JDS Sinhala

මහර වෙඩි ප්‍රහාරයෙන් මියගිය අටකගේම පපුවේ වෙඩි සලකුණු

කිත්සිරි විජේසිංහ විසිනි.


හර සමුලඝාතනයෙන් මියගිය එකොලොස් දෙනාගෙන්, අට දෙනකුම මරුමුවට පත්ව ඇත්තේ වෙඩි වැදීමෙන් සිදුවූ බරපතල තුවාල බව අධිකරණය හමුවේ තහවුරු වී තිබේ.

මළ සිරුරු හඳුනා ගත් ඥාතීන් කිහිප දෙනකුම ජේඩීඑස් හා කියා සිටියේ තම සමීපතමයන් ගේ පපුවේ තුවාල 3 ක් හෝ 4 ක් තමන් විසින් දක්නා ලද බව ය.

මිය ගිය බොහෝ රැඳවියන්ට එක් වරකට වඩා වෙඩි වැදී ඇති බව ජේඩීඑස් විසින් කරන ලද විමර්ශනයන්ගෙන් ද තහවුරු වී තිබේ. මහර බන්ධනාගාරයේ රැඳවියන්ට වෙඩි වෙඩි තබනු ලැබුවේ බන්ධනාගාර නිලධාරීන් විසින් යැයි පළමු කොට ජේඩීඑස් විසින් කරනු ලැබූ හෙළිදරව්ව පසුව අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු වෛද්‍ය වාර්තා වලින් සහ සාක්ෂිවලින් තහවුරු කෙරුණි.

මිනුවන්ගොඩ, නිල්පනාගොඩ නදීකා කල්පනීට මෘත ශරීරාගාරයේදී දැනගන්නට ලැබී ඇත්තේ සිය සැමියා, ප්‍රදීප් අතුල කුමාර, මියගොස් ඇත්තේ පපුවට වැදුන වෙඩිල්ලෙන් බව ය.

''මගේ මහත්තයාගේ පපුවේ එක පැත්තක් හිල්වෙලා තිබුණේ. බඩ තුවාල වෙලා ගලපු ලේ පැල්ලමුත් මම දැක්කා. මෝචරියේ හිටපු අය මට කිවුවේ මහත්තයට වෙඩි හතරක් වැදුලා තිබුණා කියලයි. වම් තන පුඩුවට යටින් පපුව හිල්වෙලයි තිබුණේ,” ඇය කියා සිටියාය.

කිරිඳිවැල පදිංචි ශානුකා කාරියවසම් පවසන පරිදි ඇගේ බාල සහෝදරයාටද වෙඩි ප්‍රහාර කිහිපයක්ම වැදී ඇත.

''මල්ලිට වෙඩි තුනකට වැඩිය වැදිලා තිබුණා,''යි ඇය කීය.

ඇගේ සහෝදර රසික හර්ෂණ කාරියවසම්ගේ මළ සිරුරු පුරා තුවාල කැළැල් තිබුණු බවද ඈ කියා සිටියාය.

''මට මල්ලිගේ මිනිය බලන්න ලැබුනේ කීප වතාවක්ම ඇවිටිලි කෙරුවට පස්සේ. මිනිය අඳුනගන්න එන්න කියලා කිවුවට ඉස්පිරිතාලෙට ගියාම එතන හිටිය අය බැලුවෙම අපිව රස්තියාදු කරවලා හරවලා යවන්න. මගේ මල්ලිගේ බඩ කපලා තියෙනවා මම දැක්කා. මෝචරියේ හිටිය අය මට කිවුවේ 'මල්ලිගේ වකුගඩුවකට වෙඩි වැදිලා තිබුණා, ඉස්පිරිතාලෙට අරන් ආවම ඔපරේෂන් එකකුත් කෙරුවා' කියලායි.''

දරු තිදෙනකුගේ පියකු වු 29 හැවිරිදි සම්පත් පුෂ්පකුමාර, රැඳවියන්ට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මියගිය පළමු තැනැත්තා ය. ඔහුගේ බිරිඳ වන එන් ජී ලසන්ති පවසන ආකාරයට පුෂ්ප කුමාරටද වෙඩි ප්‍රහාර කිහිපයක්ම වැදී තිබේ.

