JDS Sinhala

බිඳුණුවැව මාධ්‍ය ආඛ්‍යානය IV: කොළඹ පත්තරවල ගොපළු චිත්‍රපට කතා


බිඳුණුවැව මාධ්‍ය ආඛ්‍යානය I : 'උන්ගේ මාළු අපේ බල්ලන්ට'
බිඳුණුවැව මාධ්‍ය ආඛ්‍යානය II : අපි සහ කොටි හෙවත් 'ශිෂ්ට අපි සහ දුෂ්ඨ උන්'
බිඳුණුවැව මාධ්‍ය ආඛ්‍යානය III: සම්බුලා ජාතකයේ සිට 'අලි - කොටි කුමන්ත්‍රණ' දක්වා

දෙදාහ වසරේ පාර්ලිමේන්තු මැතිවරණ වේදිකාවේ ඇසුණු වාගාලාපවල දෝංකාරය රැව් පිළිරැව් දෙමින් තිබු කාල පරාසයේදීම “බිඳුණුවැව” ඝාතන ද සිදුවීම හුදෙක් අහම්බයක් ද? විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය විසින් ගොඩනගන ලද්දා වූ ආඛ්‍යානයක් හඳුනාගත හැකි ය. එනම් සිංහල සමාජයේ අනිකා “LTTE“ බවයි. LTTE සමුල ඝාතනයෙන් පමණක් සිංහල ජාතිය බේරා ගත හැකි බවයි. LTTE = UNP යන ආඛ්‍යානයද ඒ  සමගම ඔවුන් ගොඩ නගයි. මෙම ආඛ්‍යානය නගන ප්‍රශ්නය නම් ඊ ළඟට කළ යුත්තේ කුමක්ද යන්නයි. ගොඩනගන්නා වූ දැවැන්ත ආතතිය මගින් ඊළඟට කළ යුත්තේ ප්‍රතිප්‍රහාර දීමයි. වහාම ප්‍රතිප්‍රහාර දීමයි.

චිරන්තන සිංහල සමාජය විසින් ගොඩනගන ලද්දා වූ  ආඛ්‍යාන බොහොමයක් විසින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ ව්‍යාපෘතීන් ගොඩ නොනැගුණ  බව ජාතක කතා ආඛ්‍යානය සොයා බැලු විට පෙනී ගිය කරුණකි. නමුත් නුතන මාධ්‍ය ආඛ්‍යානය අනුව “උන්ගේ මාළු අපේ බල්ලන්ට” බවට පත් වේ. මාධ්‍ය විසින් “උන්ගේ මාළු” ඝෝෂාව නගන විට “අපේ බල්ලන්ට” දීම ජනතා කාර්ය බවට පත් වේ.

බිඳුණුවැව ඝාතන සිදුවී දින දෙකකට පසු, එනම් ඔක්තෝම්බර් 27 දින, ලේක්හවුස් පුවත්පත් මෙම ඝෝෂාවම තවදුරටත් නගන බව නිරීක්ෂණය කළ හැකි ය. මෙම ඛේදවාචකය LTTE කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවත් එය පිටුපස දකුණේ අදිසි හස්තයක් ඇති බවත් එම පුවත්පත් පවසයි. රජයේ විශේෂ මාධ්‍ය තොරතුරු ඒකකය නමින් නිකුත් වී ඇති පුවත්පත් නිවේදනයක මෙම අදහස ප්‍රශස්ත ලෙස ලේඛණගත කර ඇත:

"මෙම සිද්ධිය පිටුපස LTTE සිටිය හැකි බවට සැකයක් මතුවන අතරතුරේම දකුණේ කිසියම් අදෘශ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වුයේද යන සැකයත් බැහැර කළ නොහැකි ය. පොදුජන එක්සත් පෙරමුණේ මැතිවරණ ජයග්‍රහණයෙන් දින කිහිපයක් ගතවීමට මත්තෙන් මෙවැනි සිද්ධියක් ඇති වීම රජය අපහසු තත්වයට පත් කිරීමේ ජාතිවාදී කෝලාහල ඇවිලවීමේ පරමාර්ථයෙන් සිදු කරන ලද්දක් ද යන්න...."  (ලංකාදීප - 2000 -10 -28 )

