සමූහ මිනීවළවල් කැණීමේ උපදෙස් මාලාව අධිකරණ අමාත්‍යංශයේ හමස් පෙට්ටියට
- Post 23 January 2019
කිත්සිරි විජේසිංහ විසිනි
ශ්‍රී ලංකාවේ සමූහ මිනීවළවල්වල කැණීම් සහ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට අදාළ වන මාර්ගෝපදේශන මාලාවක් සකස් කර එය අධිකරණ අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා යොමුකොට වසර දෙකකට අධික කාලයක් ගතවී ඇතත් ඒ සම්බන්ධව මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි එම මාර්ගෝපදේශන ලියැවිල්ල සකස් කිරීමට දායක වු ශ්‍රී ලංකාවේ ජේෂ්ඨතම අධිකරණ වෛද්‍ය විශේෂඥවරයකු කියා සිටියි.
අධිකරණ වෛද්‍ය විශේෂඥ ධනංජය වෛද්‍යරත්න, ජේඩීඑස් හා කියා සිටියේ සමූහ මිනීවළවල් ශ්‍රී ලංකාවෙන් දිගින් දිගටම සොයා ගනු ලැබුවත්, ඒවයෙහි කැණීම් කටයුතු සහ පරීක්ෂණ සිදුකිරීමට අදාළ වන නිසි නෛතික ප්‍රතිපාදනයක් නොමැති බැවින් සමූහ මිනීවළක පරික්ෂණ සිදුකරන වෝහාරික විශේෂඥවරුන් ඉමහත් අපහසුතාවයට පත්වන බව ය. එම ගැටළුවට විසඳුමක් ලෙස ශ්‍රී ලංකා වෝහාරික ව්‍යාධිවේදීන්ගේ විදුහලේ (College of Forensic pathologists of Sri Lanka - CFPSL) මැදිහත්වීමෙන් 'සමූහ මිනීවළවල් කැණීමේ ප්‍රමිත ක්‍රියාපටිපාටිය' (Mass Grave Excavation Standard Operations Procedure) නමින් සමුහ මිනීවළක් පිළිබඳ තොරතුරක් ලබා දීමේ සිට පරික්ෂණ අවසන් වන තෙක් වලංගුවන නෛතික ප්‍රතිපාදනයන් සහිත මාර්ගෝපදේශ මාලාවක් සකස් කරනු ලැබු බව ඔහු කියා සිටියේය.
2013 වසරේදී සොයාගත් මන්නාරම තිරුකේතීස්වරම් සමුහ මිනීවළේ වෝහාරික කැණීම් කටයුතු මුලින් භාරව ක්‍රියාකරන ලද්දේ විශේෂඥ වෛද්‍ය ධනංජය වෛද්‍යරත්න විසිනි.
'නීතියක් නෑ'
"සමුහ මිනීවළවල් ගැන තොරතුරු ලැබිලා ඒවායේ කැණීම් කටයුතු සිදුකෙරුවාට ඒක දැනට ඉතාම අවිධිමත්ව සිද්ධ වෙන දෙයක්. මම එහෙම කියන්නේ සමූහ මිනීවළක කැණීම් කටයුතු කරන්න හරි, එයින් පස්සේ පරීක්ෂණ සිදුකරන්න හරි කිසිම නීතිමය ප්‍රතිපාදනයක් ලංකාවේ නීතියේ නැති නිසායි. ඒකට විසඳුමක් විදිහටයි අපි CFPSL මැදිහත්වීමෙන් මාර්ගෝපදේශ මාලාවක් සකස් කෙරුවේ. ඒකේ මූලික කෙටුම්පත මම සකස් කළේ CFPSL එක වෙනුවෙන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ලෙස කටයුතු කරන අජිත් තෙන්නකෝන්ගේත් දායකත්වය ඇතුවයි. වැඩමුළු සහ සාකච්ඡා ගණනාවකින් පස්සේ සකස් කරපු කෙටුම්පත අපේ විධායක කමිටුවට ඉදිරිපත් කරලා එහි අනුමැතියත් මේ සඳහා ලබා ගත්තා. එයින් පසුවයි අපි මේ ලියවිල්ල අධිකරණ අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා යොමු කරන්නේ", ඔහු කීය.
වෝහාරික විශේෂඥ වෛද්‍යරත්නට අනුව ඔවුන් එම ලියවිල්ල අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කොට තිබෙන්නේ 2016 අගෝස්තු මාසයේදී ය.
"මේක පනතක් නෙමෙයි - ප්‍රතිපත්තිමය රාමුවක්. මේ ලියැවිල්ල සම්බන්ධයෙන් කිසියම් හෝ ප්‍රතිචාරයක් දැක්වීම අධිකරණ අමාත්‍යාංශයේ වගකීමක්. ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගේ දායකත්වයෙන්, CFPSL එකේ අනුමැතිය සහිතව සකස් කරපු මේ ලියැවිල්ලට අමාත්‍යාංශ අනුමැතිය ලැබුණා නම් සමූහ මිනීවළවල්වල විමර්ශන සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට නීතිමය වලංගුභාවයක් ලැබෙනවා. දැන් අපි වැඩ කරන්නේ නීතිමය වශයෙන් නිසි පැහැදිලි කිරීමක් නැති තත්ත්වයකයි".
