JDS Sinhala

භීම සමයක සාක්‍ෂි එකතුවක් II: අවුට්රීච් ලංකා මාධ්‍ය මර්දනය

පළමු කොටස: භීම සමයක මරු මුවවිටට ගොස් පෙරළා ආවුන්ගේ සාක්‍ෂි එකතුවක් - I

මන්ට අවශ්‍ය පුද්ගලයන් කුමන ආකාරයකින් හෝ කොටුකරගැනීම සඳහා ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් ගෙනයනු ලබන සූක්ෂම මෙහෙයුම්වලට කදිම නිදසුනක් වනුයේ 'අවුට්රීච් ලංකා' වෙබ් අඩවිය සම්බන්ධයෙන් ඔවුන් ගෙනගිය ක්‍රියාකලාපය යි. මෑත කාලීන ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසය තුළ, වෙබ් අඩවියකට එරෙහිව සිදුකරන ලද බිහිසුණු ම මර්දන ක්‍රියාවලිය ලෙස මෙය හැඳින් විය හැකි ය. අධිකරණය මඟින් එහි සේවය කළ මාධ්‍යවේදීන් මුළුමනින් නිදොස් කොට නිදහස් කරනු ලැබ සිටිය ද, අද දක්වාත් ඔවුහු ඒ මර්දනයේ කෘෘරත්වයට වන්දි ගෙවමින් සිටිති.

මඩකලපුවේ පලකරනු ලැබූ  ‘තිනක්කදීර්'  පුවත්පතටත්, කොළඹ ජාතීන් අතර යුක්තිය හා සමානාත්මතාව සඳහා වූ ව්‍යාපාරය විසින් පළකළ 'සරිනිහර්' පුවත්පතටත් සම්බන්ධව කලක් කටයුතු කළ වෙට්ට්‍රිවේල් ජසීහරන්, ධර්මරත්නම් සිවරාම්ගේ ජ්‍යෙෂ්ඨ සංස්කාරත්වයෙන් යුතු 'ටැමිල් නෙට්'  වෙබ් අඩවියට සම්බන්ධ නැගෙනහිර පළාත් මාධ්‍යවේදියෙක් ලෙස ද කලක් කටයුතු කළේ ය. මඩකළපුවේ මුද්‍රණාල හිමිකරුවෙකු ලෙස ද කටයුතු කළ ඔහු කොළඹ ජම්පටා වීදියේ ‘ඊක්වලිටි‘ මුද්‍රණාලය ආරම්භ කළේ 2001 වසරේදී ය.  කලක් සිවරාම් හා සම කර්තෘත්වයෙන් 'නෝත් ඊස්ටර්න් හෙරල්ඩ්' පුවත්පත පළ කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජයප්‍රකාශ් තිස්සෛනායගම්, සිවරාම් ඝාතනයට ලක් වූ පසු  ‘නෝර්ත් ඊස්ටර්න් මන්ත්ලි'  නමින් මාසික සඟරාවක් ආරම්භ කළ විට එහි මුද්‍රණකරු හා ප්‍රකාශකයා වූයේ ද ජසීහරන් ය. ඔහුගේ මැදිහත්වීමෙන් ‘අවුට්රීච් ලංකා' වෙබ් අඩවිය 2006 වසර මුල දී  අරඹනු ලැබුයේ මාසිකව පළවන සඟරාවකට වඩා ඉක්මණින් ප්‍රවෘත්ති හා කාලීන විශේෂාංග පළ කෙරෙන නව  අන්තර් ජාල මාධ්‍යයක අවශ්‍යතාව සපුරාලනු පිණිස ය.

