JDS Sinhala

බිඳුණුවැව මාධ්‍ය ආඛ්‍යානය III: සම්බුලා ජාතකයේ සිට 'අලි - කොටි කුමන්ත්‍රණ' දක්වා


බිඳුණුවැව මාධ්‍ය ආඛ්‍යානය I : 'උන්ගේ මාළු අපේ බල්ලන්ට'

බිඳුණුවැව මාධ්‍ය ආඛ්‍යානය II : අපි සහ කොටි හෙවත් 'ශිෂ්ට අපි සහ දුෂ්ඨ උන්'

පුරාණෝක්ති හරහා ගොඩ නැගුණා වූද,  එතුළින් සමාජ කාර්ය ඉටුවූවා වුද ආඛ්‍යාන සෑම සමාජයක්ම සතු විය. පුරාණෝක්තියක් යනු භාෂා විධියකි. එහි ආඛ්‍යානය එම භාෂා විධියේම ප්‍රකාශනයකි. පෙර සමාජ බොහෝ විට මුඛ පරම්පරා සම්ප්‍රදායයෙන් මෙම ආඛ්‍යාන ගොඩනැගීම සහ සන්නිවේදනය සිදු කර ඇත. අද දවසේ තත්ත්වය වෙනස් ය. නුතන සන්නිවේදන ක්‍රම දියුණු වී ඇති අතර අද දවසේ පුරාණෝක්ති සමාජගත වීමේ ක්‍රියාවලිය වඩාත් සක්‍රීය සහ කඩිනම් වී ඇත. පුවත්පත්, රේඩියෝව, රුපවාහිනිය, සිනමාව, ක්‍රීඩා සංදර්ශන, ප්‍රචාරක රැස්වීම්, චිත්‍ර, පරිගණකය, පාසල, පන්සල, පල්ලිය, දේවාලය යනාදී මෙකි නොකී සෑම ආයතනයක්ම නුතන පුරාණෝක්ති ආඛ්‍යාන ගොඩනැගීමට උපකාරී වෙයි. මේ නිසා ගොඩනගන්නාවූ ආඛ්‍යාන දෙස විමසිල්ලෙන් බැලිය යුතුව ඇත. පුරාණයේදී පුරාණෝක්ති විසින් ගොඩනගන ලද්දාවූ ආඛ්‍යාන එම සමාජවල වැසියනට සිය පරිසරය විසින් එල්ල කරන ලද නොයෙක් පරාජයන් හා ගැටළු පිළිබඳව අනවශ්‍ය පසුතැවිල්ලෙන් තොරව ජීවත්වීමට උදව් උපකාර වුවද නුතන පුරාණෝක්ති ආඛ්‍යාන මිනිසාට වඩාත් ප්‍රශ්න බිහි කර ඇත්දැයි සොයා බැලීම වටී.

කෙසේ වුවද අතීත සිංහල සමාජයන් විසින් ගොඩනගා තිබු පුරාණෝක්ති ආශ්‍රිත ආඛ්‍යාන පිළිබඳව කෙටියෙන් සොයා බැලීම මෙහිදී කාලෝචිත ය.ගැමි රඟමඩලේ නිරූපිත නොයෙකුත් නාටකීය ඉදිරිපත් කිරීම්, ශාන්ති කර්ම, ජන සාහිත්‍ය හා ලිඛිත සාහිත්‍ය නිර්මිත පුරාණෝක්ති සාහිත්‍යයක් සිංහල සමාජය සතුව ඇත. මෙතෙක් එතරම් වග විභාගයට ලක් නොවූ ජනප්‍රිය බණ පිරිත් කීමේ ආඛ්‍යාන රීතින් සිංහල ආඛ්‍යාන අධ්‍යයනයේදී වැදගත් ය. සිංහලයන් අතර නිරතුරුව පරිහරණය වූ අතිවිශාල ජාතක කථා ප්‍රමාණය මෙහිදී වැදගත් ය. පන්සිය පනහක් පමණ වූ සංගෘහිත ජාතක කතා සියල්ලම අසා සිටීම සදහා ලේඛනගත කර ඇත.

බාත්ස් දැක්වූ පරිදි පුරාණෝක්තිකයන් යනු භාෂාවකි. විවිධ කාල වලදී එක් එක් වස්තූන් මෙම පුරාණෝක්ති භාෂාව සදහා යොදා ගැනේ. ජාතක කථාවල වස්තුවක් නැත්නම් විෂයක් ලෙස සක්‍රීය යොදාගත් අවස්ථා අපමණ ඇත. මෙසේ ගොඩනැගෙන්නාවූ ආඛ්‍යාන එකාකෘතික ස්වරූප ගන්නේ නැත. සම්බුලා ජාතකය මෙහිදී උදාහරණයට ගත හැක.

1.“ බරණැස් නුවර බඹදත් නම් රජ තමාගේ පුත් සොත්තිසේන නම් රජ කුමරුවා වැඩි වයසට පැමිණියා හු යුවරජ තනතුරෙහි පිහිටුවා සම්බුලා රාජ කුමාරිකාව ඕ හට අග මෙහෙසුන් කොට පාවා දුන්නේය.”

2.“ඕ තොමෝ උතුම් රූ ධරන්නීය. විශිෂ්ඨ වූ ශරීර වර්ණ ඇත්තීය. අන්ධකාරහිත්, පන් නැති තැන ලන පහනක් මෙන් බබලන්නී ය.”

