JDS Sinhala

භික්ෂුන් පස් දෙනෙක් බන්ධනාගාරයට, ශිෂ්‍යයන් නව දෙනෙකුට වරෙන්තු

රසවි ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් ඉලක්ක කොට නව ආණ්ඩුව විසින් ගෙනයමින් තිබෙන මර්දනකාරී පියවරයන්  යටතේ තවත් ශිෂ්‍ය භික්ෂුවක් අත් අඩංගුවට ගෙන තිබේ. පොලිසිය විසින් සිකුරාදා (29) අත් අඩංගුවට ගත් කැලණිය සරසවියේ වෙලගෙදර සුමනජෝති ශිෂ්‍ය භික්ෂුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. ඒ අනුව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය නියෝජනය කරන ක්‍රියාධරයන් පස් දෙනෙක් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මේ අතර කැළණි සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කුෂාන් සමරතුංග, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු  බල මණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද ඇතුළු ශිෂ්‍ය ක්‍රියාධරයන් නව දෙනෙකුට එරෙහිව මහර මහේස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කොට ඇත. අධ්‍යාපන කප්පාදුවට එරෙහිව විශ්ව විද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල අසළ අප්‍රියෙල්  29 වැනිදා සිදුකළ උද්ඝෝෂණ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් මෙම වරෙන්තු නිකුත් කර තිබේ.

පවුල් සාමාජිකයන් බිය ගැන්වීම

මීට පෙර අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ ශිෂ්‍ය භික්ෂුන් සිවු දෙනෙක්, කළහකාරී ලෙස හැසිරීම, පොදු දේපලවලට හානි කිරීම සහ පොලිස් නිළධාරියෙකුට පහරදීම යන චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මැයි මස 25 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලදී. මෙම නියෝගය නිකුත් වූයේ  අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු තැන්නේ ඥනානන්ද, සූරියවැව සුසිල, මහගල්වැව රාහුල සහ මෝදරවානේ විපුලසිරි යන ශිෂ්‍ය භික්ෂුන් සිවු දෙනාට එරෙහිව ය.

මීට අමතරව, අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව මාර්තු 31 වැනිදා පා ගමනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ශිෂ්‍ය ක්‍රියාධරයන් 18 දෙනෙකුට ජුනි 04 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග නිකුත් කර තිබේ.

මේ අතර සරසවි ශිෂ්‍ය උද්ඝෝෂණ මර්දනය කිරීමේ පියවරක් වශයෙන් ශිෂ්‍ය ක්‍රියාකාරිකයන්ගේ පවුල් සාමාජිකයන්ට බලපෑම් එල්ල කිරීමට රජය කටයුතු කරමින් තිබෙන බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කර සිටියි.  රජරට සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ළහිරු වීරසේකර ශිෂ්‍යයාගේ නිවසට සිව් වතාවක් පැමිණ ඇති පොලිසිය ඔහුගේ මා පියන් බියගන්වා ඇතැයි පෙන්වා දෙන නිවේදනය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය හා පශු විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන, අවිශිබම කැඳවුම්කරුගේ සොහොයුරාද ඉකුත් සතියේ කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවා තිබීම පිළිබඳ විරෝධය පළ කර තිබේ.

ජල ප්‍රහාර හා සුදු වෑන්

මේ සම්බන්ධයෙන් JDS වෙත ප්‍රකාශයක් කළ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේ ශිෂ්‍ය භික්ෂුන් අත් අඩංගුවට ගැනීමත්, ශිෂ්‍ය ක්‍රියාකාරිකයන්ගේ පවුල් සාමාජිකයන් බිය ගැන්වීමත් සරසවි ශිෂ්‍ය ප්‍රජාවට එල්ල කර ඇති මර්දනයේම දිගුවක් බවයි.

"අදහස් ප්‍රකාශ කිරීම හා උද්ඝෝෂණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම වැනි කරුණු මඟින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වීම ගැන නව ආණ්ඩුව ගෙනයන ප්‍රචාරය ඇත්තක් නම් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත්, උද්ඝෝෂණය කිරීමේ අයිතියත් ආරක්‍ෂා විය යුතුයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් ජල ප්‍රහාරවලින් පටන් ගත් මර්දනය තමයි සුදු වෑන් දක්වාම ගෙන ගියේ" ඔහු ප්‍රකාශ කළේය.

ආණ්ඩුව බලයට පත් කිරීමට දායක වූ දකුණේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සරසවි ශිෂ්‍යයන් මුහුණ දී ඇති මර්දනකාරීත්වය සම්බන්ධයෙන් මැදිහත් විය යුතු බව පෙන්වා දෙන ලංකා ගුරු සංගම් නායකයා, ජල, කඳුළු ගෑස් හා රබර් උණ්ඩ ප්‍රහාර ඉදිරියේදී ජීව උණ්ඩ බවට පත්වීමට පෙර ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු බව ද ප්‍රකාශ කළේය.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.