JDS Sinhala

ජූලි මිනිස් සංහාරයේ කතාව IV: 'අද වීදි සරන මැර කල්ලි නුදුරේම නිල හමුදාවන් වනු ඇත'


ජූලි මිනිස් සංහාරයේ කතාව I: ''කඩවල්වල ලොකු යකඩ දොරවල් කැඩුවේ හමුදා ට්‍රක් එකකින්''
ජූලි මිනිස් සංහාරයේ කතාව II: නාග විහාරයට කිසිදු හානියක් නැතැයි විහාරාධිපති කියයි
ජූලි මිනිස් සංහාරයේ කතාව III: ජයවර්ධන පාලනයේ විෂඝෝර දෙමළ විරෝධය

මෙහි පළවන්නේ, Race & Class සඟරාවේ 1984 ගිම්හාන කලාපයේ, Sri Lanka: the story of the holocaust මැයෙන් පළකළ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ (මාඕවාදී) ප්‍රධාන ලේකම්වරයා වූ නාගලිංගම් ශන්මුගදාසන් විසින් ලියූ ලිපියෙහි සිව්වැනි හා අවසන් කොටසයි. ජූලි මාසයේ ඇවිළ ගිය දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ප්‍රහාරයන්ගෙන් තුන් මාසයක් ඇවෑමෙන් ලියන ලද මෙම ලිපිය, ශන් විසින් ඒතාක් ප්‍රවර්ධනය කළ දෙමළ ජනයාගේ ස්වයං නීර්ණ අයිතියට එරෙහි න්‍යායික ආස්ථානයන්ගෙන් බිඳී යාමක්ද සළකුණු කළේය. නැගී එන දෙමළ තරුණ සටන්කාමීත්වය හමුවේ ඇති ඉදිරි දේශපාලන අභියෝග කවරේදැයි යන්න ගැන ස්වකීය තක්සේරුව එම තරුණ පරම්පරාවන්ට සන්නිවේදනය කිරීමේ අභිලාෂයට අමතරව, දකුණේ සිංහල ජනයා අතරින් විප්ලවකාරී බලවේගයන් පැන නැගිනු ඇතැයි යන ප්‍රාර්ථනා පූර්වක ශුභවාදයක් ද ශන් මෙම ලිපිය මගින් බෙදාගත්තේය.

වර්ග නාශක කළු ජූලියට හතළිස් වසක්ද, "පසුතැවිලි රහිත කොමියුනිට්වාදියකු" ලෙස ජීවිතාවසානය තෙක් තමන් හදුන්වාගනු ලැබු ''ශන්'ගේ මරණයට තිස් වසක්ද සපිරෙන මේ වසරේදී මුල්වරට සිංහල බසට පෙරළා පළ කරන ලද මෙම දීර්ඝ ලිපිය, අප පසුකර ආ ලේ වැකි දුර්දාන්ත ඉතිහාස පරිච්ඡේද පිළිබඳ දේශපාලන අවලෝකනයක යෙදීමට අත්‍යවශ්‍ය ආලෝචනාවන් සම්පාදනය කරනු ඇතැයි අපි සිතමු.

පරිවර්තනය: සංජුලා ඕෂිණී පීටර්ස්


සිංහල/බෞද්ධ චින්තනය තුළ තාර්කික සම්ප්‍රදායක් නොමැතිකම සිංහලයන් අතර ඇති බොහෝ අතාර්කික චින්තන සහ ක්‍රියාවලට හේතුව ලෙස දැක්විය හැකිය. බුදුන් තෙවරක් ශ්‍රී ලංකාවට පැමිණි බව සහ ඒ එක් අවස්ථාවක ඔහුගේ පාද ලකුණ සිරීපාදයේ තබා ගිය බවට ආදී වන මිත්‍යා තවමත් පවතියි. මෙම න්‍යාය විවාදයට ලක් කිරීම සඳහා ප්‍රමාණවත් විද්‍යාත්මක විෂයමූලකත්වය සහ ධෛර්යය තිබූ එකම ඉතිහාසඥයා වූයේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පුරාවිද්‍යාඥයා ද වන ආචාර්ය පරණාවිතාන යි.

