JDS Sinhala

මාතලේ සමූහ මිනීවල ගැන විදේශීය වාර්තාව 'පිළිගනු අසීරුයි' - මහාචාර්ය ‍සෝමදේව

මාතලේ සමුහ මිනීවලෙන් හමුවූ  මිනිස් ඇට කටු අයත් කාලය තීන්දු කළ බව පවසමින් දී ඇති විදේශීය වාර්තාවක් සම්බන්ධයෙන් සැක පහල කරන දේශීය විශේෂඥයෝ එය ‍ප්‍රතික්ෂේප කරති.

ඇමරිකා එක්සත් ජනපදයේ ආයතනයකින් කරන ලද විශ්ලේෂණයක නිගමනය ලෙසින් පොලිසිය නොවැම්බර් මස මැද දී අධිකරණයට දැනුම් දී ඇත්තේ මාතලේ සමුහ මිනී වලෙන් ගොඩගත් අස්ථි කොටස් හැට වසරකට වඩා පැරණි ඒවා බව ය. නමුත් මාතලේ අස්ථි ශේෂ 1950 ට පෙර යුගයක බව සඳහන් කරමින් ෆ්ලොරීඩාවේ මයාමි හි බීටා ඇනලටික් නම් ආයතනය විසින් නිකුත් කළ බවට පොලිසිය සපයන වාර්තාව 'කිසිසේත් පිළිගත නොහැකි' බව අදාළ කැනීම් මෙහෙයවූ ලාංකික වෝහාරික පුරා විද්‍යාඥයා පවසා ඇත්තේ  ය.

මාතලේ දී ගොඩගත් ඇටසැකිලි 1986 ත් 1990ත් අතර කාලයකට අයත් බව නිගමනය කරන පුරා විද්‍යාව පිලිබඳ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව, රජය දක්වන වාර්තාව කිසිදු විද්‍යාත්මක පදනමකින් තොර එකක් බව JDS සමගින් කියා සිටියේ ය. රජය පවසන පරිදි අස්ථි කොටස් යවනු ලැබූ බීටා ඇනලටික් ආයතනය එකී වාර්තාව ලබාදී ඇත්තේ ස්මිත්සෝනියන් ආයතනයේ වෝහාරික විශේෂඥ ආචාර්ය ඩග්ලස් ඌබලෙකර් (Douglas Ubelaker) විසින් කරන ලද රේඩියෝ කාබන් දත්ත විශ්ලේෂණයකින් අනතුරුව ය. සමුහ මිනීවල සම්බන්ධයෙන් පත් කොට ඇති ජනාධිපති කොමිසම විසින් තමන් හට පෙන්වන ලද තනි කොලයක ලියවුනු 'පරීක්‍ෂණ වාර්තාව' විද්‍යාත්මක පදනමකින් තොර එකක් බව, මහාචාර්යවරයා පැවසීය.

ජවිපෙ කැරැල්ල

මහාචාර්ය සෝමදේව විසින් නිගමනය කොට ඇති කාල පරිච්ඡේදයටම මාතලේ ඇටකටු අයත් බව පිළිගන්නා කැනීම් භාර ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර අජිත් ජයසේන JDS හා පැවසුවේ, කාල නිර්ණය සම්බන්ධ විදේශීය වාර්තාව තමන් මේ තාක් දැක නැති බවයි. ලිඛිතව ඉල්ලා සිටියත් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම අධිකරණයත් එම වාර්තාව තමන් වෙත මේ වනතුරුත් ලබා නොදීම පිළිබඳව ඔහු මවිතය පල කර සිටියේය.

සන්නද්ධ කැරැල්ලක් දියත් කළ ජනතා විමුක්ති පෙරමුණ, රජය විසින් යුදමය වශයෙන් පරාජය කළ වකවානුවකට අයත් බවට ලාංකික විශේෂඥයන් විසින් කාල නිර්ණය කැරුණු මාතලේ සමුහ මිනීවල අපරාධයක් සිදුවූ ස්ථානයක් විය හැකි බව දොස්තර ජයසේන ගේ පිළිගැනීම ය. 1989 මැයි මාසයේ සිට මාතලේ දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකරණ නිලධාරියා ලෙස ජවිපෙ විරෝධී මෙහෙයුම් භාරව සිටියේ වත්මන් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ය.

රජය විසින් අස්ථි කොටස් යවන ලද බව පවසන බීටා ඇනලටික් ආයතනයටත්, කාබන් විශ්ලේෂණය කළ බව සඳහන් ආචාර්ය ඩග්ලස් ඌබලෙකර් වෙතත් ඇමරිකානු වාර්තාවේ නිගමන හෙළි කරන ලෙස JDS විසින් ලිඛිතව කරන ලද ඉල්ලීමකට පිළිතුරු වශයෙන්  බීටා ඇනලටික් ආයතනයේ  නියෝජිතවරියක වන සෝනියා ඔබ්රෝයි  දන්වා ඇත්තේ රහස්‍යභාවය පිළිබඳ ආයතනික පිළිවෙත් හේතුවෙන් සිය සේවාදායකයා විසින් ලබා දෙන අනුමැතියකින් තොරව අදාළ වාර්තාව භාහිර කිසිවෙකුට ලබා දීමට නොහැකි බව ය. වෝහාරික විශේෂඥ ආචාර්ය ඌබලේකර් මේ වනතුරුත් JDS ඉල්ලීම සම්බන්ධයෙන් පිළිතුරු සපයා නැත.

2012 නොවැම්බරයේ දී මාතලේ රෝහල් භුමියේ ඉදිකිරීම් සඳහා කැනීම් කරද්දී හමු වූ 150 කට වැඩි මිනිස් ඇට සැකිලි කුරිරු වධ හිංසාවන්ට ලක් ව මරණයට පත්වූවන් පිරිසකට අයත් විය හැකි බවට දේශීය විශේෂඥයන් විසින් නිගමනය කොට තිබේ.

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.