JDS Sinhala

මළවුන් සාමයෙන් නොනිදන මන්නාරමේ මිනිස් දඩබිම

සාපරාධී මනුෂ්‍ය ඝාතන සිදුවූ බිමක, අතුරුදහන් කරන ලද්දා වූ සිය ආදරණීයයෝ කුමන හිරගෙදරකින්, කොයි වද කඳවුරකින්, කෙබඳු සැඟවුම් ස්ථානයකින් ආපසු ප‍්‍රාදූර්භූත වෙත්දැ’යි ඒ අහිමිවීම්වලින් වැළැපෙන මිනිස්සු කාලාන්තරයක් යනතුරුත් දෑස් දල්වා බලා සිටිති. ඔවුහු පන පිටින් එවන් තැනකින් ප‍්‍රාදූර්භූත නොවන්නාහු නම්, කොයි මොහොතක හෝ තෙත පස්පිඩැලි පෙරළාගෙන ඇටකටු වශයෙන් හෝ මතුවේදෝ’යි ඔවුහු බලාසිටිනු ඇත්තාහ.

මෙයින් විසි වසකට එපිට, 1994 වසර ඇරැඹුමේ, එවකට බස්නාහිර පළාත් මහඇමැතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මාධ්‍ය නඩ පිරිවරා සූරියකන්ද හාරන්නට ගියවිට, දරුවන් අහිමි වූ දෙමාපියෝ ඒ පසුපස රොදබැඳ සූරියකන්ද වටකෙරුවේ ඒ බලාපොරොත්තුවෙනි. ජනමාධ්‍ය ඒ පුවත් උණු උණුවේ වාර්තා කළේ සිය සමාජයෙන්, තම තමන්ගේම වටපිටාවෙන් අනීතිකව අතුරුදහන් කළ මිනිසුන් ඇටකටු ලෙසින් හෝ මතු වී සිටිතැයි බලාපොරොත්තුවෙනි. සළකුණකුදු නැතිව අතුරුදහන් වූ මිනිස්සුන්ට සිදුවූ දෙයක් දැනගැනීමේ පරම අයිතිය සමාජයට ලැබෙනු ඇතැයි විශ්වාසයෙනි. අනීතිකව විනාශකළ මනුෂ්‍ය ජීවිතවලට මරණින් මතු හෝ යුක්තියක් ඉටුවනු දැකීමේ චේතනාවෙනි.

එතැන් පටන් විසි වසක් පුරා, 2012 නොවැම්බරයේ මාතලේ සමූහ මිනීවල දක්වාම, ජවිපෙ දෙවැනි අරගලයේදී සංහාරයට ලක්වූ මළවුන් දකුණේ විවිධ පළාත්වල සමූහ මිනී වළවල් අස්සෙන් මතුව යුක්තිය ඉල්ලා කෑ ගැසූහ. එහෙත් එ’සමයෙහි දකුණේ සිංහල තරුණයන් මත දැවැන්ත භීෂණයක් මුදාහල ආණ්ඩුවේ හමුදාවන්, අනූව දශකයේ මැද භාගයේ පටන් උතුරේ දෙමළ විමුක්ති අරගලය තලා දමන්නට සුදු නෙළුම අතින්ගත් ආණ්ඩුවෙන් මෙහෙයැවී සිටියෙන්, සිංහල සමාජයට අර මිනීවළවල් අත්හැර දමා, යුක්තිය ඉල්ලා කෑ ගැසූ මළවුන්ට පිටුපා, ඇටකටුද යළි වසා දමන්නට සිදුවිය. සූරියකන්දේ සිට මාතලේ දක්වා දකුණින් හමුවූ එකදු සමූහ මිනීවලක් ගැනවත් අවසන් සාධාරණ නිගමනයකට යමින්, ඒවායේ වැළලූණු මළවුන්ට යුක්තියක් ඉටුකරන්නට මානව සමාජයක් හැටියට අපට නොහැකි විය.

ඒ අතර දෙමළ අරගලය සංහාරයෙන් නිමාකළ උතුරුකරයෙන්ද වරින් වර ජීවිත අහිමි කරන ලද්දෝ ඇටකටු ලෙසින් මතුව යුක්තිය ඉල්ලා කෑ ගැසූහ. දකුණේ දෙමාපිය නෑසියන් සේම උතුරේ දෙමාපිය නෑසියෝද සිය අහිමිකරන ලද්දවුන් සොයා ඒ තැන් කරා රොද බැන්දාහ. බහුතර දෙමළ මාධ්‍යද තමන් අවට සමාජයේ අනීතිකව ජීවිත අහිමිකරන ලද්දවුන්ට යුක්තිය සාධාරණත්වය පතා ඒවා මාධ්‍යය වෙත රැගෙන ආහ.
 
එහෙත් දකුණේ මාධ්‍යවලට ඒවා එතරම්ම ‘දැනෙන සුළු’ ප‍්‍රවෘත්ති නොවුණේත්, එක්තරා මොහොතකින් පසු ඒවා ගැන විපරම පවා අතහැර දැමුණේත්, එහි මිහිදන්ව සිටින්නන් ගැන හෘදය සාක්‍ෂිමය වගකීමක්, ඓන්ද්‍රීය බැඳීමක් නොවූ නිසාද? ඊටත් වඩා ඒ මළවුන් කෑගසා කියන්නට හදන්නේ තමන් ගේ හෘදය සාක්‍ෂිය හාරා, පාරා වනසන කතාවක් නිසාද?

