JDS Sinhala

කප්පම් සඳහා පැහැරගත් පුද්ගලයන් අතුරුදහන් කළ බව නාවික සෙබළු පිළිගනිති

කිත්සිරි විජේසිංහ විසිනි


ප්පම් මුදල් ලබා ගැනීමේ අරමුණින් කොළඹ සහ  නැගෙනහිර පළාතේ විවිධ තැන්වලින් දෙමළ ජාතික තරුණයන් ඇතුළු පුද්ගලයන්ව පැහැරගෙන ගොස් රහසිගත සිර කඳවුරු තුළ රඳවා තබා ගෙන, පසුව අතුරුදහන් කළේ යැයි නාවික හමුදාවේ විශේෂ බුද්ධි ඒකකයට අනුයුක්තව සිටි  නාවික සෙබළුන් දෙදෙනෙකු විසින්  අධිකරණය හමුවේ පළමුවරට  පිළිගෙන ඇත.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ පාපෝච්ඡාරණයක් සිදුකරමින් එසේ පිළිගෙන තිබෙන්නේ නාවික නැවි කෝට්ටේගොඩ සහ නාවික නැවි සෝමදාස යන  දෙදෙනාය.

නියෝගය දසනායකගෙන්

නාවික හමුදාවේ විශේෂ බුද්ධි අංශයේ ප්‍රධානි ලෙස කටයුතු කළ කොමදෝරු ඩී කේ පී දසනායකත්, එම අංශයේම කටයුතු කළ   ලුතිනන් කොමදෝරු චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි සහ 'ගන්සයිඩ්' කඳවුර භාරව සිටි ලුතිනන් කොමදෝරු සුමිත් රණසිංහගේත් නියෝග මත තමන් ඇතුළු පිරිසක් විවිධ අවස්ථාවලදී බලහත්කාරයෙන්  පුද්ගලයන් පැහැරගෙන පැමිණි බව ඔවුන් දෙදෙනා ප්‍රකාශ කොට තිබේ.

නාවික නැවි කෝට්ටේගොඩගේ ප්‍රකාශයට අනුව නාවික නැවි සෝමදාස සහ තවත් පිරිසක් සමග ඔහු විසින් ජෝන් රීඩ්වත්, පසුව රාජිව් නාගනාදන් ඇතුළු  පුද්ගලයන් පස් දෙනෙකුත්, අලි අන්වර් සහ තවත් පුද්ගලයනුත් පැහැරගෙනවිත් කොළඹ නෞකා තටාකාංගනය හෙවත් 'පිට්ටු බම්බුව' නම් ස්ථානයේ සිර මැදිරියක රඳවා තබා ගෙන ඇත.

නාවික නැවි සෝමදාස පාපොච්ඡාරණය කර ඇත්තේ ජෝන් රීඩ් සහ රජීව් නාගනාදන් ඇතුළු පිරිස  2008 අගෝස්තු මාසයේ සිට 2009 මාර්තු මාසය අතරතුර කාලය දක්වා කොළඹ නාවික නෞකා තටාකාංගනයේ සිරමැදිරිවල රඳවා තබා ගෙන සිට පසුව ත්‍රිකුණාමලය නාවික, සාගර හා විද්‍යා ආයතන පරිශ්‍රයේ පිහිටි භූගත ගන්සයිඩ් සිරමැදිරිවල රඳවා තැබීමට රැගෙන ගිය බව ය.

මේ අතර, මෙම අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ලකෑම් විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එ්ඩ්‍රියන් නිශාන්ත සිල්වා ද, පසුගිය 20 වැනි දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායකට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කොට තිබෙන්නේ නාවික හමුදා නැවියන් වන සෝමදාස සහ කෝට්ටේගොඩ යන අයවලුන් තමන් හමුවේ ලබා දුන් ප්‍රකාශයකට අනුව අතුරුදහන්ව සිටින තැනැත්තන්ව පැහැරගෙන එන ලෙසත්, පසුව 'පිට්ටු බම්බුව' සහ ගන්සයිඩ් සිර මැදිරි තුළ සිරකර තබන ලෙසටත් කොමදොරු ඩීකේපී දසනායක සහ සෙසු නිලධාරින් අණ දී  ඇති බවට අනාවරණය වී ඇති බව ය.