‘අවුට්රිච් ලංකා' මර්දනයේ අභ්‍යන්තර කතා පුවත ශ්‍රී ලංකාවේ කිසිදු මාධ්‍යයක් මගින් මේ දක්වා නිසි ලෙස අනාවරණය නොකළ එකකි. රාජපක්ෂ පාලනය විසින්, එහි අතවැසි දේශපාලන කණ්ඩායම්වල පූර්ණ අනුබල දීම් යටතේ ගෙනගිය  බිහිසුණු වර්ගවාදී හා මර්දනකාරී පිළිවෙත කැටිකොට දක්වන කදිම උදාහරණයක් අවුට්රීච් මර්දනයේ කතාව විසින් සම්පාදනය කරයි. වර්තමානයේ දී මාධ්‍යවේදියෙක් ලෙස පිටුවහලේ ජීවත්වෙමින් ජේඩීඑස් ක්‍රියාධරයෙක් ලෙස ක්‍රියාකරන කිත්සිරි විජේසිංහ ඒ පිළිබඳ කතාකරන්නට එකඟ වූයේ ඒ මර්දනයේ සෘජු ගොදුරක් ලෙස ලද අත්දැකීම් මුල්කොටගෙන ය. එවකට 'අවුට්රීච්'  වෙබ් අඩවියේ කර්තෘ මාණ්ඩලිකයකු ලෙස කටයුතු කළ කිත්සිරි එම මර්දනය ආරම්භයේදීම කොළඹ ත්‍රස්‌ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබුවෙකි. ඔහුගේ සාක්‍ෂිය හුදෙක් රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ අපරාධ හවුල්කාරී පාර්ශ්වයන් ගෙනගිය  භීෂණය මෙන්ම, නිදහස් මාධ්‍ය සඳහා වූ ක්‍රියාකාරීත්වයේ ද ගැටළුකාරී බව මනාව ගෙනහැර දක්වයි.

“2008 මාර්තු 06 වැනිදා රෑ අට හමාරට - නවයට විතර, ජසීහරන්ගේ කාර්යාලයේ ඔහුගේ සහායකගෙන් මට ඇමතුමක් ආවා. 'පිරිසක්  මුද්‍ර‍ණාලයට ඇවිත් ජසීගෙන් ප්‍රශ්න කරනවා, පෙනෙන විදියට නම් ඔහු අත්අඩංගුවට ගන්න ඉඩ තියෙනවා කියලා. ඔහු මට කිව්වා”.

පුවත ලද සැණින් එවකට නිදහස් මාධ්‍ය  ව්‍යාපාරයේ (FMM) උවිඳු කුරුකුලසූරිය ඇමතූ කිත්සිරි,  සියලු විස්තර ඔහු වෙත දන්වමින්, ඒ පිළිබඳ එවකට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු වූ සුනන්ද දේශප්‍රිය ද දැනුවත් කරන මෙන් ඉල්ලා සිටියේ ය. (නිවැරදි කිරීමක්: එවකට 'නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු උවිඳු කුරුකුලසූරිය' ලෙස මෙම ලිපියෙහි මුලින් කර තිබූ සදොස් සඳහන නිවැරදි කළ බව කාරුණිකව සළකන්න.)

“ටික වෙලාවකට පස්සේ උවිඳු මට දැනුම් දුන්නා, මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න බැහැ කියලා සුනන්ද කියූ බව. ඒ වෙනකොටත් ජසීහරන් හා ඔහුගේ සහකාරිය වඩිවේල් වලර්මදී ත්‍රස්ත විමර්ශන ඒකකයට රැගෙන ගිහින් තිබුණේ.”

මාර්තු 7 වැනිදා උදේ කිත්සිරි විජේසිංහ හා ජයප්‍රකාශ් තිස්සෛනායගම් කොටුව චෛත්‍ය පාරේ පිහිටි පැරණි ආගමන විගමන කාර්යාල ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය ත්‍රස්ත විමර්ශන ඒකකයට (TID) යාමට තීරණය කළේ ඒ අනුව ය. ඒ ජසීහරන් හා වලර්මදීගේ තත්ත්වය පිළිබඳව සොයා බැලීමට ය.

