JDS Sinhala

වෙළඳ කලාප හරහා පැතිර යන වසංගතය නොතකා කම්හල් දිගටම වැඩ

අතුල විතානගේ විසිනි.


ට පුරා පිහිටි නිදහස් වෙළඳ කලාප කම්කරුවන් අතර කොවිඩ් 19 වසංගතය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් බරපතල ජීවිත අවදානමක් නිර්මාණය වෙමින් පවතින බව වෘත්තීය සමිති පෙන්වා දෙයි. මේ වනවිටත් කොවිඩ් 19 ආසාදිතයන් බොහෝ දෙනෙක් හමු වී තිබීම නොතකා කම්කරුවන්ට නොකඩවා සේවයට වාර්තා කිරීමට කර්මාන්ත ශාලා කළමණාකාරීත්වය විසින් බල කිරීම මෙම තත්ත්වය දරුණුවීමට බල පා ඇති බව ඔවුහු කියා සිටිති.

රැකියාවට වාර්තා නොකළහොත් වැටුප් කප්පාදු කිරීමට හෝ සේවයෙන් පහකිරීමට ගොදුරු විය හැකි බවට සිදු කෙරෙන බලපෑම හේතුවෙන් වසංගත රෝග අවදානම නොතකා සේවයට වාර්තා කිරීමට අදාළ කම්කරුවන්ට සිදුව තිබේ.

"කටුනායක නිදහස් වෙළද කලාපයේ සියළු කර්මාන්ත ශාලා සිය කම්කරුවන් වැඩෙහි යොදවන්නේ බොහෝ කර්මාන්ත ශාලාවල දැනටත් කොවිඩ් 19 අසාදිතයන් වාර්තා වී තිබෙන තත්ත්වය නොසළකායි' නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් ජේඩීඑස් හා කියා සිටියේය.

ඇන්ටන් මාකස් පෙන්වා දෙන ආකාරයට මේ වන විට නෙක්ස්ට් කර්මාන්ත ශාලාවේ කම්කරුවන් 100ක් දෙනා කොවිඩ් 19 ආසාදිතයන් බවට පත්ව සිටින අතර මාස් සමූහයට අයත් තුල්හිරිය යුනිචෙලා කර්මාන්ත ශාලාවේ කම්කරුවන් බහුතරයකට කොවිඩ් 19 රෝගය වැළඳී තිබේ.

රෝගය මෙසේ ව්‍යාප්ත වීම පිළිබඳව කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා විමර්ශනයක් කිරීමට නියෝග කර ඇතත් පසුගිය වතාවේ මෙසේ කොවිඩ් 19 රෝගය බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව තුළ පැතිර යාම සම්බන්ධයෙන් කරනු ලැබූ බව කියන විමර්ශනයට අදාළ කිසිදු වාර්තාවක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමයේ ලේකම්වරයා කියා සිටියේය.

නිදහස් වෙළඳ කලාපවලට පිටස්තරව පිහිටි මාස් සමූහ ව්‍යාපාරයට අයත් රිදීමාලියැද්ද ස්ට්‍රෙච්ලයින් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කම්කරුවන් පිරිසකට කොවිඩ් ආසාදිතවීමෙන් එක් සේවකයකු මියගොස් ඇති අතර මීරිගම, ගල්ගමුව, අවිස්සාවේල්ල, කෑගල්ල, මාවනැල්ල සහ හසලක ප්‍රදේශවල පිහිටි කර්මාන්ත ශාලාවලින්ද කොවිඩ් ආසාදිතයන් වාර්තා වී තිබේ. ඇතැම් අවස්ථාවල ප්‍රදේශවාසීන් විසින් කළ උද්ඝෝෂණ හමුවේ සමහර කර්මාන්ත ශාලා වසා දමන්නට පාලනාධිකාරයන් ක්‍රියා කර තිබේ.

කළමනාකරු අත්අඩංගුවට

මීට අමතරව, කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ කොවිඩ් ආසාදිතයන් 800ක් පමණ වාර්තා වී තිබුණද එහි කර්මාන්ත ශාලා බහුතරයක් විසින් කම්කරුවන් සේවයේ යොදවා ඇත්තේ එහි පිහිටි ස්ටාර් ගාමන්ට් ආයතනයේ තාක්ෂණික කළමාණාකාරවරයෙකු කොවිඩ් 19 රෝගය වැළඳීමෙන් මරණයට පත්වීමේ සිදුවීම පවා නොතකා හරිමිනි.

මේ අතර, එස්ක්වෙල් (Esquel) හෙවත් පොලිටෙක්ස් කර්මාන්ත ශාලාවේ කම්කරුවන් 1500කගෙන් 283 දෙනෙක්ම කොවිඩ් අසාදිතයන් බව වාර්තාවන අතර එම තොරතුරු වසන් කරමින් කම්කරුවන් තවදුරටත් සේවයේ යොදවාගත් එම ආයතනයේ කළමණාකාරවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එස්ක්වෙල් ආයතනයට එරෙහිව අධිකරණය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව මේ වන විට එම ආයතනය තාවකාලිකව වසා දමා ඇත.

