JDS Sinhala

මහර සමූහ ඝාතනය: වෙඩි තබා මරා දමා මිනී දෙන්න සල්ලි ඉල්ලයි

කිත්සිරි විජේසිංහ විසිනි


හර බන්ධනාගායේ දි වෙඩි තබා මරා දැමු රැඳවියන්ගේ සිරුරුවල අවසන් කටයුතු කඩිනමින් සිදු කිරීමට නම් ඒ සඳහා වැයවන වියදම මියගියවුවන්ගේ ඥාතීන් විසින් රජයට ගෙවිය යුතු යැයි සෞඛ්‍ය බලධාරින් කී බවට ඥාතිහු චෝදනා කරති.

පශ්චාත් මරණ පරික්ෂණය අවසන් කෙරුනු රැඳවියන් තිදෙනෙකුගේ මළ සිරුරු තවමත් ඥාතීන් වෙත භාර නොදී අංගොඩ බෝවන රෝග රෝහලේ (IDH) මෘත ශරීරාගාරයේ තබා තිබෙන අතර, රෝහල් බලධාරීන් විසින් ඥාතීන්ට පවසා තිබෙන්නේ මිය ගිය එම තිදෙනාට කෝවිඩ් ආසාධනය වී ඇති බැවින් රජයේ නියමයන්ට අනුව මළ සිරුරු ආදාහනය කළ යුතුව ඇති බව ය. සිරුරු ආදාහනය කරන දිනයක් දැනුම් දෙන්නැයි ඥාතීන් කිහිප විටක්ම රෝහල් බලධාරින්ගෙන් ඉල්ලා සිට ඇතත් එයට යහපත් ප්‍රතිචාරයක් නොදක්වා මළ සිරුරුවල අවසන් කටයුතු සිදුකිරීම සඳහා වැය කිරීමට රජයට මුදල් නොමැති බැවින් එම මුදල ඥාතීන් විසින් ගෙවිය යුතු යැයි දැනුම් දී ඇත.

ආදාහනය හෝ භූමදානය නොකොට, දෙමසකට අධික කාලයක් රෝහල් මෘත ශරිරාගාරයේ තබා ගෙන සිටින සරණප්‍රිය ජයසේකර පටබැඳිගේ සුමිත් කුමාර, විතානගේ අවිශ්ක මල්ශාන්, හෙට්ටිආරච්චිගේ ලහිරු නිමන්ත යන තිදෙනාගේ පවුල්වල අය පවසන්නේ රෝහල් බලධාරින්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් මානසිකව ඉමහත් පීඩාවට පත්ව ඇති බව ය.

මළ සිරුරටත් අපහස කරන සෞඛ්‍ය ලොක්කෝ

''බන්ධනාගාර නිලධාරින් අපේ දරුවව වෙඩි තියලා මරා දැම්මා මදිවට දැන් ඉස්පිරිතාලේ මහත්වරු මිනිය දෙන එකත් පරක්කු කර - කර මළ සිරුරටත් අවමන් කරනවා'' මියගිය අවිශ්ක මල්ශාන්ගේ මාමා කෙනෙකු වන ජිනේන්ද්‍ර රාජපක්ෂ කීය.

''පුතාව මරලා දාලා මාස තුනක් වෙන්න එනවා. ඒ දරුවාගේ මිනිය තවමත් ඉස්පිරිතාලේ මෝචරියේ. එක වෙලාවක කියනවා වළ දාන්න නම් පෙට්ටියක් අරන් දෙන්න, වළ කපන්න සල්ලි දෙන්න කියලා. තව වෙලාවක කියනවා රජයේ නියෝගවලට අනුව පුච්චන්න වෙනවා ඒ නිසා ඒකට යන වියදම දෙන්න වෙයි කියලා. දරුවාගේ මළ සිරුර මාස තුනක් මෝචරියේ තියාගෙන ඉන්නවා. මොන දුකක්ද මේ අපිට දෙන්නේ? ඇයි රජයේ ඉහළ තැන්වල ඉන්න අයටයි, ඉස්පිරිතාලේ අයටයි අපේ දුක තේරෙන් නැත්තේ?'' ජිනේන්ද්‍ර ඉමහත් වේදනාවෙන් විමසීය.


සිය සොහොයුරාගේ මළ සිරුරු භුමදානය කරන්නේ නම් ඒ සඳහා යන වියදම දැරිය යුතු යැයි මෙයට පෙර අවස්ථාවක පොලිස් නිලධාරින් තමන්ට දැනුම් දුන් බව මිය ගිය ළහිරු නිමන්තගේ සොහොයුරෙකු ද ජේඩීඑස් හා පවසනු ලැබුණි.

