JDS Sinhala

කඳුරට මුස්ලිම් විරෝධී ප්‍රහාර ගැන මානව හිමිකම් කොමිසම් වාර්තාවේ ප්‍රමාදය ගැන සැකයක්

කිත්සිරි විජේසිංහ විසිනි


මාස නමයකට ඉහතදී මුස්ලිම් ජනයා ඉලක්ක කර මහනුවර දිස්ත්‍රික්කයේ මුදාහල ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව, ජාතික මානව හිමිකම් කොමිසම විසින් පවත්වන ලද සාක්ෂි විභාගයේ පරීක්ෂණ වාර්තාව  ප්‍රකාශයට පත් නොකර  "යට ගැසීමේ"  උත්සාහයක් තිබෙන බවට ප්‍රහාරයට ගොදුරුවුවෝ සැක පළ කරති.

ජාතිවාදී පිරිස් සහ විශේෂ කාර්ය බලකාය ප්‍රමුඛ ආරක්ෂක අංශවල ප්‍රහාරයට ගොදුරුව බරපතල තුවාල ලැබුවන් මෙන්ම එම ප්‍රහාරවලින් ගේ - දොර අහිමි වූ මුස්ලිම් ජාතිකයන් කිහිප දෙනකුම ජේඩීඑස් හා කියා සිටියේ ජාතික මානව හිමිකම් කොමිසම විසින් තමන්ගෙන් සාක්ෂි සහ ප්‍රකාශ ලබාගෙන දැනට මාස අටකට පමණ ආසන්න කාලයක් ගතවී තිබුණද එම වාර්තාව තවමත්  ප්‍රකාශයට පත් නොකර සිටින්නේ  යම් බලපෑමක් හේතුකොට ගෙන නිසා යැයි තමන්ට හැඟෙන බව ය.

විමර්ශන වාර්තාව එම වසරේම  ජුලි මාසයේ ප්‍රසිද්ධියට පත් කරන බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඒ සඳහා සාක්ෂි විමසීමේ කාර්යය කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගමගේ සහ කොමසාරිස්වරුවන් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් 2018 මැයි මස 9 දින සිට 12 දින දක්වා සිදු කරන ලදී.

විශේෂ කාර්ය බලකායේ සෙබළුන් විසින් කරන ලද පහරදීමක් නිසා බරපතල තුවාල ලැබු දිගන, මොහොමඩ් ෆාසීල් ජේඩීඑස් හා ප්‍රකාශ කළේ  මානව හිමිකම් කොමිසම සිය  වාර්තාව ප්‍රසිද්ධ නොකර සිටීම නිසා  යුක්තිය ඉටුවීම පිලිබඳ බලාපොරොත්තුව ගිලිහී යමින් පවතින බව ය.

'කොමිසමටත් ' බය වුණා

"දැන් මාස අටට වැඩියි අපෙන් ප්‍රකාශ අරන්. අපේ පැමිණිලිවලට පොලිසියෙන් සාධාරණයක් ඉටු වුණෙත් නෑ. කිසිම විභාගයක් අද වෙනකන් නෑ. වන්දි දෙනවා කිවුවට අපට නම් කිසිම දෙයක් ලැබුනේ නෑ. මානව හිමිකම් කොමිසමේ වාර්තාව එළියට දැම්මා නම් අපිට බලන්න තිබුණා ඒකේ මොනවද ලියලා තියෙන්නේ කියලා. හැබැයි අපිට දැන්නම් හිතෙන්නේ ඒක එළියට දාන් නැතුව ඉන්නේ කාගේ හරි බලපෑමකටද කියලයි."

මොහොමඩ් ෆාසීල්  වැඩි දුරටත් කියා සිටියේ කොමිසම හමුවේ සාක්ෂි දීම සඳහා ගිය විට එහි නිලධාරින් විසින් කරනු ලැබු ඇතැම් ප්‍රශ්න කිරීම්වලට තමන් ඇතුළු බොහෝ දෙනෙකු බියට පත්වු බව ය.

