JDS Sinhala

සරණාගත විරෝධී ඕස්ට්‍රේලියානු යුද්ධය නොහොත් නරකාදිය කරා මුහුදෙන් යෑම

ස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයන්ට එරෙහි නව නීති සම්පාදනය කරමින්, ඔවුන් ආපසු හරවා යැවීමට එරට ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගයන්ට එරෙහිව, මානව හිමිකම් හා වාමාංශික දේශපාලන ක්‍රියාධරයන්ගෙන් එල්ලවන්නේ තියුණු විවේචනයන් ය. 'මිනිස් ජාවාරම්කරුවන්ට පාඩම් ඉගැන්වීමට යන ආණ්ඩුව ඒ මඟින් කරන්නේ, සරණාගතයින් තව තවත් දුෂ්කරතාවයට පත් කිරීමයි,' ඔවුහු කියති.

'ඕෂන් ප්‍රොටෙක්ට්' යාත්‍රාවේ ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයින් පිළිබඳ තීන්දුව පසුගිය දා ප්‍රකාශයට පත් කැරුණේ, ඕස්ට්‍රේලියානු රජයට ජයග්‍රහණය අත්පත් කර දෙමිනි.  එම නඩුව ගොනු කර තිබ්‍රණේ දින 16ක් පුරා යාත්‍රා කරමින් සිටි ඔවුන්, පසුගිය වසරේ ජුනි 29 වැනිදා ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවේදී අත් අඩංගුවට ගෙන මසකට ආසන්න කාලයක් මහ මුහුදේ රඳවා ගැනීමට එරෙහිව ය.

ඉන්දියාවේ සරණාගත කඳවුරක සිට ඕස්ට්‍රේලියාවට යාත්‍රා කරමින් සිටි මේ පිරිස ඕස්ට්‍රේලියානු නාවුක ආරක්ෂකයන්ගේ ඇස ගැසුණේ ක්‍රිස්මස් දුපත ආසන්නයේදී ය. ළමයින් තිස් දෙනෙක්, කාන්තාවන් පනස් දෙනෙක් ඇතුළු දෙමළ යුද අනාතයෝ 157 දෙනෙක්, පසුගිය වසරේ ජුලි 23 වෙනිදා අධිකරණ නියෝගයකින් කොකෝස් දුපතේ දින කිහිපයක් රඳවා, පසුව නාවුරු දුපතේ රැදවුම් ක‍ඳවුර වෙත යවනු ලැබූහ.

"මේ පිරිස මහමුහුදේ රඳවාගෙන සලකූ අකාරය කුරිරු වනවා වගේම, ජාත්‍යන්තර නීතිය කඩකිරීමක්. මේ තීන්දුව මගින් රජයේ සරණාගත නීති ගැන ප්‍රශ්න මතුකරනවා. මේක ඕස්ට්‍රේලියාවටම අවේණික වූ නීතියක්.” ඕස්ට්‍රේලියානු මානව හිමිකම් නීති මධ්‍යස්ථානයේ ප්‍රධානී හියු ද ක්‍රෙස්ටර් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පැවසීය.

ඕස්ට්‍රේලියානු දෙමළ සරණාගත කවුන්සිලයේ කැඳවුම්කරු ට්‍රෙවර් ග්‍රාන්ට් ට අනුව මේ පිරිස ආපසු ශ්‍රී ලංකාවට භාර දීමේ අවදානමක් දැන් පවතී.