"අපිට කිවුවේ ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ අය අල්ලන්න යනවා කියලායි. අපිට නියෝග දුන්නේ කොමදෝරු ඩීකේපි දසනායක. අපි වැඩ කෙරුවේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යටතේයි. දසනායක සහ හෙට්ටිආරච්චි අපිට කිවුවා මේ වැඩවලදි විශ්වාසයයි, පක්ෂපාතීත්වයයයි වැදගත් කියලා," යැයි,  නාවික නැවි කෝට්ටේගොඩ විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ප්‍රකාශයෙහි සඳහන් වේ.

"අපි ජෝන් රීඩ්ව පැහැරගන්න වෙලාවේ එයා හිටියේ විවාහ වෙන්න හිටපු ගෑණු ළමයත් එකක. එයාව අරගෙන ඇවිත් පිට්ටු බම්බුවේ සිර මැදිරියකට දැම්මා. තවත් අවස්ථාවක ළමයි පස් දෙනෙක්ව අල්ලාගෙන ආවා. ඒ අයවත් කූඩුවලට දැම්මා. රොෂාන් ලියෝන් සහ අමලන් ලියෝන් කියන දෙන්නවත් අරන් ආවා. ඒ දෙන්නා තාත්තයි, පුතයි. අලි අන්වර් කියන කෙනාවත් අල්ලගෙන ඇවිත් හිරකළා. පැහැරගෙන ආපු  හැමෝම භාර දුන්නේ ලුතිනන් කොමදොරු  සුමිත් රණසිංහට" යි ඔහුගේ ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වේ.

කෝට්ටේගොඩ වෙනත් කටයුත්තක් සඳහා පසු අවස්ථාවක ත්‍රිකුණාමලය ගන්සයිඩ් කඳවුර වෙත ගිය විටකදි එහි 'සේමෝර්' නමින් හැඳින්වෙන නිලධාරි නිවස්නය අසළ ජෝන් රීඩ්ගේ වෑන් රථය නතර කර තිබෙනු දුටු බවට ඔහු විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ  ප්‍රකාශ කොට ඇතැයි ද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අධිකරණය හමුවේ පවසා සිටියේය.

ජෝන් රීඩ් හා කස්තුරි ආරච්චිගේ ඇන්ටන්

කස්තුරි ආරච්චිගේ ජෝන් රීඩ්ව  ආයුධ සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන යනු ලබන්නේ 2008 අගෝස්තු මස 08 වැනිදා ය. එම පැහැරගැනීම සිදුව ඇත්තේ ඔහුට අයත් 56-5536 දරණ ටෝයෝටා - ඩොල්ෆින් වෑන් රථයෙන් වත්තල - හැඳල ප්‍රදේශයේ ගමන් කරමින් සිටින අවස්ථාවක ය. පැහැර ගැනීමට පැමිණෙන පුද්ගලයන් ජෝන් රීඩ් සමඟ වෑන් රථය ද ගෙන යන අතර පසුව එහි වර්ණය වෙනස් කොට 'නා.හ. 6021'  අංකය යටතේ නාවික හමුදාවේ විශේෂ බුද්ධි අංශයේ කටයුතු සඳහා යොදවා තිබේ. ඒ විශේෂ බුද්ධි ඒකකයේ එවකට සිටි ප්‍රධානී කොමදෝරු ඩී කේ පී දසනායකගේ නියෝගයක් මත ය. පසුව එම වෑන් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයෙන් ලබා ගන්නා සෝදිසි වරෙන්තුවක් මත සොයා ගනු ලැබ ඇත්තේ 2016 මැයි 25 දින ත්‍රිකුණාමලය නාවික කඳවුරු පරිශ්‍රයේ නවතා තිබියදී ය. එහිදි ජෝන් රීඩ්ගේ වැඩිමහල් සොහොයුරු ඇන්ටනි රොසල්ඩීන් විසින් එම වෑන් රථය සිය සොහොයුරාගේ බවට හඳුනාගෙන තිබේ.