"ඒ ගොල්ලෝ අපෙන් ප්‍රශ්න ඇහුවේ මේ ප්‍රහාරය හරියට අපි පටන් ගත්ත වගේ. ඔය ගොල්ලෝ ළඟ අයුධ තිබුණද? පොලු තියාගෙන හිටියද? පෙට්‍රල් බෝම්බ ළඟ තිබ්බද? වගේ දේවල් ඒ අය අපෙන් ඇහුවා. අපි සිංහල මිනිස්සුන්ගෙනුයි, හමුදාවෙනුයි හොඳටම ගුටිකාලා,මරණ බයෙන් ඉන්න කොට මානව හිමිකම් කොමිසමත් අපෙන් එහෙම ප්‍රශ්න කරද්දි අපිට මේ පරික්ෂණ ගැන සැකයක් ඇතිවීම අසාධාරණද?",  හෙතෙම විමසීය.

පෙට්‍රල් බෝම්බ බලහත්කාරයෙන් අතට දුන් STF සෙබළුන් පහරදීම පිළිබඳවත්, රෝහල්ගත වු පසු වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර ලබා දීම පමා කිරීම පිළිබඳවත් මොහොමඩ් ෆාසීල් විසින් තෙල්දෙණිය පොලිසියට කරන ලද පැමිණිල්ල පිළිබඳව කිසිම පරික්ෂණයක් සිදුකර නැත.

එහෙත්  විශේෂ කාර්ය බලකාය විසින් ඔහුට එරෙහිව කරන ලද පැමිණිල්ලට අදාළව ගොනු කෙරුණු නඩුව පමණක් අඛණ්ඩව අසනු ලබන බවට ෆාසිල්  ප්‍රකාශ කළේය.

'පරීක්ෂණ ගැන විශ්වාසයක් නෑ'

ප්‍රචණ්ඩකාරින් විසින් සිය නිවස ගිනි තැබීමේදී ඒ තුළ සිරව සිටි තම සහෝදරයා බේරා ගැනීමට ගොස් බරපතල තුවාල ලැබ මාස කිහිපයක් මහනුවර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබු  දිගන සම්සුදින් මොහොමඩ් ෆායස් ගේ බිරිඳ වන මොහොමඩ් හසීනා ද ජේඩීඑස් හා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන කිසිම පරික්ෂණයක්  පිළිබඳව තමන්ට මේ වනවිට විශ්වාසයක් නැති බව ය.

"මගේ මහත්තයාට තවමත් ඇඳෙන් නැගිටින්න බෑ. ඔපරේෂන් කිහිපයක්ම කෙරුවා. මුළු ඇඟේම හම ගැලවි-ගැලවි යනවා. අපි මානව හිමිකම් කොමිසමේ නුවර කාර්යාලයට ගිහින් සාක්ෂි දුන්නා. පොලිසිය අපේ පැමිණිලි භාරගන්න බෑ කියපු එකත් අපි කොමිසමට කිවුවා. අපි හිතුවා මානව හිමිකම් කොමිසමෙන්වත් අපිට සාධාරණයක් ඉටු වෙයි කියලා. දැන් ඒ බලාපොරොත්තුවත් කොහෙත්ම අපිට නෑ. ඇත්තටම අපිට දැන් කිසිම ආයතනයක් ගැන, පුද්ගලයෙක් ගැන විශ්වාසයක් නෑ."

අත් බෝම්බ කිහිපයක් බලහත්කාරයෙන් අතට දී ඒවා තමන්ගේ බව ප්‍රසිද්ධියේ පවසන ලෙස බලකරමින් විශේෂ කාර්ය බලකා සෙබළුන්ගේ පහරදීමට ලක්වු තවත් අයෙක් වන මසුඩ් මොහොමඩ් ෆයිසාල් ප්‍රකාශ කරන්නේ ද පරීක්ෂණ පිළිබඳ තමන්ගේ විශ්වාසය පළුදු වී ඇති බව ය.