බුදුදහමේ භූමිකාව

මෙම දිවයින තුළ තම ධර්මය ක්‍රමයෙන් ස්ථාපිත වන බව දැන සිටි නිසා බුදුන් විසින් මිය යාමට පෙර ලංකාවේ ආරක්ෂාව සක්‍රයාට භාර කළ බවත්, බුදුන්ගේ විධානය අනුව සක්‍රයා විසින් විෂ්ණු කැඳවා දිවයිනේ ආරක්ෂාව ඔහුට භාර කළ බවත් තවත් එවන් මිත්‍යාවකි. එවැනි පුරාවෘත ඓතිහාසික කරුණු ලෙස පිළිගැනීමට නැඹුරුතාවක් පවතියි. ක්‍රි.ව. 6 වන සියවසේ දී මහානාම නම් බෞද්ධ හිමිනමක් විසින් රචනා කළ ශ්‍රී ලංකාවේ මහා ඉතිහාස වංශ කතාව වන මහාවංශය වැනි භික්ෂූන් ඉතිහාසඥයන් බවට පත් වූ විට සිදුවන්නේ මෙය යි. ඔහුගේ සියලු මූලාශ්‍ර මහාවිහාර සංඝයා විසින් ආරක්ෂා කරන ලදී. සිංහල බෞද්ධයන්ගේ බොහෝ වර්ගභේදවාදී චින්තනයට වගකිව යුත්තේ මහාවංශය වන නිසා මහාවංශයේ සියලු පිටපත් ගිනි තැබිය යුතු බවට පැවසූ ගෞරවනීය අධ්‍යාපනඥයෙක් වන ඊ. ඩබ්. අදිකාරම්ගේ ලිපිය කියවීමට ලැබීම නැවුම් සුළං දහරක් බඳු විය. (සිංහල ඉරිදා පුවත්පතක් වන රිවිරැස පත්‍රයෙහි 1983 සැප්තැම්බර් 25 දින පළ වූ ඔහුගේ ලිපිය බලන්න)

ශ්‍රී ලංකාවේ බුදුදහම පිළිබඳ අවබෝධ කරගැනීමට ඉතිහාසයේ ඉතා මුල් කාලයේ බෞද්ධ විහාරයේ සිදු වූ නිකාය භේදය සළකා බැලීම අත්‍යවශ්‍ය ය. සියලුම ධර්ම සහ විනය කරුණුවලදී ශ්‍රී ලංකාවේ සියලුම බෞද්ධ හිමිවරු පිළිගත්තේ බෞද්ධ විහාර ආරම්භයේ සිට ස්ථාපිතව තිබූ බවට සැළකෙන මහාවිහාරයේ අධිකාරිය යි. නමුත් ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ මුල් සමයේ අභයගිරි විහාරය නම් නව නිකායක් ස්ථාපිත විය. (පසුව ජේතවනාරාමය මුල් කරගත් තවත් කොටසක් අභයගිරි නිකායෙන් කැඩී ගියේය)

පාඨයන්ගේ සහ අර්ථකථනයන්ගේ නිශ්චිත වෙනස්කම් තිබුණ ද මෙම නිකාය තුනම ථෙරවාද හෙවත් බුදු දහමෙහි සාම්ප්‍රදායික ගුරුකුලයට අයත් වේ. ආචාර්ය පරණවිතාන විස්තර කරන අන්දමට තමාගේම ගැළවීම සඳහා වෙර දරන උත්සාහය සහ සියලු මනුෂ්‍ය වර්ගයාගේ ගැළවීම අතර වෙනස හඳුනාගත් නව ව්‍යාපාරයක් ඉන්දියාවේ බෞද්ධයන් අතර හොඳින් පැතිර ගියේය. එහි අනුගාමිකයෝ දෙවැන්න - මහායාන - ශ්‍රේෂ්ඨතම මාර්ගය ලෙස සැළකූහ. ඔවුන් තමාගේ ගැළවීම සඳහා ක්‍රියා කිරීමේ අරමුණ පහත් ක්‍රියාවක් - හීනයාන - ලෙස හෙළා දුටුවහ.

කෙනකුට පහසුවෙන් බෞද්ධ විහාරයේ මෙම නිකාය සහ ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණ හරහා ගෙන එන ලද රෝමානු කතෝලික පල්ලියේ නිකායයන් අතර සමහර කරුණු සම්බන්ධයෙන් සමානකමක් හඳුනාගත හැක. ප්‍රොතෙස්තන්තවාදීන් මෙන්ම බුදු දහමෙහි මහායාන ගුරුකුලය ද වඩා නිදහස් මතධාරී විය. එම නිසා එය ප්‍රගතිශීලී වූ අතර, ඊට නිර්භීත දාර්ශනිකයන්ව ආකර්ෂණය කරගත්තේය. අභයගිරි විහාරය මහායන ධර්මය අනුගමනය කළ අතර, එය සාම්ප්‍රදායික බුදු දහමෙහි ථෙරවාද ගුරුකුලයේ බලකොටුව බවට පත් වූ මහාවිහාරයේ දැඩි විරෝධයට ලක් විය. මේ අනුව, මහාවිහාරය ශ්‍රී ලංකාව, බුරුමය, සියමය සහ කාම්බෝජයේ 'දකුණුදිග' බෞද්ධයන්ගේ ඉගැන්වීම් ඉගැන්වූ අතර, අභයගිරි විහාරය ඉගැන්වූයේ ඉන්දියානු වෛතුල්‍යවාදයෙන් ඉගෙන ගත් කාශ්මීරයේ, ටිබෙටයේ සහ චීනයේ 'උතුරුදිග' ධර්ම ශික්ෂාවන් ය.