“ඒ කාලේ පැවතුණු තත්ත්වයේ හැටියට තිස්සව තනියම ත්‍රස්ත විමර්ශන ඒකකයට යවන එක හොඳ නැහැ කියලා අපි හිතුවා. කොටුවේ ලංකා ජාතික ගුරු සංගම් ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය 'හිරු' පුවත්පත් කාර්යාලයට ආව තිස්සත් එක්ක සාකච්ඡා කරලා මම ඔහුත් සමඟ යන්න තීරණය කළේ ඒ මොහොතේ යන්න වෙනත් සිංහල කෙනෙක් හිටියේ නැති නිසායි. ඒ වෙනකොටත් ජසීහරන්ව ගෙනාවේ නැහැ කියලා ටීඅයිඩී එක කියන බව ජසීහරන්ගේ නංගි කතා කරලා කියලායි තිබුණේ. ත්‍රස්ත විමර්ශන මූලස්ථානයේ මුරකුටිය අසළ දී එහි සිටිය නිලධාරීන් අපි දෙන්නා එකිනෙකාගෙන් වෙන් කරලා, ඇතුළේ අයත් එක්ක වෝකි ටෝකිවලින් කථා කළා. ඒ වෙලාවේ ඇතුළෙන් පණිවුඩියක් ආවා ‘දෙන්නව ම එවන්න' කියලා. තත්ත්වය අවිනිශ්චිත බව අපිට තේරුම් ගියත් ආයේ ආපහු හැරෙන්න පුළුවන් කමක් අපට තිබුණේත් නෑ.”

මාධ්‍යකරුවන්ට එරෙහි ත්‍රස්ත මර්දන මෙහෙයුම්

පුරා පැය දෙකකට ආසන්න කාලයක් ත්‍රස්ත විමර්ශන ඒකකයේ මුර කුටියේ රඳවා තබාගෙන, තිස්සෛනායගම් සහ කිත්සිරිගේ හැඳුනුම්පත් ඇතුළු සියළු දෑ පරීක්ෂා කිරීමෙන් අනතුරුව, කිත්සිරි තවදුරටත් මුරකුටියේ රඳවා තබා තිස්සෛනායගම් පමණක් ත්‍රස්ත විමර්ශන ඒකකය තුළට රැගෙන යාමට ත්‍රස්ත විමර්ශන නිලධාරීහු කටයුතු කළහ. විටින් විට මුරපොළට ගොඩවන ත්‍රස්ත විමර්ශන නිලධාරීහු ‘ඔයා සිංහල නේද? දරුවෝ ඉන්නවා නේද? ඔයා LTTE එක පිළිගන්නවද? මේ අය LTTE නේද? ඔයත් සිංහල, අපිත් සිංහල නේද?‘ ආදී අතොරක් නැති ප්‍රශ්න කිත්සිරි වෙත යොමු කරන්නට වූහ.

“ඒ හැම දෙනාටම මම කිව්වේ ‘ජසීහරන් කාලයක් තිස්සේ මාධ්‍ය හා ප්‍රකාශන ක්‍ෂේත්‍රයේ කටයුතු කරන කෙනෙක්, මට එයාලට එරෙහිව කොහෙත්ම පෙනී ඉන්න හේතුවක් නැහැ,‘ කියලායි. එතකොට ඒ කීප දෙනෙක් කේන්තියෙන් කිව්වා ‘තොපි වගේ එවුන් හදන්න බැහැ,' කියලා.”

තිස්සෛනායගම් හා කිත්සිරි ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත යන්නේ උදෑසන 9ට පමණ ය. පැය දෙකක් පමණ එහි මුරපොළේ රඳවාගැනීමෙන් අනතුරුව, තිස්සනායගම් ඒකකය වෙත රැගෙන යන විට පෙරවරු 11ට ආසන්න වී තිබිණ. එතැන් සිට පැය හයකට පමණ පසු විජේසිංහ ඒ වෙත රැගෙන යනු ලබන තෙක් ඔහුට බීමට දිය පොදක් හෝ නොලැබිණි.

