JDS Sinhala

මුස්ලිම් විරෝධී ප්‍රහාරවලින් උන්හිටි තැන් අහිමි සිය ගණනක් අනාථ කඳවුරක

කිත්සිරි විජේසිංහ විසිනි.


හනුවර සහ තදාසන්න ප්‍රදේශවල ජීවත්වන මුස්ලිම් ජනයා ඉලක්ක කරමින් සිංහල - ‍බෞද්ධ අන්තවාදීන් විසින් පසුගිය දින කිහිපය තුළ එල්ල කරන ලද ප්‍රහාර මැඩ පවත්වා ජන ජීවිතය යථා තත්ත්වයට පත් කොට ඇතැයි රජය පැවසුව ද, එම ප්‍රහාරයන් හේතුවෙන් නිවාස අහිමි වු සිය ගණනක් නැවත තම නිවෙස්වල පදිංචියට යෑමට බියෙන් තවමත් අවතැන් කඳවුරක රැඳී සිටිති.

මහනුවර හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කටුගස්තොට පොලිස් වසමේ පහළ එඬරුතැන්න ග්‍රාමයේ පදිංචිව සිටි පවුල් 56 ක පුද්ගලයන් 178 දෙනෙක් මේ වනවිටත් එඬරුතැන්න විදුහලේ පවත්වාගෙන යන අවතැන් කඳවුරේ රැඳී සිටින බව ජේඩීඑස් වෙත වාර්තා වේ.


නිවෙස් 56කට එකවර ප්‍රහාර

පහළ එඬරුතැන්න මජීඩ් අහමඩ් මුස්ලිම් දේවස්ථානයේ ඉදිරිපස දොරටුව ආසන්නයට  පසුගිය 5 වනදා සවස් කාලයේ දි  යම් පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බයක් දමා ගසා ඇති අතර, ප්‍රදේශවාසීන් විසින්  වහාම ඒ සම්බන්ධව ආරක්ෂක අංශ දැනුවත් කිරීමට කටයුතු කර තිබේ. පසු දා රාත්‍රි 7.40 ට පමණ යතුරු පැදිවලින්  පැමිණ ඇති කිහිප දෙනෙක්  නැවතත් දේවස්ථානය දෙසට බියර් බෝතල් ප්‍රහාරයක් එල්ල කොට ඇති අතර, ඒ වන විටත් සිය ආගමික වතාවත්වලට සහභාගිවීම සඳහා දේවස්ථානයට පැමිණ සිටි පිරිස් කටුගස්තොට පොලිසිය අමතා සිදුවීම පිළිබඳ දැනුම් දීමෙන් පසු පොලිස් ජංගම රථයකින් එහි පැමිණි පොලිස් නිලධාරින් දෙදෙනෙක් පවසා ඇත්තේ බියර් බෝතල් ප්‍රහාරය පිළිබඳව කලබල වීමට අනවශ්‍ය බව ය.


නමුත් බදාදා (7) අලුයම 1ට පමණ දේවස්ථානය දෙසින් නැගුණු පිපිරුම් හඬක් සමඟ ඒ වෙත දිව ආ අසල්වාසී පදිංචිකරුවන් සිය දේවස්ථානය ගිනිගෙන දැවෙනු දැක තිබේ. යළිත් කටුගස්තොට පොලිසියට දැනුම් දීමෙන් පසු එහි පැමිණි නිලධාරින් පස් දෙනෙක් අලුයම 3.30 පමණ වන තුරු රැඳී සිට පිටව ගොස් තිබේ.  තව දුරටත් එහි රැඳි සිටීමට තමන්ට අවසර නැති බව ඔවුන් ප්‍රදේශවාසීන්ට දන්වා ඇත.

ප්‍රදේශවාසීන්ට ප්‍රහාර එල්ල වී ඇත්තේ ඉන් පසුව ය.

"හත්වෙනිදා දවල් 11ට විතර ගමේ කෙනෙක් දුවගෙන ආවා කට්ටියක් ගහන්න එනවා කියලා. ඒ ආපු අය, යකඩ පොලුයි, ආයුධයි අරගෙන මුණු ලේන්සු වලිනුයි, ඇඳගෙන හිටපු ටී ෂර්ට් වලිනුයි වහගෙන තමයි ආවේ"යි දේවස්ථානය අසල පදිංචිකරුවෙකු වන බදුර්දීන් මොහාමඩ් අර්ෂාඩ් ජේඩීඑස් හා කියා සිටියේ ය.

