JDS Sinhala

මහර සමූහ ඝාතනය: 'අඩියක් ආවොත් වෙඩි තියනවා බල්ලන්ට වගේ'

'උ

ඹලා වගේ කාළකණ්නි සත්තුන්ට අපි මේ සළකනවා හොඳ වැඩියි. උඹලා මැරෙන්න ඕනේ වෙඩි කාලා නෙමෙයි, වසංගත බෝවෙලා. කොරෝනා වගේ වසංගත ඇවිත් තියෙන්නේ උඹලා වගේ ජරා සත්තු හැඳිගැවිලා යන්න තමයි!'

ඒ, දෙවැනි රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවුණු විශාලතම මිනිස් සංහාරය සිදු කළ හෝරා කිහිපයේදී බන්ධනාගාර ජේලර්වරුන් විසින් බරපතල තුවාල ලබා මරණාසන්නව සිටි රැඳවියන් දෙසත්, මිය ගිය රැඳවියන්ගේ මළ සිරුරු දෙසත් බලමින් පවසා තිබුණු 'රුවන් වැකි' කිහිපයකි.

නිරායුධ මිනිසුන් එකොළොස් දෙනකු වෙඩි තබා මරා දමමින් මහර බන්ධනාගාරයේ සිරකරුවන් වෙත එල්ල කෙරුණු ම්ලේච්ඡ ප්‍රහාරය පිටුපස සැඟව තිබෙන කතාව ලුහුබැඳ යාම ජේඩීඑස් විසින් ආරම්භ කෙරුණේ ප්‍රහාරයෙන් පළමු පැය කිහිපය ගෙවී යාමටත් මත්තෙනි.

නිරායුධ රැඳවියන්ට බන්ධනාගාර නියාමකයන් විසින් වෙඩි තබා ඝාතනය කළේද, නැතහොත් සිරකරුවන් අතර වූ ගැටුමකින් ඔවුහු මිය ගියේද යන්න පිළිබඳ ඒ වනවිට තිබුණේ ව්‍යාකූල තොරතුරු ය. 'පෙත්තක් ගැසූ සිරකරුවන් ලේ දැකීමේ වියරුවෙන් එකිනෙකා කා කොටා ගත්" බව විමල් වීරවංශ ඇමතිවරයා කීවේ සිදුවීමෙන් පැය 48ක් ගෙවෙන්නට පෙර ය. ඔවුන් සියලු දෙනා වෙනත් සිරකරුවන් විසින් සිදුකළ පහරදීම්වලින් මියගිය බවටත්, කිසිදු සිරකරුවකු වෙඩි වැදී මියගොස් නැති බව මරණ පරීක්ෂණවලදී තහවුරු වී ඇති බවත් බන්ධනාගාර සඳහා අලුතෙන් පත්කළ රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ පාර්ලිමේන්තුවේදී මිනීමරු මුසා ඇදබෑවේ ඒ ව්‍යාකූලත්වයේ වාසිය ලබා ගන්නටය. ඇත්තෙන්ම, ඒ ප්‍රකාශය සිදුකරන විට මරණ පරීක්ෂණ වාර්තා පවා සම්පූර්ණ කර නොතිබුණි. නමුත් ඉන් පසු එළඹි සති කිහිපය තුළ බන්ධනාගාර සිදුවීමේ තොරතුරු බිඳෙන් බිඳ අනාවරණය වන්නට විය. දැන් වනවිට, සිදුවීමෙන් මරණයට පත් 11 දෙනාම වෙඩි තැබීම්වලින් මිය ගිය බව තහවුරු වී තිබේ.

නමුත් ඉකුත් වසරේ නොවැම්බර් 29 හා 30 වැනිදා මහර බන්ධනාගාරයේ ඇත්තටම සිදුවූයේ කුමක්ද?

කෘෘරකම් සම්බන්ධයෙන් නම් දැරූ නිලධාරින් සිටිතැයි පැවසෙන, එපරිද්දෙන්ම වධකාගාරයකට සමකරන මහර බන්ධනාගාරයේ අභ්‍යන්තරයේ සිදුවු ඒ සංහාරය ඇසින් දුටු රැඳවියන් සමග මේ සම්බන්ධයෙන් වරින් වර කතා කරන්නට අප උත්සාහ දැරුවේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා විසින් ඔහුගේ පංච පුද්ගල විමර්ශන කමිටුව පිහිටුවීමටත් කලින් ය. මහර සමුහ ඝාතනයෙන් දිවි බේරා ගත්තවුන් ඉලක්ක කොට පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය (STF) විසින් දියත් කරන ලද බිහිසුණු මෙහෙයුමක තොරතුරුද හෙළි කර ගැනීමට අපට හැකිවූයේ එසේ කරන ලද විමර්ශනයන් තුළිනි. විශේෂයෙන්ම, ඒ පිළිබඳ ඇසින් දුටු සවිස්තරාත්මක තොරතුරු අප හා බෙදාගැනීමට එක් රැඳවියකු දිගින් දිගටම නොපැකිළව ඉදිරිපත් වූයේය. ජේඩීඑස් සතු විශ්වසනීය තොරතුරු මුලාශ්‍ර මඟින් තහවුරු කොට හඳුනාගනු ලැබු එම රැඳවියාගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් ඔහු කවරෙක්දැයි හෙළි නොකර සිටියද, මෙතැන් සිට අප විසින් 'කුලරත්න ' නමින් හඳුන්වන ඔහුගේ සාක්ෂිය අපි මෙසේ සටහන් කරමු.