''එයා මැරිලා තියෙන්නේ පපුවට වැදුන වෙඩිල්ලකින් කියලයි ඉස්පිරිතාලෙන් මට කිවුවේ. තැන් කිහිපයකම තුවාල වෙලා තියෙනවා මම දැක්කා. ඒ ගැන ඇහුවම මෝචරියේ හිටිය අය මට කිවුවේ ඒ තුවාල වෙඩි වැදුන ඒවා කියලායි''.


බලෙන් අත්සන්

මේ අතර වත්තල මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල හමුවේ පවත්වන ලද මූලික සාක්ෂි විභාගයේදි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න විසින් පවසා තිබුණේ මියගිය රැඳවියන්ගේ සිරුරු ආදාහනය කිරීම සඳහා ඥාතීන් විසින් වෛද්‍යවරුන්ට අවසර ලබා දී ඇති බවකි. නමුත් එහි සත්‍යතාවය පිළිබඳව ජේඩීඑස් විසින් මළ සිරුරු හඳුනාගත් ඥාතීන් කිහිප දෙනකුගෙන්ම විමසා සිටි විට ඔවුන් අවධාරණයෙන් කියා සිටියේ මෘත ශරිරාගාරයේ සිටි අය තමන්ට නිසි පැහැදිලි කිරීමකින් තොරව කඩිනමින් කොළවලට අත්සන් ලබා ගත් බව ය.

සිරුරු ආදාහනය කරන වග නිසි පරිදි වැටහුනේ නම් තමන් කිසිමි විටක ඒ සඳහා අනුමැතිය ලබා දෙමින් අත්සන් නොකරන බවද ඔවුහු කියා සිටියහ. මේ කරුණු  සනාථ කළ අගතියට පත් පාර්ශවය නියෝජනය කරන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ නීතිඥවරුන් ද පවසන පරිදි මරණකරුවන්ගේ ඥාතීන් විසින් ඒ බව මහේස්ත්‍රාත්වරයාටද දැනුම් දී තිබේ.

මේ වන විට මියගිය පුද්ගලයන් අට දෙනෙකුගේ මූලික පශ්චාත් මරණ පරික්ෂණයන් අවසන් කොට ඇත.

සිරුරු පිලිස්සීමෙන් ගැටළු

වැඩිදුර විමර්ශනයන්ට අවශ්‍ය සාම්පල කොටස් ආරක්ෂිතව තබා ගෙන ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ වෝහාරික විශේෂඥ මණ්ඩලය විසින් මහේස්ත්‍රාත්වරයාට කර ලද දැනුම් දීමකින් පසුව එම සිරුරු ආදාහනය කිරීම සඳහා අවසර දෙනු ලැබුණි. නමුත් යම් හෙයකින් ඇසින් දුටු සාක්ෂිකරුවකු ඉදිරියේදි අධිකරණය ඉදිරියට පැමිණ සාක්ෂි ලබා දෙනු ලැබුවහොත් බරපතල ගැටළු ගණනාවක් මතු විය හැකි බව අපරාධ විෂයෙහි ප්‍රවිණ නීතිවේදීහු පවසති. තවමත් ගිනි අවි විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් නොවීම ද ගැටළු සහගත බව ඔවුන්ගේ අදහස ය. යම් හෙයකින් ඉදිරියේදි ඇසින් දුටු සහ පරිවේශනීය සාක්ෂි මත මළ සිරුරු ගොඩ ගැනීමේ අවශ්‍යතාවයක් පැන නැගුනහොත් සිරුරු ආදාහනය කර ඇති බැවින් ඒ සදහා ඇති ඉඩ ඇහිරී යන බව එම නීතීඥයෝ පෙන්වා දෙති. ඇතැම් විට එසේ දෙවැනි වර සිරුරු ගොඩ ගැනීමේදී පළමු මරණ පරික්ෂණයෙන් හඳුනා නොගන්නා අපරාධ සළකුණු, ගිනි අවි උණ්ඩ වැනි සාක්ෂි හඳුනාගැනීමට හැකි වන බවත්, මේ වන විට සිරුරු පුලුස්සා දමා ඇති බැවින් සොයා ගැනීමට නොහැකිව සැඟව තිබුණු වෙඩි උණ්ඩ පිළිස්සී ගොස් ඇති බවත් ඔවුහු පවසති. පිළිගත් අපරාධ පරීක්ෂණ ක්‍රමවේද වෙනස් කර අධිකරණ කටයුතු සිදුකිරීම කවර තත්වයක් යටතේවත් සුදුසු නොවන දෙයක් බව එම නීතිඥවරු පෙන්වා දෙති.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥවරුන්ට අධිකරණය හමුවේ කරුණු දැක්වීමට ඇති අයිතියට නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණෙන රජයේ අධිනීතිඥවරිය වන නිශාරා ජයරත්න විසින් දිගින් දිගටම කරන බාධා කිරීම් නීතියට පටහැනි මෙන්ම සාධාචාර විරෝධි ක්‍රියාවක් ලෙසයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ නීතිඥ සේනක පෙරේරා පවසයි.