3.“ ඔවුන් දෙදෙනා ප්‍රිය සංවාසයෙන් කලක් විසු කල්හි කල් යාමෙන් සොත්තිසේන නම් යුවරජ හට අසාධ්‍ය වූ කුෂ්ඨ රෝගයක් ඇති වූයේය.”

4.“..වලට වැද අනාථ අසරණව මිය යාම යහපතැයි රජ්ජුරුවන්ට දන්වා තමන්ගේ මහත් සම්පත් හා අන්තපුර ස්ත්‍රීන් හැර වලට නික්මුණු කල්හි සම්බුලා නම් අගමෙහෙසුන් තොමෝ බොහෝ උපායෙන් රදවන්ට උත්සහා කලදිත් නොවලක...  කැටිව නික්මුණාය.”

5.“වලට වැද ... සුවිමල පුලින තලයෙන් රම්‍ය වූ භුමි ප්‍රදේශකහි පන්සලක් කොට වාසය කළහ.”

6.“... ස්වාමි පුත්‍රයාණන් වහන්ස, කළමණා සියලු අත්පා මෙහෙවර මම කරමි.නුඹ වහන්සේ කනස්සලු නුව මැනවැයි කියා පසඟ පිහිටුවා වැද පලා පල ගෙනෙන පැසද අල උදුරන උලද  අතු නමා ගන්න දෙවිල්ල් ද අරගෙන වලට ගොස් මිහිරි පලාපලයෙන් පස පුරා අරගෙන අවුත් පන්සල එක් තැනක තබා කලය ගෙන පැන් පුරා ගෙනවුත් නොයෙක් බෙහෙත් සුනු, බෙහෙත් පැනින් ඒ රජ නහවා මධුර පලාපල කවා සුවඳ පැන් පොවා දඬු මැස්සේ කොළ අතුට මොලොක් කොට ඔහු සැතපුණු කල්හි පය සෝදා වැඩ කළමණා උපස්ථාන කොට පසුව තොමෝ පලවැල කා එම සෙයියාව පාර්ශවයෙහි සැතපෙන්නීය.”

7. “එක් දවසක් වලින් පලාපල ගෙන එන්නී අතරමගක ගල් කඳු රැළියක් දැක ඉස තිබු පැස තබා, දියට බැස නහා අලුත් කාසයෙන් ඇඟ උලා නහා ගොඩ නැගී වල්කලා හැඳගෙන කඳු රැළි තෙර සිටියාය. ඇගේ ශරීර ශෝභාවෙන් සියලු වන ලැහැබ රන් රැසින් තවරන කලක් පරිද්දෙන් ඒකාලෝක විය.”

8.“එකල්හි දානව රාක්ෂයෙක් ගුවනින් යනුයේ පවනඔල රන්ලියට නිගා දුන් තුනු සිරින් වොරඳනා එළඳ වූ ස්ත්‍රී තුනු සිරි දැක ඈ කෙරෙහි පිළිබඳ සිත් ඇති රාක්ෂස තෙමෙ.. මේ වන ප්‍රදේශය ස්වර්ණ රස ධාරාවෙන් තවරන කලක් පරිද්දෙන් හාත්පසින් බබුළුවමින් සිටියා වූ නමස්කාර තිට වේවා යි. තෝ කවරෙක්හි දැයි කියව යි කියේය.”

9. “කසීරට බරණැස් නුවර රජුගේ සොත්තිසේන නම් පුතුනු කෙනෙක් ඇත්තාහ. ඔවුන්ගේ භාර්යාව වූ සම්බුලා නම් මම ය.”

10.“ අසාධ්‍ය වූ ව්‍යාධියෙන් පෙලී අනාථ අසරණව මේ වනයෙහි උදෙකලාව ඉන්නා ඒ රාජ පුත්‍රයාගෙන් තිට ඇති ප්‍රයෝජනය කිම්ද? මාගේ මේ විමානයෙහි නෘත්‍ය ගීතවාද්‍යෙහි දක්ෂ නොයෙක් සිය ගණන දිවි නළුවන් පිරිවරන ලද මාගේ අන්තඃපුර ස්ත්‍රීන්ට අග මෙහෙසුන් කොට තබමි. තෝ ඔවුනට ප්‍රධානව සියලු වස්තුකාමක්ලෙෂකාමයන් අනුභව කර... මම තිට ස්වාමිපුත්‍ර වෙමියි කියේය.”

11.“.. රාක්ෂසය, මාගේ ස්වාමීහු රෝගාතුර හෙයින් දිවා රාත්‍රියෙහි එම දුක් සිත සිතා ශෝකයෙන් ඉඳිමි. නපුරු වූ ශරීර වර්ණයෙන් ඇති වල්කලා ඇදීමෙන් නපුරු තුනු පහස් ඇති මා කවර සිත්කළු සැටියක් ඇති හෙයින් මෙලෙස කියයිද ? විශිෂ්ඨ රූපයක් ඇති බොහෝ සිද්ධාංගනාවන් හා දිව්‍ය ස්ත්‍රීන් හා නාග කන්‍යාවෝ මේ වනයෙහි සංචරණය කරන්නාහ. ඔවුන් අතරින් තට ප්‍රිය වූ ස්ත්‍රියක තබා ගනුව. මගෙන් තට ප්‍රයෝජන කිම්ද? මා නිසා උත්සාහ නොකරව.”

