JDS Sinhala

මාතලේ මිනිස් දඩබිම: 'යකඩ පොල්ලකින් ඔළුවලට ගහලා උරහිස් දෙපැත්තට ඇණ ගැහුවා'

හැඳින්වීමක් සහ පූර්විකාවක්

එළැඹ ඇත්තේ නොවැම්බරයකි. 1989 දකුණේ තරුණ කැරැල්ල මර්දනය කිරීමේ තිස් අවුරුදු සංවත්සරය වැටී ඇත්තේ ද මේ නොවැම්බරයට ය. ශ්‍රී ලංකාවේ අටවැනි ජනාධිපතිවරණය සඳහා දින නියම වී තිබෙන්නේ ද මේ මාසයේ ය. ඒ සඳහා ඉතිරිව ඇත්තේ තවත් එක් දවසකි.

1988 දෙසැම්බරයේ සිට ජනාධිපතිධූරය දැරූ රණසිංහ ප්‍රේමදාසගේ දෙටු පුත් සජිත් ප්‍රේමදාසත්, 1989 මැයි මාසයේ සිට මාතලේ දිස්ත්‍රික්කයේ යුද හමුදා සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් ක්‍රියාකළ කර්නල් ගෝඨාභය රාජපක්ෂත්, 1989 තරුණ නැගිටීමට සම්බන්ධ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාධරයකු වූ අනුර කුමාර දිසානායකත් ජනාධිපතිධූරය සඳහා ප්‍රධාන වශයෙන් තරඟ වදිති. භීෂණ යුගයට සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකට ඇති සම්බන්ධය ගැන ලියන්නන්, ගෝඨාභය රාජපක්ෂ ඒ සමයේ මාතලේ දිස්ත්‍රික්කයේ 'ලොකු ළූණු වගා කරමින්' සිටින්නට ඇතැයි කල්පනා කරන සෙයකි.

මේ ලිපිය ඒ සැකය දුරුකරනු ඇතැයි අපි කල්පනා කරමු.

2012 මැයි මාසයේ දී එළි දැක් වූ 'Gota's War' හෙවත් 'ගෝඨාගේ යුද්ධය' පොත ලියා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ වීරාභිෂේක කරනු පිණිස ය. එය ලියන ලද්දේ 'දි අයිලන්ඩ්' පත්‍රයේ නියෝජ්‍ය කර්තෘවරයකු වූ සී ඒ චන්ද්‍රපේම විසිනි. 1989 කැරැල්ල සමයේ කැරළිකාරී තරුණයන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට රාජ්‍ය හමුදා සමග ක්‍රියාකළ අතුරු හමුදා කල්ලියක් වූ මහජන විප්ලවකාරී රතු හමුදාව හෙවත් 'ප්‍රා' සංවිධානයට සම්බන්ධ 'තඩි ප්‍රියන්ත' යනු මේ චන්ද්‍රපේම බව කුප්‍රකට කරුණකි. මේ කියන 'තඩි ප්‍රියන්ත' විසින් ලියූ 'ගෝඨාගේ යුද්ධය' ගැන පොත ප්‍රකාශයට පත්කරන ලද්දේ 1989 සංහාරය සිදුවන විට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ක්‍රියාකළ රන්ජන් විජේරත්න වෙනුවෙන් පිහිටුවනු ලැබ ඇති අනුස්මරණ පදනම මගිනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මූලිකත්වයෙන් කොළඹ වෝටර්ස් එජ්හි පැවැති පොත එළිදැක්වීමේ උත්සවයේ පිළිගැනීමේ කතාව කරන ලද්දේ නැසීගිය රන්ජන් විජේරත්නගේ ලේලියක වූ භාරතී විජේරත්න විසිනි. රාජපක්ෂ පාලන සමයේ තුර්කියේ තානාපති ධූරයට පත්කර යවන ලද්දේ මේ භාරතී විජේරත්න ය. රන්ජන් විජේරත්න පදනම වෙනුවෙන් 'ගෝඨාගේ යුද්ධය' කෘතිය එළිදැක්වීමට සහභාගී වූ පිරිස් පිළිගන්මින් උත්සව සභාව ඇමතූ ඇය මෙසේ කීවා ය:

"මෙම පොත ප්‍රකාශනය හා එළිදැක්වීම ගැන සී ඒ චන්ද්‍රපේම මා සමග සාකච්ඡා කළ විට, මේ සම්පූර්ණ ක්‍රියාදාමය සමග රන්ජන් විජේරත්න පදනමට සම්බන්ධ වීමට ලැබීම ගැන මම ඉමහත් සතුටට පත්වීමි. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී මගේ මාමා (රන්ජන් විජේරත්න) හා ගෝඨාභය රාජපක්ෂ බොහෝදුරට කල්පනා කරන ලද්දේ එකම ආකාරයට ය. එකිනෙකට වෙනස් ත්‍රස්තවාදී ප්‍රශ්න දෙකක් අවසන් කිරීම වෙනුවෙන් ඔවුන් දෙදෙනාම කල්පනා කළ කළ ආකාරය එක හා සමාන ය. මගේ මාමා වූ දිවංගත රන්ජන් විජේරත්න, එවකට විපක්ෂ දේශපාලකයකු වූ ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සමීප සම්බන්ධයක් තිබූ බව බොහෝ දෙනා නොදන්නා කරුණකි.....ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ හමුදාවෙන් ඉවත්වීම ගැන මගේ මාමා හැමවිටම විරුද්ධ වූයේය. මෙය පවුලේ උදවිය හොඳින් දන්නා කරුණකි. නමුත් මගේ මාමාගේ මරණයෙන් පසු ඔහු යුද හමුදාව හැර ගියේය. ඇමරිකා එක්සත් ජනපදයේ දී ගෝඨාභය රාජපක්ෂ, රන්ජන් විජේරත්නගේ පුත් රොහාන් විජේරත්න සමග මිත්‍ර සන්ථවයක් පවත්වාගෙන ගියේය."

ප්‍රා සංවිධානයේ කුප්‍රකට සාමාජිකයකු වූ චන්ද්‍රපේම විසින් ගෝඨාභය අභිනන්දනය කිරීම සඳහා ලියන ලද පොතක් එළි දක්වන අවස්ථාවේදී,  දකුණේ තරුණ සංහාරයේ නියමුවකු වූ රන්ජන් විජේරත්න හා ගෝඨාභය රාජපක්ෂ අතර තිබූ කදිම සම්බන්ධය ගැන රන්ජන්ගේ ලේලිය විසින් ගෝඨාභය හා මහින්ද යන දෙනොම ඉදිරියේ තබාගෙන කියන ලද මේ කතාව ඒ සංහාරයට තිස් අවුරුද්දක් පිරෙන විට පවා ලංකාවේ බොහෝදෙනා නොදනිති.

