JDS Sinhala

ජූලි මිනිස් සංහාරයේ කතාව II: නාග විහාරයට කිසිදු හානියක් නැතැයි විහාරාධිපති කියයි


ජූලි මිනිස් සංහාරයේ කතාව I: ''කඩවල්වල ලොකු යකඩ දොරවල් කැඩුවේ හමුදා ට්‍රක් එකකින්''

ලංකා කොමියුනිස්ට් පක්ෂයේ (මාඕවාදී) ප්‍රධාන ලේකම්වරයා වූ නාගලිංගම් ශන්මුගදාසන් විසින් 1983 ජූලි මාසයේ ඇවිළ ගිය දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ප්‍රහාරයන්ගෙන් තුන් මාසයක් ඇවෑමෙන් ලියන ලද Sri Lanka: the story of the holocaust මැයෙන් වූ මෙම ලිපිය මුල්වරට පළ වූයේ Race & Class සඟරාවේ 1984 ගිම්හාන කලාපයේ ය. දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ජූලි ප්‍රහාරයන්ට හතළිස් වසක් සම්පූර්ණ වන මේ වසරේදී මුල්වරට සිංහල බසට පරිවර්තනය කෙරුණු මෙම ලිපියේ පළමු කොටස ඉකුත් සතියේ පළ කෙරුණි.

මෙහි පළවන්නේ එහි දෙවැනි කොටසයි.

පරිවර්තනය: සංජුලා ඕෂිණී පීටර්ස්


සිදු වූ දේපළ හානි පිළිබඳව නිවැරදි ඇස්තමේන්තුවක් කිරීම දුෂ්කර ය. (විශේෂයෙන්ම විශාල වශයෙන් හානි සිදුවුණු වතුකරය වැනි කොළඹින් බැහැර ප්‍රදේශවල කෙතරම් හානියක් සිදු වීදැයි නිවැරදිව ගණන් බැලුවේද යන්න සැක සහිත ය). මුදල් ඇමතිවරයාගේ ඇස්තමේන්තුව අනුව ප්‍රචණ්ඩත්වය පැවති සතිය තුළ කර්මාන්තවලට සිදු වූ හානිය රුපියල් මිලියන 2000කට වඩා වැඩි ය. ඔහුගේ ඇස්තමේන්තුව අනුව පුනරුත්ථාපනය සඳහා වැයවන මුළු වියදම රුපියල් මිලියන 4000කි. අගමැතිවරයාට අනුව කොළඹ කොටුව වෙළඳ ප්‍රදේශය තුළ දේපළ 442ක් විනාශ වී හෝ දැඩි ලෙස හානි වී හෝ තිබුණි.

දිවයිනේ ප්‍රමුඛතම කර්මාන්තකරුවන් තිදෙනාට වූ බලපෑම ගැන India Today විස්තර කරයි:

'රෙදිපිළි කර්මාන්තය, චිත්‍රපට බෙදා හැරීම සහ ප්‍රවාහන කර්මාන්තයෙහි දැවැන්තයෙක් වූ කේ. ගුණරත්නම්, පදික වේදිකා වෙළෙන්දෙක් ලෙස ජීවිතය ආරම්භ කර St. Anthony's Hardwares, Syntex හා Asian Cotton Mill නම් ප්‍රධාන නිෂ්පාදන සමාගමක් පාලනය කිරීම දක්වා ඉහළ නැඟි නිදහස් වෙළඳ කලාපයේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක්ව සිටි ඒ.වයි.එස්. ඥානම්, සහ රූපලාවණ්‍ය නිපැයුම් නිෂ්පාදනය කිරීම, වෙළඳාම් කිරීම හා ආනයනය කළ බඩු බෙදා හැරීමේ යෙදුණු, මහවැලි ව්‍යාපෘතියේ විශාල කොටස් සඳහා කොන්ත්‍රාත්කරුවෙක් වූ ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපාර සමූහයක හිමිකරු වූ රාජමහේන්ද්‍රන් මහරාජා. හයිඩ්‍රාමනී හා ජැෆර්ජී සමඟ, පසුගිය වසර 50 පුරා ශක්තිමත්ව ස්ථාවරව සිටි හින්දි සහ බෝරා ව්‍යාපාරිකයන්ට ඇතුළුව කර්මාන්තවලට සිදු වූ සමස්ත හානිය ශ්‍රී ලංකා රුපියල් මිලියන 2000ක් (රු. කෝටි 800ක්) බවට ඇස්තමේන්තු කර තිබේ. ’ (1983 අගෝස්තු 31)