12.“.. මේ ලෝකයේ සත්වයන්ට ප්‍රියකරු වූ යම් වස්තුවෙක් ඇත්නම් ඒ සියල්ල මාගේ බොහෝ කොට ඇත්තේය. මා හා සමග මාගේ භවනයට අවුත් ලොකාස්වාද රතියේ යෙදී වාසය කරව... තෝ මැලිව නො  ආයේ වී නම් බලහත්කාරයෙන් මාගේ විමානයට ගෙන ගොසින් තී හා සමග වාසය කරමි. එසේ ගෙන ගිය කල්හිත් මාගේ සිත් ගෙන වාසය නොකළෙහි නම් එවිටම තී මට ගොදුරු වන්නෙහිය.”

13. “ මේ රාක්ෂසයා මා අල්ලාගෙන අත් පා උක්කිලීල් සේ කඩා කන්නේ වී නමුත් ඒ දුක් නොවෙයි. වැළි, දුක් කවරේද  යතහොත් මෙතෙක් වේලා මා නොගිය යි සිතන රජ්ජුරුවෝ සම්බුලාවෝ රාජසුඛුමාලයෝ ය. බලා ඇස ඇදගත නොහැකි තරම් රූ ඇත්තෝ ය. බොහෝ දවසක් මට දුක් ගත් හෙයින් කණස්සලුව රෝගයෙන් පීඩිත මා හැර අන් පුරුෂයෙකු හා සමග ලෝකාස්වාද රතියෙන් ප්‍රමාදව මා අත අළුවාහු වනැයි සිතූ සේක වී නම් ඊට වඩනා දුකෙක් මට නැත්තේ ය.”

14.“මෙසේ සක්දෙව් රජුහු කී බස් අසා රාක්ෂ තෙමෙ භයින් තැති ගෙන බිසවුන් අතහැර බලා ගෙන සිටියේය. එවේලෙහි සක්දෙව් රජ්ජුරුවෝ සිතන්නාහු නැවතත් මේ රාක්ෂයා මෙබන්දක් කළේ වී නම් නපුරුයි  ඒ දානවයා දිව දමින් වසා මතු නොඑන පරිද්දෙන් තුන්වෙනි පර්වතය ඇතුළෙහි එළා.. දිව්‍ය ලෝකයට ගියේය.”

15.“රාජ කුමාරිකාව හිරු ඇවෑමට ගිය කල්හි සඳ පහන් ආලෝකයෙන් පන්සලට එන්නීය. ඈ එන ශබ්දය අසා “මෝ අන්‍ය පුරුෂ නිශ්ශ්‍රිතව ඔහුත් ඇරගෙන අවුත් මා මරාපු නම් නපුරුයි සැඟව සිටියේය.”

16.“ඒ බව ප්‍රකාශ කරන්නාවූ බුදුරජාණන්වහන්සේ බුදුව වැඩ හිඳ මෙසේ වදාළ සේක. එම්බා මහණෙනි, එදවස් චන්ද්‍රාලෝකයෙන් පන්සලට ගියා හු ඒ සම්බුලා නම් බිසව තමාගේ වල්ලභයා නොදක මහත් වූ සෝක දුකින් පෙළෙන්නී...  අඬා මුරගා ඇවිදින්නී...”

17. “......මෙසේ ඒ කුමාරිකාව ළය පැලී යන තරම් ශෝකයෙන් අඬමින්, වෙව්ලමින්, දෙවියන් යැද යැද බැගෑපත්ව බිසවුන් දැක සොත්තිසේන ....  ගොස් පන්සල් දොරකඩ උන්නේය.”

18. “ .... සෙර වූ සොභාව ඇති ක්ෂණ ක්ෂණයෙහි නොයෙක් සිතුවිලි සිතන හෙයින් බහු බුද්ධි වූ මේ ස්ත්‍රීන් කෙරෙහි සබවසෙක් නම් නැත්තේය. ජලයෙහි ඇවිදිනා වූ මසුන්ගේ හසර මෙන්ද, ආකාසයේ ඇවිදිනා පක්ෂීන්ගේ හසර මෙන් ද, ස්ත්‍රීන්ගේ ස්වභාවය කිසි කෙනෙකුන් විසින් නොදත හැක්කේ යයි රජ්ජුරුවන් කී කල්හි සම්බුලා නම් බිසවු සත්‍යක්‍රියා කරන්නාහු.”

19.  “ මෙසේ එබිසවුන්ගේ සත්‍යක්‍රියා බලයෙන් ව්‍යාධි සන්සිඳුණු පසු සොත්තිසේන රජ්ජුරුවන් රාජ්‍යයෙහි අභිෂේක කොට සම්බුලාවන්ද අගමෙහෙසුන් තනතුරේ අභිෂේක දී..”

20. “එකල්හි රජ්ජුරුවෝ බිසවුන් ඇති බවක් නොදැන සෙසු ස්ත්‍රීන් හා සමග සිතු අළවා කෙළමින් සෙමින් අභිරමණය කොට ඇවිදින්නාහ. සම්බුලාවෝ ද  තමන් කෙරෙහි කිසි විචාරයක් නැති හෙයින් දවසින් දවස ලැජ්ජාවෙන් හා සපත්නිරෝසයෙන් දුර්වලව පඬුවන් සිරුරු ඇතිව ඉපිලුහුණු නහර බහනින් වළඳනා ලද ශරීරයක් ඇතිව වාසය කරන්නාහ..”