පොලිස් නිලධාරින් සහ හමුදා භටයන් දෙතුන් සියයක් ගිනි අවි අතැතිව මුර කරද්දී පිරිසක් උල් අවි, කඩු කිනිසි සහිතව ගොස් 41 දෙනෙකුට පහර දී ඉන් 27 ක් මරා දැමීම (මේ ගිය පිරිස අතර එකදු  දෙමළ ජාතිකයෙකු සිටි බවට තවම වාර්තා වී නොමැත.) හුදෙක් LTTE කුමන්ත්‍රණයක් බවට පවසා නිහඬ විය හැකිද? නැවතත් මේ යෝජනා කරන්නේ ජනතාවට යුක්තිය පසිඳලීම සියතට ගන්නා ලෙසයි. එසේ නොමැති නම්  ඒ කළ ක්‍රියාව වැළක්විය නොහැකි සුජාත එකක් බවයි. ප්‍රචණ්ඩකාරී ආඛ්‍යාන ගොඩනැගීම දිගටම සිදු වෙයි. ප්‍රවෘත්ති මාධ්‍ය ප්‍රබන්ධකරණ ක්‍රියාවට නගන විට ප්‍රතිඵල වඩාත් කඩිනම් වෙයි.

කතුවැකි

කතු වැකියක් යනු පුවත්පතක සුවිශේෂී වැදගත්කමක් අයත් කරගත් ලේඛනයකි. ප්‍රවෘත්ති ආශ්‍රයෙන් ගොඩනැගෙන විශ්ලේෂණ පාදක කරගනිමින් නිදහස් අදහස් ප්‍රකාශනයක් “කතු වැකි” නියෝජනය කරයි. එය හුදෙක් සිදුවීම් සංග්‍රහ කිරීමක් නොවේ.

“බිඳුණුවැව” පිළිබඳව මුල්ම කතුවැකිය රචනා කරන්නේ “ලක්බිම” කතුවරයා ය. 28 වැනි දින “දිනමිණ” හා “ලංකාදීප” කතුවරු කතුවැකි ඉදිරිපත් කරති.

මෙම කතු වැකිවල කිසියම් මතවාදයක් ඉදිරිපත් කරන වාක්‍ය මෙසේ උපුටා දැක්විය හැකි ය.

ලක්බිම - 27 .10.2000

“වාර්තාවෙන ආකාරයට තමන් මුදා හරින ලෙස ඉල්ලා LTTE සැකකරුවන් විසින් කරන ලද උද්ඝෝෂණයක් මෙම සිදුවීමට මුල්වී ඇත.”
“කඳවුරක ගතකරන ජීවිතය එතරම් හිතකර එකක් නොවන බව සැබෑ වුවද ඔවුන් පුනරුත්ථාපනය කළ යුතු තත්වයට පත්ව ඇත්තේ කිසියම් නොමග යාමක ප්‍රතිඵලයක් වශයෙනි.”
“එබඳු නොමග ගිය පිරිසකට විවෘත සමාජයේ නිදැල්ලේ හැසිරෙන්නට ඉඩදීම එම සමාජයේ යහ පැවැත්මට හිතකර නොවන බවද පිළිගත යුත්තකි.”
“මෙතැනදී සිදුවී ඇත්තේ සීමාව ඉක්මවා යන ආකාරයේ විරෝධය පළ කිරීමකි.”
“එය කොතරම් දුරදිග ගොස් ඇත්දැයි පවසතොත් කඳවුර භාර කපිතාන්වරයා ප්‍රාණ ඇපකරුවෙකු ලෙසින් රඳවා තබා ගන්නට තරම් සැකකරුවන් මුරණ්ඩු වී ඇත.”
“සැකකරුවන් පෙළගස්වා පරීක්ෂා කිරීමට සුදානම් වෙද්දී සැකකරුවන් තමන් මුදා හරින ලෙස ඉල්ලා කඳවුරේ නිලධාරීන්ට ගල්මුල් හා පොලු මුගුරුවලින් පහරදීම, විරෝධය පෑම මහා ගැටුමක් බවට වර්ධනය වීමට හේතු වී ඇත.”
“කිසිවෙකුට පාලනය කිරීමට පහසු නොවන තත්වයකට පත් එම ගැටුමේ අවසන් ප්‍රතිඵලය 24 දෙනෙකුට දිවි අහිමි වීමයි.”
“නියෙන් කඩා දැමිය හැකි පැලෑටිය පොරවෙන් කපන්නට සිදුවෙන තත්ත්වයට වැවෙන්නට ඉඩ නොතැබිය යුතුව තිබිණි.”

