ජූලි මිනිස් සංහාරයේ කතාව I: ''කඩවල්වල ලොකු යකඩ දොරවල් කැඩුවේ හමුදා ට්‍රක් එකකින්''
- Post 02 August 2023
ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ නායකයා ලෙස 1947 සමස්ත මහා වැඩ වර්ජනයේත්, 1953 හර්තාලයේත් මෙහෙයුම් කාර්යභාරයක් ඉටුකළ නාගලිංගම් ශන්මුගදාසන්, චීන - සෝවියට් දෘෂ්ටිමය පරස්පරතා හමුවේ චීනයට පක්ෂපාතී ස්ථාවරයක් දැරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් නෙරපා හරින ලද්දේ 1963දී ය. තමන් හා තනතුරුවලින් පහකරන ලද තවත් කෘතහස්ත වාමාංශිකයකු වූ ප්‍රේමලාල් කුමාරසිරි හා එක්ව ලංකා කොමියුනිස්ට් පක්ෂය (මා ඕවාදී) පිහිටුවීමට ක්‍රියාකළ 'ශන්', 1964දී එහි ප්‍රධාන ලේකම් ධූරයට පත්විය. ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධානීන් වශයෙන් ක්‍රියාකළ වෛද්‍යනාදන් කරාලසිංහම් සහ බාලා තම්පෝ මෙන්ම කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක නායකයකු වූ ඒ. වෛද්‍යලිංගම් හැරුණු විට එදා මෙදා තුර වමේ ව්‍යාපාරයේ සිටි දීප ව්‍යාප්ත බලපෑමකට හිමිකම් කී වඩාත් ජනකාන්ත දෙමළ ජාතික නායකයා අවිවාදයෙන්ම 'ශන්' ය.
දෙමළ ජනයාගේ ස්වයං නීර්ණ අයිතිය පිළිගැනීම සහමුලින්ම ප්‍රතික්‍ෂේප කරමින් සිංහල - දෙමළ ඒකාබද්ධ විප්ලවකාරී ව්‍යාපාරයක් ගොඩනැගීම පිළිබඳ තම ස්ථාවරය යළි සළකා බැලීමට 1983 දෙමළ ජනයාට එරෙහිව පුපුරා ගිය වර්ගවාදී ප්‍රචණ්ඩ ක්‍රියා මාලාව විසින් ශන්ට පිටුබල සපයන ලදී. කළු ජූලියේ පළමු සංවත්සරය යෙදුණු 1984දී ශන් මෙසේ ලීවේය: "2000කට ආසන්න දෙමළ ජනයා මරණයට පත් කරමින්, සෙස්සන්ට නිවාස හා දේපළ අහිමි කළ 1983 ජූලි මාසයේ දෙමළ විරෝධී සංහාරය, සිංහලයන් හා සමානයන් වශයෙන් සාමයෙන් ජීවත්වීමට තමන්ට හැකි වෙතැයි යන අපේක්ෂාව බොහෝ දෙමළ ජනයාට අවසාන වශයෙන් අහිමිකරනු ලැබුණි. දෙවැනි පංතියේ පුරවැසියන් ලෙස ඔවුන් ජීවත්වන්නේ තවත් සංහාරයක් පිළිබඳ සදාතන බියෙනි."
ඉහතින් කී ස්වකීය මුල් දේශපාලන ආස්ථාන ගැඹුරින් හා විවේචනාත්මකව විමසා බැලීමට අවශ්‍ය කොන්දේසි ශන් හමුවේ නිර්මාණය කිරීමටද ඒ 'සදාතන බිය' නොමදව බලපෑවේය. දෙමළ සන්නද්ධ කණ්ඩායම්වල උපාය හා උපක්‍රම පිළිබඳ සිය විවේචනාත්මක ස්ථාවර අත්නොහළ හෙතෙම, ඒ අතරම දෙමළ තරුණ පරම්පරාවන් පෙලූ අපේක්ෂා භංගත්වය තුළින් පැන නැඟුණු සටන්කාමීත්වය පිළිබඳ සහේතුකවාදී ලෙස කල්පනා කරන්නට සිය සමකාලීනයන්ට පිටුබල සැපයුවේය.