"එක පැත්තකින් එස්ටීඑෆ් එක අපිට ගැහුවා. අනෙක් පැත්තෙන් සිංහල මිනිස්සු අපේ පල්ලි, ගෙවල් දොරවල්, කඩවල් ගිනි තියලා දැම්මා. එ්වා සිද්ධ වුණේ පොලිසිය බලා ගෙන ඉන්න අතරේමයි. මේ හැම දේම අපි මානව හිමිකම් කොමිසමට කිවුවා. ඒ ගොල්ලෝ අපෙන් ලිඛිත සාක්ෂිත් ඉල්ලලා අපි අපේ ලඟ තිබුණ හැම දේම දුන්නා. ඒත් වැඩක් වුණාද? දැන් අවුරුද්දක් වෙන්න එනවා. මේ වගේ පරීක්ෂණයක වාර්තාවක් ඉක්මනට එළියට දාන්නේ නැත්තේ ඇයි කියන එක  අපිට නම් හරිම ප්‍රශ්නයක්."

කොමිසමේ ප්‍රතිචාරය

ජේඩීඑස් අවස්ථා කිහිපයකදිම මේ පිළිබඳව ජාතික මානව හිමිකම් කොමිසමේ පරික්ෂණ හා විමර්ශන අංශයේ වැඩබලන අධ්‍යක්ෂක නිහාල් චන්ද්‍රසිරිගෙන් විමසු අතර, ඔහු  පළමුව කියා සිටියේ අවසන් සංස්කරණයෙන් පසුව  පසුගිය වසරේ ජූලි මස අවසන් වීමට පෙර වාර්තාව ප්‍රකාශයට පත් කරන බව ය.

එයින් පසුව  අවස්ථාවක ද ඒ සම්බන්ධයෙන් විමසන ලදුව, ඉදිරි මාසය කිහිපය තුළදි වාර්තාව නිකුත් කරන බව ඔහු සඳහන් කර සිටියේය.

නමුත් වාර්තාව ප්‍රකාශයට පත් කිරීම දිගින් දිගටම ප්‍රමාද වීමට හේතු ලෙස නිශ්චිත යමක් පැවසීමෙන් ඔහු වැළකී සිටියේය.

ප්‍රහාරයෙන් අනතුරුව ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ අවම වශයෙන් දේපල 465ට පූර්ණ හෝ අර්ධ වශයෙන් හානී සිදුව ඇති බව ය.

මානව හිමිකම් කොමිසමේ විමර්ශනයට අමතරව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින්ද  අදාළ ප්‍රහාර පිළිබඳව විමර්ශන සිදුකරන ලද අතර, පසුව එම විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන රීමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි සියලුම සැකකරුවෝ මේ වනවිට ඇප පිට නිදහස් සිටිති.

මහනුවර ප්‍රදේශය නියෝජනය කරන රාජපක්ෂ හිතවාදී පාර්ලීමේන්තු සහ ප්‍රාදේශීය මන්ත්‍රිවරුන් කිහිප දෙනකුටම ප්‍රහාරයේ වගකීම පිළිබඳ චෝදනා එල්ල කෙරුණද ඒ පිළිබඳව කිසිවකුත් අත් අඩංගුවට ගෙන නඩු පවරා නැත.

මහනුවර  දිස්ත්‍රිකය නියෝජනය කරන හිටපු මුස්ලිම්, ආගමික කටයුතු හා තැපැල් අමාත්‍ය මොහොමඩ් හසීම් අබ්දුල් හලීම් ද ප්‍රහාරයෙන්  දින කිහිපයකට පසුව මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා කළේ ප්‍රහාරය සිදුව ඇත්තේ විශේෂ කාර්ය බලකාය ප්‍රමුඛ ආරක්ෂක අංශත්, රාජ්‍ය  නිලධාරිනුත් දැනුවත්ව බව ය.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.