''ජේලර් මහත්තුරු, වෙඩි වැදිලා පණ ඇද ඇද හිටපු හිරකරුවන්ගේ මුණට කෙළ ගහලා, 'තොපි මෙතනම මැරෙනකම් ඉස්පිරිතාලෙට නම් අරන් යයි කියලා හිතන්න එපා' යි කිවුවා,'' යැයි අප සමඟ කළ කතා බහ ආරම්භ කරමින් කුලරත්න කීය.

පනහකට වැඩිය කොරෝනා

''එදා, ඒ කියන්නේ 29 දා දවල් කෑම බෙදන කොට හිරකාරයෝ කෑ ගහලා ‌ජේලර් මහත්තුරුන්ගෙන් ඇහුවා, 'මහත්තයෝ, මේ කෑම කන්නේ කොහොමද, මේවා සත්තුන්ටවත් කන්න පුලුවන්ද?' කියලා. එහෙම කියලා ටික වෙලාවකට පස්සේ හිරකාරයෝ එකා - දෙන්නා හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. එහෙම කෑගහන එක බන්ධනාගාරයක හරිම සාමාන්‍ය දෙයක්. ඒක ජේලර් මහත්තුරුත් දන්නවා. එක පාරටම කවුරු හරි පහළ වාට්ටුවක දොරක් ඇරියා. ඒත් එක්කම හිරකාරයෝ එකා දෙන්නා එළියට ආවා. හැබැයි අපි දන්නේ නෑ වාට්ටුවේ දොර ඇරියේ කවුද කියලා.''

කුලරත්න කියා සිටියේ රැඳවියන් රඳවා සිටි එක වාට්ටුවක දොර කවුරුන් විසින් හෝ කඩා දමා එහි රැඳවියන් පිටතට පැමිණි පසුව අනෙක් වාට්ටුවල දොරවල් ද එකින් එක ඇරිය බවකි.

''අර කලින් වාට්ටුවේ දොරේ අගුල කවුරු හරි කඩලා දැම්මට පස්සේ ඒකේ හිටිය රැඳවියෝ එළියට ඇවිත් අනෙක් වාට්ටුවලත් දොරවල් කැඩුවා. හැබැයි හිරකාරයෝ කෑම හොඳ නෑ කියලා කෑ ගැහුවා මිසක් කළහකාරිව නම් හැසිරුනේ නෑ. වාට්ටු කිහිපයකම හිරකාරයෝ එළියට ඇවිත් පෙළ ගැහිලා ඉන්න කොට බන්ධනාගාරයේ එස්පී (බන්ධනාගාර අධිකාරී) මහත්තයයි, තවත් ජේලර් මහත්තුරු කිහිප දෙනෙකුයි එතන්ට ආවා. අපිට ඉස්සරහට එන්න කිවුවාම අපි විසිට් රූම් එක ළඟට ගියා. මට මතක විදිහට එතන මනෝහරන්, අබේසිංහ, ගාමිණි, සංජීව කියන මහත්තුරු හිටියා. 'මේ කෑම කන්න බෑ, මාළු කෑල්ලකවත් මේ කෑම එකේ තියනවද?' කියලා අපි එස්පී මහත්තයාගෙන් ඇහුවා. ඒ වෙන කොට වැලිකඩින් හිරකාරයෝ 150 ක් විතර මහරට ගෙනල්ලා PH එක (බන්ධනාගාර රෝහල) ළඟ තියෙන වාට්ටු හතරක පහක දාලයි හිටියේ. එයින් 50 කට වැඩිය කොරෝනා හැදිලායි තිබුණේ. ඒ හින්දා අපි එස්පී මහත්තයට කිවුවා, අපි අසරණයි, අපිට PCR පරික්ෂණය කරන්න' කියලා."

'හරි ඔය ගොල්ලන්ට හොඳ කෑම දෙන්නම්, PCR පරික්ෂණයත් කරන්නම් ' කියලා එතකොට එස්පී මහත්තයා අපිට කිවුවා. මට මතක විදිහට ඒතකොට වෙලාව හවස තුනහාමාරට විතර වගේ ඇති '' .

