JDS Sinhala

මන්නාරම සමූහ මිනීවළෙන් හමු වූ ළමුන්ගේ සිරුරු 28 දක්වා ඉහළට

කිත්සිරි විජේසිංහ විසිනි


න්නාරම සතොස සමුහ මිනීවළෙන් මේ වන විට  කුඩා දරුවන්ගේ ඇට සැකිලි 28ක් ගොඩගෙන ඇතැයි එහි කැණීම් කටයුතු මෙහෙයවන  ප්‍රධාන වෝහාරික වෛද්‍ය නිලධාරියා  පවසයි.

මන්නාරම අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ  මේ බව ප්‍රකාශ කළේ දින 145ක කැණීම් අවසානයේ ය.

"මේ දින 145ක කැණීම් කාලය තුළ පුද්ගල මළ සිරුරු 323ක ඇට සැකිලි පාදා ගොඩ ගන්න අපිට පුලුවන් වුණා. එයින් පුර්ණ ඇට සැකිලි 314ක් මේ වන විට  අධිකරණය භාරයට පත්කර තියෙනවා. ඒ වැඩිදුර පරික්ෂණ සඳහා"යි හේ ජේඩීඑස් හා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

දිනකට මළ සිරුරු දෙකට වැඩියෙන්

ගොඩගනු ලැබු අස්ථි කොටස්වල කාල නිර්ණය සනාථ කර ගැනීම සඳහා තෝරාගත් අස්ථි නියැදි හයක් ඇමරිකාවේ මියාමි හී පිහිටි බිටා ඇනලිටික්ස් ආයතනයේ රසායනාගාර පරීක්ෂණ සඳහා පසුගිය ජනවාරි මාසයේදි වෛද්‍ය රාජපක්ෂ ප්‍රමුඛ පිරිසක් විසින් රැගෙන ගොස් භාර දෙනු ලැබු අතර, එසේ භාරදෙන අවස්ථාව වන විට කැණීම්වලින් ගොඩගෙන තිබුණු මුළු ඇට සැකිලි සංඛ්‍යාව වුයේ 300කි. කුඩා ළමුන්ගේ යැයි සැක කෙරෙන ඇට සැකිලි 23ක් ද ඒ සංඛ්‍යාවට ඇතුළත්ව තිබිණ.

නැවත කැණීම් අරම්භ කරන ලද ජනවාරි 30 වැනිදා සිට ගෙවුණු දින 12ක කාලය තුළදි සිදු කෙරුණු කැණීම්වලින් ළමා ඇට සැකිලි පහක් සොයාගනු ලැබූ අතර එම කාලය තුළ ගොඩගත්  සමස්ත ඇට සැකිලි සංඛ්‍යාව 23කි.

සමූහ මිනීවළෙහි පරීක්ෂණ මෙහෙයවන වෝහාරික විශේෂඥවරුන්ට අනුව මේ තාක්  කැණීම් සිදුකෙරුණු දින 145ක කාලය තුළ දිනකට අවම වශයෙන් ඇට සැකිලි දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගොඩ ගෙන තිබේ. වෛද්‍ය රාජපක්ෂ අවධාරණය කරන්නේ දිනපතා ඇට සැකිලි මතුවීමේ තත්ත්වය මත කැණීම් නවතා දැමීමේ කාලයක් පිිළිබඳව නිශ්චිතව පැවසිය නොහැකි බව ය.

"කැණීම්  නවත්වන්නේ කවදාද කියලා තවමත් නිශ්චිතව කියන්න බැහැ. ඒකට හේතුව, දැනට කැණීම් කරන හැම දවසකම වගේ ඇට සැකිලි ගොඩ ගන්නා නිසායි. ඇට සැකිලි කොටස් හමුවන තාක්, මේ කැණීම් කරගෙන යන්න වගකීමක් අපට තියෙනවා,"යි වෛද්‍ය රාජපක්ෂ පවසයි.

2018 වසරේ මැයි 16 වන දින මන්නාරම සතොස සමූහ මිනීවළ සොයා ගනු ලැබුවේ සමුපකාර තොග වෙළඳ සංස්ථාවට (සතොස අයත් ගොඩනැගිල්ලක් ආශ්‍රිත ඉදිකිරීම් කටයුත්තක් සඳහා කරන ලද කැණීම් කටයුතුවලින් පිටතට රැගෙන ගිය පස් අතර තිබී මිනිස් හිස් කබල් සහ ඇට කැබලි කිහිපයක් සොයා ගැනීමත් සමඟ ය.

එම මාසයේම 28 වැනි දින එහි වෝහාරික පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලද්දේ මන්නාරම එවකට සිටි මාහේස්ත්‍රාත් ටී ජේ ප්‍රභාකරන්ගේ නියෝගයකට අනුව ය.

මන්නාරම සතොස සමුහ මිනීවළ මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති විශාලතම සමූහ මිනීවළ සේ සැළකේ.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.