ලේ වැකි ජූලි සිදුවීම්වලින් තුන් මාසයකට පසු, 1983 ඔක්තෝබරයේදී ඔහු විසින් ලියන ලද මෙම ලිපිය 1984 Race & Class සඟරාවේ ගිම්හාන කලාපයේ Sri Lanka: the story of the Holocaust මැයෙන් පළ කෙරුණි.
පරිවර්තනය: සංජුලා ඕෂිණී පීටර්ස්
එන්. ෂන්මුගදාසන්
එක් නවසිය අසූ තුනේ ජූලි මස 23 වන දින යාපනයේ දී සොල්දාදුවන් 13 දෙනකු ඝාතනය කිරීමේ සිදුවීමෙන් මම මෙම සටහන ආරම්භ කරන්නේ නම්, ඒ ඉන් පසුව සිදු වූ වර්ගභේදවාදී කෝලහාලවලට හේතුව වූයේ එය යැයි මම සිතන නිසා නොවේ. එය කතාව ඉදිරියට ගෙන යෑම සඳහා පහසු මාර්ගයක් සකසන බැවිනි.
දෙමළ කොටි සටන්කරුවෝ ව්‍යාජ ඇඟවුම් ලබා දෙමින් හමුදාව කඳවුරෙන් පිටතට ගෙන්වා ගැනීමට පොළඹවා ගනිමින් සිටියහ. ජූලි 23 වනදා රාත්‍රියේ ඔවුහු ව්‍යාජ තොරතුරු ලබාදෙමින් පලාලි හමුදා කඳවුරට දුරකථන ඇමතුමක් ලබා දුන්හ. රාත්‍රී මුර සංචාරවල නොයෙදිය යුතු බවට හමුදාවට නියෝග ලැබී තිබුණත්, නිලධාරීන් කිහිපදෙනෙකුට කීර්තියක් අත්කරගැනීමට ඇති උවමනාව යටපත් කිරීමට නොහැකි විය. ඔවුහු ගරිල්ලා ප්‍රහාරයකට ලක්වූහ. ඉදිරියෙන් ගමන් කළ වාහනය පුපුරවා හරින ලදී. සොල්දාදුවන් එළියට බට විට පැති තුනකින් ඔවුන්ට වෙඩි තබා ඝාතනය කරන ලදී. සොල්දාදුවෝ දහතුන් දෙනෙක් මිය ගියහ.
එළැඹි දින කිහිපයේ දී යාපනයේ අහිංසක මිනිසුන් හැට දෙනකු ඝාතනය කරමින් හමුදාව පළිගත්තේ ය. පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට (TULF) අනුව 'තින්නවේලි සහ කන්තරමඩම් ප්‍රදේශවල විශ්ව විද්‍යාල ආචාර්යවරු, ඉංජිනේරුවරු, ශිෂ්‍යයන් සහ ගෘහණියන් ඇතුළුව මිනිසුන් විස්සකට ආසන්න ගණනක් ඔවුන්ගේ නිවෙස් සහ ඇඳන් මත දී ම වෙඩි තබා තිබුණි.’
සොල්දාදුවන් 13 දෙනා ඝාතනය කිරීමේ පුවත ජූලි 24 සවස් වනවිට කොළඹට ළඟා විය. ආණ්ඩුව, තම ප්‍රඥාවේ තරම අනුව මෘතදේහ බොරැල්ල කනත්තේ පූර්ණ හමුදා ගෞරව සහිතව මිහිදන් කිරීමට තීරණය කර තිබුණි. නමුත් මෘතදේහ කොළඹට ගෙන ඒමේ පැහැදිලි කළ නොහැකි ප්‍රමාදයක් ඇති විය. මේ අතර අවමංගල්‍ය පිළිබඳ පුවත පැතිර ගොස් මියගිය සොල්දාදුවන්ගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් සුසාන භූමිය වෙත පැමිණ සිටියහ. (පුවත පතළ වූයේ සහ එතරම් විශාල පිරිසක් එක් රැස් වූයේ කෙසේද යන්න අභිරහසක්ව පවතියි) පැය කිහිපයකට පසු පිරිස නොසන්සුන් වූ බව පෙනෙන්නට තිබූ අතර, වාර්තාවලට අනුව අසළ පිහිටා තිබූ ජනාධිපතිවරයාගේ පුද්ගලික නිවාසය වැටලීමට හෝ ඔහු සුසාන භූමියට පැමිණි විට ඔහුගේ මෝටර් රථය වැටලීමට උත්සාහ කළහ. පිරිස විසිරුවා හැරීම සඳහා කඳුළු ගෑස් භාවිතා කර ඇති බව පෙනේ. අවසානයේ ආදාහනය හෝ භූමදානය සඳහා මෘතදේහ ඥාතීන්ට භාර දීමට ආණ්ඩුව එකඟ විය. මේ වනවිට රාත්‍රී දහය පසු වී තිබුණි. පිරිස ක්‍රෝධයෙන් උමතු වී දෙමළ නිවාස සහ කඩසාප්පුවලට පහර දීමට පටන් ගත්හ - රොස්මිඩ් පෙදෙසෙහි පිහිටා තිබූ දෙමළ නීතිඥවරයෙකුට අයත් නිවසකට ගිනි තබන ලදී. එහෙත් මහත් ප්‍රචණ්ඩකාරී කැළඹීම් ඇති වීමට නියමිත වූයේ මීළඟ උදෑසන ය.