ගල් කැටයකට වෙඩි උණ්ඩයෙන් පිළිතුරු

බන්ධනාගාර අධිකාරිවරයා ප්‍රමුඛ නිලධාරින් සහ රැඳවියන් අතර කතා බහ සිදුවෙමින් පවතින අතර වාරයේ යම් රැඳවියකු විසින් ජේලර්වරුන් දෙසට කුඩා ගල් පතුරක් දමා ගසා ඇත. කුලරත්න කියන ආකාරයට රැඳවියන් එකොලොස් දෙනෙකු මරා දමා තවත් විශාල පිරිසකගේ අත් පා සිඳලු ප්‍රහාරයේ මුලාරම්භය එයයි.


''ජේලර් මහත්තුරු දිහාවට ගල් කැටයකින් ගැහුවේ මානසික ලෙඩකින් පෙලුනු කෙනෙක්. හැමෝම එයා ගැන දන්නවා. ජේලර් මහත්තුරුත් ඒක දන්නවා. අනෙක, ඒ මනුස්සයා ගහපු ගල් කැටේ කාටවත් වැදුනේ නෑ. ඒ වුණාට එක පාරම ජේලර් මහත්තුරු 'ආ උඹලා එහෙනම් අපට ගැහුවා නේද?' කියලා පස්සට ගිහින් එතන තියෙන ලොකු ගේට්ටුව වැහුවා. ගේට්ටුව වහලා විනාඩි දහයක්වත් ගියේ නෑ අපිට වෙඩි තිබ්බා. මැරුණ සම්පත් හිටියේ මගේ ළඟමයි. ඉස්සල්ලාම වෙඩි වැදුනේ සම්පත්ට. වෙඩිල්ල වැදුනේ සම්පත්ගේ පපුවට. මම හොඳට දැක්කා වෙඩි පාර වැදුනට පස්සේ සම්පත් අඩි ගානක් පස්සට විසිවෙලා වැටෙනවා. වෙඩි තියනකොට හිරකාරයෝ හැම පැත්තටම දිවුවා. මම හිටියේ බිත්තියක් ළඟ . ඒකට මුවා වෙලා මම පස්සට දිවුවා. දුවන ගමන් අපි කෑගහලා කිවුවා 'අපිට වෙඩි තියන්න එපා - අපි ඉල්ලුවේ කෑමයි බෙහෙතුයි නේද?' කියලා. ඒ වුණාට ජේලර්ලා අපිට දිගටම වෙඩි තිබ්බේ හරියට යුද්ධයකදි වගේ. ටික වෙලාවකින් මම තාප්ප අස්සෙන් හැංගිලා ඇවිත් බැලුවා. ඒ වෙන කොට වෙඩි වැදිලා හිටිය අයව අනෙක් අය ආරක්ෂාවට උස්සගෙන යනවා. බෝධියට එහා වාට්ටුවක් තියෙනවා. ඒකට කියන්නේ පන්සල් වාට්ටුව කියලා. වෙඩි වැදිලා හිටිය අයව අරන් ගියේ පන්සල් වාට්ටුව ඇතුළට. එතකොට මම දැක්කා වෙඩි වැදුන හත් අට දෙනෙක්වම ඒ වාට්ටුවට අරන් ඇවිත් තියෙනවා. කීප දෙනෙක්ම ඒ වෙන කොටත් මැරිලා හිටියේ. සමහර අය පණ අදිනවා. අපි කෑගහලා ජේලර් මහත්තුරුන්ට කිවුවා ‘මේ වෙඩි වැදිලා ඉන්න අයට බෙහෙත් දාන්න ගෙනියන්න’ කියලා. එතකොටත් දිගටම වෙඩි තියනවා. 'ඕකුන්ට බෙහෙත් දාන්නම්. අරනේ වරෙල්ලා' කියලා ඒ අය කියනවා අපිට ඇහුනා. ඒ වුණාට අපිත් මර බයෙන් හිටියේ තුවාල වෙලා හිටපු අයව ඉස්සරහට අරන් යන්න. බැරිම තැන අපි තුවාලකාරයන්ව උස්සන් ගෙනිච්චා . එතකොටත් වෙඩි තියනවා. ' තොපි තව අඩියක් ආවොත් වෙඩි තියනවා බල්ලන්ට වගේ' කියලා අපිට තුවක්කු පෙන්නලා තර්ජනය කෙරුවා. මැරුණු අයවයි, තුවාලකාරයන්වයි ජේලර් නිලධාරීන්ට පේන තැනකට අරන් ගිහින් බිමින් තියලා අපි ආපස්සට දුවන් ආවා. ඊටත් පස්සේ තමයි අච්චුකාරයෝ ඇවිත් තුවාල වෙලා හිටිය අයව උස්සගෙන ගිහින් ජේලර් මහත්තුරු ළගින් තිබ්බේ. එහෙම කෙරුවේ නැත්නම් තව ගොඩක් දෙනෙක් එතනම මැරිලා යනවා,'' යි කුලරත්න පැවසීය .

ලේ ගලන තුවාල සහිතව සිටි පුද්ගලයන් රෝහලට ගෙනගොස් තිබෙන්නේ බොහෝ ප්‍රමාද වී බව ඔහු පවසයි.

