JDS Sinhala

මහනුවර මුස්ලිම් විරෝධී ප්‍රහාරයේ වාර්තාව මානව හිමිකම් කොමිසම සඟවයි.

කිත්සිරි විජේසිංහ විසිනි


දෙ

දහස් දහඅට වසරේ මාර්තු මාසයේ දී මහනුවර දිස්ත්‍රිකයේ දිගන හා තදාසන්න ප්‍රදේශවල මුස්ලිම් ජනයා ඉලක්ක කරමින් මුදා හැරුණු සිංහල වර්ගවාදී මැර ප්‍රහාර පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් සිදුකළ විමර්ශනයේ වාර්තාව වසර හයක් පුරා ප්‍රසිද්ධියට පත් නොකර සඟවාගෙන සිටීන්නේ මන්දැයි ප්‍රහාරයේ ගොදුරු බවට පත්වූ මුස්ලිම් ජනයා ප්‍රශ්න කරති.

"අපෙන් ගත්ත තොරතුරුවලට කොමිසම මොනවද කළේ කියන එක මම දන්නේ නෑ. ඒත් මට නම් දැන් කොමිසම ගැන කිසිම විශ්වාසයක් නෑ. අවුරුදු හයක් වෙලත් ඒ ගොල්ලෝ අපි වෙනුවෙන් මොනවත් කෙරුවේ නෑ".

එසේ චෝදනා කරන්නේ ජාතිවාදී මැර ප්‍රහාර හේතුවෙන් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව සිටින දිගන, හිජ්රාපුර පදිංචි මොහොමඩ් ඉර්ෆාන් ය.

කොමිසම වාර්තාව සඟවලාද?

"මට සිද්ධ වුණ හැම දෙයක්ම මම කොමිසමට කිවුවා, ලියුම් දුන්නා, වෛද්‍ය වාර්තාවල කොපි දුන්නා. ඒත් අපෙන් විස්තර අරන් ගියාට පස්සේ වුණේ මොකද්ද කියලා අද වෙනකම් අපි දන්නේ නෑ. දැන් අවුරුදු හයක්. වාර්තාවක් ඉදිරිපත් කෙරුව ද කියලා අපි දන්නෙත් නෑ. ඒ ගැන ඇහුවට කවුරුත් අපිට කිසිම දෙයක් කියන්නෙත් නෑ. කිහිප වතාවක්ම, මම ටෙලිෆෝන් කරලා අහන්න උත්සාහ කළත් වැඩක් වුණේ නෑ. ඒ අය වාර්තාව හංගනවා කියලයි මට නම් හිතෙන්නේ"යි දැඩි කළකිරීමෙන් යුතුව ඉර්ෆාන් පැවසීය.

ඔහු පවසා සිටියේ මානව හිමිකම් කොමිසමෙන් කණ්ඩායමක් පැමිණ තම ප්‍රකාශය සටහන් කර ගත්තේ තුවාල ලබා තමන් දිගන රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේ දී බව ය.

මැරවරයන්ගෙන් පහර කා ජීවිතය රැක ගැනීමට දිව යාමේදි තාප්පයකින් පහලට ඇද වැටීමෙන් කොඳු ඇට පෙළට බරපතල හානි වීම නිසා ඔහු සය මසකට අධික කාලයක් දිගන, රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා තිබේ. පසුව මහනුවර මහ රෝහලේ දී ශල්‍යකර්මයකට භාජනය කෙරී තිබුණද ඔහු පූර්ණ වශයෙන් සුව නොවන බව වෛද්‍යවරුන් ඔහුට පවසා ඇත. කුඩා දරු තිදෙනෙකුගේ පියෙකු වන හෙතම අවස්ථා කිහිපයදීම පුනරුත්ථාපන අධිකාරියෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිසි වන්දියක් ඉල්ලා ලිපි ගණනාවක් යවා ඇතත් ඒ කිසිදු ඉල්ලීමකින් පල ප්‍රයෝජනයක් වී නොමැති බව ඔහු කියයි.

පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් ගේ පහර කෑමට ලක්ව බරපතල තුවාල ලැබු දිගන, හිජ්රාපුර පදිංචි මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු වූ අබ්දුල් සලීල් ෆයිසාල් මොහොමඩ් ද ජේඩීඑස් හා කියා සිටියේ මානව හිමිකම් කොමිසම අදාළ වාර්තාව මේ දක්වා ප්‍රසිද්ධියට පත් නොකර සඟවාගෙන සිටින්නේ කුමක් නිසා දැයි පවසන්නට ඔහුද නොදන්නා බවකි.

‘හැමෝම ආණ්ඩුවේ‘

"අපි දන්නේ නෑ මානව හිමිකම් කොමිසම ඇයි ඒ වාර්තාව ප්‍රසිද්ධ නොකරන්නේ කියලා. හමුදාව , පොලිසිය, මානව හිමිකම් කොමිසම කියන මේවා ඔක්කෝම ආණ්ඩුවේ දේවල්නේ. අන්තිමට බැළුවම හැමෝම එකයි" ඔහු අපේක්ෂා භංග වූ හඬකින් ජේඩීඑස් හා කියා සිටියේය.