ලංකාදීප - 28.10.2000

“මෙම සිදුවීම පිටුපස LTTE සංවිධානය මෙන්ම දකුණේ වෙනත් අදෘශමාන හස්තයක්ද ක්‍රියාත්මක වූ බවට ඇති ඉඩකඩ... සිද්ධිය හෙළා දකිමින් මාධ්‍ය ඇමති යාපා මහතා කියා තිබුණි.”
“පිටස්තර කණ්ඩායම් ප්‍රකෝප කිරීම හේතුවෙන් සිදුවන්නට ඇති බව දැනට ලැබී ඇති තොරතුරු අනුව පැහැදිලි යැයි 26 දා ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයකින් කියවිණි.”
“ඔවුහු  පුනරුත්ථාපනයට පත් LTTE සැකකරුවෝය.”
25 දා උදේ පෙළගස්වා පරීක්ෂණ කරන්නට සුදානම් වූ අවස්ථාවේදී තමන් මුදා හරින්නැයි ඉල්ලා ගල්මුල් හා පොලුවලින් ආරක්ෂක නිලධාරීන්ට පහර දෙන්නට පටන් ගෙන ඇත.”
“කඳවුර තුළ පිහිටි පොලිස් මුරපොලටද පහර දී කඳවුරේ විදුලිය හා දුරකථන ඔවුන් විසින් විසන්ධි කරන ලදැයි.. ඒ අවස්ථාවේදී දෙපිරිස අතර ගැටුමක්ද ඇතිවී තිබේ.එම ගැටුම මැඩ පැවැත්වීමට පොලිසිය කදුළු ගෑස් ගසා ඇතත් ඉන් පලක් වී නොමැත.”
24 දා පෙරවරුවේ සැකකරුවන් කඳවුර භාර නිලධාරි ..... ප්‍රාණ ඇපයට තබා ගෙන ඇති බවද වාර්තා වේ.”
“රටේ නමටත්, බහුතර සිංහල  ජාතියේ නමටත් කැළලක් සිදු කරන්නට ත්‍රස්ත කොටස් විසින් මෙම සිදුවීම පාවිච්චි කරන්නට...”
“රටටත් මහ ජාතියටත් මඩ ගසන්නට හෝ මේ සිද්ධියෙන් අයුතු ප්‍රයෝජන ගන්නට කිසිවෙකුට කිසිම ඉඩක් නොදිය යුතුම ය.”
“රජයේ ප්‍රචාරක අංශ ප්‍රවෘත්ති අංශ ඈලී මෑලී දුබල ගතියෙන් සිටියොත් කොටි ත්‍රස්තයන් මේ සිද්ධියෙන් අයුතු ප්‍රයෝජන ගෙන වැරදි අර්ථකථන දී විකෘති චිත්‍රයක් එතෙර මවා පාන්නට බැරි නැත. කල්පනාවෙන් සිටීම අත්‍යවශ්‍යය.”

