JDS Sinhala

'මාතලේ මළවුන් සම්බන්ධයෙන් අපේ සමාජය නිර්වින්දිතයි' - වෛද්‍ය අජිත් ජයසේන

මාතලේ දිසා රෝහල් පරිශ්‍රයේ ජීව වායු ඒකකයක් ඉදිකිරීමේ කටයුතු සඳහා කැණීම් කාර්යයක නිරතව සිටි කම්කරුවන් පිරිසක් විසින් මිනිස් ඇට සැකිළි සමූහයක් අනාවරණය කරගන්නා ලද්දේ 2012 නොවැම්බර් 26 වැනිදා ය. වධ හිංසාවන්ට පාත්‍ර කිරීමෙන් අනතුරුව, ශරීර අවයව වෙන්කොට වළ දැමීයැයි සැක කෙරෙන 154 දෙනෙකුගේ සිරුරු එයින් ගොඩ ගන්නා ලදී. ජනාධිපති කොමිසමක් පත්කිරීම දක්වා දිග්ගැසුණු මාතලේ සමූහ මිනීවළේ කතාව, සිව් වසරකින් පසු, අමතකව ගිය සැහැසි වකවානුවකට අයත් තවත් එක් අතීත පරිච්ඡේදයක් බවට පෙරළී තිබේ.

මාතලේ සමූහ මිනීවළ සොයා ගැනීමත් සමඟ එහි වෝහාරික පරීක්‍ෂණ කටයුතු අධීක්‍ෂණය කළ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් ජයසේන 2013 මැයි මාසයේ දී කුරුණෑගල මහ රෝහලට මාරු කර යවන ලදී. නමුත් මාතලේ මළවුන් පිළිබඳ සත්‍යය සොයා ගනු වස් කැපවීමෙන් ක්‍රියා කළ අතළොස්සක් දෙනා අතර ප්‍රමුඛයෙකු වූ වෛද්‍ය ජයසේන, යුක්තිය ඉටු නොවූ මාතලේ මළවුන් පිළිබඳ කතා කරන්නේ කණස්සල්ලෙනි.

"ප‍්‍රායෝගික ගැටළු සම්බන්ධයෙන් මා තුළ ඇත්තේ කළකිරීමක්. මේ හඳුනානොගත් සැකිළි හඳුනා ගැනීමට නොහැකිවීම ගැනත් මා තුළ ඇත්තේ පශ්චාත්තාපයක්," ඔහු කියයි.

'80 දශකයේ අග භාගයේදී වධ හිංසාවට පාත්‍ර කොට අභිරහස් ලෙස වළ දැමුණේ යැයි සැක කෙරෙන මිනිසුන් 154 දෙනෙකුගේ අස්ථි කොටස් හිටි හැටියේ රෝහල් බිමකින් හමුවීම සාමූහික කම්පනයක් ජනිත නොකළ රටක, තවමත් නොවිසඳුණු මාතලේ සමූහ මිනීවළේ පරීක්‍ෂණ කටයුතු පිළිබඳව සිව් වසරකට පසු වෛද්‍ය අජිත් ජයසේන JDS හා කතා කළේය.

සංවාද සටහන: කිත්සිරි විජේසිංහ


මේ වෙනකොට මාතලේ සමූහ මිනීවළේ පරික්ෂණ කටයුතු බැලු බැල්මටම ඇණහිට ඇති බවක් හෝ අසාමාන්‍ය මන්දගාමී බවක් පෙන්නුම් කරන බව නිරීක්‍ෂණය කළ හැකියි. එ් පරීක්ෂණ ක්‍රියාවලිය මේ වන විට පවතින්නේ මොනවගේ තත්ත්වයක ද?

වෛද්‍ය අජිත් ජයසේන: මාතලේ සමූහ මිනීවළේ පරීක්ෂණ කටයුතු මේ වන විට මා විසින් අවසන් කර එහි වර්තා මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත යොමුකර තිබෙනවා. අධිකරණය වෙත වාර්තා යොමු කිරීමෙන් අනතුරුව මා විසින් ඉදිරිපත් කරන ලද නිගමනයන් මත මේ අතුරුදහන් වූවන් හඳුනා ගැනීමට කරන ලද නිර්දේශයන් ක‍්‍රියාත්මක කල යුතුයි. විශේෂයෙන්ම ඒ සදහා වැදගත් වන DNA පරීක්ෂණ කළ හැකි  තත්ත්වයක් තිබෙනවා, අතුරුදන්වූවන්ගේ ඥාතීන් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ නිසා. නමුත් එවැනි ක‍්‍රියාවලියකට අධිකරණය යොමුවුනේ නෑ. මෙයයි වර්තමාන තත්ත්වය. අධිකරණ ක‍්‍රියාවලියක ඉදිරි පියවර පිළිබද තොරතුරු මා පවා දැන ගත්තේ ජනමාධ්‍යවලින් පළකරනු ලබන පුවත්වලින්. මෙය පවතින ක‍්‍රමය සම්බන්ධයෙන් ඉතාමත්ම කණගාටුදායක තත්ත්වයක්.