“සමහරු ලේ ගල-ගලා එහෙමම ඉඳලා තියෙනවා. මම මේ කියන්නේ මම ඇහින් දැකපුවයි, ඊට පස්සේ හැමෝම කියපු දේවලුයි. සමහර අය කිවුවා මරණාසන්නව හිටිය තුවාලකාරයන්වයි, මැරිච්ච අයවයි හැමෝම එක ගොඩට කකුල්වලින්, ඔළුවලින් අල්ලගෙන එකා ගොඩේ එකා වැටෙන්න බස්වල ඇතුලට විසිකරලා පණ අදින අයට කෙල ගහනවාත් දැක්කාය කියලා'' .

මත් පෙති බේගලය

වෙඩි ප්‍රහාරවලින් බේරිමට හිස් ලු ලු අත දිවගිය රැඳවියන් ඉල්ලක කරමින් බන්ධනාගාර නිලධාරින් වෙඩි තැබු බව ද කුලරත්න කියයි. රැඳවියන් බන්ධනාගාරයේ ඖෂධාගාරය කඩා දමා එහි තිබුණු බව පැවසෙන මත් පෙති සිය ගණනින් පානය කර ඇති බවත්, එයින් ඇතිවු සංකූලතාවයන් හේතුවෙන් අධික මත් ගතියට පත්ව සිහි විකල්වී ප්‍රචණ්ඩකාරිව හැසිරුණු බවත් ආණ්ඩු පාක්ෂික දේශපාලකයන් මුල සිටම නැගු චෝදනාවකි. ප්‍රහාරයේ මුල සිට අග දක්වා ඇසින් දුටු අයකු වන රැඳවි කුලරත්නගෙන් ඒ පිළිබඳව අප විමසා සිටියේ සිදුවීම් වැඩිදුරටත් නිරවුල් කර ගන්නා අටියෙනි.

''හිරකාරයෝ මත් පෙති බීලා කලහකාරිව හැසිරුණා කියන කතාව අමූලික බොරුවක්. අපිට කන්න පුලුවන් කෑම ටිකක් දෙන්න කියලයි, කොරෝනා පරික්ෂණ කරන්න කියලයි අපි ඉල්ලුවේ බොහෝම සාමකාමීව. අපිට වෙඩි තියන කොටත් අපි මහත්තුරුන්ට කෑගහලා කිවුවා 'ඇයි මෙහෙම වෙඩි තියන්නේ? කන්න ටිකක් ඉල්ලුවටද අපිට වෙඩි තියලා මරන්න හදන්නේ?' කියලා. කටිටියක් බෙහෙත් ගබඩාව කඩපු එක ඇත්ත. බෙහෙත් ගබඩාව විතරක් නෙමෙයි, එස්පී මහත්තයාගේ කාමරයත් කඩලා තිබ්බා. අපි දැකපු විදිහට ඒවා කෙරුවේ අච්චු ලබලා ඉන්න අය. ඒගොල්ලෝ බන්ධනාගාර නිලධාරීන් එක්ක හරිම හිතවත්. ඒ අයව දකින කොටම ඇඳුමින් අඳුන ගන්න පුලුවන්. අච්චුකාරයෝ තමයි ගිහින් ඉස්පිරිතාලේ බෙහෙත් ගබඩාව කැඩුවේ. හැබැයි ඒ අයට වෙඩි තිබ්බේවත්, ගැහුවෙවත් නෑ. ඒ හින්දා ඇත්තටම අපිට සැකයි මේ සිදුවුණු දේවල් එකපාරම කොහොම වුණාද කියලා''.

කුලරත්න විසින් දිගින්, දිගටම මතු කරන ලද කරුණක් වූයේ බන්ධනාගාර නිලධාරින් විසින් ඉතා සැලසුම් සහගතවත්, රැඳවියන් උපරිම වශයෙන් කොටුවන ආකාරයටත් ප්‍රහාරය එල්ල කළ බවකි.

සැලසුම් සහගත ප්‍රහාරයක්

ඔහු විසින් අප වෙත සපයන ලද මහර බන්ධනාගාරයේ අභ්‍යන්තර පිහිටීම සහිත දළ සිතියමේ සලකුණු කොට තිබෙනාකාරයට බන්ධනාගාර නිලධාරින් විසින් ස්ථාන කිහිපයක සිට රැඳවියන් වෙත වෙඩි තබා තිබේ. ඔහු පවසන්නේ ප්‍රහාරයේ පළමු පැය කිහිපයේදී පමණක් අවම වශයෙන් ස්ථාන හතරක සිටවත් නිලධාරින්, රැඳවියන් ඉලක්ක කරමින් වෙඩි තැබු බවයි.