මහා විහාරය සහ අභයගිරි ආරාමය අතර උණුසුම් මතභේදයක් පැන නැඟුණි. මෙම වියරු විවාදය සමහර අවස්ථාවල විරුද්ධ නිකාය මහා පරිමාණ හිංසනයන්ට ලක්කිරීමේ ස්වරූපයක් ගත්තේ ය. - වෝහාරික තිස්ස රජුගේ (ක්‍රි.ව. 215- 237) පාලන සමයේ ආරම්භයේ අභයගිරි විහාරය විසින් තබාගත් වාර්තා ගිනි තබා විනාශ කරන ලදී. - මෙය ඉතා අබෞද්ධ ක්‍රියාවකි. මේ අනුව, මහායාන විහාරය හෙවත් සම්ප්‍රදායවාදී ගුරුකුලය බෞද්ධ චින්තනයේ අභයගිරි ගුරුකුලය සම්පූර්ණයෙන්ම පරාජය කළේය. අවාසනාවන්ත ලෙස ජයගත්තේ ථෙරවාද බුදු දහමෙහි හීනයාන ධර්මය යි. ශ්‍රී ලංකාවේ බෞද්ධ චින්තනයෙහි බුද්ධිමය නිශ්චලනයක් ඇති වූයේ මින් පසුවය. ස්පාඤ්ඤ විමර්ශනාධිකාරිය (Spanish Inquisition) යටතේ සිදු වූ අයුක්තීන් සිහිපත් කරගනිමින් ගනිමින්, ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණ කුඩුපට්ටම් කර දැමුවේ නම් යුරෝපයේ බුද්ධිමය වාතාවරණයට කුමක් සිදුවිය හැකිව තිබුණේද කියා සිතන්න. ශ්‍රී ලංකාවේ සිදුවූයේ එය යි.

ධනාත්මක කාර්ය භාරයක් ඉටුකළ යම් අවස්ථා තිබුණ ද, ශ්‍රී ලංකා දේශපාලනය තුළ බෞද්ධ භික්ෂූන්ගේ කාර්යෙභාරය විශාල වශයෙන් නිශේධනීය සහ ප්‍රතිගාමී එකකි. කැපී පෙනෙන කුඩා පිරිසක් හැරුණුකොට බෞද්ධ භික්ෂූහු නූගත් සහ අඥාණ පිරිසක් වෙති. ඔවුහු දෙමළ බස පවා ඉගෙන නොගනිති. පටු මානසිකත්වයකින් හෙබි, නිකායවාදී හා අන්තරාවර්තී වන ඔවුහු බුද්ධාගම හඳුනාගන්නේ සිංහල ජාතිය සමඟ ය. වඩාත් ජනකාන්ත අගමැතිවරයාගේ ජීවිතය අවසන් කළේ කසාවතින් සැරසුණු බෞද්ධ භික්ෂුවක් බවත්, තවත් භික්ෂුවක් එම අපරාධයට කුමන්ත්‍රණය කිරීමට වරදකරු වී සිරදඬුවම් නියම වීමත් (ඔහු එහිම මිය ගියේය) හුදු අහම්බයක් නොවේ.


මෑත කාලීන කෝලහාල අතර බෞද්ධ භික්ෂූන් එක් අයකුට වඩා වැඩි ගණනක් සිවුරු ඔසවාගෙන සාහසිකයන් මෙහෙයවමින් සිටිනු දක්නට ලැබීමේ පුදුමයක් නැත. කෝලහාල අතර ජනපති ජයවර්ධනට වර්ගවාදීන් සන්සිඳුවීම සඳහා උග්‍ර දෙමළ විරෝධී භික්ෂුවක් වූ ඇල්ලේ ගුණවංශගේ සහය පැතීමට සිදු වූ බවට ද කටකතා පැතිර ගියේය. ඔහුව ජනපති ජයවර්ධනව බැහැදැකීමට රැගෙන ආවේ අමාත්‍ය ගාමිණී දිසානායක විසිනි.