හානියට පත් වූ කර්මාන්ත 116ක් සතුව රුපියල් මිලියන 800ක් වටිනා අපනයන ඇණවුම් තිබූ බව සහ රුපියල් මිලියන 650ක් වටිනා අපනයන ආදායම් අහිමි වූ බවට හානිය තක්සේරු කිරීම සඳහා පත්කරන ලද කාර්ය සාධක බලකාය හෙළි කරන ලදී. මෙයට රෙදිපිළි, නිමි ඇඳුම්, රබර් හා සම් නිෂ්පාදන, පොල්තෙල්, වියළන ලද පොල්, පළතුරු ටින් කිරීම සහ නළ ආදි රටේ ප්‍රධාන ආදායම් උපයන අංශ ඇතුළත් විය. යන්ත්‍රෝපකරණ, කම්හල් සහ උපකරණ ප්‍රතිස්ථාපනය කිරීමට පමණක් රුපියල් මිලියන 1750ක් අවශ්‍ය වන බව කාර්ය සාධක බලකාය පැවසීය.

100,000ක් දෙනා නිවාස අහිමි අනාථයන් බවට පත් කරමින් නිවාස නිවාස 18,000කට හානි සිදු විය. වින්දිතයන්ට ඇඳුම් සැපයීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 5.5ක් ද වෙනත් රෙදිපිළි සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 5.05ක් ද අවශ්‍ය විය.

ශ්‍රී ලංකාවේ කෘෂි-ආර්ථිකයේ ත්‍රිපාදය ලෙස හඳුන්වනු ලබන තේ, පොල්, රබර් අතරින් වැඩියෙන්ම හානි වූයේ තේ කර්මාන්තයට යි. රුපියල් මිලියන 50ක වටිනාකමින් යුත් තේ තොග දැවී හළුවී ගියේය. මේ අතරින් බහුතරය රාජ්‍ය වැවිලි සංස්ථාවට සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට අයත් විය.

රබර් අපනයනකරුවන් දෙදෙනකුට රුපියල් මිලියන 2.8ක් වටිනා තොග අහිමි වූ අතර, සුප්‍රසිද්ධ තැරැව්කාර සමාගක ගබඩාවක් දැවීයාමෙන් එයට රුපියල් මිලියන 1.6ක් අහිමි විය. එක් රබර් නිෂ්පාදකයෙකුගේ කර්මාන්තශාලාව ගිනිබත් කෙරුණි. පෑලියගොඩ-වත්තල ප්‍රදේශයේ පිහිටි විනාශ කරන ලද තෙල් මෝල් නවයක රුපියල් මිලියන 60ක් වටිනා පොල්තෙල් සහ කොප්පරා තොග තිබුණි.

කවුරුන්ද සහ ඇයි?

මෙය සිදුවූයේ කෙසේද? 'මම පර පණ නැසීමෙන් වළකිමි' යි කරුණාව සහ නිර්-ප්‍රචණ්ඩත්වය පිළිබඳ බුදුදහමෙහි මූලධර්මවලින් පෝෂණය වූ ජනතාවක් එක්වරම වියරු වර්ගභේදවාදී රණකාමීන් බවට පත් වී, තමන් නාඳුනන, වෙනත් වර්ගයකට අයත් සහ වෙනස් භාෂාවක් කතා කිරීම හැර කියන්නට අන් කිසිදු නෝක්කාඩුවක් නොතිබුණු පුද්ගලයන්ව නිරපරාදේ මරා දැමීම ආස්වාදනය කළේ කෙසේද?