කඳුරට දෙමළ ජනයාට එරෙහි හිංසා
නමුත් මෙයටත් පෙර ත්‍රිකුණාමලයේ අසුබ සිදුවීම් සිදු වී තිබුණි. කැබිනට් අමාත්‍ය එස්. තොණ්ඩමාන් සභාපතිත්වය දරණ ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC) ප්‍රකාශයකට අනුව - කිසිදා අභියෝගයට ලක් නොවූ - 'කොළඹ ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වීමට පෙරම මන්නාරම, වව්නියාව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල දෙමළ පදිංචිකරුවන්ට එරෙහිව ප්‍රහාර ආරම්භ වී තිබුණි. ත්‍රිකුණාමලයේ පදිංචිකරුවන්ගේ පැල්පත් ගිනි තබමින් මහා පරිමාණ වර්ගභේදවාදී ප්‍රචණ්ඩත්වය ආරම්භ වීම විශේෂිතය. ජූලි 23 වැනිදා අලුයම් කාලයේ දී ඔවුන්ව ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කර, පිටමං කර, ඔවුන්ගේ කැමැත්තට එරෙහිව යමින් නුවරඑළියට ගෙන විත් අනාථයන් බවට පත් කරන ලදී.' 1983 අගෝස්තු 10 දින ජනාධිපතිවරයාට ලියන ලද ලිපියකින් CWC නායකයා ද මේ බව තහවුරු කරයි:
'නාවික හමුදාවේ අණදෙන නිලධාරියා ජූලි 24 වනදා මැදියම් රාත්‍රී 1ට මෙම සරණාගතයන් 600 පමණ බලහත්කාරයෙන් බස් රථවලට නංවාගෙන කිසිවෙක් නොදන්නා ගමනාන්තයන්ට රැගෙන ගියේය. පසුදා උදෑසන මම මේ පිළිබඳව ඔබතුමාගේ අවධානයට යොමු කරන විට නැවතත් වතුවලට යාමට ඔවුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බව ඔබට දැනගැනීමට ලැබුණේ යැයි ඔබ කීවේය.' ඔහු දක්වා තිබුණි. මින් ගම්‍ය වන්නේ මේ මහා අමානුෂික සහ බලහත්කාරී පිටුවහල් කිරීම ජනාධිපතිවරයාගේ අනුදැනුම සහ කැමැත්ත මත සිදු වූ බව යි.