ගෝඨාභය ගැන චන්ද්‍රපේම විසින් ලියන ලද කෘතියේ 28 වැනි පරිච්ඡේදය වෙන්ව ඇත්තේ ජවිපෙ දෙවැනි නැගිටීම හා ගෝඨාභය අතර ඇති සම්බන්ධය පැහැදිලි කරනු පිණිස ය. ඒ පරිච්ඡේදයේ, චන්ද්‍රපේම මෙසේ ලියයි:

"1989 මැයි 1 වැනිදා, කර්නල් විමලරත්න බ්‍රිගේඩියර් තනතුර දක්වා උසස් කරන ලදුව, ගෝඨා ගජබා රෙජිමේන්තුවේ පළමු බල ඇණියේ අණදෙන නිලධාරී තනතුරට පත්කැරිණි..... මේ උසස්වීමත් සමඟ ඔහු ජවිපෙ ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් මාතලේ දිස්ත‍්‍රික්කයට පත්කර යැවිණි. වසර එකහමාරකට ආසන්න කාලයක් ත‍්‍රිකුණාමලයේ සේවයේ නියුතුව සිටි ගජබා පළමු බල ඇණිය මාතලේ කරා ගෙන එන ලදී. ෂවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස් හා සුමේධ පෙරේරා යන ලූතිනන්වරු මාතලේ ඔහුගේ සෙසු අණදෙන නිලධාරීහු වූහ."

මේ කතාව එතැනින් අවසන් නොවේ. එවකට විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයකු වූ මහින්ද රාජපක්ෂගේ සහෝදරයා මාතලේ දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් පත්කිරීම ගැන ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂ දේශපාලකයන් රාජ්‍ය ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්නට සිය කණස්සල්ල පළ කළ බවත් ඒ සම්බන්ධයෙන් ගෝඨාභය දැනුවත් කිරීම රන්ජන් විජේරත්න කටයුතු කළ බවත් චන්ද්‍රපේම කියයි. පොතෙහි දැක්වෙන ඒ විස්තරයට අනුව, ගෝඨාභය හමු වූ රන්ජන් මෙසේ කියා ඇතැයි චන්ද්‍රපේම සිය කෘතියේ කියයි :

"ඔබ ඉවත් කිරීමට මට උවමනා නැත. ඔබේ රාජකාරිය දිගටම කරගෙන යන්න. කවුරු හෝ දේශපාලකයකු ප්‍රශ්න ඇති කළොත් ඒ ගැන මට කියන්න."

දකුණේ තරුණ මර්දන මෙහෙයුම්වල ප්‍රධානතම සැළසුම්කරුවා වූ රන්ජන් විජේරත්නගේ විශ්වාසය ගෝඨාභය රාජපක්ෂ විසින් දිනාගන්නා ලද්දේ කෙසේදැයි බොහෝදෙනා නොකියති. ජනතා විමුක්ති පෙරමුණේ නැගිටීම මැඩලනු වස් රජය විසින් ගෙනයන ලද තරුණ සංහාරක පිළිවෙත්වල ලේවැකි ප්‍රතිවිපාක ගැන කොළඹ සිංහල පත්තරවල මාරක කතා අතිරේකවලට කොටස් වශයෙන් ලියන ධර්මන් වික්‍රමරත්නට මාතලේ කැරළි මර්දන ක්‍රියා ගැන මෙසේ ලියයි:

"මාතලේ දිස්ත්‍රික්කයේ කැරලිකරුවන් සහ සැකකරුවන් රඳවා සිටි ස්ථාන අතර තානායම් ගොඩනැගිල්ල, රෙඩ්බානා කඳවුර, විජය විද්‍යාලයේ ගුණසේන ශාලාව, අඹවත්ත මහා විද්‍යාලය, බණ්ඩාරපොළ කඳවුර, මාතල් ක්‍රිස්තුදේව විදුහල අසළ තිබූ කඳවුර, වරකාවල පෝසිලේන් කම්හල ඉදිරිපිට මත්තව යුද හමුදා කඳවුර, නාඋල අරංගල වී ගබඩාව, කූඹියන්ගොඩ විහාරස්ථානය, ඕවිලිකන්ද යුද හමුදා කඳවුර, අරංගල නාඋල යුද හමුදා කඳවුර, රත්තොට කටාරන්තැන්න බංගලා යුද හමුදා කඳවුර, උකුවෙල යුද හමුදා කඳවුර, උඩුපිහිල්ල යුද හමුදා කඳවුර, හෙට්ටිපොල යුද හමුදා කඳවුර, නාගොල්ල පාරේ කාර්මික පුහුණු විදුහල යන කඳවුරු විය. ඒවායේ රඳවා සිටියදී බොහෝ සැකකරුවෝ සහ කැරලිකරුවෝ වධ බන්ධනවලට ලක්වූහ......මාතලේ දිස්ත්‍රික් කැරලිකරුවෝ ආරක්ෂක අංශවල සාමාජිකයින් සහ ඔවුන්ගේ ඥාතීන් 100ක ආසන්න පිරිසක් මාතලේ දිස්ත්‍රික්කය තුළ ඝාතනය කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස දඹුල්ල පාලටුවාවේ එක ගමක 52ක්ද උඩුපිහිල්ලේ අත් පිටුපසට බැඳ තිබූ තරුණයින් 18ක්ද වාරියපොළ වත්ත, අංකුඹුර, වෙලන්ගහ වත්ත වැනි ස්ථානයන්හි ගම්වැසියන් පිරිස් වශයෙන් ඝාතනයට ලක්වූහ. කැරලිකරුවන් විසින් මාතලේ පොලිසියේ සේවය කළ මුවන්දෙනිය වැටස්යාය ගමේ පොලිස් නිලධාරිනියක් වූ නන්දනී සේවයෙන් ඉල්ලා අස්නොවීම නිසා ඇයගේ නිවසේදී ඝාතනය කළ අවස්ථාවේදී පසුදා එම නිවසට යන මාර්ගයේ තරුණයින් 28 දෙනෙකු කපා කොටා වෙඩිතබා ඝාතනය කර තිබිණි. තවත් තුන්දෙනකු එලෙසින්ම උඩවේරගම මකුළතැන් පන්සල ඉදිරිපිටදී ඝාතනය කර තිබිණි. මෙසේ ඝාතනයකර තිබූ තරුණයින් 28 දෙනා ලොරිවල දමාගෙන ගෙනවිත් තිබුණේ නුවර සහ දඹුල්ල ප්‍රදේශයෙනි. ඔවුහු දඹුල්ලේ පැල්වෙහෙර රජයේ ගොවිපළේ වධකාගාරයේ සහ පල්ලකැලේ කඳවුර අසල ගඟන් එගොඩ සියඹලාගස ඉදිරිපිට වර්තමානයේ හෝටලයක් ඉදිකර ඇති ස්ථානයේ පිහිටා තිබූ වධකාගාරයේ සිටි තරුණයින් පිරිසකි."

මේ වනවිට ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ උද්‍යෝගීමත් හවල්කරුවකු වන ධර්මන් වික්‍රමරත්න, 1989 මාතලේ දිස්‍ත්‍රික්කයේ සිදුවූ ඝාතන හා වධකාගාර ගැන ලියන අනුවේදනීය සටහන්වල කිසි තැනක ප්‍රදේශයේ හමුදා ප්‍රධානියා වශයෙන් ගෝඨාභයට ඇති විධාන වගකීම ගැන වචනයක් හෝ නොලියන්නට ප්‍රවේශම් වේ. මේ වනාහී '90 දශකයේ මැද භාගයේදී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග විසින් පත්කරනු ලැබු වයඹ, මධ්‍යම, උතුරුමැද හා ඌව පළාත්වල පැහැරගෙන යාම් හා අතුරුදහන් වුවන් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ වින්දිත ජනයා විසින් ලබාදුන් සාක්ෂිවල ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ සිදුකරන ලද සෘජු සඳහන්කිරීම් පවා තිබියදී ය.