තමන්ගේ දෑත් යොදාගත්තේ සිංහල ජනයා සුවපත් කිරීම සඳහා යැයි පවසද්දීත් කිරිබත්ගොඩ මංසන්ධියේ දී දෙමළ වෛද්‍යවරයෙක් ඔහු ගමන් කරමින් සිටි ගිලන් රථයෙන් එළියට ඇද සතෙක් මෙන් මරාදමා ගිනි ගනිමින් තිබූ වාහන ගොඩකට දමා එතැනම පුළුස්සා දමන ලදී. එවන් සදාචාරාත්මක පිරිහීමක් ඔබ පැහැදිලි කරන්නේ කෙසේද?


යාපනයේ දී සිංහල සොල්දාදුවන් දහතුන්දෙනා මරා දැමීම මේ සියල්ලට හේතු වූ බවට සමහරු තර්ක කරති. එහෙත් හේතුව එය නොවේ. එය දෙමළ සුළුතරයේ ප්‍රශ්නය විසඳීමට අපොහොසත් වීමේ ප්‍රතිඵලයකි. පලස්තීන ජනයා පළවා හැරීම සඳහා කල්තියා හොඳින් සැලසුම් කර ඊශ්‍රායලය විසින් ලෙබනනය ආක්‍රමණය කිරීම සඳහා 1982 ජූනි මස ඊශ්‍රයාල රාජ්‍යතාන්ත්‍රිකයෙකුගේ ඝාතනය නිදහසට කරුණක් ලෙස යොදා ගැනීමෙන් මෙය වෙනස් නොවේ.

සිංහල වුවත් දෙමළ වුවත් යමෙක් ඝාතනය කිරීමේ නිල අවසරයක් සහිතව නිල ඇඳුමක් ලා ගත් විට ඔවුහු තමන් ඝාතනයට ලක් වීමේ අවදානම දරති. එයට ඔවුන්ගේ වාර්ගිකත්වය අදාළ නොවේ. සිංහල සහ දෙමළ දෙපිරිසම මර්දනය කිරීම සඳහා ආණ්ඩුව විසින් නඩත්තු කරනු ලබන ප්‍රධාන රාජ්‍ය යන්ත්‍රය වන්නේ සන්නද්ධ හමුදාවන් වේ. අද උතුරේ දෙමළ වැසියෙක්ව ඝාතනය කරන සහ ඒ නිසා වෙඩි තැබීමට ලක්වන සිංහල සොල්දාදුවා අණ ලද විට - 1971 දී සිදුවුණා මෙන් - හෙට දකුණේදී සිංහලයෙක්ව වෙඩි තබා ඝාතනය කරනු ඇත. කොටි සාමාජිකයන් විසින් ඝාතනය කරන ලද්දේ තමන් මර්දනය කිරීමට සහ ඝාතනය කිරීමට පැමිණි රාජ්‍ය ආරක්ෂක හමුදාව ය. ඔවුන් කිසිදු අහිංසක නිරායුධ සිංහල සිවිල් වැසියකු ඝාතනය කළේ නැත.*

තවද, මෙම කාලය තුළ උතුරේ කිසිදු සිවිල් සිංහල පුද්ගලයකුගේ ජීවිතයට හෝ දෙපළට හානි කරනු ලැබුවේ නැත. "යාපනයේ නාග විහාරයට කිසිදු හානියක් සිදු වී නැත. විහාරයට හානි වී ඇති බවට පැතිර යන කටකතා අසත්‍ය ." යාපනය නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය කඩවැද්දූව නන්දාරාම නායක හිමි 1983 සැප්තැම්බර් 14 වැනිදා Daily News පත්‍රය සමඟ සම්මුඛ සාකච්ඡාවක දී පැවසීය. "යාපනයේ කිසිදු සිංහල බේකරියකට පහර දී නැත. සිංහල ජනයාට බියකින් තොරව යාපනයේ වෙසිය හැකි"යැයි හේ වැඩි දුරටත් පැවසීය.

