JDS Sinhala

මන්නාරමින් හමු වූ මිනිස් ඇටකටුවල කාල නිර්ණ ප්‍රතිඵල සති දෙකකින්

කිත්සිරි විජේසිංහ විසිනි


ක්සත් ජනපදයේ මියාමී හි පිහිටි බීටා ඇනලිටිකස් ආයතනය වෙත භාර දෙන ලද, මන්නාරම සතොස ගබඩා පරිශ්‍රය ආශ්‍රිත සමූහ මිනීවළෙන් සොයාගන්නා ලද අස්ථි සාම්පලවල කාල නීර්ණ ප්‍රතිඵලය සති දෙකක් තුළ ලැබීමට නියමිත යැයි එහි කැණීම් කටයුතු භාර අධිකරණ වෛද්‍ය නිලධාරියා පවසයි.

කාල නීර්ණ පරික්ෂණය සඳහා  තෝරාගත් අස්ථි සාම්පල හයක් ඉකුත් 25 වැනිදා බිටා ඇනලිටික්ස් ආයතනය වෙත භාරදුන් බවත්, ඒ සඳහා  අස්ථි සාම්පල තෝරා ගනු ලැබුවේ මිනීවළේ විවිධ ස්ථරයන් සහ එකිනෙකට වෙනස් ඇට සැකිලිවලින් බවත් අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ ජේඩීඑස් හා ප්‍රකාශ කළේය.

සාම්පල හයක්

"සම්පූර්ණ ඇට සැකිලි තුනකින් සාම්පල තුනකුත්, මිනීවළේ තැන තැන විසිරිලා තිබුණු ඇට කැබලිවලින් සාම්පල දෙකකුත් කාල නිර්ණය සඳහා අපි තෝර ගත්තා. ඒ සාම්පල පහට අමතරව තව එක් සාම්පලයක්  අපි තෝර ගත්තේ මිනිවළ හඳුනාගන්න කලින් බැකෝ යන්ත්‍ර දාලා ඉවත් කරපු පස් අතර තිබුණු  ඇට කැබලිවලිනුයි," ඔහු කීය.

"මෙහෙම විවිධ මට්ටම්වල සාම්පල හයක් අරගත්තේ එකම තැනකින්, එකම විදිහට අස්ථි කොටස් අරගෙන කාල නිර්ණ පරික්ෂණය කරනවට වඩා වැඩි විශ්වාසනීයත්වයක් ඇතිවෙන නිසායි. ඒ වගේම විද්‍යාත්මකවත් නිවැරදි ක්‍රමය ඒකයි".

වෛද්‍ය රාජපක්ෂ වැඩිදුරටත් පවසන්නේ බීටා ඇනලිටික්ස් ආයතනය වෙත භාරදෙන ලද අස්ථි සාම්පලවල කාල නිර්ණය නිවරදි ලෙස සිදුවුවහොත්, සාම්පල භාරදුන් ජනවාරි දින සිට දින 14ක් තුළ ප්‍රතිල ලබා දීමට නියමිත බව ය.

"කාබන් ඩේටින්වලට අවශ්‍ය කොලජන් (Collagen) ගන්න පුලුවන් වැඩිහිටි පුද්ගලයන්ගේ විතරයි. ඒවා තිබෙන්නේ ඇට කැබලි සහ දත්වලයි. ළමයින්ගේ කොලජන් ඉතාම අඩු නිසා පරීක්ෂණය සඳහා ළමයින්ගේ අස්ථි කොටස් පරීක්ෂණ සඳහා භාරදුන්නේ නැහැ"යි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

අදාළ පරීක්ෂණ ප්‍රතිඵල ඇතුළත් වාර්තාව, බිටා ඇනලිටික්ස් ආයතනය විසින් විද්‍යුත්  තැපැල් මගින් වෛද්‍ය රාජපක්ෂ වෙත  එවීමට නියමිත අතර,  එම වාර්තාවේ  පිටපත් දෙකක් මන්නාරම මහේස්ත්‍රාත්වරයාට සහ වෝහාරික පරීක්ෂණ භාර අධිකරණ වෛද්‍ය නිලධාරියාට තැපැල් මගින් එවීමට ද කටයුතු කරන බවත් වෛද්‍ය රාජපක්ෂ ප්‍රකාශ කරයි.

"අධිකරණයට එවන පිටපත තමයි මහේස්ත්‍රාත්තුමා විසින් පරීක්ෂණ වාර්තාවේ ප්‍රතිළුලය හැටියට විවෘත අධිකරණයේදි  ප්‍රකාශයට පත්කරන්නේ," ඔහු ජේඩීඑස් හා කියා සිටියේය.

නිරීක්ෂකයන්

කාල නීර්ණය සඳහා අස්ථි සාම්පල තෝරා ගැනීමේදිත්, ඒවා භාර දීමේදිත් විශ්වාසනීයත්වය සහ විනිවිදභාවය ආරක්ෂා වන පිළිවෙතක් අනුගමනය කළ බව පවසන වෛද්‍ය රාජපක්ෂ අධිකරණයේ අවසරය මත ඒ සඳහා පාර්ශව කිහිපයක්ම දායක කරගත් බවත් සඳහන් කරයි.

"සාම්පල බීටා ඇනලිටික්ස් ආයතනයට අරගෙන යන්න රජයේ නියෝජිතයන් වශයෙන් අතුරුදහන්වුවන් පිළිබඳ කාර්යාලයේ (OMP) කොමසාරිස්වරයෙක් වන මිරාක් රහිම් සහභාගී වුණා. ඊට අමතරව මන්නාරම අතුරුදහන්වුවන්ගේ පවුල්වල ඥාතීන් නියෝජනය කරමින් නීතිඥ වී එස් නිරංජන් මහතා සහ රනීතා ඥානරාජා මහත්මියත් නිරීක්ෂකයන් වශයෙන් මේ සඳහා සහභාගී වුණා‍".

මන්නාරම අධිකරණයේ නිලධාරීන් දෙදෙනෙකුගේ භාරකාරත්වය යටතේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දක්වා රැගෙන යනු ලැබූ අස්ථි සාම්පල සඳහා පොලිස් නිලධාරින් සිවු දෙනෙකුගේ ආරක්ෂාවද ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවෙන්  මෙතෙක් සොයා ගෙන ඇති විශාලතම සමූහ මිනීවළ සේ සැළකෙන මන්නාරම සතොස සමුහ මිනිවළේ අස්ථි සාම්පල කාල නිර්ණය සඳහා භාර දෙන අවස්ථාව වන විට ඇට සැකිලි 300ක් කැණීම්වලින් සොයා ගෙන තිබුණි. එයින් 294 ක් පූර්ණ අස්ථි කොටස් ලෙස හඳුනා ගෙන අධිකරණ භාරයට පත් කර ඇති අතර 23ක් කුඩා දරුවන්ගේ අස්ථි කොටස් බව වෛද්‍ය රාජපක්ෂ ජේඩීඑස් හා කියා සිටියේය.

තාවකාලිකව නවතා තිබූ මන්නාරම සමූහ මිනීවළේ කැණීම් කටයුතු බදාදා දිනයේදී (30) නැවත ආරම්භ කිරීමට නියමිත ය.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.