ආඛ්‍යානවේදය (Narratology) වර්තමානයේ විශාල ආඛ්‍යාන ක්ෂේත්‍ර කරා පැතිර ගොස් ඇත. ආඛ්‍යානයක ස්වරූපය සහ කාර්යභාරය ප්‍රාථමික සමාජ මෙන්ම නුතන කාර්මික සමාජ තත්ත්වයන්ට අනුකූලව පර්යේෂණ කළවුන් අතර මානව විද්‍යාඥ ලිවී ස්ට්‍රවුස්, ජනශ්‍රැතිවේදී ව්ලදිමීර් ප්‍රොප්, රෝලන්ඩ් බාත්ස් හා ස්ටුවර්ට් හෝල් ප්‍රමුඛස්ථානය ගනිති. හැම සමාජයකටම උරුම වූ කතා කලාවක්‌ ඇත. එම කතා කලා විනෝදාස්වාදය සැපයීම සහ ආගමික කාර්යභාරයන් ඉටුකරයි.

පැහැදිලි එක් කරුණක් ඇත. ලෝකය අප කරා එළඹෙන්නේ කතාන්දර ස්වරූපයෙනි. අපේ බාල කාලයේ සිටම දෙමාපියන්, ගුරුවරුන්, යාළු මිත්‍රයන්, නන්නාඳුනන අය කියනු ලබන්නා වූ කතාන්දර මගින් ලෝකයේ ස්වභාවය අප කරා යොමු කොට ඇත. මේ සියලුම කතා ලෝකයේ ස්වභාවය තීන්දු කරන ඒවා යැයි මින් හැඟෙන්නේ නැත. අපගේ ලෝකය ගොඩ නගා ගැනීමට පහසු අවිඥානික ක්‍රමයක් කතා විසින් අපට ලබා දී ඇත. අපගේ සමාජ ලෝකය පිළිබඳව අප තුළ අවබෝධයක් ඇති කරන ක්‍රමයක් ලෙස ආඛ්‍යානය හැඳින්විය හැකි ය. එමෙන්ම මෙම දැනුම අනික් අය සමග බෙදා හදා ගැනීමට ද  මේ නිසා අවකාශ ලැබේ. මානව සන්නිවේදනයේදී ආඛ්‍යානය ගොඩ නැගීම නැතහොත් කතා කලාවට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි.

සියලුම සංස්කෘතීන් තුළ ආඛ්‍යානය දැකිය හැකිවාක් පමණක් නොව, එම කතා අතර ව්‍යුහාත්මක සමානකම් ද දිස් වේ. එක් සංස්කෘතියක විද්‍යාමාන ආඛ්‍යාන ව්‍යුහය තවත් සංස්කෘතියකද දැකිය හැකි ය. මෙහි සැබෑ අරුත නම් ජනශ්‍රැතියෙහි අඩංගු ආඛ්‍යාන ව්‍යුහය සහ ආඛ්‍යාන කාර්යභාරය සාර්වත්‍රික බවයි. ව්ලැදිමීරී ප්‍රොප් රුසියානු ජනකතා ආශ්‍රයෙන් කරන ලද විග්‍රහයට අනුව පෙනී යන්නේ සමහර ව්‍යුහාත්මක ගති ලක්ෂණ අතර සමානත්වයක් ඇති බව ය. චරිත සිදුවීම් අතර සබඳතාව පසුබිම යනාදිය එකිනෙකට වෙනස් විය හැකි ය. නමුත් මේ සියල්ලේ සමාන ව්‍යුහාත්මක ගති ලක්ෂණ හඳුනාගත හැකි ය.

දුෂ්ඨයා
දානපතියා
උදව්කරු
කුමරිය සහ ඇගේ පියා
වධකයා
වීරයා නැත්නම් විපතට පත්වීම.
ව්‍යාජ වීරයා

ගැමි කථා වල අඩංගු සියලුම චරිත ක්‍රියාදාමයන් මෙම ලැයිස්තුව තුළ ක්‍රියාත්මක වීමෙන්  කතාව ගොඩ නැගේ. සිය විග්‍රහය මගින් ප්‍රොප් මෙවැනි නිගමනයකට පැමිණේ.

චරිත, ක්‍රියාදාම කතාවකදී ස්ථාය හා අඛණ්ඩ සේවයක් ඉටුකරයි. කව්ද කිම්ද යන්න බලපාන්නේ නැත

සුරංගනා කතාවක ක්‍රියාදාම සංඛ්‍යාව සීමිත ය.
ක්‍රියාදාමයන්ගේ අනුක්‍රමය බොහෝ විට සමාන ය.
සියලුම සුරංගනා කථා ව්‍යුහාත්මකව සමාන ය.

සම්බුලා ජාතකයෙහි ආඛ්‍යානය බැලු බැල්මට මෙම ව්‍යුහය යොදා ගැනීමෙන් විග්‍රහ කළ හැකි බව පෙනේ.

දුෂ්ඨයා     -  රාක්සයා, සොත්ථිසේන
දානපතියා - බඹදත් රජ
උදව්කරු  - සක්දෙවිඳු
කුමරිය    -  සම්බුලා දේවිය
වධකයා   -  රාක්ෂසයා
වීරයා විපතට පත්වීම -   සම්බුලා දේවිය
ව්‍යාජ වීරයා   -  සොත්ථිසේන

ලිවී ස්ට්‍රවුස්  වර්ගීකරණය වූ යුගල ප්‍රතිපක්ෂ අනුව මෙම චරිත ද හඳුනාගත හැකි ය.

