මන්නාරම සමූහ මිනීවල මාධ්‍යවේදීන්ට තහනම්
- Post 09 August 2018
කිත්සිරි විජේසිංහ විසිනි.
මන්නාරම සමූහ මිනීවළේ විමර්ශන කටයුතු පිළිබඳව එම ස්ථානයට පැමිණ තොරතුරු ලබා ගනිමින් ප්‍රවෘත්ති වාර්තා පළකිරීම තහනම් කරමින් මන්නාරම මහේස්ත්‍රාත්වරයා විසින් වාරණ නියෝගයක් පනවා ඇත.
මන්නාරම මහේස්ත්‍රාත් ටී ජේ ප්‍රභාකරන්ගේ අත්සන සහිතව, 'මන්නාරම අධිකරණයේ බී 232/2018 දරණ නඩුවට අදාළ කැණීම් සිදුකරන භූමිය වෙත ඇතුල්වීම, ඡායාරූප ගැනීම හා දර්ශන පටිගත කිරීම තහනම් කරමින් නිකුත් කරනු ලබන නියෝගය' මැයෙන් අඟහරුවාදා දින (7) නිකුත් කොට ඇති මෙම වාරණ නියෝගයට අනුව එම දිනයෙන් පසු මන්නාරම සමූහ මිනීවළ පරිශ්‍රයට පැමිණ තොරතුරු ලබා ගැනීම සහ එසේ ලබා ගන්නා තොරතුරු ප්‍රචාරය කිරීම තහනම් වනු ඇත.
අසත්‍ය පුවත් වාර්තා
මන්නාරම සමූහ මිනීවළේ කැණීම් කටයුතු භාර ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්ෂ දුරකතනයෙන් ජේඩීඑස් හා කියා සිටියේ මන්නාරම පොලිසිය විසින් මහේස්ත්‍රාත්වරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම වාරණ නියෝගය පනවා ඇති බවයි.
"පොලිසිය අධිකරණයට දැනුම් දීලා තියනවා මාධ්‍යවලට වාරණයක් පනවන්න කියලා. ඒකට හේතුව පහුගිය දවස්වල සමහර මාධ්‍ය කැණීම් පිළිබඳව අසත්‍ය තොරතුරු වාර්තා කරල තිබීමයි. ඒ තත්ත්වය ඉදිරියටත් පැවතුනොත් ඒක ඉදිරි විමර්ශන කටයුතුවලට බාධාවක් වෙන්න පුලුවන් කියලයි පොලිසිය කියන්නේ. විදේශ මාධ්‍ය කණ්ඩායමක් ඇවිත් මන්නාරම සමුහ මිනීවළ පිළිබඳව වාර්තා චිත්‍රපටියක් කරන්න ගියා කියලත් සමහර මාධ්‍ය වාර්තා කරලා තිබ්බා. ඒවා කිසිසේත්ම සත්‍ය වාර්තා නෙමෙයි", හේ කීය.
මීට පෙර කැණීම් සිදුකරන දිනවල විමර්ශන කටයුතු පිළිබඳ තොරතුරු ලබාගැනීමට උදේ සහ හවස් වරුවේ පැය භාගය බැගින් මාධ්‍යවේදීන්ට අවසර ලබා දී තිබුණු බව පෙන්වා දෙන වෛද්‍ය රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටින්නේ මින් ඉදිරියට යම් මාධ්‍යවේදියෙක් වළ අසලට පැමිණ කැණීම් පිළිබඳව තොරතුරු සොයා බලන්නේ නම් අදාළ පුද්ගලයා එතැනින් ඉවත් කිරීමේ බලය පොලිසියට හිමිවන බවයි.
"දැන් කැණීම් පිළිබඳව තොරතුරු මාධ්‍යයට ලබා ගන්න පුලුවන් මහේස්ත්‍රාත්තුමාගේ අවසරයෙන් විතරයි", ඔහු ප්‍රකාශ කළේය.
ඇට සැකිලි 81ක්
මේ අතර සමූහ මිනීවළ සම්බන්ධ ඉදිරි පොලිස් විමර්ශන කටයුතු මන්නාරම පොලිසියෙන් ඉවත් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරීමට යෝජනා කෙරී ඇති බව ද තමන්ට දැන ගන්නට ඇතැයිද වෛද්‍ය රාජපක්ෂ ජේඩීඑස් හා කියා සිටියේය.
මේ අතර නව වාරණ නියෝගය විසින් සමූහ මිනීවළ පිළිබඳ තොරතුරු අනාවරණය වීම වළක්වනු ඇතැයි ප්‍රාදේශීය මාධ්‍යකරුවෝ බිය පළකරති.
"මන්නාරම කියන්නේ දහස් ගණනක් දෙනා ආරක්ෂක අංශ අත් අඩංගුවට ගැනීමෙන් පසු අතුරුදහන් වූ ප්‍රදේශයක් බව අපි අමතක නොකළ යුතුයි. සමහර විට මේ සමූහ මිනීවළ ඒ අයගේ ඉරණම හෙළිකරන වැදගත් සාක්ෂියක් විය හැකි"යි නම හෙළිකිරීමට බිය පළකළ මාධ්‍යවේදියෙක් ජේඩීඑස් හා ප්‍රකාශ කළේය.
අතුරුදහන්වූවන් පිළිබඳ සෙවීම සඳහා ආණ්ඩුව විසින් මෑතක දී පත්කරන ලද ආයතනය ද දැනට සිදුකෙරෙන විමර්ශන කටයුතුවලට දායකත්වය ලබා දී තිබේ.
මන්නාරමේ සමූහ මිනීවළ පිළිබඳ විමර්ශන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කිරීමට අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පියවර ගෙන ඇතැයි එහි ප්‍රධානී සාලිය පීරිස් පසුගිය සතියේ නිවේදනය කර සිටියේය.
කෙසේ නමුත් විමර්ශන කටයුතුවලට දින 50ක් සම්පූර්ණ වූ බදාදා (8) වන විට පූර්ණ ඇට සැකිලි 81 ක කොටස් මතු කරගෙන ඇති අතර ඉන් 76 ක් මේ වන විට අධිකරණය භාරයට පත් කොට තිබේ.☐
© JDS
සබැඳි පුවත්:
14.06.2018 මන්නාරමේ සමූහ මිනීවළෙන් මළ සිරුරු දහයක ඇට කැබලි මතු වෙයි
27.06.2018 ළමා ඇට සැකිළි මතුවු මන්නාරම සමුහ මිනීවළ වසා දැමීමේ අවදානමක
20.07.2018 මන්නාරම සමූහ මිනීවළ: මළ සිරුරු ගණන පනහ දක්වා ඉහළට
27.07.2018 මන්නාරම සමූහ මිනීවළ: අස්ථි කොටස්වල 'අසාමාන්‍ය, තියුණු කැපුම් සලකුණු'
31.07.2018 වැඩිහිටියකු ළඟින් වැළලූ දරුවකුගේ සිරුරක් මන්නාරම සමූහ මිනීවළේ