JDS Sinhala

බිඳුණුවැව මාධ්‍ය ආඛ්‍යානය II : අපි සහ කොටි හෙවත් 'ශිෂ්ට අපි සහ දුෂ්ඨ උන්'

පළමු කොටස:  බිඳුණුවැව මාධ්‍ය ආඛ්‍යානය - 'උන්ගේ මාළු අපේ බල්ලන්ට'

මීට ප්‍රථම සංක්‍ෂිප්ත වශයෙන් දැක්වූ ව්‍යුහවාදී එළඹුම් ආඛ්‍යාන කෙරෙහි කරන්නා වූ බලපෑම අති විශාල ය. ව්‍යුහවාදය වඩාත් යෝග්‍ය වන්නේ සුවිශේෂ එක් ආඛ්‍යානයක සුවිශේෂි ගති ලක්ෂණ විමසීමට නොව, පොදුවේ ආඛ්‍යාන ගති ලක්ෂණ විමසීමට ය. උදාහරණ වශයෙන් චිත්‍රපට විග්‍රහයේදී ව්‍යුහවාදය යොදා ගැනෙන්නේ චිත්‍රපට ශෝනරයන්, ශෛලීන් සහ සංචාලනය වැනි දෑ විග්‍රහ කර දැක්වීම සඳහා ය. අප මෙහිදී උත්සාහ ගන්නේ ශ්‍රී ලාංකික පුවත්පත් විසින් ගොඩනගන්නා වූ ආඛ්‍යාන ස්වරුපය තේරුම් ගැනීමට ය.

ව්‍යුහවාදය සහ ආඛ්‍යානය

ව්‍යුහවාදය චිත්‍රපට ආඛ්‍යානය විග්‍රහ කරන ආකාරය වැඩි දුරටත් සොයා බැලීමෙන් අපගේ කර්තව්‍ය වඩාත් පැහැදිලි කර ගත හැකි ය. බොහෝ විට චිත්‍රපටවල දිස්වන  ලෝකය පරස්පර විරෝධී බලවේග ගැටුම් සහිත වුවකි. චිත්‍රපටයේ ගැටළුව නම් එහි “වීරයා” එම ගැටුම විසඳීම නොහොත් එහි එක පාර්ශවයක් ගැනීමයි. බටහිර ගොපලු චිත්‍රපටයක රතු ඉන්දියානුවන් සහ සුදු ජාතික ගොවියන් අතර ගැටුම නිරූපනය වන්නේ පහත සඳහන් ආකාරයට ය.


ගොවියන්                                              ඉන්දියානුවන්


සුදු                                                         රතු
ක්‍රිස්තියානි                                               මිත්‍යාදෘෂ්ඨක
ශීලාචාර                                                  වනචර
අසරණ                                                   භයානක
දුර්වල                                                     ශක්තිමත්
ඇඳුම් පැළඳි                                              නිරුවත්

මේ සාරාංශය තවදුරටත් “ශිෂ්ඨ” – “ අශිෂ්ඨ” වශයෙන් පුළුල් ලෙද ගත හැකය.  මෙහිදී ඇතිවන ගැටුම විසඳීමට නම් එක් පක්ෂයක් යටත්විය යුතු ය. නැත්නම් ඉවත්විය යුතු ය. ගොපලු චිත්‍රපටවල නම් බොහෝවිට වීරයා විසින් ඉන්දියානුවන්ට පාඩමක් ඉගැන්වීමෙන්, තනියෙන්ම හෝ ඔවුන් විනාශ කර දැමීමෙන් ගැටුම විසඳනු ලබයි. නමුත් මෙම ආඛයානයෙන් පිටතට ගත්විට මෙවැනි ප්‍රශ්න විසදීමට පරමාදර්ශයක් ලෙස මෙම විනාශය ආදේශ කළ නොහැකි ය. නමුත් වැදගත් කාරණය නම් ආඛ්‍යානයක කාර්යභාරය ඇත්තටම විසඳිය නොහැකි ප්‍රශ්නයක් සංකේතාත්මකව විසඳාලීමයි. මෙම පසුබිම යටතේ අප නැවතත් 2000 ඔක්තෝබර් 26 වැනිදා “දිනමිණ” ප්‍රධාන ශීර්ෂය  දෙසට හැරෙමු. උක්ත ආඛ්‍යානයේ යුගල ප්‍රතිපක්ෂ මොනවාද?