''රාගම පොලිසියේ නිලධාරියෙක් තමයි අපිට කිවුවේ සිරුරු භුමදානය කරන්න ඔනේ නම් ඒ වියදම අපිට ගෙවන්න වෙයි කියලා. එයා කිවුවා 'වළවල් කපන්නයි, පෙට්ටි අරන් දෙන්නයි ආණ්ඩුවට බෑ. ඒවා ඔයගොල්ලෝ බලා ගන්න' . තමන්ගේ කෙනෙක් මැරුණම අවසන් කටයුතුවලට යන වියදම බරක් විදිහට පවුලේ අය හිතන් නෑනේ නේද? පෙට්ටියක් ගන්න එක, වළ කපන එක ප්‍රශ්නයක් නෙමෙයි . ඒ වුණාට තාම අපට මිනිය දුන් නෑ. දැන් මාස තුනක් වෙන්න එනවා. තාම මිනිය මෝචරියේ. වෙලාවකට කියනවා පුච්චනවා කියලා. තව වෙලාවක කියනවා වළ දාන්න වෙයි කියලා. හිරකාරයෝ හැටියට ඉඳලා මැරුණ නිසාද මිනියටත් මෙහෙම අවමන් කරන්නේ ''ළහිරුගේ සොහොයුරෙක් වන ක්‍රිෂාන්ත චතුරංග මහත් ආවේගයෙන් යුක්තව පැවසීය.

මෙම රැඳවියන්ගේ මළ සිරුරු ආදාහනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරින් විසින් තීන්දු කරනු ලැබුවේ එම රැඳවියන් කොරෝනා ආසාදිතයන් යැයි පවසමින් වුවද කිසිදු අවස්ථාවක ඒ බව විධිමත්ව තහවුරු කරනු නොලැබුණි. පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවන්ට අනුව සියළුම රැඳවියන් මිය ගොස් තිබුනේ වෙඩි වැදීමෙනි. සිරුරු හඳුනා ගන්නා අවස්ථාවල දි රෝහල් බලධාරීන් විසින් තමන්ගෙන් අත්සන් ලබාගත් බවත්, ඒ පිළිබඳව වැඩිදුර තැකීමක් නොකොට අත්සන් කළද , එසේ අත්සන් කර තිබුණේ සිරුරු ආදාහනය කිරීමට අවසර දුන් බවට යැයි පසුව දැන ගත් බවත් ඥාතීන් බොහෝ දෙනෙක් මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවසූහ. සෞඛ්‍ය බලධාරින් රැඳවියන්ගේ මළ සිරුරු පුලුස්සා දැමීමට කටයුතු කරනු ලැබුවේ එසේ කිරීම මගින් අපරාධයක සාක්ෂි විනාශ වන බවටත්, එය ඉදිරි පරීක්ෂණවලට බාධාවක් විය හැකි බවටත් මානව හිමිකම් කොමිසම ඇතුළු පාර්ශව ගණනාවක් විසින් දැනුම් දී තිබියදී ය.

පසුගිය 12 දා වත්තල මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල හමුවේ මේ සම්බන්ධව කරුණු දක්වා ඇති අගතියට පත් පාර්ශවය නියෝජනය කරන නීතිඥවරුන් එහිදි අවධාරනය කොට ඇත්තේ මළ සිරුරුවලට පවා අවමන් කිරිම නවතා සෞඛය බලධාරින් වහාම මේ සම්බන්ධව කඩිනම් තීන්දුවක් ගත යුතුව ඇති බව ය.

අධිකරණමය කටයුතු සම්බන්ධයෙන් බලධාරියා වශයෙන් මහේස්ත්‍රාත්වරයා මැදිහත්ව ඝාතනයට ලක් වූවන්ගේ ඥාතීන් තවදුරටත් පීඩාවට පත්කිරීම සම්බන්ධයෙන් පියවරක් ගන්නා මෙන් තමන් අධිකරණයේදී ඉල්ලා සිටි බව නීතිඥ සේනක පෙරේරා කියා සිටියේය.

එසේ කරුණු දැක්වීමෙන් අනතුරුව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගෙන් මේ සම්බන්ධව වාර්තාවක් කැඳවන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවද නීතිඥ සේනක පෙරේරා පැවසීය.

නඩු නැති අපරාධ

මේ අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියා කලාපය සම්බන්ධන්යෙන්ද තමන්ට බරපතල ගැටළු පැන නගින බව නීතීඥ පෙරේරා පවසයි.

''සීඅයිඩීය තවමත් නිසි විදිහට පරීක්ෂණ පවත්වන්නේ නෙැහැ. දැන් අවස්ථා කිහිපයකදීම මහේස්ත්‍රාත්තුමත් නියෝග කිහිපයක් නිකුත් කෙරුවා. විශේෂයෙන්ම මත් පෙති කතාවට අදාළව ආමාත්‍ය විමල් වීරවංශගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නැ යි කියලා. නමුත් තවමත් ඒක වෙලා නෑ. සීඅයිඩී ය එක එක දේ කියනවා' යි හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.

ඉකුත් ‍වසරේ නොවැම්බර් මාසයේ 29 හා 30 දෙදින තුළ දී රැඳවියන් එකොලොස් දෙනෙකු වෙඩි තබා මරා දමා තවත් විශාල පිරිසකට තුවාල සිදුකරමින් මහර බන්ධනාගාරයේ ජේලර්වරුන් විසින් එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් මේ දක්වා බන්ධනාගාරයේ කීසිදු නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන හෝ වැඩ තහනමට ලක්කර හෝ නොමැත. නමුත් බන්ධනාගාරයේ දේපලවලට හානිකළ බව දක්වමින් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් මගින් පැවරු නඩුවක් කඩිනමින් විභාග කරමින් රැඳවියන් 60 දෙනෙකුට ආසන්න සංඛ්‍යවක් වැරදිකරුවන් බවට පවසා දඬුවම් පමුණුවන ලැබුණි.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.