එම උදෑසන පිටමං කරන ලද එම සරණාගත පදිංචිකරුවෝ 1977 සහ 1981 වසරවල වර්ගභේදවාදී ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් වතුකරයෙන් පළවා හරීමෙන් සරණාගතයන් වී උතුරු සහ නැගෙනහිර පළාත්වල පදිංචි වූ දහස් ගණනක් අතරට අයත් වූහ. ගාන්ධියම් ව්‍යාපාරය (මෙය බිහිකර තිබුණේම එම අරමුණෙනි) විසින් නැවත පදිංචි කිරීම් විශාල ගණනක් කළේ මෙම සරණාගත ජනයා මුල්කරගෙන ය. රජය සැමවිටම මේ සම්බන්ධයෙන් උරණ වූ අතර මෙය නතර කිරීමට අවශ්‍ය විය. රජයේ ඉඩම්වල නීත්‍යානුකූල නොවන අන්දමින් පදිංචිව ඇති බව දක්වමින් මෙම සරණාගත පදිංචිකරුවෝ හමුදාවේ සහ පොලිසියේ නිරන්තර හිරිහැරවලට ලක් වූ අතර ඔවුන්ව නෙරපා හැරීමේ උත්සාහයන් ද සිදු විය. මෙම පදිංචි කිරීම නියාමනය කිරීම සහ සරණාගත පදිංචිකරුවන්ට එහි ජීවත් වීමට ඉඩදීම සඳහා CWC සහ වෙනත් සංවිධාන විසින් නියෝජනයන් ඉදිරිපත් කර තිබුණි.
"බලෙන් ආක්‍රමණය කිරීම් හා අනවසර පදිංචිවීම්" සහ "ශ්‍රී ලංකාව තුළ ඕනෑම පුද්ගලයෙකුගේ, කණ්ඩායමක හෝ පුද්ගලයන්ගේ, සමාගම්වල, සංවිධානයක, හෝ පුද්ගල කණ්ඩායමක නීත්‍යානුකූල නොවන ක්‍රියාකාරකම්" වැළැක්වීම සඳහා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට (අමාත්‍ය ගාමිණී දිසානායකගේ නිර්මාණයක් වූ) යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. මාස 18ක් දක්වා කාලයක් නඩු විභාගයකින් තොරව රඳවා ගැනීම, ගොඩනැඟිලි කඩා දැමීම සඳහා පොලිසියට, හමුදාවට හෝ නාවික හමුදාවට අධිකාරිය ලබාදීමේ බලය වැනි පදිංචිකරුවන්ව ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසිය හැකි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි ඇති ප්‍රතිපාදන ද මීට ඇතුළත් විය.
පිටුවහල් කිරීම සංවිධානය කළ අය විසින් ක්‍රියාත්මක කරන ලද්දේ මෙම යෝජනාවට යටින් ඇති චේතනාවයි. කෝලහාලවලින් පසු CWC විසින් කළ ඉල්ලීමකට එකඟ වෙමින් මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම නතර කිරීමට ජනාධිපතිවරයා එකඟ විය. එහෙත්, දැන්, 180,000කට ආසන්න වතුකර කම්කරුවෝ ඔවුන්ගේ නිවාසවලින් ඉවත් වී උතුරු නැගෙනහිර පළාත්වලට ගොස් තිබීම හේතුවෙන් ගැටලුව උග්‍ර වී තිබේ.
කනත්තේ සිට වැලිකඩ ඝාතනය දක්වා
කොළඹට සහ ජූලි 25 දින උදෑසනට අපි යොමුවෙමු.
සියලු පුවත්පත්වල සිරස්තලය වූයේ යාපනයේ සොල්දාදුවන් දහතුන්දෙනා මරා දැමීම යි. නමුත් Sun පුවත්පතෙහි සැළකිය යුතු එකතු කිරීමක් කර තිබුණි. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල නිවේදනය සමඟ එම පුවත්පත විසින් මෙම පුවත පළ කර තිබුණි: "මේ අතර, බලයලත් මූලාශ්‍රවලට අනුව, අවමංගල්‍ය උත්සවය පූර්ණ හමුදා ගෞරව සහිතව අද පවත්වනු ලබයි. මෘතදේහ කොළඹට ළඟා වූයේ ඊයේ රාත්‍රියේ බැවින් ඊයේ සවස පැවැත්වීමට නියමිතව තිබූ අවමංගල්‍ය උත්සව කල් දැමූ බව ද මූලාශ්‍ර පවසයි.'