මාතලේ සමූහ මිනීවළ සම්බන්ධ  ප්‍රධාන වෝහාරික අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා ලෙස කටයුතු කරනුයේ ඔබයි. නමුත් එ් සම්බන්ධව ඇතැම්  පරික්ෂණයන් පවත්වනු ලැබු ජාත්‍යන්තර විශේෂඥවරුන් විසින් එළැඹුණු නිගමනයන් සහ ඔබ ප්‍රමුඛ දේශීය විශේෂඥවරුන්ගේ අදහස් මෙන්ම පරික්ෂණ නිගමනයන් අතර යම් පරස්පරතාවයක් ඇති වුණු බව පෙනෙන්නට තිබුණා. විශේෂයෙන්ම සොයා ගනු ලැබු අස්ථි කොටස් සම්බන්ධ කාල නීර්ණ පරික්ෂණවලදි මේ වෙනස පෙනුණා. නමුත් මාතලේ සමූහ මිනීවළ සම්බන්ධයෙන් පත්කරනු ලැබු ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාව පිළිගත්තේත් විදේශීය විශේෂඥවරුන් ඉදිරිපත් කළ පරික්ෂණ වාර්තාවයි. මේ පරස්පරතාවය ඉදිරි පරීක්ෂණවලට බලපාන්නේ කොහොමද?

අජිත්:  අස්ථි කොටස් සම්බන්ධයෙන් පවත්වපු කාබන් කාල නිර්ණය පරීක්ෂණ වාර්තාව මෙම පරීක්ෂණ කටයුතුවලට ඉතාමත් අසතුටුදායක බලපෑමක් ඇති කළා. ඒ පිළිබදව මා  තුළ ඇත්තේ අවිශ්වාස සහගත තත්ත්වයක්. මෙම පරීක්ෂණය ශ‍්‍රී ලංකාවේ සොයා ගන්නා ලද අස්ථි සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක දී කරනු ලැබූ පළමු අවස්ථාවයි.  එහෙත් මේ ප‍්‍රතිඵලයට ප‍්‍රථමයෙන් පුරා විද්‍යාත්මකව මෙම මිනිස් සැකිළි තිබූ ස්ථරයන් සම්බන්ධයෙන් යම් කාල නිර්ණයකට එළඹුණා එය 86-90 කාල වකවානුවක සිදුවු සිදුවීමක් බවට. ලංකාවේ මෑත කාලීන දේශපාලනික ඉතිහාසය සැළකූ විටදිත්, එම අස්ථිවල දක්නට තිබූ අපරාධයකට ලක් වූ ආකාරය සහ විවිධ හිංසනයන්ට ලක් වූ ආකාරය සැළකීමේදීත් කාල නීර්ණය සම්බන්ධයෙන් වන පුරා විද්‍යාත්මක නිගමනය ඊට අනුකූලයි. අධිකරණයකට හෝ යම් කොමිසමකට වෘත්තිකයන් විසින් ඉදිරිපත් කරන මතයක් පිළිගැනීම සේම සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්‍ෂේප කිරීමත් සිදුකළ හැකියි. එහෙත් ඊට සාධාරණ හේතු තිබිය යුතුයි. මා දකින ආකාරයට අප විසින් දක්වන ලද මතයන් සම්බන්ධයෙන් නැවත විමසා බැලීමක් අධිකරණයේ කොමිසම විසින් සිදුකළේ නැහැ. මේ නිසා මේ සම්බන්ධව විමර්ශණය කළ ජනාධිපති කොමිසමේ මතයට මට එකඟවීමේ හැකියාවක් නැහැ. මා තවමත් විශ්වාස කරන්නේ මේ නාඳුනන අස්ථි සැකිලි 86-90 කාලවකවානුව තුළ මිහිදන් කළ අයවලුන් බවයි. මෙය ප‍්‍රතික්‍ෂේප කිරීම යනු පුරා විද්‍යා විශේෂඥවරුන් මේ තාක් සිදුකරන ලද වෙනත් වෙනත් සොයා ගැනීම්වල කාල නිර්ණයන් අසත්‍ය බවට තහවුරුවීමක් වැනියි. ඇත්තෙන්ම මේ කාල නිර්ණ ගැටළුව සහ මේ පරීක්ෂණය මගින් ඇති වූ තත්ත්වය නිරාකරණය කර ගත හැකියි. ඒක කළ යුත්තේ අස්ථි සාම්පල කිහිපයක් නැවත පරීක්ෂණයකට ලක් කිරීමෙනුයි. පරීක්ෂාකරනු ලබන අස්ථි සාම්පල අප විසින් නිශ්චිතව කාල වකවානු තහවුරු කල සහ මෙම සමූහ මිනී වළෙන් ලබා ගත් සාම්පල යන දෙවර්ගයම පරීක්ෂාවට ලක්කර ලැබෙන ප‍්‍රතිඵල මත මෙම පරීක්ෂණ වාර්තා කොතෙක් දුරට මීට අනුකූල කර ගත හැකිද යන්න සලකා බැලිය හැකියි. තවත් වැදගත් කරුණක් නම් විකිරණශීලි කාබන් සම්බන්ධ වාර්තාව පිළිබද මතයන් ප‍්‍රකාශ කිරීම අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ හෝ පුරා විද්‍යාඥයන්ගේ විෂය පථයට පරිබාහිර බවයි.