දෙමළ ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වය වෙනම ඊළම් රාජ්‍යයක් සඳහා වන ඉල්ලීමට එල්ලවන ස්වභාවික ප්‍රතිචාරයක් බවට ඇතැම්හු තර්ක කරති. එසේ නම්, ඉන්දියානු සම්භවයක් සහිත අහිංසක වතුකර කම්කරුවන් පහරකෑමට ලක් වූයේ ඇයි? ඔවුන් හෝ ඔවුන්ගේ නායකයන් කිසිදා වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටියේ නැත. අනෙක් අතර, ජනාධිපතිවරණයේ දී වතු කම්කරුවන්ගේ අතිමහත් බහුතරයක් ජේ. ආර්. ජයවර්ධන වෙනුවෙන් ඡන්දය භාවිතා කළ අතර, එක්සත් ජාතික පක්ෂය ජනමත විචාරණය ජයගත්තේ ද ඔවුන්ගේ ඡන්දයෙනි. එහෙනම් ඔවුන්ට පහර දුන්නේ ඇයි? වෙනම රාජ්‍යයක් සඳහා වන ඉල්ලීමට දිගු කලකට පෙර සිට දෙමළ ජනයාට එරෙහි වර්ගභේදවාදී ප්‍රචණ්ඩ ක්‍රියා - නිදසුනක් ලෙස 1956 සහ 1957 - පැවතුණි.

පහසු තර්කනයේ තරම කීමට එය ඇති ය. සාක්ෂි පරීක්ෂා කර බලන විට කරුණු දෙකක් මනාව පැහැදිලි වේ. පළමුව, සෑම ප්‍රදේශයකම පහර දෙනු ලැබුවේ නිශ්චිත ඉලක්කවලට බව සක්සුදක් සේ පැහැදිලි ය: දෙමළ ජනයාට අයත් ස්ථාන පිළිබඳ නිවැරදි විස්තර සහ ලිපින පහරදෙන්නන්ට කල් තියා ලැබුණි. සිදුවීම ඇසින් දුටු විදේශ වාර්තාකරුවන් විසින් ම්ලේච්ඡත්වයේ සැලසුම් සහගතභාවය ගැන පුළුල්ව අදහස් දක්වා තිබුණි. දෙවනුව, සෑම ප්‍රදේශයකම ඇසින් දුටු සාක්ෂිකරුවන් විසින් මංකොල්ලකන්නන්, ගිනි තබන්නන් සහ ඝාතකයන් ආණ්ඩුවේ ආධාරකරුවන් බවට හඳුනාගන්නා ලදී. සන්නද්ධ හමුදාවන් සංහාරයට සක්‍රීයව සහභාගී වීම හෝ, කිසිවක් නොකර බලා සිටීම පැහැදිලි කළ හැක්කේ තමන් ආරක්ෂා වන බව ඔවුන් දැනසිටියේ ය යන කරුණෙන් පමණි.

හමුදා සහාය කොල්ලකරුවන්ට

අගෝස්තු 8 වනදා සමස්ත ඉන්දීය ගුවන් විදුලි සේවයෙහි විකාශය වූ වැඩසටහනක දී ජනාධිපතිවරයා විසින් සන්නද්ධ හමුදාවල කාර්ය භාරය පිළිගන්නා ලද‍ෙ: "මෑත කාලීන කෝලහාල විසින් සන්නද්ධ හමුදා තුළ විනය සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් තිබෙන බවත් භට පිරිස් අතර විශාල දෙමළ විරෝධයක් තිබෙන බවත් අනාවරණය කරයි. සමහර අවස්ථාවල ඔවුහු කෝලහාල දිරිගන්වා ඇත." කැබිනට් අමාත්‍ය, වතු කම්කරු වෘත්තීය සමිතිය වන CWC හි නායක එස්. තොණ්ඩමාන් මෙසේ පැවසීය ‘'නීතිය ආරක්ෂා කරන්නන් කිසිවක් නොකර සිටි අතර ඇතැම් අවස්ථාවල අවනීතිය දිරිගන්වා සහාය දෙන ලදී."