ගැමියන්, හමුදාව, පොලිසිය                          රැඳවියන්
කඳවුර නිලධාරින්, ජනාධිපතිනිය


LTTE නොවූ                                               LTTE                                                                              
සාමකාමී                                                  ප්‍රචණ්ඩ/කලහකාරී
නිරායුධ                                                   ආයුධ සහිත
හික්මුණු                                                   නොහික්මුණු
සාමකාමී                                                  කැරලිකාරී
පක්ෂපාති                                                 කුමන්ත්‍රණකාරී
කීකරු                                                     මුරණ්ඩු

මෙම යුගල ප්‍රතිපක්ෂ නිර්මාණය විසින් අවසානයේ සංජානනය කරන සමාජ අර්ථ ඇත. ඉහතින් දැක්වූ  යුගල ප්‍රතිවිරුද්ධ මගින් සන්නිවේදනය වන අර්ථ ද මෙසේ ප්‍රතිවිරුද්ධ යුගල සේම දැක්විය හැක.


සමාජගත                                              සමාජ විරෝධී


ශිෂ්ඨ සම්පන්න                                       වනචර
හොඳ                                                    නරක
ශක්තිමත්                                              දුර්වල
වීරයා                                                   දුෂ්ඨයා

මෙම ආඛ්‍යානය ඉල්ලා සිටින්නේ වීරයා විසින් දුෂ්ඨයා විනාශ කර දැමීම ය. ලිවී ස්ට්‍රවුස්  සඳහන් කළ පරිදි ආඛ්‍යානයන්හි ගැටුම් නිරාකරණය වන අයුරු සැබෑ ලෝකයට ආදේශ කළ නොහැකි අතර ආඛ්‍යානවල කාර්යභාරය සත්‍ය වශයෙන්ම විසඳිය නොහැකි ගැටුම් සංකේතාත්මකව විසඳා ගැනීමයි. නමුත් ඉහත ආඛ්‍යානය යෝජනා කරන්නේ “සමුල ඝාතනයයි.”

'ඩේලි මිරර්' පුවත්පත පමණක් ආඛ්‍යානයක් ගොඩනැගීමකින් තොරව සිද්ධිය වාර්තා කර ඇති අතර, අනික් සියලුම සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත් 26.10.2000 දින සමාන ආඛ්‍යාන ගොඩනගයි. මෙම සියලු පුවත්පත් අඩුවැඩි වශයෙන් ගොතන ලද මිත්‍ථ්‍යා විස්තර ඉදිරිපත් කර ඇති අතර ඉන් ඉතාමත් බරපතල අසත්‍ය පුවත ඉදිරිපත් කර ඇත්තේ 'දි අයිලන්ඩ්' ඉංග්‍රීසි භාෂා පුවත්පත ය. පුනරුත්ථාපන කඳවුරේ ආරවුල ඇතිවීමට හේතුව වශයෙන් 'දි අයිලන්ඩ්' පුවත්පත සිය ප්‍රධාන ශීර්ෂය යටතේ දක්වන්නේ ''කොටි සැකකරුවන් කඳවුරේ සේවය කළ සොල්දාදුවෙකුට පහර දී මරා දැමීමයි.” මෙම කඳවුරේ සොල්දාදුවන් සේවය කර නොමැත. කඳවුරේ සිටි රැඳවියන් විසින් කිසිවෙකු මරා දමා නොමැත. මෙම ප්‍රවෘත්ති ලේඛකයන් කරුණු නැවත නැවතත් සොයා බලා නිරවද්‍යතාවය තහවුරු කරගන්නා බවක් නොපෙනේ.

රැඳවියන්  LTTE සාමාජිකයන් ලෙස 26.10.2000  දින 'ලංකාදීප' හතර වතාවක් ද 'ලක්බිම' තුන් වතාවක් ද , 'දිවයින' එක් වතාවක් ද , 'දි අයිලන්ඩ්' හතර වතාවක් ද සඳහන් කර ඇත. ඝාතනය නොවී සිටින අයගෙන් කෙනෙකු වන දොළොස් වියැති පිරිමි ළමයා මඩකලපුව ප්‍රදේශයේ පොලිස් නිවසකට වැරදීමකින් හිඟමනේ ගිය අයෙකි. ඒ අතර සිටින කදිමට සිංහල බස දොඩන 32 වයසැති අය LTTE සිර මැදිරියකින් පැන  ආ අයෙකි. සිද්ධියෙන් පසු අතුරුදහන් හෝ පැන ගිය රැඳවියන් පිළිබඳ මෙම පුවත්පත් සඳහන් කරයි. 'දිනමිණ' 5 ක් , 'ලක්බිම' 15 ක් , 'දිවයින' 12 ක්, වශයෙන් පැනගිය අයගේ සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් කර ඇති අතර මුලාශ්‍ර නොමැති මෙම විස්තර සාවද්‍ය ඒවා ය.