“සිවිල් ඇඳගත් පුද්ගලයෙක් ඇවිත් මුලින්ම මගෙන් ප්‍රශ්න කළා. ‘මොනවද කරන්නේ? කොහොමද මේ අයව හඳුනාගත්තේ?' වගේ ප්‍රශ්න ඇහුවා. ඒ අතරවාරයේ අත් අඩංගුවට ගෙන සිටි දෙමළ තරුණයෙක් මා ඉදිරියට ගෙනැවිත් ඔහුට අමානුෂික ලෙස පහර දුන්නා. එහෙම කළේ මට හැඟවුමක් දෙන්නයි.”

ඒ මුලික ප්‍ර‍ශ්න කිරීමෙන් අනතුරුව, ස්ථාන භාර නිලධාරී පොලිස් පරීක්ෂක  හරේන්ද්‍ර  ජනකාන්තගේ ප්‍රශ්නකිරීම ඇරැඹිණි.

“මාව දැක්ක ගමන්, ‘ආ මේ ඉන්නේ මිනිහා. තමුසේ මොකටද කටුනායක ගියේ?' කියලා ජනකාන්ත මගෙන් ඇහුවා. ඒ කියන්නේ ඔවුන් මා පසුපස යම්කිසි කාලයක් පන්නලා තියෙනවා. මම වෙබ් අඩවියේ පළවුණු ප්‍රවෘත්තියකට ප්‍රකාශයක් ගන්න සරත් ඉද්දමල්ගොඩ පියතුමාගේ කාර්යාලයට ගිය එක ගැනයි ඔහු මේ අහන්නේ. ‘අපි දවසක් පාන්දර දෙකට විතර උඹලගෙ පිළියන්දල ගේ ළඟටම ගියා. එදා අපි ළඟ කිසිම තොරතුරක් තිබුනේ නෑ උඹ ගැන. නැත්නම් ඒ වෙලාවේ ම උස්සගෙන එනවා,‘ කියලත් ජනකාන්ත කිව්වා. ‘දියැස’ සඟරාව ගැනත් ඇහුවා. මෙහෙම දිගට ම ප්‍රශ්න කරන අතරේ ජනකාන්ත කීවා ‘ඊයේ රාත්‍රියේ උඹලාත් එක්ක හිටිය රංගන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හරහා අපට බාර වුණා. ඒක තමයි හොඳම විදිය,' කියලා.”

‘අවුට්රීච් ලංකා‍' හි කැමරා ශිල්පියා වූ ගයාන් ලසන්ත රංගන හා කිත්සිරි විජේසිංහ හැරුණු කොට අනිකුත් සියලු දෙනා දෙමළ ජාතිකයෝ වූහ. ත්‍රස්ත විමර්ශන ඒකකය තුළ දී ඔවුන් දෙ දෙනාට තදබල ශාරීරික පීඩාවක් සිදු නො වුණද, අනෙක් සියලු දෙනාට ම ත්‍රස්ත විමර්ශන නිලධාරීන්ගේ පහරදීම් හා වධ බන්ධනවලට ලක්වීමට සිදුවිය. ජසීහරන්, වලර්මදී හා තිස්සට අමතරව ජසීගේ ඥාති පුත්‍රයෙක් වූ කුමාර් සහ ‘අවුට්රීච්‘ හි වීඩියෝරූපරාමු සංස්කාරකවරයා වූ නාගරාජ් උදයන් ද මෙකී හිංසනයන්ට ලක්වූහ.