ජෝන් රීඩ්ව පැහැරගෙන ගොස් මාස දෙකකට පමණ පසුව, එනම් 2008 ඔක්තෝබර් 10 වන දින නාවික හමුදා බුද්ධි අංශයෙන් බව පවසමින් පැමිණෙන පිරිසක් ජෝන් රීඩ්ගේ පියාවන කස්තුරි ආරච්චිගේ ඇන්ටන් යන අයවද පැහැරගෙන යනු ලැබිණ. කොට්ටේගොඩ සහ සෝමදාස විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කර ඇති ප්‍රකාශයේදි පිළිගෙන තිබෙන්නේ එම පැහැර ගැනීමද තම කණ්ඩායම විසින් සිදුකළ එකක් බව ය.

ජෝන් රීඩ්ගේ මව මෙන්ම කස්තුරි ආරච්චිගේ ඇන්ටන් යන අයගේ බිරිඳ ද වන සම්සුන් නිහාරා මහත්මිය ජේඩීඑස් හා කියා සිටියේ  මෝටර් බයිසිකල් දෙකකින් පැමිණ ඇති සිවු දෙනෙකු තම පුතුගේ හිසට පිස්තෝලයක් එල්ල කර බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බව ය.

"ඇයි මාව ගෙනියන්නේ, මම වරදක් කරලා නැහැ' කියලා පුතා කියලා තියනවා. එහෙම කියද්දි තමයි පිස්තෝලයක් ඔළුවට තියලා අරන් ගිහින් තියෙන්නේ. පුතා බඳින්න හිටිය ගෑණු ළමයා තමයි අපිට ඇවිත් කිවුවේ. අපි වත්තල පොලිසියේ පැමිණිලි කෙරුවා. මාසෙකට විතර පස්සේ නාවික හමුදාවෙන් කියලා ඇවිත් මගේ මහත්තයාවත් අරන් ගියා. මහත්තයා ගෙනියන්නත් හතර දෙනෙක් තමයි ආවේ. එක් කෙනෙක් නාවික හමුදාවේ ඇඳුම් ඇඳලා හිටියා. ඒ අය අපේ ගෙදර ටෙලිෆෝන් එකේ වයර් කඩලා දැම්මා. පස්සේ අපේ  ජංගම දුරකතන ඔක්කොම ගත්තා. මම කෑගහලා අඬලා කිවුවා මගේ පුතාවත් පැහැර ගත්තා, මහත්තයාවත් අරන් යන්න එපා කියලා. එතකොට ඒ අය මට කිවුවා හෙට උදේ නමයට නාවික හමුදා මූලස්ථානයට එන්න, මහත්තයාව භාර දෙන්නම් කියලා. අපි පහුවදා නාවික හමුදා මුලස්ථානයට ගිහින් ඇහුවම අපිට ගෙට්ටුවෙන් ඇතුළටවත් යන්න දුන්නේ නෑ. එහෙම කෙනෙක් අරන් ආවේ නෑ කියලා අපිව එළවාගත්තා" ඈ කීය.

එකම කණ්ඩායමක්

තම කණ්ඩායම විසින් රාජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, තිලකේශ්වරම් රාමලිංගම්, මොහොමඩ් සජීඩ් සහ ජමාල්ඩීන් ඩිලාන් යන අය පැහැරගෙන ආ බව කෝට්ටේගොඩ සහ සෝමදාස විසින් පාපෝච්ඡාරණය කොට තිබේ. ඔවුන් පස්දෙනා පැහැර ගැනීමට ලක්වෙන්නේ 2008 සැප්තැම්බර් 17 වන දින දෙහිවල ප්‍රදේශයේදී ය. එම පැහැර ගැනීමේදී රාජීව් නාගනාදන් සහ සෙසු පිරිස ගමන් කරමින් සිටි ඔහුට අයත් ඩබ්ලියු.පී - කේ.සී 5564 දරණ කාර් රථය ද පැහැර ගැනීමට පැමිණෙන පුද්ගලයන් විසින් රැගෙන ගොස් ඇත.