''ජේලර් නිලධාරීන් අපිට ඉස්සල්ලාම වෙඩි තිබ්බේ විසිට් රූම් එක ළඟ තියෙන ගේට්ටුවෙන් පිට ඉඳලා. එතන ටිකක් එළිමහන් තැනක්. මහ ගේට්ටුව ළඟ තට්ටු දෙකේ බිල්ඩින් දෙකක් තියෙනවා. ඒ බිල්ඩින්වල එකක උඩ තට්ටුවේ ඉඳලයි, අනෙක් බිල්ඩිමේ පහල තට්ටුවේ ඉඳලයි වෙඩි තියනවා අපි දැක්කා. ඒත් ඒක්කම බන්ධනාගාරය වටේ තියෙන උස මුර අට්ටාලවල හිටිය ගාඩ් මහත්තුරුත් අපිට වෙඩි තිබ්බා. කවුරු හරි මේවා ගැන හරියට හොයලා බලනවානම් තැන්, තැන්වල ඉඳන් තියපු වෙඩිවලට හිල්වුණු බිත්ති, දොරවල්, තහඩු වගේ දේවල් පෙනෙයි. වෙඩි උණ්ඩවලට හැම තැනම හිල් වෙලායි තියෙන්නේ. එක තැනකින් වෙඩි තිබ්බනම් ඔච්චර මැරෙන්න හරි, තුවාල වෙන්න හරි විදිහක් නැහැනේ. අනෙක අපි දැක්කා එක තැනකින් වෙඩි තියද්දි ඒකෙන් බේරෙන්න හිරකාරයෝ එහෙ මෙහෙ දුවන කොට මුර අට්ටාලවල හිටිය ගාඩ් මහත්තුරු දුවන අයට වෙඩි තියන විදිහ. මොකද උඩ ඉඳලා බලන කොට ඒගොල්ලන්ටනේ අපිව පැහැදිලිවම පේන්නේ. ''

ඔහු විසින් සපයන ලද සිතියමේ M -1 සහ M-2 ලෙසින් අදාල ගොඩනැගිලි දෙක සටහන් කොට තිබෙන අතර, එයින් M-1 ඉහළ මාලය බවත්, M -2 යනු පහත මාලය බවත් හෙතෙම පැවසීය.

තැන් කිහිපයක සිට රැඳවියන් ඉලක්ක කරමින් එකම වෙලාවක වෙඩි තැබීමට යම් නිශ්චිත ස්ථානයක සිට යමකු අණ කොට තිබෙන බව ඒ මොහොතේ සිදුවීම් ඇසින් දුටුවෙකු ලෙස වැටහී යන බව ඔහු අවධාරණය කළේය.

''අනිවාර්යෙන්ම එහෙම වෙන්නම ඕනේ. මොකද එස්පී මහත්තයයි, අනෙක් ජේලර් මහත්තුරුයි අපි එක්ක කතා කරන එක නවත්වලා ගේට්ටුව වහගෙන ගිහින් විනාඩි දහයක් ගියේ නෑ වෙඩි තියන්න. එතන ඉඳලා කට්ටියක් වෙඩි තියකොටම තමයි අර කලින් මම කිවුව බිල්ඩිමේ ඉඳලත් වෙඩි තිබ්බේ. ඒ කියන්නේ ඒගොල්ලෝ කලින් කතා කරගෙන සුදානම් පිට ඉඳලා තියනවා. එහෙම නැත්නම් ජේලර් නිලධාරීන්න්ට ඉහළින් ඉන්න කෙනෙක් අපිට වෙඩි තියන්න කියලා නියෝග කරලා තියෙනවා,''යි හේ කීය.

බන්ධනාගාර නිලධාරින් රැඳවියන් ඉලක්ක කර ඒ ආකාරයෙන් ස්ථාන කිහිපයක සිට පැය කිහිපයක් යන තුරු වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර, රාත්‍රිය වන විට බන්ධනාගාර භූමිය පුරා තුවාලකරුවන් මෙන්ම වෙඩි වැදීමෙන් මරණයට පත්වු රැඳවියන්ද තැන තැන වැටී සිටිනු දක්නට ලැබුණු බව කුලරත්න ජේඩීඑස් හා කියා සිටියේ ය.

''රෑ වෙන කොට අපිට කොහොමත්ම බැරිවුණා තුවාල වෙලා හිටිය අයව ජේලර් නිලධාරීන් ඉන්න තැන්වලට අරන් යන්න. මොකද ඒ වෙන කොටත් මුර අට්ටාලවල ඉඳලා සැරින් සැරේ වෙඩි තියනවා. වෙඩි තියන්න එපා කියලා අපි පුලුවන් විදිහට කෑ ගහලා කිවුවා. අඩුම තරමේ පණ අදින තුවාලකාරයෝ ටිකවත් බෙහෙත් දාන්න අරන් යන්න කියලා අපි ඉල්ලුවා. ඒ වුණාට වැඩක් වුණේ නෑ. තුවාල වෙලා ළතෝනි දි දී හිටිය අය ළඟට යන්න අපිට හරිම අමාරු වුණා. තුවාලකාරයෙක් වැටිලා ඉන්න තැනකට එයාව ගන්න කවුරු හරි යන කොට අට්ටාලවල ඉඳලා එයාට වෙඩි තියනවා. එහෙම වෙඩි තිබ්බේ නැත්නම් සමහර විට ඔය මැරිලා ඉන්න කිහිප දෙනෙක්ගෙම ජීවිත බේර ගන්න තිබුණා.”