උතුරට දහසක සිංහල හමුදා

කොළඹ වජිරාරාමයේ විහාරධිපති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ හිමි ආදී හිමිවරු අනෙක් භික්ෂූන්ගේ නග්න වර්ගවාදය වසන් කරනු වස් දුබල බුද්ධිමය ආවරණයක් සැපයූහ. දිවයිනේ උතුරේ සහ දකුණේ පිහිටි බෞද්ධ සිද්ධස්ථාන සහ විහාර 261ක් තරම් ගණනක් දෙමළ ජනයා විසින් විනාශ කර ඇති බවට ඔහු චෝදනා කරන බව 1983 සැප්තැම්බර් 15 India Today පුවත්පත උපුටා දැක්වීය. ඇත්තෙන්ම ඔහු ඊට කිසිම සාක්ෂියක් ඉදිරිපත් නොකළේය. 'අපේ සත්කාරක ගුණය හේතුවෙන් දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ට නැවතී සිටීමට ඉඩදීම නිසා අපිට ගෙවන්නට සිදු වූ මිල මෙයයි. අපි දෙමළුන්ට දිවයිනේ ඕනෑම තැනක නැවතීමටත්, කොටින්ම අන්තර් විවාහ කරගැනීමටත් ඉඩ දුන්නෙමු. 1977 දී කොළඹ ලක්ෂයකට අධික දෙමළුන් සිටි නමුත් උතුරේ සිටියේ සිංහල සොල්දාදුවන් දහස් ගණනක් පමණි.' යනුවෙන් ඔහු පැවසූ බව එහි උපුටා දක්වා ඇත. පඤ්ඤාසීහ උතුරට දහසක සිංහල හමුදාවක් යැවිය යුතු බවට වන ඉල්ලීම මතු කළ මුල්ම කිහිපදෙනා අතර සිටියේය. - බෞද්ධ භක්තිය සහ දයාව ගැන කියන්නට ඒ සිදුවීම ඇති ය.

දිළිඳු ග්‍රාමීය භික්ෂූන් හැරුණුකොට, ශ්‍රී ලංකාවේ භික්ෂූහු බුදුන් වදාළ පරිදි භෞතික සම්පතින් මිදුණු සරල දිවියක් නොගෙවති. ඔවුහු බොහෝදෙනා ධනවත් සූරාකන්නෝ වෙති. මෙම ප්‍රවණතාවය පටන්ගත්තේ ශ්‍රී ලංකාවේ බුදු දහමෙහි මුල් කාලයේදීම ය. වට්ට ගාමිණී (ක්‍රි.ව. 102-103 සහ ක්‍රි.ව. 89-77) සමයේ සිට සිංහල රජවරු සංඝයාට ආදයම් ලබාගැනීම සඳහා විහාරවලට ඉඩම් ප්‍රදානය කිරීමේ සම්ප්‍රදාය හඳුන්වාදුන්හ. සංඝයා භෞතික ඇලීම් ගැලීම්වලින් නිදහස් විය යුතු වූ නිසා මෙය බුදු දහමෙහි මූලධර්මයන්ට සපුරා පටහැණි විය. පිටුවහලේ සිටියදී තමන්ට උපකාර කළ භික්ෂූන්ට කෘතඥතාවය පළ කිරීම සඳහා වට්ට ගාමිණී මෙම සම්ප්‍රදාය හඳුන්වා දුන්නේය. අනෙක් රජවරු සංඝයාගේ පක්ෂපාතීත්වය දිනාගනු වස් මෙම සම්ප්‍රදාය අඛණ්ඩව පවත්වාගෙන ආහ. සංඝ සමාජයට යහපත් ජීවිතයක් සහතික කළ බැවින්, සංඝයාට ද්‍රව්‍යමය ප්‍රතිලාභ ලබාදීම එහි සංඛ්‍යාව වැඩිවීමට හේතු විය. - මෙය බුදුන්ගේ ඉගැන්වීම්වලට බොහෝ දුරස් ය. ඒ අනුව මෙම භික්ෂූහු කිසිම ඵලදායි දෙයක් නොකරන නමුත් තමන්ගේ අවශ්‍යතා සියල්ල සැපිරෙන සමාජයේ පරපෝෂිතයන් බවට පත්වූහ. මහායාන නිකායේ හිමිවරු ඵලදායි ස්වභාවයකින් ශ්‍රමය වැගිරූ නිසා එම ශාසනයට මෙම ඉරණම අත්වූයේ නැත.

මේ අනුව, සංඝයා බොහෝ දුරට ශ්‍රී ලංකාවේ රඟ දැක්වූයේ නිෂේධනීය භූමිකාවකි. සිංහලයන්, එසේත් නැත්නම් ඔවුන් අතරිනුත් බෞද්ධයන් සංඝයාගේ අධිපතීත්වයෙන් සහ ගුරුහරුකම්වලින් නොමිදෙන තාක් අනාගතය අඳුරු වනු ඇත. සැබවින්ම, සිංහල බෞද්ධකම යන සංකල්පය බුදු දහමෙහි මූලික මූලධර්මයන්ට පටහැනි ය. බුදුන් ශ්‍රී ලාංකිකයෙක් නොව ඉන්දියානුවෙක් බව 'සිංහල' බෞද්ධයන් පිළිගන්නේ හෝ දන්නේ දැයි කෙනෙක්ට සිතේ. දේශපාලනය ආගමෙන් වෙන් නොකරන තාක් ශ්‍රී ලංකාවට අනාගතයක් නැත.