"කොමිසමෙන් ඇවිත් අපේ තොරතුරු ගත්තා. එහෙම අරන් ගියාට පස්සේ ගත්ත තොරතුරුවලට කළේ මොකද්ද කියලා කොමිසමවත්, රජයේ වෙනත් කවුරු හරිවත් මේ තාක් අපිට කියලා ‍නෑ. දැන් අවුරුදු හයක් වෙලත් ඒ වාර්තාව ප්‍රසිද්ධ කරන් නැතුව ඉන්නවා නම් එහෙම කරන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ නේද? එක්කෝ ඒ අය කැමති නෑ අපි කියපු දේවල් ප්‍රසිද්ධ කරන්න. එහෙම නැත්නම් අපිට ගහපු, අපේ දේපළ විනාශ කරපු අයට තියෙන දේශපාලන බලයයි, හමුදාව සහ පොලීසියට ප්‍රහාරයට තිබුණු සම්බන්ධයයි නිසා හරි ඒ ගොල්ලෝ කැමති නෑ වාර්තාව එළියට දාන්න“, ඔහු චෝදනා කරයි.

2018 වසරේ මැයි 9 වන දින සිට 12 වනදා දක්වා දින හතරක කාලයක් කොමිෂන් සභාවේ විමර්ශන කණ්ඩායමක් මහනුවර තැපැල් කාර්යාල ශ්‍රවණාගාරය තුළදී වින්දිත මුස්ලිම් ජනයාගෙන් සාක්ෂි විමසා සටහන් කර ගෙන තිබුණි. මානව හිමිකම් කොමිසමේ එවකට සභාපතිනිය වූ ආචාර්ය දීපිකා උඩගමගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාක්ෂි විමසීමේ සෙසු සාමාජිකයන් වූයේ හිටපු කොමසාරිස්, ජේෂ්ඨ නීතිඥ ගසාලී හුසේන්, මානව හිමිකම් කොමිසමේ වැඩ බැලු විමර්ශන හා පරික්ෂණ අධ්‍යක්ෂක නිහාල් චන්ද්‍රසිරි, නීතිඥ ඒ. ඩබ්ලියු. අහමඩ්, මහනුවර කාර්යාලයේ හිටපු සම්බන්ධීකරණ නිලධාරිනි කුමුදුනි විතාරණ සහ නීති නිලධාරිනි ප්‍රදීපා වීරවික්‍රම යන අය යි.


දීපිකා උඩගම ගේ අත්සන සහිතව කුමුදුනි විතාරණ විසින් , "පසුගිය මාර්තු 05 වන දින සහ ඒ ආසන්න දිනවල මහනුවර නගරය ආශ්‍රිත ප්‍රදේශවල වෛරය සහ ආගමික බෙදුම්වාදය මත ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පරික්ෂණය සඳහා මහජනතාව වෙතින් තොරතුරු සහ සාක්ෂි රැස් කිරීම" , මැයෙන් 2018 අප්‍රේල් මස 06 වන දින නිකුත් කර තිබුණු ප්‍රසිද්ධ නිවේදනයට අනුව කොමිසම විසින් ප්‍රහාරය සම්බන්ධයෙන් වාචික සාක්ෂි කැඳවීමට පෙර ලිඛිත සාක්ෂි සහ තොරතුරු රැස් කිරීමට තීරණය කර තිබුණි. ඒ අනුව ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් අගතියට පත්වූ හා ඒ පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශව විසින් කොමිසම වෙත ලිඛිතව ඉදිරිපත් කිරීමට අපේක්ෂිත දෑ පිටු තුනකට සීමා කොට ඉදිරිපත් කරන්නැයි දැනුම් දී තිබුණි. ඡායාරූප,වීඩියෝ හෝ හඬ පට ආදිය ද සාක්ෂි සහ තොරතුරු ලෙස කොමිසම වෙත ඉදිරිපත් කළ හැකි බවත්, එම සියළු තොරතුරු 2018 අප්‍රේල් මස 21 දින හෝ එයට පෙර මානව හිමිකම් කොමිසමේ මධ්‍යම පළාත් , මහනුවර කාර්යලය වෙත ලියාපදංචි තැපෑලෙන් යොමු කළ යුතු බවටත් අදාළ නිවේදනයෙහි වැඩිදුරටත් දැක් වුණි.

ජේඩීඑස් විසින් කරන ලද සොයා බැලීම්වලට අනුව දැන ගන්නට ලැබුණේ මානව හිමිකම් කොමිසම විසින් කර ඇති එම දැනුම් දීමට අනුව ගැටුමේ ගොදුරු බවට පත්වු මුස්ලිම් ජනයා විශාල පිරිසක් කොමිසම වෙත ලිඛිත සහ වාචික සාක්ෂි ඉදිරිපත් කර ඇති බවකි. ප්‍රදේශයේ මුස්ලිම් ජනයා, මුස්ලිම් මවුලවිවරුන්, ප්‍රදේශය නියෝජනය කරන මුස්ලිම් දේශපාලන නියෝජිතයන් මෙන්ම මානව හිමිකම් කොමිසමේ මහනුවර කාර්යාලයේ නිලධාරින් විසින් ද ඒ බව සනාථ කරන ලදී.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ මධ්‍යම පළාත්, මහනුවර කාර්යාලයේ හිටපු සම්බන්ධිකරණ නිලධාරිනි කුමුදුනී විතාරණ ගෙන් ජේඩීඑස් විසින් කරන ලද විමසීමකදි ඇය සඳහන් කර සිටියේ කොමිසමේ දැනුම් දීම මත විශාල පිරිසක් සාක්ෂි සහ ප්‍රකාශ ලබා දීම වෙනුවෙන් තැපැල් කාර්යාල ශ්‍රවණාගාරයට පැමිණි බවයි.

