JDS Sinhala

මන්නාරම සමූහ මිනීවළ: මළ සිරුරු ගණන පනහ දක්වා ඉහළට

කිත්සිරි විජේසිංහ විසිනි


සුගිය මැයි මාසයේ දී මන්නාරම ප්‍රදේශයෙන් හමු වූ සමුහ මිනීවළ ආශ්‍රිත කැණීම් කටයුතුවලින් ළමුන් හා ස්ත්‍රීන් ද ඇතුළු 'පුද්ගලයන් පනහකට' ආසන්න පිරිසකගේ අස්ථි කොටස් සොයාගැනීමට පරීක්‍ෂණ කණ්ඩායම් සමත් වී තිබේ.

සමුපකාර තොග වෙළඳ සංස්ථාවට අයත් භූමි භාගයකින් සොයාගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා වෙන්කොට ඇති එවැනි  අස්ථි කොටස්වලින් සම්පූර්ණ මිනිස් ඇට සැකිලි පනහකට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගත හැකිව තිබෙන බව එහි පරීක්‍ෂණ කටයුතු භාර මන්නාරම ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ ජේඩීඑස් හා පැවසීය.

"පසුගිය දවස් තිස් හතක කාලය ඇතුළත සොයාගත් අස්ථි කොටස් දැන් අපි ක්‍රමානුකූලව වෙන් කරගෙන යනවා. සමහර ඇට සැකිලිවල අස්ථි කැබලි කිහිපයක් අඩුව තියෙන්න පුලුවන්. නමුත් එ්ක සම්පූර්ණ ඇට සැකිල්ලක් හැටියට පිළිගත නොහැකි බවක් ඒකෙන් හැඟවෙන්නේ නැහැ" ඔහු ප්‍රකාශ කළේය.

තවත් හිස් කබල් 40ක්

මේ දක්වා සොයාගන්නා ලද අස්ථි කොටස් වැඩි ප්‍රමාණයක් හමුව ඇත්තේ අවිධිමත් ලෙස එකක් මත එකක් වශයෙන් වළ දැමූ මළ සිරුරුවලින් බව ද වෛද්‍ය රාජපක්ෂ පවසා සිටියේය.

කෙසේ වුවද, දැනට වෙන් කොට ඇති ඇට සැකිලි පනහට අමතරව තවත් පුද්ගලයන් තිහක හෝ හතලිහකගේ පමණ හිස් කබල් ද කැණීම් මගින් සොයාගෙන ඇති අතර ඒවාට අදාළ අවශේෂ අස්ථි කොටස් ඉදිරි කැණීම් කටයුතුවලින් හමුවීමට ඉඩ ඇතැයි වෛද්‍ය රාජපක්ෂ විශ්වාසය පළ කළේය.

"ඒවාට හානි නොවන විදියට මේ කැණීම් කටයුතු කරගෙන යන්න වෙන්නේ ඉතාම කල්පනාකාරී හා ප්‍රවේශම් සහගත ලෙසයැ"යි ඔහු කියා සිටියේය.

දරුවන් තිදෙනකුගේ අස්ථි කොටස්

මෙයට පෙර ජූනි මාසයේ දී ජේඩීඑස් විසින් කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් වෛද්‍ය රාජපක්ෂ සහ කැණීම් අධීක්ෂණයෙහි නිරත පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව යන දෙදෙනාම අවධාරණය කර සිටියේ වයස අවුරුදු 12 ට අඩු කුඩා දරුවන්ගේ යැයි සැක කළ හැකි හිස් කබල් ද මිනීවළ ආශ්‍රිතව හමු වී ඇති බව ය. බදාදා දිනය (18) වන විට සොයාගන්නා ලද කුඩා දරුවන් තිදෙනෙකුගේ අස්ථි කොටස්  වැඩිදුර පරීක්ෂණ සඳහා සූදානම් කරනු ලැබ ඇති බව ද ඔවුහු කියා සිටියහ.

"මුලින් සඳහන් කළ ඇට සැකිලි පනහ අතර කුඩා දරුවන් තුන් දෙනකුගේ අස්ථි කොටස් අපි දැනටමත් වෙන් කරලා තියෙනවා. දන්තමය සාක්ෂි අනුව කිරි දත් එන වයසේ යැයි සැළකිය හැකි ළමුන් තිදෙනකුගේ ඇට කැබලි ඒ අතර අපිට පැහැදිලිවම හඳුනා ගන්න පුලුවන්".

මේ අතර, මේ දක්වා සිදු කරන ලද කැණීම්වලින් ගොඩගනු ලැබ ඇති ඇට සැකිලිවල ස්ත්‍රී පුරුෂභාවය නිශ්චිත වශයෙන් තීන්දු කිරීමට වැඩිදුර පරීක්‍ෂණවලට භාජනය කිරීම අවශ්‍ය නමුත්, කාන්තාවන්ගේ යැයි විශ්වාස කළ හැකි අස්ථි කොටස් දැනටත් හමුවී ඇතැයි වෛද්‍ය රාජපක්ෂ ජේඩීඑස් වෙත හෙළි කර සිටියේය.

කාන්තා ඇට සැකිලි

"කාන්තාවන්ගේ යැයි අපි දැනට සැක කරන අස්ථි කොටසුත් සැළකිල්ලට ගන්නවා නම් මේ වෙනකොට ගොඩ අරන් තියෙන ඇට සැකිලි පනහක ප්‍රමාණය අතර වැඩිහිටි ස්ත්‍රී, පුරුෂ හා ළමුන් කියන තුන් ගොල්ලටම අයිති අස්ථි තිබෙන බව අපිට නිගමනය කරන්න පුළුවන්" ඔහු කීය.

ඉකුත් මැයි මස 16 වැනි දා මන්නාරම සතොස පරිශ්‍රය ආශ්‍රිත සමූහ මිනීවළ පළමුවරට සොයාගනු ලැබුවේ නව ඉදිකිරීම් කටයුත්තක් සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් සිදුකළ කැණීම් අතරවාරයේ දී හමු වූ මිනිස් ඇට කැබලි කිහිපයක් හේතුවෙනි.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.