විසඳුමක්

දෙමළ ජනයාට අවශ්‍ය කුමක්ද? ඔවුන්ට දෙමළ භාෂාව ජාතික භාෂාවක් ලෙසත් පරිපාලන භාෂාවක් ලෙසත් භාවිතා කිරීමට අවශ්‍ය ය. 1955ට පෙර ඉංග්‍රීසි භාෂාව වෙනුවට සිංහල සහ දෙමළ භාෂා ආදේශ කළ යුතු බවට සියලු දේශපාලන පක්ෂ පිළිගෙන තිබුණි. දෙවනුව, ඔවුන්ට තම දරුවන්ට දෙමළ බසින් අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය ය. තෙවනුව, ඔවුහු සංස්කෘතික ස්වයාත්තතාව අපේක්ෂා කරති. සිව්වනුව, එවිට ඔවුන්ගේ ජනතාවට ප්‍රමාණවත් රැකියා අවස්ථා සොයාගත හැකි වන නිසා ඔවුන්ට දෙමළ ප්‍රදේශවල ආර්ථික සංවර්ධනය අවශ්‍ය ය. පස්වනුව, ප්‍රදේශයේ වාර්ගික ස්වරූපය වෙනස් කිරීමේ අරමුණෙන් රාජ්‍ය විසින් සිදු කරන බලහත්කාරී ජනපදකරණය නැවැත්වීමට ඔවුන්ට අවශ්‍ය ය. මෙම අවසන් කරුණට අදාළව, ඔවුන් විරුද්ධ වන්නේ රාජ්‍ය අනුග්‍රහාකත්වයෙන් සිදුකෙරෙන ජනපදකරණයට මිස තනි පුද්ගලයන් ඉඩම් මිලදී ගෙන පදිංචිවීමට නොවන බව පෙන්වා දිය යුතුමය.

දෙමළ ජනයා වෙනම ඊළම් රාජ්‍යයක් ඉල්ලා සිටියේ මෙම ඉල්ලීම් ඒකීය රාජ්‍යයක් තුළ යථාර්ථයක් ලෙස සාක්ෂ්‍යාත් කරගත නොහැකි බව ඔවුන්ට දැනුණු හෙයිනි. එහෙත්, ෆෙඩරල්වාදය වැනි සාධාරණ විකල්පයක් යෝජනා කළහොත් ඔවුන්ට නැවත ජනතාව වෙත ගොස් නව ජනවරමක් ලබා ගත හැකි බව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයා ප්‍රකාශ කර තිබේ. සාකච්ඡා ආරම්භ වීමට නම් ඔවුන් ඊළම සඳහා වන ඉල්ලීම අත්හැරිය යුතු බවට බලකිරීම ආණ්ඩුවේ පැත්තෙන් මුරණ්ඩුකමකි. ආණ්ඩුව පූර්ව කොන්දේසි රහිතව සාකච්ඡා කිරීම අනිවාර්ය වේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල ප්‍රධාන වශයෙන් දෙමළ ප්‍රදේශවලට ෆෙඩරල්වාදය හෝ කලාපීය ස්වාධීනතාවය ප්‍රදානය කළ යුතු ය. එම අවස්ථාවේදීම ආණ්ඩුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම, එම පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවාගෙන ඇති සියලු දෙනා නිදහස් කිරීම, පොදු සමාවක් ප්‍රදානය කිරීම, උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් හමුදාව ඉවත් කිරීම කළ යුතුය. මෙය විසඳුමක මූලික පදනම විය යුතුය.

එහෙත් බහුතරය වතු කම්කරුවන් වන මෑත ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනයාගේ ප්‍රශ්නය වෙනස් ස්වභාවයකින් යුක්ත එකකි. වතුකරය තුළ වහල් සේවයේ යෙදීම සඳහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් මෙහි රැගෙන ආ ඔවුන්ට යටත් විජිත රජය (ඉතා නරක තත්ත්වයන් යටතේ වුවද) අවම භෞතික ආරක්ෂාවක් ලබාදුන්නේය. බලයට පත් වූ ශ්‍රී ලංකා ආණ්ඩුවලට මෙයවත් සැපයිය නොහැකි බව නැවත නැවතත් සිදුවන වර්ගභේදවාදී කෝලහාල මගින් පෙන්වා දී තිබේ. ඉන්දියානු සම්භවයක් සහිත වතු කම්කරුවන් ආසන්න වශයෙන් 180,000ක් වතුකරයෙන් බලහත්කාරයෙන් ඉවත් කරනු ලැබ ඇති අතර, ඔවුහු උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉබාගතේ සැරිසරති. ආණ්ඩුව ඔවුන්ට පදිංචි වීම සඳහා ඉඩම් ලබාදිය යුතු ය. වතු ආර්ථික කක්‍ෂයෙන් කැඩී ගොස් ස්වයං රැකියා නියුක්තිකයන් වූ 25,000ක් පමණ වන වතු කම්කරුවන්ව දැන් පෙරළා වතුකරයට පලවා හැර තිබේ.