"මට මතක විදිහට ප්‍රහාරවලට ලක්වු මුස්ලිම් ජනයා විතරක්ම නෙමෙයි, බාහිර සිවිල් සමාජ කණ්ඩායම්වලිනුත් අපිට තොරතුරු ලැබුණා. ප්‍රහාරවලට ගොදුරු වුණු මුස්ලිම් ජනතාව එල්ල කරපු චෝදනා ගැන අපි ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රජයේ පරිපාලන ක්ෂේත්‍රයේ නිලධාරින්ගෙන්, පොලීසියේ, විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ගෙන් ඇතුළු බොහෝ දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තා"යි හිටපු සම්බන්ධිකරණ නිලධාරිනිය ප්‍රකාශ කළාය.

ඇය තවදුරටත් පවසා සිටියේ මහනුවරදී ප්‍රහාර එල්ල කෙරුණු සියළු ප්‍රදේශ ආවරණය වන පරිද්දෙන් කොට්ඨාශ වශයෙන් ගෙන සාක්ෂි විමසීම කළ බවකි.


බුද්ධි අංශ මුස්ලිම් ජනයා පසුපස

ප්‍රහාරයන් එල්ල කෙරුනු දිගන ඇතුලු බොහෝ ප්‍රදේශවල පිහිටි මුස්ලිම් දේවස්ථානවලින් ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් නිවේදනය කර ඇත්තේ ප්‍රහාරයෙන් හානියට පත් වු ජනයාට මානව හිමිකම් කොමිසමේ පරික්ෂණ මණ්ඩලය හමුවේ සාක්ෂි ලබා දිය හැකි බවට ය.

මෙම ජාතිවාදී මැර ප්‍රහාරය පිළිබඳව අද වන විට බොහෝ පාර්ශව විසින් දක්වන්නේ නිහඬ ප්‍රතිපත්තියකි. ප්‍රදේශය නියෝජනය කරන ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන් හා රජයේ නිලධාරීන් පමණක් නොව, ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වු අය ද ඒ අතර සිටිති. ප්‍රහාරයන්ට ගොදුරුව වින්දියන් බවට පත්වු දිගන හා තදාසන්න ප්‍රදේශවල මුස්ලිම් ජාතිකයන් බොහෝ දෙනෙකුගෙන් අප ඒ පිළිබඳව විමසා සිටි අතර , වසර හයක් ගතවීත් තමන්ට යුක්තිය ඉටු නොවුණ තැන තවත් ඒ පිළිබඳව කතා කිරීමෙන් පලක් තිබේදැයි ඇතැමෙක් පෙරළා විමසා සිටියේය. එමෙන්ම රජයේ නව මර්දනකාරී අණ පනත් හා රෙගුලාසි හේතුවෙන් බියට පත්ව සිටින ඇතැමෙකු ජේඩීඑස් හා පවසනු ලැබුවේ තමන්ට සිදු වූ අසාධාරණය පිළිබඳව හෝ විවෘතව කතා කිරීමට යෑමෙන් පවතින තත්ත්වයන් යටතේ දඬුවම් ලැබිය හැකි බවකි.

විවෘත දේශපාලන අනුග්‍රහ ලත් ජාතිවාදි සිංහල වර්ගවාදී මැරයන් සහ ඔවුන්ට රැකවරණය සැපයු පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රමුඛ ආරක්ෂක අංශවල ප්‍රහාරවලට ලක්ව පූර්ණ වශයෙන් සහ අර්ධ වශයෙන් විනාශයට පත් වූ දිගන සහ කටුගස්තොට ප්‍රදේශවල මුස්ලිම් දේවස්ථානවල හිටපු සහ වර්තමාන පාලකවරුන් මෙන්ම පූජකකවරුන් බොහෝ දෙනෙකුගෙන් ඔවුනට යුක්තිය ඉටු නොවීමේ හේතු පිළිබඳව ජේඩීඑස් කරුණු විමසා සිටිය ද ඔවුන් බොහෝ දෙනෙකු ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමෙන් වැළකී සිටියේ, එසේ අදහස් දැක්වීම පවා තමන්ට එරෙහිව යොදා ගත හැකි බව පවසමිනි.

"අපිට අයුක්තියක් සිද්ධ වුණා කියන එක හැමෝම දන්නවා. අපේ ගෙවල් දොරවල්, පල්ලි ගිනි තිබ්බා. ශුද්ධ කුරානය එස්.ටී.එෆ් එකෙන් පයින් ගහලා පාගලා දැම්මා. තරුණ ළමයින්ව මැර කණ්ඩායම් පුච්චලා මැරුවා. අපේ වෙළඳ සැල් විනාශ කළා විතරක් නෙමෙයි, හැමදේම කොල්ල කෑවා. සිද්ධියට සම්බන්ධ කිහිප දෙනෙක්ව පසුව අත්අඩංගුවට අරන් නඩුත් දැම්මා තමයි. ඒත් අන්තිමට කිසිම දෙයක් වුණේ නෑ. ආණ්ඩුවෙන් හානියට පත් වුණු කිහිප දෙනෙකුට වන්දි දීලා පැත්තකට වුණා. වැරදි කරපු කාටවත් නිසි දඬුවමක් නම් ලැබුනේ නෑ. නුවරට ආව මානව හිමිකම් කොමිසමත් අන්තිමට කරපු කිසිම දෙයක් නෑ", සිය අනන්‍යතාව හෙළි නොකරන්නැයි තරයේ ඉල්ලා සිටිමින් ප්‍රහාරයට ලක් වූ ප්‍රදේශයක මුස්ලිම් දේවස්ථානයක පූජකවරයෙක් ජේඩීඑස් හා පැවසීය.