සාමාන්‍යයෙන් මෙවැනි අපරාධ පරීක්ෂණයන්වලදි අනුගමන කරනු ලබන පිළිගත් ක්‍රියා පටිපාටියක් වන්නේ මියගිය පුද්ගලයාගේ හෝ වින්දිතයන්ගේ අතීත වෛද්‍යමය සාක්ෂි හෝ ජීව විද්‍යාත්මක තොරතුරු එම පුද්ගලයාගේ සමිපතමයන්ගෙන් අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා වෙත ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් කටයුතු සැළසීමයි. එම පිළිවෙත මාතලේ සමූහ මිනීවළ සම්බන්ධ පරික්ෂණ ක්‍රියාවලියේදි කොයි තරම් දුරකට භාවිතා කළාද?

අජිත්:  ඇත්තෙන්ම මේ විමර්ශණය සිදු කළ පොලිස් නිලධාරින් විසින් ඒ සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ ඥාතීන් අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමුකළේ නැහැ. ඔබ පැවසූ ආකාරයට අතුරුදහන්වූවන්ගේ ජීව විද්‍යාත්මක සාක්ෂි, මෙම අස්ථිවලින් අනාවරණය කරගත හැකි ජීව විද්‍යාත්මක සාක්ෂි සමග සසඳා බැලීම සිදු විය යුතුයි. මා මුලින් පැවසූ ආකාරයට කාබන් කාල නිර්ණය වාර්තාවේ ප‍්‍රතිඵලය අනුව එම ඉදිරි පර්යේෂණ කටයුතු සහමුලින්ම අවුරා දැමුවා.

මාතලේ සමූහ මිනීවළ සම්බන්ධ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතුවලදි ඔබ මුහුණ දුන් ප්‍රායෝගික ගැටලු සහ අභියෝගයන් පිළිබඳව කිසියම් පැහැදිලි කිරිමක් කරන්න පුළුවන්ද?

අජිත්: එය මගේ වරදක් නොවන බව මගේ හෘද සාක්ෂිය මට කියනවා. ඇත්තෙන්ම මෙම ක‍්‍රියාවලිය තුළ පවතින දුර්වල ස්වභාවය මෙයට තදින්ම බලපානවා. වෘත්තීයවේදීන් විසින් මේ සම්බන්ධ කොතෙක් දුරට සාර්ථකව පරීක්ෂණ කටයුතු සිදුකළත් එය නිරර්ථක කිරීමේ හැකියාවක් ඇති යාන්ත‍්‍රනයක් තුළ අවසන් ප‍්‍රතිඵලය ඛේදජනකයි. ස්වභාවික නොවන මරණයන් හිමිකරගත් අය වැළලූ සෑම සමූහ මිනීවලක් පිටුපසම දේශපාලනයක් තිබෙනවා. එය අපේ රටට පමණක් නොව, ලෝකය පුරාවටම ඇති සමූහ මිනීවලවල් සම්බන්ධයෙන් සත්‍යයක්.