මෑත ඉන්දියානු සම්භවයක් ඇති වතු කම්කරුවන්ගේ ප්‍රශ්නය හුදු යටත්විජිත උරුමයක් ලෙස සරලව බැහැර කළ නොහැක. මෙම කම්කරුවන් මුලින්ම බ්‍රිතානීන් විසින් රැගෙන විත් කන්ද උඩරට ප්‍රදේශයේ ඇතහැර ගිය බව නිසැක සත්‍යයක් වුවද, ශ්‍රී ලාංකික ධනපතියෝ මෙම ලාභ සහ යටහත් ශ්‍රමය තවදුරටත් තබා ගැනීමේ වටිනාකම දුටහ. 1920 ගණන්වල සංක්‍රමණය වීම නැවැත්වීමට ඉන්දීය ආණ්ඩුව තර්ජනය කළ විට, ඊට විරුද්ධව ආයාචනය කිරීමට ලංකා ජාතික කොංග්‍රසයේ නියෝජිතයෙක් දිල්ලියට ගියේය. ඔවුහු සාර්ථක වූහ.

ශ්‍රී ලංකාවට ඉන්දියානු ශ්‍රමිකයන් බඳවාගැනීමේ ප්‍රතිපාදන වෙනුවෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාව සෑම වසරකම මුදල් අනුමත කළේය. මෙය 1940 වනතුරුම අඛණ්ඩව සිදුවිය. එම නිසා, ඩී.එස්.සේනානායක, එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක ආදී අපේ සියලු සිංහල නායකයෝ මෙම කම්කරුවන්ව ශ්‍රී ලංකාවේ රඳවා ගෙන ඔවුන්ගේ ශ්‍රමය සූරාකෑමට දායකත්වය දක්වා ඇත්තාහ. ඔවුන්ව දැන් හප මෙන් ඉවත විසි කළ නොහැක. මේ රටේ අන් කිසිම දෙයකට වඩා ශ්‍රී ලංකාව තේවලින් සශ්‍රීක කරන ලද්දේ මෙම කම්කරුවන්ගේ වෙහෙස මහන්සියෙන් වන නිසා සිංහල නායකයන්ට ඔවුන් පිළිබඳ වගකීමෙන් මුක්ත විය නොහැක.

ජනාධිපති ජයවර්ධන 1982 දී නොබැඳි ජාතීන්ගේ සමුළුව සඳහා නව දිල්ලියෙහි සිටින විට, රාජ්‍යයක් නැති සියලුම ජනතාවට ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාදෙන බවටත් රටක් නැතිකම අවසන් කරන බවටත් පොරොන්දුවක් දුන්නේය. ඔහු ලවා එම පොරොන්දුව ඉටු කරවා ගත යුතුය.

ඉන්දීය සම්භවයක් ඇති වතු කම්කරුවන් අතර බොහෝමයක් අනාරක්ෂිතභාවයන්ට හේතු වූයේ ගාමිණී දිසානායක වැනි ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමතිවරුන් විසින් සිදුකළ වර්ගභේදවාදී කතාවල ස්වභාවය යි. ගාමිණී දිසානායක, තොණ්ඩමාන්ගේ CWC සමඟ සංඛ්‍යාත්මක බලයෙන් හෝ තරඟ වැදුණු එක්සත් ජාතික පක්ෂයේ ලංකා ජාතික වතු කම්කරු සංගමයෙහි සභාපතිවරයා විය.

මෑතක, 1983 සැප්තැම්බර් 5 දින කොළඹ සිරිකොත මූලස්ථානයේදී ගාමිණී දිසානායක ලංකා ජාතික වතු කම්කරු සංගමයේ විධායක කමිටුව ඇමතීය. ඔහුගේ කතාවෙන් උපුටා ගත් කොටස් කිහිපයක් මෙහි දැක්වේ:

"අදත් තොණ්ඩමාන් පාර්ලිමේන්තුවේදී අමිර්තලිංගම් මහතාට සහ තම අයිතිවාසිකම් උදෙසා උතුරේ ජනයා සිදු කරන අරගලයට සහය පළ කරමින් අදහස් දක්වා තිබේ. අපේ බෞද්ධ හිමිවරු සහ සිංහල තරුණයෝ මින් කෝපයට පත් වී ඇත. අපි ඉතා අපහසුවෙන් ඔවුන්ව සන්සුන් කළෙමු.

