JDS Sinhala

මන්නාරම සමූහ මිනී වළේ කැණීම් යළි අරඹන ලෙස අධිකරණ නියෝගයක්

ත්හැර දමා තිබු මන්නාරම තිරුකේතීස්වරම් සමුහ සොහොන් බිමේ කැණීම් කටයුතු යළි  ආරම්භ කර පරීක්‍ෂණ ඉදිරියට ගෙනයන ලෙස මන්නාරම මහේස්ත්‍රාත්වරයා ඊයේ (16) නියෝග කළේය.

පසුගිය යුද වකවානුව තුළ ඝාතනයට ලක් වූයේ යැයි සැක කරනු ලබන පුද්ගලයන් 80 කට වැඩි පිරිසකගේ ශරීර කොටස් මෙහි වළ දමා තිබීයදී පළමු වරට හමු වූයේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ය. සොයාගන්නා ලද මිනිස් හිස් කබල් සහ ඇට කැබලි ආදිය පරීක්‍ෂණයකට යොමු කරනු ලැබූ අතර මීට වසර 50 කට පෙර මෙම ස්ථානයේ මියගියවුවන් ආදාහනය කරනු ලැබූ  සුසාන භූමියක් බවට ඉදිරිපත් කරන ලද පුරා විද්‍යා වාර්තාවක් හේතුවෙන් කැණීම් කටයුතු හා පරීක්‍ෂණ සියල්ල පසුව නවතා දමනු ලැබුණි.

නමුත් මන්නාරම් ප්‍රදේශයේ  අතුරුදහන්වුවන්ගේ ඥාතීන් සිය නීතිවේදීන් මගින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ නැවතත් මෙම සමුහ සොහාන් බිමේ කැණීම් ආරම්භ කරන ලෙසයි. ඒ අනුව අප්‍රේල් 6 වැනිදා සිට 10 වැනිදා  දක්වා කැණීම් කටයුතු කරන ලෙස  මන්නාරම මහේස්ත්‍රාත් ඇලෙක්ස් රාජා ආසිර්වාදන් නියෝග කළේය. 

මළ සිරුරු ළිඳකට

ඊට අමතරව තිරුකේතීස්වරම් සමුහ මිනීවලට නුදුරුව  පිහිටි අත්හැර දැමූ ළිඳක් සම්බන්ධයෙන්ද පරීක්‍ෂණ කටයුතු යළි ආරම්භ කරන මෙන් මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරන ලදී. අදාළ නියෝගය නිකුත් කරන ලද්දේ ඝාතනයට ලක් කළ පුද්ගලයන්ගේ මළ සිරුරු මෙම ළිඳට දමන්නට ඇතැයි පවතින සැකය පිළිබඳව මහේස්ත්‍රාත්වරයාට කරුණු දැක්වීමෙන් අනතුරුව ය.

මේ අතර මේ පිළිබඳව අධිකරණයට පැමිණිලි කළ නීතිවේදීන්ට අදාළ සමුහ මිනීවල පිහිටා ඇති ප්‍රදේශය නිරීක්‍ෂණයට අවස්ථාව ලැබී තිබේ. ප්‍රදේශයේ පැවති ජල ගැලීම් හේතුවෙන් සැකයට හේතු වී ඇති ළිඳ සොයා ගැනීමට තම පිරිසට නොහැකිවූ බවත්, ජලය බැස ගිය පසු යළිත් එම ප්‍රදේශය නිරීක්‍ෂණය කරන බවත්  නීතිඥ විවේකානන්දන් පුලිදරන් JDS වෙත ප්‍රකාශ කළේය.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.