JDS Sinhala

එළි නොකරන දිගන ප්‍රහාර වාර්තාවේ STF කල්ක්‍රියාව ගැන බරපතල සාක්ෂි

කිත්සිරි විජේසිංහ විසිනි


දේ

ශපාලන අනුග්‍රහය ලත් ප්‍රචණ්ඩ සිංහල බෞද්ධ කණ්ඩායම් විසින් 2018 වර්ෂයේදී මහනුවර දිස්ත්‍රිකයේ මුස්ලිම් ජනයා ඉලක්ක කරමින් මුදාහල ජාතිවාදී මැර ප්‍රහාරවලට පොලිස් විශේෂ කාර්ය බලකාය ‘අහක බැලීම’ රුකුලක් වූ බව ජාතික මානව හිමිකම් කොමිසම හමුවේ හෙළිදරව් වී තිබේ.

තුන් අවුරුද්දකට ඉහතදී තුන් දෙනකුට මරු කැඳවමින් අංග හානි හා දේපල හානි කරමින් දියත් කරන ලද විනාශය සම්බන්ධයෙන් කොමිසම් පැවැත්වූ විමර්ශනයේ වාර්තාව තවමත් ප්‍රසිද්ධියට පත් කර නැතත්, එම ප්‍රහාරයට මැරයන් කැඳවූ බවට විශ්වසනීය සාක්ෂි ඇති එවක උඩරට භාර පොලිස් නිලධාරියා වත්මන් රජය යටතේ ඉහළ තනතුරකට පත් කර ඇත.

මහනුවර දිස්ත්‍රිකයේ, දිගන සහ තදාසන්න ප්‍රදේශවල මුස්ලිම් ජනයාට එරෙහිව මාර්තු මස මුල එල්ල කෙරුනු ප්‍රහාර සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාව විසින් එම වසරේම මැයි 9 දින සිට 12 දක්වා මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේදී විමර්ශනයක් පවත්වනු ලැබුණි. කොමිසමේ එවක සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගමගේ ප්‍රමුඛ විමර්ශක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වූයේ හිටපු කොමසාරිස් ගසාලි හුසේන්, වැඩබැලූ විමර්ශන හා පරීක්ෂණ අධ්‍යක්ෂක නිහාල් චන්ද්‍රසිරි, නීතිඥ ඒ ඩබ්ලියු එම් අහමඩ්, මානව හිමිකම් කොමිසමේ මධ්‍යම පළාත් කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරිනි කුමුදුනි විතාරණ සහ එහි නීති නිලධාරිනි ප්‍රදීපා වීරවික්‍රම යන අයයි.

ප්‍රහාර වැලක්වීමට පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) නිසි මැදිහත්වීමක් නොකළ බවට විශ්වසනීය සාක්ෂි අදාළ විමර්ශනවලදී මානව හිමිකම් කොමිසමට ලැබුණු බව ඉහළ පෙලේ නිලධාරියකු ජේඩීඑස් හා කියා සිටියේය.

''අපිට සාක්ෂි දුන්න ඇතැම් අය කියපු එකක් තමයි මැර කණ්ඩායම් ඇවිත් ඔවුන්ට ගහද්දි එස්ටීඑෆ් සෙබළු, ඒක නතර කරන්න උත්සාහ කෙරුවේ නැති බව,'' යි සිය අනන්‍යතාවය සඳහන් නොකරන්නැ’යි ඉල්ලමින් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු JDS හා පැවසීය.