දිගන ප්‍රදේශයේ තවත් පූජකවරයෙකු අනන්‍යතාවය හෙළි නොකරන්නැයි ඉල්ලමින් පැවසුවේ ආණ්ඩු වෙනස් වුණද ආණ්ඩුවල අනුග්‍රහය ලත් ජාතිවාදී මැරවරයන් තවමත් කිසිදු බාධාවකින් තොරව දිගන ප්‍රදේශයේ කටයුතු කරමින් සිටින බවකි.

"දැන් බලන්න, 2018 දි අපිට පහර දෙන්න කියලා මිනිස්සුන්ව උසි ගන්වපු සමහර අය තවමත් කිසිම බාධාවක් නැතුව ඒ ගොල්ලන්ගේ ප්‍රචාරක වැඩ මෙහෙ කරගෙන යන විදිහ. හැම තැනම කටවුට් ගහලා කිසිම බයක් සැකක් නැතුව තමයි ඒ ගොල්ලෝ වැඩ කරන්නේ. අපිට වුණු අසාධාරණය ගැන කතා කරන්න ගියොත් සංහිඳියාවට බාධාවක් කියලා පොලිසියෙන් අපි පස්සේ පන්න, පන්න ප්‍රශ්න කරනවා. හැබැයි අපේ මූණ ඉස්සරහට ම ඇවිත් තර්ජනාත්මකව වැඩ කරන අයට කාගෙන්වත් කිසිම ප්‍රශ්නයක් නෑ," ඔහු කීය.

මහනුවර මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රහාර මෙහෙය වූ බවට චෝදනා ලැබ, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත උල්ලංඝණය කිරීම යටතේ එකල අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරනු ලැබු ‘මහසෝන් බලකාය‘ නැමති ජාතිවාදි සංවිධානයේ ප්‍රධානී අමිත් වීරසිංහ එසේ අත් අඩංගුවට පත්ව ඉතා කෙටි කලකින්ම ඇප පිට නිදහස් කෙරුනු අතර, ඔහුට අයත් දිගන ප්‍රදේශයේ තිබුණු කාර්යාලයේ දේපළ ද ත්‍රස්ත මර්දන කොට්ඨාශය විසින් කළ වැටලීමකදි ඒ දිනවලම අත්අඩංගුවට ගනු ලැබුණි. නමුත් ජේඩීඑස් විසින් කරන ලද සොයා බැලීමකදි දැන ගන්නට ලැබුණේ ඔහු විසින් දැන් යළිත් දිගන ප්‍රදේශයේ ඔහුගේ ප්‍රචාරණ කටයුතු සිදු කරමින් සිටින බවකි. විශේෂයෙන්ම සිංහල ගැබිනි මව්වරුන්ට සහ ළමුන්ට කරන බැව් කියන උපකාර සහ සහන වැඩසටහන් මුවාවෙන් ද දිළිඳු ජනයාට වියලි ආහාර මලු ආදිය ලබා දීමේ වැඩ සටහන් ඉදිරියට දමමින් ද ඔහු මුස්ලිම් ජනයා වැඩි වශයෙන් වසන ප්‍රදේශවල ඔවුන්ට එරෙහිව සියුම් ලෙස විවිධ කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ප්‍රකාශයට පත් කිරීම දිගින් දිගටම කල් හරින ඔවුන්ගේ වාර්තාවේ ද මෙම මහසෝන් බලකායේ සහ එහි ප්‍රධානියාගේ අනීතික සහ ජාතිවාදි, ආගම්වාදි කල් කිරියාව පිළිබඳව සඳහන්ව ඇති බවට 2021 වසරේ දී ජේඩීඑස් විසින් ලියනු ලැබුවේ කොමිසමේ ම ඉහළ නිලධාරියෙකු විසින් කරන ලද හෙළිදරවු කිරීමක් පාදක කරගෙන ය. එමෙන්ම ප්‍රහාරයන්ට පලාතේ සිංහල දෙශපාලඥයන්, ඇතැම් බෞද්ධ භික්ෂූන් මෙන්ම ආරක්ෂක අංශවල සාමාජියන් ද වගකිව යුතු බවට සාක්ෂි ද තමන්ට ලැබුණේ යැයි එම නිලධාරියා කීය. ප්‍රහාර වළකා මුස්ලිම් ජනයා ආරක්ෂා කරන්නට මහනුවරට කැඳවා තිබුණු ආරක්ෂක අංශවල සාමාජිකයන් කිසිදු සාධනීය මැදිහත්වීමක් නොකර ඇති බවට විශ්වාසනීය සහ පිළිගත හැකි තොරතුරු ද අදාළ පරීක්ෂණ කමිටුව වෙත ලැබුණු බවත් හෙතම වැඩිදුරටත් කියා සිටියේය.


