JDS Sinhala

මාතලේ අතුරුදහන්වූවන් ගෝඨාභයට භාරදුන් බවට දිවුරුම් ප්‍ර‍කාශ

කුණේ භීෂණ සමයේදි අතුරුදහන්වීම් විශාල සංඛ්‍යාවක් වාර්තා වූ මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් තරුණයන් අතුරුදහන්ව ඇත්තේ ඔවුන්ගේ ඥාතීන් විසින් අදාළ පුද්ගලයන් ගෝඨාභය රාජපක්ෂ වෙත භාර කිරීමෙන් පසුව බව අනාවරණය වේ.

මාතලේ විජය විදුහල් සමුහ මිනීවළ සම්බන්ධයෙන්, මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කෙරුනු B/1810/12 දරණ නඩුවට අදාළව ඉදිරිපත් කොට ඇති දිවුරුම් ප්‍රකාශ ගණනාවක් මගින් මෙසේ පුද්ගලයන් අතුරුදහන් කිරීම් සම්බන්ධ චෝදනා එවකට මාතලේ හමුදා සම්බන්ධීකරණ නිලධාරිවරයාව සිටි ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂට එල්ල කොට තිබේ. අදාළ දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කොට ඇත්තේ මාතලේ සහ තදාසන්න ප්‍රදේශවලින් හමුදාව විසින් පැහැරගෙන යන ලද හෝ අත්අඩංගුවට ගෙන පසුව අතුරුදහන් කෙරුණු පුද්ගලයන්ගේ ඥාතීන් විසිනි.

නන්දිමිත්‍ර‍ - ගෝඨාභය

මාතලේ, පල්ලේපොල පදිංචි අයෙක් විසින් ලබාදෙන ලද දිවුරුම් ප්‍ර‍ාශකයක දැක්වෙන්නේ ශාන්ත උදුලාගම  නමැති සිය සහෝදරයාව 1989 නොවැම්බර් 05 වැනි දින ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදුන් බවත් පසුව ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් දැන ගන්නට නොහැකි වූ බවත් ය. එසේම ඕවිලිකන්ද, වදේමඩ පදිංචිව සිටින පී.ජී ආරියනන්ද නැමති අය විසින් ඉදිරිපත් කොට ඇති දිවුරුම් ප්‍රකාශයෙහි දැක්වෙන ආකාරයට ඔහුගේ පුත්‍රයා වන ජගත් විජේසිරි අතුරුදහන් වීමට පෙර ගෝඨාභය රාජපක්ෂ වෙත ඔහු විසින්ම රැගෙන ගොස් භාර දී තිබේ.

මාතලේ සහ අවට ප්‍රදේශවල පදිංචිව සිට හමුදා නියෝගයන් මත ගෝඨාභය රාජපක්ෂ වෙත  භාර දී පසුව අතුරුදහන් කෙරුණු ඇතැම් තරුණයන් එසේ භාර දෙනු ලැබුවේ මාතලේ දිස්ත්‍රික්කයේ එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දිමිත්‍ර ඒකනායකගේ හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මැදිහත්වීම මත යැයිද අදාළ දිවුරුම් ප්‍රකාශයන්හි සඳහන් වේ. කෙසේ නමුත් එහි වැඩි දුරටත් දැක්වෙන්නේ එසේ භාරදෙන ලද පුද්ගලයන් වැඩි දෙනෙක් ගෝඨාභය රාජපක්ෂ විසින් භාර ගනු ලැබුවේ මාතලේ විජය විද්‍යාලයේ පවත්වාගෙන ගිය කඳවුරේදි බව ය.

දිවුරුම් ප්‍ර‍කාශ 13ක්

ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන ලද දෙවන සන්නද්ධ නැගිටීම මර්දනය කිරීම සඳහා එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජය විසින් මාතලේ දිස්ත්‍රික් හමුදා සම්බන්ධිකරණ නිලධාරිවරයා ලෙස පත් කරනු ලැබු ගෝඨාභය රාජපක්ෂ, ඊට පෙර ශ්‍රී ලංකා හමුදා සංඥා බලකායේ ද,  සිංහ රෙජිමේන්තුවේ හා රජරට රයිෆල් බලකායේද නිලධාරියකු ලෙස කටයුතු කර තිබේ. 1983 දෙමළ විරෝධී ප්‍ර‍ණ්ඩ ක්‍රියාවන්හි නියැලීම හේතුවෙන් රජරට රයිෆල් බලකාය විසුරුවනු ලැබීමෙන් පසු 1983 ඔක්තෝබර් මාසයේ දී පිහිටුවන ලද ගජබා රෙජිමේන්තුවේ පළමු බල ඇණියට අනුයුක්ත කරන ලැබූ හෙතෙම 1989 මැයි මාසයේදී ගජබා පළමු බල ඇණියේ අණදෙන නිලධාරී තනතුරට පත්කර ජවිපෙ කැරැල්ල මර්දනය කිරීම සඳහා මාතලේ දිස්ත්‍රික් හමුදා ප්‍රධානියා වශයෙන් යවනු ලැබිණ.