එහෙත් අමාත්‍යවරයා පසුව පාර්ලිමේන්තුවේදී මෙසේ ප්‍රකාශ කළේය. 'කිසිදු ප්‍රසිද්ධ කිරීමක් නොකළ ද 1983 ජූලි 24 සවස වනවිට විශාල පිරිසක් කනත්තට එක් රැස්ව සිටි අතර ඔවුන් නොසන්සුන් වීමට පටන්ගත් බව පෙනෙන්නට තිබුණි. මරණයට පත් නිලධාරීන්ගේ ඥාතීන්ගේ ඉල්ලීම්වලට අනුව මෘතදේහ කනත්ත වෙත රැගෙන නොආ නමුත් (ඒවා පනාගොඩ යුධ හමුදා මූලස්ථානයේ තැන්පත් කර ඇති බව දැනගැනීමට ලැබුණි) මෘතදේහ පසුදින උදෑසන ඥාතීන්ට භාර දීමට කටයුතු සූදානම් කර තිබුණි." (අවධාරණය ලේඛකයාගේය)
ඒ අනුව ජූලි 25 උදෑසන කනත්තේ කිසිදු අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීමට නියමිතව නොතිබූ බව ඉතා පැහැදිලි ය. එහෙත් කනත්තට දහස් ගණනක් දෙනා රැස්වූයේ මෙම ව්‍යාජ වාර්තාව නිසා වන බවට කිසිදු සැකයක් නැත. අගමැතිවරයාට අනුව, 'කොළඹ සහ පිට පළාත්වල දෙමළ ජනයාගේ කඩසාප්පු, වෙනත් දේපළ, වාහන සහ නිවාසවලට පහර දීමට පටන්ගත් හොඳින් සංවිධානය වී ඇති බව පෙනී ගිය කණ්ඩායම වූයේ' මෙම කණ්ඩායම යි. 'මෙම දිනයේ ඝාතන 48ක්, ගිනි තැබීමේ සිදුවීම් 209ක්, මංකොල්ලකෑම් හතක්, අලාභහානි කිරීම් 60ක් සහ වෙනත් ප්‍රචණ්ඩ ක්‍රියා 20ක් දිවයිනේ නන් දෙසින් වාර්තා වී ඇත. මෙම ඝාතන අතරට ත්‍රස්තවාදී සැකකරුවන් ලෙස රඳවාගෙන සිටි වැලිකඩ බන්ධනාගාරයේ දෙමළ රැඳවියන් 35ක් ඝාතනය කිරීම ද ඇතුළත් වේ.' යි ඔහු වැඩි දුරටත් පැවසුවේය.
එහෙත් අගමැතිවරයාගේ වචනවලින් 25, 26 සහ සතියේ ඉතිරි කාලය පුරා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගේ පරිමාණය පිළිබිඹු නොවේ. දෙමළ කඩසාප්පු, නිවාස සහ ව්‍යාපාරික ස්ථාන සංවිධානාත්මකව ගිනි තබනු ලැබුණි. කොළඹ අවම වශයෙන් මෝටර් රථ 500ක් - සමහර ඒවා රියදුරන් සහ මගීන් සිටියදීම- ගිනිබත් කෙරිණ. කොළඹ සහ යාපනය අතර ධාවනය වූ දෙමළ හිමිකරුවන්ට අයත් බස් රථද ගිනිබත් කරන ලදී. රෝහල්වල සිටි දෙමළ රෝගීන්ට පහර දී මරා දමන ලදී - ඇතැමුන් ඇඳේ දිගෑදී සිටියදීම ඔවුන්ගේ උගුරුදඬු කපා දමා තිබුණි. දෙමළ වෛද්‍යවරුන්ගේ ඖෂධහල් සහ නිවාස ගිනිතබා විනාශ කරන ලදී. වැලිකඩ බන්ධනාගාරය තුළ දින දෙකක් පුරා දෙමළ සිරකරුවන්ව සාහසික සහ ම්ලෙච්ඡ ලෙස ඝාතනය කෙරුණි. සිදු වූ 'බන්ධනාගාර කැරැල්ලේ' දී කෙසේ හෝ සිරමැදිරිවලින් එළියට විත්, කෙසේ හෝ ආයුධ ලබාගෙන, කෙසේ හෝ සන්නද්ධ බන්ධනාගාර නිලධාරීන් විසින් වළක්වනු නොහැකි වූ බව කියන සිංහල රැඳවියෝ 25 වෙනිදා 35 දෙනෙක් ද 27 වෙනිදා තවත් 17 දෙනෙක් ද ඝාතනය කළහ. (එම වේලාවේදීම වගේ යාපනය බන්ධනාගාරයේ දී පැන යාමට උත්සහ කළ බව කියන දෙමළ රැඳවියන් සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමට බන්ධනාගාර නිලධාරීහු සමත් වූහ) වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 53ක් මිය ගිය අතර, ඔවුන්ගේ සිරුරු පොඩිපට්ටම් කර විකෘති කර තිබුණි.