"ඔබට පහර දුන්නේ කවුද? සිංහලයන්. ඔබව ආරක්ෂා කළේ කවුද? සිංහලයන්. ඔබට පහර දිය හැක්කේත් ඔබව ආරක්ෂා කළ හැක්කේත් අපිට යි.

"ඔවුන් ඉන්දියාවෙන් හමුදාවක් රැගෙන එනු ඇත. ඉන්දියාවේ සිට පැමිණීමට පැය 14ක් ගත වනු ඇත. විනාඩි 14කින් අපට මේ රටේ ජීවත්වන සෑම දෙමළෙකුගේම ලේ මේ බිමට පූජා කළ හැකිය.

"ඉන්දීය දෙමළෙක් ද, යාපන දෙමළෙක් ද, මඩකලපු දෙමළෙක් ද, කඳුකර දෙමළෙක් ද, හින්දු දෙමළෙක් ද, ක්‍රිස්තියානි දෙමළෙක් ද කියා කිසිවකුගේ නළලේ කොටා නැත. සියලු දෙනා දෙමළුන් ය.

"අපි කැළෑ එළි කර මන්නාරම ඇතුළු දිස්ත්‍රික්ක හතරක සිංහල ජනපද ඇති කිරීමට තීරණය කර අත්තෙමු. බහුතරයක් සිංහලයන් එහි පදිංචි කෙරෙනු ඇත. ඔබ කැමති නම් ඔබටත් සංක්‍රමණය විය හැක."

ත්‍රස්තවාදය ආවේ කොහෙන්ද?

උතුරේ ත්‍රස්තවාදී ව්‍යාපාර යැයි හඳුන්වනු ලබන ඒවා සම්බන්ධයෙන් සඳහනක් නොකර මට මේ කතාව අවසන් කළ නොහැක. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් මාක්ස්වාදී-ලෙනින්වාදී ආකල්පය ඉතා පැහැදිලිය. අපි එයට සහය නොදක්වන්නේ එය මූලධාර්මිකව මහජනයා කෙරෙහි විශ්වාස නොතබන රෝමෑන්තික සහ සුළු ධනේෂ්වර දෘෂ්ටිවාදය මත පදනම්ව තිබීම නිසා ය. බිහිසුණු බාධාවන් ප්‍රාතිහාර්යයන් මගින් අභිබවා යාමට අපේක්ෂා කරන මැරවර Three Musketeers* වර්ගයේ ත්‍රාසෝන්මාදවාදී නිර්භීතකම් මත එය මූලික වශයෙන් විශ්වාසය තබයි. එමගින්, මහජන සහයෝගයක අවශ්‍යතාවය නොමැතිව තනි පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් කරගෙන යා හැකි හා නිර්ධනීන්ගේ සහාය ලබා ගැනීමෙන් තොරව සතුරන් විනාශ කළ හැකි ක්‍රියාමාර්ගයන්ට පක්ෂව අදහස් පැතිරවීය.


නමුත්, ඒ අතරම ත්‍රස්තවාදය යන සංසිද්ධිය එය පැනනැඟුණු සන්දර්භය තුළ තබා විමසා බැලිය යුතු ය. අපට ත්‍රස්තවාදය සමස්තයක් වශයෙන් සම්පූර්ණයෙන්ම හෙළා දැකිය නොහැක. එසේ නොමැති වුවහොත් අපි පලස්තීන විමුක්ති සංවිධානය (PLO) ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හෙළා දකින ඊශ්‍රායෙල්වරු මෙන් වනු ඇත. යාපනයේ සන්නද්ධ තරුණයන්ව ත්‍රස්තවාදය වෙත ගෙන ගියේ මර්දනය සහ හිංසනය අභ්‍යාස කිරීමේ අරමුණෙන් ආණ්ඩුව විසින් උතුරට යවන ලද මූලිකව සිංහල වූ හමුදාවේ මර්දනකාරී සහ හිංසාකාරී ක්‍රියාමාර්ග විසිනි. ඔවුන්ගේ ක්‍රියාවන් යුක්තියුක්ත වේ. ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්නය ජාත්‍යන්තරීකරණය කර දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ කෙරෙහිත් ශ්‍රී ලංකාව තුළ පමණක් නොව, මුළු ලෝකයෙන්ම පිළිගැනීමක් සහ සහයක් දිනා දෙන ලද්දේ ඔවුන්ගේ ක්‍රියාමාර්ගවලින් මිස දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙහි ක්‍රියාමාර්ග විසින් නොවේ. ඔවුන්ගේ සාර්ථකත්වයට හේතුව ඔවුන්ට මෙතෙක් දෙමළ ජනයාගෙන් ලැබී ඇති සොය යි.

