JDS Sinhala

සරසවි සිසාරා නොනැවතී පැතිරෙන මර්දනයේ චණ්ඩ මාරුතය

සුගිය කාලය මුළුල්ලේ සරසවි සිසුන් විසින් විරෝධතා සහ උද්ඝෝෂණ ගණනාවක් දියත් කරන ලදී. එකී සිසු විරෝධතා බොහෝමයක්  පොලිස් කැරළි මර්දන බල ඇණි සහ සන්නද්ධ සේනාංක යොදවා බිඳ දැමීමට රජය කටයුතු කළේය. ඇතැම් උද්ඝෝෂණ සහමුලින්ම මර්දනය කරනු වස් පොලිසිය විසින් සිසුන් ඉලක්ක කරමින් දැඩි ප්‍රහාරයන් එල්ල කළ අතර, උද්ඝෝෂණ සඳහා සහභාගී වු සිසුන් මෙන්ම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ඉදිරි පෙළ ක්‍රියාකාරීන් බොහෝ දෙනෙක් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද කටයුතු කරණු ලැබුනි. සරසවි සිසුනට අනුව එම උද්ඝෝෂණ සහ විරෝධතාවන්ට තුඩුදෙන ලද්දේ විශ්ව විද්‍යාලවලට වාර්ෂිකව වෙන් කරනු ලබන ප්‍රතිපාදනයන් කපා හැරීම, රාජපක්ෂ පාලන සමයේ ඇති කරන ලද පෞද්ගලික විශ්ව විද්‍යාල අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ ඒවායින් උපාධි ප්‍රදානය කිරීමට තවදුරටත් අවසර ලබා දීම, විශ්ව විද්‍යාලවලට වාර්ෂිකව බඳවා ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව කප්පාදු කිරීම මෙන්ම පොදුවේ සරසවි සිසුනට එරෙහිව දියත් කොට ඇති රාජ්‍ය මර්දනයයි.

බලයට පත් වන සෑම ආණ්ඩුවක්ම බලය ලබා ගැනීමට පෙර ස්වකීය දේශපාලන පොරොන්දු පත්‍රවල උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රය සම්බන්ධව විශේෂයෙන්ම සඳහන් කිරීමට වග බලා ගනිති. තමන් බලයට පැමිණි පසු විශ්ව විද්‍යාල පද්ධතියෙහි සිදු කරනු ලබන ගුණාත්මක වෙනස්කම් පිළිබඳව මෙන්ම සරසවි සිසුන්ගේ අයිතීන්  පිළිබඳව ද  වඩාත් විවෘතව සහ ප්‍රජාතන්ත්‍රීයව කටයුතු කරන බවට පොරොන්දු ලබා දීමට අමතක නොකරති. එහෙත් බලයට පැමිණි පසු ශිෂ්‍ය අරගල සහ උද්ඝෝෂණ සම්බන්ධයෙන් ඒ සෑම ආණ්ඩුවක්ම දක්වන්නේ එයට හාත්පසින්ම වෙනස් වු ප්‍රතිචාරයකි. එම ප්‍රතිචාරය වනාහී උද්ඝෝෂණයන් මැඩ පැවැත්වීම උදෙසා එල්ල කරනු ලබන පොලිස් බැටන් ප්‍රහාරවල සිට ශිෂ්‍යභාවය අහෝසිකිරීම්, බිය වැද්දීම්, පැහැරගෙන යාම්, සිරගත කිරීම් හරහා සිසු ඝාතන දක්වාම දිව යන්නකි.

'මෛත්‍රී යුගය මේකද?'

“මහින්ද රාජපක්ෂ ගේ පාලන කාලයට නොදෙවෙනි මර්දනයක්, භීෂණයක් සරසවි සිසුනට විරුද්ධව මෛත්‍රිපාල සිරිසේනගේ පාලනය තුළත් එල්ල කෙරුණා'' අන්තර් භික්ෂු බල  මණඩලයේ වැඩ බලන කැඳවුම්කරු ටැම්පිටියේ  සුගතානන්ද හිමි කියයි.

ඒ,ගෙවී ගිය මාස කිහිපයෙහි සරසවි සිසුන්ට එල්ල කෙරුණු ප්‍රහාරයන් මෙන්ම සිසු උද්ඝෝෂණයන් පිළිබඳව ද ජේඩීඑස් විසින් කරන ලද පසු විපරමකට එකතු වෙමිනි.

“මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස පත්වීමට කලින් කිවුවේ ලංකාව 'මෛත්‍රී යුගයක්' කරනවා කියලයි. ඒ විතරක් නෙවෙයි, අපිට බලය ලැබුණොත් ශිෂ්‍යයන්ට ජල ප්‍රහාර, කඳුළු ගෑස්, බැටන් පොලු ප්‍රහාර එල්ල කරන්න කාටවත් ඉඩ තියන්නේ නෑ කියලත් කිවුවා. එහෙම කියලා බලයට ඇවිත් මාස දෙකක් ගියේ නැහැ - තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලලා පාරට බැහැපු ශිෂ්‍යයන්ට එළවා එළවා පහර දුන්නා. ශිෂ්‍යයන්ගේ අත පය කඩලා දැම්මා. නීති විරෝධීව අත්අඩංගුවට ගත්තා. සිරගත කළා. පැහැර ගෙන ගියා. තිත්ත ඇත්ත තමයි, මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ විශ්ව විද්‍යාල සිසුනට එරෙහිව මුදාහැරපු මර්දනයට, භීෂණයට නොදෙවෙනි මර්දනයක්, භීෂණයක් මෛත්‍රිපාල සිරිසේනගේ ආණ්ඩුව යටතේත් මුදා හැරුණු බව. අධ්‍යයන කටයුතු අතපසු කරගෙන අපි උද්ඝෝෂණවලට සහභාගි වෙන්නේ, ඒවා සංවිධාන කරන්නේ ශිෂ්‍යයෝ විදිහට අපි මුහුණ දීලා තියෙන ප්‍රශ්නවලට කිසිම විසඳුමක් නොලැබෙන නිසායි." 

ඉකුත් මාස කිහිපය තුළ කෙතරම් මර්දනයක් සරසවි ශිෂ්‍යයන් ඉලක්ක කොට මුදා හැරියේදැයි නිසි ලෙස විමසා බලන මෙන් සුගතානන්ද හිමි ඉල්ලයි.

"කීදෙනෙක්ව අත්අඩංගුවට  ගත්තද? සිසු උද්ඝෝෂණ කීයකට ආණ්ඩුව පොලිසිය දමලා පහර දුන්නද? ඒ විතරක් නොවෙයි රහස් පොලිසිය, බුද්ධි අංශ සරසවි සිසුන් පසුපස එවමින් බිය වැද්දීම් කළා. සරසවි සිසුන්ගේ ගෙවල්වලට, ශිෂ්‍ය භික්ෂූන්ගේ පංසල්වලට බුද්ධි අංශ සාමාජිකයන් යවමින් දෙමාපියන්ට, ගුරු හාමුදුරුවරුන්ට තර්ජනය කළා. කොළඹ අපරාධ කොට්ඨාශය පසුගිය කාලයේම කළේ සරසවි සිසුන් පසුපස ලුහුබඳිමින් ඔවුන්ව දඩයම් කරන එක විතරයි. දිනපතාම සිසුන්ව අපරාධ කොට්ඨාශයට කැඳවමින් ප්‍රකාශ සටහන් කර ගත්තා.බොරු චෝදනා නගමින් උසාවියට ඉදිරිපත් කළා. සරසවි සිසුනට එරෙහි රාජ්‍ය  මර්දනය කියන්නේ මේකට නොවෙයිද?" හේ විමසයි.

මෙයට පෙර කිහිප අවස්ථාවක ජේඩීඑස් මගින් ද අනාවරණය කර සිටියේ ක්‍රියාකාරී සරසවි සිසුන් පසුපස පොලිස් බුද්ධි අංශ ලුහු බැඳීම් උත්සන්න කර ඇති බව ය. එසේම අවිභිබ මණ්ඩලයේ කැඳවුම්කරු තැන්නේ ඥාණානන්ද ප්‍රමුඛ ශිෂ්‍ය භික්ෂුන් කිහිප දෙනෙකුද, අවිශිබම කැඳවුම්කරු නජිත් ඉන්දික පුමුඛ ශිෂ්‍ය ක්‍රියාකාරීන් ද කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවා ඇති  බව වාර්තා පළ විය. එම කොට්ඨාශයෙන් කෙරෙන ප්‍රශ්න කිරීම් සහ ප්‍රකාශ සටහන් කිරීම්වලින් අනතුරුව ශිෂ්‍ය ක්‍රියාකාරීන් රක්ෂිත බන්ධනාගාර ගත කළ අවස්ථා කිහිපයක්ම ජේඩීඑස් වාර්තාවලට ඇතුළත් විය.