India Today එම සිදුවීම විස්තෘත ලෙස තොරතුරු හරහා විස්තර කළේය.
‘පසුගිය සති දෙක පුරා ශ්‍රී ලංකාවේ අගනුවර දිස්වූයේ එය විජයග්‍රාහී හමුදාවක් විසින් අත්පත් කරගෙන සිටිනා අන්දමකි. දවස මුළුල්ලේ පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කර තිබුණ ද වීදියක් වීදියක් පාසා දිස්වූයේ ශුන්‍යතාවකි. කලෙක කාර්ය බහුල වෙළඳපොළවල සහ මාර්ගවල පිහිටි දවාහළ කඩසාප්පු, කර්මාන්තශාලා සහ නිවාසවලට මස් හා ලේ අඩුවැඩිය සපයමින් කුඩා, සුපරීක්ෂාකාරී සිංහල කණ්ඩායම් පදික වේදිකාවල විසිර සිටියහ. ගිනි තැබීම පළපුරුදුකරුවන් විසින් කර තිබුණි. කැඩී එල්ලෙන කළු ගැසුණු දෙමළ හිමිකාරීත්වය කියාපාන පුවරු සමඟ සියල්ල අඟුරු වී තිබුණි. අතැන මෙතැන සිය ගණනක් බිඳුණු බෝතල්වලින් බිම හැඩි වූ මත්පැන් හලකි. නැතහොත් ගිනි තැබීමට පෙර පරිස්සමෙන් රත්‍රං සහ මැණික් ඉවත් කොට කඩා බිඳ දැමූ ප්‍රදර්ශන අල්මාරි සහිත ස්වර්ණාභරණ වෙළඳ සැලකි. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට යාර 50ක දුරින්, පොලිස් මූලස්ථානයට අනෙක් පසින් වැනසූ කළුවන් ගොඩනැඟිලි සංකීර්ණයකි. 'මේකේ තිබුණ කඩවල්වලට ලොකු විශාල යකඩ දොරවල් තිබුණා' සිදුවීම ඇසින් දුටු අයෙක් පැවසීය. 'ඒ නිසා ඒවා කඩන්න හමුදා ට්‍රක් එකක් පාවිච්චි කළා.' 'ඉන් පස්සේ මංකොල්ලයේ වැඩි කොටස ඉල්ලා සිංහල කාහළය නඟමින් සොල්දාදුවෝත් ඊට එකතු වුණා.'
එම අවස්ථාවේ කොළඹ සිටි Financial Times වාර්තාකරුවා මෙසේ දක්වයි:
‘ප්‍රචණ්ඩත්වය දරුණු හා ලේ වැගිරුණු එකක් විය. එහෙත් එය වෙනත් ආසියානු වර්ගභේදවාදී කෝලහාලවලින් වෙනස් වන්නේ සාහසිකයන් විසින් විශේෂිත ව්‍යාපාරික ස්ථාන වෙන්කරගත් ආකාරය යි. කොළඹ වීදියක් වීදියක් පාසා කෝලහාලකරුවන් විසින් පහර දෙනු ලැබුවේ දෙමළ ජනයා විසින් හිමිකාරීත්වය දැරූ කර්මාන්තශාලා (එසේම නිවාස) වෙත පමණි. මෙම සුපරීක්ෂාකාරී තේරීම දැන් පැහැදිලිව පෙනේ. සෑම වීදියකම තනි තනි වෙළඳ ස්ථාන ගිනිගෙන දැවුණේ ඒවා සමඟ තිබූ අනෙක්වාට කිසිදු අනතුරක් නොවූ අතර ය. අති බහුතරයක් සිංහලයන්ගෙන් සැදුම් ලත් හමුදා භට පිරිස් සහ පොලිසිය එක්කෝ සාහසිකයන් හා එක්ව ක්‍රියා කළ අතර නැතහොත් නිහඬව බලා සිටියහ. ජනපති ජයවර්ධන අසමත් වූයේ එක්කෝ චේතනාන්විතව ය; නැත්නම් හානිය වළක්වා ගැනීමට තරම් ඉක්මනින් තම අධිකාරි බලය තහවුරු කිරීමට අසමත් වීම නිසා ය.’ (Financial Times - 1983 අගෝස්තු 12)