''මේ තත්ත්වය ඉතාම භයානක පෙර නිමිත්තක්. අපරාධයකින් මියයන පුද්ගලයකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥවරයකුට අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීමට ඉඩ නොදි ඒ්ක පාර්ශිකව කටයුතු කරන්න නීතිපති දෙපාර්තමේන්තුව උත්සාහ දරනවා නම් එයින් පෙන්නුම් කෙරෙන්නේ ඒ අපරාධවලට යුක්තිය ඉටු කිරීමට කටයුතු කරන එක නෙමෙයි, අපරාධකාරී චෝදනාවෙන් රාජ්‍යය ආරක්ෂා කිරිමයි . අද මේකට ඉඩ දුන්නොත් හෙට හැම නඩුවකටම මෙහෙම වෙන්න පුලුවන්. මේ අපරාධය කරලා තියෙන්නේ රාජ්‍ය නිලධාරින්. නීතිපති දෙපාර්තමේන්තුව උත්සහ කරන්නේ ඒ් නිලධාරින්ව ආරක්ෂා කරන්න. අනෙක රජයේ අධිනීතිඥවරියෙගේ නොහික්මුණු හැසිරීම මේ වින්දිතයන් තවත් අසරණ කරනවා'', නීතිඥ සේනක පෙරේරා කීය.

වෙඩි ප්‍රහාරයන්ට ලක්ව මිය ගිය රැඳවියන් ලෙස මේ වනවිට හඳුනාගෙන පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් කොට ඇත්තේ රමිඳු සුලක්ෂණ රොද්‍රිගෝ, ප්‍රදීප් අතුල කුමාර, ඇරැව්වල භවන්ත කුමාර, ඉන්දික පුෂ්පකුමාර, අමිත් සුබසිංහ, සම්පත් පුෂ්ප කුමාර, රසික හර්ෂණ කාරියවසම් සහ මාලන් ක්‍රේග් යන අට දෙනාගේ ය. තවත් තිදෙනකුගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා ඉදිරියේදි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මෙම ඝාතන සම්බන්ධයෙන්, පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකරණ බහුවිධ වෝහාරික විශේෂඥ මණ්ඩල සමාජිකයන් වන්නේ, කොළඹ විශ්ව විද්‍යාලයේ වෝහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය ජීන් පෙරේරා, උතුරු කොළඹ ශික්ෂණ (රාගම) රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි සඳුන් විජේවර්ධන, මුල්ලේරියාව බෝ වෙන රෝග රෝහලේ (අයිඩීඑච්) ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි චන්න පෙරේරා, දකුණු කොළඹ ශික්ෂණ (කළුබෝවිල) රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි පී පී දසනායක සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රස පරීක්ෂක බී.ජී. මඩවල යන අය වේ.☐

© JDS

 

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.