සුවිශේෂී තත්ත්වයක්
වෛද්‍ය ධනංජය වෛද්‍යරත්න පවසන්නේ වර්තමානයේදි සමූහ මිනිවළක කැණීම් සහ පරික්ෂණ කටයුතු සිදු කෙරෙන්නේ සාමාන්‍ය අපරාධ නීතිය යටතේ ඇති ප්‍රතිපාදන මත බව ය. ඒ සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 369 සිට 373 දක්වා වන වගන්තිවලට සඳහන් නීති දැනට භාවිතා කෙරෙන බව ඔහු පෙන්වා දෙයි.
"373 වගන්තියේ සඳහන් කරලා තියනවා භූමදානය කරපු මළ සිරුරුක් ගොඩ ගන්නේ කොහොමද කියලා. ඒක මහේස්ත්‍රාත්වරයෙකුට ඇති බලයක්. නමුත් ඒකේ ඇති වරද තමයි ඒ වගන්තිය වලංගු වෙන්නේ නිල වශයෙන් හඳුනන, මරණකරු පිළිබඳව දැනගෙන කරන ගොඩ ගැනීමක් සම්බන්ධයෙන් විතරක් වීම. ඒක නීත්‍යානුකූලව වළදමා ඇති මළ සිරුරුක් සම්බන්ධයෙන් බලපාන නීතියක්. නමුත් සමූහ මිනීවළක වළදමා තියන්නේ කාගේ සිරුරුද, කොපමණ ප්‍රමාණයක් ද, නිශ්චිතවම වළ දමා ඇති ස්ථාන මොනවාද වගේ කරුණු අපි දන්නේ නැහැ. ඒ නිසා එවැනි පරීක්ෂණයක් අයිති විය යුත්තේ 'රහසිගත ලෙස සඟවා තබා ඇති මළසිරුරක් සොයා ගැනීම' කියන විෂය යටතටයි".
ජාත්‍යන්තර මට්ටමින් පරීක්ෂණ සිදුකෙරී ඇති සමූහ මිනීවළ කැණීම් කටයුතු පිළිබඳව ද සැලකිල්ලට ගත් මෙම මාර්ගෝපදේශන ලියවිල්ල සකස් කීරීමේදි වෝහාරික විශේෂඥවරුන් මුලික කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමුකළ බවත්, ඉන් පළමුවැන්න කැණීම් සහ පරීක්ෂණ සඳහා වලංගුවන නෛතික තත්ත්වය බවත්, දෙවැන්න ගෞරවාන්විත අවසන් කටයුත්තක් වෙනුවෙන් සිරුරු හඳුනා ගන්නා ඥාතීන්ට භාරදීම බවත් ය.
වගකීම් විරහිත රාජ්‍ය ආයතන
මෑත දී සොයාගත් සමූහ මිනීවළවල් කිහිපයකටම අදාළ කැණීම් කටයුතුවලදී අදාළ පරීක්ෂණ භාරව සිටි වෝහාරික විශේෂඥවරුන් විසින් දිගින් දිගටම මතු කරන ලද කරුණක් වුයේ ශ්‍රී ලංකාවේ කිසිදු රාජ්‍ය ආයතනයක් විසින් විමර්ශන කටයුතු සම්බන්ධිකරණය කිරීමේ වගකීම භාරගැනීමට සුදානම් නැති බව ය. ඒ හේතුවෙන් අදාළ කැණීම් කටයුතු සිදුකරන වෝහාරික විශේෂඥවරුන්ගේ පෞද්ගලික කැපවීම සහ උවමනාව මත පමණක් යැපෙමින් කටයුතු කරන්නට සිදු වූ බවට ද ඔවුහු චෝදනා කරති.
2012 නොවැම්බරයේදී හමු වූ මාතලේ සමූහ මිනීවළේ වෝහාරික පරීක්ෂණ මෙහෙය වූ වෛද්‍ය අජිත් ජයසේන පෙන්වා දෙන්නේ, අදාළ විමර්ශන කටයුතුවලට බාධා කෙරෙන්නේ අමාත්‍යාංශ දෙකක කඹ ඇදීම මත බව ය.
"වෛද්‍යවරුන් නිල වශයෙන් ක්‍රියා කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේයි. නමුත් සමූහ මිනීවළක පරීක්ෂණ කටයුතු අයිති විය යුත්තේ පොලිස් දෙපාර්තමේන්තුවට සහ අධිකරණ අමාත්‍යාංශයේ විෂය පථය යටතටයි. ගැටුම ඇති වෙන්නේ ඒ නිසායි. නිල වශයෙන් තියෙන තත්ත්වය මේක වුණාට සමුහ මිනීවළක කැණීම් කරන්න ගියාම මේ අමාත්‍යාංශ දෙකෙන් එකක්වත් වගකීම භාර ගන්න සුදානම් නැහැ. වෝහාරික වෛද්‍යවරුන් වශයෙන් කටයුතු කරන අපි අතරමං වෙන්නේ එතනදියි" ඔහු කියා සිටියි.
මේ වන විට මිනිස් මිනිස් ඇට සැකිලි 300 ක් පමණ ගොඩගෙන ඇති ශ්‍රී ලංකාවේ මේ දක්වා සොයාගෙන ඇති විශාලතම සමූහ මිනීවළ සේ සැළකෙන මන්නාරම සතොස ගොඩනැගිල්ල ආශ්‍රිත මිනීවළෙහි කැණීම් ආරම්භ කරනු ලැබු මුල් අදියරේදි මන්නාරම මහේස්ත්‍රාත්වරයා විසින් දැනුම් දෙනු ලැබුවේ ද කැණීම් කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය මුල්‍ය සහ අනෙකුත් ප්‍රතිපාදන නොලැබෙන්නේ නම් මිනීවළෙහි කැණීම් නතර කර දමන්නට සිදුවන බව ය.☐
© JDS