 උදාහරණයක් වශයෙන් මාතලේ, මුවන්දෙනිය, වැටස්යාය ලිපිනයේ පදිංචිව සිටි එවකට 68 වන වියේ පසු වු වාසලආරච්චි සරත් චන්ද්‍රසිරි නැමති අය සිය පුත්‍රයා වු ඩබ්ලියු. ඒ. සිසිර කුමාර වාසලආරච්චි ගේ අතුරුදහන්වීම පිළිබඳව කොමිසම හමුවේ ලබා දී ඇති සාක්ෂියේ මෙසේ සඳහන් වේ.

''මගේ පුතා 1989 නොවැම්බර් 10 වැනි දින රාත්‍රි 2.30 ට පමණ නිවසේ සිටියදි අල්ලාගෙන ගියා. කළු පාට ටී ෂර්ට් සහ කළු කොට කලිසම් ඇඳ ටී 56 තුවක්කු අරන් ඇවිත් තිබුණේ. පුතාව එළියට අරන් වෙඩි හයක් විතර තිබ්බා. ගෙයින් පිටත 25 පමණ රැඳි සිටියා. පුතා අරන් යන කොට මමත් පස්සෙන් ගියා. වාහන දෙකක් පාර අයිනේ තිබුණා. අංක තහඩු නැහැ. පැජරෝ එක නිල් පාටයි. ඩෙලිකා එක සුදුපාටයි. එදා සිට පුතාව හෙව්වත් හමුවුණේ නැහැ. පුතා හමුදාවේ ඉංජිනේරු අංශයේ කෝප්‍රල් කෙනෙක්. පුතා පැහැර ගන්න කොට හමුදාවෙන් ඉවත් වෙලයි හිටියේ. පුතා ගැන හමුදාවෙන් විමසුවා. මාතලේ විජය කඳවුරේ 'ගෝඨාභය රාජපක්ෂ' මහතාගෙන් විමසුවාම අපි නොවෙයි ගෙනාවේ පොලිසියෙන් යැයි කිවුවා.''. (යට ගිය දවස දකුණේ සංහාර සාක්‍ෂි යළි කියවා බැලීම)

මාතලේ විජය විද්‍යාලයේ උසස් පෙළ පන්තිවල සිටි සුසන්ත ජනක හා රෝහණ නිශාන්ත යන සිය පුතුන් දෙදෙනා පැහැරගැනීමට ලක් වූ මාතලේ උකුවෙල වරාකන්දවත්තේ කේ ජී කමලාවතී මාතලේ සමූහ මිනීවළ පිළිබඳ පරීක්ෂණ සිදුවන අතරතුර 2013 අප්‍රේල් මාසයේදී කරන ලද ප්‍රකාශයක සඳහන් කරන්නේ තමන් ප්‍රදේශයේ දේශපාලනඥයකු වූ නන්දිමිත්‍ර ඒකනායක හමු වූ විට හමුදා සම්බන්ධීකරණ නිලධාරී ගෝඨාභය රාජපක්ෂ හමුවන ලෙස ඔහු උපදෙස් දෙන ලද බව ය. ඇය මෙසේ ද කියයි:

"මෙහෙන් මහින්ද රාජපක්ෂ අ‍පේ ළමයි පැහැරගෙන යන එක ගැන කතා කරනවා. ඒ අතරෙම එයාගෙ මල්ලි හමුදාවේ ඉන්න එක මට අදහාගන්න බැරිවුණා… මන්ත්‍රීතුමා කිවුවා දරුවො දෙන්නා ගැන ගෝඨාභය රාජපක්ෂ මහත්තයට කියලා තියෙන්නෙ කියලා. ඒත් මම එයා හමුවෙන්න ගිය වෙලාවෙ කෝප්‍රල් සිල්වා කියන කෙනා මට ගෝඨාභය හම්බුවෙන්න යන්න දෙන්න බෑ කියලා එතනින් යන්න අණ කළා.” 

තිස් අවුරුද්දකට පසු දැන් දකුණේ 'සිංහල බෞද්ධ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාව' බවට ගෝඨාභය රාජපක්ෂ පත්ව තිබේ. ඒ වනාහී තෝරාගත් මිනීමරු ඉතිහාස පදාස සහමුලින්ම අමතකව යාමේ මාරාන්තික රෝගයේ ආනුභාවයෙනි. අතීත සංහාරයන්ට උරුමකම් කියන ප්‍රේමදාස පරම්පරාවෙන් හෝ රාජපක්ෂ පරම්පරාවෙන් හෝ ඒ සංහාරයන් විසින් කියාදුන් ඉතිහාස පාඩම්වලට හා ලේ වැකි මතකයට පයින් ගසා දස අවුරුද්දකට කලින් දෙමළ ජන සංහාරයට උනන්දුවෙන් දරදිය අදින ලද ජවිපෙන් ගැළවුම් මාර්ගයක් සොයාගන්නට සිදුවීම මගින් පෙන්නුම් කරන්නේ 17 වැනිදා උදෑසන වනවිට හෙළිවීමට නියමිත දකුණේ විපරීත ප්‍රජාතන්ත්‍රවාදයේ විරූපී රහස හැර අන් කුමක්ද?

පහතින් පළවන ලිපියෙන් ඇරඹෙන ලිපි මාලාව තිස් වසරකට පෙර මාතලේ දිස්ත්‍රික්කයේ මිනිස් දඩබිම් පිළිබඳ අප්‍රකට තොරතුරු ඇසුරෙන් ලියැවුණකි. මේ දක්වා ප්‍රසිද්ධ නොකෙරුණු සාක්ෂි සටහන් හා නෛතික ලියැවිලි මගින් අනාවරණය කෙරෙන දකුණේ සංහාර ඉතිහාසය ඊට අදාළ සන්දර්භය නොමකා විධිමත්ව ලේඛනගත කිරීම සඳහා ජේඩීඑස් විසින් දරන අනවරත ප්‍රයත්නය මේ ලිපි මාලාව මගින් ද පෙරටගෙන යනු ලැබේ.

- සංස්කාරක කමිටුව


ක් දහස් නවසිය අසූ නමයේ ඔක්තෝබර් මාසයේ 29 දා, වත්තේගම පොලිස් වසමේ දුනුවිල ගම්මානය සතර අතින් වට කරන රජයේ ආරක්ෂක හමුදා සහ පොලිස් බලමුළු ගම්මානයේ වැඩිහිටි පිරිමි සහ තරුණයන් සියළු දෙනා එක් තැනකට රැස් කරනු ලැබූහ. පසුව එම පිරිසෙන් පුද්ගලයන් 61 දෙනෙක් වෑන් සහ ජීප් රථවල පටවා රැගෙන යන්නේ ඔවුන්ගේ සමීපතමයන්ගේ විලාප හඬ මධ්‍යයේ ය.

එදින හමුදාවෙන් රැගෙන ගිය ඩබ්ලියු.එම් වීරසූරිය යන අයගේ මෑණියන් වන, ලියනගොඩ, අඹර, දුනුවිල අත්තනායක මුදියන්සේලාගේ මුදලි මැණිකේ මාතාව එයින් දසවසකට පසුව, 1998 සැප්තැම්බර් 26 දින, සිය පුතු අහිමිවීමේ මතකය අවදි කරන ලද්දේ කුණ්ඩසාලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවති ''තැනැත්තන් බලහත්කාරයෙන් ඉවත්කරගෙන යාම් හෝ අතුරුදහන් කිරීම් පිළිබඳ ජනාධිපති කොමිසම" හමුවේ සාක්ෂි ලබා දෙමිනි.