මේ අතර පසුගිය 22 දා නන්දප්‍රිය හෙට්ටිහැන්දි නම් තවත් නාවික සෙබළෙකුව අපරාධ පරීක්ෂණ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර, ඔහු ලුතිනන් කොමදෝරු සුමිත් රණසිංහ භාරයේ තිබුණු ගන්සයිඩ් භූගත සිර මැදිරි සංකීර්ණයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වශයෙන් 2008 සිට 2011 අතර කාලය දක්වා කටයුතු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ කියා තිබේ.

කොට්ටේගොඩ, සෝමදාස සහ හෙට්ටිහැන්දි ඇතුළු පිරිස පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙන්නේ රාජීව් නාගනාදන් විසින් සිය පියාට කතා කොට තිබෙන අංක 077- 9060871  දරණ ඩයලොග් දුරකතන අංකයේ දත්ත විශ්ලේෂණය කිරීමේදී ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විසින් අධිකරණය හමුවේ ගොනු කොට තිබෙන වාර්තාවන්ට අනුව එම දුරකතන අංකයේ සෑබෑ හිමිකරු මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ වන විට එම පුද්ගලයා පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති ඇති අතර අපරාධ පරික්ෂකවරුන්  සැකකරනුනේ එම පුද්ගලයාවද යම් පිරිසක් විසින් ඝාතනය කරන්නට ඇති බව ය. කෙසේ නමුත් අධිකරණ නියෝග මත  දුරකතන දත්ත ලබා දෙන්නැයි අවස්ථා කිහිපයකදීම අදාළ ආයතනයෙන් ඉල්ලා සිටිය ද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ බලපෑම් මත එම දත්ත ලබා දීම ඩයලොග් ආයතනය පමා කළ බව ද සීඅයිඩීය අධිකරණය හමුවට කරුණු සැළකර තිබේ.

ඇසින් දුටු සාක්ෂි

මෙම අපරාධය පිළිබඳව ජේඩීඑස් වෙත වාර්තාවී ඇති තොරතුරුවලට  අනුව පැහැරගෙන ගිය පුද්ගලයන්ව නීති විරෝධීව රඳවා තබාගෙන සිටීමත්, පසුව එම පුද්ගලයන්ව ඝාතනය කිරීමත් පිළිබඳව එවකට සිටි නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂක කපිතාන් ආනන්ද ගුරුගේ මෙන්ම තවත් ඉහළ පෙලේ නාවික හා ආරක්ෂක  නිලධාරින් ගණනාවක්ම දැනුවත්ව සිට ඇත. විශේෂයෙන්ම කප්පම් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් නාවික හමුදා විශේෂ බුද්ධි ඒකකය විසින් දෙමළ තරුණයන්ව පැහැරගෙන යන බවට ලද තොරතුරු මත, නාවික බුද්ධි අධ්‍යක්ෂක කපිතාන් ආනන්ද ගුරුගේ විසින් පරික්ෂණයක් පවත්වා ඇති අතර එහිදි හෙළිදරව් වී තිබෙන්නේ කොමදෝරු දසනායක, ලුතිනන් කොමදෝරු චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි සහ ලුතිනන් කොමදෝරු සුමිත් රණසිංහ ඇතුළු පිරිසක් එයට සම්බන්ධ බව ය. පසු කලෙක කපිතාන් ආනන්ද ගුරුගේගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධව කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ද ඔහු ඒ බව පිළිගෙන තිබේ.