සම්බුලා   - (සොත්ථිසේන) රාක්ෂයා
රාජ සුකුමාල - පිටතට නික්මුණු මහත් දළ ඇති
සමිත පාපී - පාපී
පල්ලව පත්‍රයක් මෙන් - ගවර වලෙක්හි හුණු හෝ කුණක් සේ
පවන වල රන් ලියසේ -  රූක්ෂ ප්‍රකෘති ඇති
සපත්තිනිරෝසයෙන්   -   අන්‍යස්ත්‍රී නිශ්ශ්‍රීතව
කල්‍යාණ මිතුරු  -  මිත්‍රද්‍රෝහී
සත්‍යක්‍රියා  -  චපල ක්‍රියා

ප්‍රොප්ගේ ආඛ්‍යානයක ක්‍රියාදාමය පිලිබඳ සිද්ධාන්ත හෝ අනෙකුත් ව්‍යුහවාදී විග්‍රහයනට හසුවන්නා වූ පඨිතයක් සම්බුලා ජාතකයේ ඇති බව පෙනේ. උදාහරණ වශයෙන් උක්ත ජාතක කතාවේදී සොත්තිසේන දුෂ්ඨයාගේ භූමිකාව මෙන්ම වීරයාගේ භුමිකාවටද සුදුසුකම් ලැබීම දැක්විය හැකි ය.සොත්තිසේන ව්‍යාජ වීරයෙක් මෙන්ම දුෂ්ඨයෙක් බවට ද ආඛ්‍යාන තුලදීම චරිත මාරු කර ගනියි. සත්‍යක්‍රියා කොට තමාව බේරාගත් බිසව අමතක කර දමන්නේය."නොයෙක් සිය ගණන් ක්ෂත්‍රිය කන්‍යාවන් එක්ව යහන්පත් වුවා හු... මා කෙරෙහි පෙරසේ නොසිතන සේ.... සිත්කළු වූ ස්ත්‍රීන්ගේ නෘත්‍ය ගීත වාද්‍යයන් බලා ඔවුන් කෙරෙහි සිත් අලවන සේක." එක චරිතයකට විවිධ භූමිකා නිරුපණය හෝ විවිධ චරිත එකම භූමිකාව නිරූපනය සිදු විය හැකි ය.

නමුත් සම්බුලා ජාතකයේ විද්‍යාමාන ආඛ්‍යානය යුරෝපීය ජන කතා, සුරංගනා කතා හෝ බටහිර ගොපළු චිත්‍රපට ආඛයානයන්ට සාපේක්ෂව මේ වෙනස්කම් ද ප්‍රදර්ශනය කරයි. එහි පඨිතය වඩා සංකීර්ණ ය. සැබෑ ලොවෙහිදී මර්දනය කළ නොහැකි බලවේග විනාශ කර දැමීමෙන් සංකේතාත්මකව කෙරෙන්නා වූ ජයග්‍රහණ මෙහි නොමැත්තේය. යුගල ප්‍රතිවිරෝධයන් එක් පක්ෂයක විනාශයෙන් විසඳීමක් මෙහිදී දිස්වන්නේ නැත. යක්ෂයා වජ්‍රායුධය පෙන්වා භය ගන්වා මැඩ පවත්වා දම්වැලකින් බැඳ දැමීම මිස මරා දැමීම සිදු නොකරේ. සොත්ථිසේන ද මෙතෙක් කල් තමා නොදැන  කළ වරද ක්ෂමා කරවා පවසයි. මෙම ආඛ්‍යානයේදී සොත්ථිසේන සම්පුර්ණ සදා නිමකළ දුෂ්ඨයෙකු නොවේ. කරුණු වටහා ගත් විට වෙනස් වීමට අවකාශ මෙම ආඛ්‍යානයේ දී සොත්ථිසේනට ලබා දී ඇත. බටහිර ආඛ්‍යානයේදී මෙවැනි අවකාශයක් නොමැත. ගොපළු චිත්‍රපටවල දුෂ්ඨයා සදාකාලික දුෂ්ඨයෙකි. වෙනස් වීමට, තම චර්යාවේ වෙනසක් ඇති කරගැනීමට ඉඩකඩක් එම දුෂ්ඨයාට ලබා දී නොමැත. එම චරිත මොඩලයන් සදා නිම කළ ඒවා ය. වෙනසකට බඳුන් වීමට කරුණු තේරුම් බේරුම් කරගැනීමට ඔවුනට නොහැකි ය. ඔවුන් අනිවාර්යයෙන්ම විනාශයට බඳුන්විය යුතු ය. නමුත් අපගේ අවධානයට යොමු වූ සම්බුලා ජාතක ආඛ්‍යානයේ දී ගැටළු නිරාකරණය සඳහා ප්‍රචණ්ඩත්වය යොදා ගන්නේ නැත. එහි පාත්‍ර වර්ගයාට, තම ආස්ථානයන් වෙනස් කර ගැනීමට, වඩාත් යහපත් ලෙස වෙනස් කර ගැනීමට අවස්ථා සපයා දී ඇත. ඉතිහාසයේදී මෙලෙස ප්‍රචණ්ඩ නොවූ ආඛ්‍යානය නුතන පුවත්පත් ආඛ්‍යානයෙදී ප්‍රචණ්ඩකාරී විසඳුම් ඉදිරිපත් කිරීමක් කරා යොමුව තිබේ. ද්විත්ව ප්‍රතිරෝධ අතරින් එකක චර්යාවේ වෙනස් වීමකින් අවසන් වූ පුරාණ ආඛ්‍යානය වර්තමානයේදී ද්විත්ව ප්‍රතිවිරෝධ අතරින් එකක විනාශයෙන් විසඳීම කරා පල්ලම් බැස ඇත.