"ස්වාමීනි, මගේ පුතා වීරසුරිය බණ්ඩා යන අයයි. මම මැරෙනකම් මට ඒ දවස අමතක කරන්න බැරි වෙයි. පුතා හිටියේ ගෙදර නිදාගෙන. හමුදාවයි, පොලිසිය යි අපේ ගම වට කෙරුවා. ඊට පස්සේ ගමේ හිටිය වැඩිහිටි පිරිමි, තරුණ ළමයි හැමෝම එක තැනකට රැස්කරලා 61 දෙනෙක් අරන් ගියා. මම විලාප තියලා කෑගැහුවා. අපේ ළමයි අරන් යන්න එපා කියලා අපි ඇඬුවා. වාහන පස්සෙන් දිවුවා. බැඳපු අය අරන් යන කොට ගෑණු අය පස්සෙන් ගිහින් 'මහත්තයාව අරන් යන්න එපා' කියලා හමුදාවේ අයගේ කකුල් ළඟ වැඳ වැටුනා.එත් අපිට අපේ දරුවන්ව බේරා ගන්න බැරි වුණා ස්වාමිනී".

කොමිසමේ සභාපතිනිය වු නීතිඥ මනෝරි මුත්තෙට්ටුවේගම ප්‍රමුඛ කොමසාරිස් මඩුල්ල හමුවේ මුදලි මැණිකේ මාතාව හඬා වැළපෙමින් වැඩිදුරටත් මෙසේද පැවසී යැයි ඇගේ සාක්ෂි සටහන්වල දැක්වෙයි.

"පුතාව අරන් ගියාට පස්සේ පුතාව හොය, හොයා හැම කඳවුරක්, කඳවුරක් ගානෙම ගියා. පොලිසියෙන්, පොලිසියට ගියා. හැමෝම කිවුවේ අපි ගෙනාවේ නෑ, අපි ගෙනාවේ නෑ කියලායි. ඒත් අන්තිමට දැන ගත්තා මාතලේ විජය විදුහල් කඳවුරේ තියන් ඉන්නවා කියලා. ඒ කඳවුරට ගියාම එතන හිටිය හමුදාවේ අය පුතාව බලන්න දෙන්න බෑ කියලා මට කිවුවා මැතිණියනි".

මනෝරි මුත්තෙට්ටුවගමගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිසම මහනුවර, හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි 1999 ජූලි 17 දින කරන ලද සාක්ෂි විමසීමේදි එම්.ආර්.කේ ස්වර්ණලතා නැමැත්තිය මෙසේ කියා තිබේ.

"මගේ නංගිගේ නම එම්.ආර්.කේ. සුනේත්‍රා රාජකරුණා. එයා උසස් පෙළ සමත්වෙලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධිය හදාරමින් හිටියේ. 1989 සැප්තැම්බර් 9 දා ආයුධ සන්නද්ධව ආපු හමුදාවේ පිරිසක් නංගිව පැහැර ගෙන ගියා. දවස් කිහිපයකට පස්සේ වෙඩි තියලා මරා දමා තිබුණු නංගිගේ මළ සිරුරු ගම්මැද්දේ දාලා තිබ්බා. නංගිගේ මළ සිරුරුත් එක්ක තවත් ගෑණු ළමයි හතර දෙනෙකුගෙයි, තරුණ පිරිමි කෙනෙක්ගෙයි සිරුරුත් දමා තිබුණා. ඒ අයත් මරලා තිබුණේ වෙඩි තියලා".

'වධ විඳපු හාමුරුදුවරුත් වැටිලා හිටියා'

පැහැරගැනීම් හා සම්බන්ධ වධහිංසා පැමිණවීම් පිළිබඳ බිහිසුණු යථාර්ථය අනාවරණය කරන්නට වික්‍රමගෙදර ජයසිංහ බණ්ඩාගේ සාක්ෂිය සෑහේ.

"1989 දෙසැම්බර් 14 දා රෑ 10 ට විතර හමුදාවෙන් ඇවිත් කට උත්තරයක් ගන්න තියනවා කියලා මගේ ඇස් බැඳලා අරන් ගියා. දවස් කීපයකට පස්සේ මම දැක්කා මාව රඳවාගෙන හිටපු තැන තව ගොඩක් අය ඉන්නවා. හමුදුරුවරුත් හිටියා.ගොඩක් අයට නැගිට ගන්නවත් බැරිව හිටියේ. එච්චර වධ දීලා. එතන කෙළවරක පෝරණුවක් තිබුණා. ටයර් ගොඩවල් කිහිපයකුත් පැත්තක ගොඩ ගහලා තියනවා දැක්කා. මට ඉතාම දරුණු විදිහට පහර දුන්නා. හුස්ම ගන්න බැරි වෙනකම් කිහිප වතාවක් මගේ බෙල්ල මිරිකුවා. දවස් කිපයකට පස්සේ තව තුන් දෙනෙක් එක්ක වාහනේක දාගෙන ඇවිත් මහයියාව කනත්ත ළඟ මාව දමලා ගියා".

ජයසිංහ බණ්ඩා පැහැර ගැනීමට පෙර එදිනම පැහැර ගෙන ඇති රණවන අශෝක රත්නප්‍රිය, ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් මෙසේ පවසා තිබුණි.

"මම මළ ගෙදරක ඉන්න කොට හමුදාවෙන් කට්ටියක් ඇවිත් මාවයි, තවත් දෙන්නෙක්වයි අල්ලා ගත්තා. පස්සේ අපේ කටවල් කපලා ඇස් බැඳලා වාහනේක දාගෙන ගියා. ජයසිංහගේ ගේ තියන තැන පෙන්නපල්ලා කියමින්. අතර මගදි යකඩ පොල්ලකින් අපේ ඔළුවලට ගැහුවා. උරහිස් දෙපැත්තට ඇණ ගැහුවා. කඳවුරට අරන් ගිහින් එක දිගට සතියක් විතර පහර දුන්නා. අපිත් එක්ක අරන් ගිය විජේබණ්ඩාව අදටත් හොයා ගන්න නෑ".