පොදුවේ මෙම පුවත්පත් එනම්, 'ලංකාදීප', 'දිවයින', 'ලක්බිම', සහ 'දි අයිලන්ඩ්' යන පුවත්පත් 26 දින ගොඩනගන ආඛ්‍යානයේ යුගල ප්‍රතිපක්ෂ මෙසේ දැක්විය හැකි ය.


ගම්වාසීන්                                                  රැඳවියන්


සාමකාමී සිංහල                                          කොටි ත්‍රස්තවාදීන්
හික්මුණු                                                    නොහික්මුණු
සාමකාමී                                                   කලහකාරී
ගිනි තැබීම බලා සිටි                                    ගිනි තැබීම
පහර දීමට ලක් වෙයි                                   පහර දෙයි
කෝපයට පත් වෙයි                                    කෝපය තමන්ගේ ක්‍රියා නිසා ඇති කරගනී
ගම්වැසියන්ගේ ඥාතීන් මිය යයි                    කොටි ත්‍රස්තවාදීන් ඔවුන් මරා දමයි
ගම්වැසියන් තුළ සාධාරණ කෝපයක්             කොටින්ගේ ක්‍රියා කෝපයට හේතුවයි
තමන්ගේ නිවෙස් පහරදීම් වලට ලක්වෙයි       ගම්වැසියන්ගේ නිවෙස්වලට පහර දෙයි
සිංහල ගම්වැසියන්                                      දෙමළ කොටි
අහිංසක                                                     හිංසක

26.10.2000 දින 'දිවයින' සහ 'ලක්බිම' දිනපතා පුවත්පත්වල මුල් පිටු ප්‍රධාන ශීර්ෂය යටතේ සඳහන් කරුණු සංසන්දනාත්මකව සොයා බැලීම වටිනේය.


දිවයින                                                                     ලක්බිම


1. බිඳුණුවැව ගම හා කොටි ගැටී                                 1. ගම්වැසියන් සමග ගැටී
කොටි 24ක් මරුට.                                                       කොටි සැකකරුවෝ මැරුම් කති.

2. කොටි ත්‍රස්තවාදීන් අණදෙන                                    2. පොලිස් නිලධාරින් දෙදෙනෙකුට ද
නිලධාරියාට හා පොලිස් නිලධාරීන්ට                               ග්‍රාමාරක්ෂක නිලධාරියෙකුට ද,කඳවුර
පහර දී ඔවුන්ගේ නිල ඇඳුම් ලියකියවිලි                           භාරව සිටි හමුදාවේ කපිතාන්වරයෙකුට
ගිනි තබා අවි ආයුධ උදුරාගෙන කලහකාරීව                      ද පහරදී තිබේ.
හැසිරී ඇත. 

3. 24 දා රාත්‍රී මෙම කළහකාරී තත්වය සැලවීමෙන්           3. එම ත්‍රස්තවාදීන් රාත්‍රිය පුරාම කෑකෝ
ප්‍රදේශවාසින් විශාල පිරිසක් 25 උදේ කඳවුරේ                    ගසමින් නිවාසවලට ගල්මුල් ප්‍රහාර    
කලබලය බැලීමට ගොස් තිබේ.මේ අවස්ථාවේ                   එල්ල කර ඇත.                                      
කඳවුරේ ත්‍රස්තවාදීන් ගම්මුන්ට යකඩ පොලු,                                                                               
ගල්මුල් හා බෝතල්වලින් පහර දී තිබේ.

4. උතුරු නැගෙනහිර ක්‍රියාන්විතයේදී මියගිය                  4. මොවුන්ගේ මෙම ක්‍රියාවෙන් කුපිත වූ
සෙබල මළ සිරුරු කිහිපයක් ගමට ගෙනැවිත්                     වතුකරයේ සහ අවට ප්‍රදේශවල 5000ක්
තිබීම නිසා ගම්වාසීන් කොටි ත්‍රස්තවාදීන් සමග                   පමණ ජනතාව කඳවුර භූමිය ඉදිරිපිට     
දැඩි වෛරයකින් පසුව තිබේ.                                           උද්ඝෝෂණයක නිරත වී ඇත.   