මාතලේ සමුහ මිනීවළ සම්බන්ධයෙන් අතුරුදහන්වුවන්ගේ ඥාතීන් විසින් පවරා ඇති නඩුවේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින එක්  නීතිඥවරයෙකු  JDS හා කියා සිටියේ එම නඩුවට අදාළව ඉදිරිපත්ව ඇති දිවුරුම් ප්‍රකාශවලින් අවම වශයෙන් 13කට වැඩි ප්‍රමාණයක් මගින් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පුද්ගල අතුරුදහන් කිරීම් සම්බන්ධ චෝදනා සෘජු ලෙසම එල්ල කොට ඇති බවයි.

‘මම මාතලේ - රාජිත ප්‍රා සංවිධානයේ‘

මේ අතර ජනවාරි 07 වැනිදා බරපතළ වංචා දූෂණ සෙවීම සඳහා පත් කෙරුණු ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමෙන් පසු මාධ්‍යවේදීන් අමතා ප්‍ර‍කාශයක් කළ හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ තමන් මාතලේ දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් ක්‍රියා කළ වකවානුවේ තරුණයන් පැහැරගැනීමේ යෙදුණු 'ප්‍රා' හෙවත් මහජන විප්ලවකාරී රතු හමුදාව නමින් හැඳින්වුණු අතුරු හමුදා සංවිධානය මෙහෙයවනු ලැබුවේ වත්මන් ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජීත සේනාරත්න විසින් බව ය.

''රාජිත සේනාරත්න, ඔය දැන් ඉන්න ඇමතිතුමා, 'ප්‍රා' කියලා දාගෙන ඉස්සුවනේ. මමත් ඒ කාලේ හමුදාවේ හිටිය එක්කෙනෙක්. ඒ කාලේ මමත් මාතලේ හමුදා සම්බන්ධිකරණ නිලධාරි'' යැයි ඔහු ප්‍රකාශ කළේය.

'අතුරුදහන් කිරීම්  කරන්නේ රාජපක්ෂවරු'

හිටපු ආරක්ෂ ලේකම්වරයාගේ එම ප්‍රකාශයට ජනවාරි 11 වැනිදා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් ඔස්සේ පිළිතුරු දුන්  සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ ඒ යුගයේදි වැඩිම අතුරුදහන්වීම් පිළිබඳව වාර්තා වු මාතලේ දිස්ත්‍රිකයේ හමුදා ප්‍රධානියා  ලෙස කටයුතු කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ විසින් බව ය.

එවකට විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වශයෙන් ක්‍රියා කළ මහින්ද රාජපක්ෂ දකුණේ අතුරුදහන් වීම් සහ ඝාතන පිළිබඳ පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටි විට ‘වැඩිම අතුරුදහන්වීම් සිදුව ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයේ බව ද, එහි දිස්ත්‍රික් හමුදා ප්‍රධානියා ලෙස ක්‍රියා කරනුයේ ‘රාජපක්ෂ කෙනෙකු බව‘ද රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය රන්ජන් විජේරත්න ප්‍ර‍කාශ කළේ යැයි ඇමති සේනාරත්න කියා සිටියේය.  

'වරදක් නොවෙයි'

''ඒක හින්දා තමයි එතුමා හිමින් ලංකාවෙන් මාරුවුණේ ඇමරිකාවට. එතුමා කියනවානේ අපි එහෙම කලේ නෑ කියලා, එතකොට කවුද මාතලේ හිටියේ? පහුගිය කාලේ මාතලේ ඇටකටු මතුවෙන කොට කාටද මිනිස්සු ඇඟිල්ල දික්කළේ? එදා  හිටපු හමුදා ආඥාපති දිහාට''යි ඔහු වැඩි දුරටත් ප්‍ර‍කාශ කළේය.

මෙහිදී සේනාරත්න ඇමතිවරයා කියා සිටියේ ‘ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදයට විරුද්ධව එදා සටන් කිරීමට සිදු වු‘ බවත්, ‘පැවති ප්‍රචණ්ඩත්වයට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ  විසින් කරන ලද කාර්යභාර්ය පිළිබඳව තමන් වරදක් නොකියන බව‘ ත් ය. එසේම 'ප්‍රා' සංවිධානයේ නායකයන් පිළිබඳව මෙන්ම එසමයේ හි සිදු වු ඝාතනයන් සම්බන්ධව තොරතුරු දන්නා ඇතැම් පුද්ගලයන් පසු කළෙක ‘ජනමාධ්‍යවේදින්‘ ලෙස හිටපු ආරක්ෂක ලේකම්වරයා සමඟ ඉතා සමීපව කටයුතු කළ බව‘ද  රාජීත සේනාරත්න ඇමතිවරයා අවධාරණය කර සිටියේය.

2012 නොවැම්බරයේ දී මාතලේ රෝහල් භුමියේ ඉදිකිරීම් සඳහා කැනීම් කරද්දී හමු වූ සමූහ මිනීවලක වළ දමා තිබූ 150 කට වැඩි මිනිස් ඇට සැකිලි කුරිරු වධ හිංසාවන්ට ලක් ව මරණයට පත්වූවන් පිරිසකට අයත් විය හැකි බවට දේශීය විශේෂඥයන් විසින් නිගමනය කොට තිබේ.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.