2015 දෙසැම්බර් මස 4 වන දින, 'යටගිය දවස දකුණේ සංහාර සාක්ෂි යළි කියවා බැලීම' යනුවෙන් ලිපියක් ජේඩීඑස් වෙබ් අඩවියේ පළවිය. එහි සටහන්ව කෙරුණේද මාතලේ දිස්ත්‍රික්කයේ සහ තදාසන්න ප්‍රදේශවලින් පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලද මිනිසුන් සිය ගණනක් පිළිබඳව අප සතු තොරතුරු වලින් බිඳකි. ඒ තොරතුරු සියල්ලම ලිඛිත සාක්ෂි ලෙස ජනාධිපති කොමිසම් සහ පරික්ෂණ මණ්ඩල හමුවේ ලියැවි ඇති දෑය. මාතලේ දිස්ත්‍රික්කය පුරා ස්ථානගත කොට තිබුණු යුධ හමුදා කඳවුරු,රැඳවුම් මධ්‍යස්ථාන සහ වධකාගාරවල ගාල්කොට වධ බන්ධනයන්ට පමුණුවා අතුරුදහන් කරන ලද මිනිසුන් පිළිබඳව ඔවුන්ගේ සමීපතමයන් පවසන හද කම්පා කරන දෑ වලින් එම සාක්ෂි සටහන් පිරී ඇත.
1987 සිට 1991 අතර කාලය දක්වාම ,ඇතැම් විට එයටත් වඩා දිගු කාලයක් පුරා හමුදාවෙන්,පොලිසියෙන් මෙන්ම හඳුනා නොගත් සන්නද්ධ අතුරු හමුදා කණ්ඩායම්වලින් පැමිණ මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ගම්මාන පීරමින් පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලද මිනිසුන් පිළිබඳව යම් තරමින් හෝ සවිස්තරාත්මක තොරතුරු හෙළිදරවු වන්නේ දේශපාලන බල හුවමාරුවකින් පසුව ස්ථාපිත කෙරෙන නාම මාත්‍රික කොමිසම් සභා හේතුවෙනි. නමුත් පසුව සාක්ෂි විමසීම් ද නිසි පරිදි සටහන් නොකරම සියල්ල යටපත් කෙරෙන්නේ එයින් දශකයකට එපිටදි මිනිමරුවන්, අපරාධකරුවන් ලෙස නම් කෙරුණු හමුදා සෙබළුන් උතුර ජය ගැනීම වෙනුවෙන් රණවිරුවන් ලෙස බෞතිස්ම කරමිනි. මිනී කඳු මතින් ඇතිකළ කම්පනය සූරා කමින් බලයට පැමිණි චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිවරිය, තමන් විසින්ම පත්කරන ලද කොමිසම්වල සියළු වාර්තා තිස් වසරක් යනතුරු කිසිවකුටත් බැලිය නොහැකි වන සේ අගුලුලාන්නේ දේශපාලන බල තණ්හාවත්, ජාතිවාදීන්ගේ මනදොල සැපිරීමත් වෙනුවෙනි.

'මාතලේ සමූහ මිනීවළ'

එහෙත් එයිනුත් දශක දෙකකට පමණ පසුව මේ කතාව අලුත් පිටුවක ලියැවෙන්නට පටන් ගන්නේ ය. අලුත් පිටුවක, අලුත් වටයකින් ලියැවෙන මේ සියල්ල පෙර සඳහන් කෙරු ජනාධිපති පරික්ෂණ කොමිසම් සභා ගණනාවක විටින් විට ලියැවුණු, කියැවුණු දුක් අඳෝනාවන් ය. ඒ සියල්ල එක පෙළට තබා බලන්නේ නම් එකම නම, එකම කතාව, එකම සාක්ෂිය කොමිසම් සභා කීයක ලියැවි තිබේ දැයි තේරුම් ගැනීම අපහසු නොවේ. ඒ වළදැමු අතීතය යළි මතකයට නන්වමින් මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාව සිටි අජිත් ජයසේන 2013 දෙසැම්බර් 18 දාතමින් මාතලේ මහේස්ත්‍රාත්වරියව සිටි චතුරිකා ද සිල්වා වෙත ලියනු ලැබු ලිපියෙහි එක් තැනක මෙසේ සඳහන් කරයි.

"මේ දක්වා හමුවු ඇට සැකිලිවල සංඛ්‍යාව, ඒවායේ පිහිටීම සහ මිහිදන් කළ ආකාරය සැලකීමේදි ඒවා සුසාන භූමියක මිහිදන් කළ තත්ත්වයක් නොපෙන්වන අතර, සඟවා මිහිදන් කළ ආකාරයක් පෙන්වයි. තවද, මෙම ඇට සැකිලිවල මොට ආයුධ, තියුණු ආයුධ සහ ගිනි අවි හේතුවෙන් සිදුවු අස්ථි භග්න වීම් නිරීක්ෂණය කළ හැක. හිස කඳින් වෙන්කර ඇති ආකාරයත්, පූර්ව සහ අපරගාත්‍රා දේහයෙන් වෙන්කර ඇති ආකාරයත් නිරීක්ෂණය කිරීමෙන් පෙනීයන්නේ මෙහි අපරාධ ස්ථානයක සළකුණු ඇති බව ය".

අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේනයන් විසින් මහේස්ත්‍රාත්වරියගේ අවධානයට හසු කරන්නට වෙර දැරු මේ සුවිශේෂි සුසානය කුමක්ද? මෙයට පෙර පරිච්ඡේදයන්වල අතුරුදහන්වුවන් පිළිබඳව ලියවුණු දෑ සහ වෛද්‍ය ජයසේනගේ ලිපිය අතර තිබෙන්නා වු සම්බන්ධය කුමක්ද? ඒ වනාහී විමසා බැලීම වටිනා කරුණු ය.

මාතලේ දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ තැනක සිදුකරන්නට නියමිතව තිබු ඉදිකිරීමක් වෙනුවෙන් කරන ලද කැණීමක් අතරතුර පස් අතරින් මිනිස් සිරුරක ඇට කැබලි කිහිපයක් මතුවූයේ අදින් සත් වසරකට පෙර දිනෙක, 2012 නොවැම්බර් මාසයේ 24 වැනි දාය. රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා වු, වෛද්‍ය අර්ජුන තිලකරත්නගේ දැනුම් දීමක් මත හාරා තිබුණු වළ වෛද්‍ය ජයසේන විසින් පරීක්ෂා කරන ලද අතර, පළපුරුදු අධිකරණ වෛද්‍යවරයෙකු වු ඔහුගේ නිරීක්ෂණයට ලක්වන්නේ දිගින් මීටර් දහයක්, පළල මීටර් හයක් සහ ගැඹුර මීටර් දෙකක් වන්නට හාරා නවතා දමා තිබුණු වළේ ඇතුළු බිත්තිවල තැන් තැන්වල තිබුණු අස්ථි කොටස් කිහිපයකි. පසුව වළෙන් ඉවතට දමන ලද පස් පරීක්ෂා කිරීමේදි ඔහුට දක්නට ලැබෙන්නේ මිනිස් දතකි. ඒ සම්බන්ධව මාතලේ පොලිසිය වෙත කරන දැනුම් දීමකින් පසුව, පොලිසිය මාතලේ මහේස්ත්‍රාත්වරියව සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කරන්නට කටයුතු කරන ලැබුණි. මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා විසින් 26 වන දින සිදුකරන ස්ථානීය පරික්ෂාවකින් පසුව අධිකරණ වෛද්‍යවරයාටත්, පොලිසියටත් නියෝග නිකුත් කරන්නේ ඒ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරන ලෙස ය. ඒ අනුව වෝහාරික ක්‍රමවේදයන්ට අනුව ක්‍රමවත්ව වළෙහි කැණීම් කටයුතු ආරම්භ කෙරෙන අතර, දිනපතා මිනිස් අස්ථි කොටස්, ඇට කැබලිති එකින්, එක ගොඩ ගැනෙන්නේ 'මාතලේ සමූහ මිනීවළ' ලෙස ඉතිහාසයට එක් වෙමිනි.