ලිනියා ඇක්වා (Linea Aqua) සහ ලලාන් රබර් ඇතුළු බියගම නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා තුනක් ද මෙම රෝගී තත්ත්වය පැතිර යාම නිසා වසා දමා තිබේ.

මේ වන විට කර්මාන්ත ශාලා හිමියන් සිය කම්කරුවන්ට අදාළ පී.සී.ආර් පරීක්ෂණ නවතා දමා ඇති බව තමන්ට වාර්තා වී ඇතැයි පවසන ඇන්ටන් මාකස් ඊට හේතුව පසුගිය දා ජනාධිපතිවරයා විසින් කොවිඩ් කාර්ය සාධක බලකාය අමතා සිදුකළ බව දැක්වෙන ප්‍රකාශයක් බව පෙන්වා දෙයි.

"තමන්ගේ සේවකයන්ගේ පී.සී.ආර් පරීක්ෂණ කිරීමෙන් අනතුරුව ඔවුන් කොවිඩ් 19 තත්ත්වය වැළඳී ඇතිනම් ඒ සඳහා වැඩිදුර ප්‍රතිකාර කිරීම එම ආයතන බාරගත යුතුයැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව වාර්තා වෙලා තිබුණා. නිදහස් වෙළඳ කලාප කර්මාන්ත ශාලා හිමියන් තම කම්කරුවන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ අත්හැර දමා ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පදනම් කරගෙන වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා මුදල් නොමැති බව පවසමින්. නමුත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසන්නේ එවැනි නිල දැනුම්දීමක් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව විසින් තමන්ට දැනුම් දී නොමැති බවයි".

බලහත්කාරී වැඩමුර

කෙසේවුවද, ශ්‍රී ලංකාවේ පළමු කෝවිඩ් 19 රැල්ලෙහි ආරම්භක කාලයේදී රට පුරා සියලු කර්මාන්ත ශාලාවල සේවක නියෝජනයක් සමග 'කම්හල් සෞඛ්‍ය කමිටු' පිහිටුවීමේ අවශ්‍යතාව සාකච්ඡාවට ගෙන තිබුනේ දිනේෂ් ගුණවර්ධනගේ සභාපතිත්වය දැරූ ත්‍රෛ-පාර්ශවීය කාර්ය සාධක කමිටුවේදීය. කෝවිඩ් 19 ට අදාළ සේවක ගැටළු සම්බන්ධව තීන්දු ගැනීමේ වගකීම පැවරී තිබූ මෙම ත්‍රෛ පාර්ශවීය කාර්ය සාධක කමිටුව සමන්විත වී තිබුනේ හාම්පුතුන්, වෘත්තීය සමිති සහ අමාත්‍යාංශය ඇතුළත්ව ය.

ඇන්ටන් මාකස්ට අනුව අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි කොවිඩ් 19 වයිරසය පැතිරීම පාලනය කිරීම වගකීමක් ලෙස භාර වී තිබුණේ එම කාර්ය සාධක කමිටුවට ය.

මේ අතර, නිදහස් වෙළඳ කලාපයේ බොහෝ කර්මාන්ත ශාලා සිය කම්කරුවන් පිළිබඳ කිසිදු තැකීමක් නොමැතිව සිය වැඩ මුරයන් පවත්වාගෙන යන්නේ බලහත්කාරී ලෙස බව කටුනායක ඩාබිඳු සාමූහිකයේ සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි ජේඩීඑස් හා ප්‍රකාශ කළාය. ඇය පවසන්නේ කොවිඩ් රෝගය වැළඳුණු කම්කරුවන්ට සිය නේවාසික ස්ථානවල නිරෝධායනය වන්නටයැයි කියා සෙසු පිරිස් අඛණ්ඩව සේවයට යොදන බව ය.

"නේවාසික ස්ථානවල පවතින ඉඩකඩ සීමා සහිත වීමත්, වෙනත් සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවීමත් නිසා රෝගය පැතිරයාම වැළැක්වීම දුෂ්කර වැඩක්. මේ ගැන අදාළ බලධාරීන්ට කොයිතරම් දැන්වුවත් මේ දක්වාම නිසි පියවරක් අරගෙන නැහැ'යි ඇය කියා සිටියාය.

වසංගත තත්ත්වය නොතකා කම්කරුවන් බලහත්කාරයෙන් සේවයට යොදාගනිමින් ආණ්ඩුව ආර්ථිකය රැක ගන්නට ප්‍රයත්න දරන්නේ වෙළඳ කලාප කම්කරුවන්ගේ මිනී කඳු උඩින්ද යැයි චමිලා තුෂාරි ප්‍රශ්න කරයි.

මේ අතර ඇඟළුම් කර්මාන්ත හිමියන්ගේ සංසදය පවසන්නේ ආණ්ඩුව කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට කරන ඉල්ලීම නිසා දිගින් දිගටම ඒවා විවෘතව තැබීමට තමන් කටයුතු කරන බව ය. එසේ නොමැතිව ආණ්ඩුව කර්මාන්ත ශාලා වසා දමන්නැයි කියන්නේ නම් තමන් ඒවා වසා දමන බව ද ඔවුහු පවසති.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.