'සිසු විවේචන පදනම් සහිතයි'

නමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ශක්තිමත් කරන ලද මර්දන යන්ත්‍රය විසුරුවා හැරීමේ ප්‍රතිඥාව මත බලයට ආ නව ආණ්ඩුව විසින් ද සරසවි සිසුනට එරෙහිව මර්දනයේ හස්තය දිගුකොට ඇතැයි ශිෂ්‍ය ක්‍රියාකාරින් නගන චෝදනාවේ පදනම කුමක්දැයි විමසා බැලීම වටියි. සිදුවෙතැයි පැවසෙන සිසු මර්දනයේ යථා ස්වභාවය කවරාකාරද? එසේම බලයට පත්වන කවර හෝ ආණ්ඩුවක් විසින් මෙබඳු විවෘත මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කිරීම හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන අවශේෂ සමාජ බලවේගවලට වගකීම කුමක්ද? පිළිතුරු සපයා ගත යුතු  මෙකී කාරණාවන් පිළිබඳව ජේඩීඑස් කරුණු විමසා සිටියේ මානව හිමිකම් පිළිබඳ ප්‍රකට නිතිඥවරයෙකු මෙන්ම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරණයෙන් පරාජය කිරීම සඳහා වෙහෙසුනු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මෙන්ම, නීතීඥ එකමුතුවේද ප්‍රමුඛ ක්‍රියාකාරිකයෙකු වන  නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ ගෙනි.

‘‘සරසවි සිසු අරගල ලංකාවට අලුත් අත්දැකීමක් නොවෙයි. ඒත් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ආණ්ඩුවෙන් - ආණ්ඩුවට සටන් කරන්න, අරගල කරන්න ශිෂ්‍යයන්ට සිදුවෙන එක ගැන රටේ පුරවැසියෝ හැටියට අපි ලජ්ජාවට පත්වෙන්න ඕනෑ,"යි ඔහු කියයි.

"ඒ ළමයි සටන් කරන්නේ තමන්ගේ අයිතිවාසිකම් නිසි පරිදි පාලකයෝ ලබා නොදෙන නිසායි කියලයි මම හිතන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය ගැන අපි මොන තරම් කතා කළත් නිදහස් අධ්‍යාපනය ගැන මේ වන විට තියෙන්නේ බරපතල සැක සංකාවක්. හැම ආණ්ඩුවක්ම බලය ලබා ගත් පසු අධ්‍යාපන හිමිකම් කප්පාදු කරන්න පෙළඹෙනවා. පසුගිය කාලය පුරාමත් අපි ඒක අත් දැක්කා. එහෙම වෙනකොට තරුණ ශිෂ්‍යයෝ පාරට බහිනවා - අරගල කරනවා. පාලකයෝ කරන්න ඕනේ එ්වා සම්බන්ධයෙන් විධිමත්ව කරුණු සොයා බලා අවශ්‍ය පිළියම් යෙදීම මිස ශිෂ්‍යයන්ට ප්‍රහාර එල්ල කිරීම නොවෙයි. ප්‍රජාතන්ත්‍රිය පාලනයක් කියන්නේ අයිතිවාසිකම් ඉල්ලලා සටන් කරන උද්ඝෝෂකයන්ට ජල ප්‍රහාර, කඳුළු ගෑස් එල්ල කරන එකකට නොවෙයි. මම දන්නේ නැහැ යහපාලනය කියන එකේ අර්ථය ඒකද කියලා."

මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ සරසවි සිසුන්ට එල්ල කෙරුණු ප්‍රහාරයන් දේශපාලන වේදිකාවන්හි විවේචනය කරමින් බලයට පැමිණි ආණ්ඩුවක් පෙරළා එම පිළිවෙතම ඉදිරියට ගෙන යන බවට සරසවි සිසුන් විසින් මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවට එල්ල කරන චෝදනා පිළිබඳව කතා කරමින් නීතිඥ කුමාරගේ කියන්නේ එකී චෝදනා සැළකිය යුතු පදනමක් සහිත ඒවා බවයි.