සෙන්ටි මීටරයෙන්, සෙන්ටි මීටරය ඉතා සුපරික්ෂාකාරිව පොළෝ අභ්‍යන්තරයටත්, වටප්‍රමාණය වැඩි කරමිනුත් හෑරීම ආරම්භ කළ වළෙන් ගොඩ ගැණුනු මානව අස්ථි ප්‍රමාණය වැඩි වන්නට, වැඩි වන්නට මාතලේ සහ මහනුවර ප්‍රදේශවාසින් සමූහ මිනීවළ පිහිටි මාතලේ රෝහල් භූමියට දිව ආවේ වසර ගණනකට පෙර අතුරුදහන් කෙරුව තම සමීපතමයන් පිළිබඳ මතකයන් අවදි කරමිනි.

අවි ගත්වුන් විසින් බලහත්කාරයෙන් තමන්ගෙන් උදුරාගෙන ගොස් දෙතිස් වධයට පමුණුවා සදහටම අතුරුදහන් කරන ලද දරුවන්ගේ, ස්වාමී පුරුෂයාගේ, සොහොයුරා හෝ සොහොයුරියගේ මතකය රැඳි එකම වස්තුව වූ අව පැහැගත් රාමු කරන ලද ඡායාරූප අතැතිව රෝහල් භූමියේ තැන, තැන ඇණ තියන් වුන් ඒ මිනිසුන් ඇට කැබැල්ලක්, අස්ථි කොටසක් වළෙන් ගොඩ ගන්නා සෑම විටම ඒ දෙසට දිව විත් ඒවා ස්පර්ශ කරන්නට පවා උත්සහ දැරී යැයි වරෙක අප සමඟ පැවසුවේ වළේ කෑණීම් කටයුතු මෙහෙයවන ලද වෝහාරික විශේඥවරයෙකි.

පොලිස් පරීක්ෂණ

මිනීවළ පොලිස් පරික්ෂණ මෙහෙයවන ලද්දේ මාතලේ මූලස්ථාන පොලිසීයේ අපරාධ අංශයෙන් වුවද පොලිස්පතිවරයාගේ නියෝගය මත 2013 ජනවාරිය වන විට පරික්ෂණ භාර කෙරෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ය. ඒ සුවිශේෂී අපරාධමය පරීක්ෂණයක් ලෙස සලකමිනි. ඒ වන විට පොලිසිය, බී 1810/ 2012 නඩු අංකය යටතේ අධිකරණයට කරුණු වාර්තා කිරීම ආරම්භ කොට තිබුණු අතර, එවැනි එක් වාර්තාවක දැක්වෙන්නේ අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේනට අමතරව ඔහුගේ සහයට තවත් විශේඥවරුන් කිහිප දෙනෙකුගේම වාර්තා කැඳවීමට නියමිතව ඇති බව ය.

ඒ හැරුණු විට වළේ කැණීම් කටයුතුවල වෝහාරික පරීක්ෂණ සඳහා වෛද්‍ය ජයසේනගේ ඉල්ලීම මත කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධිත පුරාවිද්‍යා පශ්චාත් අධ්‍යයන ආයතනයේ ජේෂ්ඨ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව එක්ව සිටියේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක හැරී උඩගම, 2013 ජනවාරි මස 30 වන අධිකරණය වෙත ඉදිරිපත් කරන වාර්තාවක දැක්වෙන්නේ අපරාධමය සිදුවීමක් ලෙස සැලකිය හැකි ද්‍රව්‍ය ද ඇතැම් අස්ථි කොටස් සමඟ ගොඩ ගෙන තිබෙන බව ය.පොලිස් පරික්ෂකවරයා, පැ. 06 ලෙස සලකුණු කරන අංක 59 දරණ ඇට සැකිල්ලේ දෙපා ප්‍රදේශයෙන් හමුව ඇති මළ කෑ ලෝහමය දම්වැල් ආකාරයේ කොටස් හයක්, පෑ. 08 ලෙස සලකුණු කරන අංක 06 බී දරණ ඇට සැකිල්ල සමඟ ඇති සෙ.මී හතරක් දිග මළ කෑ ඇණ තුනක් සහ ලෝහමය පතුරු කොටස් සමඟ අස්ථි, පෑ. 09 ලෙස සලකුණු කරන අංක 06 දරණ ඇට සැකිල්ලේ ඇඟිලි අස්ථි ආසන්නයේ සහ පූර්ව භාග ආසන්නයේ තිබුණු ඇණ හතරක්, පෑ. 10 ලෙස සලකුණු කරන අංක 02 දරණ ඇට සැකිල්ලෙහි හිස් කබල යටින් හමුවු ලෝහමය රවුම, පෑ. 11 ලෙස සලකුණු කරන අංක 06 දරණ ඇට සැකිල්ලෙහි ඇඟිලි අස්ථියක කොටසක් සමඟ යාවී තිබුණු මළ කෑ ඇණ එකක්, පෑ 12 ලෙස සලකුණු කරන අංක 77 දරණ ඇට සැකිල්ලේ වම් අපර ගාත්‍රයේ දණ හිසට සෙන්.මී. දහයක් පහලින් පාදය වටේ තිබුණු ලෝහමය වළල්ල සහ පෑ 20 ලෙස සලකුණු කරන අංක 17 දරණ ඇට සැකිල්ලේ හිස් කබල ආසන්නයේ තිබු මළ කෑ අර්ධ කවාකාර ලෝහමය කොටස එසේ පළමු අදියරේදි හඳුන්ගත් ද්‍රව්‍ය අතර තිබු ඒවා ය.

මේ අතර මාතලේ ප්‍රදේශයේ ගම්මානවල බොහෝ පදිංචිකරුවන් අධිකරණය හමුවට දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරමින් පවසා සිටියේ සමූහ මිනීවළෙන් ගොඩ ගන්නා මානව ඇට සැකිලි සහ අස්ථි කොටස් මෙයට වසර ගණනාවකට පෙර හමුදාවවෙන් සහ පොලිසියෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලද තම දරුවන්ගේ, ස්වාමි පුරුෂයන්ගේ යැයි තමන් විශ්වාස කරන බව ය. ඒ අනුව පැමිණිලිකරුවන් ලෙස පාර්ශව 17 ක් 2013 මැයි මස 7 දින පළමුව දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කළහ. පසුව එම දිවුරුම් ප්‍රකාශකරුවන්ගේ වාචික ප්‍රකාශයන් පැමිණිලි ලෙස මාතලේ මුලස්ථාන පොලීසියේ වෙනම සටහන් කර ගැනීමද සිදුවිය.

එම දිවුරුම් ප්‍රකාශවල සඳහන්ව ඇති දෑ සැකවින් පහත දැක්වේ.