මෑත කාලය පුරාම සරණාගතයන් ලෙස ඕස්ට්‍රේලියාවට බෝට්ටුවලින් පැමිණෙන පිරිස් ඉහළ යමින් තිබිණි. ශ්‍රී ලංකාව, ඉරානය, ඉරාකය, ඇෆ්ඝනිස්තානය වැනි යුද ගැටුම් පැවැති රටවලින් පලා එන මේ සරණාගතයන් වැළැක්වීමට ඕස්ට්‍රේලියානු රජය ඉමහත් උත්සහයක් දැරීය. ඒ සාගර නීති මෙන්ම ආගමන විගමන නීතිද වෙනස් කරමිනි. අදාළ රටවල් සමඟ සරණාගතයන් පලා ඒම වැළැක්වීමේ ගිවිසුම්, ආධාර මෙන්ම ප්‍රචාරක වැඩසටහන්ද ඇරැඹිණි. සරණාගතයන්ගේ පැමිණීම වැළැක්වීම වෙනුවෙන්, ඕස්ට්‍රේලියාවට ඈත මුහුදේ  ක්‍රිස්මස්, නාවුරු, සහ පැපුවා නිව්ගිනි දුපත්වල රැඳවුම් කඳවුරු පිහිටුවිණි.

මේ ක්‍රියාමාර්ග ගැන ප්‍රධාන විපක්‍ෂය වන කම්කරු පක්ෂයේ සංක්‍රමණිකයන් පිළිබඳ ඡයා කැබිනට්ටුවේ අමාත්‍ය රිචර්ඩ් මාල්ස් දැරුවේ විවේචනාත්මක ස්ථාවරයකි. 'මුහුදේ දී නැතිවෙන ජිවිත ගැන අප අවධානය යොමුකළ යුතුයි. සන්ධාන ආණ්ඩුව ඇත්තටම සරණාගතයන්ගේ ගෞරවය හා අභිමානය රැකිය යුතුයි. මේ කඳවුරුවල තත්ත්වය ජාත්‍යන්තර ප්‍රතිපත්තිවලට අනුකූලව සහතික කිරීම අත්‍යවශ්‍යයි.'

'ඕෂන් ප්‍රොටෙක්ට්' යාත්‍රාවේ සරණාගතයන් යුක්තිය ඉල්ලා අධිකරණය වෙත යද්දී, ඕස්ට්‍රේලියානු නාවුක පනත කඩිමුඩියේ ගෙනඑනු ලැබිණි. එමඟින් ඕස්ට්‍රේලියානු මුහුදට යාත්‍රා ඇතුළුවීම වැළැක්වීම, පුද්ගලයන් හා ස්ථාන පරීක්‍ෂාව, යාත්‍රා හෝ පුද්ගලයන් රඳවා තබාගැනීම වැනි බලතලවලින් අදාළ නිලධාරීන් සවිබල ගැන්විණි. රජයේ ජයග්‍රහණය සලකුණු කරනු ලැබුයේ මේ නව  නීති මගිනි.

සරණාගත කඳවුරු

සරණාගතයින් රඳවා තබාගැනීම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජය විවිධ මට්ටම්වල කඳවුර පිහිටුවිය. ඒ සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථාන, රැඳවියන් සඳහා වූ විකල්ප මධ්‍යස්ථාන, සංක්‍රමණික තාවකාලික හුවමාරු ස්ථාන සහ සංක්‍රමණික නිවාස වශයෙනි. ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමියෙන් පිටත, ඈත මුහුදේ සරණාගත රැඳවුම් කඳවුරු කිහිපයකි. ඒවා ක්‍රිස්මස්, නාවුරු, මනුස්, සහ කොකෝස් දුපත්වල පිහිටා තිබේ.

ඕස්ට්‍රේලියානු දේශසීමාරක්‍ෂක හා සංක්‍රමණික දෙපාර්තුමේන්තුව 2014 දෙසැම්බර් 31 වෙනිදා නිකුත් කළ නවතම වාර්තාවට අනුව, සංක්‍රමණික රැඳවුම් මධස්ථානවල සිටින රැඳවියන් ගණන 2,424කි. ඉන් 338දෙනකු කාන්තාවන් වන අතර 333දෙනෙක් ළමෝ වෙති. අවශේෂ පිරිස් සමන්විත වන්නේ ක්‍රිස්මස් දුපතේ 497ක්, මාරිබෙනෝහි 123ක්, පර්ත්හි 42ක්, විලාවුඩ්හි 337ක්, විකම් පොයින්ට්හි 242ක්, යන්ග් හිල්හි 333ක්, මේන්ලන්ඩ්හි 850ක් වශයෙනි.

