JDS Sinhala

අපරාධ පරීක්ෂකයන්ට හා සාක්ෂිකරුවන්ට එරෙහිව නාවික 'ලොක්කන්ගේ' කුමන්ත්‍රණයක්

කිත්සිරි විජේසිංහ විසිනි


සුගිය පාලන සමයේදි  ජනමාධ්‍යවේදීන්ට එරෙහිව දියත් කෙරුණු බරපතල  අපරාධ රැසක් සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන ප්‍රධාන විමර්ශන නිලධාරියාට සහ එම අපරාධවල ප්‍රධාන සාක්ෂිකරුවන්ගේ ජීවිතවලට හානි කිරීමේ අරමුණින් නාවික හමුදාවේ ඉහළ නිලධාරින් විසින් මෙහෙයවනු ලබන  බුද්ධි අංශ සමාජිකයන් පිරිසකගේ ක්‍රියාකාරකම් රැසක්  පිළිබඳව තොරතුරු හෙළිදරව් වෙමින් තිබේ.

මෙම තොරතුරු අනාවරණය වෙමින් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු විසින් ලබාදෙන ලද ප්‍රකාශයන් මගිනි.

බුද්ධි අධ්‍යක්ෂගේ නියෝගයක්

පසුගිය දෙසැම්බර් 20 වැනි දින, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තුළ සැක කටයුතු ලෙස රැඳී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබු එන්. එම්. ඩබ්ලියු. ජානක (38190) සහ ඒ. එස්. එන්. ටෝනි (103183) නමැති නාවික බුද්ධි සමාජිකයන් දෙදෙනාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සහ නාවික නිලධාරින්ට විරුද්ධව සාක්ෂි සපයන පුද්ගලයන් පිළිබඳව තොරතුරු සොයා ගෙන එන ලෙස පවසමින් නාවික බුද්ධි අධ්‍යක්ෂ කපිතාන් සංජීව ප්‍රේමරත්න විසින් තමන්ව අධිකරණය වෙත එවු බව ය.

තමන්ව ඝාතනය කිරීම සඳහා ඔත්තු බැලීමට එම නාවික බුද්ධි සාමාජිකයන්ව එවා ඇතැයි ඔවුන්ගේ ප්‍රකාශ මගින්ද තහවුරු වී ඇතැයි  පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා විසින් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ විවෘත අධිකරණයේදි ප්‍රකාශ කර ඇත්තේ ඒ අනුව ය.

මෙයට පෙර අවස්ථාවකදි පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වාව ඝාතනය කිරීමට පැමිණි බවට සැක කෙරුණු උදයකුමාර සහ වික්‍රමසූරිය නැමති  නාවික බුද්ධි අංශ සමාජිකයන් දෙදෙනා ද, පෙරේරා නැමති යුධ හමුදා බුද්ධි අංශ සමාජිකයාව අත් අඩංගුවට ගැණුනු අතර ඒ පිළිබඳ නඩු විභාගය මේ වන විටත් කොළඹ කොටුව අංක 01 මැදිරියේ සිදු කෙරෙමින් තිබේ. මෙම නාවික බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනා කප්පම් මුදල් ලබා ගැනීම සඳහා පුද්ගලයන් පිරිසක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අය වන අත් අඩංගුවට ගනු ලැබූ යුද හමුදා සාමාජිකයා මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගෙන ගොස් වධහිංසා කිරීම පිළිබඳව චෝදනා ලැබූ යුධ හමුදාවේ දෙවැනි සන්නද්ධ බුද්ධි ඒකකයට අනුයුක්තව සිටි සෙබළෙකි.

සාක්ෂිකරුවන් විනාශ කිරීමේ බුද්ධි ඒකක

හිටපු නාවික හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ අනුමැතිය මත, පොලිස්පති පූජිත ජයසුන්දර මාර්ගයෙන් පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වාට මීගමුව පොලිස් ස්ථානයට ස්ථාන මාරුවක් ලබා දෙමින් සාමාන්‍ය රාජකාරිවලට අනුයුක්ත  කිරීමට මීට පෙර දරණ ලද උත්සාහය ව්‍යාර්ථ වී ගියේ පොලිස් කොමිසම විසින් එම ස්ථාන මාරුව අවලංගු කිරීම  හේතුවෙනි. පොලිස් පරික්ෂකවරයාට එවැනි හදිසි ස්ථාන මාරුවක් ලබාදීමට හේතුව  දැනට සිදු කෙරෙමින් තිබෙන ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු ප්‍රධාන පරීක්ෂණ සියල්ලම අඩපණ කිරීම යැයි  පවසමින් ජාතික සහ ජාත්‍යන්තර පාර්ශව ගණනාවක්ද විරෝධය පල කරන ලදි.