වාර්තාව තවමත් ‘සංස්කරණයේ’

මානව හිමිකම් කොමිසමේ වාර්තාව ප්‍රකාශයට පත් නොකරන්නේ මන්දැයි ගෙවුනු තෙවසර පුරාවට ජේඩීඑස් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් විමසා සිටි සෑම අවස්ථාවකදීම බලධාරීන්ගේ පිළිතුර වූයේ වාර්තාවේ සංස්කරණ කටයුතු අවසන් කොට “ඉදිරි මාස කිහිපයේදී” ප්‍රකාශයට පත් කරන බවයි. නමුත් ප්‍රහාරයේ ගොදුරු බවට පත්වු මුස්ලිම් ජාතිකයන්ගේ දැඩි විශ්වාසය වූයේ ප්‍රහාරවලට පළාතේ දේශපාලනඥයන් මෙන්ම රජයේ ආරක්ෂක අංශ සමාජිකයන්ද සම්බන්ධව සිටි බැවින් මානව හිමිකම් කොමිසම අදාළ විමර්ශන වාර්තාව 'යට ගසන' බවට තමන් විසින් සැකකරන බව ය.

ප්‍රකාශයට පත් කිරීම දිගින් දිගටම කල් යන වාර්තාවේ අන්තර්ගත තොරතුරු පිළිබඳව තව දුරටත් අප කළ විමසීමේදී කොමිසමේ නිලධාරියා මෙසේද පැවසීය.

''මහසෝන් බලකාය වැනි කණ්ඩායම් මේ ප්‍රහාරවලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කණ්ඩායම්වල හිටිය අය මුස්ලිම් මිනිස්සුන්ට ගහපු විදිහ, දේපල විනාශ කරපු විදිහ ගැන අපේ විමර්ශනයෙදි සාක්ෂි ලැබුණා. ඒ විතරක් නෙමෙයි, එස්ටීඑෆ් එක ඒ ප්‍රහාර වළක්වන්න මැදිහත්වීමක් නොකොට අහක බලාගෙන හිටියා කියලත් අපිට සාක්ෂි ලැබුණා. ඒ සාක්ෂිවල හැටියට ඔවුන් බොහෝම අලසව තමයි රාජකාරි කරලා තියෙන්නේ ''.

මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජාතිකයන්ට සිංහල බෞද්ධ, ජාතිවාදි මැර පිරිස් පමණක් නොව, විශේෂ කාර්ය බලකායේ සෙබළුන් ද පහර දුන් බව ජේඩීඑස් විසින් මෙයට පෙර අවස්ථා කිහිපයකදීම හෙළිදරවු කරනු ලැබුණි. එයින් විශේෂිත වන්නේ මහනුවර දිගන ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන් වෙත එල්ල කරනු ලැබු ප්‍රහාරය.

මැද දුම්බර ප්‍රාදේශීය සභා මන්ත්‍රී අබ්දුල් සලීල් මොහොමඩ් ෆාසිල්ට දෑත්, දෙපා බැඳ හිස පැලී ලේ ගලන තුරු අමානුෂික ලෙස පොලුවලින් බැට දී තිබුණි. ඔහු එම වධහිංසාවට ගොදුරු වූයේ දිගන හිජ්රාපුර මුස්ලිම් දේවස්ථානයේ මවුලවිවරුන්ට STF භටයන් පහර දෙන බව දැනගන්නට ලැබීමෙන් පසු එම ස්ථානයට ගිය අවස්ථාවේදී ය. මවුලවි වරුන්ට පහර දෙනු දැක්වෙන වීඩියෝව ඒ දිනවලම JDS විසින් ප්‍රසිද්ධ කරනු ලැබුණි.

මුල්වරට පහර දීම් සිදු වූයේ දිගන ප්‍රදේශයේ වන අතර පසුව එය දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශ කරාද සීග්‍රයෙන් ව්‍යාප්ත විය. පොලු මුගුරු, කඩු කිණිසි පමණක් නොව පෙට්‍රල් වැනි දෑ පිරවු බෝතල් අතැතිව පැමිණි මැර පිරිස් මුස්ලිම් ගම්මාන වටකොට පහරදුන් බව මුස්ලිම් ජාතිකයන් බොහෝ දෙනෙකු ඒ දිනවල පැවසූහ. එමෙන්ම, ප්‍රදේශයේ ඇතැම් රාජ්‍ය නිලධාරින් වෙතින් ද මුස්ලිම් ජාතිකයන් නොයෙක් හිංසා පීඩාවන්ට ලක්ව තිබුණි. කොමිසමේ නිලධාරියා ඒ සම්බන්ධව මෙසේ කීය.