සංක්‍රමණ නිවාස සහ හුවමාරු ස්ථානවල සිටින රැඳවියන් ගණන 333කි. ඒ,  කාන්තාවෝ 89දෙනෙක් වන අතර ළමෝ 87දෙනෙක් වෙති. සංක්‍රමණික නිවාස පවත්නා පර්ත්හි 23දෙනකු, සිඩ්නිහි 35දෙනකු, ඇඩිලේඩ්හි 31දෙනකු සේම, හුවමාරු ස්ථාන පවත්නා බ්‍රිස්බේන්හි 49දෙනකු, මෙල්බර්න්හි 195දෙනකු වශයෙනි. මීට අමතරව නාවුරු දුපත්වල රැඳවියෝ 895දෙනෙක්ද, මනුස් දුපත්වල රැඳවියෝ 1,035දෙනෙක්ද වෙති. නාවුරු දුපත්වල සිටින රැඳවියන් අතරින් 400ක් දෙනා දෙමළ වන අතර සිංහල ජාතිකයෝ 50දෙනෙක් ද වෙති.

කුරිරු  සැළකුම්

"ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන භුමියේ තියෙන කඳවුරුවල නම් තත්වය සාපේක්‍ෂව හොඳයි. ඒත් දුපත්වල තියෙන කඳවුරුවල තත්ත්වය නම් එතරම් හොඳ නැහැ," යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රි ලංකාවේ නැගෙනහිර පළාතේ සරණාගතයෙක් වන ශෂී කුමාර් පුණ්‍යමුර්ති JDS වෙත පැවසීය. සිවිල් සමාජ ක්‍රියාධරයකු වූ ශෂී කුමාර් ඕස්ට්‍රේලියාව වෙත යාත්‍රා කළේ ඔහුට එල්ල වූ ජීවිත තර්ජන හේතුවෙනි. සිය ඕස්ට්‍රේලියානු සරණාගත අත්දැකීම් අනුව ඔහු තත්ත්වය විස්තර කරන්නේ මෙලෙසිනි.

"මේ ඉතාම කුඩා දුපත්වල තියෙන කඳවුරුවල වැඩිය ඉන්නේ යුද ගැටුම්වලට මැදිවෙලා ඒවායෙන් බේරෙන්න පැනලා ආපු අය. ඉතින් ආතතියට පත්වූ කුඩා ළමයින්, විශාදියෙන් පෙලෙන අය, ආරක්ෂකයන්ගේ ලිංගික අතවරයන්ට ලක්වූ කාන්තාවන් මේවායේ බහුලයි. මේ වගේ අමිහිරි කතන්දර ඕනෑ තරම් මෙහි තියෙනවා. මේ තත්ත්වය ගැන ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය එහෙමත් වාර්තා කරනවා. සිවිල් සංවිධාන මැදිහත් වෙනවා. ඒත් තත්ත්වයේ වෙනසක් වෙලා නැහැ. අනෙක මේ දුපත්වල පදිංචි මිනිස්සුත් කැමති නැහැ මේ කඳවුරු ඒ දූපත් භූමියේ දාලා තියෙනවට. එත් මේ කිසිම දෙයක් ගැන ඕස්ට්‍රේලියානු ආණ්ඩුව තැකීමක් කරන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය මිනිස්සුන්ට කොහොම හරි ඉඳීම එපා කරවන්න."

පැපුවා නිව්ගිනි වැසියෝ විසින් පසුගිය වසරේ පෙබරවාරියේදී එවැනි සරණාගත කඳවුරුවලට එරෙහි විරෝධතාවක නිරත වූහ. අවසානයේ සරණාගත රැඳවියන්ට සිදු වුයේ මේ දේශීය සරණාගත විරෝධීන්ගෙන් පහර කෑමට ය.