සුසාන බිමක්ද? සමූහ මිනීවළක්ද?

සමූහ මිනීවළවල් පිළිබඳ දැනට ඇති අවසන් කතාව ඇසුණේ මන්නාරම ප‍්‍රදේශයෙනි. ඒ 2013 දෙසැම්බරයේ ය. ඓතිහාසික තිරුකේතීෂ්වරම් කෝවිල අසළිනි. මාස දෙකක පමණ කාලයක කැනීම් අවසන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ස්ථානය සමූහ මිනීවළක් නොව, 1953ට පෙර පැවැති සොහොන් බිමක් බව අධිකරණය ඉදිරියේ කරුණු කියාපෑමෙන් පසු කැනීම් කටයුතු නවතා දැමිණි.

එහෙත් ප‍්‍රදේශයේ සිය ආදරණීයයන් අහිමි වූ මිනිස්සු මේ තීරණය එලෙසින්ම බාරගැනීමට සූදානම් නොවූහ. මෙය පැරැණි සුසාන භූමියක්ය කියන මතයට අභියෝග කරමින් ඔවුහු උසාවිය හමුවේ කරුණු කීහ. එහි ප‍්‍රතිඵලයක් ලෙසින් මාර්තු 16 වැනිදා මන්නාරම මහේස්ත‍්‍රාත් ඇලෙක්ස් රාජා ආසිර්වාදන් නියෝග කළේ ස්ථානයේ කැණීම් කටයුතු නැවත ආරම්භ කරන ලෙස ය. එය මන්නාරම් පොළොවේ සදහට වැළැලී යාම වෙනුවට පොළාව මතුපිට පෙනීසිට යුක්තිය ඉල්ලා හඬනැඟීම තෝරාගත් මළවුන්, යළි සදහට පස්යට සඟවන්නට ගත් තැතක තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වේද? සැබෑවටම මේ නිදන්නේ අතීතයේ සොහොන් බිමක සමාදානයෙන් සැතපවූ මළවුන්ද, නැතිනම් අනීතිකව මරාදමා මානව ගරුත්වය අහිමිකොට තොග පිටින් වළලා දැමූ යම් පිරිසක්ද යන්න නිසැකව සොයාගැනීමට මේ නව පරීක්‍ෂණ වටය විසින් අවකාශ සලසනු ලබන්නේද යන්න අනාගතයට අයත් තීරණයකි. ලබන අප්‍රේල් 06 වැනිදා යළි කැණීම් ඇරඹුණු පසු - අතරමග බාධා නොවුණහොත් - අනාවරණය කෙරෙනු ඇත්තේ ඒ ඇත්තයි.

මෘත දේහ අසූ දෙකක්

මන්නාරම සමූහ මිනීවළ ලෙසින් හැඳින්වෙන ස්ථානයේ වැළලී සිටි මළවුන් පළමු වතාවට තෙත පස්කැටි පෙරළාගෙන පොළොව යටින් මතුවන්නේ 2013 දෙසැම්බර් 20වැනිදා, A 32 දරන මන්නාරම් සංගුප්පිඩි මාර්ගයේ, තිරුකේතීෂ්වරම් ප‍්‍රදේශයේ ජලනල එලීමක් සිදුවෙමින් තිබියදී ය. ඒ සමඟම ආණ්ඩුව හදිසි වූයේ, මේවා ‘කලක් ප‍්‍රදේශයේ අණසක පැතිරූ එල්ටීටීඊ සංවිධානයේ සමූහ මනුෂ්‍ය ඝාතනවල ප‍්‍රතිඵල’ බව කීමට ය. ආණ්ඩුවේ හදිසි නිගමනය එසැනින් අභියෝගයට ලක්වූයේ අදාළ ප‍්‍රදේශය අවම වශයෙන් 1993න් මෙපිට එල්ටීටීඊය යටතේ නොපැවැති බවටත්, මේ දක්වාම ප‍්‍රදේශය හමුදා අණසක යටතේ පවතින බවටත් කරුණු ඉදිරිපත් වීමෙනි. ඒ සමඟම පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කියා සිටියේ මේවා 1930 ගණන්වල ප‍්‍රදේශයේ පැතිරුණු මැලේරියා වසංගතයට ගොදුරුවූවන්ගේ ඇටකටු වියහැකි බව ය. මේ පූර්ව නිගමනයන් ප‍්‍රකාශයට පත්කැරෙන අවස්ථාව වනවිට ඒ පිළිබඳ විමර්ෂණ කිසිවක් සිදුවී නොතිබිණි.

ඇටකටු මතුවීමේ සිද්ධිය අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව එවකට මන්නාරම දිසා විනිසුරුවරිය වූ ආනන්දි කණගරත්නම්ගේ නියෝගයකට අනුව එම ස්ථානයේ කැනීම් කටයුතු සිදුවූයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ හා පුරාවිද්‍යා විශේෂඥ කණ්ඩායමකගේද සහභාගීත්වයෙනි.