දිවුරුම් ප්‍රකාශ

අතුරුදහන් කෙරුණු සිය පුතුන් වන ආර් සුසන්ත ජානක සහ ආර් නිශාන්ත රෝහන වෙනුවෙන් උකුවෙල, වරකන්දවත්ත ගොංගාවල ගෙදර කමලාවති මාතාව සිය වියෝ ගිනිදැල් මෙසේ අකුරු බවට පෙරළයි:

" 1989.12.13 වන දින හෝ ඊට ආසන්න දිනයකදී පැහැර ගැනීමට ලක්වු ආර්. සුසන්ත ජානක සහ ආර්. නිශාන්ත රෝහණ මගේ දරුවන්ය. මගේ දරු දෙදෙනා එවකට මාතලේ විජය විද්‍යාලයේ සහ විද්‍යා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි වයස අවුරුදු 18 සහ 17 පසුවුවන්ය. දරුවන් නිවසේ නිදා සිටියදි පස්වරු 1.30 ට පමණ හමුදාව අපේ ගම වටලා තවත් තරුණ පිරිසක් එක්ක මගේ දරුවන්ද රැගෙන යන ලදි. පසුව මගේ දරු දෙදෙනා මාතලේ විජය විදුහල් කඳවුරේ රඳවාගෙන සිටින බව දැන ගන්නට ලැබුණු බවත්, ඊට පසුව දරුවන් පිළිබඳව කිසිදු තොරතුරක් දැන ගන්නට නැති බවත්, දරුවන් පැහැරගෙන යාම පිළිබඳව පොලිසියට පැමිණිලි කරන්නට ගියද පැමිණිලි භාර නොගත් බවත් ප්‍රකාශ කර සිටිමි".

මාතලේ විහාර පාරේ මේරී ප්‍රිම්රෝස් කුමාරසේන ඇගේ දිවුරුම් ප්‍රකාශයෙහි සඳහන් කොට තිබෙන්නේ බැංකු නිලධාරයෙක් වු සිය සැමියාව මාතලේ තනායමේ පවත්වාගෙන ගිය ගජබා රෙජිමේන්තුවේ නිලධාරින් පිරිසක් විසින් පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලද බව ය.

"ලොකු යක්දෙහිගේ ක්වින්ටස් කුමාරසේන මගේ ස්වාමී පුරුෂයා වන බවත්, ගජබා රෙජිමේන්තුවේ නිලධාරින් පිරිසක් සැමියාව සොයා 1989 .11.24 දින නිවසට පැමිණි බවත් එයින් දෙදිනකට පසුව ගලේවෙල මහජන බැංකු කාර්යාලයට පැමිණ ඔහුව රැගෙන ගොස් ඇති බවත් කියා සිටිමි. පසුව මන්දණ්ඩාවල හන්දියේ ගජබා රෙජිමේන්තුව විසින් පවත්වාගෙන ගිය මාර්ග බාධකය අසල වු ගොඩනැගිල්ලක මාගේ ස්වාමී පුරුෂයාව රඳවා ගෙන සිටි බවත් කියා සිටිමි. මාගේ ස්වාමී පුරුෂයාව විජය විද්‍යාලයේ පවත්වාගෙන ගිය රැඳවුම් කඳවුරේ 1989.11 26 දින සිට 1990 .01.18 දක්වා රඳවා ගෙන සිටි බවත් කියා සිටිමි".

ප්‍රිම්රෝස් කුමාරසේන ඇගේ දිවුරුම් ප්‍රකාශයේ දක්වා ඇති තොරතුරුවලට අනුව ක්වින්ටස් කුමාරසේනව 1990. 01. 18 දින විජය විද්‍යාලයේ සිට වෑන් රථයකට තවත් රැඳවියන් පිරිසක් සමඟ නංවා ගනු දැක ඇති අතර, ඒ පිළිබඳව විමසීමේදි හමුදා නිලධාරින් ඇයට පවසා තිබෙන්නේ ඔවුන් සියළු දෙනාව පල්ලේකැලේ රැඳවුම් කඳවුරට මාරුකර හරින ලද බව ය. නමුත් එම කඳවුරෙන් විමසීමේදි එවැනි රැඳවියන් පිරිසක් එහි නැති බව තමන්ට දැනුම් දුන් බවද, එයින් පසුව කිසිදු දිනක සිය සැමියාව තමන් නොදුටු බවද ඈ පවසන්නීය.

එවක ගජබා රෙජිමේන්තුවේ මාතලේ අණදෙන නිලධාරිවරයා මෙන්ම ප්‍රධාන සම්බන්ධිකරණ නිලධාරිවරයා වුයේ ද 'කර්නල් ගෝඨාභය රාජපක්ෂ ය'. ගජබා රෙජිමේන්තු සම්බන්ධිකරණ කාර්යාලය පවත්වාගෙන ගොස් ඇත්තේ මාතලේ තානායම් ගොඩනැගිල්ලේ සිට යැයි ද පසු කලෙක හෙළිදරවු විය.

ඩබ්.එන් නන්දසිරි වෙනුවෙන් ඔහුගේ පුතු විජේසූරියගේ නිශාන්ත වීජේසූරිය, ගල්කැටියේ ගෙදර උපාලි ගුණවර්ධන වෙනුවෙන් ඔහුගේ සහෝදරයා වන උඩතැන්න, නවරත්නගොඩ පදිංචිව සිටින ගල්කැටියේ ගෙදර තිලකරත්න සහ රත්තොට, අඹගහකොටුවේ ගෙදර චිත්‍රමාලා රණසිංහ ඇයගේ ස්වාමී පුරුෂයා වු රණසිංහ මුදියන්සේලාගේ කරුණාරත්න යන අය වෙනුවෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරන සෙසු අයයි.

මොවුන්ට අමතරව, මාතලේ දිස්ත්‍රික්කය පුරා තැන, තැන පිහිටුවා තිබුණු පොලිස් ස්ථාන, යුධ හමුදා අණු කාණ්ඩ සහ කඳවුරුවල හමුදා භට පිරිස් විසින් සිය ස්වාමී පුරුෂයන්ව බලහත්කාරයෙන් රැගෙන ගොස් අතුරුදහන් කරන ලදැයි පවසමින් ඔවුන්ගේ වැන්දඹු බිරින්ඳැවරුන්වන දන්කන්ද දඹගොල්ල ජනපදයේ පදිංචි විතානාරච්චිගේ රොසලින් නෝනා, දන්කන්ද, කෝන්ගහමුලයාය දාසීන් ගෙදර කුමාරි මැණිකා, ඇට්ටිපොලවත්ත, ඕවිලිකන්ද පදිංචිව සිටින ජී ජී ධර්මකීර්ති දේවගේ චන්ද්‍රාවති, මාතලේ මුවන්දෙණිය මහකනත්තේ ගෙදර විමලාවති, මාතලේ මුවන්දෙණිය වාසලමුදලි ආරච්චිගේ චාන්දනි කරුණාරත්න, දන්කන්ද ජී ඒ හීන් මැණිකේ මෙන්ම දන්කන්ද දඹගොල්ල වත්තේගෙදර මුතු මැණිකා සහ මාතලේ ඕවිලිකන්ද, අලුත්වත්තේ ගෙදර චන්ද්‍රාවතී යන අය ද දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලද පළමු පැමිණිලිකරුවන් 17 ට ඇතුළත් ය. ඔවුන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද දිවුරුම් ප්‍රකාශවල සඳහන් අතුරුදහන්ව ඇති පුද්ගලයන් වන්නේ විජේසේකර පතිරණගේ සිරිසේන, පල්ලේගෙදර පියසේන, ගල්පොත්තෑව ගෙදර කරුණාරත්න අබේසේකර, ඩබ්.ඩී සිරියාරත්න, ඩබ්.ඒ සිසිර කුමාර වාසල ආරච්චි, උක්කුරාළගම ගම්මැහෙලා ගෙදර කුලතුංග, වැල්ලේ ගෙදර ප්‍රේමතුංග සහ අලුත්ගෙදර ජයවර්ධන යන අයයි.

