JDS Sinhala

'අධිකරණය විවෘතවම මර්දනයේ අතකොළුවක් වෙලා' ශිෂ්‍ය-කම්කරු සමිති චෝදනා කරති

කිත්සිරි විජේසිංහ විසිනි.


නොමිලේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අරගල කරන ශිෂ්‍ය සංවිධාන සහ වෘත්තීය සමිති මර්දනය කිරීම සඳහා රජය, බුද්ධි අංශ සහ පොලිස් කැරළි මර්දන හමුදාවන්ට අමතරව, මේ වන විට අධිකරණය ද විවෘතවම යොදා ගනිමින් සිටින්නේ යැයි  ශිෂ්‍ය සහ වෘත්තීය සමිති නායකයෝ චෝදනා කරති.

අඟහරුවාදා (10) කොළඹ දී සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කැඳවා තිබූ ඒකාබද්ධ විරෝධතාවයට එල්ල කළ ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ඇතුළු ඉදිරිපෙළ ක්‍රියාකාරීන් පොලිසිය යොදවා අත් අඩංගුවට ගැනීමත්, අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාර ගත කිරීමත් පූර්ව සැළැස්මක් අනුව සිදු කෙරෙන බව ද ඔවුහු පෙන්වා දෙති.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ජේඩීඑස් හා කියා සිටියේ උද්ඝෝෂණවලට අධිකරණ වාරණ නියෝග නිකුත් කිරීම සහ පසුව ඒවා කඩකළ බව පවසමින් ක්‍රියාකාරී සිසුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ ප්‍රවණතාව මේ වන විට අඛණ්ඩව පිළිවෙතක් බවට පත් වී ඇති බව ය.

මර්දනයට අධිකරණයේ සහාය

"මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මර්දනය ගැන සටන් පාඨ ඉස්සරහට දාගෙන  ආපු යහපාලකයෝ තමයි අද නීතිය තමන්ගේ අතකොළුවක් කරගෙන ශිෂ්‍යයන්ව බන්ධනාගාරවලට දාන්නේ", ස්ටාලින් කීය.

උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීමට කලින් පොලිසිය අධිකරණ වාරණ නියෝග ලබා ගන්නා බවත්, පසුව ඒ නියෝග කඩකිරීමේ චෝදනාව යටතේ ක්‍රියාකාරීන් අත් අඩංගුවට ගැනීමට පොලිසිය විසින් අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය.

"උසාවියට ඉදිරිපත් කරපු ගමන් බන්ධනාගාරගත කරනවා. ඇප දෙන්නෙත් නෑ. මේක දිගින් දිගටම දකින්නට තිබෙන ප්‍රවණතාවක්. එකම චෝදනාවට එකම ශිෂ්‍යයා කී වතාවක් අධිකරණයට ඉදිරිපත් කරලා තියනවද? ඒ හැම වතාවකම අධිකරණයෙන් දෙන නියෝගය තමයි රක්ෂිත බන්ධනාගාර ගත කරන්න කියන එක. මේ රටේ ශිෂ්‍යයන්ට උද්ඝෝෂණ කරන්න බෑ කියලද අධිකරණය කියන්නේ? පාරේ ඉන්න මිනිස්සුන්ව මඟ ඇරලා උද්ඝෝෂණ තියන්නේ මොන රටේද?"

ශිෂ්‍ය සහ වෘත්තීය සමිති උද්ඝෝෂණ මෙන්ම වැඩ වර්ජනයන් සහ විරෝධතා ව්‍යාපාර මැඩලීමට අධිකරණය මෙසේ වාරණ නියෝග නිකුත් කිරීමත්, එවැනි නියෝග කඩකළ බව පවසමින් ක්‍රියාකාරීන් මාස ගණන් බන්ධනාගාරගත කිරීමත් සැළසුම් සහගතව සිදුවන බව ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දුන්නේය.

"ටෙලිකොම් මෑන් පවර් අරගලයට එරෙහිව උසාවිය වාරණ නියෝග 16ක් දුන්නා. කොළඹ - නුවර අධිවේගී මර්ගයට විරුද්ධව අරගල කරන මිනිස්සුන්ව මර්දනය කරන්න උසාවි වාරණ නියෝග අරන් ඒ මිනිස්සුන්ගේ ගෙවල්වල, දොරවල්වල ඇලෙව්වා. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි එකතුවේ රයන් ජයලත් ශිෂ්‍යයාව රක්ෂිත බන්ධනාගාරගත කරලා දැන් මාස දෙකක්. ඔහුට ඇප ලබා දෙන්නේ නෑ. ඔහුට තියෙන චෝදනාව රාජ්‍ය දේපලවලට සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුල් වෙලා රුපියල් ලක්ෂ අටක් අලාභයක් රජයට කළාය කියන එක. නමුත් රුපියල් ලක්ෂ 600කට වඩා රජයට වංචාවක් කළාය කියලා සිරදඬුවම් නියම වුණ සිල් රෙදි චුදිතයන්ට සති දෙකෙන් ඇප ලැබනවා. වර්ගවාදය අවුළුවන්න මිනිස්සු පොළඹවන භික්‍ෂූන්ටත් දවස් කිහිපයකින් ඇප ලබා දෙනවා"යි ඔහු කීය.