එතැන් පටන් සිදුවූ කැනීම්වලදී සොයාගන්නා ලද අස්ථි කොටස් මෘතදේහ 82කට අයත් විය. පරීක්ෂණ භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ධනංජය වෛද්‍යරත්න මේ අස්ථි සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් ලබාදී නොතිබියදී, කැනීම්වලට සම්බන්ධ වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දැනුම් දුන්නේ මෙය සමූහ මිනීවලක් නොව, වසර 60කට වඩා පැරැණි සුසානභූමියක් බව ය. පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මෙය ‘‘1940ත් 1953ත් අතර පැවැති සොහොන් බිමක්’’ බව තහවුරු කරන්නේය’යි ආණ්ඩුවේ ඩේලි නිව්ස් පුවත්පත 2014 මාර්තු 10වැනිදා වාර්තා කළේ ය. දකුණේ බහුතර මාධ්‍ය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මෙම නිගමනය වාර්තා කළේ මන්නාරම මිනීවලේ ‘අබිරහස විසඳීමක්’ ලෙසිනි. මේ පුරාවිද්‍යා නිගමනයත් සමඟ ස්ථානයේ කැනීම් නවතා දමන මෙන් මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

එහෙත් මේ තීරණය එලෙසින්ම බාරගැනීමට සිය ඥාති හිතමිත‍්‍රාදීන් අහිමිවූ ප‍්‍රදේශවාසීහු සූදානම් නොවූහ. මළවුන් පොළොව පලාගෙන ඇටසැකිලි සේ මතුවූ බිමෙහි තමන් දන්නා කාලයක සොහොන්බිමක් නොවිනැ’යි ඔවුහු මේ තීරණයට අභියෝග කරමින් කියා සිටියහ. ඒ අනුව නඩුව වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරු අදාළ ස්ථානය සුසානභූමියක්ද නැතිදැ’යි තහවුරු කරගැනීමට තවදුරටත් සාක්ෂ්‍ය සෙවූහ.

මේ පිළිබඳව මන්නාරම ප‍්‍රාදේශීය සභාවෙන් විමසන ලදුව, 2014 මැයි මස 22 දාතමින් මන්නාරම ප‍්‍රාදේශීය සභාවේ සභාපති එස් මාටින් ඩයස් කියා සිටින්නේ මෙවැන්නකි.

‘මන්නාරම ප‍්‍රාදේශීය සභා කොට්ඨාශයේ උප කාර්යාලයක් වන තිරුකේතීෂ්වරම් කාර්යාල සීමාව තුළ පිහිටි මෙම ස්ථානයේ කිසිදු සොහොන් බිමක් හෝ මෘත ශරීර භූමදානය කරන ස්ථානයක් තිබූ බවට අපගේ පිඹුරුවල සටහන් නොවේ. තිරුකේතීෂ්වරම්, මාන්තායි ගම් දෙකේ ජීවත් වන හින්දු සහ කතෝලික ජනයාගේ සොහොන් බිම් අදටත් වෙන වෙනම පිහිටා තිබේ. මෙම ස්ථානයේ සුසානභූමියක් නොතිබුණු බවට එම ප‍්‍රදේශවල වෙසෙන ජනයාද සහතික කරති.’

ඒ අනුව තමන් දන්නා තරමින් එම ස්ථානයේ සොහොන් බිමක් තිබී නැති බව මන්නාරම ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා ලිඛිතව සහතික කරයි.

වසර 250ක් නොතිබුණු 'සුසාන භූමියක්'

එසේම මේ සම්බන්ධයෙන් නීතීඥවරුන් මන්නාරම රදගුරුවරයාගෙන්ද ලිඛිත විමසීමක් කර ඇත. 2014 ජූලි මස 31 වැනිදා සිය අත්සනින් යුතු ලිපියකින් ඊට පිළිතුරු සපයන මන්නාරම රදගුරු රායප්පු ජෝසප් කියාසිටින්නේ, තිරුකේතීෂ්වරම් කෝවිල අසළ මෙම අස්ථි කොටස් හමුවූ ප‍්‍රදේශයේ අවුරුදු 250ක් තිස්සේ කිසිදු ආකාරයක සොහොන්බිමක් නොපැවැති බව තමන් සතු ලිපි ලේඛනවලින් තහවුරු කළහැකි බව ය. එසේම මේ කාරණය ප‍්‍රදේශයේ පරම්පරා ගණනාවක සිට ජීවත් වන ජනයාද සහතික කරන බව රදගුරුවරයා වැඩිදුරටත් දන්වා සිටී.

‘‘තිරුකේතීෂ්වරම් කෝවිල අසළ කිසිදු සොහොන් බිමක් නොතිබූ බව අපි සහතික කරමු.’’ යනුවෙන් වික්‍ෂෝප මාතා දෙව් මැදුරෙහි මීසම් පාලකගේ අත්සනින් නිකුත්කරන ලියැවිල්ලක්ද මේ බව තහවුරු කරයි. ‘‘මගේ මීසමට අයත් මාන්තෙයි, එල්ලූක්කුට්ටි, නාවට්කුලම්, නාගතාල්වු, පාප්පාමොට්ටෙයි යන ප‍්‍රදේශයන්හි පල්ලිවලට අයත් ලියකියැවිලි අනුවත්, වයස්ගත ප‍්‍රදේශවාසීන් තහවුරු කරන අන්දමටත් අස්ථි සොයාගත් ප‍්‍රදේශයේ කිසිදු සොහාන් බිමක් නොතිබූ බවට’’ එය සහතික කරයි.