2000 ඔක්තෝම්බර් 26 පුවත්පත් බහුතරයේ ආඛ්‍යානය දුෂ්ඨයා භෞතිකව විනාශ කිරීමේ ආඛ්‍යානයයි. එය චිරන්තන සිංහල ආඛ්‍යානයේ විකාශනයක් නොව, එහි ප්‍රතිපක්ෂයයි. ජාතක කතාවෙහි ආඛ්‍යානයේ ඇති මෙම දරා සිටීමේ හැකියාව සමාජ ප්‍රකාශයක් බවට පත්වන අතර එනිසා එහි අනෙක් ලක්ෂණ භාෂාව,සිද්ධි සහ අවස්ථා නිරූපණය ඉතාමත් ඉහල මට්ටමක පවතී. ස්ත්‍රී පුරුෂ සෞකුමාරත්වයේ සියුම් හැගීම් ස්පර්ශ කොට දැක්විය හැකි කදිම මටසිළුටු බස් වහරක්, රූපක භාවිතාවක් සම්බුලා ජාතකයෙන් විද්‍යාමාන වන්නේ මේ නිසා ය. “ඇගේ ශරීර ශෝභාවෙන් සියලු වන ලැහැබ රන් රසින් තවරන කලක් පරිද්දෙන් ඒකාලෝක විය” වැනි අවස්ථා එහි අපමණ ඇත්තේ එහෙයිනි.

බිඳුණුවැව මිනිස් ඝාතන යුක්ති යුක්ත කොට දැක්වීමට සුදුසු ආඛ්‍යානයක් අදාළ පුවත්පත් ගොඩනගමින් සිටිති. ඔවුන් බටහිර ගොපළු චිත්‍රපටවල පොදු ආඛ්‍යානය තම ආඛ්‍යානය බවට පරිවර්තනය කරගත් අයුරු අපි පෙරදී දුටුවෙමු. ජනප්‍රිය මාධ්‍ය හරහා නිර්මාණය වන්නා වූ මෙවැනි ආඛ්‍යාන නිසා ඇතිවන සමාජ ප්‍රතිඵල කෙබඳුද? නැත්නම් පුවත්පත් මෙවැනි ආඛ්‍යානයක් කරා යොමු වුයේ කෙසේද?

මැතිවරණ සමය තුළදී LTTE විරෝධී හැගීම් රට තුළ නිර්මාණය කිරීම සඳහා දැවැන්ත උත්සාහයක් ගෙන තිබුණි. LTTE හා UNP අතර රහස් ගිවිසුමක් ඇති බවට පොදු පෙරමුණ එල්ල කරන ලද චෝදනාව ඔවුන්ගේ ප්‍රධාන මැතිවරණ තුරුම්පුව විය. මෙම උපක්‍රමය සාර්ථක වීමට නම් විශේෂයෙන් සිංහල සමාජය තුළ LTTE විරෝධී හැගීම් වඩාත් උත්සන්න විය යුතු ය. රහස් ගිවිසුමක් පිළිබඳව ගෙන යන ලද්දා වූ දැවැන්ත ප්‍රචාරය LTTE විරෝධී හැගීම් වැඩි වර්ධනය වීමට හේතු වන්නට ඇත. එමෙන්ම LTTE සංවිධානය යුදමය වශයෙන් විනාශ කිරීමේ පොරොන්දුවද පොදු පෙරමුණේ තවත් වේදිකා ජන්ද පොරොන්දුවක් විය.

රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය මෙම ගිවිසුම ගැන ගෙන ගිය ප්‍රචාරය පිළිබඳව මඳක් සොයා බැලීම මෙහිදී වැදගත් විය හැකි ය.

1.)  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සිංහල ප්‍රවෘත්ති (2000 සැප්තැම්බර් 15 – 2000 ඔක්තෝබර් 09)
LTTE- UNP ගිවිසුම පිළිබඳව සඳහන් අවස්ථා ගණන - 39 (ඒ සඳහා ගත වූ කාලය - පැය 1 විනාඩි 04 තත්පර 59)

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව - දෙමළ ප්‍රවෘත්ති (2000 සැප්තැම්බර් 15 -2000 ඔක්තෝබර් 08)
LTTE-UNP ගිවිසුම පිළිබඳ සඳහන් අවස්ථා ගණන - 25 (ඒ සඳහා ගත කළ කාලය - විනාඩි 20 තත්පර 32)

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව - ඉංග්‍රීසි ප්‍රවෘත්ති (2000 සැප්තැම්බර් 08 -2000 ඔක්තෝබර් 08)
LTTE-UNP ගිවිසුම පිළිබඳ සඳහන් අවස්ථා ගණන - 30 (ඒ සඳහා ගත කළ කාලය - විනාඩි 20 තත්පර 44)

2.)  'ලක්හඬ' ප්‍රවෘත්ති  (2000 සැප්තැම්බර් 08 -2000 ඔක්තෝබර් 08)
LTTE- UNP ගිවිසුම පිළිබඳ සඳහන් අවස්ථා ගණන - 20 (ඒ සඳහා ගත කළ කාලය - පැය 01)

3.)  රූපවාහිනී - සිංහල ප්‍රවෘත්ති (2000 සැප්තැම්බර් 25 – 2000 ඔක්තෝම්බර් 09)
LTTE- UNP ගිවිසුම පිළිබඳ සඳහන් අවස්ථා ගණන -13 (ඒ සඳහා ගත කළ කාලය - විනාඩි 31 තත්පර 41)

