JDS Sinhala

සමකය: ඒ සංහාරක දවස් - III

ල්පාන්ත වියරුවෙන් නොකඩ වට ධාරාණිපාත චණ්ඩ වැසි දියෙන් වටලනු ලැබූ දකුණේ දුගී ගම්බිම් යටකරමින් දඩයමේ ගිය විකල් පස් කඳු යට මිනිස් කුරා කුහුඹුවන් වැළලී ගියේ පසුගිය සතියේ ය. දෙවසරකට පෙර හල්දුම්මුල්ලේ මීරියබැද්දේදී සොබාදහමේ මෘග බලයෙන් ගැළ වී ගත් අවතාර බඳු ගැහැණුන් සහ මිනිසුන් සුන්බුන් අතර සරමින් සිය දරු පවුල් සොයන සේයා රූ මතකයෙන් මකාලන අනුවේදනීය ඡායාරූප දැන් අරණායකින් මතු වී තිබේ. අනපේක්‍ෂිත ව්‍යසනයන් විසින් මැඩලන ලද නිස්සරණ මිනිස් සමූහයකගේ කම්පිත රූ තවත් දෙතුන් සතියක් කොළඹ මාධ්‍ය සමාගම්වල ක්‍ෂුදා ගිනි නිවාලන දෛනික භෝජනය සැපයීමට නියමිත ය.

නමුත් ශාසනාලයැ’ති සන්නද්ධ හමුදා වාඩි ලා ගත් යාපනයේ ශ‍්‍රද්ධා ගඟුලකි. සත් වසකට එපිටදී මේ වැනි වෙසක් සමයක මුලතිවු වැල්ලේ බුර බුරා නැඟි තැවුල් ගිනි මැද විසුණු කළ දස දහස් සංඛ්‍යාත මිනිස් ජීවිත සිහි කොට මේ වසරේදීත් පහන් දැල් වූ දෙමළ ජනයා, අවිගත් සේනා විසින් ඉදිකළ ‘යාපා පටුනයි - දහම් අමාවයි’ සැණකෙළි තොරණ් ආරුක්කු යටින් සිය ගම්බිම් බලා පෙරළා ගියහ. අවමන් සහගත සැළකීමේ සහ සංහාරයේ විසකුරු කස පහරින් අඩ සිය වසකට වැඩි කලක් තැලූම් කෑ ඒ බංගුර මිනිස් රූ දකුණේ බහුතරයක් දෙනාගේ සදොස් චිත්තයන් කළඹනු නැත්තේ ඔවුන් විඳි ව්‍යසනයන්ගේ අනුවේදනීය නිමේෂයන් අපේ ‘ශ්‍රේෂ්ඨ ඉතිහාස පිටු’ අතරින් මකාලනු ලැබ ඇති නිසා ය.