ලොරිවල පටවාගත් භට පිරිස් මංකොල්ලකරුවන්ට උද්දාමයෙන් අත වැනීමේත්, ඔවුන් ද පෙරළා භට පිරිස්වලට අත වැනීමේත් දර්ශනය ඇසින් දුටු අයෙකුට එය අමතක කළ නොහැක. හමුදාව පැහැදිලිවම වර්ගභේදවාදී විය. උතුරේ සන්නද්ධ නැඟිටීමට එරෙහිව ඔවුන්ගේ යථා බෙලහීනතාවය ඔවුන්ගේ වර්ගවාදී හැඟීම් උද්දීපනය කළ බවට සැකයක් නැත. ඔවුන් පැහැදිලිවම සිටියේ මංකොල්ලකරුවන් සහ ගිනි තබන්නන්ගේ පැත්තේ වන අතර දැඩි ක්‍රියාමාර්ග ගැනීමට එක්කෝ ආණ්ඩුව අකැමැති වූ අතර නැත්නම් ආණ්ඩුවට නොහැකි විය. කඳුළු ගෑස් පවා භාවිතා කළේ නැත. පළමු මංකොල්ලකරුවාට වෙඩි තැබීමට සතියක් ගතවිය. ජූලි 28 රූපවාහිනි විකාශයක් හරහා ජනාධිපතිවරයා කළ මැදිහත්වීම සැබවින්ම ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක් විය. ඔහු එක වදනකින් හෝ සිදුවීම හෙළා දැකීම හෝ දෙමළ ජනයා කෙරෙහි සහානුකම්පාව පළ කිරීම හෝ කළේ නැත. "සිංහලයන්ගේ හඬ සහ ජාතික ගෞරවය පිළිගත යුතු කාලය පැමිණ තිබේ" (India Today - 1983 අගෝස්තු 31) යැයි කී ඔහු එය වෙනම රාජ්‍යයක් සඳහා වන දෙමළ ජනයාගේ ඉල්ලීමට සිංහල ජනයාගේ ස්වභාවික ප්‍රතිචාරයක් බව දක්වමින් ප්‍රචණ්ඩ ක්‍රියා සාධාරණීකරණය කළේය. ඔහු පාර්ලිමේන්තුවේ ආසන 168 න් ආසන 16ක් හිමි කරගෙන විශාලතම විරුද්ධ පක්ෂය බවට පත්ව සිටි දෙමළ ජනයා නියෝජනය කළ එකම පක්ෂය වහාම තහනම් කරමින් සිංහල ස්වෝත්තමවාදය සැනසීමට කටයුතු කළේය. ''

1983 අගෝස්තු 7 වෙනිදා බ්‍රිතාන්‍යයේ Guardian Weekly පුවත්පත මෙසේ ලියයි:

"සුළුතර ජනයා වෙත ගාන්ධියානු ආරක්ෂක දෑතක් දිගු කරනවා වෙනුවට, ජනාධිපතිවරයා විශාල ජනකායකගේ ඡන්ද අයිතිය එක්වනම අහෝසි කර ඔවුන්ව අවමානවයන් හෝ ආයතනගත දෙවන පන්තියේ පුරවැසියන් බවට පත් කළේය.

"භයානක දෙය වන්නේ ජනාධිපතිවරයාගේ තීන්දුව, ඔහු අවසන් කිරීමට උත්සාහ දරන ලේ ගැල්ම ඔහු සැබෑවට අනුමත කිරීමක් බව සිංහල මැර කල්ලිවලට සේම දෙමළ ජනයාට ද පෙනී යා හැකි වීම යි. දෙමළ ජනයා වර්ගයක් වශයෙන්ම ද්‍රෝහී සහ බෙදුම්වාදී මනසකින් හෙබි බවට පරිපාලනය විසින් හෙළා දකින්නේ නම්, නව නියෝග මගින් ඔවුන්ව සමාජ ජීවිතයෙන් සහ වෘත්තීයයන්ගෙන් නෙරපා හරිනු ලැබ ඇතුවා මෙන් ඔවුන්ව දඩයම් කර ඔවුන්ගේ නිවාස සහ ව්‍යාපාරයන්ගෙන් එළවා දැමිය යුතුය යන්නද ස්වභාවික වේ."

