JDS Sinhala

සරසවි සිසු ක්‍රියාකාරීහු සත් දෙනෙක් බන්ධනාගාරයට; තවත් පිරිසකට වරෙන්තු

ප කොන්දේසි උල්ලංඝණය කිරීම සහ අධිකරණ නියෝගයන්ට පටහැනිව උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමේ චෝදනාවන් මත ශිෂ්‍ය ක්‍රියාකාරින් සත් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කොට තවත් සිසුන් සත් දෙනෙකුට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සිකුරාදා (20) නියෝග කර සිටියේය.

ඒ, ශිෂ්‍ය ක්‍රියාකාරීන් අධිකරණ නියෝග නොතකා හරිමින් කටයුතු කර ඇති බවට කරුණු දක්වමින් කොළඹ කොටුව පොලිසිය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුව ය.

පසුගිය වසරේ ජූනි මස කැළණිය විශ්ව විද්‍යාලය ආසන්නයේ පැවති සිසු විරෝධතා පෙළපාලියක් අතරතුර එම විශ්ව විද්‍යාලයේ සිසුන් අට දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබු අතර පසුව එම සිසුන්ව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි. එම සිසුන් නිදහස් කරන ලෙස ඉල්ලමින් නැවත ජුනි මස 18 වැනි දින විරෝධතා පෙළපාලියක් පැවති අතර එහිදි කළහාකාරී ලෙස හැසිරීමේ චෝදනාවන් මත අන්තර් භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සිසුන් පිරිසක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවනු  ලැබුණි. එම සිසුන්ට ඇප නියම කරමින් අධිකරණය නියෝග කොට ඇත්තේ නැවත එවැනි උද්ඝෝෂණ ව්‍යාපාරවලට සම්බන්ධ නොවන ලෙස ය.

සිකුරාදා දිනයේ දී කොටුව පොලිසිය විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ පසුගිය ජුනි මාසයේදි එසේ ඇප මත නිදහස්ව සිටි සිසුන් පිරිසකි.

වරෙන්තු

අධිකරණ නියෝගයන්ට අනුව  ලබන මස 26 දින දක්වා  මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත්තේ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරුවන ටැම්පිටියේ සුගතානන්ද, කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම් මඩුගල්ලේ බුද්ධ රක්ඛිත, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රත්කරව්වේ ජිනරතන, සූරියවැව සුසිල යන භික්ෂුන් සහ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දිනේෂ් මදුරංග, අන්තර් විශ්ව විද්‍යාලයේ හිටපු වැඩ බලන කැඳවුම්කරු සනත් බණ්ඩාර හා කෝෂිලා හංසමාලි යන ශිෂ්‍ය - ශිෂ්‍යාවන් ය.

මීට අමතරව, කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝග පරිදි වරෙන්තු නිකුත් කොට ඇත්තේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුවන ළහිරු වීරසේකර, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී එකතුවේ කැඳවුම්කරුවන රයන් ජයලත් යන සිසුන්ට සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සමාජික ශිෂ්‍යයෙක් සහ වෛද්‍ය පිඨයේ ශිෂ්‍ය ක්‍රියාකාරින් සිවු දෙනෙකුට ය.

ව්‍යාජ චෝදනා

මේ සම්බන්ධව විමසීමේදි අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුවන ළහිරු වීරසේකර ජේඩීඑස් හා කියා සිටියේ පසුගිය 17 වැනි දින පැවති සිසු උද්ඝෝෂණය නොපවත්වන ලෙස අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කොට ඇතැයි  පොලිසිය පසුව පැවසුවද එය තමන්ට හෝ උද්ඝෝෂණයේ සෙසු සංවිධායක පාර්ශවය වු වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවට හෝ ලබා නොදුන් බව ය.

''ඇත්තටම අධිකරණය නිකුත් කරලා තියෙන්නේ උද්ඝෝෂණය තහනම් කරපු වාරණ නියෝගයක් නෙමෙයි. ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට යෑම වළක්වමින් සාමකාමීව පැවැත්විය යුතුයි කියන එක පමණයි අධිකරණය නියෝග කරලා තියෙන්නේ. අපි පාගමනෙන් ගියේ ජනාධිපති ලේකම් කාර්යාලය පැත්තට නෙමෙයි, අගමැති කාර්යාලය පැත්තටයි. එහිදි තමයි පොලිසිය අපිට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ'', හෙතෙම ප්‍රකාශ කළේය.

උද්ඝෝෂණයට සහභාගිවු සිසුන් ලුහුබැඳ ගොස්  ඔවුන්ව හඳුනා ගැනීමෙන් අනතුරුව පැවති නඩු වාරයකදි ව්‍යාජ චෝදනාවක් එල්ල කොට සිසුන්ව සිරගත කිරිමට පොලිසිය කටයුතු කළ බව අවිශිබම කැඳවුම්කරු කියා සිටියේය.

බලධාරීන් නිහඬයි

''පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ පසුගිය ජූනි මාසයේදි ඇප ලබා දුන් සහ අධිකරණය විසින් යම් වාරණයකට හසු කොට සිටින සිසුන් අධිකරණයේ එම නියෝගයන් නොතකා හරිමින් කටයුතු කළ බවයි. ඔවුන් කිවුවා 17 වැනි දා උද්ඝෝෂණ පෙළපාලියේ ගිය සිසුන් සහ භික්ෂුන් වහන්සේලා කිහිප දෙනෙක් මෙතන ඉන්නවා, ඒ අය මේ නඩුවටත් සම්බන්ධයි කියලා. ඒ නිසා තමයි අධිකරණය නියෝග කෙරුවේ පෙර ඇප කොන්දේසි උල්ලංඝණය කරලා තියෙන නිසා ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කරන්න''

පසුගිය දින පැවති සිසු උද්ඝෝෂණයේ අරමුණ වුයේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කර ගැනීම, අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහි වීම සහ  මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම යන කරුණු බව පවසන අන්තරයේ කැඳවුම්කරු ,සිසු සංගම් විසින් මෙයට පෙර  අවස්ථා කිහිපයකදීම  ජනාධිපතිවරයා, අගමැතිවරයා, උසස් අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා ද ඇතුළු වගකිව යුත්තන් වෙතින් මේ සම්බන්ධව සාකච්ඡාවන් ඉල්ලමින් ලිඛිතව කරුණු දක්වා ඇතත් මේ දක්වා ඒ කිසිදු පාර්ශවයක් වෙතින් කවර හෝ  පිළිතුරක් නොලද බව ජේඩීස් හා ප්‍රකාශ කර සිටියේය.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.