ඕස්ට්‍රේලියාවේ සරණාගත තත්ත්වය අපේක්ෂාවෙන් දුපත්වල රැඳී සිටින රැඳවියෝ නිරන්තරයෙන්ම දැඩි පීඩනයන්ට ගොදුරු වෙති. සෙන්ට්‍රිගෙඩ් අංශක 45ක උෂ්ණත්වක් ඇති, වායු සමනය නොකළ ඉතා කුඩා කුටිවල සිටින මේ සරණාගත ගැහැනු සහ මිනිස්සු කිසිදු පෞද්ගලිකත්වයක් නොමැතිවම දිවි ගෙවති.

තමන් පිටුවහල් නොකොට කඩිනම් රැකවරණයක් ලබාදෙන ලෙස ඉල්ලමින් සිදුකරන රැඳවියන්ගේ උද්ඝෝෂණ මෙන්ම සත්‍යග්‍රහ, උපවාස මේ කඳවුරු තුළ නිරන්තරයෙන්ම දක්නට ලැබේ. එහෙත් මේ හැම අවස්ථාවකදීම පාහේ සරණාගත රැඳවියෝ ආරක්‍ෂකයින්ගේ ප්‍රහාරයන්ට ලක්වෙති. මෙවන් එක් කඳවුරක් භාර ප්‍රධානියා ලෙස කලක් සිටියේ ශ්‍රි ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකි. ඕස්ට්‍රේලියානු හරිත පක්ෂයේ දැඩි විරෝධය නිසාවෙන් ඔහු ඉන් ඉවත් කැරිණි.

"මනුස් දුපතේ රඳවා සිටින සරණාගතයින්ගේ තත්ත්වය සොයාබැලීමට ස්වාධීන මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ අවශ්‍යතාව තදින්ම දැනෙනවා. සිදුකැරෙන සාමුහික පහරදීම්, වධදීම් වාගේම මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ විමර්ශනයක් කළ යුතුයි," සරණාගතයින් සඳහා වූ ක්‍රියාකාරී සන්ධානයේ ඉයන් රැන්ටල් JDS වෙත පැවසුවේය. ඔවුහු මනුස් දූපත් සරණාගත රැඳවුම් කඳවුර වසා දමන ලෙස ජාත්‍යන්තර උද්ඝෝෂණයක නියැලී සිටිති.

දිවි නසාගැනීම්

ඕස්ට්‍රේලියාවේ සියලුම කඳවුරුවල සිටින ශ්‍රී ලාංකේය දෙමළ සරණාගතයන් පිළිබඳව එකඟතාවක් පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සහ ටෝනි ඇබට්ගේ ඕස්ට්‍රේලියානු සන්ධාන ආණ්ඩුව අතර ඇතිකර ගනු ලැබුණි. ඒ අනුව සරණාගතයන් ඕස්ට්‍රේලියාව වෙත බෝට්ටු මඟින් පලා ඒම වැළැක්වීමට අධිවේගී බෝට්ටු දෙකක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ප්‍රදානය කැරිණි. ශ්‍රී ලංකාව තුළ පුළුල් ප්‍රචාරක ව්‍යාපාරයක් දියත්කරනු ලැබූයේ බෝට්ටු මගින් පැමිණෙන අවදානම් ගමන අධෛර්ය කිරීම පිණිස ය. ඇතැම් අවස්ථාවන්හි මෙවන් යාත්‍රා සමග සංක්‍රමණික පිරිස අත්අඩංගුට ගත් ඕස්ට්‍රේලියානු දේශසීමාරක්ෂක බලධාරීහු සංක්‍රමණිකයන් ආපසු ශ්‍රී ලංකා නාවික හමුදා වෙත භාරදුන්හ. පසුගිය වසරේ ජූලි මාසයේදී මෙසේ නාවික හමුදාවට බාරදුන් දෙමළ සරණාගතයන් 14දෙනා අතුරින් 11දෙනෙක්ම හමුදා බුද්ධි අංශ වෙතින් වධ බන්ධනයට ලක්වූවෝ වෙති.

“මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කාලේ එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 13 ඉඳන් සල්ලි අරන් හමුදා බුද්ධි අංශ, CID, TID නාවික හමුදාව ඇතුළු හැමෝම බෝට්ටු වලින් මිනිස්සු පිටත් කිරීමේ ජාවාරමේ යෙදී හිටියා. නාවික හමුදාව තමයි ජාත්‍යන්තර මුහුදට එනකම් ආරක්ෂාව දෙන්නේ. ජීවිතවලට එල්ලවෙලා තිබුණු තර්ජන හින්දා මිනිස්සුන්ට වුවමනා වුණේ කොහොම හරි රටින් පිටවෙන්න. මේක සල්ලි හොයාගෙන ආපු ගමනක් නෙමෙයි. එහෙම නම් පුංචි දරුවොත් එක්ක මේ වගේ භයානක ගමන් එන්නේ නැහැනේ. මේ හැම දෙයක්ම ඕස්ට්‍රේලියාවේ මාධ්‍යවලට මිනිස්සු කිව්වා,” වසර දෙකක කාලෙකට ලබාදී ඇති සරණාගත වීසා බලපත්‍රයේ වලංගු කාලය ඉක්ම ගියද, එය දර්ඝ නොකිරීම ගැන වේදනාවෙන් පසු වන ශෂී කුමාර් JDS හා අදහස් දක්වමින් වැඩිදුරටත් කීවේය.

“එක එක ප්‍රවර්ග විදිහට කෙටි කාලෙකට වැඩකිරීමේ වීසා දෙනවා. ඒත් කාලය දික් කරන්න ගියාම සෑහෙන කාලයක් ඇදගෙන ගිහින් කියනවා වීසා කැන්සල් කියලා. ඉතින් අපි කොහොමද ආපහු ලංකාවට යන්නේ? මේ වගේ දේවල් දරාගන්න බැරිව, තද නීති හින්දා මේ අවුරුදු ගාණට 25 දෙනෙක් විතර සියදිවි හානි කරගෙන තියෙනවා.”

ඕස්ට්‍රේලියානු රජය විසින් සරණාගත තත්වය ලබාදීම ප්‍රතික්ෂේප කරන ලද ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක්ම සියදිවි හානි කරගත් අතර දිවිනසාගැනීමට තැත්කළ එක් අයකුගේ ජීවිතය බේරා ගැනුණි. ඔහු ශ්‍රී ලංකාවට නැවත යාමට නියෝග කැරුණු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ලිපිය සමගින් සියදිවි නසාගැනීම ගැන ලියන ලද කෙටි සටහනක් සිඩ්නි නුවර විදියක දී පසුව සොයා ගැනිණ.

පිටුවහල් තැත ව්‍යර්ත කෙරේ

"සාමකාමී වටපිටාවක් ඇති ශ්‍රී ලංකාවට දැන් ආපසු යා හැකිය. එහි ජිවත්වීමට කිසිදු ගැටළුක් නොමැත," යන්න ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්, හිටපු නාවික හමුදාපති තිසර සමරසිංහ සේම, ඔහු වෙනුවෙන් උත්තර බඳින නියෝජ්‍ය කොමසාරිස් බන්දුල ජයසේකරත් මෙවන් සිදුවීමකින් පසු පවසන සුපුරුදු ප්‍රකාශයක් බවට පත්ව තිබේ.