මන්නාරම දිස්ත‍්‍රික්කයේ මාන්තෙයි බටහිර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන වන මාන්තෙයි, නාගතාල්වු, නාවට්කුලම්, පාප්පාමොට්ටෙයි, කන්ඩල්, ඉන්නික්කණ්ඩල්, තාමරෙයිකුලම්, මාලිගෙයිතුඩල්, කන්නාට්ටි, නෙඩුක්කන්ඩ, අඩම්පන් යන ගම්වල වැසියන්ගේ අත්සන්වලින් යුතුව මන්නාරමේ දිස්ත‍්‍රික් පුරවැසි කමිටුව විසින්ද වාර්තාවක් ඉදිරිපත් කරමින් කියාසිටින්නේ තිරුකේතීෂ්වරම් අසළ මේ කියන ප‍්‍රදේශයේ සොහොන් බිමක් නොපැවැති බවට එහි අත්සන් තබන්නන් සහතික කරන බව ය.

මේ සියලූ ලිඛිත කරුණුදැක්වීම් 2014 අගෝස්තු මාසයේදී අධිකරණයට බාරදෙනු ලැබිණි. ඒ අවස්ථාවේදී පොලීසිය කියාසිටියේ අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් කිසිදු වාර්තාවක් මේ වනතුරුත් ලැබී නැති බැවින් අස්ථි කොටස් ගැන කිසිවක් කිව නොහැකි බව යි. අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාව ඔක්තෝබර් 27වැනිදාට අධිකරණයට ඉදිරිපත් කිරීමට එහිදී නියෝග කැරුණු නමුත් අදාළ දිනයේ අවසන් වාර්තාවක් නොවූ අතුරු වාර්තාවක් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් ඉදිරිපත් කළ බව වාර්තා විය.

මීට අමතරව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියන අන්දමේ සොහොන් බිමක් මෙම ස්ථානයේ පැවැති බවට කිසිදු සඳහනක් 1954, 1955 සහ 1961 වසරවලට අදාළ මිනින්දෝරු ජෙනරාල් කාර්යාලය නිකුත් කරන ලද නිල මිනුම් ලේඛනවලද නැත. එසේම 1955 පෙබරවාරි මස සකස් කරන ලද තිරුකේතීෂ්වරම් ග‍්‍රාමයේ එස් 677 දරන මිනින්දෝරු පිඹුරට අනුවද අදාළ ස්ථානයේ එම පිඹුර සකස්කරන අවසථාවේ හෝ ඊට පෙර සොහොන් බිමක් තිබූ බවට සාක්ෂ්‍ය නැත.

වසා දැමූ ළිඳක්

අස්ථි හමුවූ ස්ථානයේ සුසානභූමියක් නොපැවැති බවට මෙසේ කරුණු ඉදිරිපත් කැරෙන අතරම, එම ස්ථානයේ සිට මීටර් 100ක් පමණ දුරින් පිහිටි බව කියන ළිඳක් පිළිබඳවද අධිකරණයට වාර්තා කැරිණි. හමුදා පාලන කලාපයේ පැවැති මෙම ළිඳ දැන් ගොඩකර දමා ඇති බවත්, එහිද ඝාතනය කරන ලද පුද්ගලයන්ගේ සිරුරු දමා වසා ඇතැයි ප‍්‍රදේශවාසීන්ගේ සැකය බවත් මේ වාර්තාවලින් කියැවේ.

‘‘1990 විතර වෙනකං මෙතන ළිඳක් තිබුණා. අවට ජනයා බීමටත් වෙනත් ජල අවශ්‍යතාවලටත් එය පාවිච්චි කළා. 1990 වෙනකොට යුද්ධය නිසා මිනිස්සුන්ට ප‍්‍රදේශය අත්හැර යන්න සිදුවුණා. නැවතත් අපට මේ පළාතට එන්න ලැබුණේ 2010 වසරේයි. ඒ අතර කාලයේ ප‍්‍රදේශය පාලනය කළේ හමුදාවෙන්. අප නැවත මෙහි පදිංචියට එනකොට අර ළිඳ වහලා දාලා. අදටත් මේ ළිඳ අයත් ප‍්‍රදේශය හමුදා පාලනයට යටත්. අපට බරපතල සැකයක් තියෙනවා ඝාතනයට ලක්වූ පුද්ගලයන් මේ ළිඳට දමලා වහලදාලා ඇති කියා. 2010 පටන් මෙය පුරාවස්තු තිබෙන ප‍්‍රදේශයක් විදියට නම්කරලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරාගෙන තිබෙනවා. ඒ නිසා මෙහි කැනීම් කිරීම තහනම්. මන්නාරම ප‍්‍රදේශයේ අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් කල්පනා කරන්නේ තමන්ගේ අතුරුදහන් කළ නෑයන්ගේ මළසිරුරු මේ ළිඳට දාලා වහලා කියලයි. ඒ නිසා අපි අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මේ ළිඳත් යළි කැන බලන්න කියලා යි.’’ මෙසේ පවසන්නේ මන්නාරම සිවිල් ජනතා සංවිධානයේ ප‍්‍රධානී ජෙබමාලේ පියතුමා ය.