ඔවුන් මෙතැනින් යන්නේ කොතැනටද? ඔවුන් ජනතාවගෙන් ඔවුන්ව දුරස් කරවන ක්‍රියාමාර්ගවලට අවතීර්ණ නොවී සිටිය යුතුවා පමණක් නොව, මෙය ජනතාවගේ සටන් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමට කඩිනමින් පියවර ගැනීමද කළ යුතු ය. ඔවුන් ආයුධ අතට ගැනීම නිවැරදි ය. ලෙනින් පවසන පරිදි, 'ආයුධ භාවිතා කිරීමට, ආයුධ අත්පත් කරගැනීමට වෙර නොදරන පීඩිත පන්තියක් සුදුසු වන්නේ වහලුන් ලෙස සැලකුම් ලැබීමට පමණි...' නමුත්, මෙය සිදු කිරීමෙන් පසු, ඔවුන් එය ජනතා ව්‍යාපාරයක් බවට වර්ධනය කළ යුතුය. ඔවුන් කිසිවිටෙක එය අධි රහසිගත සංවෘත සංවිධානයක් බවට පත් නොකළ යුතුය. ඔවුහු ජනතාව තුළ තම පදනම සකසා ගත යුත්තාහ.

ඔවුන් දැන් මුළු මහත් ජනතාවම සම්බන්ධ කරගත යුතුය; එසේම, එම අවස්ථාවේම දකුණේ විප්ලවකාරි බලවේග සමඟ සම්බන්ධ විය යුතුය. මතුපිටින්, අද දකුණේ කිසිදු විප්ලවකාරී ව්‍යාපාරයක් නැත. එහෙත් මෙම තත්වය වෙනස් වනු ඇත. නරක අතට හැරෙමින් පවතින ආර්ථික අර්බුදය, ඉක්මණින් විප්ලවකාරී ස්වරූපයක් ගනු ඇති පන්ති අරගලයකට තුඩු දෙනු ඇත.

උතුරු සහ නැගෙනහිර වර්ධනය වෙමින් පවතින විවිධ තරුණ සන්නද්ධ කණ්ඩායම් ඔවුනොවුන් අතර ගැටුම් ඇතිකර ගැනීම නවත්වා පොදු සතුරාට එරෙහිව එක්සත් විය යුතුය. එසේ නොවුවහොත් ඉන් ප්‍රයෝජන ලබනු ඇත්තේ සතුරා ය. (මේ සාකච්ඡාව අතර මම 'කොටි' යන යෙදුම යොදාගත්තේ පොදු යෙදුමක් වශයෙන් මිස එක් විශේෂිත කණ්ඩායමක් හැඳින්වීමට නොවේ.)

ශ්‍රී ලංකාව වර්ගවාදී මාවතේ ෆැසිස්ට්වාදය කරා ඇදී යමින් පවතියි. අපි දැනටමත් හිට්ලර් පැවසූ මහා ජාතිය පිළිබඳ න්‍යායන්ට සහ එහි යටින් දිවෙන විපත්තිදායක යටි ස්වරයට සවන් දෙමින් සිටිමු. හිට්ලර්ගේ හමුදාවේ (Storm Troopers) අපේම අනුවාදයක් පවා දැන් අපට තිබේ. 1983 ජූලි-අගෝස්තු මාසවලදී වීදිවල සැරිසැරූ නිලනොලත් මැර කල්ලි නුදුරේම නිල තත්වයට පත් කර හමුදා පුහුණුව ලබා දීමට නියමිත ය. ජාතික සේවය සහ ස්ථිර ග්‍රාමාරක්ෂක සේනා ස්ථාපිත කිරීම පිළිබඳ කතා කිරීමේ තේරුම එයයි. සියලු විරුද්ධවාදීන් නිහඬ කරනු ඇත. වැඩ කරන පන්තිය සහ ප්‍රගතිශීලී බලවේග තත්වයන් නිවැරදිව කියවා ගෙන ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ග නොගන්නේ නම් අපි දැන ගැනීමටත් පෙර ෆැසිස්ට්වාදය අප අතරට රිංගාගනු ඇත. ශ්‍රී ලංකාවේ අනාගතය රඳා පවතින්නේ උතුරේ සහ දකුණේ විප්ලවකාරී බලවේගවල එක්සත්කම මත ය.☐

*Three Musketeers - ප්‍රංශ සාහිත්‍යධර ඇලෙක්සෝන්ද්‍ර ද්යුමාගේ එනමින් ඇති නවකතාවේ එන චරිත හා සෝපාහාසාත්මක සැඳහුමකි.

එන්. ෂන්මුගදාසන්


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.