අදාළ පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මතු වු එවැනි අභියෝගවලට මුහුණ දීමේදි සිවිල් සමාජ සංවිධාන, දේශපාලන පක්ෂ, ජනමාධ්‍ය සහ පොදුවේ සාමාන්‍ය ජන සමාජය වෙතින් ඔබට සහයෝගයක් ලැබුණාද?

අජිත්: මේ සමූහ මිනී වළ මතු වූ කාල වකවානුව තුළ සාමාන්‍ය ජන සමාජය සිටියේ නිර්වින්දනය වූ තත්ත්වයකයි. බොහෝ ජනමාධ්‍ය මෙම සමූහ මිනී වළ සහ එහි පර්යේෂණ කටයුතු 20-20 ක‍්‍රිකට් තරගයක ලකුණු හෙලිදරව් කිරීම වැනි ක‍්‍රියාවලියකයි නිරත වුණේ. මාධ්‍ය කිහිපයක් මේ පිළිබඳව කිසිම දෙයක් කතා නොකිරීමත් විමතියක්. ඒ වගේම දේශපාලනිකව කියවීමට සමත්, මග නොවැරදුනු මාධ්‍ය කිහිපයකුත්, දේශපාලන පක්ෂත්, සිවිල් සංවිධානත් ඒ අතර සිටියා. එය ඇත්තෙන්ම මෙම පර්යේෂණ සඳහා දායක වුණු වෘත්තිකයන්ට දැක්වුණු සහයෝගයක් සහ දිරියක්. 

මාතලේ සමූහ මිනී වළ සොයා ගැනීමෙන් මාස කිහිපයකට පසුව මන්නාරමේ තිරුකේතීස්වරම් ප්‍රදේශයෙන් ද තවත් සමූහ මිනී වළක් සොයා ගනු ලැබුණා. එහි මූලික පරික්ෂණ කටයුතු සිදුවුණු ආකාරය ගැන ඔබ දන්නා යමක් තිබෙනවාද?

අජිත්: ඒ ගැන මා පර්යේෂණ පැවැත්වූයේ නැහැ. ඒ නිසා ඒ පිළිබදව නිශ්චිතව යමක් කිව නොහැකියි.

මන්නාරමේ සමූහ මිනී වළෙහි පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වී සිටින පිරිස් ප්‍රකාශ කොට ඇති කරුණක් ‍වෙන්නේ මාතලේ මිනී වළට අදාළ කාල නීර්ණ පරික්ෂණ සම්බන්ධයෙන් විදේශ ආයතනවල මැදිහත් වීමෙන් ඇති වු ව්‍යාකූලත්වය මන්නාරමේ  දී ඇති නොවිය යුු බවයි. ඒ අනුව අදාළ පරීක්ෂණවල වගකීම මතභේදයට තුඩු දුන් විදේශීය රසායනාගාරවලටම භාර නොකළ යුතු බව ඔවුන් අවධාරණයෙන් කියා සිටිනවා. මේ ගැටළු මග හැරීම සම්බන්ධයෙන් ඔබට ඇති විකල්ප යෝජනා මොනවාද?

අජිත්: ඔවුන්ගේ සැකය සාධාරණයි. හඳුනා නොගත් පුද්ගලයන්ගේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීම මීට වඩා බොහෝ ක‍්‍රමවත් විය යුතුයි. එය ස්වාධීනව සිදු කළ යුතුයි. සිදුකරන පරීක්ෂණ සම්බන්ධව ගනු ලබන ක‍්‍රියා මාර්ග සැකයට භාජනය නොවන්නේ එම ක‍්‍රමවේදයන් ඉතාමත් විශ්වසනීයත්වයෙන් සිදුකළහොත් පමණයි. කෙතරම් නිවැරදි පරීක්ෂණයක් වුවත් වැරදි ක‍්‍රමවේදයන් මගින් නිවැරදි ප‍්‍රතිඵල අත්කර දෙන්නේ නැහැ. එබැවින් ඊට අවශ්‍ය ක‍්‍රමවේදයන් සැකසිය යුතුයි. ශ‍්‍රී ලාංකීය වෝහාරික වෛද්‍යවරුන්ගේ සංගමය මගින් මේ ගැන අධිකරණ අමාත්‍යංශයේත්, පොලිස් දෙපාර්තමේන්තුවේත්, රජයේ රස පරික්ෂක දෙපාර්මේන්තුවේත්, පුරාවිද්‍යඥයන්ගේත් සහය ඇතුව යම් ක‍්‍රමවේදයක් සැකසීමේ අඩිතාලම මේ වන විට සකස්කර තිබෙනවා. ඊට ජාත්‍යන්තර රතු කුරුස සමාජයේ ශ්‍රී ලංකා ශාඛාව අනුග‍්‍රහයක් දක්වනවා. එය සාර්ථක තත්ත්වයක්.