5. මේ අවස්ථාවේ කඳවුරේ ත්‍රස්‌තවාදීන් ගම්මුන්ට              5. මේ අතරතුර කඳවුරේ සිටි LTTE              
යකඩ පොලු මුගුරුවලින් පහර දී ඇත.                             සැකකරුවන් ඇතුලේ සිට ගම්වාසීන්ට      
                                                                                 ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇත.

6. ත්‍රස්තවාදීන්ගේ පහර දීම් වලින් කුපිත වූ                      6. ඉන් කුපිත වූ පළාත් වාසීන් ආරක්ෂක         
ගම්වාසීන් 5000 කට අධික පිරිසක් 25 උදේ                      නිලධාරින් පෙරලාගෙන කඳවුරට කඩා
9.20 ට පමණ කඳවුරට කඩා වැදී එහි සිටි                         වැදී, රැඳවියන්ට පහර දී තිබේ.                        
ත්‍රස්තවාදීන්ට පහර දීමට පටන් ගෙන ඇත.                                                                              

7. අතිවිශාල පිරිසකගේ කඩා වැදීම නිසා                        7. ගැටුම මැඩ පැවැත්වීමට දියතලාව හමුදා
තත්වය පාලනය කිරීමට ආරක්ෂාවට සිටි                         කඳවුරෙන් සහ අවට පොලිසිවලින්
නිලධාරීන්ට අපහසු වී ඇත. තත්ත්වය                              1000 ක් පමණ කැඳවීමට සිදුවූ අතර
පාලනය කිරීමට දියතලාව හමුදා කඳවුරේ                         අහසට වෙඩි තබා ගැටුම මැඩ
සෙබළුන් හා පොලිස් නිලධාරින්                                     පැවැත්වීමට මෙම නිලධාරීන්ට දැඩි
යළිත් බිඳුණුවැවට ගෙන්වන ලදී.                                    උත්සාහයක් ගැනීමට සිදුව ඇත.

බිඳුණුවැව සිද්ධීන් පාදක කර ගනිමින් 'දිවයින' සහ 'ලක්බිම' පුවත්පත් ගොඩනගන්නා වූ මෙම ආඛ්‍යානය මෙයට පෙරත් සඳහන් කරන ලද බටහිර ගොපළු චිත්‍රපට  ආඛ්යාන රීතිය සමග සසඳා බැලීම යෝග්‍ය යැයි සිතේ. (ව්‍යුහවාදී, විචාරකයෙකු වන Will Wright ගොපළු චිත්‍රපට ශෝනරයන් පිලිබඳ ඉදිරිපත් කරන ලද කරුණු ආශ්‍රයෙන් ඉදිරිපත් කෙරේ. ලිවී ස්ට්‍රවුස් සහ ව්ලැඩිමීර් ප්‍රොප් වැන්නන්ගේ මතවාද ඔහුට බලපා ඇත.)

ඔහුට අනුව සම්භාව්‍ය ගොපළු චිත්‍රපට ආඛ්‍යාන කාර්යය  මෙසේ  දැක්විය හැකි ය.

1. වීරයා සමාජ කොට්ඨාශයකට ඇතුළු වේ.
2. වීරයා සමාජය විසින් හඳුනාගෙන නොමැත.
3. ඔහු අසාමාන්‍ය හැකියාවක් ඇත්තෙක් බව හෙළි වේ.
4. මේ නිසා ඔහුට විශේෂ ස්ථානයක් හිමි වේ.
5. සමාජය තවමත් සම්පුර්ණයෙන්ම වීරයා පිළිගෙන නොමැත.
6. දුෂ්ඨයන් හා සමාජය අතර අරගලයක් ඇති වේ.
7. දුෂ්ඨයන් සමාජයට වඩා ශක්තිමත් ය, ප්‍රබල ය, සමාජය දුර්වල ය.
8. වීරයා හා දුෂ්ඨයන් අතර යාළු මිත්‍රකමක් සහ අනොන්‍ය ගෞරවයක් දිස් වේ.
9. දුෂ්ඨයෝ සමාජයට අනතුරු හඟවා අභියෝග කරති.
10. මෙම අරගලයට සම්බන්ධවීම වීරයා මග හරියි.
11. වීරයාගේ මිතුරෙකුට දුෂ්ඨයන් කරදර පමුණුවයි.
12. වීරයා දුෂ්ඨයාට පහර  දේ.
13. වීරයා දුෂ්ඨයා පරාජය කරයි.
14. සමාජය අනතුරින් බේරා ගනියි.
15. සමාජය වීරයා පිළිගනීයි.
16. තමාට තිබු සුවිශේෂ තත්වයෙන් ඉවත්වන වීරයා සාමාන්‍ය අයෙකු බවට පත් වේ.