මෙම ළිඳ පිහිටි ස්ථානයේද කැණීම් සිදුකරන ලෙස, පසුගිය 16වැනිදා නිකුත් කැරුණු උසාවි නියෝගයෙන් නියම කැරෙයි.
 
මන්නාරම සමූහ මිනීවල පිළිබඳ පරීක්ෂණ කටයුතු යළි මෙසේ ආරම්භ වීමට නියමිත මේ අවස්ථාවේ, මෙතෙක් මෙහි කැරුණු පරීක්ෂණ කටයුතුවලට දායකවූවන් දක්වන අදහස් පිළිබඳ විමසා බැලීමටද JDS උත්සාහ කළේය.
 
විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ධනංජය වෛද්‍යරත්න

අස්ථි කොටස් ගොඩගැනීමේ නියැලූණු විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ධනංජය වෛද්‍යරත්න JDS වෙත පවසා සිටියේ තමන්ට මේ සම්බන්ධයෙන් දැනට දියහැකි පිළිතුර අංගසම්පූර්ණ එකක් හෝ අවසන් නිගමනයක් නොවන බවත් ය.

‘‘සමූහ මිනීවලක් කියන්නේ කුමක්දැ’යි දැනට ජාත්‍යන්තරව අර්ථ දැක්වී තිබෙනවා. සරලව කිව්වොත් මළසිරුරු එකකට වැඩි ගණනක්, භූමදානයකදී ලබාදෙන ගරුත්වය නොසලකා අක‍්‍රමවත් ලෙස එකිනෙක ගෑවෙන පරිදි දමා තිබෙන  ඕනෑම තැනක් සමූහ මිනීවලක් ලෙස සැලකිය හැකියි. ඒ අනුව බලනකල මෙතැනින් හමුවූ සිරුරු බොහොමයක් සමාන්තරව, හිස එක පැත්තකට සිටින ලෙස හා එකිනෙක නොගෑවෙන පරිදි පිළිවෙලකට වළදමා තිබෙනවා. ඒ නිසා මෙහි ඇත්තේ සුසානභූමියක ලක්ෂණ බව කිවහැකියි. එහෙත් එයින් කියැවෙන්නේ නෑ කිසියම් ආකාරයකින් ඝාතනයකට ලක්වූ පිරිසක් පැරණි සුසානභූමියකට ගෙනත් නොදැම්මාය කියා.
 
‘‘අපට මෙහි ස්ථර හතරකින් පමණ අස්ථි හමුවුණා. එයින් යට ස්ථර තුනේම ක‍්‍රමානුකූලව දැමූ සිරුරු තමයි තියෙන්නේ. අපිළිවෙල වී ඇත්තේ උඩම ස්ථරයයි. සමහර අස්ථි හමුවුණේ කැබලි වශයෙන්. පිපිරීමකින් මියගිය පිරිසක් මෙහි ගෙනත් දමා එක ගොඩේ මිහිදන් කළා වෙන්නත් පුළුවන්. සුසානයක් පිහිටි ස්ථානයක, මෙහි සිදුවී තිබෙන මාර්ග සැකසුම වැනි වෙනත් කැනීමක් සිදුවන අවස්ථාවකත් උඩම ස්ථරය මේ විදියට අවුල් වෙන්න පුළුවන්. ඒ නිසා මෙය සුසානභූමියක්මයි කියා කරන පුරාවිද්‍යාත්මක නිගමනය මට බාරගන්න වෙන්නේ සම්පූර්ණ සත්‍යය ලෙස නොව, සත්‍යයෙන් අඩක් විදියටයි. වඩාත් නිවැරැදි විද්‍යාත්මක නිගමනයක් දීමට නම් තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදුවිය යුතුයි.’’

අධිකරණ වෛද්‍ය පරීක්ෂණවලට ඇතිවී තිබෙන බාධාවන් පිළිබඳ JDS කළ විමසුමට වෛද්‍යරත්න පිළිතුරු දුන්නේ මෙසේ ය.

