JDS Sinhala

ලසන්ත ඝාතනය කිරීම මිග් ගණුදෙනු හෙළිදරව්වට සම්බන්ධ බව රහස් පොලිසිය කියයි

න්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන සංස්කාරක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන්නට ඇත්තේ මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ඔහු විසින් ලීඩර් පුවත්පත සඳහා ලියන ලද ලිපියක් හේතුවෙන් බවට සැක කළ හැකි කරුණු හෙළිදරව් වෙමින් තිබේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණවල ප්‍රගතිය විමසීම සඳහා  අංක 92/2009 දරණ අදාල නඩුව පසුගිය  සඳුදා දින (16) ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහයිල් හමුවේ  කැඳවන ලද අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ බව අධිකරණයට දන්වා සිටියේය.

එම ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක්  සිදු කෙරුණු පරික්ෂණවල ප්‍රගතිය පිළිබඳ වැඩිදුර කරුණු  වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ පවසා ඇත්තේ, සිය පියාගේ  ඝාතනයට හේතුව මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ඔහු විසින් ලියන ලද ලිපිය යැයි තමා විශ්වාස කරන බවට ලසන්ත වික්‍රමතුංගගේ දියණිය විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ප්‍රකාශයකට අනුව ය.

ඝාතනයට හේතුව මිග්

මෙම ප්‍රකාශය සහ ඒ පිළිබඳව අධිකරණය හමුවේ සිදු  කෙරුණු කරුණු වාර්තා කිරීම පිළිබඳව විමසීමේදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ලකෑම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ජේඩිඑස් හා කියා සිටියේ ලසන්ත වික්‍රමතුංගගේ දියණිය විසින් මෙයට පෙර අවස්ථාවකදි එවැනි ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කරනු ලැබු බව ය.

"ලසන්ත වික්‍රමතුංගගේ දියණිය සීඅයිඩීය ට ඉතා පැහැදිලි ප්‍රකාශයක් කර තිබෙනවා මිග් යානා ගනු දෙනුවට අදාළව ලීඩර් පුවත්පතට සිය පියා ලියු ලිපිය ඔහුගේ ඝාතනයට හේතුවන්ට ඇති බවට තමන්ගේ විශ්වාසය බව. ඔහු ඝාතනය කරන්න දින කිහිපයකට පෙර ඔහු විසින් තමන් හා එවැනි දෙයක් තමන් හා කියා සිටි බවයි ඇය සීඅයිඩියට දුන්න ඇගේ කට උත්තරයේ සඳහන් කරලා තියෙන්නේ. අපි අපේ පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කෙරුවේ ඒ මත"යැයි ඔහු කීය.

සමානතාවයන් සහිත ප්‍රකාශ

කෙසේ වෙතත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ගොනු කර ඇති වාර්තාවෙ හි වැඩි දුරටත් දැක්වෙනුයේ ලසන්න වික්‍රමතුංගගේ ඝාතනයෙන් පසු යම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් පසුව නිදහස් කළ ඔහුගේ රියදුරු විසින් ලබා දී ඇති කට උත්තරයේ ද මෙම මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු සඳහන් වන බව ය. තමන්ව පැහැර ගත් පිරිස මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් තැන තැන කතා නොකරන ලෙස තමන්ට තර්ජනය කළ බවට ඔහු විසින් කියා සිටි බවට එම වාර්තාවේ දැක් වේ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කොට ඇත්තේද මෙම ප්‍රකාශ දෙකෙහිම යම් සමානතාවයක් පෙනෙන්නට ඇති බව ය.

නමුත් ලසන්ත වික්‍රමතුංගගේ රථයේ තිබි හඳුනා ගනු ලැබු ඇඟිලි සළකුණු සහ ඒ සම්බන්ධව සැකපිට ලබා ගත් ඇඟිලි සළකුණු අතර ගැලපීමක් නොමැති බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.

ඇඟිලි සළකුණු පරස්පරයි

ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව සිදු කෙරෙන පරීක්ෂණවලදි හඳුනාගත් දුරකතන සිම් කාඩ්පත් අදාල පුද්ගලයන් විසින් ලබා ගෙන ඇත්තේ කොළඹ පිටකොටුව ප්‍රදේශයේ වෙළඳ සැළකින් වන බවටද කරුණු  අනාවරණය වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳුදා අධිකරණය හමුවේ පවසා සිටියේය.

සන්ඩේ ලීඩර් පුවත්පතේ පළ කරනු ලැබු ලිපියට පාදක වුයේ එවක පැවති ආණ්ඩුව යටතේ ආරක්ෂක අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීම මත ගුවන් හමුදාව සඳහා යුක්රේනයේ 'යුක්රීන්මාෂ්' (UKRINMASH) නැමති සමාගමක් හරහා ලබා ගත් සහ අලුත් වැඩියා කරන ලද  ගුවන් යනා කිහිපයක් සම්බන්ධයෙන් සිදුවු බැව් පැවසෙන මුල්‍ය වංචාවන් ය. එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත චෝදනා එල්ල කෙරුණු එම ගනු දෙනුව සම්බන්ධයෙන් ඔහු විසින් 2015 ජූනි 04 දින නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ තම 2006 ජූලි මස 26 වැනි දින සිදු කෙරුණු එම ගනු දෙනුවේදි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27  වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා හතරක් මිලට ගත් බව ය. එසේම ගුවන් හමුදාව සතුව පැවති  මිග් 27 යානා තුනක් සහ මිග් 23 යානාවක් අලුත් වැඩියා  කිරිම සඳහාද එම සමාගම සමඟ එම ගනුදෙනුවේදිම ගිවිසුම් අත්සන් කළ බවටත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා එම නිවේදනය මින් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ යුක්රේනයේ යුක්රිින්මාෂ් සමාගම ගැණුම්කරුවන් සහ විකිණුම්කරුවන් ලෙස අත්සන් කරන ලද එම ගිවිසුමට අනුව සියළු ගෙවීම් ලබාගත් පාර්ශවය වන්නේ යුක්රේනයේ බෙලිමිස්සා හොල්ඩින්ග්ස් (Belimissa Holdings) නැමති සමාගම විසින් බව ද ඔහු සිය නිවේදනයෙහි වැඩි දුරටත් කියා සිටියේය.

කෙසේ නමුත් පසුගිය වසරේ අගෝස්තු 9 වැනි දින කොළඹ - කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කරුණු දක්වමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසනු ලැබුවේ මිග් ගනුදෙනුවට අදාළ ලිපි ගොනුව අතුරුදහන් කෙරි ඇති බවටයි.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.