ආරක්ෂක අමාත්‍යංශයෙන් නුවර පොලිසිවලට නියෝග

තමන්ට සිදුවු අසාධාරණය ගැන පවා විවෘතව කතා කරන්නට මුස්ලිම් ජාතිකයන් බියට පත්ව ඇත්තේ අහේතුකව නොවන බව පෙන්නුම් කෙරෙන කරුණු කිහිපයක් ජේඩීඑස් හා පවසා සිටියේ කෙන්ගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින අරාබී භාෂා ගුරුවරයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු ද වන එස්. එම්. ෆසාල්ය. එස්. එම්. ෆසාල් යනු, ජාතීවාදි මැරයන් විසින් නිවසට ගිනි තැබීම නිසා මරණයට පත්වු 24 හැවිරිදි සම්සුදින් අබ්දුල් බාෂිත් මෙන්ම ඔහුව බේරා ගැනීමට යෑමේදි සිරුරට ගිනි ඇවිලි බරපතල තුවාල ලැබු සම්සුදින් මොහොමඩ් ෆායස් යන දෙදෙනාගේ වැඩිමහල් සහෝදරයා ය.

"දැන් අවුරුද්දකට වැඩි කාලයක ඉඳන් පොලීසිය කිසිම හේතුවක් නැතුව මගේ පස්සෙන් පන්නනවා. තෙල්දෙණිය පොලිසිය, නුවර පොලීසියේ ත්‍රස්ත විමර්ශන අංශය (CTID), MOD (ආරක්ෂක අමාත්‍යාංශය) හැම වෙලාවෙම මම යන එන තැන් , කරන කියන දේවල් ගැන හොයනවා. ප්‍රශ්න කරනවා. මට විතරක් නෙමෙයි, ගොඩක් අයගේ තත්ත්වය මේකයි. ඇයි ඒ? අපි මොන වරදක් කෙරුවටද? අපිට නිදහසේ ගමනක් යන්න බෑ. යාළුවෙක් මුණ ගැහිලා කතා කරන්න බෑ. අඩුම ගානේ පල්ලියටවත් නිදහසේ හිතවතුන් එක්ක යන්න බෑ. මළ ගෙදරකට ගියත් පහුවදාම පොලිසියෙන්, ත්‍රස්ත විමර්ශන එකෙන් කතා කරලා අහනවා ඇයි ගියේ? මොනවද කතා කෙරුවේ කියලා, " යි හෙතම කීය.

තමන්ගෙන් මේ ආකාරයට ප්‍රශ්න කරන්නේත්, නිරන්තරයෙන්ම ලුහුබඳින්නේත් කුමක් නිසාදැයි තමන් පොලිසියෙන් සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන ඒකකයෙන් විමසු විට, දිගන ප්‍රහාරයේදී වින්දිතයන් බවට පත්වු මුස්ලිම් ජාතිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සමීපතමයන් පිළිබඳව නිරන්තරයෙන්ම දැඩි සෝදිසියෙන් සිටින්නැ යි ආරක්ෂක අමාත්‍යාංශයෙන් මහනුවර දිස්ත්‍රිකයේ පොලිසිවලට නියෝග ලැබී ඇතැයි ඉහළ නිලධාරින් තමන් හා කී බව ෆසාල් පවසයි.

"පහුගිය පෙබරවාරි මාසයේදීත් නුවර පොලිසියේ ත්‍රස්ත විමර්ශන ඒකකයට ඇවිත් කට උත්තරයක් දෙන්න කියලා පණිවිඩයක් ආවා. ගියාට පස්සේ පැය හයක් විතර ප්‍රශ්න කරලා විස්තර ලියා ගත්තා. ඒ වෙලාවේ මම ඇහුවා ' ඇයි මේ විදිහට අපිට කරදර කරන්නේ ? අපි නේද වින්දිතයෝ? අපිට සාධාරණයක් ඉෂ්ඨ වෙලා නැතුවත් පාඩුවේ ඉද්දි ඇයි අපේ පස්සෙන් පන්නන්නේ? අපි කරපු වරද මොකද්ද කියන්න' කියලා . එතකොට නුවර පොලීසියේ ත්‍රස්ත විමර්ශන නිලධාරියෙක් මට ෆයිල් තුනක් පෙන්නලා කිවුවා 'මේ ෆයිල්වල තියෙන්නේ ඔයා ගැන විස්තර. දැනට වරදක් කරලා නෑ තමයි. ඒත් ආරක්ෂක අමාත්‍යාංශයෙන් අපිට දැනුම් දීලා තියෙනවා ඔයගොල්ලෝ අන්තවාදින් වෙන්න පුලුවන් ඒ හින්දා ඇහැ ගහගෙන ඉන්න කියලා'.

ෆසාල් පවසන්නේ ගෙවුණු කාලය තුළ විවිධ අංශවලින් 10 වතාවකට වැඩියෙන් ඔහුව කැඳවා ප්‍රශ්න කළ බවකි. ඒ දුරකථනය මගින් කරන සොයා බැලීම්වලට අමතරව ය.

මානව හිමිකම් කොමිසමේ සය වසක කතාව

මෙවැනි මර්දනකාරි තත්ත්වයක් යටතේ මානව හිමිකම් කොමිසම විසින් කරන්නට භාර ගත් කාර්යය හෝ නිසි පරිදි සිදු කරනු ලැබුවේ නම් මේ වින්දිත ජනයාට යම් අස්වැසිල්ලක් ලැබෙන්නට ඉඩ තිබුණි. නමුත් දැන් රාජ්‍යයේ සියළු ආයතන පද්ධති එක ගොනුවකට විත් වින්දිතයන් නොතකා හැර දමා තිබේ.