''හිතාමතා කරන බාධාකිරීම් ම නොවේ. සාමාන්‍ය ප‍්‍රායෝගික ගැටලූ. මට මේ කටයුත්ත පැවරෙන්නේ 2013 දෙසැම්බර් මාසයේදී. එවකට මම අනුරාධපුර රෝහලේ වසර හතරක උපරිම සේවාකාලය සම්පූර්ණ කරලයි හිටියේ. අනුරාධපුර රෝහලේම දිගටම කටයුතු කිරීමේ අවස්ථාව ලබාගැනීමට මා එහි විශේෂඥ වෛද්‍යවරයා ලෙස ඉල්ලාසිටි උසස්වීම නොලැබීම නිසා, මට අනුරාධපුරෙන් ඉවත් වී මාතලේ රෝහලේ වැඩ භාරගන්න සිද්ද වුණා. හමුවූ අස්ථි සාම්පල් දැනටත් තියෙන්නේ අනුරාධපුර රෝහලේ. එනම් වෙනත් කෙනෙකුගේ සේවා ස්ථානයක. මගේ නව සේවා ස්ථානය මාතලේ නිසා මේ පර්යේෂණවල දිගින් දිගටම නියැලෙන්න කාලය ගැන ගැටලූවකුත් තියෙනවා. මා අධිකරණයෙන් ඉල්ලා හිටියා සතියකට දින කිහිපයක් ගිහින් මේ ගැන වැඩකරන්න සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසර ලබාදෙන්නැ’යි කියා. නමුත් ඒ ඉල්ලීම තාම ඉටු නොවුණ නිසා මගේ වැඩ දැනට ඇනහිටලයි තියෙන්නේ.

‘‘වෛද්‍ය විද්‍යාව පැත්තෙන් මගේ පරීක්‍ෂණ කරුණු 4ක් මත සිදුවිය යුතුයි. පළමුව එක් එක් සිරුර හිමි පුද්ගලයා සම්බන්ධයෙන් ස්ත‍්‍රී පුරුෂ භාවය, වයස, උස, විද්‍යාත්මක මානව වර්ගීකරණය වැනි සාමාන්‍ය කරුණු හඳුනාගැනීම කළ යුතුයි. අනෙක් පියවර විශේෂිතව පුද්ගලයන් හඳුනාගැනීම. සංකීර්ණ පියවරක් වන මේ සඳහා ඩීඑන්ඒ පරීක්‍ෂාවන්ට යන්න වෙනවා. තෙවැනිව ඇටසැකිලිවල තුවාල තියෙනවාද, තිබේනම් ඒවා මරණය අවස්ථාවේ ඇතිවූ, මරණයට බලපෑ ඒවාද, ජීවත්ව සිටියදී ඇතිවී සුවවූ තුවාලද වැනි දෑ සැලකිය යුතුයි. ඊළඟට ඒ ඒ පුද්ගලයන්ගේ මරණයන්ට හේතු දෙන්න පුළුවන්ද කියලාත් බලන්න  ඕනෑ. එහිදී බාහිර මාර්ගවලින් ලබාගන්නා තොරතුරුත් අදාළ කරගන්න වෙනවා.

‘‘මේ අස්ථි සමඟ කිසිම ඇඳුම් කොටසක් හෝ බොත්තම්, විශේෂ ආභරණ වැනි දේවල් කිසිවක් හමු නොවීමත් විශේෂයි. අමතර භාණ්ඩ විදියට හමුවුණේ කාසියක් දෙකක් වැනි ඉතාම සුළු දේවල් කිහිපයක් පමණයි.’’

පුරාවිද්‍යා කැනීම් අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු

2014 මාර්තු මස 07වැනිදා මන්නාරම සමූහ මිනීවල ලෙසින් හඳුන්වන ලද ස්ථානය පැරණි සුසානභූමියක් බවට අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන පුරාවිද්‍යා කණ්ඩායමේ ප‍්‍රධානියෙකි, කැනීම් අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු. JDS කළ විමසුමකදී ඔහු කියාසිටියේ මෙය නිශ්චිතවම සොහොන් බිමක් බව තමන්ට විශ්වාස බව හා අදාළ ස්ථානයෙන් හමුවූ හැම අස්ථි කොටසක්ම වසර 100කට වඩා පැරැණි බව ය.
 
‘‘කැපුම හා පිරුම කියන ක‍්‍රමවේදයට අපි ස්ථානය පරීක්‍ෂා කළා. එහිදී හැම සිරුරක්ම වළක් කපලා තමයි චාරිත‍්‍රානුකූලව හිස බටහිරට හිටින විදියට වළදමා වසා තියෙන්නේ. උඩ පස් තට්ටුවට බාධනයන් සිදුව නෑ. උඩම තට්ටුවේ ඉඳලා අඩියක් විතර තියෙන්නේ පසුකාලීනව පිරුණු පස්. ඒ වගේම ඇටසැකිලිවලට හානි වෙලාත් නෑ.’’

ජ්‍යෙෂ්ඨ කැනීම් නිලධාරී ඒ ඒ විජේරත්න

අධිකරණයට භාරදුන් පුරාවිද්‍යා වාර්තාව සකසා ඇත්තේ ජ්‍යෙෂ්ඨ කැනීම් නිලධාරී ඒ ඒ විජේරත්න ය. ඔහු JDS හා කියා සිටියේ තමන් යොදාගත් ක‍්‍රමවේදය ස්ථර වින්‍යාසය හෙවත් පස් ස්ථර තැන්පත් වීම පදනම් කරගෙන කාලනිර්ණය කිරීම බවයි.

‘‘මෙතැන පාර හැදීම අදියර හතරක් යටතේ සිදුවෙලා තිබෙන බව අපේ නිරීක්ෂණයට ලක්වුණා. පළමු වතාවට කෝවිලට යාම සඳහා මේ පාර හැදුණේ 1956 බව මාර්ග සංවර්ධන අධිකාරිය සහතික කළා. අනතුරුව ’60 ගණන්වලදීත්, ’80 ගණන්වලදීත් පාර ඔසවා සකසා තිබෙනවා. 4වැනි වතාව තමයි මෙවර මේ ඇටකැබලි මතුවීමේ අවස්ථාව.

