JDS Sinhala

JDS යනු

JDS යනු

ආරම්භය

තව ගිය දශකයකට අඩු කාලය තුළ පිටුවහලුන් බවට පත් කෙරුණු සිංහල සහ දෙමළ මාධ්‍යකරුවන්, ලේඛකයන්, මානව හිමිකම් හා සමාජ ක්‍රියාධරයන් පිරිසක් එක්තැන් කරමින් රටින් බැහැරව ගොඩනැංවුණු පළමු සංවිධාන ව්‍යුහය බවට පත් වූ 'ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ' හෙවත් 'ජේඩීඑස්' සංවිධානය ආරම්භ වූයේ 2009 වසරේ ජූලි මස 18 වෙනිදා ජර්මනියේ බර්ලින් නගරයට රැස් වූ 19 දෙනෙකුගෙනි. 

ක්‍රියාකාරීත්වය

මුළුමණින්ම ආගන්තුක දේශපාලන සහ සංස්කෘතික පරිසරයක් තුළ, පෙර අත් නොදුටු කොන්දේසි යටතේ ගෙවා දැමූ පස් වසරකට වැඩි කාලය ඇතුළත දී ජේඩීඑස් සංවිධානය ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තරව ද  සුවිශේෂ අනන්‍යතාවක් ගොඩනගා ගැනීමට සමත් විය. විශේෂයෙන්ම 2009දී ශ්‍රී ලංකාවේ යුද්ධයේ නිල අවසානය නිවේදනය කිරීමත් සමග යටපත්ව යන්නට නියමිතව තිබූ බරපතල මිනිස් අයිතීන් උල්ලංඝනය වීම් කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමුකිරිමෙහි ලා තීරණාත්මක කාර්යභාරයක් ජේඩීඑස් සංවිධානය ඉටු කළේය. යුද අපරාධ පිළිබඳ පළමු වීඩියෝ සාක්‍ෂිය බ්‍රිතාන්‍යයේ චැනල් ‍4 රූපවාහිනිය ඔස්සේ 2009 අගෝස්තු 25 වෙනිදා නිකුත් කරමින් ජාත්‍යන්තර ජනමාධ්‍ය සහ මානව හිමිකම් සංවිධානයන්ගේ අවධානය යුද්ධයේ අවසාන අධියරෙහි සිදුකළ බරපතල අපරාධ සොයා බැලීම කෙරෙහි යොමු කිරීමට අවශ්‍ය පුරෝගාමී වැඩ කොටස ඉටුකරන ලද්දේ ජේඩීඑස් සංවිධානය විසිනි. ජේඩීඑස් සාමාජිකයන් ඉලක්ක කොට ශ්‍රී ලංකා රජය විසින් ගෙනගිය විසකුරු ප්‍රචාරයන් නොතකා හරිමින්, නීතියෙන් බැහැර මිනිස් ඝාතන සෙවීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයාගේ කාර්යාලය හා සම්බන්ධව ක්‍රියා කළ දෙමසකින් පසු 2010 ජනවාරි මාසයේ දී අදාළ වීඩියෝ දර්ශනවල සත්‍යතාව ජාත්‍යන්තරව පිළිගත් වෝහාරික පිරික්සුම් පටිපාටීන් මගින් තහවුරු කිරීමට සමත්වීම ජේඩීඑස් සංවිධානය ලද වැදගත්ම ජයග්‍රහණයකි. බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය විසින් නිෂ්පාදනය කළ 'ශ්‍රී ලංකාවේ මිනිස් දඩබිම්' (Sri Lanka's Killing Fields) පිළිබඳ ප්‍රබල වාර්තා චිත්‍රපටි නිර්මාණයෙහි ලා ද ජේඩීඑස් සංවිධානයේ සක්‍රීය දායකත්වයක් ලබා දෙනු ලැබිණ. 