“මම තිස්සව දුටුවේ ඊට පස්සෙ දවසේ යි. එත් කතා කරන්න ඉඩක් ලැබුණේ නැහැ. ඔහුව රඳවා හිටියේ වෙනම තැනක. ජසීහරන් නම් නම් නිතරම දැක්කා. හැම රාත්‍රියකම ජසීට පහර දෙනවා. එහෙම කරලා අපි ඉන්න තැන පුටුවක මාංචු පිටින්ම වාඩි කරවලා තියනවා. වේදනාව මැඩගෙන එන වෙහෙසට ජසීට නින්ද යනවා. එතකොට එයාට නිදාගන්න නොදී  වතුර ගහනවා. නිදාගන්න නොදෙන එකත් වධ හිංසාවල කොටසක්. ඉන් පස්සේ ආයෙත් වධ දෙන්න පටන් ගන්නවා. එළිවෙන තුරු ම එහෙම තමයි. වලර්මදී ඉදිරියේ තියාගෙන ඉතා ම අසභ්‍ය වදනින් බනිනවා. එයාව තියාගෙන හිටියේ වෙනම තැනක නිසා අපිට වැඩිපුර මුණ ගැහෙන්නේ නැහැ. අත් අඩංගුවටවේ තියාගෙන හිටිය මිනිස්සුන්ට වැඩියෙන්ම වද හිංසා කළේ අයි.පී. කෙනෙක් වුණ ජනකාන්ත, ඔහුගේ මස්සිනා කෙනකු වූ පොලිස් කොස්තාපල් ගංගානාත්, විශේෂ කාර්ය බලකායේ ඉඳන් ඇවිත් හිටිය දිල්ශාන්, සාජන් බණ්ඩාර වගේ අයයි.”

වර්ගවාදී මාධ්‍ය ප්‍රබන්ධ

අවුට්රීච් සේවක පිරිස් අත් අඩංගුවට ගැනීමත් සමගම ත්‍රස්ත විමර්ශන ඒකකයට අවශ්‍ය විසකුරු ප්‍රබන්ධ සම්පාදනය කිරීමට කොළඹ මාධ්‍යකරුවෝ පෝලිම් ගැසුණාහ. රජයේ නිල මාධ්‍ය හැරුණු විට ලක්බිම, දිවයින සහ ජවිපෙ නොනිල ප්‍රකාශනය වූ ලංකා පුවත්පත විසින් මෙහිදී ප්‍රචාරක කසකරුවන් වශයෙන් ප්‍රමුඛ වැඩ කොටසක් ඉටු කරන ලදී. ජසීහරන් හා තිස්සෛනායගම් කොටි නායකයන් වශයෙන් ද, අවුට්රීච් මාධ්‍ය සේවකයන් කොටි ප්‍රචාරක අංශයේ ක්‍රියාධරයන් වශයෙන් ද බෞතීස්ම කරනු ලැබු‍වේ මෙකී නීච මාධ්‍ය භාවිතාව මගිනි. මේ ව්‍යාජ පුවත් නිර්මාණය කරවීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීහු ඔවුන්ට සබඳතා තිබූ ඊනියා මාධ්‍යකරුවන්ගේ සහාය නොමදව ලබාගත්හ.

“අපි LTTE කාරයෝ කියලා පසුබිමක් නිර්මාණය කරන්න අවශ්‍ය තොරතුරු TID එකෙන් ‘ලක්බිම‘ පත්තරේ ගයාන් කුමාර වීරසිංහට දුන් බව මම හොඳටම දන්නවා. පහුවදාට ඒ විස්තර පළවූ පත්තරේ අරන් ඇවිත් ජසීහරන්ගේ මුහුණට ගහලා කියනවා ‘මේ පත්තරවලත් තියෙන්නේ උඹලා ගැන,‘ කියලා.