“ඇත්තෙන්ම අපිට එවැනි චෝදනාවන් පිළිගන්න වෙනවා. මහින්ද රාජපක්ෂගේ  ආණ්ඩුවට වඩා  ප්‍රජාතන්ත්‍රීයව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයගේ ආණ්ඩුව රටේ ප්‍රශ්න දිහා විවෘතව බලයි කියලා අපිත් මුලින් කල්පනා කළා.  නමුත් අද සිදුවන්නේ එය නොවෙයි. මේ සිදුවෙන දේවල් අපිට අනුමත කරන්න බැහැ. සරසවි ශිෂ්‍යයන්ට පොලිසිය පහර දෙන විට ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා දැනුවත් නැහැ කියලා පිළිගන්න කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඇත්තෙන්ම එයින් පෙන්නුම් කෙරෙන්නේ මේ ප්‍රහාර ආණ්ඩුවේ අදාළ බලධාරීන්ගේ නියෝග මත ක්‍රියාවට නැංවෙන බවයි. හැම ආණ්ඩුවකටම අවශ්‍ය ශිෂ්‍ය අරගල මොට කරලා, මර්දනය කරලා දාන්නයි. ඒ සම්බන්ධයෙන් පිළිවෙත් සංසන්දනය කරලා බලද්දී, මේ ආණ්ඩු දෙක අතර වෙනසක් දකින්න බැහැ කියලා තරුණ ශිෂ්‍යයෝ දක්වන අදහස් පහසුවෙන් බැහැර කරන්න කාටවත් බැහැ.''

නීතිඥ කුමාරගේ නගන එම චෝදනාව බැහැර කළ නොහැක්කේ ඒ සම්බන්ධව සිසුන් විසින්ද පෙන්වා දෙන සිද්ධිමය සාක්‍ෂි නිසා ය. ඉන් එක් සිදුවීමක් පහත පරිදි ය. 2014 දෙසැම්බර් මස 22 දින උසස් ජාතික ගණකාධිකරණ පාඨමාලා සිසුන් විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පවත්වන ලද උද්ඝෝෂණයට පොලිසිය විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කරන ලද්ද‍ේ කලින් පැවැති ආණ්ඩුවේ නියෝග යටතේ ය.  අදාළ ප්‍රහාරය, නව ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා වෙන්වුණු දේශපාලන වේදිකා මත ශිෂ්‍ය මර්දනයේ සංකේතයක් ලෙස ඉස්මතු කොට අවධාරණය කරන ලදී. නමුත් එයින් සය මසකට පසු, 2015 මැයි 21 වැනි දා නව ආණ්ඩුව යටතේ අදාළ සිසුන් කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවනු ලබන්නේ එම උද්ඝෝෂණය සම්බන්ධව පැවැත්වෙන පරීක්ෂණයන් සඳහා අවශ්‍ය ප්‍රකාශ සටහන් කර ගැනීමට බව පවසමිනි. අයුක්ති සහගත ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් ලෙස සය මසකට පෙර හඳුන්වන ලද ක්‍රියාවකට සය මසක් ඇවෑමෙන් නීත්‍යනුකූල පදනමක් සපයන්නේ 'යහපාලන පිළිවෙත්' මතදැයි සිසුහු ප්‍රශ්න කරති.

'මර්දනය විසඳුමක් නෙවෙයි'

සාධාරණ අයිතීන් මුල් කොටගෙන සිසුන් විසින් ගෙනයන උද්‍ඝෝෂණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සමාන්තර බහුජන බලවේග ප්‍රමාණවත් සහයෝගීතාවයක් පළ නොකිරීම සම්බන්ධයෙන් සිසුන් නඟන චෝදනාවද විමසා බැලීමට තරම් වටිනා එකකි. විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ආචාර්ය හරිනි අමරසූරියගෙන් අපි මේ පිළිබඳ විමසීමු.

‘‘අපිට හැකි සෑම අවස්ථාවකදිම ශිෂ්‍යයන්ගේ ගැටළු සම්බන්ධව අපි මැදිහත්වෙලා තියෙනවා. නමුත් පොදුවේ අපිට සෑම ප්‍රශ්නයකටම එකම විදිහට මැදිහත් වෙන්න හැකියාවක් නැහැ. සමහර වෙලාවට එක් එක් විශ්ව විද්‍යාලවල තියෙන්නේ එකිනෙකට වෙනස් ප්‍රශ්න," ඇය කියයි.