අදාළ විමර්ශන වාර්තාව ප්‍රසිද්ධියට පත් නොකර සිටින්නේ මන්දැයි ජේඩීඑස් විසින් පසුගිය වසර කිහිපය මුළුල්ලේ ම මානව හිමිකම් කොමිසමෙන් සහ අදාළ විමර්ශන කණ්ඩායමේ ඇතැමුන්ගෙන් ද කරුණු විමසා ඇති නමුත් , ඒ කිසිදු අවස්ථාවක අදාළ පාර්ශවයක් හෝ පුද්ගලයෙකු විසින් හෝ නිල වශයෙන් පිළිගත හැකි පිළිතුරක් අප වෙත ලබා දී නොමැත.

අදාළ විමර්ශනයට සම්බන්ධව සිටි මානව හිමිකම් කොමිසමේ එවකට සිටි විමර්ශන හා පරික්ෂණ අධ්‍යක්ෂක, නිහාල් චන්ද්‍රසිරි 2018 වසරේ දි ජේඩීඑස් හා කියා සිටියේ වාර්තාව පරිඝණකගත කරමින් තිබෙන බවකි. 2019 වසරේ ජනවාරි මාසයේ දි නැවත කරන ලද විමසුමකට පිළිතුරු ලෙස හෙතම පැවසුවේ වාර්තාවේ සංස්කරණ කටයුතු සිදුවෙමින් තිබෙන බැවින් එම වසරේම ජූලි මාසය අවසන් වීමට පෙර ප්‍රසිද්ධියට පත් කරන බවකි. ජේඩීඑස් විසින් ජූලි මාසයෙන් පසුව කරන ලද විමසීම්වලදී ඔහු හෝ මානව හිමිකම් කොමිසමේ වගකිව යුතු වෙනත් පුද්ගලයෙකු හෝ විසින් කිසිදු පිළිතුරක් ලබා ‍නොදුනි. නමුත් අප නැවතත් පසුගිය මාර්තු 27 දා, නිහාල් චන්ද්‍රසිරි වෙතින් දුරකතනය ඔස්සේ සම්බන්ධ වෙමින් ඉල්ලා සිටියේ වසර හයක් ගතවී තිබියදීත් අදාළ වාර්තාව ප්‍රසිද්ධ නොකර සිටීමට හේතුව කුමක්දැයි නිශ්චිතව පවසන ලෙසයි . මෙවර ඔහු පවසන ලද්දේ වාර්තාව ප්‍රකාශයට පත් කරන කාල වකවානුවක් පිළිබඳව තමන්ට නිශ්චිතව පැවසිය නොහැකි බව ය.

"වාර්තාව ප්‍රසිද්ධ කරනවද නැද්ද කියන එක තීරණය කිරීමේ බලය තියෙන්නේ කොමසාරිස් මණ්ඩලයට. ඔය වාර්තාවට අපි තොරතුරු ගත්තේ ආචාර්ය දීපිකා උඩුගම සභාපතිත්වය දරණ කාලෙදි. ඊට පස්සේ සභාපතිවරු සහ කොමසාරිස්වරුන් ගණනාවක්ම වෙනස් වුණානේ. ඒකත් එක හේතුවක් තමයි. අපි වාර්තාව ප්‍රසිද්ධ කරනවා නම් කොමිසමේ වෙබ් අඩවියේ දානවා," ඔහු ප්‍රකාශ කළේය.

නමුත් අදාළ පරික්ෂණය සම්බන්ධීකරණය කරමින් එයට සක්‍රීයව සම්බන්ධ වුණු කොමිසමේ මධ්‍යම පළාත් කාර්යාලයේ එවකට සිටි සම්බන්ධිකාරිකා කුමුදුනි විතාරණ දරනුයේ එයට වෙනස් වූ මතයකි. ඇය පවසන්නේ කොමිසම වාර්තාව ප්‍රසිද්ධ නොකර සිටීම යහපත් දෙයක් නොවන බව ය.

"ඇත්තෙන්ම මටත් කනගාටුවක් තියෙනවා මේ වාර්තාව ප්‍රසිද්ධ නොකිරීම ගැන. දැන් අවුරුදු හයක් නේ. මමත් කිහිප විටක්ම කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් මේ ගැන ඇහුවා. මට ලැබුණු උත්තරය තමයි භාෂා තුනෙන් ම සකස් කරන්න අවශ්‍ය නිසා ප්‍රමාද වෙනවාය කියන එක. අනෙක මම හිතන්නේ අදාළ කාල වකවානුවේම වාර්තාව ප්‍රසිද්ධ කරන් නැති වුණාම ඒකේ වටිනාකම වගේම කරලා තියෙන නිර්දේශවල තත්ත්වයත් පහළ වැටෙනවා".

වාර්තාව ප්‍රසිද්ධ නොකිරීමෙන් එයට තොරතුරු ලබා දුන් මුස්ලිම් ජනයා තුළ කොමිසමේ ක්‍රියාකලාපය පිළිබඳව සැකයක් සහ පොදුවේ තමන්ට යුක්තිය ඉටු නොවීම පිළිබඳව කණගාටුවක් ඇති විය හැකි නොවේ දැයි විමසීමේදි ඇය කියා සිටියේ තමන් ද එක හෙලාම ඒ තත්ත්වය පිගන්නා බවයි.