''අපිට සමහර වෛද්‍යවරු ගැන පැමිණිලි ලැබුණා. එස්ටීඑෆ් එකෙන් ගුටිකාපු සමහර අය තුවාල වෙලා බෙහෙත් ගන්න තෙල්දෙණිය රෝහලට ගියාම ඒකේ හිටිය ඩොක්ටර්ස්ලා ඒ මිනිස්සුන්ට අපහාස කරලා බෙහෙත් දාන එකත් පරක්කු කරලා තිබුණා. 'බෙහෙත් නෙමෙයි උඹලව දාන්න ඔනේ කූඩුවට' කියලා ඒ දොස්තරලා තමන්ට කියු බව තුවාලකාරයෝ දුන්න සාක්ෂිවල තියෙනවා. සමහර තුවාලකාරයෝ අපිට සාක්ෂි දෙනකොට කිවුවා එස්ටීඑෆ් එකේ ඉහළ නිලධාරියෙක් ඔවුන්ට කිවුවය කියලා ' මම ළඟ පාත හිටියනම් තමුසෙලට ගහන්න අපේ කොල්ලන්ට ඉඩ දෙන් නෑ' කියලා."

දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල මුස්ලිම් ජාතිකයන්ට පහර දීමටත්, දේපලවලට අලාභ හානි කිරීමටත් පැමිණි මැර පිරිස් පළාතේ ශ්‍රී ලංකා පොදුජන පක්ෂ දේශපාලනඥයන් විසින් මෙහෙයවා තිබුණු බව සිදුවීම් ඇසින් දුටුවෝ ජේඩීඑස් හා කියා සිටියෝය. පළාතේ දේශපාලනඥයන් විසින් ප්‍රහාරකයන් මෙහෙයවීම පිළිබඳව සාක්ෂි විමසීමේදි කොමිසමට තොරතුරු ලැබුණේ දැයි ජේඩීඑස් විසින් කරන ලද විමසීමට පිළිතුරු ලෙස අදාළ නිලධාරියා පැවසුවේ සාක්ෂි විමසීමේදි ඇතැම් දේශපාලඥයන්ගේ නම් කියවුණු බව ය.

'පොහොට්ටු' දේශපාලකයන්

අදාළ නිලධාරියා විසින් දේශපාලනඥයන්ගේ නම් නිශ්චිතව සඳහන් නොකළද දිගන සහ තදාසන්න ප්‍රදේශවල මුස්ලිම් ජනයා පැවසුවේ තමන් වර්තමාන ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන් කිහිප දෙනකුම එහිදී දුටු බව ය.

ප්‍රහාරයට සම්බන්ධ දේශපාලනඥයන් කිහිප දෙනකුම පසුව නිදහස් කර යවා ඇති බව, ආගම ඇදහීමේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ආචාර්ය අහ්මඩ් ෂහිඩ් විසින් ජීනිවා හී 43 වන මානව හිමිකම් සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කරනු ලැබු විශේෂ වාර්තාවේ සඳහන් වේ.