"ගෑණු අයටයි, ළමයින්ටයි, වයසක අයටයි ඉක්මනට කැලේට දුවන්න කියලා අපි කිවුවා. ගොඩක් දෙනෙක් ආවේ බයික්වලින්. හැම පැත්තටම පෙට්‍රල් බෝම්බ දමලා ගැහුවා. අපි කැලේ හැංගිලා ඉඳලා පැය දෙකකට විතර පස්සේ ගෙවල්වලට ආවා"යි ඔහු කීය.

'දේශප්‍රේමී' කොල්ලකරුවන්

නමුත් එඬරුතැන්න ග්‍රාමයේ මුස්ලිම් ජනයා ඉලක්ක කරමින් මුදාහල ප්‍රචණ්ඩත්වය ඉන් අවසන් වූයේ නැත. එදිනම දහවල් 2ට පමණ නැවත වඩා විශාල පිරිසක් සමඟ පැමිණි ප්‍රචණ්ඩකාරී සිංහල පිරිස් පහළ එඬෙරුතැන්න ග්‍රාමයේ  සියළු නිවාසවලට  පහර දෙමින් තැබීමටත්,  ගම්වාසීන් සතු වටිනා දෑ කොල්ල කෑමටත් ක්‍රියා කර තිබේ.

ජේඩීඑස් හා වැඩි රදුරටත් කරුණු දැක් වූ බදුර්දීන් මොහොමඩ්  අර්ෂාඩ් පැවසුවේ මැර පිරිස්වලින් බේරීමට දෙවන වතාවට ද ගමෙහි සියළු දෙනා කැලෑ වැදුන බව ය.

"අපි හිතුවා ආපු අය අපිව මරයි කියලා. ඒ අය එහෙම කියලා තමයි කෑ ගැහුවේ. බබාලා ලැබෙන්න ඉන්න ගෑණු අයට දුවගන්න අමාරු වුණා. ඇවිදින්න අපහසු වයසක අය, පොඩි ළමයි පවා හිටියා. 'අපිව  මරන්න එපා' කියලා  සමහර අය ඇඬුවා. අපි පුලුවන් විදිහට හමුදාවටයි, පොලිසියටයි කෝල් කරලා කිවුවා. ඒත් කවුරුත් ආවේ නෑ. හමුදාවෙන් ආවේ හවස පහට විතර. එතකොට අපේ ගෙවල් ඔක්කොම කඩලා දාලා, ගිනි තියලා ඉවරයි. අපි දැක්කා අපේ ගෙවල්වලට ගහන්න ආපු අය ගෙවල් ඇතුලේ තියන දේවල් කොල්ලකනවා. පස්සේ ඇවිත් බලනකොට ගොඩාක් ගෙවල්වල කබඩ්, අල්මාරි කඩලා රත්තරන් බඩු, සල්ලි වගේ වටින හැම දෙයක්ම අරන් ගිහින්".