‘‘පාර හැදීම ගැන කාලනිර්ණය සහතික වුණාට පස්සේ අපි එතැනින් එපිටට කැනීම් කරන්න උත්සාහ කළේ නෑ. ඒ අනුව අපේ නිගමනය තමයි මෙය 1956ට පෙර තිබුණු සුසාන භූමියක් කියන එක. ඒ නිගමනය දෙන්න අපට 1950 වසරට අදාළ වාර්ෂික පුරාවිද්‍යා වාර්තාවේ සඳහනකුත් ඉවහල් වුණා. එහි තිබෙනවා මෙම ස්ථානයෙන් හමුවූ මිනිස් ඇටසැකිල්ලක් ලංකා විශ්ව විද්‍යාලයට ගෙනයාමට, එය ගොඩගැනීමට උදව් වූ ආචාර්ය පී කේ ෂන්මුගම් නැමැත්තෙකුට ලබාදුන් බවට. ඒ වාර්තාවෙනුත් මෙය සුසානයක් බව තහවුරු වෙනවා.

‘‘අස්ථි අධ්‍යයනයෙන් හඳුනගන්න පුළුවන් ඒවා වෙඩිවැදීමකින් හෝ බෝම්බ පිපිරීමකින් ඝාතනය වූ අයගේද, ස්වභාවික මියගිය අයගේද කියලා. එසේම එවැනි ඝාතනවලට ලක්වූවන් වළදැම්මා නම් වෙඩි උණ්ඩ, ලෝහ කැබලි වැනි දෑ මෙහි තිබිය යුතුයි. එහෙත් මෙම ස්ථානයෙන් එවැනි කිසිවක් සොයාගැනුණේ නෑ. අස්ථිවල ස්වභාවය අනුව ඒවා අවුරුදු 30-40කට වඩා පරණයි. ඒ වගේම කැපුම හා පිරුම කියන ක‍්‍රමවේදයට අනුව බලද්දී මේ වලවල් ස්වභාවික වලවල් නොව මළසිරුරේ ප‍්‍රමාණයට කපා පිරවූ වලවල්.’’

අස්ථි සම්බන්ධයෙන් විද්‍යාත්මක කාලනිර්ණයක් දීම පුරාවිද්‍යා කැනීම් නිලධාරියා හා අධිකරණ වෛද්‍ය නිලධාරියා යන දෙදෙනාගෙන් කාට අයත් කටයුත්තක්දැ’යි අසන ලදුව විජේරත්න කියාසිටියේ අස්ථි ගැන නිවැරැදි කාලනිර්ණයක් දීමට ඔවුන් දෙදෙනාටම බැරි බව යි. ‘‘කාබන්, එනම් අඟුරු කොටස් හමුවුණානම් අපට C14 කාබනික ක‍්‍රමය යටතේ කාලනිර්ණයක් දෙන්න පුළුවන්. එහෙත් මෙහි එවැනි දෙයක් හමුවුණේ නෑ. ඒ නිසා අස්ථි ගැන කාලනිර්ණයක් කරන්න නම් ඊට විශේෂඥ පරීක්‍ෂණයක් කළ යුතුයි. ඒත් එහෙම දෙයක් කළත් අපේ නිගමනයට එන්න වෙනවා. ඒ කියන්නේ මේවා 1956ට වඩා පැරණියි කියන නිගමනයට.’’

උඩම ස්ථරයේ අස්ථි ඒ මේ අත විසිරී තිබීම සම්බන්ධයෙන් විමසූ විට ඔහු කීවේ අලූතින් මිහිදන් කිරීම සඳහා වලවල් කපන විට හමුවන අස්ථි එකම වලකට දමා වසන අවස්ථා ඇති බවයි. සොයාගත් ඇතැම් හිස්කබලක මුව අසාමාන්‍ය ලෙස විවර වී තිබීම පිළිබඳ විමසන ලදුව විජේරත්න පවසන්නේ එය සාමාන්‍ය තත්ත්වයක් බවය. ‘‘මළසිරුරක් පොළොව යට දිරායන විට මස් දියවී ගොස් හකුපාඩා ඇරී කට විවර වෙන්න පුළුවන්.’’

මෙම ස්ථානයේ මේ කියන කාලයේ සොහොන් බිමක් නොතිබූ බවට අධිකරණයට ඉදිරිපත් වී ඇති තොරතුරු පිළිබඳ විමසීමේදී විජේරත්න කියා සිටියේ එවැනි තර්කයක් නැගෙන්නේ නම් තම පාර්ශවයටද ඓතිහාසික තොරතුරුවලින් තර්කයක් මතුකළ හැකි බවයි. ‘‘එසේනම් මේ ස්ථානය 1618 පමණ උතුරේ පැවැති සංකිලියන් රාජ්‍ය සමයට අයත්වූවක් විය හැකිදැයි සොයාබැලිය යුතුයි. එකල කි‍්‍රස්තියානි කණ්ඩායම් දෙකක් අතර බේදයක් ඇති වී විශාල පිරිසක් ඝාතනයට ලක්වූ බවට ඉතිහාස තොරතුරු තිබෙනවා.’’