ජනමාධ්‍යකරුවන් සහ මාධ්‍ය අයිතීන් වෙනුවෙන් කැප වී ක්‍රියා කළවුන්ටත්, මානව හිමිකම් අාරක්‍ෂකයන්ටත් එල්ල වන අ‍නේකවිධ රාජ්‍ය මර්දනයට එරෙහිව ජාත්‍යන්තර අවධානය යොමු කිරීමට ජේඩීඑස් සංවිධානය අඛණ්ඩ වැඩකොටසක් ඉටුකළ කළ අතර, ජාත්‍යන්තර ජනමාධ්‍ය නියෝජිතයන්ට ප්‍රවෘත්ති වාර්තාකරණයේදී අත්‍යවශ්‍ය ලාංකීය මාධ්‍ය සබඳතා ගොඩනැංවීමේ කාර්යයේදී දැනුදු කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කරමින් සිටියි. 2004 වසරේ අප්‍රේල් මාසයේ සිට මේ දක්වා ඝාතනයට සහ පැහැරගෙන යාමට ගොදුරු වූ මාධ්‍ය වෘත්තිකයන්ගේ පූර්ණ සවිස්තරාත්මක ලැයිස්තුවක් සකස් කිරීමට ආරම්භයේ සිට ජේඩීඑස් සංවිධානය ගෙනගිය ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තරව පිළිගනු ලැබූ විධිමත් නාම ලේඛණයක් සම්පාදනය කිරීමට ද ජේඩීඑස් දැන් සමත්ව තිබේ.

මීට අමතරව, මරණ තර්ජනයන්ට ලක්ව රටින් බැහැර වන්නට බලකෙරුණු සිංහල සහ දෙමළ ප්‍රවෘත්ති කලාවේදීන් සහ මාධ්‍ය සේවකයින්ගේත්, ඔවුන්ගේ පවුල් සාමාජිකයින්ගේත් ජීවිතාරක්‍ෂාව සහතික කරනු වස් ජේඩීඑස් සංවිධානය, වැදගත් කාර්යභාරයක් ඉකුත් පස් වසර තුළ සිදුකර අැත. ජාත්‍යන්තර මාධ්‍ය සහ ලේඛක සංවිධාන සම්බන්ධීකරණය කොට අනතුරට මුහුණ පා සිටි පුද්ගලයින් හා ඔවුන්ගෙන් යැපෙන්නන්ට සුරක්‍ෂිත අවකාශයන් සම්පාදනය කිරීමට අමතරව, එවැන්නන්ට දේශපාලන රැකවරණ ලබා ගැනීමේ ක්‍රියාවලියේදී අවශ්‍ය සහයෝගය සැපයීමට ද ජේඩීඑස් සංවිධානය ප්‍රමුඛ වැඩ කොටසක් ඉටු කරයි.

පැරිසිය මූලස්ථාන කොටගත් දේශසීමා රහිත වාර්තාකරුවෝ සංවිධානයේ (Reporters sans frontières) ශ්‍රී ලාංකීය හවුල්කාර පාර්ශ්වය වශයෙන් 2011 වසරේ සිට කටයුතු කරන ජේඩීඑස් සංවිධානය, මාධ්‍ය අයිතීන් සුරැකීමට සහ මානව හිමිකම් ආරක්‍ෂා කිරීමට කැප වූ ජාත්‍යන්තර සංවිධාන 5ක් හා එක්ව ගොඩ නැංවූ ප්‍රකාශන නිදහස සඳහා වූ සන්ධානය විසින් (Free Expression Coalition)  2012 වසරේදී එක්සත් ජාතීන්ගේ විශ්ව වාරික විමර්ශනය පිළිබඳ වැඩ කණ්ඩායමේ 14 වෙනි සැසියට  ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබඳ ඉදිරිපත් කළ ඒකාබද්ධ වාර්තාව සම්පාදනය කිරීමෙහිලා ද දායක විය.