ඉහත දක්වා ඇති ආඛ්‍යාන කාර්යය අවධානයට ලක් කෙරෙන පුවත්පත් වන 'ලක්බිම' සහ 'දිවයින' ආඛ්‍යාන කාර්යයට බොහෝ සේ සමාන බව පෙනී යයි. රෝලන්ඩ් බාත්ස් විසින් “සමකාලින පුරෝණෝක්ති (Contemporary Myth) යනුවෙන් හඳුන්වා ඇත්තේ මෙවැනි ගොඩනැගීම් ය. ”Myth Today” නමැති සුප්‍රකට ලිපියේ  බාත්ස් සඳහන් කරන පරිදි “සරලව කියන්නේ නම් පුරාවෘත්ත යනු ජාතික භාෂාවකි. පුරාණෝක්ති යනු සන්නිවේදන විධි ක්‍රමයකි. එය පණිවිඩයක් රැගත් සන්නිවේදන විධි ක්‍රමයකි. පුරාවෘත්තයක් යනු වස්තුවක්, සංකල්පයක් හෝ අදහසක් නොවේ. එය සංඥාර්ථවේදන ආකාරයකි. එය ආකෘතියකි.”

“මෙවැනි ආකාර වූ භාෂාවක් යනු පණිවිඩයකි. එම නිසා එය හුදෙක් වාචික වුවක් නොවේ. එය ලිඛිත විය හැකි ය. පින්තුර, චිත්‍ර, චිත්‍රපට යනාදී ඕනෑම වාහකයක් හරහා විය හැකි ය. මේ හැමෙකක්ම පුරාණෝක්ති භාෂාවක සිය කතිකාව ගෙන යාමට ඉවහල් වෙයි.”

අද දවසේ පුවත් පත් විසින් ආකෘතියක් වශයෙන් භාවිතා කරන නුතන පුරාවෘත්ත හරහා සන්නිවේදනය කරන්නේ කුමක්ද? එසේ නොමැති නම් මෙම අඛ්‍යානයේ කාර්‍යභාරය කුමක්ද? බටහිර ගොපළු චිත්‍රපට ආඛ්‍යයානයේ අපේක්ෂිත කර්යභාරයම ය. බටහිර ගොපළු චිත්‍රපට ආඛ්‍යානයේ බොහෝවිට දුෂ්ඨයා වන්නේ “රතු ඉන්දියානුවන්”ය. ඔවුන් විනාශ කළ යුතු ය, ඝාතනය කළ යුතු ය, මෙම පුරාවෘත්ත ආකෘතිය හරහා ගොඩ නැගෙන්නා වූ මතවාදය එයයි. උදාහරණ වශයෙන් The Searchers චිත්‍රපටය ගතහොත් සිය නෑසියන් විනාශ කර දැමීමේ පලිය වශයෙන් ජෝන් වේන් නමැති නළුවා රතු ඉන්දියානුවන් දරුණු ලෙස ඝාතනයට ලක් කරයි. දුෂ්ඨයා මරා විනාශ කර දමයි. නමුත් මෙම ආඛ්‍යාන උපක්‍රමය අරගල විසදීම සඳහා යොදා ගත නොහැක්කකි. එහෙත් සත්‍ය වශයෙන්ම කළ නොහැකි දේ සංකේතාත්මකව විසදීම ආඛ්‍යානයේ අරමුනයි. අද දවස වන විට රතු ඉන්දියානුවන්ට සිය දේශය අහිමි වී අසරණ වී ඇති බව අපි දනිමු.

නුතන පුරාණෝක්ති ආඛ්‍යාන නමැති ආකෘතිය යොදා ගනිමින් මේ පුවත්පත් යෝජනා කරන්නේ ජන සංහාරයයි. බිඳුණුවැව සිද්ධියට අනුපුරකව ඒ ආශ්‍රිත ප්‍රදේශවල ඇතිවූ කාකොටා ගැනීම් මෙම පසුබිම යටතේ තේරුම් ගැනීම වඩාත් පහසු ය. ගොඩනගන්නාවූ කතිකාව නම් දුෂ්ඨයා ශාරීරිකව විනාශ කළ යුතු බව ය.☐

(මතු සම්බන්ධයි)

තුන්වන කොටස: බිඳුණුවැව මාධ්‍ය ආඛ්‍යානය III - සම්බුලා ජාතකයේ සිට අලි කොටි කුමන්ත්‍රණ දක්වා

තිලක් ජයරත්න


© මාධ්‍ය අධ්‍යයන කවය


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.