ප්‍රහාරයෙන් පුජාපිටිය, පල්ලේකැලේ සහ තෙල්දෙණිය යන ප්‍රදේශවල මනුෂ්‍ය ඝාතන තුනක් සිදුවී ඇත. මැර පිරිස් වෙතින් පහර කෑමට ලක්ව බරපතල තුවාල ලැබුවන් 27 දෙනෙකු පිළිබඳ තොරතුරු ද කොමිසමට වාර්ථා වී තිබේ. එම 27 දෙනාගෙන් 12 දෙනෙකු පූජාපිටිය ආශ්‍රිත ගම්මානවලින් වන අතර පල්ලේකැලෙන් 1 අයෙකුත්, කටුගස්තොටින් 5 දෙනෙකු පිළිබඳවත් , මැණික්හින්නෙන් තුවාලකරුවන් 5 දෙනෙකු පිළිබඳවත්, වත්තේගමින් 4 දෙනෙකු පිළිබඳවත් සාක්ෂි විමසීමේදි වාර්තා වූ බව අප හා කතා කළ නිලධාරියා සඳහන් කළේය.

මහනුවර මුස්ලිම් විරෝධී මැර ප්‍රහාරවලින් විනාශයට පත් නිවාස දේපල පිළිබඳ තොරතුරුද තුන් දින සාක්ෂි විමසීමේදි කොමිසමට ලැබී තිබේ. එම විනාශය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 17 ක් පුරා පැතිරුණු එකක් බව වාර්තාව පෙන්වා දෙයි.

ගිනිබත් දේපල

ප්‍රහාරවලින් සම්පූර්ණයෙන්ම විනාශ කෙරුණු ව්‍යාපාරික ස්ථාන 220 ක් පිළිබඳව සාක්ෂි ලබා ගෙන ඇත. එයින් 96 ක් ගිනි තබා විනාශ කර ඇති බවත්, ඉතිරි 121 ක ගල් මුල් සහ විවිධ ආයුධ මගින් පහරදී පහරදී විනාශ කර ඇති ඒවා බවටත් සාක්ෂිවලින් හෙළිවූ බව අදාළ නිලධාරියා කීය. එයින් වැඩිම හානිය සිදුකොට තිබෙන්නේ කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ ය . එම සංඛ්‍යාව 158 කි. දිගන විනාශ කොට තිබෙන වෙළඳ ව්‍යාපාර ඇතුළු දේපල ගණන 124 කි. එයින් 42 ක් ගිනි තබා විනාශ කර ඇති ඒවා බවට සාක්ෂිකරුවන් පවසා ඇත. කොමිසම විසින් ලබා ගෙන ඇති සාක්ෂිවලට අනුව පල්ලේකැලේ පෞද්ගලික දේපල 94 කට, රංගල 5 කට හා වත්තේගම 16 කට ආදි වශයෙන් හානි පමුණුවා තිබේ.

නිවාස 97 ක් ගිනි තබා විනාශ කර තවත් 247 ක් පහර දීමෙන් කඩා බිඳ දමා ඇති බවටත් තොරතුරු ලැබුණු බව ජේඩීඑස් වෙත අදහස් දැක්වු නිලධාරියා පැවසීය. විනාශ කෙරුනු වාහන 47 ක් පිළිබඳව ද එකී වාහනවල හිමිකරුවන් විසින් සාක්ෂි ලබා දී තිබේ. එම වාහන 47 න් 26 ක් ගිනි තැබු ඒවාය. පහර දී විනාශ කර ඇති මුස්ලිම් දේවස්ථාන 20 ක තොරතුරු ද කොමිසමට විමර්ශන මගින් අනාවරණය වී තිබේ.

එවක අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රදේශයේ සංචාරයකින් අනතුරුව පවසා තිබුණේ අවම වශයෙන් දේපල 465 ට පූර්ණ හෝ අර්ධ වශයෙන් හානි වී ඇති බව ය.