සිය දරුවන් හමුදාවෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලද බවත්, සමූහ මිනිවළේ තම දරුවන්ගේ අස්ථි කොටස් ඇති බවත් පවසමින්,ඕවිලිකන්ද, පරණගම් තැන්න යද්දෙහි ගෙදර ඥාණවති සිය පුතනුවන් වු අලුත්ගෙදර ගාමිණි සුමිත් කුමාර වෙනුවෙන්ද, ඕවිලිකන්ද, පරණගම්තැන්න ගල්පොත්තාව ගෙදර යසෝනා සිය පුතු අලුත් ගෙදර ගුණරත්න වෙනුවෙන්ද, ඕවිලිකන්ද පරණගම්තැන්නේ ම පදිංචි එගොඩගෙදර නන්දාවති එගොඩගෙදර කුලරත්න වෙනුවෙන්ද දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කොට තිබුණි.

ඕවිලිකන්ද, වදෙමඩ එපිටගෙදර කුමාරසිංහ පැමිණිලිකරුවකු ලෙස ඉදිරිපත් වන්නේ අතුරුදහන් කෙරුනු ඔහුගේ පියා වන එපිටගෙදර අරියරත්න වෙනුවෙනි.ඒ හැරුණු විට මීගොඩ ආනන්ද ඉඩමේගම සහ ඕවිලිකන්ද වදේමඩ අලුත්වත්තේ ගෙදර රත්නසූරිය අය දෙදෙනා දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ පිළිවෙලින් බන්දුල ඉඩමේගම, එපිටගෙදර තිලකරත්න යන තම සහෝදරයන් ගේ ඇට කැබලිති මාතලේ සමූහ මිනීවළේ ඇති බවට තමන් විශ්වාස කරන බවත්,ඒ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලමිනි.

නන්දිමිත්‍රගෙන්, ගෝඨාභයට

එම පළමු දිවුරුම් ප්‍රකාශකයන්ට අමතරව පසුව තවත් බොහෝ දෙනෙක් පැමිණිලිකරුවන් ලෙස අධිකරණය හමුවට දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරති.

පිරිමි දරුවන් තිදෙනාම හමුදාවෙන් හෝ පොලිසියෙන් පැමිණ බලහත්කාරයෙන් රැගෙන ගොස් අතුරුදහන් කරන ලද පවුල් ගණනාවක්ම තිබෙන අතර, තවත් විටෙක පියා හෝ පිරිමි දරුවකු හමුදාවට භාරදෙන තෙක් පවුලේ වෙනත් සහෝදරයෙක්ව හෝ පිරිසක්ව රැගෙන ගොස් රඳවා තබා ගෙන සිට ඇති අවස්ථාවන් පිළිබඳව ද අසන්නට ඇත. මාතලේ, කොස්ගොල්ල පදිංචි පී.ඩී.ජී ස්වර්ණලතා විසින් ඇගේ දිවුරුම් ප්‍රකාශයේ දක්වා ඇති තොරතුරුවලට අනුව ඇගේ ස්වාමීපුරුෂයා වන කේ. ඒ විපුලසේන හමුදාවට භාරදෙන තෙක් ඇයව සහ ඒවන විට වයස අවුරුදු දෙකක් ව සිටි කුඩා දියණියව විසි දෙනෙකුගේ හමුදා භට පිරිසක් විසින් රැගෙන ගොස් රැයක් පුරා යටවත්ත හමුදා කඳවුරේ රඳවා ගෙන සිට ඇත. පසුව ස්වාමීපුරුෂයාගේ මව විසින් ඔහුව ගලේවෙල ප්‍රාදේශීය ලේකම්වරයාට භාරදුන් බවත්, ඔහු විසින් සිය ස්වාමීපුරුෂයාව මාතලේ විජය විදුහල් කඳවුරට භාරදී ඇති බවත් පවසන ස්වර්ණලතා එයින් පසුව මේ දක්වා සැමියා පිළිබඳව කිසිදු තොරතුරක් දැන ගන්නට නැති බවත් පවසන්නීය.

මාතලේ පොල්වත්ත පදිංචිව සිටින ජී.එම් කරුණාවති පවසන්නේ ඇගේ ‍සහෝදරයෙකු වු උඳුගොඩ මැදගෙදර සෝමරත්න ව මාතලේ ප්‍රාදේශිය ලේකම් චන්ද්‍රා නවරත්න යන අයට භාරදුන් විට ප්‍රාදේශිය ලේකම් විසින් විජය විදුහල් කඳවුරුට භාරදීමෙන් අනතුරු එහි ගුණසේන ශාලාවේ රඳවා සිටි බවයි. පසුව වැඩිදුර ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව පවසා දිස්ත්‍රික් ලේකම් කරල්ලියද්ද යන අය විසින් වෙනත් හමුදා කඳවුරකට භාර දී ඇති බවත් පවසන ඇය එසේ භාරදීමෙන් අනතුරුව සිය සොහොයුරා එම කඳවුරෙන් පැන ගොස් ඇති බව ඔවුන් විසින් තමන්ට දැනුම් දුන් බවද කියා සිටියාය.

සිය පුතු වු ඊ. ජී ජගත් විජේසිරි ව හමුදාවට භාර නොදුන්න හොත් පවුල පිටින්ම මරා දමන බවට හමුදාවෙන් දිගින් දිගටම තර්ජනය කළ බැවින් පුතුව මාතලේ දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රීව සිටි නන්දිමිත්‍ර ඒකනායක මගින් 1990 ජනවාරි 05 දින ඕවිලිකන්ද තැපැල් කාර්යාලයේ පවත්වාගෙන ගිය හමුදා කඳවුරට භාරදුන් බව ජී ජී ආරියනන්ද කියයි. එසේ භාරදී දින තුනකට පසුව උඩුපිහිල්ල හලංගොඩ නිවසේ පවත්වාගෙන ගිය කඳවුරට රැගෙන ගොස් තිබු බවත් දින පහකට පසුව කූඹියන්ගොඩ බලකඩුව මාර්ගයේ මරා දමා තිබුණු පුතුගේ සිරුර තිබෙනු දුටු බවත් ආරියනන්ද පවසා සිටියි.

ඇහැලේපොල, පල්ලේපොල කේ, ඩබ්, පී, ඩී කාළිංග අශෝක උදුලාගම පවසන්නේ එවකට වයස අවුරුදු 37ක් ව සිටි ගැමුණු ශාන්ත උදුලාගම නැමති තම සහෝදරයාව හමුදාවට භාර දෙනතුරු වෙනත් සහෝදරයන් දෙදෙනෙක්ව රැගෙන ගිය බව ය. පසුව 1989 නොවැම්බර් 05 දින පාර්ලිමේන්තු මන්ත්‍රි නන්දිමිත්‍ර ඒකනායක මඟින් මාතලේ තානායමේ එකල පවත්වාගෙන ගිය යුධ හමුදා සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරී ගෝඨාභය රාජපක්ෂ වෙත ගැමුණු ශාන්ත උදුලාගමව භාර දුන් බවත් එසේ භාර දීමෙන් පසු ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් දැන ගන්නට නැති බවත් ඔහු කියා තිබේ.☐ 

(මතු සම්බන්ධයි)

කිත්සිරි විජේසිංහ


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.