‘මනුෂ්‍යයෙකු විනාශ කළ හැක්කේ කෙසේදැයි තමා වටහා ගත්තේ හමුදා සෝදිසි පරීක්‍ෂාවන් සඳහා තම පියා හා නිර්වස්ත‍්‍රව පෝළිමක සිටුවා තිබියදී යැයි’ පස් වසරකට එපිට දී මා හා කීවේ වන්නියේ මිනිස් දඩබිම්වල සිට දෛනික වාර්තා සැපයූ ටැමිල් නෙට් වාර්තාකරු විසිනි. යුදෙව් සංහාරයෙන් දිවි ගළවාගත් ඉතාලියානු ලේඛක ප‍්‍රීමෝ ලැවී ලියූ කිසිවක් ඒ වනවිට කියවා නොතිබූ තරුණයෙකු විපරිත ප‍්‍රචණ්ඩ බලය හමුවේ කීතු කොට දැමෙන මිනිස් ගරුත්වය පිළිබඳ ගැඹුරු සත්‍යයක් හැඟීම් මුක්තව පහදා දුන්නේ ඒ කතාබහේදී ය. තමා හඹා ආ මරණීය අනතුරෙන් ගැළ වී ඉන්දියාවට පලා ආ මුත් වලංගු ගමන් බලපත‍්‍රයක් හෝ නීත්‍යානුකූල කිසිදු ලියැවිල්ලක් රහිතව චෙන්නායි නගර පරිවාරයේ තැනින් තැන සැඟ වී දිවි ගෙවූ අප්පුතුරෛ ලෝකීසන් හා ඔහුගේ බිරිඳගේ ජීවිත ආරක්‍ෂා කරනු වස් වසර එක හමාරක් තිස්සේ ජේඞීඑස් සංවිධානය හරහා අප දැරූ ප‍්‍රයත්නයන් ඵල දැරුවේ 2010 ඔක්තෝබරයේදී ය. තුන්මස් වියැති බිළිඳෙකු තුරුළු කොටගත් බිරිඳ සමග දුම්රියක ගෙවා දැමූ වෙහෙසකර දෙතුන් දිනකින් පසු මැදියම ළඟා වනතෙක් දොරින් දොරට තට්ටු කරමින් දිල්ලියෙ රැයක් ගතකරන්නට නවාතැන් සෙවූ ලෝකීසන් අවසානයේ එක් වරකට පමණක් වලංගු තාවකාලික ගමන් බලපත‍්‍රයක ආධාරයෙන් යුරෝපයට ආවේය. තුන් දිනක් තිස්සේ එල්ල වූ ෂෙල් වර්ෂාවන්ගෙන් දිවි රැකගනු වස් බීමට දිය පොදක් නොමැතිව පිපාසිතව බංකරයකට වැද සිටි වයෝවෘධ පියා දෑතින් ඔසවාගෙන, මව හා පෙම්වතිය කැටුව කළපුවට බට තමා, ඉදිමුණු මෘත ක්ලේබර පාවෙන කළපු වතුර දෙවරක් නොසිතාම පානය කළ ආකාරය ගැන ලෝකීසන්ගේ විස්තරය අපි නිරුත්තරව අසා සිටියෙමු. ‘තිරිසනුන්ට මෙන් අපටත් ගරුත්වය ගැන හැඟීමක් නොවී නම් කොතරම් සහනයක් වී දැයි’ තමන් කල්පනා කළේ 2009 ඒ අපේ‍්‍රල් මාසයේදී බැව් ඔහු කීවේය.

ඒ වන් කතා දහසක් දකුණ තවමත් නොදනී.

දෛනිකව හඹා එන මරණය මඟහැර යුද්ධාවසානය තෙක් වාර්තාකරණයේ යෙදුණු ‘ඊළනාදම්’ පත‍්‍රයේ පුරෝගාමී ජ්‍යෙෂ්ඨ මාධ්‍යකරුවා වූ පොන්නයියා ජෙයරාජ් හමුවූයේ එයින් දෙවසරකට පසු වසන්ත සෘතුව ආරම්භයේදී ය. යුද ගිනි දැලින් වටලන ලද 2009 මැයි මාසයේ 10 වැනිදා දක්වා වූ විසි පස් වසක් තිස්සේ ඊළනාදම් පත‍්‍රය මෙහෙයවීමේ ගෞරවයට හිමිකම් කියමින් රබර් සෙරෙප්පු යුගලක් පය ලාගෙන වන්නියේ සැහැල්ලූවෙන් ඔබ මොබ ගිය අල්පේච්ඡ මිනිසෙකු, පැරිසියේ ග‍්‍රාන් බොළුවා උමං දුම්රියපොළේ අතරමං වූවෙකු මෙන් අපේක්‍ෂා විරහිත දෑසින් අප එනතුරු බලා සිටිනු අපි දුර තියා දුටීමු. ‘මැදිවිය ඉක්ම වූ ජීවිතය දැන් කොහෙන් පටන්ගත යුතුදැයි තමන් නොදන්නේ’ යැයි ජෙයරාජ් කීවේය. දේශපාලන රැකවරණ පතා ඔහු ඉදිරිපත් කරන ලද අයැදුම්පත පිළිගනු ලැබුවේ එයින් හය මාසයක් ඇවෑමෙනි. දිවි ගළවාගත් ‘ඊළනාදම්’ කර්තෘ මාණ්ඩලිකයන් බහුතරයක් දෙනා සමග ලා ෂපෙල්හි දෙමළ අවන්හලක රාත‍්‍රී ආහාරයට එක් වූ පසුදිනක, නියත මරණය විසින් වටලනු ලැබූ සිය වෘත්තීය දිවිය පිළිබඳ ඔවුන්ගේ නොනිමි කතාවන්ට අපි විපිළිසරව සවන් දී සිටියෙමු. සිය මාධ්‍ය සගයෙකුගේ උරස් කුහරය පසාරු කළ දුර සිට එල්ල කළ ස්නයිෆර් උණ්ඩයක් ඔහුට පසුපසින් සිටි අයෙකු මරණයට පත් කළ ආකාරයත්, දෙසතියක් මරණය හා සටන් කළ සිය සගයා යළිත් කැමරාව රැගෙන වාර්තාකරණයේ යෙදුණු ආකාරය ගැනත් ඒ සාමිචි මැද අප හා කියන ලද්දේ ජෙයරාජ් විසිනි. එසේ දිවි ගළවාගත් සුවේන්දිරන් යළිත් මරණය හා සටන්කොට සමුදුරු තරණය කරමින් දුරු රටකට පලාගොස් නැවත ජීවන අරගලයට අවතීර්ණ වූ බව ඒ වසරේම අපට ලියා එවීය.

