JDS Sinhala

සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිටුපස ආරක්‍ෂක බුද්ධි අංශ ඉව අල්ලයි

විශ්ව විද්‍යාල සිසුන් අත්අඩංගුවට ගැනීමේ සංවිධානාත්මක මෙහෙයුමක් පොලිස් බුද්ධි අංශ හරහා නව රජය විසින් ක්‍රියාත්මක කරමින් තිබෙන බවට ශිෂ්‍ය සහ වෘත්තීය සමිති සංවිධාන චෝදනා කරති.

පසුගිය 8 වැනි දින සවස් භාගයේ කොළඹ ගාලු මුවදොර පිටිය ආසන්නයේ පදික මාරුවකදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ඉසුරු සම්පත් ශිෂ්‍යයා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු විසින් රඳවාගෙන ප්‍රශ්න කොට මුදා හැරීමෙන් අනතුරුව, ඔහු ගමන් කරමින් සිටි බස් රථයෙන් බස්වා නැවතත් පැහැරගෙන ගොස් වැඩි දුර ප්‍රශ්න කිරීම මෙම මර්දනකාරීත්වයේම තවත් පියවරක් බව ඔවුහු පෙන්වා දෙති.  තව දුරටත් සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරකම්වල නොයෙදෙන ලෙස සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ඔහුට තර්ජනය කර ඇති බව ද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය (අවිවිශිබම) ප්‍රකාශ කරයි.

ක්‍රියාකාරීන් 20ක් ප්‍රශ්න කරයි

ගෙවුණු සති කිහිපය තුළදි  ප්‍රධාන පෙළේ සිසු නායකයන් සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන් 20කට ආසන්න පිරිසක් පොලිස් සහ බුද්ධි අංශවල ප්‍රශ්න කිරීම් සහ පරීක්‍ෂාවන්ට ලක් කෙරී ඇති බව JDS වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටි අවිවිශිබම කැඳවුම්කරු නජිත් ඉන්දික, කැළණිය, ජයවර්ධනපුර, රජරට සහ වයඹ විශ්ව විද්‍යාලවල සිසුන් වැඩි වශයෙන් ආරක්‍ෂක අංශවල ප්‍රශ්න කිරීම්වලට ලක් වී ඇති බව ප්‍රකාශ කළේය. එසේම ඇතැම් සරසවි සිසුන්ගේ නිවෙස් වෙත සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නි‍ළධාරීන් යැයි කියාගත් පිරිස් ගිය බවට වාර්තා වී ඇති බවත්, සිසු උද්ඝෝෂණවලට තම දරුවන් සහභාගිවීම වැළැක්වීමට පියවර නොගන්නේ නම් දරුවන් පිළිබඳ බලාපොරොත්තු අත්හරින ලෙස දෙමාපියන්ට තර්ජනය කොට ඇති බවත් අවිවිශිබම කැඳවුම්කරු කියා සිටියේය.

“මෙය ඉතාම සංවිධානාත්මක වැඩ පිළිවෙලක්. ආණ්ඩුව උත්සාහ කරන්නේ කෙසේ හෝ සිසු උද්ඝෝෂණ මැඩ පැවැත්වීමටයි. බුද්ධි අංශ වල ප්‍රශ්න කිරීම්වලට ලක්වු සිසුන් 20 දෙනාට අමතරව, තවත් සිසුන් 18 දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මේ වන විට නොතීසි නිකුත් කොට තිබෙනවා. එසේම කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශය හමුවේ මේ මස 17 වන දින පෙනී සිටින ලෙසට කැළණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්‍ෂූන් හතර දෙනෙකුට දැනුම් දී තිබෙනවා. පසුගිය අප්‍රේල් මස 29 වන දින පැවති අන්තර් විශ්ව විද්‍යාලයේ භික්‍ෂු බල මණ්ඩලයේ පා ගමනට සහභාගී වීමේ චෝදනාව මත කුරුඳුවත්ත පොලිසියේ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගත් ජයවර්ධනපුර සරසවියේ කළමණාකරන පිඨයේ ශක්ති මාපාවිට සහ කැළණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ විශ්ව ධනංජයද සිල්වා මැයි මස 25 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කොට තිබෙනවා,' ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

නීතිය වෙනුවට බලහත්කාරය

මේ සම්බන්ධයෙන් JDS වෙත අදහස් පළ කළ  විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය ප්‍රභාත් ජයසිංහ කියා සිටියේ විශ්ව විද්‍යාල සිසුනට එරෙහි රජයේ ක්‍රියා පිළිවෙත තම සංගමය විසින් තරයේ හෙලා දකින අතර මෙබඳු මර්දනකාරී ක්‍රියා පිළිවෙතක් තමන් නව රජය වෙතින් බලාපොරොත්තු නොවු බවයි.

“මුළු රටේම අධ්‍යාපනය සම්බන්ධයෙන් දැවැන්ත අර්බුදයක් තිබෙන බව අපි දන්නවා. විශ්ව විද්‍යාල සිසුන් මුහුණ දෙන ප්‍රශ්න එහිම ප්‍රකාශනයක්. සිසුන්ව පැහැරගෙන ගිහින්, තර්ජනය කරලා මේ ප්‍රශ්නයට විසඳුම් සොයන්න බැහැ. මහමග ගමන් කරන සිසුන් ලුහුබැඳ ඔවුන්ව බලහත්කාරයෙන් රැගෙන ගිහින් සිරකර තැබීම සම්පූර්ණයෙන්ම නිති විරෝධී ක්‍රියාවක්. යම් අයෙක් වරදක් කෙරුවොත්, අනුගමනය කළ යුතු නීතියක් තියෙනවා. ඒ වෙනුවට පොලිස් බලහත්කාරය භාවිතා කිරීම අනුමත කරන්න අපිට බැහැ," ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

කල් තියා හඳුනාගත් මර්දනයක්

මේ අතර සරසවි සිසුනට එරෙහිව රජය විසින් ගෙනයන මර්දනකාරී ක්‍රියා පිළිවෙත හෙලා දකිනු වස් ඉරිදා (10) කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදි අදහස් දැක්වු ලංකා වෙළඳ, කාර්මික හා පොදු සේවා සංගමයේ (CMU) ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි කියා සිටියේ මහින්ද රාජපක්ෂ රජය මෙන්ම මෛත්‍රිපාල සිරිසේනගේ රජයද වැඩකරන ජනතාවට සහ ශිෂ්‍යයන්ට එරෙහිව රාජ්‍ය මර්දනය මුදාහරිනු ඇති බව තම සංගමය කල් තියා හඳුනාගෙන සිටි බවයි.

සිසු අරගලයන් මර්දනය කිරිම උදෙසා රජය විසින් ගෙන යන වැඩ පිළිවෙල පරාජය කිරීම වැඩකරන ජනතාවගේ ප්‍රමුඛ කාර්යයක් බව ප්‍රකාශ කරන ඔහු, ඒ සඳහා තම සංගමයේ පූර්ණ සහයෝගය ශිෂ්‍ය ව්‍යාපාරය වෙත හිමිවන බවද කියා සිටියේය.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.