JDS Sinhala

මන්නාරම සමූහ මිනීවළ: මළ සිරුරු සංඛ්‍යාව 100 ඉක්මවයි

කිත්සිරි විජේසිංහ විසිනි.


න්නාරම සමුපකාර තොග වෙළද සංස්ථා භූමියේ කැණීම් කටයුතු සිදුකරන සමූහ මිනීවළෙන් ඇට සැකිලි එකසිය හතරක් ගොඩ ගෙන ඇතැයි එහි පරීක්ෂණ මෙහෙයවන වෝහාරික විශේෂඥවරයෙක් පවසයි.

කැණීම් කටයුතු සිදුකෙරුණු දින පනස් අටක කාලයක් තුළ ගොඩගත් ඇට සැකිලි  එකසිය හතරෙන් පූර්ණ මිනිස් ඇට සැකිලි අනූ හයක් වෙන් කොට ඉදිරි පරික්ෂණ සඳහා  අධිකරණ අවසරය මත තම භාරයට ගෙන ඇතැයි ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්ෂ ජේඩීඑස් හා පැවසීය.

"මේ වෙන් කරපු ඇට සැකිලිවල යම්, යම් අඩුපාඩු නැතුව නෙමෙයි. සමහර සිරුරුවල අතක හෝ කකුලක ඇට කැබැල්ලක් අඩුව තියෙන්න පුලුවන්. නමුත් එයින් අදහස් වෙන්නේ නෑ ඒවා පූර්ණ ඇට සැකිලි නෙමෙයි කියන එක. ඉතිරි ඒවා පිළිබඳවත් තවදුරටත් පරික්ෂණ සිදුකෙරෙනවා. ගොඩක් අස්ථි කොටස් විසිරිලා තියන නිසා සමහර විට අපිට ඉදිරි කැණීම්වලදි දැනට හමුවෙලා තියන ඇට සැකිලිවල අඩුපාඩු සම්පූර්ණ කරන්න පුලුවන් වෙයි," වෛද්‍ය රාජපක්ෂ කීය.

දරුවන් දොළහක්

මේ වන විට පූර්ණ ඇට සැකිලි ලෙස වෙන් කොට ඇති ප්‍රමාණයෙන් දොළහක් කුඩා දරුවන්ගේ  බව පෙන්වා දෙන වෛද්‍ය රාජපක්ෂ කියා සිටියේ ගොඩ ගෙන ඇති සිරුරුවලින් යම් ප්‍රමාණයක්  කාන්තාවන්ගේ බවට වන සැකය ඉදිරියේදී විසඳාගත හැකි බව ය.

"ගොඩ අරන් තියන අස්ථි ශේෂවල ස්ත්‍රී පුරුෂ ලක්ෂණ ඇති ඒවා තියනවා. හැබැයි මේ අවස්ථාවේ ඒවා සංඛ්‍යාත්මකව කියන්න අමාරුයි. මොකද ඒකට විද්‍යාත්මක පරික්ෂණයක් කරන්න වෙනවා. තවමත් අපි කරන්නේ ඇට සැකිලි පාදා ගන්න අවශ්‍ය කැණීම් කරන එකයි."

පසුගිය මැයි මස 16 වන දින මන්නාරම සමූහ මිනීවළ පිළිබඳව මුලින්ම තොරතුරු හෙළිදරව් කරගනු ලැබුවේ එම මිනීවළ පිහිටි සමුපකාර තොග වෙළඳ සංස්ථා භූමියේ ඉදිකිරීමක් සඳහා සිදුකළ කැණීම්වල දී පිටතට රැගෙන ගිය පස් අතර තිබී  මානව අස්ථි කොටස්  කිහිපයක් හමුවීමෙනි.

එම මාසයේම  28 වැනි දින එහි කැණීම් කටයුතු ආරම්භ කරන ලදි.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.