ෂෙල් ප‍්‍රහාරවලින් ගැළවෙනු වස් ට‍්‍රැක්ටර් ටේලරයකට මුද්‍රණ යන්ත‍්‍ර පටවා ධාවනය වන ට‍්‍රැක්ටරයේ සිට ‘ඊළනාදම්’ පත‍්‍රය මුද්‍රණය කළ අවසන් දවස් පිළිබඳ ජෙයරාජ් හා ඔහුගේ සගයන්ගේ සෝකාකූල ස්මරණයන් යුක්ති සහගත නිදහස කෙරෙහි නොතිත් අනුරාගයෙන් බැඳුණු මිනිස් ධෛර්යය පිළිබඳ දුලබ පුරාවෘතයන් සේ සළකනු ඇත්තේ කවදාදැයි අපි නොදනිමු. නමුත් සකලවිධ අසීරුතා මධ්‍යයේ වාර්තාකරණයේ යෙදෙමින් දිවි දුන් දහ දෙනෙකුට වැඩි ඊළනාදම් පත‍්‍රයේ සහෝදර මාධ්‍ය සේවකයන් පිළිබඳ අනුස්මරණීය හමුවකට පෙරළුණු ඒ වැනි විරල සන්ධ්‍යාවන් විසින් අනාවරණය කළ මිනිස් ඛේදයන් පිළිබඳ නොනැසුණු මතක මාත‍්‍ර මේ මැයි මාසයේත් අප අවට සැරිසරයි. 

ඒ වන් කතා දහසක් දකුණ තවමත් නොදනී.

වන්නියේ අවසන් මිනිස් ඝාතක බිම් පිළිබඳ ගත වූ සත් වසර තුළ අප හමුවේ අනාවරණය වූ බොහෝ කතා දැන් තැනින් තැන සිය ජීවනානුභූතීන් වශයෙන් ලියැවෙමින් තිබේ. සංහාරයන් පිළිබඳ බිහිසුණු ස්මරණයන් රැගෙන දිවි ගළවාගත්තවුන් විසින් ලියන ඒ ඉතිහාස කතා, සමූල ඝාතන පර්මෝත්කර්ෂයට නංවන නිල ඉතිහාසය පිළිබඳ මාගල් මුසාවන් විසුණු කොට දමන අයෝමය බලයක් වනු ලොව කොතැනක දී හෝ වැළකිය නොහැක. අප්පුතුරෛ ලෝකීසන්ගේ වාර්තාද, සෞන්දියාස් අමරදාස් හා කාර්තිගේසු සුවේන්දිරන්ගේ සේයා රූ ද, පොන්නයියා ජෙයරාජ්ගේ කතුවැකිද, තිරුචෙල්වන් තිරුකුමාරන් හා දීපචෙල්වන් ප‍්‍රදීපන්ගේ කවි සංකල්පනාවන් ද ඒ ලේ වැකි ඉතිහාස මුසාවන්ට එරෙහි අචල මිනිස් අධිෂ්ඨානයේ නියෝජනයන් ය.

නමුත් සත් වසකට එපිටින් වූ සංහාරක දවස් පිළිබඳ ඒ වන් කතා දහසක් දකුණ තවමත් නොදනී.☐

(මෙම ලිපිය 2016 මැයි 29 වැනිදා 'රාවය' පත්‍රයේ මුලින් පළ විය.)

රෝහිත භාෂණ අබේවර්ධන 


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.