මේ කාර්යයේදී 'ලක්බිම' පත්‍රය තනිව නොසිටියේය. අවුට්රීච් මාධ්‍යකරුවන් අත් අඩංගුවට ගෙන පැය 48කින් පසු,  'දිවයින' පුවත්පතට සමන් ගමගේ විසින් 'කොටි විදෙස් මාධ්‍යයේ 6ක් අත් අඩංගුවට' මැයෙන් ලියන ලද වාර්තාවට අනුව 'අත් අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ජම්පටා වීදියේ පවත්වාගෙන ගිය එල්ටීටීඊ වෙබ් අඩවියකට සම්බන්ධ පිරිසකි''. එම වාර්තාවේ මෙසේ ද දැක්වේ:

"කොළඹ සිට එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ ජාත්‍යන්තර ප්‍රචාරක ජාලය මෙහෙය වූ ප්‍රබලයන් හය දෙනෙකු පෙරේදා දහවල් කොටහේන ජම්පටා ප්‍රදේශයේදී විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් මගින් අත් අඩංගුවට ගෙන තිබේ....මෙම කණ්ඩායම අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ අදාළ ස්ථානයේ තිබී ද්‍රවිඩ භාෂාවෙන් ක්‍රියාත්මක වූ පරිගණක හා ‍උපාංග රැසක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත." (2008 මාර්තු 10, දිවයින)

මේ අනුව තිස්සෛනායගම්, ජසීහරන් හා වලර්මදී මෙන්ම, කිත්සිරි විජේසිංහද අයත් වන්නේ මේ ප්‍රබල කොටි හය දෙනාට ය!

මාර්තු 16 වැනිදා 'ඉරිදා දිවයින සංග්‍රහයේ' කුප්‍රකට ආරක්‍ෂක වාර්තාකරු කීර්ති වර්ණකුලසූරියට අනුව අත් අඩංගුවට ගත් තිස්සෛනායගම්, 'හිටපු ත්‍රස්තවාදියෙකු වූ සිවරාම් හෙවත් තාරකීගේ සගයෙකු ලෙස ද ක්‍රියාකර තිබේ.' ඒ 'ත්‍රස්තවාදී' සිවරාම් තරාකී නම් ප්‍රකට තීරු ලිපිකරුවෙකු වශයෙන් මාධ්‍ය ලෝකයට එක්කරන ලද්දේ 'දිවයින' පත්‍රයේ සහෝදර ඉංග්‍රීසි පුවත්පත වූ 'දි අයිලන්ඩ්' පත්‍රය විසින් බව ඒ ලිපියේ කොහේ හෝ තැනක දක්වන්නට ආරක්‍ෂක ලියුම්කරුවාට  අමතකව තිබිණ. අනතුරුව ඔහු මෙසේ ද ලියයි:

"දැන් ඔහු ජම්පටා වීදියේ මුද්‍රණාලයක සිට වෙබ් අඩවියක් මෙහෙයවන අතර එහි අඩංගුවන්නේ ශ්‍රී ලංකා රජයට එරෙහි ස්වෙච්ඡා සංවිධාන ක්‍රියාකාරිනියන්ගේ ප්‍රකාශයි.....මෙයට කලකට පෙර මරාගෙන මැරෙන කොටි බෝම්බකාරියක් පවා අසුවූයේ ද ජම්පටා වීදියේදී ය. මහබැංකු බෝම්බයට සම්බන්ධ ලොරිය පවා නතර කර තිබුණේ එකී වීදිය ආසන්නයේ ය. ජම්පටා වීදිය, කදිරේෂන් වීදිය, යොන් වීදිය, හෙට්ටි වීදිය ඇතුළත් ද්‍රවිඩ ත්‍රිකෝණයේ අබිරහස් ක්‍රියාදාමයන් සිදුවන බවට අපි වසර ගණනකට පෙර අනතුරු අඟවා සිටියෙමු.

