JDS Sinhala

සිසු නායකයකු අත් අඩංගුවට ගැනීමේ සුදු වෑන් මෙහෙයුම ක්‍රියාධරයෝ වළකති

සුදු වෑන් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් සිසු නායකයකු නීති විරෝධී ලෙස අත් අඩංගුවට ගැනීමට බ්‍ර‍හස්පතින්දා (20) කොළඹ නගරයේ දී දරන ලද උත්සාහයක් මහත් පරිශ්‍ර‍මයක් දරා ව්‍යර්ථ කිරීමට වෘත්තීය සමිති සහ ශිෂ්‍ය ක්‍රියාකාරීහු පිරිසක් සමත් වූහ.

සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලයට එරෙහි ව විද්වත් වෘත්තිකයන්ගේ සංගම් මූලස්ථානයේ පැවැති රැස්වීමකට සහභාගී වී පිටතට පැමිණෙමින් සිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් බලහත්කාරී ලෙස අත් අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සමග සිවිල් ඇඳුමින් සැරසී සුදු වෑන් රථයකින් එහි ආ පිරිසක් උත්සාහ දරා තිබේ.

වරෙන්තු නොමැතිව

අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට එරෙහි ව්‍යාපාරයට නායකත්වය දෙන රයන් ජයලත් ඇතුළු තවත් ශිෂ්‍ය නායකයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් අධිකරණයෙන් මීට ඉහත දී වරෙන්තු ලබාගෙන තිබිණ.

එහෙත් ජයලත් අත්අඩංගුවට ගැනීමට යයි කියමින් සුදු වෑන් රථයකින් පැමිණි පොලිස් නිලධාරීන් යැයි හඳුන්වාගත් සිවිල් හැඳගත් මෙම පිරිස, අත්අඩංගුවට ගැනීම සඳහා වන එවැනි නීත්‍යානුකූල වරනේතුවක් ඉදිරිපත් කිරීමට අසමත් වූහ.

ජාත්‍යන්තර ප්‍රතිඥා

උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සඳහා වන ආණ්ඩුවේ සැලැස්මට එරෙහි ව උද්ඝෝෂණය කරන සිසුන් මර්දනය කිරීමට ගෙනයන දිනෙන් දින තීව්‍රවන මර්දනය වහා ම අවසන් කරන්නැ‘යි බලකරමින් ශ්‍රී ලංකාවේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානය පසුගිය සතියේ විශේෂ නිවේදනයක් ද නිකුත් කළේ ය.

“උසාවිය සහ පොලීසිය යොදාගනිමින් විරෝධතා මැඩලීමට කටයුතු කිරීම මගින්, අධිකරණ සහ ආරක්ෂක සේවා ප්‍ර‍තිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් මීට පෙර ජාත්‍යන්තර ව ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට අවශ්‍ය දේශපාලන අභිලාෂය තමන්ට නැති බව ආණ්ඩුව නිර්ලජ්ජිත ලෙස පෙන්වා දී ඇතැ“ යි එම නිවේදනයේ දැක් වේ.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.