අද නියෝගය ඊයේ කියැවීම

මේ අතර අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ (අවිවිශිබම) කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ  අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ (අවිවිභිබම) කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි යන දෙදෙනා ද ලබන 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් බ්‍රහස්පතින්දා (12) නියෝග කළේය.

වෘත්තීය සමිති, ශිෂ්‍ය සංවිධාන, බහුජන සහ අනෙකුත් සිවිල් සංවිධානවල එකතුවෙන් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය විසින් ඔක්තෝබර් 10 වැනිදා පැවැත්වූ උද්ඝෝෂණ පෙළපාලියට එරෙහිව ලබා දී තිබුණු අධිකරණ නියෝගයක් කඩකර ඇති බවට පොලිසිය විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ චෝදනාව සැළකිල්ලට ගෙන මෙම නියෝගය නිකුත් කර තිබේ. නමුත් ඔවුන් දෙදෙනා බ්‍රහස්පතින්දා දිනයේ දී අධිකරණය හමුවේ පෙනී සිටියේ එයට පෙර නිකුත් කළ වාරණ නියෝගයක් කඩකර ඇති බවට ලත් චෝදනාවක් සම්බන්ධයෙනි.

මේ අනුව සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස බලකරන උද්ඝෝෂණ ව්‍යාපාරයට නායකත්වය සැපයූ ප්‍රධාන ශිෂ්‍ය නායකයන් තිදෙනාම මේ වනවිට රක්‍ෂිත බන්ධනාගාර ගතකරනු ලැබ තිබේ.

කෙසේ වුවද, ජේඩීඑස් වෙත බදාදා (11) දිනයේ දී  ප්‍රකාශයක් කරමින් අවිවිශිබම කැඳවුම්කරු කියා සිටියේ බ්‍රහස්පතින්දා අධිකරණය හමුවේ පෙනි සිටීමට නියමිත තමන් හා ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා නියෝගයක් නිකුත් කිරීමේ සුදානමක් පවතින බව ‍ය.

"ඊයේ උද්ඝෝෂණයට පොලිසිය ගැහුවට පස්සේ තුවාල වුණු අපේ ශිෂ්‍ය සහෝදරයන්ව බලන්න මම ඉස්පිරිතාලෙට ගිහින් ඉන්න කොට පොලිසියෙන් ඇවිත් තර්ජනය කෙරුවා 'හෙට උසාවියේදි බලාගමු' කියලා. අද ගන්න බැරි වුණාට හෙට උසාවියට ගියාම මාවයි, සුගතානන්ද හාමුදුරුවන්වයි රීමාන්ඩ් කරනවා කියලා තමයි පොලිසිය අපිට කිවුවේ" ඔහු කියා සිටියේය.

ශල්‍ය කර්ම

තමන් ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන්ව අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමේ සැළැස්ම ක්‍රියාවට නගන්නේ වාරණ නියෝග කඩ කිරීමේ චෝදනා එල්ල කරමින් බව පවසන ලහිරු වීරසේකර, මේ අත්තනෝමතික වාරණ නියෝග සහ ශිෂ්‍යයන්ට එරෙහිව මුදාහැරෙන පොලිස් ප්‍රහාර පිළිබඳව තමන් ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරින් විසින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම ඇතුළු වගකිව යුතු ආයතනයන්ට කොතෙක් පැමිණිළි කලද කිසිම සාධාරණයක් ඉෂ්ඨ නොවන බව ය.

"හැම පොලිස් ප්‍රහාරයකින් පස්සෙම අපි මානව හිමිකම් කොමිසමට පැමිණිලි කෙරුවා. ඒ එකම පැමිණිල්ලකටවත් අද වෙනකම් කැඳවීමක්වත් නෑ. නමුත් පොලීසිය ශිෂ්‍යයන්ගේ අත-පය කඩලා දානවා, පැහැරගෙන යනවා, අත් අඩංගුවට ගන්නවා, බුද්ධි අංශ අපේ ගෙවල්වලට ගිහින් 'ළමයි දෙන්නේ නැත්නම් උඹලාව අරන් යනවා' කියලා අපේ දේමාපියන්ට  තර්ජනය කරනවා. මේ දක්වා ඒවා ගැන කිසිම පරීක්ෂණයක් නෑ".

අඟහරුවාදා සයිටම් විරෝධී උද්ඝෝෂණට පොලිස් කැරළි මර්දන හමුදාව විසින් එල්ල කරන ලද කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයත්, එයින් පසුව එල්ල කළ යකඩ පොලු සහ බැටන් ප්‍රහාරයත් හේතුවෙන් සිසුන් මෙන්ම වෘත්තීය සමිත් ක්‍රියාකාරීන් බරපතල තුවාල ලබා ඇති අතර ඉන් ඇතැමෙක් මේ වනවිට ශල්‍ය කර්මවලට ද භාජනය කර තිබේ.☐


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.