වෙබ් අඩවිය

සංවිධානයේ ප්‍රථම හමුවෙන් දෙසතියක් ඇතුළත, 2009 අගෝස්තු මාසයේ දී ජේඩීඑස් බ්ලොග් අඩවිය අාරම්භ කරනු ලැබුණි. 2012 ජූනි මාසයේ දී 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානය විසින් සපයන ලද මූල්‍යාධාර මත විධිමත් ඉංග්‍රීසි භාෂා වෙබ් අඩවියක් අාරම්භ කළ අතර ඒ සඳහා වෘත්තීය මාධ්‍ය දායකත්වය ජේඩීඑස් සාමාජිකයන් විසින් සපයනු ලබන්නේ මුළුමණින්ම ස්වේච්ඡා පදනම යටතේ ය. ඉංග්‍රීසී භාෂා වෙබ් අඩවිය ස්ථායීව ගොඩ නැංවීමෙන් පසු සිංහල සහ දෙමළ භාෂාවන්ගෙන්ද සමාන්තර වෙබ් අඩවි ආරම්භ කළ යුතු බවට වූ ඉදිරිපත් වූ යෝජනාවට අනුව 2014 නොවැම්බර් මාසයේ සිට සිංහල භාෂා වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ කාර්යය ජේඩීඑස් සංවිධානය විසින් ආරම්භ කරන ලදී. ජේඩීඑස් සංවිධානයේ දෙමළ භාෂා වෙබ් අඩවිය නුදුරු කාලයේ දී දියත් කිරීමට අවශ්‍ය කටයුතු ද මේ වනවිට ඇරඹී තිබේ. පුළුල් වශයෙන් එකඟ වූ මූල ධාර්මික රාමුවක් තුළ ක්‍රියා කළද,  ඒ ඒ භාෂාවන්ගෙන් දියත් කෙරෙන වෙබ් අඩවි සඳහා එකිනෙකින් ස්වාධීන වූ කර්තෘ මණ්ඩල ව්‍යුහයන් පවතින අතර අන්තර්ගතයන්ගේ වැදගත්භාවය පිළිබඳ අැති කරගන්නා ඒකමතිකත්වය මත භාෂා අතර පරිවර්ථන කටයුතු සිදු කෙරෙනු ඇත. 

නැවත පළ කිරීම

වෙබ් අඩවියේ පළවන ලිපි සහ ප්‍රවෘත්ති විශේෂාංග මෙන්ම සාහිත්‍යයික නිර්මාණ නැවත අන් තැනක පළ කිරීමේ අයිතිය ඊට රිසි අය වෙත හිමි අතර අදාළ ලිපි ජේඩීඑස් සංවිධානයේ වෙබ් අඩවියෙන් උපුටා ගත් බව සඳහන් කිරීම අත්‍යවශ්‍ය බැව් සළකන්න.

ලිපි සහ විශේෂාංග සම්පාදනය

වෙබ් අඩවියට සිය ලිපි හා නිර්මාණ යොමුකරනු රිසි ඕනෑම අයෙකුට ඒ සඳහා අවකාශ විවරව ඇති අතර, විද්‍යුත් තැපැල මගින් පමණක් අදාළ ලිපි ලේඛන එවිය යුතුය. විශේෂාංග ලිපි සහ වි‍ශ්ලේෂණාත්මක රචනා එවීමේදී අනුගමනය කළ යුතු මූලික නිර්ණායක පහත පරිදි ය:

සියළුම ලිපි හා නිර්මාණ සඳහා සිංහල යුනිකේත අක්‍ෂර (Unicode) භාවිතා කිරීම අත්‍යවශ්‍ය වේ. ලිපි හා නිර්මාණවල 1) ලේඛකයා/ලේඛිකාවගේ නම 2) ලිපියෙහි මාතෘකාව සහ 3) සම්බන්ධීකරණය සඳහා විද්‍යුත් තැපැල් ලිපිනයක් අනිවාර්යයෙන් ඇතුළත් විය යුතු ය. විශේෂාංග ලිපි සහ විශ්ලේෂණාත්මක රචනා  වචන 800 - 1200 අතරට සීමා විය යුතු අතර විශේෂිත තත්ත්වයන් තුළ අදාළ වචන සීමාව ඉකමවා ගිය ලිපි පළ කිරීමේ තීරණය ගැනීම සංස්කාරක කමිටුව විසින් සිදු කරනු ඇත.

ලිපි පළකිරීමට අදාළ අවසාන තීරණය සංස්කාරක කමිටුව සතු ය.

අදාළ ලිපි හා විශේෂාංග: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it. ලිපිනයට යොමු කරන්න.

සේයා රූ විශේෂාංග: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it. ලිපිනයට යොමු කරන්න.

 


ට්විටර් ඔස්සේ අප හා සම්බන්ධ වීමට: @JDSLanka
ෆේස් බුක් හරහා සම්බන්ධ වන්නේ නම්: ‍facebook.com/jdslanka


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.