ආණ්ඩුවේ ව්‍යංග කැමැත්ත හෝ සමහර විට පැහැදිලි අනුමැතිය සහිතව ආරක්ෂක අංශ විසින් අකටයුතුකම් හි නියැළීම අලුත් සිදුවීමක් නොවේ. මෑත කාලීන වසරවල - අනිවාර්යයෙන්ම 1977 මැතිවරණයෙන් පසු කාලයේ සිට - එම සිදුවීම්වල වර්ධනය සම්බන්ධයෙන් ආණ්ඩුව වගකිව යුතුය. ප්‍රජා අයිතිවාසිකම් ව්‍යාපාරය මෙසේ දක්වයි:

"මෑත අවුරුදුවල ප්‍රචණ්ඩ ක්‍රියා මගින් ප්‍රකාශ කෙරුණු නීතියට සහ පුද්ගල අයිතිවාසිකම්වලට ගරු කිරීම සීඝ්‍ර සෝදාපාලුවකට ලක්වීමේ භයානක ප්‍රවණතාවය, මෑත කාලීන මිනිස් සංහාරය පසුපස ඇති හේතු තක්සේරු කිරීමේ දී බැරෑරුම්ව සළකා බැලිය යුතු ය. තමන්ට දේශපාලන ආරක්ෂාව පවතින්නේ යැයි විශ්වාස කරන පුද්ගලයන්ට දණ්ඩ මුක්තිය සහිතව නීතිය කඩකළ හැකි බවට හඟවන වාතාවරණයක් නිර්මාණය වී තිබුණි. ආණ්ඩුවේ පුවත්පත වූ Daily News 1983 අගෝස්තු 20 දින සිය කතුවැකියේ මෙසේ දක්වයි: "වගකීම් සහගත තනතුරු හොබවන පුද්ගලයන් සාහසිකයන් සහ මැරයන් සමඟ හවුල් වන අයුරු, සමහර අවස්ථාවල සක්‍රීයව ප්‍රචණ්ඩත්වය අවුළුවන අයුරු අපිට දැකගත හැකි විය... බියෙන් හා පක්ෂපාතීත්වයෙන් තොරව නීතියට ගරු කළ කිරීම බලාත්මක කළ යුතුය. තමන්ට අවශ්‍ය දේ ඔවුන්ගෙන් ගෙන, ඔවුන්ව පාලනය කිරීමට මැරයන් සහ මැරකම් සමඟ පයුරු පාසානකම් පවත්වන තමන් බුද්ධිමත් යැයි සිතන සමහරු සිටිති. ඒ තරමටම මුළා වීම, ඉතිහාසයේ පාඩම් නොසළකා හැරීමකි."

කතුවැකිය තවදුරටත් මෙසේ ලියයි: 'නීතිය සහ එහි ආයතන අපකීර්තියට පත් කිරීමට වංචනික ක්‍රම යොදාගත් පුද්ගලයෝ ඇඳිරි නීතියට මුවා වී මිනිසුන්ට සහ නිවාසවලට පහර දුන්හ. එක්කෝ අපි මෙම කරුණු පිළිගෙන ඒවා නිවැරදි කළ යුතුය. නැත්නම් නැවත එවන් නීතිය හා සාමය බිඳ වැටීමක් වනතුරු අප විසින් අපවම රවටා ගත යුතුය.'

ආර්ථික හේතු සාධක

පොලිසිය සහ හමුදාව නීතිය යනු තමන් ලෙස පමණක් නොව, තමන් නීතියට ඉහළින් සිටින බවට ද සිතීමට පෙළඹුණේ ප්‍රජා අයිතිවාසිකම් ව්‍යාපාරය විසින් වාර්තා කළ සංසිද්ධීන් ආදී සිදුවීම් ආණ්ඩුව ඉවසා සිටීම හේතුවෙනි.

