර්තා ඔහු විසින් රෙජ්ස්ට්‍රාර්වරයාට ලබා දීමෙන් පසුව, අදාළ තොරතුරු රෙජිස්ටාර්වරයා මාර්ගයෙන් මාධ්‍යවේදීනට ලබාගත හැකි බව ය.

දිනපතා කුඩා දරුවන්ගේද ඇතුළු  මිනිස් අස්ථි කොටස් විශාල වශයෙන් මතු කර ගන්නා මන්නාරම සමුහ මිනීවළේ පරික්ෂණ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව මාධ්‍ය අවධානය යොමුව තිබෙන අවස්ථාවක මෙසේ නිසි බලධාරියෙක් පත්කිරීමට තීරණය කර ඇත්තේ එම පරීක්ෂණ කටයුතු රහසින් සිදුකිරීමේ උවමනාවක් නිසාදැයි සැකයක් පැන නගින බව නම හෙළිකරීමෙන් වැළකුණු ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ජේඩීඑස් හා ප්‍රකාශ කළේය. ඔහු පෙන්වා දෙන්නේ   මෙයට පෙර  කැණීම් කටයුතු අතරවාරයේදි විවිධ හේතු දක්වමින් වසා දමන ලද මන්නාරම තිරුකේතීස්වරම් ප්‍රදේශයේ ස්ථාන දෙකකින් සොයාගත් අස්ථි ශේෂයන්ට අත්වු ඉරණම දැන් කැණීම් සිදුකරන සතොස භූමියේ සමූහ මිනීවළට ද  අත්විය හැකි බව ය.☐

© JDS

සබැඳි පුවත්:

14.06.2018   මන්නාරමේ සමූහ මිනීවළෙන් මළ සිරුරු දහයක ඇට කැබලි මතු වෙයි
27.06.2018   ළමා ඇට සැකිළි මතුවු මන්නාරම සමුහ මිනීවළ වසා දැමීමේ අවදානමක
20.07.2018   මන්නාරම සමූහ මිනීවළ: මළ සිරුරු ගණන පනහ දක්වා ඉහළට
27.07.2018   මන්නාරම සමූහ මිනීවළ: අස්ථි කොටස්වල 'අසාමාන්‍ය, තියුණු කැපුම් සලකුණු'
31.07.2018   වැඩිහිටියකු ළඟින් වැළලූ දරුවකුගේ සිරුරක් මන්නාරම සමූහ මිනීවළේ
09.08.2018  මන්නාරම සමූහ මිනීවල මාධ්‍යවේදීන්ට තහනම්
28.08.2018  මන්නාරම සමූහ මිනීවළ: මළ සිරුරු සංඛ්‍යාව 100 ඉක්මවයි


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.