JDS Sinhala

Killed media workers

හැඳින්වීම: ශ්‍රී ලංකාව තුළ ඝාතනය වූ මාධ්‍යවේදීන් (2004 - 2010)

Intro | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010


නික්මගියවුන් පිළිබඳ මතකය

 

මගේ රටෙහි

නිදහස යනු

ආත්මය පිස හමන

මුදු පවනැල්ලකට වැඩි යමකි

එයඅපේ සම තුළ කා වැදුණු

නිර්භීත භාවය ද වේ

 - ගෝතමාලානු කිවි ඕටෝ රෙනේ කැස්ටිජෝ

ලංකාවේ වත්මන් පාලක සභාගයෙහි නියාමක එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩු බලය හිමි කරගත්තේ  2004 අප්‍රේල් මාසයේදී ය. යාන්තමින් මාසයක් ගත වූවා පමණි; මැයි මාසයේ 31 වැනි දා ප්‍රවීණ දෙමළ මාධ්‍යවේදී අයියතුරෛ නඩේසන්  රජය විසින් මෙහෙයවන අතුරු හමුදා කල්ලියක් විසින් නැගෙනහිර වෙරළබඩ මඩකලපුවෙහි දී වෙඩි තබා ඝාතනය කරන ලදී.

ඔහුගේ මරණය විසින් සටහන් කරණු ලද්දේ නව සමූල සංහාරක යුද්ධයක මූලාරම්භයයි. ඒ වනාහී මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එරෙහි ව වූ ඉතා බලගතු සහ පෙර නොවූ විරූ ආකාරයේ ම්ලේච්ඡත්වයකින් දියත් කෙරුණු යුද්ධයකි.

අනතුරුව එළඹි හය අවුරුද්ද තුළ අවම වශයෙන් ප්‍රවෘත්ති කලාවේදීන් හා මාධ්‍ය සේවකයින්  43 දෙනෙක් ඝාතනය ට හෝ අතුරුදන් වීමට ලක්ව තිබේ. එකී ඝාතන පිළිබඳ අපරාධ පරීක්ෂණ දියත් කෙරුණේ හෝ ඝාතකයින්ට එරෙහිව යුක්තිය පසඳලීමේ  ක්‍රියාවලියක්  අවසානයක් දක්වා ගෙන ගියේ හෝ නැත. මෙකී ප්‍රවෘත්ති කලාවේදීන් හා මාධ්‍ය සේවකයින් 44 දෙනාගෙන්, අඩුම වශයෙන් 39 දෙනෙකුගේ දිවි පැහැර ගෙන ඇත්තේ බලයේ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය හෝ එහි අනුග්‍රහ ලබන සන්නද්ධ කණ්ඩායම් විසිනි.

කාලය ගෙවී යමින් තිබේ. නමුත් තුවක්කු මළ බැඳෙන්නට හැර නැත‍.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මාධ්‍යවේදියෝ සංවිධානය, පසුගිය වසර කිහිපය තුළ අනවරත පරිශ්‍රමයක් දරන ලද්දේ සැඟවී වසන්ව පවතින මෙකී සත්‍යය හෙළිදරව් කිරීම පිණිස ය. අපගේ අධිෂ්ඨානය වූයේ ඝාතනයට සහ අතුරුදහන් කිරීමට ලක්වූවන් පිලිබඳ සවිස්තරාත්මක හා නිරවද්‍ය ලේඛණයක් හැකි උපරිමයෙන් සම්පදානය කොට ඉදිරිපත් කිරීමයි. අයුතු ලෙස අතිශයෝක්තියට නඟා ඇති සංඛ්‍යායැයි නඟන චෝදනා දුර්මුඛ කළ හැක්කේ  නිවරැදි දත්ත අනාවරණය කිරීමෙනි.

යුක්තිය පමා ‍වූ තැන, දණ්ඩ මුක්තිය රජයයි. ඊට එරෙහි  මේ සියළු ප්‍රයත්නයන් අැදවැටුණු වෘත්තීය සගයින් පිළිබඳ මතකය වෙනුවෙනි. 

 

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.