ජූලි සහ අගෝස්තු ප්‍රචණ්ඩත්වයට වාමාංශික පක්ෂ (ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ - මේ කිසිවක එකල දේශපාලනය වර්ගභේදවාදී වූයේ නැත) වගකිව යුතු බවට සහ ඒ සියල්ල පසුපස නම් නොකළ විදේශ 'බලවේගයක්' තිබූ බවට වූ ආණ්ඩුවේ චෝදනාවෙ මගින් වගකිව යුත්තේ ආණ්ඩුව තුළම වූ පාර්ශ්වයන් බවට වන පැහැදිලි කරුණෙන් අවධානය වෙනතක හැරවීම සඳහා යොදාගත් මෙවලමක් විය. එමගින් පක්ෂ සහ ඒවායේ නායකත්වයන් තහනම් කරනු ලැබීම සාධාරණීකරණය කළේය. 'ජයවර්ධන මහතා සහ ඔහුගේ සහෝදර අමාත්‍යවරු පවසන දෙය, දෙමළ ක්‍රියාකාරීත්වයට පහර ගැසීම, දෙමළ ජනයාට දකුණේ සාපේක්ෂව තිබූ ආර්ථික බලයෙන් ඔවුන්ව ඉවත්කිරීම, දෙමළ ජනයා සමඟ එකඟතාවයකට පැමිණීමෙන් ජයවර්ධන මහතාව වැළැක්වීම යම්තාක් දුරකට ඉලක්ක කරගත් කුමන්ත්‍රණයෙහි මූලික කාර්ය භාරයක් ඔහුගේ ආණ්ඩුවේ ප්‍රධාන සාමාජිකයන් සහ බලය හෙබවූ ඔහුගේ එක්සත් ජාතික පක්ෂය විසින් කර ඇති බව වසන් කිරීම සඳහා දරණ උත්සාහයක් ලෙස දේශීය සහ විදේශීය නිරීක්ෂකයෝ රැසක් සළකති.' දෙමළ ජනයාට එරෙහි සැලසුම් සහගත සහ නිශ්චිත ම්ලේච්ඡත්වය පසුපස ඇති අවම වශයෙන් අර්ධ ලෙස හෝ ආර්ථිකමය වූ පෙළඹවීම් පිළිබඳ එකී හැඟවීම වෙනත් වාර්තාකරුවන් විසින් ද සඳහන් කර තිබුණි.

India Today හි විශේෂ වාර්තාවක් පෙන්වා දෙන පරිදි 'කොළඹ දෙමළ ජනයා ජූනියස් ආර්. ජයවර්ධනගේ විවෘත ආර්ථිකයෙන් විශාල ලෙස ප්‍රතිලාභ ලැබූහ. ඔවුන් සිල්ලර කෑම කඩ, නැත්නම් කුඩා සිල්ලර බඩු කඩ, නැත්නම් ස්වර්ණාභරණ සාප්පු, ආනයන අපනයන සමාගම් දහස් ගණනක් ආරම්භ කළ අතර, පොල් සැකසුම්, රෙදිපිළි සහ ගොඩනැඟිලි ද්‍රව්‍ය පාලනය කළ ධනපතීහු කිහිපදෙනෙක්ම සිටියහ’ යන්න සමහරවිට සත්‍ය විය හැක. එක්සත් ජාතික පක්ෂයේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් දෙමළ ජනයා සමෘධිමත් වී නම් එසේ වූයේ එක්සත් ජාතික පක්ෂයට ඉතා ලෙන්ගතු වූ ධනවාදයේ නිදහස් වෙළඳපොළ බලවේගවල ක්‍රියාකාරීත්වය හේතුවෙනි.

* සිංහල සිවිල් වැසියන් මුල්වරට ඊළම් යුද්ධයේ ගොදුරු බවට පත්වූයේ කළු ජූලියෙන් වසර එක හමාරකට පසු 1984 නොවැම්බර් 30 වැනිදා මුලතිවු දිස්ත්‍රික්කයේ ඩොලර් ෆාර්ම් සහ කෙන්ට් ෆාර්ම් ජනපදවලට කොටි සංවිධානය විසින් එල්ල කරන ලද ප්‍රහාරයේදී ය. 

(මතු සම්බන්ධයි)

එන්. ෂන්මුගදාසන්


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.