2018 වර්ෂයේ දි මහනුවර දිස්ත්‍රිකයේ මුස්ලිම් ජාතිකයන් වෙත එල්ල කෙරුනු ජාතිවාදි මැර ප්‍රහාර සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් පිළිබඳව ද කොමිසම විසින් සාක්ෂි රැස් කර ඇත. අත්අඩංගුවට පත් වුවන් පිළිබඳව සංඛ්‍යා ලේඛන කොමිසම වෙත සපයා තිබෙන්නේ ප්‍රහාරය සිදුවන කාල වකවානුවේ මධ්‍යම පලාත භාරව සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ විසිනි. එම සංඛ්‍යා ලේඛණවලට අනුව පුද්ගලයන් 184 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එයින් 45 දෙනෙක් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත (ICCPR) උල්ලංඝණය කිරීමේ වරදටත්, දණ්ඩ නීති සංග්‍රහය කඩ කිරීමේ වරද යටතේ 55 දෙනෙකුත්, පොලිස් ඇඳිරි නීතිය කඩ කිරීමේ වරදට 54 ක් සහ හදිසි අවස්ථා රෙගුලාසි උල්ලංඝණය කිරීමේ වරද යටතේ 22 දෙදෙනකුත් අත්අඩංගුවට ගෙන ඇත. ඉතිරි පිරිස සෘජු චෝදනාවක් එල්ල නොකොට සැක පිට රඳවා ගත් අය වෙති.

ඒ කිසිවකුටත් නඩු පවරා දඬුවම් කළ බවක් දැනගන්නට නැත.

මැරයන් මෙහෙය වු ලොක්කෙක් ' ඔමබුඩ්ස්මන්’

ප්‍රහාරය වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව මෙන්ම ප්‍රහාරය සඳහා මැරවරයින් කැඳවීම පිළිබඳවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රසිංහට චෝදනා එල්ල විය. මහසෝන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ බිරිඳ මෙන්ම අම්පිටියේ සුමනරත්න නම් භික්ෂුව විසින්ද ඒ බව ප්‍රසිද්ධියේම කියා පෑහ. දැඩි රාජපක්ෂ හිතවාදියකු වන ඔහු වර්තමාන රජය විසින් 'මහජන පැමිණිලි හා දුක් ගැනවිලි විමර්ශනය කොට ක්‍රියාත්මක කිරීමේ ඔම්බුඩ්ස්මන්වරයා ' පදවියට පත් කර ඇත.

ඒ අනුව, මහනුවර මුස්ලිම් විරෝධී ජාතිවාදී මැර ප්‍රහාරය හෝ වෙනත් රජයේ අකටයුත්තක් සම්බන්ධයෙන් දුක්ගැනවිල්ලක් වේ නම් පීඩාවට පත් වූවන් පැමිණිලි කළ යුත්තේ ඔහුට ය.

හිටපු කතා නායක කරු ජයසූරියගේ සභාපතිත්වයෙන් 2019 වසරේ පිහිටුවන ලද “ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සහතික කිරීම පිණිස, ඒ පිළිබඳව අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තුව විශේෂ කාර්ය සභාවේ” මුස්ලිම් විරෝධී ප්‍රහාර සම්බන්ධව මෙසේ සඳහන් කොට ඇත:

''කළුතර, ගාල්ල, අම්පාර සහ මහනුවර දිස්ත්‍රික්කවල මෑතකදි උද්ගත වු සිදුවීම්වවල අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමේදි පොලිස් දෙපාර්තමේන්තුව සිදුකර ඇති සමාව දිය නොහැකි තරමේ ප්‍රමාදය මෙන්ම, ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ අයට එරෙහිව නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව අසමත්වීම පිළිබඳවත් හෙළිදරව් වී තිබේ. නීතිය ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා තව තවත් ගැටුම් ඇති වීමට දිරිදෙන අතර, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින් මෙම ක්‍රියාවට සහාය දැක්වීම පිළිබඳව වන චෝදනාවද මානව හිමිකම් කොමිසම් සභාව වැනි ස්වාධීන ආයතන මගින් විමර්ශනයට ලක්කොට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකරන බව සහතික කර ගැනීම සඳහා නොපමාව ක්‍රියාත්මක වීම අවශ්‍ය වන හෙයින් එවැනි දුර්වලතා ආමන්ත්‍රණය කිරීම අවශ්‍ය ය''.☐

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.