"ඇතැම් විරෝධතාවයන් සහ ඒවායෙහි ක්‍රමවේදයන් සම්බන්ධව අපටත් යම් යම් ගැටළු තිබෙනවා. නමුත් කොයිම වෙලාවකවත්  අපි කැමති නැහැ ශිෂ්‍යයන්ව තලා පෙලා දාලා හිරිහැර කරනවාට හෝ ශිෂ්‍ය උද්ඝෝෂණ මර්දනය කරනවාට. ශිෂ්‍ය ක්‍රියාකාරීත්වයන් මර්දනය කිරීම මොන ආණ්ඩුව යටතේ සිදු වුණත් ඉවසිය යුතු, නොතකා හැරිය යුතු දෙයක් නෙවෙයි. ඒ සම්බන්ධව ඉතිහාසය පුරාම අපිට තියෙන අත්දැකීම අයහපත් එකක්. හැම ආණ්ඩුවක්ම කළේ සිසුන්ව මර්දනය කරන එක මිසක් ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමක් නොවෙයි. ශිෂ්‍යයන්ට සාධාරණ හේතු මත උද්ඝෝෂණය කිරීම සඳහා තියෙන අයිතිය මොනම කොන්දේසියක් යටතේවත් අහිමි කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පිළිවෙතට සරසවි ආචාර්යවරුන් වශයෙන් දායක වෙන්න අපේ කිසිම සූදානමක් නැහැ'' ආචාර්ය අමරසූරිය අවධාරණයෙන් පවසයි.

ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහි රාජ්‍ය මර්දනය 2010 -2014 නමින් වාර්තාවක් නිකුත් කරන අවිශිබම අනාවරණය කරන්නේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිසුන් තිදෙනෙකු ඝාතනයට ලක්ව, සිසුන් 136 දෙනෙකුට එරෙහිව මරණ තර්ජන එල්ල කෙරුණු බවයි. එසේම සිසුන් 1,420 දෙනෙක් පන්ති තහනමට ලක්ව, ශිෂ්‍ය සංගම් 13ක් තහනම් කෙරුණු බව ද වාර්තාව පෙන්වා දෙයි. සරසවි සිසුන් 426 දෙනෙකුට එරෙහිව නඩු පවරා සිසුන් 74 දෙනෙක් සිරගත කිරීමට ද රාජපක්ෂ පාලනය ක්‍රියා කළ බව වාර්තාවෙන් හෙළි කෙරේ.

අගෝස්තු මැතිවරණය

යහපාලන අණ්ඩුවේ ප්‍රමුඛ ලියැවිල්ල බවට පත්ව තිබෙන 'මෛත්‍රී පාලනයක්: ස්ථාවර රටක්' නැමති පොත් පිංචෙහි දැක්වෙන්නේ 'අධ්‍යාපනයේ  විෂමතා වේගයෙන් උත්සන්න වීම නිසා මතු වී තිබෙන අවලස්සන තරඟය හේතුවෙන් යුක්තිය, සමානාත්මතාවය පිළිබඳ හැඟීම් අධ්‍යාපන පද්ධතියෙන්ම තුරන්වී ඇති" බවයි. 

'අධ්‍යාපනයේ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් වන තරමටම ඔඩු දුවා ඇතැ'යි ඒ ලියැවිල්ල පෙන්වා දෙයි.

නමුත් ඒ ඔඩු දුවා ඇති ප්‍රශ්නය සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමේ වරදට අන්තර් විශ්ව විද්‍යාල භික්‍ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු ශිෂ්‍ය භික්‍ෂූන් පස් දෙනෙකු මැයි මාසයේදී බන්ධනාගාරගත කිරීමට පියවර ගත් නව ආණ්ඩුව යටතේ අවිභිබම වැඩ බලන කැඳවුම්කරු ඇතුළු නව දෙනෙකුට එරෙහිව වරෙන්තු නිකුත් කරනු ලැබිණ. රජරට සරසවි මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාගේ නිවසට පොලිස් නිලධාරීන් යවමින් බිය ගැන්වීම ද, අවිශිබම කැඳවුම්කරුගේ සොහොයුරා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවීම ද සිදුකර ඇත්තේ මීට අමතරව ය.

එළඹෙන අගෝස්තුවේ ශ්‍රී ලංකාව යළිත් මැතිවරණයකට මුහුණ දීමය නියමිත ය. දශකයෙන් දශකයට දකුණේ තරුණ ශිෂ්‍ය පරම්පරාවන් අතර යළි යළිත් කැකෑරෙන අපේක්‍ෂා භංගත්වය හා කළකිරීම පිළිබඳ ප්‍රශ්නය නව මැතිවරණ ප්‍රතිඵලය විසින් කෙසේ විසඳාලනු ඇතිදැයි යන්න තව දුරටත් අවිනිශ්චිත ගැටළුවක්ව පවතී.☐

කිත්සිරි විජේසිංහ


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.