"මෙවැනි විටෙක කොටින්ට පක්‍ෂපාතීව ක්‍රියා කිරීමට, ත්‍රස්තවාදය පැතිරවීමට කොටි වෙබ් අඩවි හා ඒවා මෙහෙයවන්නන්ට නිදහස් මාධ්‍ය ලේබලය යටතේ ඉඩ දිය යුතුද?" (2008 මාර්තු 16, ඉරිදා දිවයින සංග්‍රහය)

16 වැනි ඉරිදාම පළ වූ ජවිපෙ නොනිල ප්‍රකාශනය වන 'ලංකා ඉරිදා සංග්‍රහයේ' 10 වැනි පිටුවේ ආරක්‍ෂක වාර්තාව 'නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කොටි අත් අඩංගුවට ගත් හැටි' මැයෙන් ලියූ විසකුරු ප්‍රබන්ධයේ මෙසේ ලියා තිබිණ:

"කොටි සංවිධානය කරන අපරාධ සාධාරණීකරණය කරමින් මාධ්‍ය මෙහෙයවන කණ්ඩායමක් පසුගිය සෙනසුරාදා රාත්‍රියේ කොටහේන ප්‍රදේශයේදී අත් අඩංගුවට ගැනීමට ත්‍රස්ත විමර්ශන ඒකකය සමත් විය. යාපනයේ පදිංචි එන්.එස්. තිස්සනායගම් කොළඹට පැමිණ කිරුළපණ ප්‍රදේශයේ නවාතැන් ගෙන ඇත.....ඒ සමග තවත් සිව් දෙනෙක් අත් අඩංගුවට පත් වී ඇති අතර එහි කාන්තාවක් ද සිටියි. මේ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ බී.ජසීකරන් ය......මොවුන්ගෙන් තිදෙනෙකුට ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළ හැඳුනුම්පත් ඇති බව ත්‍රස්ත විමර්ශන අංශය පවසයි. කොටි සංවිධානයේ නැගෙනහිර නායකයාව සිටි කරුණා අම්මාන් කොටි සංවිධානයේ සිටි කාලයේ දී ජසීකරන් ද කටයුතු කර ඇත්තේ දෙවෙනි පෙළ නායකයෙකු ලෙසිනි. ඔහු කොළඹට පැමිණි පසු කොටි සංවිධානයෙන් ලැබුණු රුපියල් එක්කෝටි විසි ලක්ෂයකින් මුද්‍රණාලයක් මිලට ගෙන කොටින්ගේ පුවත්පත් ව්‍යාපාරය ආරම්භ කර ඇත.....ජසීකරන් කොටි සංවිධානයේ සිටි කාලයේ ආරක්‍ෂක රථ පෙළවල් තුනකට බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බව ඔහු විසින් පිළිගෙන ඇත." (2008 මාර්තු 16, 'ලංකා ඉරිදා සංග්‍රහය')

එයින් සතියක් ඇතුළත, මාර්තු 23 වැනිදා 'ලංකා ඉරිදා සංග්‍රහය' අවුට්රීච් මාධ්‍ය මර්දනය ගැන වැඩිදුරටත් මෙසේ වාර්තා කර තිබිණ:

"පසුගියදා කොළඹින් අත් අඩංගුවට ගත් නිදහස් මාධ්‍ය කොටින්ගේ සැඟවුණු තොරතුරු රැසක් ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් හෙළිකරගෙන ඇත. එහි ප්‍රධානියා වන්නේ 'සන්ඩේ ටයිම්ස්' පුවත්පතේ 'ටෙලස්කෝප්' නමැති තීරු ලිපිය ලියන ජේ.එස්.තිස්සනායගම් ය.....ඔහුට ගෙවුණු කාලය තුළ දී කෝටි පහකට වැඩි මුදලක් ලැබී ඇති අතර ඔහු කිලිනොච්චියට ගොස් සිව් වතාවක් කොටි නායකයන් හමු වී ඇත.....යාපනයේ උපන් ඔහු මේ වනවිට කිරුළපන ප්‍රදේශයේ පදිංචිව සිටියි. 'ප්‍රභා' නමැති කොටි සාමාජිකයෙකු විසින් ඔහු මෙහෙයවා ඇති අතර ඔහු විවාහ වී ඇත්තේ දෙමළ කාන්තාවක් සමඟ ය. ඇය OXFAM නමැති ජර්මන් රාජ්‍ය නොවන සංවිධානයක සේවය කරන අතර මුදා නොගත් ප්‍රදේශයේ බෝම්බ ගැළවීමේ කාර්යයේ එම සංවිධානයේ නියැළී සිටියි.......සැකකාරියගේ සැමියා ජම්පටා වීදියේ පවත්වාගෙන ගිය අවුට්රීච් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්‍ෂවරයෙකු වශයෙන් ද කටයුතු කර ඇත....ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදෙන ලද මාධ්‍ය හැඳුනුම්පතක් ඔහුට ලැබී තිබීම පුදුමයට හේතුවකි." (2008 මාර්තු 23, 'ලංකා ඉරිදා සංග්‍රහය')

