JDS Sinhala

Press Releases

'ම්ලේච්ඡ ශිෂ්‍ය මර්දනය නවතන්නැ'යි ජේඩීඑස් සංවිධානයෙන් නිවේදනයක්

සස් අධ්‍යාපනය පුද්ගලීකරණය සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන යන ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය පළ කරන ශිෂ්‍ය ප්‍රජාව අමානුෂික ලෙස මර්දනය කිරීම වහාම නවතන්නැයි ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන මාධ්‍යවේදීන්ගේ සංවිධානය (JDS) ආණ්ඩුවට බල කර සිටියි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලදුව ඉකුත් ජූනි 21 වැනිදා පැවති විරෝධතා ව්‍යාපාරයේදී  පොලිසිය  විසින් අත්ඩංගුවට ගැනුණු සිසුන් අවම වශයෙන් පස් දෙනෙක්වත් මේ වනවිටත් රිමාන්ඩ් භාරයේ රඳවා සිටියි.

''උසාවිය සහ පොලීසිය යොදාගනිමින්  විරෝධතා මැඩලීමට කටයුතු කිරීම මගින්, අධිකරණ සහ ආරක්ෂක සේවා  ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් මීට පෙර ජාත්‍යන්තරව‍ ලබාදුන් පොරොන්දු ඉටු කිරීකිරීමට අවශ්‍ය දේශපාලන අභිලාෂය තමන්ට නැති බව ආණ්ඩුව නිර්ලජ්ජිත ලෙස පෙන්වා දී ඇතැ''යි ජේඩීඑස් සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

සම්පූර්ණ නිවේදනය පහත පළ වේ:

උසස්  අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව නැඟුණු සිසු විරෝධය මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකාවේ 'යහපාලන'  ආණ්ඩුව විසින් රාජ්‍ය ආයතන මෙහෙයවනු ලැබීම  ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන මාධ්‍යවේදියෝ සංවිධානය (JDS) තරයේ හෙලා දකියි.

ජූනි 21 වන දා කොළඹ පැවති ශිෂ්‍ය විරෝධතා රැළිය පොලිස් කැරළි මර්දන ඒකකයට හා විශේෂ කාර්ය බලකායට අයත් සෙබළුන් විසින් දරුණු ලෙස මර්ධනය කරනු ලැබීමෙන් නොනැවතුණු ආණ්ඩුව අධිකරණ නියෝගයක්ද ලබා ගනිමින් ශිෂ්‍ය ක්‍රියාකාරීන් පස් දෙනෙක් අත්අඩංගුවේ රඳවාගෙන සිටියි.

මෙතෙක් එල්ල කරන ලද දරුණුතම සැලසුම් සහගත පහරදීම බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් හඳුන්වනු ලැබ ඇති මෙම ප්‍රහාරයෙන් විශාල සිසු - සිසුවියන් පිරිසක් තුවාල ලබා තිබේ.

මහ දහවලේ සිදු වූ එම මර්දනයෙන් අනතුරුව පොලීසිය හා බුද්ධි අංශයේ නිලධාරීන් විසින් අත්ඩංගුවට ගන්නා ලද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වන ලහිරු වීරසේකර, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු වන ටැම්පිටියේ සුගතානන්ද හිමි, ෆයිස්දීන් ෆයිසාන් අහමඩ්, දිනේශ් මධුරංග, ඉසුරු චින්තක සහ දිමුතු ලක්ෂාන් යන සිසුන් අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව රක්ෂිත බන්නාධගාර ගත කරනු ලැබ සිටිති.

පවත්නා මර්දනකාරී තත්ත්වය තවදුරටත් තීව්‍ර කරමින්, පොලීසියේ බලකිරීම් මත අධිකරණය මගින් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු මංගල මද්දුමගේ ඇතුළු රයන් ජයලත්, විශ්ව දන්දෙණිය, අමිල සඳරුවන්, සනත් බණ්ඩාර, චින්තක සිරිමෙවන් සහ මහගල්වැව රාහුල හිමි යන ශිෂ්‍ය ක්‍රියාකාරීකයන් ද අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරනු ලැබ තිබේ.

මෙම දරුණු මර්දනකාරී පිළිවෙතට අනුව රටපුරා තවත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් සියයක් පමණ  අත් අඩංගුවට ගැනීමට ඇති පොලිස් සැලසුම් පිළිබඳ කොළඹ  මාධ්‍ය විසින් කරන ලද අනාවරණයන් නිසා පවතින බියජනක තත්ත්වය වැඩි දුරටත් වර්ධනය වී ඇති අතර ආරක්ෂාව සොයා සැඟවී සිටීමට ශිෂ්‍ය ක්‍රියාකාරීන් පෙළඹී ඇති බව ද වාර්තා වේ.

මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇත්තේ නොමිලේ අධ්‍යාපන පිළිවෙතට පටහැනිව යමින්  දකුණු ආසියානු තාක්‍ෂණික සහ වෛද්‍ය ආයතනය නමින් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙනයන වැඩ පිළිවෙලට එරෙහිව අඛණ්ඩව සංවිධානය කරන ලද ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරයේ පෙරමුණ ගෙන ක්‍රියාකළ  ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් ය.

උසාවිය සහ පොලීසිය යොදාගනිමින්  විරෝධතා මැඩලීමට කටයුතු කිරීම මගින්, අධිකරණ සහ ආරක්ෂක සේවා  ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් මීට පෙර ජාත්‍යන්තරව‍ ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට අවශ්‍ය දේශපාලන අභිලාෂය තමන්ට නැති බව ආණ්ඩුව නිර්ලජ්ජිත ලෙස යළිත් පෙන්වා දී ඇත.

බන්නාධගාර ගතකළ ශිෂ්‍ය නායකයන් වහාම නිදහස් කරන ලෙසට රජයට බලකර සිටින ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන මාධ්‍යවේදීන්ගේ සංවිධානය, විරෝධය පළ කිරීම සඳහා සිසුන්ට ඇති ප්‍රජාතාන්ත්‍රික අයිතිය ස්ථාපිත කරන මෙන් ශ්‍රී ලංකාවේ වගකිවයුතු අංශවලට බලපෑම් කරන්නැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලින් ද ඉල්ලා සිටියි.☐

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදීයෝ

2017 ජූලි 12

 

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.