වීඩියෝගත කිරීම

ඒ හා සමානවම ඔහු එල්ල කරන තවත් චෝදනාවක් වන්නේ නිලධාරින්, නිරායුධ රැදවියන්ට ඉවක් බවක් නොමැතිව වෙඩි තබව අතරවාරයේම රැඳවියන්ව විඩියෝ ගතකර ඇති බව ය. එය බරපතල කරුණක් වන්නේ ප්‍රහාරයෙන් පසුවත් රැඳවියන් දඩයම් කිරීම දිගින් දිගටම සිදුවන බව පෙනෙන්නට ඇති නිසාවෙනි.

''මුර අට්ටාලවල ඉඳන් වෙඩි තියන ගමන් ජේලර් මහත්තුරු අපිව වීඩීයෝ කරන විදිහත් අපි දැක්කා.''

ජේඩීඑස් සතුව ඇති එසේ රූ ගත වීඩියෝ දර්ශන පිටපතක, බන්ධනාගාරයේ මුර අට්ටාල මත සිටින ජේලර්වරුන් කිහිප දෙනෙකු අතර ඇතිවන සංවාදයකට අනුව එකකු රැඳවියන්ට අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් 'තියන්නද, තියන්නද ? ' යනුවෙන් තවෙකකුගෙන් විමසන අයුරු ඇසේ.

පසු දින, එනම් නොවැම්බර් 30 වැනිදා රැඳවියන්ට දැකගන්නට ලැබී ඇත්තේ බන්ධනාගාරය තුළට පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණ සිටින ආකාරයයි. කුලරත්න පවසන්නේ විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් රැඳවියන් නොමරා මැරූ බව ය.

එස්ටීඑෆ් ප්‍රහාරය

''29 දා රෑ වෙන කොට පොලිසිය ඇවිත් හිටියා. හෙල්මට් දාගෙන, කුළු පොලු තියාගෙන තමයි පොලිසිය හිටියෙ. පහුවදා දවල් වෙන කොට එස්ටීඑෆ් එක ආවා. ඒගොල්ලෝ ඇතුළට ආවෙම හිරකාරයන්ට පහර දීගෙනයි. එස්ටීඑෆ් එකෙන් 250 ක් 300 ක් විතර ඇවිත් හිටියා මම හිතන්නේ. හිරකාරයෝ කවුරුත් වැඩිය එළියේ හිටියේ නෑ. ජේලර්ලා වෙඩි තියන හින්දා. එළියේ හිටපු අයට විතරක් නෙමෙයි, වාට්ටුවල සහ කූඩු ඇතුලේ හිටිය අයටත් එස්ටීඑෆ් එක ඉතාම දරුණු විදිහට ගැහුවා. ඒ අය තැනකට ගහන්න ආපුවාම ඉස්සල්ලම එතන වටකරනවා. එතකොට කාටවත් දුවන්නවත් හැංගෙන්නවත් බෑ. එහෙම කරලා තමයි ගොඩක් වෙලාවට ගැහුවේ. ඔලුවලට, අත් කකුල්වලට, පිට කොන්දට තමයි වැඩි පුරම ගහලා තිබුණේ. දිග පොලු, තුවක්කු බට වගේ ඒවගෙන් තමයි ගහනවා දැක්කේ. ඔලු පැලිලා ලේ ගලන අය එහෙමම බිම වැටිලා මර ළතෝනි දුන්නා. එතකොට තව කෙනෙක් ඇවිත් ' කෑ ගහපිය පරයා තව හයියෙන්ම' කිය - කියා පයින් ගගහා කුණුහරුපෙන් බැන්නා. ගොඩක් දෙනෙක්ගේ දණිස් පුපුරලා තිබුණා. අතපය කැඩුන අයත් හිටියා කියලයි පස්සේ අපි දැන ගත්තේ. මම දැක්කා ඒක හිරකාරයෙක්ට ගහද්දි එයා 'බුදු සර් ගහන්න එපා ' කිය, කිය බිම වැතිරිලා වැන්දා . එහෙම වඳිද්දිම එයාගේ මූණට බූට් සපත්තුවෙන් ගහපු පාර ලේ ගලනවාත් මම දැක්කා. කලින් දවසේ වෙඩි වැදිලා තුවාල වෙලා හිටිය අයටත් ගහලා තියෙන බව තමයි හිරකාරයෝ කතා වුණේ ''.