'පුදුම සහගත ලෙස මාධ්‍ය හැඳුනුම්පත් ලැබී තිබුණැයි' ලංකා පත්‍රය විසින් ලියන ලද්දේ 1987 වර්ෂයේ සිට වෘත්තීය මාධ්‍යකරුවෙකු වශයෙන් ක්‍රියාකළ, සන්ඩේ ටයිම්ස්, සන්ඩේ ලීඩර්, හා ඩේලි මිරර් පුවත්පත්වලට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ පත්‍රකලාවේදියෙකු ලෙස ඒ වනවිටත් විසි වසරකට ආසන්න අත්දැකීම් සහිත ජයප්‍රකාශ් තිස්සෛනායගම් ගැන ය. ඊටත් අමතර කතාවක් ද තිබේ. 1987-89 භීෂණ සමයේ දී දකුණේ තරුණ ඝාතනයන් පිළිබඳ රැස්කරන ලද තොරතුරු අතුරුදහන්වූවන්ගේ මාපිය දූ දරු සංවිධානය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට යවනු පිණිස ඉංග්‍රීසි බසට පරිවර්තනය කරදෙන ලද්දේ ද තිස්සෛනායගම් විසිනි. මහින්ද රාජපක්ෂ හා වාසුදේව නානායක්කාර විසින් ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවට දකුණේ ඝාතන පිළිබඳ රැගෙන යන ලද්දේ ද තිස්ස විසින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කළ මෙකී වාර්තා ය.  එයින් විසි වසරකට පසු ජවිපෙ ප්‍රකාශනයක් වූ 'ලංකා' පුවත්පත විසින් සැක කටයුතු ඉතිහාසයක් සහිත, පඩි ලබන 'කොටියෙකු' බවට පෙරළන ලද්දේ ඒ තිස්සෛනායගම් ය.

ජසීහරන් සහ තිස්සෛනායගම් ඇතුළු පිරිස මුහුණදුන් මේ සිදුවීමෙන් නව වසරකට පසු පවා, එදා ඔවුන් අත්විඳි ඒ සාහසික වධහිංසා යුක්තිසහගත කළ ඉහත කී නින්දිත, වෛරී මාධ්‍ය වාර්තා ගැන නිශ්චිත ලෙස විවෘතව සමාව ඉල්ලා සිටීමට හෝ  කණගාටුව ප්‍රකාශ කිරීමට මේ කිසිදු 'මාධ්‍යකරුවෙකු' ක්‍රියා කොට නැත. නමුත් ජසීහරන් හා තිස්සනායගම් ඒ වාර්තාවන්ගෙන් ප්‍රබන්ධ කරන ලද සාහසික මුසාවන්ගේ මහිමයෙන් ඒ වනවිටත් ත්‍රස්ත විමර්ශන ඒකකය තුළ දරුණු වධ හිංසාවන්ට මුහුණ දෙමින් සිටියහ.☐

(මතු සම්බන්ධයි)

තෙවැනි කොටස: නිදහස් කළත් අනිවාර්යයෙන් මරනවා!'

අතුල විතානගේ


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.