ගෝතමාලාව,ආජන්ටිනාව හෝ චිලිය යනාදි මධ්‍යම සහ දකුණු ඇමරිකානු රටවල මේ හා සමාන සමූහ මිනීවළවල් හමුවීම සිදුවුණේ මිලිටරි ඒකාධිපති පාලනයන් බල පැවති කාල වකවානුවලින් පසුවයි. මේ නිසාම ඒ සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු දියත් කළ සිවිල් ආණ්ඩුවල සහ ඉහත කී මිලිටරි පාලන සමයන් අතර හඳුනාගත හැකි ඛණ්ඩනයක් දකින්නට පුළුවන්. නමුත් ශ්‍රී ලංකාවේ සමූහ මිනීවළවල් නිර්මාණය වූයේ සිවිල් සහ ප්‍රජාතාන්ත්‍රික යැයි කියනා ආණ්ඩු යටතේයි. ඒ නිසා එවැනි ඛණ්ඩනයක් දැකිය නොහැකියි. ඒ හේතුවෙන්ම රාජ්‍යයේ අපරාධකාරීත්වය සොයා බැලීමට ස්වාධීන අවකශයක් ලැබෙන්නේ නැහැ නේද?

අජිත්: ඔබ නිවැරදියි. ඔබ පැවසූ ආකාරයේ ඛණ්ඩනයක් නොදැකීම අපේ රටේ දේශපාලනයේ ස්වභාවයක්. ඒ නිසා ස්වාධීන අවකාශයක් විතරක් නොවෙයි, ඒ සදහා අවංක උවමනාවක් නොමැති වීමත් තවත් එවැනිම තත්ත්වයක්. මෙය වෘත්තිකයන් දක්වාම කාන්දු විය හැකි භයානක තත්ත්වයක්. මෙහිදී සිවිල් සමාජ සංවිධානවලට, ජනමාධ්‍යයට සහ ජනතාව ඇති වගකීම් වැඩි විය යුතු බවයි මගේ විශ්වාසය. රාජ්‍යය නිවැරදි නොවන්නේ නම් ජනතාව නිවැරදි විය යුතු බවයි මගේ හැඟීම.

දීර්ඝ කාල වකවානුවක් තිස්සේ කලින් කලට සිදුවන මෙවැනි සමූහ ඝාතනයන් සම්බන්ධයෙන් සොයා බැලීමට කැපවුණු ස්වාධීන යාන්ත්‍රණයක් හෝ යම් කිසි වැඩ පිළිවෙලක් දේශීය විශේෂඥයන්ගේ සහ මානව හිමිකම් ආයතනයන්ගේ පූරෝගාමීත්ය ඇතුව පවතින දේශපාලන බලාධිකාරයට පරිබාහිරව ගොඩ නැංවිය නොහැකිද?

අජිත්: අධිකරණ වෛද්‍ය විශේෂඥවරුන්ද ඇතුළුව මෙම විමර්ශණ කටයුතු සිදුකරනු ලබන නිලධාරීන් සියළු දෙනාම රජයේ නිලධාරීන්. ඔවුන් රටේ පවතින නීතිය සහ අධිකරණ පද්ධතිය තුළ ක‍්‍රියාත්මක වන වෘත්තිකයන් සහ නිලධාරීන්. ඊට පරිබාහිර පිරිස් මෙවැනි කාර්යයක සෘජුව ක‍්‍රියාකිරීමේ හැකියාවක් නැහැ. එහෙත් මා මුලින් පැවසූ ආකාරයටම මේ සම්බන්ධව කටයුතු කිරීමේ ස්වාධීන යාන්ත‍්‍රණයක් සකසා ගැනීමේ හැකියාව මේ සියළු වෘත්තිකයන්ට තියෙනවා. එය ඔවුන් විසින් මේ වන විට ඉටුකරමින් සිටිනවා. ඒ වගේම ඊට සමාන්තරව ඒ කටයුතු දෙස විමසිල්ලෙන් සිටිය යුතු සිවිල් සංවිධාන, ස්වාධීනව කටයුතු කරන  මානව හිමිකම් සංවිධාන සහ ජනමාධ්‍යවේදින් සිටිය යුතු බවත් මා අවධාරණය කරනවා. එය ජනමාධ්‍යවේදීන්ගේ වගේම ජනතාවගේත් වගකීමක්.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.