කුලරත්න පවසන පරිදි STF ප්‍රහාරයට ගොදුරුවී බරපතල ලෙස තුවාල ලද්දවුන් ගෙනගියේ කොහිදැයි දැනගන්නට නැත.

''එස්ටීඑෆ් එකෙන් හිරකාරයන්ට ගහලා, ගහලා ගොඩක් දෙනෙක්ව කොණ්ඩෙන් අල්ලලා බිම දිගේ ඇදන් ගියා. සමහරුන්ව කූඩුවලට දැම්මා. තවත් අයව කොහෙට අරන් ගියාද කවුරුත් දන්නේ නෑ. ඇදගෙන යනවා විතරයි අපි දැක්කේ. 'අපි ඉල්ලුවේ කන්නයි - කොරෝනා චෙක් කරන්නයි විතරනේ සර් ඇයි අපිව මරන්න හදන්නේ' කියලා අහපු අයට එස්ටීඑෆ් එකෙන් ගහලා තිබුණේ 'තොපිට මාළු නෙමෙයි කන්න දෙන්නේ ගූ' කියලයි. වයසක මනුස්සයෙක් මට කිවුවා එයාට ගහද්දි ඇහුවලු, ' නාකියා, තොට දැන් මේ කෑම හොඳයිද' කියලා .

ඩ්‍රෝන මෙහෙයුමක්

බන්ධනාගාර නිලධාරින් රැඳවියන් ඉලක්ක කරමින් වෙඩි තබන අතරවාරයේ, බන්ධනාගාර භූමියට ඉහළින් ඩ්‍රෝන කැමරා යවා ඇති අතර, පසුව එයින් ලබා ගත් ඡායාරූපවලින් හඳුනාගත් කලහකාරීන් යැයි පවසමින් පසු දින රැඳවියන් විශාල පිරිසක් පහර දෙමින් රැගෙන ගිය බව කුලරත්න පැවසීය.

''29 දා හවස් වරුවේම ඩ්‍රෝන කැමරා ගියා. පහුවදා, ජේලර් මහත්තුරු එස්ටීඑෆ් එකත් එක්ක කූඩුවලටයි, වාට්ටුවලටයි ඇවිත් පින්තූර වගයක් බල-බලා හිරකාරයෝ කූඩුවලින් ඒළියට ඇදලා ගත්තා. ' මෙහෙට වරෙන්, උඹව තමයි හොය හොය හිටියේ ' කිය කියා එක කූඩුවකින් අඩුම ගානේ හිරකාරයෝ 25 ක්, 30 ක් වත් එළියට ඇදලා ගන්න ඇති මම හිතන්නේ. එළියට ගත්තට පස්සේ ගහලා ගහලා ඇදගෙන ගියා. කොහෙට අරන් ගියාද - මොනව කෙරුවද කවුරුත් දන්නෙ නෑ. අපි දැක්කේ එහෙම කූඩුවලින් එළියට අර ගත්ත අයට අත් කකුල් කැඩෙනකම් ගහන එක විතරයි. 'තොපිට යහතින් නම් ඉන්න දෙන්නේ නෑ. වැලි ඇටයක් ගානේ නඩු දානවා.' කිය කිය තමයි පහර දුන්නේ. ඉස්පිරිතාලෙට අරන් ගිය තුවාලකාරයන්ට වැඩියෙ, තුවාලකාරයෝ බන්ධනාගාරය ඇතුලේ හිටිය එකනම් හොඳටම විශ්වාසයි. එස්ටීඑෆ් එකයි, ජේලර් මහත්තුරුයි හිරකාරයන්ට ගහපු විදිහට නම් තුවාලකාරයෝ සිය ගානක් ඉන්න ඕනේ.''

මහර බන්ධනාගාරය යනු, රැඳවියන්ට දෙතිස් වද දෙන වධකාගාරයකට සමාන ස්ථානයක් බව සිරකරු අයිතිවාසිකම් සම්බන්ධයෙන් හඬ නගන සංවිධාන කලෙක පටන් නගන චෝදනාවකි. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදි මහර බන්ධනාගාරය තුළ දී කාවින්ද ඉසුරු තිසේරා නැමැති රැඳවියකු මිය ගිය අතර, බන්ධනාගාර පරිපාලනය පවසා තිබුණේ ඔහු මිය ගියේ බන්ධනාගාරයේ උස් තාප්පයට නැග පැන යාමට උත්සාහ දැරීමේදි එයින් ඇද වැටී හටගත් තුවාල හේතුකොටගෙන බවයි. නමුත් බන්ධනාගාර නිලධාරින් විසින් එම රැඳවියාට පොලුවලින් පහරදී මරා දමා ඇති බව ජේඩීඑස් විසින් සිදුකළ විමර්ශන මගින් අනාවරනය කෙරුණි.