ප්‍රචණ්ඩත්වය කොළඹින් පිටට
ගම්පහ, කළුතර, නුවර, මාතලේ, නුවර එළිය සහ ත්‍රිකුණාමලය වැනි නගර ගිල ගනිමින් ප්‍රචණ්ඩත්වය ශීඝ්‍රයෙන් රට පුරා පැතිර ගියේය. එක් නගරයක් සම්පූර්ණයෙන්ම විනාශ කරන ලදී. ඒ නුවර එළිය ආසන්නයේ පිහිටි කඳපොළ නම් ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා විසූ නගරය යි. මෙම උමතුවෙහි තිබුණේ අනුකම්පා විරහිත ක්‍රමවේදයකි. කොළඹ මැරයෝ ඡන්ද නාම ලේඛණ සහ දෙමළ ජනයාට අයත් සෑම කඩසාප්පුවකම, නිවසකම, කර්මාන්තයකම ලිපිනවලින් සන්නද්ධව සිටි අතර ඔවුන් පහර දුන්නේ නිශ්චිත ඉලක්කවලට යි. ඇඳිරි නීතිය පනවා තිබුණ ද ප්‍රචණ්ඩත්වය අඛණ්ඩව ක්‍රියාත්මක විය. ඇත්ත වශයෙන්ම අතිශය බිහිසුණු ක්‍රියා සිදුවුණේ පිටත රැඳී සිටීමට ආරක්ෂක අංශවලට පමණක් අවසරය හිමි වූ ඇඳිරි නීතිය පැවති කාල සීමව තුළ යි. සෑම තැනකම ගිනිතැබීම, ඝාතනය කිරීම සහ විනාශ කිරීමට අදාළ නාමාවලියක් තිබුණි. මේ නිදසුන් කිහිපයක් පමණි. ත්‍රිකුණාමලය නගර සභාවේ නගරාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ නිවාස 266ක් සහ ව්‍යාපාරික ස්ථාන 104ක් ජූලි 26 වෙනිදා එක රැයකින් ගිනි තබා විනාශ කරන ලදී. ව්‍යාපාරික ස්ථානවලට වූ හානිය රුපියල් මිලියන 12.5ක් ලෙස ද ඇස්තමේන්තු කරන ලද අතර පෙර කී ව්‍යාපාරික ස්ථාන 104 සඳහා වූ හානිය රුපියල් මිලියන 9.7ක් විය.
සාපේක්ෂව කුඩා නගරයක් වූ බදුල්ල ප්‍රදේශයේ පිහිටි ලුණුගල නගරයෙහි නිවාස 67ක්, ව්‍යාපාරික ස්ථාන 35ක් සහ දෙමළ පුද්ගලයන්ට අයත් වූ වාහන දෙකක් ගිනි තබා විනාශ කරන ලදී. ප්‍රමුඛ ව්‍යාපාරිකයෙක් සහ කන්‍යා සොයුරියක් ඝාතනය කරනු ලැබුණි. (වීරකේසරී, 1983 සැප්තැම්බර් 30)
1983 ඔක්තෝබර් 1 දින රජයේ නියෝජිතයා උපුටා දක්වමින් වීරකේසරී පුවත්පතෙහි පළ වූ වාර්තාවක් අනුව බදුල්ලේ පමණක් නිවාස 127ක්, කඩසාප්පු 252ක්, හින්දු කෝවිල් 4ක්, මුද්‍රණාල හතරක්, සිනමා ශාලා දෙකක්, එක් තැබෑරුමක්, දෙමළ පාසැල් තුනක්, වාහන 79ක් සහ එක් ග්‍රාමීය බැංකුවක්ද දවා අළු කරන ලදී. සිදුකළ ඝාතන සංඛ්‍යාව 20කි.