අනෙකුත් රටවලින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයන්ට වඩා ලංකාවේ සිට පලා යන දෙමළ ජාතිකයන් මුහුණ දෙන ගැටලුව බරපතල ය. පසුගිය දිනෙක සරණාගතභාවය ප්‍රතික්ෂේප කැරුණු දෙමළ ජාතික තරුණයෙක් වන පවනීතන් දෙමළ සරණාගත කවුන්සලය වෙත දන්වා සිටියේ “හමුදාවේ ලැයිස්තුවල මගේ නම තියෙනවා. මොකද මාව 2011 දී අත්අඩංගුවට අරන් ප්‍රශ්න කළා. ලංකාවට ආපහු ගියොත් දෙමළ ජාතිකයෙක් විදියට මාව වධ බන්ධනයට ලක්වෙන්න තියෙන ඉඩකඩ වැඩියි” යනුවෙනි. 25 හැවිරිදි පවනීතන් ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු වස් මෙල්බර්න් ගුවන් තොටුපොළේ සිට ඩාවින් බලා පිටත්කර හැරීමට පෙබරවාරි 02 වෙනිදා බලධාරීන් ගත් උත්සාහය මෙල්බර්න් ගුවන්තොටට රැස්වූ සරණාගත ක්‍රියාකාරිකත්ව එකතුවේ මෙහෙයැවීමෙන් පැවැති විරෝධතාවක් නිසා ව්‍යවර්ත වූ බව දෙමළ සරණාගත කවුන්සිලය ඊයේ (02) නිවේදනය කළේ ය.

ශ්‍රී ලංකා ආණ්ඩුව මේ සරණාගතයින් ආපසු බාර ගැනීමට එකඟ වීමත් සමඟම ඕස්ට්‍රේලියානු ඇබට් ආණ්ඩුවේ උත්සහාය හැකි තරම් ඉක්මනින්, හැකි තරම් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ සිට ආ සරණාගතයන් ආපසු හරවා යැවීම ය. ඊට ආසන්නතම නිදසුන 'ඕෂන් ප්‍රොටෙක්ට්' යාත්‍රාවේ දෙමළ සරණාගතයන් සම්බන්ධයෙන් ලබාදුන් අධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුවයි.

“දෙමළ ජනයා ගැන කතා කළොත් ඔවුන්ගේ දේශපාලන රැකවරණ ලබාගැනීම, එහෙමත් නැත්නම් ඕස්ට්‍රේලියාවේ සරණාගත තත්වය ඉල්ලීම දුර්මුඛ කිරීමේ ක්‍රියාවලියක් නිර්මාණය වී තිබෙනවා. ආගමන විගමන නිලධාරීන් අහන දහසකුත් ප්‍රශ්නවලට උත්තර බැඳීමට ඔවුන්ට අවශ්‍ය නීති සහායත් අහිමි කර තිබෙනවා. මේ ගැන පුළුල්ව සලකා බැලීමේදී එය බරපතල ලෙස සරණාගත ප්‍රඥාප්තීන් උල්ලංඝනය කිරීමක්. ඔවුන්ගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවශ්‍ය තරම් කාලයක් ලබා දිය යුතුයි,” JDS හා කතා කළ දෙමළ සරණාගතයින්ගේ කවුන්සිලයේ කැඳවුම්කරු ට්‍රෙවර් ග්‍රාන්ට් පැවසීය.

තිස් දහසක් වන දෙමළ ජනයා ඇතුළු ඕස්ට්‍රේලියාවේ සිටින සියලු සරණාගතයන්ට ස්ථිර සාර විසඳුමක අවශ්‍යතාව පෙන්වාදෙන සරණාගතයින් සඳහා ක්‍රියාකාරී සන්ධානයේ ඉයන් රන්ටල් JDS හා කියා සිටියේ, ඕස්ට්‍රේලියාව 'සාධාරණත්වයේ දේශය' ලෙස ඕස්ට්‍රේලියානුවන් මහත් ආඩම්බරයෙන් හදුන්වාදෙන නමුත්, අවතැන්ව සිටින ජනයාට සලකන ආකාරයෙන් පෙන්නුම් කරනුයේ සාධාරණත්වය නොව කෘරත්වය හා සහාසිකත්වය බවයි.

“ඕස්ට්‍රේලියාව කුඩා හදවතක් ඇති විශාල රටක් ලෙස ලොව ප්‍රකට වනු ඇත” රැන්ටල් පවසයි.☐


අතුල විතානගේ


©  JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.