JDS Sinhala

වැඩිහිටියකු ළඟින් වැළලූ දරුවකුගේ සිරුරක් මන්නාරම සමූහ මිනීවළේ (VIDEO)

කිත්සිරි විජේසිංහ විසිනි


න්නාරම සමූහ මිනීවළෙන් වැඩිහිටි පුද්ගලයකුගේ සහ කුඩා දරුවකුගේ යැයි සැලකිය හැකි මළ සිරුරු දෙකක අස්ථි කොටස් පදා ගැනීමට හැකිවු බව එහි වෝහාරික පරීක්ෂණ කටයුතු භාර විශේෂඥ කණ්ඩායම පවසයි.

වැඩිහිටි පුද්ගලයාගේ සිරුරට ඉතා සමීපව පිහිටි කුඩා දරුවාගේ ඇට සැකිල්ලේ ඉඟටියෙන් පහළ කොටස දක්නට නොමැති බවත්, හිස් කබලේ යටි හනුව පමණක් දක්නට ලැබෙන බවත් පවසන මන්නාරම ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්ෂ, එහි ස්ත්‍රි පුරුෂභාවය සනාත කරගැනිමට නම් අනිවාර්යෙන්ම  ඩී.එන්.ඒ ජාන පරික්ෂාවකට භාජනය කළ යුතු බව ජේඩීඑස් හා ප්‍රකාශ කළේය.

කාල නිර්ණය

මේ දක්වා ගොඩගනු ලැබ ඇති අස්ථි කොටස්වල කාල නිර්ණ පරීක්ෂාවක් සිදුකිරීම සඳහා අස්ථි සාම්පල කිහිපයක් ඒ සම්බන්ධ විශේෂඥ ආයතනයකට යැවීම පිළිබඳව සාකච්ඡා කෙරෙමින් තිබෙන බව ද පවසන වෛද්‍ය රාජපක්ෂ වැඩි දුරටත් කියා සිටියේ තවමත් ඒ පිළිබඳව අවසාන නිගමනයකට එළඹ නැති බව ය.

වීඩියෝ දසුන් මෙතැනින්:

"කාල නිර්ණය සඳහා අස්ථි කොටස් ෆ්ලොරිඩාවේ බීටා ඇනලිටික් කියන  ආයතනයට යැවිය යුතුයි කියලා මම අධිකරණයෙන් ඉල්ලීමක් කරලා තියනවා. කොහොම වුණත් ඒ ගැන අවසන් තීන්දුව ගැනීමේ වගකීම පැවරෙන්නේ අධිකරණ අමාත්‍යාංශයටයි. මේක ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක් නිසා කිසියම් කාලයක් ගතවෙයි" ඔහු කීය.

2012 වසරේදී මළ සිරුරු 154ක් හමු වූ මාතලේ සමුහ මිනීවළේ අස්ථි කොටස්වල කාල නිර්ණ කිරීම  සිදුකරනු ලැබුවේ ද බීටා ඇනලටික් ආයතනය විසිනි. නමුත් එම ආයතනය විසින් ඒ සම්බන්ධව ලබාදුන් පරීක්ෂණ වාර්තාව එහි කැණීම් කටයුතු සිදුකළ විශේෂඥයන්ගේ විවේචනයට ලක් විය. 2013 දෙසැම්බර් මාසයේදී මළ සිරුරු 82ක් සොයාගත් මන්නාරම තිරුකේතීස්වරම් සමුහ මිනීවළේ අස්ථි කොටස්වල කාල නිර්ණය සිදුකිරීම එම ආයතනය වෙත පැවරීමට පොලිසිය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක්, මන්නාරම නිතීඥවරුන් සහ පුරවැසි කණ්ඩායම් විසින් දක්වන ලද විරෝධය හේතුවෙන් වැළකුණි.☐

© JDS

 

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.