JDS Sinhala

රට වසා වෙළඳ කලාප කම්කරුවන්ගෙන් වැඩගැනීමේ ආණ්ඩුවේ පිළිවෙතට වෘත්තීය සමිති විරෝධය

අතුල විතානගේ විසිනි.


කො

විඩ්-19 රෝගය පැතිර යාමේ අවදානම මැද අත්‍යවශ්‍ය සේවාවක් සේ නොගැනෙන නිදහස් වෙළඳ කලාප කම්කරු සේවක සේවිකාවන් සේවාස්ථානවලට කැඳවන්නේ නම් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ වගකීම ආණ්ඩුව දැරිය යුතු බව වෘත්තීය සමිති අවධාරණය කරති.

මීට පෙරද, ඇඳිරි නීතිය පනවමින් සංචරණය සීමා කළ සෑම අවස්ථාවකම කොවිඩ් වසංගතය පැතිර යාමේ අවදානම නොසළකා දිගින් දිගටම වෙළඳ කලාප කම්කරුවන් සේවයේ යොදා ගත් බව ඩාබිඳු සේවක සංගමයේ චමිලා තුෂාරි ජේඩීඑස් සමග කියා සිටියාය.

"කලින් අර්ධ වශයෙන් ලොක්ඩවුන් කරපු හතර වතාවකම වෙළඳ කලාප වහන්නේ නැතිව දිගටම වැඩ කළා. ඒ හින්දා ඇඟළුම් ක්‍ෂේත්‍රය ලාභ උපයලා තියෙනවා කියලා ආණ්ඩුවම කියනවා. නමුත් කෝ සේවක සේවිකාවන්ට ප්‍රතිලාභ? ඔවුන්ගේ වැටුප් වැඩි කරන්න, එන්නත් ලබා දෙන්න, පිසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂණ කරන්න, සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම සකසන්න, නිරෝධායන මධ්‍යස්ථාන හදන්න වගේ දේවල්වලට ආණ්ඩුව පිරිවැයක් දරලා තියෙනවද?" යැයි ඩාබිඳු වැඩසටහන් සම්බන්ධීකාරිකා ප්‍රශ්න කර සිටියාය.

කොවිඩ් වසංගතය තිබියදීත්, ජූලි මාසයේදී ශ්‍රී ලංකාව වාර්තාගත ඩොලර් බිලියන 1.09ක අපනයන ආදායම් උපයා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා උපුටා දක්වන 'සිලෝන් ටුඩේ' පත්‍රය සෙනසුරාදා (21) වාර්තා කර තිබුණි. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අගෝස්තු 20 වැනිදා එළිදක්වා ඇති වාර්තාවන්ට අනුව, පසුගිය වසරට සාපේක්‍ෂව ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ආදායම 3.1%ක අඩුවීමක් ජූලි මාසයේදී පෙන්නුම් කළද, 2021 ජූනි මාසයට සාපේක්‍ෂව ජූලි මාසයේදී ඇඟලුම් අපනයන ආදායම 9.27%කින් ඉහළ ගොස් තිබේ.

මීට අමතරව, එම අංශය යටතේ ගැනෙන ඇඟලුම් සහ වියන ලද රෙදිපිළිවලින් උපයන ලද අපනයන ආදායම පිළිවෙලින් 2.76%ක හා 69.43%ක වැඩිවීමක් පෙන්නුම් කර ඇති බවද අදාළ වාර්තාව පෙන්වා දෙයි.

"මාත්‍රා දෙකම දුන්නා" - ඇඟලුම් සංගම්

මේ වනවිට කම්කරු සේවක සේවිකාවන්ගෙන් 90%ක් පළමු එන්නත ලබාගෙන ඇති අතර, 50%කට දෙවැනි මාත්‍රාවද ලබා දී ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ප්‍රධාන ලේකම් ටුලී කුරේ උපුටා දක්වන 'ද සන්ඩේ මොර්නින්ග්' පත්‍රය වාර්තා කර ඇත.

"විශේෂයෙන්ම මේ ශ්‍රමිකයන්ගෙන් 90%ක්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කම්හල් තුළ සේවයේ නියුතුව සිටින අතර ඔවුන්ගෙන් 70%ක්ම ඔවුන්ගේ දෙවැනි මාත්‍රාව ලබා ඇතැ"යි ඔහු ප්‍රකාශ කර තිබේ.

කෙසේ වුවද, නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් වැඩට කැඳවුවද නිසි එන්නත්කරන වැඩ පිළිවෙලක් එහි ක්‍රියාත්මක නොවූ බව ස්ටෑන්ඩඩ් වෘත්තීය සංගමයේ ලේකම් අශිලා දන්දෙණිය ජේඩීඑස් සමග කියා සිටියාය.

"එන්නත ලබා දෙන්නේ වයස අවුරුදු 30 ට වැඩි අයට බව ආණ්ඩුව කියනවා. එත් වෙළඳ කලාපවල වැඩ කරන බහුතරය අවුරුදු 30 ට අඩු අයයි. කාට හරි කොරෝනා රෝගය හැදිලා කියලා දැන ගත්තහම එයාව නිරෝධායනය කියලා බෝඩිමට ගෙනත් දානවා. ඊට පස්සේ එයාලා ගැන සොයා බලන්නේ නැහැ. ඔවුන්ට එදිනෙදා කෑම බීමවත් ලැබෙනවාදැයි විමසීමක් නැහැ"යි කියා සිටියාය.

'තාවකාලිකව වසා දමන්න'

බොහෝ කර්මාන්ත ශාලා සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් මෙන්ම විෂබීජ හරණය ද නිසි ලෙස නොකරන බව දන්දෙණිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

රට අර්ධ වශයෙන් වසා දැමූ අවස්ථාවන් හි කොවිඩ් රෝගය පිළිබඳ අවදානමක් නොතකා වැඩ කළද, වෙළඳ කලාප සේවක සේවිකාවන්ට වැටුප් වැඩිවීමක් හෝ වෘත්තීය හා සෞඛ්‍ය රැකවරණයක් නොලැබෙන බව වෘත්තීය සමිති පෙන්වා දෙති.

වෙළඳ කලාප සේවක සේවිකාවන් සඳහා ඉදිරිපෙළ කම්කරුවන් (frontline workers) සේ සලකා සියලු පහසුකම් ලබා දිය යුතු බව ඔවුහු අවධාරණය කරති.

ඒ ගැන අවධානය යොමු කරන ලෙස ඉල්ලා ආණ්ඩුවේ බලධාරීන් වෙත වරින් වර ලිපි යොමු කර ඇති බව ඩාබිඳු සේවක සංගමයේ චමිලා තුෂාරි පැවසුවාය.

මේ අතර ඇඟළුම් හා අපනයන කර්මාන්ත අත්‍යවශ සේවා ලෙස සළකා එහි සේවක සේවිකාවන්ගෙන් වැඩ ගැනීමට හාම්පුතුන්ට අවසර දීම, එම සේවක සේවිකාවන්ගේ ජිවිත අවදානම නොසලකා හැරීමක් බව නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමය ජනාධිපතිට ලිපියක් යවමින් කියා සිටී.


එම සංගමයේ ප්‍රධාන ලේකම් ඇන්ටන් මාක්ස් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වෙත යෝජනා කිහිපයක් ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත්තේ, "කොවිඩ් රෝගය පැතිර යන මේ මොහොතේ නිදහස් වෙළඳ කලාප වසා දමා සේවකයන්ගේ වැටුප් අඩු නැතිව ලබා දෙන ලෙස" ය.☐

© JDS 

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.