ගැබිණි මව්වරු

එඬරුතැන්න ගම්මානයට කඩා වැදුණු මැර පිරිස් විසින් නිවාස හතරක් සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කොට ඇති අතර අවශේෂ නිවාසවලට ද ගිනි තැබීම් හා පහර දීම් හේතුවෙන් අලාභ හානි සිදු වී තිබේ. පවුල් 56 කට අයත් සියළුම නිවාසවල විදුලි සහ ජල මීටර් කඩා විනාශ කොට ඇති බව ද එම  නිවාස හිමියෝ  ජේඩීඑස් හා ප්‍රකාශ කළහ. කෙසේ වෙතත් ප්‍රහාරයෙන් පසුව කැලෑ වැදී දිවි බේරාගෙන මේ වනවිට එඬරුතැන්න විදුහලේ රැඳි සිටින අය අතර ගර්භනී මව්වරුන් 10 දෙනෙක් මෙන්ම කුඩා ළමුන් විශාල පිරිසක් ද, අත්වාරුවක් නොමැතිව ඇවිදීමට අපහසු වැඩිහිටි ගැහැණු සහ පිරිමින් ද සිටින බව ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු, බ්‍රහස්පතින්දා (9) එඬරුතැන්න අවතැන් කඳවුරෙහි රැඳී සිටින ජනයා හමුවීමට පැමිණි යුධ හමුදාපති මහේෂ් සේනානායක ප්‍රමුඛ හමුදා නිලධාරීන් විසින් කඳවුරේ සිටින පිරිස් වෙත ප්‍රකාශකර ඇත්තේ සිද්ධියට වගකිව යුත්තන් නීතිය ඉදිරියට පැමිණවීම සම්බන්ධයෙන් තමන්ට සහතික විය නොහැකි නමුත් ආරක්ෂිතව නිවෙස් වෙත යෑමට ඉඩ සලසාදීමට තමන් ක්‍රියා කරන බව ය. නමුත් ගම්වාසින් පවසන්නේ පෙරළා ගොස් පදිංචි වීමට කිසිදු නිවසක් ප්‍රහාරකයන් විසින් ඉතිරි නොකළ බව ය. එමෙන්ම, අපරාධකරුවන් ඇල්ලීමට යැයි පවසමින් අසළ වෙළද සැල්වල පිහිටි සීසීටීවි කැමරා උපකරණ සියල්ල හමුදාව විසින් ගලවා රැගෙන ගිය බව ද අවතැන් ගම්වාසීහු ජේඩීඑස් හා ප්‍රකාශ කළහ.

"හමුදාපතිතුමා කිවුවා පැය 24න් ගෙවල්වලට යන්න අවශ්‍ය ආරක්ෂාව ලබාදෙනවා කියලා. දැන් අපිට ආරක්ෂාව දුන්නට වැඩක් තියනවද? අපේ ගෙවල් විනාශ කරන්න මැර කණ්ඩායම් ආව වෙලාවේ, අපි හමුදාවටයි පොලිසියටයි කතා කරලා උදව් ඉල්ලුවා. නමුත් ඒ කිසිම කෙනෙක් ඒ වෙලාවේ ආවේ නෑ. දැන් අපිට යන්න ගෙවල් කෝ?" යැයි ප්‍රහාරයෙන් නිවෙස අහිමි වූ ගම්වැසියෙක් කම්පාවෙන් ප්‍රකාශ කළේය.

මැරයන්ට හමුදා - පොලිස් අනුබල

පසුගිය දින කිහිපය තුළ දී මහනුවර දිස්ත්‍රික්කයේ දිගන හා තෙල්දෙණිය ආශ්‍රිත ප්‍රදේශවල මෙන්ම කටුගස්තොට, අඹතැන්න හා අකුරණ ඇතුළු ප්‍රදේශ ගණනාවක මුස්ලිම් ජනයා ඉලක්ක කරමින්  ක්‍රියාත්මක වු අන්තවාදි සිංහල බෞද්ධ මැර කණ්ඩායම්වල ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැඩි ප්‍රමාණයක් සිදුවූයේ  හදිසි අවස්ථා රෙගුලාසි සහ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන අතරවාරයේදී ය. ගිනි තැබීම්, බෝම්බ ප්‍රහාර එල්ල කිරීම් මෙන්ම ජීවිත හානි සිදුවූයේ ද අදාළ ප්‍රදේශවලට යුධ හමුදාව හෝ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබියදී ය.

මුස්ලිම් විරෝධී හිංසන ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා මහජන ආරක්‍ෂක ආඥා පනතේ දෙවැනි වගන්තියෙන් පැවරෙන බලතල ප්‍රකාරව රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කළ බව අඟහරුවාදා (6) ශ්‍රී ලංකා රජය නිවේදනය කර සිටියේ ය.

නමුත් ඇසින් දුටු සාක්ෂි මෙන්ම අනෙකුත් විශ්වාසනීය ආරංචි මාර්ගවලට අනුව, බොහෝ තැන්වලදී ආරක්‍ෂක අංශ සාමාජිකයන් විසින්  මෙම ප්‍රහාර සිදුකිරීම සඳහා මැර කණ්ඩායම්වලට අනුබල හා අවකාශ සපයා ඇති බව වාර්තා වේ.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.