"මමත් පිළි ගන්නවා ඔවුන්ට වේදනාවක් ඇති. ඒ වගේම යමක් සිද්ද නොවෙන කොට සැක හිතන්න තියෙන අවස්ථාත් වැඩියි. අපි හිතන්න ඔනේ ඒ වින්දිත මිනිස්සුන්ගේ පැත්තෙන් මිසක් පරිපාලන හෝ වෙනත් ගැටලුවලපැත්තෙන් නෙමෙයි" ඈ පවසන්නීය.

කෙසේ නමුත් අදාළ විමර්ශන කණ්ඩායමේ ප්‍රධානීත්වය මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ එම වකවානුවේ සභාපතිත්වය දැරූ ආචාර්ය දීපිකා උඩුගමගෙන් මේ සම්බන්ධව විමසීමට අප අවස්ථා ගණනාවකදීම උත්සහ දැරුවද ඒ එකදු අවස්ථාවක හෝ ඇය පිළිතුරක් ලබා නොදුන්නේ ය. නමුත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයන්ට අනුව ජේඩීඑස් වෙත දැන ගන්නට ලැබුණේ අදාළ විමර්ශන වාර්තාවේ පිටපත් කිහිපයක් ඇය සහ විමර්ශනයට සම්බන්ධ වූ කිහිප දෙනෙකුන් සතුව ද පවතින බවකි. ඇය , අදාළ විමර්ශනය පවත්වනු ලැබු 2018 සිට තවත් දෙවසරක් එනම් 2020 අගෝස්තු 31 දක්වා කාලයක් සභාපතිත්වය දැරු බැවින් අවශ්‍යතාවයක් පැවතියේ නම් වාර්තාව ප්‍රසිද්ධ කරන්නට එම කාලය ප්‍රමාණවත් වන්නට ඉඩ තිබුණි. යම් නොවැළැකිවිය හැකි ප්‍රායෝගික තත්ත්වයන් මත එසේ කරන්නට නොහැකි වූයේ නම් කොමිසමේ ප්‍රධානියා ලෙස ඇයගේ වගකීම විය යුතුව තිබුණේ ඇගෙන් පසු පත් වූ සභාපතිවරුන් හෝ කොමසාරිවරුන්ගේ අවධානයට එය යොමු කරවීම ය. නමුත් ඇය එසේ කළ බව තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් වින්දිතයන් හමුවේ නොමැත. එමෙන්ම ආචාර්ය උඩගමගෙන් පසු කොමිසමේ ප්‍රධානත්වය දැරු කිසිදු අයෙකු හෝ ඒ පිළිබඳව කරුණු සොයා බලා නොමැති බව සනාත වන්නේ කොමිසමේ ම නිලධාරින් පවසන කරුණුවලිනි.

නමුත් වාර්තාව ප්‍රසිද්ධ නොකිරීමට හේතු ලෙස කොමිසම විසින් වරින් වර දැක්වා ඇති කරුණු සාධාරණ හෝ යුක්ති සහගත හෝ පිළිගත හැකි මට්ටමේ ඒවා නොවන්නේ, 2018 වර්ෂයට පසුව කොමිසම විසින් වාර්තා කිහිපයක්ම ප්‍රසිද්ධියට පත් කර ඇති බැවිනි. ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල තත්ත්වය පිළිබඳ 2020 නිකුත් කළ වාර්තාවත්, රඹුක්කන පොලිස් ප්‍රහාරය පිළිබඳව 2022 නිකුත් කළ වාර්තාවත් මේ අතරින් ප්‍රධාන ය. එම වාර්තා දෙකම සිද්ධි අධ්‍යයනයන් සහිත දීර්ඝ වාර්තා ය. එබැවින් දිගන වාර්තාවේ පරිඝනක කටයුතු , සංස්කරණ හෝ පරිවර්තන ප්‍රමාදයන් ආදිය පිළිබඳව කොමිසම නගන තර්කයන් පිළිගත හැකි මට්ටමේ ඒවා යැයි පිළිගැනීමට වින්දිත ජනයා මැලි වෙති.

ජාතීවාදි මැරයන්ට රජයේ ඉහළ තනතුරු

මහනුවර මුස්ලිම් ජනයා ඉල්ලක් කරමින් මුදා හැරුණු ජාතිවාදි ප්‍රහාර මාලාව සංවිධානය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණු බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර භික්ෂුව සම්බන්ධයෙන් පසු කලෙක විධායකය ප්‍රමුඛ ඉහළම දේශපාලන බලාධිකාරය විසින් දැරු ආකල්පයන් ද ඇතැම් විට වාර්තාව ප්‍රසිද්ධ නොකර යටපත් කිරීම සඳහා යම් දායකත්වයක් සපයන්නට ඇත. මුස්ලිම් ජනයාට සහ ඔවුන්ගේ ආගමික ග්‍රන්ථයන්ට අපහාස කිරීමේ චෝදනාව යටතේ අධිකරණය ඉදිරියේ විභාග වූ නඩු කිහිපයකම චූදිතයෙකු බවට පත්ව සිටියදීත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගලගොඩඅත්තේ භික්ෂුව ' එක් රටක්, එක් නීතියක්' මැයෙන් නම් කළ පරික්ෂණ කොමිසම් සභාවේ ප්‍රධානියා ලෙස පත් කරනු ලැබුනි. ඒ අතරවාරයේ ද එම භික්ෂුව විසින් මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව වෛරි සහ ද්වේශ සහගත මතවාදයන් සමාජගත කරනු ලැබුණි.