කෙසේ නමුත් පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳව චෝදනා ලැබ සිටින ප්‍රධාන සැකකරුවන් බොහෝ දෙනෙක් මේ වන විටත් ඇප පිට නිදහස්ව උසස්වීම් සහ සේවා දීර්ඝකිරීම් ලැබ නාවික හමුදාවේම සේවය කරන අතර, එම අපරාධය ඇසින් දුටු සාක්ෂිකරුවන් විසින් ලබාදුන් දිවුරුම් ප්‍රකාශ මගින් හෙළිකර ඇත්තේ අදාළ සැකකාර නාවිනක නිලධාරින් යළි සේවයේ පිහිටුවීම සිය ජීවිතවලට තර්ජනයක් බව ය. විශේෂයෙන්ම ඇප ලැබීමෙන් පසුව කොමදෝරු නිලයට උසස් කර ඇති සුමිත් රණසිංහ මේ වනවිට බුද්ධි අංශ ප්‍රධානියෙකු ලෙස කටයුතු කරන බවත්, එය ඔහුට ලබා දී ඇති නිල රාජකාරියට අමතරව සිදුකරන රාජකාරියක් බවත් එක් ප්‍රධාන සාක්ෂිකරුවකු ජේඩීඑස් හා කියා සිටියේය.

"සුමිත් රණසිංහගේ රාජකාරිය තමයි ලෑන්ඩ් ඔපරේෂන් භාර නිලධාරියා  හැටියට වැඩ කරන එක. ඒ වගකීම එයාට පැවරුණේ ඇප ලැබුණට පසුවයි. නමුත් ඒයා කරන්නේ බුද්ධි මෙහෙයුම් භාරව ඉඳීම" යැයි නම හෙළි නොකරන්නැයි ඉල්ලා සිටි අදාළ නාවික නිලධාරියා ප්‍රකාශ කළේය.

"හිටපු නාවික හමුදාපති සිරිමෙවන් රණසිංහ ඉතාම රහසිගත ලිපියකින් ඔහුට හිතවත් මෙහෙයුම් භාර නාවික අධ්‍යක්ෂකවරුන්ට දන්වලා තියෙනවා සුමිත් රණසිංහට බුද්ධි අංශය භාරව වැඩ කරන්න දෙන්න කියලා. ඒ අනුව, එයාට ආයුධ සන්නද්ධ ආරක්ෂාවක් ලබා දෙනවා. ඒ වගේම මේ අපරාධවලට විරුද්ධව සාක්ෂි දෙන නාවික නිලධාරීන්ගේ දුරකතනවලම පැය 24ම සවන් දෙන්නත්, ඔත්තුකාරයෝ දාලා තොරතුරු රැස් කරන්නත් එයාට බලය දීලා තියනවා" යි එම නිලධාරියා පැවසීය.

CDS නියෝගයෙන් සැකකරුවන්ට උසස්වීම්

මේ අතර ඇප පිට නිදහස්ව සිටින සැකකරුවන්ට උසස්වීම් ලබා දෙමින් සේවයේ පිහිටුවීම පිළිබඳ  නාවික හමුදාවේ ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්ෂක රියර් අද්මිරාල් සේරසිංහ ගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය බදාදා (2) ප්‍රකාශයක් ලබා ගෙන තිබේ. එහිදී ද හෙළිදරව් වී ඇත්තේ හිටපු නාවික හමුදාපතිවරුන් වන සිරිමෙවන් රණසිංහ, වසන්ත කරන්නාගොඩ සහ රවීන්ද්‍ර විජේගුණරත්නගේ නියෝගය සහ බලපෑම් මත එසේ  සිදු කොට ඇති බව ය.

එදිනම කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ සවස 2 සිට 5 පමණ වන තෙක් රහසිගත ප්‍රකාශයක් ලබා දුන් ලුතිනන් කොමදෝරු ක්‍රිෂාන්ත වෙලගෙදර විසින්, කොමදෝරු දසනායක, සුමිත් රණසිංහ හා චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ඇතුළු සැකකරුවන් විසින් පුද්ගලයන් 11 දෙනා පැහැර ගෙන ගොස් මරා දැමීම පිළිබඳව කරුණු හෙළිකර තිබේ. එසේම එකී සැකකරුවන්ට ඇප ලබා දීමෙන් අනතුරුව තමන් ඇතුළු සෙසු සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම පිළිබඳවත්, ඔහු විසින් දිර්ඝ ලෙස මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වා ඇත.

පසුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කොට ඇත්තේ සැකකරුවන් විසින් සාක්ෂිකරුවන්ට බලපෑම් කරනු ලබන්නේ නම් අධිකරණයට කරුණු වාර්තා කොට අදාළ ඇප නියෝග අවලංගු කිරීමට කටයුතු කරන ලෙස ය.

ඇප අවලංගු කරයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න අධිකරණය මඟහැර සිට පසුව පැමිණි විටදි මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවේද සාක්ෂිකරුවන්ට බලපෑම් සහ තර්ජනය කර ඇතැයි වාර්තාවන බැවින් ඇප ලබා නොදී රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස ය.

මාධ්‍යවේදීන් වන  ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම, කීත් නොයාර් පැහැරගෙන ගොස් දරුණු වධ හිංසා සිදු කිරීම, උපාලි තෙන්කෝන්ට සහ ඔහුගේ බිරිඳට පහරදීම, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, පුද්ගලයන් 11 දෙනෙකු සහ තවත් පිරිසක් විවිධ අවස්ථාවල පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම මෙන්ම රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කිරීම ඇතුළු ප්‍රධාන අපරාධ ගණනාවකම සැකකරුවන් බවට චෝදනා එල්ල වී ඇත්තේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ හා නාවික හමුදාවේත්, පොලිස් දෙපාර්තමේන්තුවේත් බුද්ධි අංශ සමාජිකයන් ඇතුළු ඉහලම නිලධාරින් පිරිසක් වෙත ය.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.