''එස්පී මහත්තයාගේ ඔෆීස් කාමරයට කිට්ටුව තමයි සැලුන් එක තියෙන්නේ. හිරකාරයන්ට වධදෙන්න ගොඩක් වෙලාවට අරන් යන්නෙ එතැනට. කොහු මිටවල්වලට වඩා මහත පොලුවලින් තමයි ගහන්නේ. ජේලර් මහත්තුරු තුන්, හතර දෙනෙක් වටවෙලා බිම බුදි කරලා ගහනවා. වැඩියෙන්ම ගහන්නේ ඔලුවට, කොන්දට, අත් කකුල්වලට. ගුටිකාපු සමහර අයට දවස් ගණන් ඇවිද ගන්න බැරිව, කන්නෙ බොන්නෙවත් නැතුව වැටිලා ඉන්නවා. 'බුදු මහත්තයෝ ගහන්න එපා, මරන්න එපා ' කියලා ළතෝනි දෙන විදිහ හැමදාම ඇහෙනවා. වාට්ටු චෙක් කරද්දි කාගේ ළඟ හරි දුම්කොල කෑල්ලක්වත් තිබුණොත් ඒ මනුස්සයා ඉවරයි. බාගෙට මරලා තමයි අත අරින්නේ. අර මම කලින් කිවුව මනෝහරන් මහත්තයා තමයි හිරකාරයන්ට වැඩියෙන්ම වද දෙන්නේ."


හක්ක පුපුරන මුෂ්ටි ප්‍රහාර

කුලරත්න පවසන ආකාරයට මනෝහරන් නම් ජේලර් ඉතාම කුරිරු ගති පැවතුම් ඇති අයකි. ඔහු නිතරම රැඳවියන්ගේ මුහුණට අත මිට මොලවා දැඩිව පහර දෙන බවත්, එසේ පහර කන රැඳවියන්ගේ හකු ඇටය පුපුරා දින ගණන් අහාර පවා ලබා ගැනීමට නොහැකිව දැඩි වේදනා විඳිමින් පසුවන බවත් හෙතෙම කියා සිටියේය.

''ඒ ජේලර් හිරකාරයන්ට සලකන්නේ සත්තුන්ට වගේ. කිසිම හේතුවක් නැතුව සිරකාරයන්ගේ මූණට ගහනවා. හිරකාරයෝ විතරක් නෙමෙයි, සමහර ජේලර්ලාත්,එයාට බයයි. ගොඩක් වෙලාවට වාට්ටුයි, හිරකූඩුයි බලන්න එන්නේ එයා තමයි. මොකද එයා සැර පරුෂ කෙනෙක් නිසා අනෙක් මහත්තුරු එයාවම එවනවා.'' මනෝහරන් නැමැති නිලධාරියා විසින් රැඳවියන් බියෙන් තැති ගන්වන ආකාරය කුලරත්න විසින් පවසනු ලබද්දී, අප විසින් කරන ලද සොයා බැලීම්වලදී දැන ගන්නට ලැබුණේ මහර බන්ධනාගාරයේ අධිකාරි ප්‍රමුඛ නිලධාරින් බහුතරයක් එවැනි කෲර ගති පැවතුම් ඇති අය බව ය.

කෙසේ නමුත් මහර බන්ධනාගාරයේ රැඳවියන් වෙත එල්ල කරනු ලැබු ප්‍රහාරයට එළැඹෙන 29 දිනට දෙමාසයකි. මේ වන විට පුද්ගලයන් 11 දෙනකු ජීවිතක්ෂයට පත්ව සිටින අතර, තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව නිශ්චිතවම කිසිවෙක් නොදනිති. මේ වන විටිත් ප්‍රහාරයෙන් පසුව අතුරුදහන් යැයි පැවසෙන රැඳවියන්ගේ ඥාතීහු රෝහල් හා බන්ධනාගාරය සොය සොයා යමින් තම සමීපතමයන් කොහේ සිටින්නේ දැයි විපරම් කරති. ඒ සමඟම නීතිඥවරුන් කිහිප දෙනෙක් මේ අයුක්ති සහගත ක්‍රියාවට එරෙහිව අධිකරණය හමුවේ හුදකලා අරගලයක නිරත වී සිටිති. නාමධාරි නීති ප්‍රජාවන්, සිවිල් අරගලකාරින් ලෙස තමන්වම හඳුන්වා ගනු ලබන්නන් ඒ අරගලය නොතකා, නොසළකා හැර සිටිති. ඒ ඇතැම් විට ඝාතනය කෙරුණු මනුෂ්‍යයන් කුඩුකාරයන්, අපරාධකාරයන් ලෙස හංවඩු ගසන ලද අවමානවයන් ලෙස කල්පනා කිරීම නිසා විය හැකිය. එහෙත් මරා දැමුනේත්, අත්පා සිඳ බිඳ දැමුනේත් මනුෂ්‍ය ගරුත්වය හා යුක්තිය බව කුලරත්න වැන්නවුන්ගේ වේදනාබර ප්‍රකාශ අපට පසක් කර දෙයි.☐

කිත්සිරි විජේසිංහ


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.