දිනමිණ  - 28.10.2000

“අපේ රටේ වැඩි දෙනා සිංහලයෝ ය.එසේම බෞද්ධයෝ ය. ඒ සාධක දෙකේ එකතුව අතිශයින්ම ශක්තිමත් ය... රිය අනතුරකට භාජනය වී මහ මග මැරී සිටින බල්ලකු - බළලකු දුටු සැනින් පවා 'අනේ අපොයි' අප නොදැනුවත්වම අපේ මුවින් පිටවුයේ ඒ බෞද්ධ සිංහලකමේ අප තුළ ගොඩනැගුනු හෘදය සාක්ෂියේ උත්තුංග ගුණය නිසාය.”
“බෞද්ධකමටත් සිංහලකමටත් කිසිසේත්ම නොගැලපෙන ස්වයංනාශක හරයන් එක් කිරීමට දරණ පාපී ප්‍රයත්නයක්ද මෑත අතීතයේ සිටම තිබේ. ජනවාර්ගික ප්‍රශ්නයක් හා කෘර ත්‍රස්තවාදයක්ද එහි ප්‍රතිඵල වශයෙන් විනාශකාරී යුද්ධයක් ද අපට උරුම වුයේ එම පාපී ප්‍රයත්නය නිසා ය.”
“ජනවාර්ගික ප්‍රශ්නය දඩමීමා කරගත් කොටි ත්‍රස්තවාදීහු ඊලාම් රාජ්‍යයක සිහිනයක් දකිමින් මහපොළොව නුහුලන අපරාධ කරති. ඔවුනට විරුද්ධ යුද්ධයක් කිරීමට අපට සිදුවී තිබේ. එය කළ යුතුම යුද්ධයකි.”
“ඊළාම් සිහිනය ඉවත දමා සාධාරණ දේශපාලන විසඳුමකට එකග නොවෙනවා නම් ඔවුන් යුද්ධයෙන්ම විනාශ කොට දැමිය යුතු ය.”
“අහිංසක ගම්වැසියන් පවා කුඩා බිලිඳා ගේ සිට මහල්ලා දක්වා කපා කොටා ම්ලේච්ඡ ලෙස මරා දැමීමට ද ආගමික ස්ථානවලට පහර දීමට ද  කොටි ත්‍රස්තවාදීහු නොපැකිළෙති.”
“කොටි ත්‍රස්තවාදී කල්ලිය අශිෂ්ට ම්ලේච්ඡ සංවිධානයකි. එහෙත් අප මානව හිතවාදී ශ්‍රේෂ්ඨ ආගම්වලින්, විශේෂයෙන්ම බුද්ධාගමේ, ආභාෂයෙන් හික්මුණු ශිෂ්ඨ ජන සමාජයක සාමාජිකයෝ වෙමු.”

මෙම පුවත්පත් ත්‍රිත්වය  - දිනමිණ , ලංකාදීප, ලක්බිම - එකිනෙකට වෙනස් වූ අවකාශයක් තුළ ක්‍රියාත්මක වුවද මෙම සිද්ධියේදී ඔහුන්ගේ ප්‍රතිචාර වල පොදු බවක් දක්නට ලැබේ. කතුවැකි වලින් තෝරාගත් කොටස් ව්‍යුහගත කිරීමෙන් මේ බව වටහා ගත හැකි ය.

ඝාතනයට ලක්වීමට හේතු

LTTE සැකකරුවන්ගේ උද්ඝෝෂණය සිදුවීමට හේතුවයි (ලක්බිම)
LTTE සැකකරුවන් නොමගගිය පිරිසකි.   (ලක්බිම)
නොමග ගිය පිරිසකට සාමයේ නිදැල්ලේ සිටීමට ඉඩ දිය යුතු නැත. (ලක්බිම)
සීමාව ඉක්මවා විරෝධය පෑමක්.  (ලක්බිම)
සැකකරුවන් කඳවුරේ නිලධාරින්ට ගල්මුල් හා පොලු මුගුරුවලින් පහරදීම. (දිනමිණ)
සිද්ධිය පිටුපස LTTE සංවිධානය. (ලංකාදීප)
සිද්ධිය පිටුපස අදෘශ්‍යමාන හස්තයක්. (ලංකාදීප)
පිටස්තර කණ්ඩායමක ප්‍රකෝප කිරීම නිසා (ලංකාදීප)
ගල්මුල් වලින් සහ පොලුවලින් ආරක්ෂක නිලධාරීන්ට පහර දෙයි. (ලංකාදීප)
සැකකරුවන් පොලිස් මුරපලට පහර දෙයි. (ලංකාදීප)
විදුලිය හා දුරකථන විසන්ධි කරයි. (ලංකාදීප)
සැකකරුවන් දෙකට බෙදී සටන් කරයි. (ලංකාදීප)
කඳවුර භාර නිලධාරි ප්‍රාණ ඇපයට (ලංකාදීප)

බිඳුණුවැව සිද්ධියට හේතු වශයෙන් මෙම කතුවරුන් දක්වා සිටින්නේ මුලික වශයෙන් රැඳවියන්ගේ උද්ඝෝෂණය හා නොමග ගිය ක්‍රියාවනුයි. එය පිටුපස LTTE සංවිධානය සිටියි. මෙහි හැඟවෙන අරුත නම් ඔවුන්ගේම මෙම අනවශ්‍ය දඩබ්බර උද්ඝෝෂණය හේතු කොට ගෙන ඔවුන් ඝාතනයට ලක් වූ බවයි. එය හුදෙක් 'ඉල්ලන් කෑම' වැනි වැඩකි. නිසි දඬුවම ඔවුන්ට ලැබී ඇත.