කප්පම් මුදල් ලබා ගැනීමේ අරමුණින් පුද්ගලයන් පිරිසක්ව පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන අංක බී.732/2009  දරණ මූලික සාක්ෂි විමසීමේදී සාක්ෂිකරුවකු වන ලුතිනන් කොමදෝරු ක්‍රිෂාන්ත වෙළගෙදර අනාවරණය කර ඇති පරිදි 2009 වසරේදි ඔහුව නැගෙනහිර බුද්ධි ප්‍රධානියා කොට ත්‍රිකුණාමලය නාවික කඳවුර වෙත  යවනු ලබන්නේද මෙම අපරාධයේ සුලමුල හෙළිදරව්කර ගැනීම සඳහා ය.

''ගුරුගේ සර් මාව නැගෙනහිර බුද්ධි ප්‍රධානියා හැටියට පත්කරලා ත්‍රිකුණාමලය කඳවුරට යවන්නේම දසනායකයි, රණසිංහයි විශේෂ බුද්ධි ඒකකය හරහා කරන වංචා දුෂණ, අපරාධ ගැන හොයලා එයාට වාර්තා කරන්න කියලායි. විශේෂයෙන්ම ඔය පුද්ගලයෝ 11 දෙනා ගැන හොයලා වාර්තා කරන්න කියලා ගුරුගේ සර් මට නියෝග කරලායි තිබුණේ. මම ත්‍රිකුණාමලයට යනකොට නැගෙනහිර විශේෂ බුද්ධි ප්‍රධානියා හැටියට වැඩ කෙරුවේ ලුතිනන් කොමදෝරු සුමිත් රණසිංහ''යි ලුතිනන් කොමදෝරු වෙළගෙදර ජේඩීඑස් හා  ප්‍රකාශ කළේය.

එසේම ඔහු  කියා සිටියේ 2009 මාර්තු 25 සහ 27 කාලය තුළ අවස්ථා කිහිපයකදීම ජෝන් රීඩ්, රාජීව් නාගනාදන් සහ අලි අන්වර් යන අයව ගන්සයිඩ් සිරමැදිරියේ දි තමන් දුටු බව ය.  එක අවස්ථාවකදි අලි අන්වර්ගේ හිස දරුණු ලෙස තුවාල වී රුධිරය ගලමින් තිබුණු බවත් තමන් ඒ පිළිබඳව ඔහුගෙන් විමසීමේදි සුමිත් රණසිංහ ඇතුළු පිරිසක් තමන් සහ සෙසු රැඳවියන්ට දරුණු ලෙස පහර දුන් බවට අලි අන්වර් තමන් සමඟ පැවසු බවත් ලුතිනන් කොමදෝරු වෙළගෙදර කියා සිටියේය.

ඔහු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශයක දැක්වෙන්නේ එයින් දින කිහිපයකට පසුව තමන් නැවත රැඳවියන් බැලීම සඳහා යන විට එහි ආරක්ෂාවට භාරව සිටි සෙබළුන් විසින් 'සර්, ඊයේ උන්ට ගහලා දැම්මා' යනුවෙන් තමන් සමඟ පැවසු බවත්, පසුව තවත් සෙබළුන් පිරිසක් පොලිතින් උරවල ඔතන ලද සිරුරු කිහිපයක් කැබ් රථයකට පටවනු තමන් දුටු බවත් ය.