මන්නාරම සමූහ මිනීවල ලෙසින් හැඳින්වෙන ස්ථානයේ නැවත වතාවක් කැණීම් සිදුකරන්නැ’යි උසාවි නියෝගයක් එන තැන් දක්වා සිදුවූ කි‍්‍රයාවලියේ සංක්‍ෂේපය මේ ආකාරය. අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ පරීක්ෂණ කටයුතු ‘ප‍්‍රායෝගික හේතූන් නිසා’ තවමත් ඇනහිට ඇත. වෛද්‍ය විද්‍යාත්මක නිගමනයකට පැමිණීමට එම පරීක්‍ෂණ තව සෑහෙන දුරක් යා යුතුබව පෙනෙන්නට තිබේ. මෙය පුරාණ සොහොන්බිමකැ’යි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තරයේ කියාසිටින විට, මෙහි එවැන්නක් කාලාන්තරයක සිට නොතිබූ බව ප‍්‍රදේශවාසීහු හා ඇතැම් ආයතනද සහතික කරති. දශක හතක් දක්වා පැරැණි මිනින්දෝරු වාර්තා හා පැලෑන පිටපත්ද පුරාවිද්‍යා නිගමනය තහවුරු නොකරයි. ඒ අතර මෙහි මිහිදන් වූවන්ගේ ඉතිහාසය 17වැනි සියවස දක්වා වුවත් ඇදීයාමට ඉඩ ඇති බවට ඉඟි පළවේ.

අපක්ෂපාතී පරීක්‍ෂණ

සිය සමීපතමයන් දස දහස් ගණනින් අහිමි කරගත්, තෙත පස්කඳු අස්සෙන් හෝ මතුව ඔවුන් තමන්ට සිදුවූ විනාශය ලොවට හඬගා කියනු ඇතැයි බලාපොරොත්තු දල්වාගෙන සිටින උතුරේ සමාජය, අපක්ෂපාතී විද්‍යාත්මක ක‍්‍රමවේදයන් යටතේ මේ ඇටසැකිලි සම්බන්ධයෙන් අවසන් නිගමනයක් දෙනතුරු සිය සැකසංකා පහකරගනු ඇතැයි විශ්වාස කිරීම උගහටය. උතුරේ නොව, දකුණේ පවා මෙවැනි සිදුවීම්වලට අදාළ විමර්ෂණයන් අපක්ෂපාතී, සැකයෙන් තොර අවසානයකට ගෙන ඒමට රාජ්‍යය මේ තාක් අසමත්වීම සම්බන්ධයෙන් අත්දැකීම් ඇති උතුරේ දෙමළ ජනයා, මෙවැනි සමූහ මිනීවලක්ය’යි සැකකැරෙන ස්ථානයක් සම්බන්ධයෙන් පවා දේශීය පරීක්‍ෂණයකට වඩා ජාත්‍යන්තර ක‍්‍රමවේදයක් ගැන විශ්වාස තබන තැනකට පැමිණ සිටින බව පෙනේ. මන්නාරම රදගුරු රායප්පු ජෝසප් ආරම්භයේදීම මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලා සිටින්නේත්, මෙහි හමුවූ ඇටසැකිලි විමර්ෂණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ රසායන විද්‍යාඥයන්ට ආරාධනා කළයුතු බවට ආනන්දි සසිදරන් හා එම් කේ සිවාජිලිංගම් මන්ත‍්‍රී දෙපළ විසින් ගෙනඑන ලද යෝජනාවකට උතුරු පළාත් සභාවේ අනුමැතිය 2014 ජනවාරි 27වැනිදා ලැබෙන්නේත් ඒ තතු යටතේ ය.
 
අනීතිකව ඝාතනය කරන ලද සිය ආදරණීයයන් තිරුකේතීෂ්වරම් පස්කඳු යට නිදන්නෙය’යි විශ්වාස කරන මිනිසුන්ගේ සත්‍යය දැනගැනීමට ඇති දෘඩ වුවමනාව සංසිඳුවිය හැක්කේ විනිවිද පෙනෙන සුළු, අපක්ෂපාතී පරීක්‍ෂණයකින් එළැඹෙන විද්‍යාත්මක නිගමනවලට පමණක් බව, ඔවුන් පුරාවිද්‍යා නිගමනයට අභියෝග කරමින්, නවත්වා දමන ලද පරීක්‍ෂණ යළි දිනාගන්නට දැක්වූ කැපවීම හා මහන්සිය විසින් පවා පැහැදිළි කරයි. ඒ වුවමනාව යහපාලනයේ, සංහිඳියාවේ හෝ සාමයේ, සමෘද්ධියේ පොරොන්දු පත‍්‍රවලින් සදහට වසාදැමිය හැකිය’යි සිතන්නට පොළඹවන යමක් මන්නාරම් මහපොළොවේ මේ මොහොතේ සැබෑවට සිදුවෙමින් පවතින්නේය’යි නොපෙනේ.☐

සනත් බාලසූරිය


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.