JDS Sinhala

පැහැරගැනීම් සිදුකළ නාවික සෙබළු අත් අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග

සස් අධ්‍යාපනය හදාරමින් සිටිය දෙමළ ජාතික සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙක්  පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ  සිටින නාවික හමුදාවේ නිලධාරින් සහ සෙබළුන් දස දෙනෙකුට වැඩි පිරිසක් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන්නැයි කොටුව  මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කොට ඇත.

කොටුව මහේස්ත්‍රාත්වරිය එසේ නියෝග කොට ඇත්තේ අදාළ තරුණයන් පිරිස අතුරුදහන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අදාළ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අධිකරණය හමුවේ පෙනී සිටින රජයේ නීතිඥවරයා විසින් ඉකුත් බ්‍රහස්තපතින්දා (9) කරුණු දැක්වීමෙන් අනතුරුව ය.

කොළඹ, කොටුව අංක 3 මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අංක 732/09 දරණ මෙම නඩුව කැඳවා ඇති අවස්ථාවේදි මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කොට ඇත්තේ චුදිත නාවික හමුදා නිලධාරීන් සහ සෙබළුන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය උධෘත සකස් කොට රහස් පොලිසියට භාර දෙන ලෙස ය. එයින් අනතුරුව සති දෙකක්  ඇතුළත එම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස ද මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසිය වෙත නියෝග කොට ඇත.

කරන්නාගොඩගේ ගෝලයෝ

අධිකරණ නියෝගයන්ට අනුව මෙසේ අත් අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ  නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඩී.කේ.ජී දසනායක, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ පුද්ගලික අධිසහායක ලෙස කටයුතු කළ ලුතිනන් කොමදෝරු සම්පත් මුණසිංහ, ලුතිනන් කොමදෝරු හෙට්ටිආරච්චි, ලුතිනන් කොමදෝරු සුමිත් රණසිංහ, නාවික සෙබළ ලක්ෂ්මන් උදයකුමාර, කේ.ජී.එන්.ජී. වික්‍රමසිංහ ඇතුළු දස දෙනෙකි. මෙයට අමතරව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු ඉහළ පෙලේ නාවික නිලධාරින් කිහිප දෙනෙක් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට හැකි තරම් ප්‍රමාණවත් සාක්ෂි පවතින්නේ ද යන වග විමසා මසක් ඇතුළත අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කළ බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ජේඩීඑස් හා ප්‍රකාශ කර සිටියේය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ ලුතිනන් කොමදෝරු සම්පත් මුණසිංහ පළමුවරට අත් අඩංගුවට ගනු ලැබුවේ ද හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ පැමිණිල්ලක් මත බව ය. එහිදී ඔහුගේ නිල මැදිරියේ මේස ලාච්චුවක තිබී දැනට අතුරුදහන්ව සිටින පුද්ගලයන් ගණනාවකගේ විදෙස් ගමන් බලපත්‍ර, ජාතික හැඳුනුම්පත් සහ රියදුරු බලපත්‍ර කිහිපයක්ම සොයා ගනු ලැබු බව ද ඔහු විසින් පෙන්වා දුන්නේය.

කප්පම් මුදල්

තමන්  නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බව පවසමින් ආයුධ සන්නද්ධව වෑන් රථයකින් සහ මෝටර් බයිසිකල්වලින් පැමිණි ඇති පිරිසක් විසින් අවස්ථා කිහිපයකදි මෙම තරුණයන් පිරිස කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලදි පැහැරගෙන ගොස් ඇති අතර පසුව ඔවුන්ව කොටුව චෛත්‍ය පාරේ පිහිටි  ශ්‍රී ලංකා නාවුක පරාක්‍රම ආයතනයේ 'පිට්ටු බම්බුව' නමින් හැඳින්වෙන ස්ථානයේ රඳවා තබා ගෙන සිටි ඇති බවට ද හෙළිදරවු වී තිබේ. කස්තුරිආරච්චිලාගේ ජෝන් රීට්, රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, මොහොමඩ් සාජිත්, තිලකේශ්වරම් රාමලිංගම්, ජමාල්ඩීන් ඩිලාන්, අමලන් ලියෝන්, රෝෂාන් ලියෝන්, ඇන්ටනි කස්තුරිආරච්චි, කනගරාජා ජෙගන්, මොහොමඩ් අලි අන්වර් නොහොත් හාජ්ජියාර් යන අය මෙසේ පැහැර ගැනීමට ලක්වී ඇති අතර 2008-2009 අතර කාල සීමාවේදි ඔවුන්ව ඉහත සඳහන් 'පිට්ටු බම්බුව' නම් ස්ථානයේත්, පසුව ත්‍රිකුණාමලය 'ගන් සයිඩ්' නම් භූගත සිර මැදිරි තුළත් සඟවා තබා ගෙන සිටි ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බී වාර්තා පිටපතක දක්වා තිබේ. කප්පම් මුදල් ලබා ගැනීමේ අරමුණින් එම පිරිස පැහැරගෙන ගොස් ඇති බවටත්, පසුව අවස්ථා කිහිපයකදිම ලක්ෂ 5-10 බැගින් වු කප්පම් මුදල් ලබා ගෙන ඇති බවටත් අදාළ 'බී' වාර්තාවෙහි වැඩි දුරටත් දැක් වේ.

අධිකරණය හමුවේ හෙළිදරවු වී ඇති කරුණුවලට අනුව මෙම පුද්ගලයන්ව පැහැරගෙන යාම සහ රඳවා තබාගැනීම මෙහෙයවා ඇත්තේ හිටපු නාවික හමුදාපතිවරයාගේ පුද්ගලික අධිසහායක ලෙස කටයුතු කළ ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ ය. එසේම පිට්ටු බම්බුව නම් ස්ථානයේ පාලනය සහ අධීක්ෂණය ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි නැමති අය විසින් කර ඇති බව එහි සිටි නාවික සෙබළුන්ගේ ප්‍රකාශ උපුටා දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කොට තිබේ. එසේම මෙම සියළු පැහැර ගැනීම්, රහසිගත කඳවුරු තුළ රඳවා තබා ගැනීම් සියල්ල පූර්ණ අධීක්ෂණයට ලක් කරමින් මෙහෙයවා ඇත්තේ නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක මෙන්ම විශේෂ බුද්ධි මෙහෙයුම් ඒකකයේ ප්‍රධානියෙකුද වු කපිතාන් ඩී.කේ.ඩී දසනායක විසින් බවද අදාළ වාර්තාවල වැඩි දුරටත් දැක් වේ.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.