රූපවාහිනී - දෙමළ ප්‍රවෘත්ති (2000 සැප්තැම්බර් 17 – 2000 ඔක්තෝබර් 09)
LTTE- UNP ගිවිසුම පිළිබඳ සඳහන් අවස්ථා ගණන -12 (ඒ සදහා ගත කළ කාලය - විනාඩි 17 තත්පර 44)  

රූපවාහිනී-  ඉංග්‍රීසි ප්‍රවෘත්ති (2000 සැප්තැම්බර් 28 – 2000 ඔක්තෝබර් 09)
LTTE- UNP ගිවිසුම පිළිබඳ සඳහන් අවස්ථා ගණන -09 (ඒ සඳහා ගත කළ කාලය - විනාඩි 24 තත්පර 55)

4.)  චැනල් අයි -  සිංහල ප්‍රවෘත්ති (2000 ඔක්තෝබර් 04 - 2000 නොවැම්බර් 06)
LTTE- UNP ගිවිසුම පිළිබඳ සඳහන් අවස්ථා ගණන - 03 (ඒ සඳහා ගත කළ කාලය - විනාඩි 3 තත්පර 27)

5.)  ස්වාධීන රූපවාහිනිය - සිංහල ප්‍රවෘත්ති (2000 සැප්තැම්බර් 18 – 2000 ඔක්තෝබර් 08)
LTTE- UNP ගිවිසුම පිළිබඳ සඳහන් අවස්ථා ගණන -14 (ඒ සඳහා ගත කළ කාලය - විනාඩි 37 තත්පර 36)

ස්වාධීන රූපවාහිනිය - දෙමළ ප්‍රවෘත්ති (2000 සැප්තැම්බර් 09  – 2000 ඔක්තෝබර් 08)
LTTE- UNP ගිවිසුම පිළිබඳ සඳහන් අවස්ථා ගණන - 26 (ඒ සඳහා ගත කළ කාලය - විනාඩි 27 තත්පර 38) 

ස්වාධීන රූපවාහිනිය - ඉංග්‍රීසි ප්‍රවෘත්ති (2000 සැප්තැම්බර් 18   – 2000 ඔක්තෝබර් 07)
LTTE- UNP ගිවිසුම පිළිබඳ සඳහන් අවස්ථා ගණන -12  (ඒ සඳහා ගත කළ කාලය - විනාඩි 20 තත්පර 20)

අදාළ කාලය තුළ LTTE- UNP රහස් ගිවිසුම පිළිබඳව ප්‍රවෘත්ති ප්‍රකාශවල අවස්ථා 203 ක් යොදාගෙන ඇති අතර ඒ සදහා වැය කර තිබු සම්පුර්ණ කාලය පැය 04 විනාඩි 58 තත්පර 14 කි. - (ඉන්ෆෝම් ආයතනයේ අනුග්‍රහයෙන් උපුටා ගැනිණ.)

මීට අමතරව අදාළ සේවාවලින් වැඩ සටහන් 37 ක් පමණ  LTTE- UNP රහස් පිළිබඳ සාකච්ජා කිරීම සදහා ප්‍රචාරය කර තිබුණි. දළ වශයෙන් පැය 10 ක් පමණ ගුවන් කාලය මේ සඳහා මිඩංගු කර තිබුණි. මෙම මැරතන් මෙහෙයුමේ කුඨ ප්‍රාප්තිය වන්නේ මැතිවරණයට පෙර දින සියලුම රාජ්‍ය මාධ්‍ය ඔස්සේ LTTE සහ UNP අතර රහස් ගිවිසුමක් ඇති බවට පොලිස් වාර්තා ලැබී ඇති බවත්, ජනාධිපතිනිය ඝාතනය කිරීමට ගන්නා උත්සාහයට UNPLTTEයට සහයෝගය දැක්වූ බවත් සඳහන් ප්‍රවෘත්තියයි.

මැතිවරණ වේදිකාව පුරාම UNPය මෙම චෝදනාවට ප්‍රතිඋත්තර සපයන්නේ එවැනිම චෝදනා එල්ල කරමිණි. පොදු පෙරමුණ නිර්මාණය කරන ප්‍රභාකරන් නමැති රකුසාට එරෙහිව පෙරුමාල් නමැති රකුසා නිර්මාණය කිරීමේ කාර්යයේ ඔවුහු නිරත වෙති. එයට අමතරව ප්‍රභාකරන් නමැති රකුසා සහ ජනාධිපතිනිය අතර හුවමාරු වූ ලිපි ලේඛණ (රහස් ලිපි) ඉදිරිපත් කරමින් ඔවුන්ගේම රකුසා ඔවුනටම පැවරීමේ ව්‍යායාමයක යෙදේ. මෙම ක්‍රියාවේ දැවැන්ත ස්වරුපය අවබෝධ කරගැනීම සඳහා ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාව සිය සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශ පමණක් යොදාගත් ආකාරය විදහා දක්වන ප්‍රවෘත්ති සිරස්තල උපුටා දක්වමු.


දිනය                 ගත් කාලය                          ප්‍රවෘත්ති ශීර්ෂය


සැප් 15                 විනාඩි 1 තත්පර 31             ප්‍රභාකරන් මිනීමරුවෙකු ලෙස නම් කරන ලෙස විජේපාල මෙන්ඩිස්  රනිල්ට අභියෝග කරයි.