වසන්ත කරන්නාගොඩ සහ කප්පම් මුදල්

පුද්ගලයන් 11 දෙනෙකුව කප්පම් මුදල් ලබා ගැනීමේ අරමුණින් පැහැරගෙන ගොස් රඳවා තබා ගෙන සිට පසුව අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාවේ විශේෂ බුද්ධි ඒකකයට සම්බන්ධ නිලධාරින් සහ සෙබළුන් ගණනාවක් අත්අඩංගුවට ගෙන  රීමාන්ඩ් බන්ධනාගාරගත කොට පසුව ඇප පිටි නිදහස් කර සිටිති. මෙම අපරාධයට සම්බන්ධ බවට චෝදදනා එල්ල කෙරී ඇති  ඉහළම හමුදා නිලධාරියා වන්නේ හිටපු නාවික හමුදාපති, වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ගවලට අනුව ඉදිරි දින කිහිපය තුළදි හිටපු නාවික හමුදාපතිවරයෙක් වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ද අත්අඩංගුවට ගැනීමට නියමිත ය. ඒ අපරාධ පිළිබඳ තොරතුරු දැන දැනම  වසන් කිරීම, අපරාධකරුවන්ට ආරක්ෂාව සැලසීම ඇතුළු චෝදනා ගණනාවක් යටතේ ය.

මේ දක්වා කරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ලුතිනන් කොමදෝරු චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි සහ නාවික සෙබළුන් වන ඉඹුලාන ලියනගේ චමින්ද කුමාර නොහොත් අන්නච්චි සහ ඩිලන්ත සේනාරත්න යන පුදග්ලයන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටිති. සම්සුන් නිහාරා පසුගිය දිනෙක කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවකදි චමින්ද කුමාර නොහොත් අන්නච්චි නැමැත්තාව හඳුනාගනු ලැබුණි. සිය පුත්‍රයා වන ජෝන් රීඩ් සහ සැමියා වන කස්තුරි ආරච්චිගේ ඇන්ටනි යන අයව නිදහස් කර එවන බව පවසමින් කුරුනෑගල - නාරම්මල ප්‍රදේශයේදි තමන්ගෙන් රුපියල් ලක්ෂ 10 කප්පම් මුදලක් ඉල්ලා, පසුව ලක්ෂ පහක මුදලක් ලබාගන්නා ලද්දේ ඔහු විසින් බවට ඇය කියා සිටියාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇති දුරකකතන දත්ත විශ්ලේශණයන්ට අනුව, කප්පම් මුදල් ලබා ගැනීම සඳහා චමින්ද කුමාර විසින් භාවිතා කර ඇති දුරකතනය සහ සිම් කාඩ් පත්ම භාවිතා කරමින් ඩීකේපී දසනායකද විවිධ පුද්ගලයන්ට දුරකතන ඇමතුම් ලබා දී තිබේ.☐

© JDS

සබැඳි පුවත්

03.03.2015  පැහැරගත් තරුණයන් ‘ගෝඨාස් කෑම්ප්’හි රඳවා ඇතිදැයි සොයා බැලීමට අධිකරණ නියෝගයක්
19.03.2015  'ගෝඨා කෑම්ප් ගැන සොයන්නේ නම් සාක්‍ෂි ඉදිරිපත් කරන්න සූදානම්'
04.05.2015  පැහැරගත් පුතා සොයා දීමට 'පහළොස් ලක්‍ෂයක කප්පමක්'
12.02.2017  පැහැරගැනීම් සිදුකළ නාවික සෙබළු අත් අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග
27.06.2017  බිම්ගෙයි වධබිම: ගන්සයිඩ් කඳවුරේ වැළලෙන නාවුක හමුදා අපරාධ
29.01.2018  නාවික හමුදාව ඉස්සූ දෙදෙනකු ගැන පරීක්ෂණවලට ජනපති තිරිංග
19.08.2018  සැකකාර නාවික නිලධාරියා සැඟවීම ගැන ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානියාට චෝදනා
23.10.2018  අපරාධ චූදිත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා රකින බවට ජනාධිපතිට චෝදනා
23.11.2018  දුරකතන අංකවලින් නාවික හමුදා කප්පම්කරුවන් හෙළි වේ
03.12.2018  නාවික හමුදාවේ කප්පම් කල්ලි ගැන තවත් තොරතුරු හෙළි වේ
04.01.2019  අපරාධ පරීක්ෂකයන්ට හා සාක්ෂිකරුවන්ට එරෙහිව නාවික 'ලොක්කන්ගේ' කුමන්ත්‍රණයක්



left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.