මෙම පුවත්පත් ත්‍රිත්වයේ කතුවරුන් යුගල ප්‍රතිවිරුද්ධ වශයෙන් LTTE සහ සිංහල ජන කොටස පිහිටුවන ආකාරය සොයා බැලිය හැකි ය.


සිංහල /ආරක්ෂක නිලධාරීන්     එරෙහිව    LTTE රැඳවියන්


හරිමග ගිය පිරිසක්                                              නොමග ගිය පිරිසක්                                      ලක්බිම


සමාජයේ යහ පැවැත්මට හිතකර                            සමාජයේ යහ පැවැත්මට අහිතකර                   ලක්බිම


සාමකාමී                                                           සීමාව ඉක්මවා විරෝධය                                ලක්බිම


සාමකාමී                                                           ගල්මුල් හා පොලු මුගුරුවලින් පහරදීම             ලක්බිම


ගැටුම මැඩපැවැත්වීමට කදුළු ගෑස්                          පොලිස් මුරපලට පහර දේ                           ලංකාදීප


කඳවුර භාර නිලධාරි ප්‍රාණ ඇපකරු අනතුරේ.           කඳවුර භාර නිලධාරි ප්‍රාණ ඇපයට ගනියි.       ලංකාදීප


සිංහල ජාතියට කැළලක්.                                       ත්‍රස්ත ක්‍රියා                                               ලංකාදීප


රටටත් මහා ජාතියටත් මඩ                                      LTTE                                                    ලංකාදීප


විකෘති චිත්‍රයක්                                                    කොටි ත්‍රස්තයන්                                        ලංකාදීප


සිංහල බෞද්ධ                                                   දෙමළ කොටි                                             දිනමිණ


උත්තුංග හෘද සාක්ෂියක්                                       උත්තුංග නොවූ හෘද සාක්ෂියක්                    දිනමිණ


අසරණ                                                             මහපොළොව නුහුලන අපරාධ                       දිනමිණ


දේශපාලන විසඳුමක්                                            යුද්ධය                                                    දිනමිණ


ශිෂ්ට සම්පන්න                                                  ම්ලේච්ජ                                                  දිනමිණ


මානව හිතවාදී                                                   විනාශකාරි                                               දිනමිණ


යුද්ධය                                                             විනාශය - ඝාතනය - සමූල ඝාතනය              දිනමිණ


පුවත්පත් ත්‍රිත්වයේ කතුවරු තිදෙනා ගොඩනගන ආඛ්‍යානය මෙසේ ඝාතනයට විනාශයම පිළිතුර ලෙස යෝජනා කරති. මෙහි අනෙක් අර්ථය නම් මිය යාමේ වගකීම බිඳුණුවැව රැඳවියන්ම භාරගත  යුතු බවයි. යුක්තිය, සාධාරණත්වය, අපක්ෂපාතී පරීක්ෂණ, සිංහලයෙක් වශයෙන් ලැජ්ජාවීම වැනි අනෙක් යෙදීම් හුදෙක් අරුත් සුන් වාගාලාප බවට පත් වේ.

යුද්ධය, වර්ගවාදය හා ජනවාර්ගික අර්බුදය වැනි ක්‍ෂේත්‍ර ළ තීරණාත්මක අවස්ථාවලදී සාකච්ජාවට බඳුන් වූණු  පුවත්පත් පොදුවේ එකම මතයක් දරන බව පෙනී යයි. මෙම ක්‍ෂේත්‍රවලදී  සමාජයේ පවතින අධිපති මතවාදයට සහයෝගය දැක්වීම ‍පෙිළිබඳ පොදු එකඟතාවයක් ඔවුන් තුළ ඇත. මේ වනාහි අනෙකා ඝාතනය කළ යුතුය යන ගොපලු චිත්‍රපට ආඛ්‍යානයම ය. අල්තුසර් හා ග්‍රාම්ස්චි නිරීක්ෂණය කළ පරිදි තීරණාත්මක අවස්ථාවලදී පවතින ක්‍රමයට සහයෝගය දැක්වීම හා එය  බේරාගැනීම ධනපති මාධ්‍යයේ කාර්යභාරයයි.☐

(මතු සම්බන්ධයි)

තිලක් ජයරත්න


© මාධ්‍ය අධ්‍යයන කවය

 

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.