සැප් 17                 විනාඩි 1 තත්පර 40            LTTE මිලේච්ජ ක්‍රියා පිලිබඳ UNP නිහැඬියාව S.B. දිසානායක හෙළා දකී.


සැප් 19                 විනාඩි 1 තත්පර 5                 UNP ය යෝජනා කරන සටන් විරාමය LTTEයට දක්වන සහයෝගයක් බව අගමැතිතුමා පහදයි.


සැප් 20                තත්පර 56                       ජයග්‍රහණය කලොත් යුද්ධය දිගටම ගෙන යන බවට UNP යට සහතික විය හැකිදැයි අගමැතිතුමා අසයි.


සැප් 20                විනාඩි 1 තත්පර 20            ජනාධිපතිනියගේ වියදම් පිළිබද UNP නගන LTTE කුමන්ත්‍රණයක් බව  S.B දිසානායක පවසයි.


සැප් 20                තත්පර 34                       තමා ප්‍රභාකරන් ජාතික ලැයිස්තුවට ඇතුළත් නොකළ බවත්, චන්ද්‍රිකා පෙරුමාල් ජාතික ලැයිස්තුවට ඇතුල් කළ බවත් රනිල් කියයි.


සැප් 21                විනාඩි 1 තත්පර 41           UNP හා LTTE ය අතර රහස් ගිවිසුමක් ඇති බව අගමැතිතුමා පවසයි.


ඔක් 01                විනාඩි 2 තත්පර 7             LTTEයේ මෙහෙයුම් මැතිවරණය අඩාල කොට UNPයට සහාය දැක්වීමට බව පොදු පෙරමුණ පවසයි.


ඔක් 02             විනාඩි 1 තත්පර 32             නැගෙනහිර පළාත් නායකයිනට, රනිල්ට  ආරක්ෂාව  සපයන ලෙස  ප්‍රභාකරන් නියෝග කරයි.


ඔක් 02             විනාඩි 1 තත්පර 16            ඇන්ටන් බාලසිංහම්ගේ පොත සත්‍ය බව UNPය පවසයි.


ඔක් 04              විනාඩි 3 තත්පර 5            UNP- LTTE රහස් ගිවිසුම අගමැතිතුමා හෙළිදරව් කරයි.


ඔක් 05            විනාඩි  2 තත්පර 22          LTTE- UNP ගිවිසුම අලුත් එකක් නොවන බවත්, ජීවිතය ගියත් තමා රට පාවා නොදෙන බවත් ජනපති කියයි.


ඔක් 05            විනාඩි 1 තත්පර 5           LTTE- UNP ගිවිසුමට මහ සංඝයාගේ විරෝධය.


මේ ආකාරයෙන් ඔක්තෝබර් 9 වැනිදා තෙක් LTTE හා UNP සම්බන්ධය පිළිබඳ බොහෝ විට විනාඩි 01කට වඩා වැඩි කාලයක් ප්‍රවෘත්ති ප්‍රකාශ තුළ මිඩංගු කර ඇත. මෙය සත්‍ය වශයෙන්ම මැරතන් ප්‍රචාරක ක්‍රියාවලියකි. UNPයද තමනට හිත පක්ෂපාතී මාධ්‍ය උපයෝගී කරගනිමින් මෙයට පිළිතුරු සපයන්නේද LTTE සහ රජය අතර ගනුදෙනු ඇති බව පවසමිනි. මෙය එක්තරා ආකාරයකට 1956 දී ජන්ද සමයේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමට ගෙන ගිය ඡන්ද සටන් ව්‍යාපාරයට සමාන ය. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කරන විට එක්සත් ජාතික පක්ෂය තම භාෂා ප්‍රතිපත්තිය වෙනස් කොට සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කරන බව පවසයි. ඊට ප්‍රතිචාර වශයෙන් සිංහල භාෂාව පැය 24 ක්  තුළ රාජ්‍ය භාෂාව කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. මෙහි අවසාන ප්‍රතිඵලය දැන් ඉතාම පැහැදිලි ය.

විසංයෝජන ක්‍රියාවලියකින් පමණක් අවබෝධ කරගත හැකි මෙවැනි ක්‍රියා පිළිබඳව ටමාර් ලීබස්  මාධ්‍ය විශ්ලේෂිකාවගේ නිරීක්ෂණයකින් මෙහි සමාජයීය ප්‍රතිඵල පිලිබඳ අවබෝධයක් ලබා ගත හැකි ය. “මැරතන් ප්‍රචාරක ක්‍රියාවලියක් සදහා විද්‍යුත් මාධ්‍ය (පුවත්පතටත් අදාළ ය) යොදා ගත් විට දේශපාලනඥයාගේ ජනප්‍රිය උද්ඝෝෂක වාගාලාප මෙන්ම ජනතාව තුළ පාලනය කර ගත නොහැකි චිත්තාවේග හෝ සංක්ෂෝභ ඇති වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ජනතාව නීතිය තම අතට ගෙන යුක්තිය පසිඳලීමට පෙළඹේ. නඩු විභාගවලින් තොර ජන ඝාතනවලට පෙළඹේ.” (Media, Ritual and Identity/ edited by Tamar Liebes & James Curran- 1998 , පිටුව 83)

(මතු සම්බන්ධයි)

සිව්වන කොටස: බිඳුණුවැව මාධ්‍ය ආඛ්‍යානය IV - කොළඹ පත්තරවල ගොපළු චිත්‍රපට කතා

තිලක් ජයරත්න


© මාධ්‍ය අධ්‍යයන කවය

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.