ඒ අසළ පිහිටි කුඩා නගරයක් වූ පස්සර නිවාස 63ක්, කඩසාප්පු 21ක්, වාහන 16ක් සහ එක් මුද්‍රණාලයක් ගිනිතබා විනාශ කළ අතර ඝාතන දෙකක් සිදු විය.
මෙම වසරේ ප්‍රචණ්ඩත්වයෙහි ලක්ෂණයක් වූයේ පිටපළාත්වල පිහිටි හින්දු කෝවිල් කිහිපයක්ද ගිනිබත් කිරීම යි. ඒ කොළඹ වාර්ෂික වේල් උත්සව සමය වූ අතර ශ්‍රී ලංකාවේ සියලු කුල, පන්ති සහ වාර්ගිකයන් සහභාගී වන කතරගම උත්සව සමයද එම කාලයටම යෙදී තිබුණි. නොසන්සුන්තා ආරම්භ වනවිට වේල් කරත්තය කොළඹ කොටුවේ සිට බම්බලපිටිය කෝවිලට පැමිණ තිබුණි. වේල් කරත්තයටද ගිනි තබන ලදී.
අගෝස්තු පළමු සතිය වනවිට කොළඹ දෙමළ ජනයා 90,000ක් පමණ (දෙමළ ජනගහනයෙන් හතරෙන් එකක්) 'රැකවරණ මධ්‍යස්ථාන' යැයි හඳුන්වනු ලැබූ කඩිමුඩියේ තනන ලද සරණාගත කඳවුරු 15කට ගාල් කරන ලද බව India Today සඟරාව වාර්තා කළේ ය. (හමුදාව රෝහලෙන් දෙමළ රෝගීන් 50 දෙනකු පමණ රැගෙන ගොස් මෙම කඳවුරුවල අතැර ආ බව එක සිදුවීමක වාර්තා වේ) 'සියලුම සරණාගතයන් පාහේ බේරී තිබුණේ ඇඳිවත පමණක් ඉතිරි කරගනිමිනි. කාන්තාවෝ දින ගණනාවක් තිස්සේ සිදු වූ ව්‍යසනය තේරුම් ගත නොහැකිව මොරදෙන ළදරුවන් වටකරගෙන සිටියහ..' (India Today 1983 අගෝස්තු 31).
එක් අතකින් නරකම තත්ත්වය වූයේ මානසික වේදනාව, කම්පනය සහ මිනිසුන්ගේ සිත් තුළ ඇති වූ කැළැල් වේ. එක රැයකින් ඔබට හිසට වහළක් නැති වී, ඔබේ දේපළ සහ ඉතුරුම් සියල්ල ගිනිබත් වී, ඔබේ බිරිඳගේ මංගල තාලිය ඇතුළු රන් භාණ්ඩ සොරාගැනීමට ලක් වී, ඔබට ඇඳිවත පමණක් ඉතුරු වී ඔබේ ඥාතී හිතමිතුරන්ටද එම ඛේදයම අත්ව ඇති බව දැකීමට සිදුවීම ගැන සිතන්න! එසේම බොහෝ අයට තම රැකියා අහිමිව තිබුණි. මීටත් වඩා අධෛර්යයට පත්වන දෙයක් තිබිය හැකි ද? එය බිහිසුණු හැඟීමකි. එ් වනාහී, ජූලි මස එම බිහිසුණු සතිය අත්විඳින්නට සිදු වූ දහස් ගණනක් දෙමළ ජනයාට දැනුණ හැඟීමකි. තමන් සමඟ එතෙක් කල් සාමකාමීව වාසය කළ සිංහලයන් තුළ තමන් කෙරෙහි මෙතරම් විෂඝෝර වෛරයක් ඇති වූයේ කෙසේදැයි දෙමළ ජනයාට වටහාගත නොහැකි විය. සිදු වූ විශාලතම අහිමිවීම වූයේ දෙමළ ජනයා සතුව සිංහල ජනයා කෙරෙහි වූ විශ්වාසය බිඳ වැටීමයි. තවදුරටත් ඔවුන්ට දකුණේ තමන් ආරක්ෂාකාරී බව දැනුණේ නැත.☐
(මතු සම්බන්ධයි)
© JDS
ජූලි මිනිස් සංහාරයේ කතාව II: නාග විහාරයට කිසිදු හානියක් නැතැයි විහාරාධිපති කියයි