මෙම වාර්තාව ලියන මොහොත වන විට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය බාලපටබැඳිගේ නියෝගයක් අනුව ගලගොඩඅත්තේ ඥාණසාර භික්ෂුව ව බරපතල වැඩ සහිත සිවු වසරක සිර දඬුවමකට සහ රුපියල් ලක්ෂයක දඩ මුදලකට යටත් කොට අවසන් ය. ඒ කූරගල සම්බන්ධයෙන් 2016 වසරේ මාර්තු 30 වනදා මාධ්‍ය හමුවක් පවත්වමින් ආගම් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට නීතිපතිවරයා විසින් පවරා තිබු නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

එසේම ප්‍රහාරය සිදු වුණු කාල වකවානුවේ දි මධ්‍යම පළාත භාරව සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහට චෝදනා එල්ල වූයේ සැලකිය යුතු තොරතුරු ලැබි තිබියදී ත් ප්‍රහාර වළක්වන්නට කටයුතු නොකිරීමේ හේතුව මත ය. මහසෝන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහගේ බිරිඳ මෙන්ම ඇතැම් භික්ෂුන් විසින්ද ප්‍රසිද්ධියේම කියා පෑවේ මුස්ලිම් ජනයාට පහර දීම සඳහා මැරයන් කැඳවනු ලැබුවේ එම නියෝජ්‍ය පොලිස්පතිවරයා බවටය. උග්‍ර රාජපක්ෂ වාදියෙකු වූ ඔහු එම ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ' මහජන පැමිණිලි හා දුක් ගැනවිලි පිළිබඳ ඔම්බුඩ්ස්මන්වරයා' ලෙස පත් කරනු ලැබුණි. කොමිසම ඔවුන්ගේ වාර්තාව ප්‍රසිද්ධ නොකර යටපත් කර හරින්නට එකී පුද්ගලයන් පිළිබඳව රජයේ සැලකිල්ල ද ඇතැම් විට ඉවහල් වන්නට ඇත.

ප්‍රහාරයෙන් පසුව සැලකිය යුතු පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව තෙල්දෙණිය සහ මහනුවර අධිකරණ හමුවට ඉදිරිපත් කෙරුණද කෙටි කලකින්ම ඉන් බොහෝ දෙනෙකු නිදහස් කරනු ලැබුවේ නිසි චෝදනා ගොණුකිරීමකින්ම තොරව ය. බෞද්ධ භික්ෂුන් මෙන්ම දේශපාලනඥයන් ද ඇතුළු ව බොහෝ දෙනෙකු කියා සිටියේ අත්අඩංගුවට පත් සිංහල තරුණයන් මුස්ලිම් ජනයාට එරෙහිව කටයුතු කර ඇත්තේ ඔවුන්ගේ 'නොදන්නාකම" හේතුවෙන් නිසා බවයි.

සිදුවීමෙන් කෙටි කලකට පසුව ප්‍රදේශයේ සංචාරය කළ එකල අගමැති ධූරය හෙබවු රනිල් වික්‍රමසිංහ මෙන්ම මෛත්‍රිපාල සිරිසේන ද වින්දිත මුස්ලිම් ජනයාට බොහෝ ආකර්ශනීය පොරොන්දු දෙනු ලැබුණි. නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින රාජ්‍ය ආයතනවල ප්‍රධානීහු ද ඒ ආකාරයෙන්ම යුක්තිය ඉටු කරන බවට ශපථ කළ අතර සිවිල් සහ රාජ්‍ය නොවන සංවිධාන ද නන්විධ විමර්ශන වාර්තා ඉදිරිපත් කළහ. එහෙත් ඒ කිසිවකුත් මානව හිමිකම් කොමිසමේ නිද්‍රාශීලි ක්‍රියාකලාපය ප්‍රශ්න කළ බවක් වාර්තා වී නොමැත.

මානව හිමිකම් කොමිසමේ වාර්තාවෙන් සියල්ල නොවිසඳෙන බව සැබෑවක් මුත් ඔවුන්ගේ වගකීම එය සැඟවීම නොව ප්‍රසිද්ධියට පත් කිරීම බව වින්දිතයෝ පවසති.☐

© JDS

 

සබැඳි ලිපි:

11.03.2018 මුස්ලිම් විරෝධී ප්‍රහාරවලින් උන්හිටි තැන් අහිමි සිය ගණනක් අනාථ කඳවුරක
13.03.2018 එස්ටීඑෆ් ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට රජයේ වෙද්දු බැහැ කියති
09.01.2019 කඳුරට මුස්ලිම් විරෝධී ප්‍රහාර ගැන මානව හිමිකම් කොමිසම් වාර්තාවේ ප්‍රමාදය ගැන සැකයක්
09.03.2020 උඩරට මුස්ලිම් විරෝධී ප්‍රහාරයේ කොමිසම් වාර්තාව යටගැසූ බවට චෝදනා

10.03.2021 එළි නොකරන දිගන ප්‍රහාර වාර්තාවේ STF කල්ක්‍රියාව ගැන බරපතල සාක්ෂි


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.