JDS Sinhala

'UN එක වන්නියෙන් පිටවුණේ දහස් ගණනක මරණ සහතික ලියන්න ඉඩ දීලායි' - අප්පුතුරෛ ලෝකීසන්

යාපනයේ මානව හිමිකම් පිළිබඳ සරසවි ආචාර්යවරුන්ගේ එකතුව දීර්ඝ කාලාන්තරයක් මුළුල්ලේ කොටි සංවිධානයේ උග්‍රතම විවේචකයන් වශයෙන් දකුණේ පිරිස් අතරද ප්‍රචලිතව සිටියේය. වන්නියේ අවසාන යුද්ධය නිමා වී මාස හයකින් පසු යුද්ධයේ අවසාන සමය පිළිබඳ ඔවුන් විසින් එළි දක්වන ලද වාර්තාවක ඔවුහු මෙසේ ලියති: 'ටැමිල් නෙට් වාර්තාකරු වනාහී කොටි සංවිධානයේ ඊළනාදම් පත්‍රයේ සංස්කාරකවරයෙකු වශයෙන් කියාකළ අයෙකුගේ බාල සහෝදරයා වූ අතර එම පත්‍රයේම කලක් සේවය කළ අයෙකි. හෙතෙම, ඒ ඛේදනීය සමයේ වන්නියේ සිවිල් වැසියන් මුහුණ දුන් යථාර්ථයේ එක් පැතිකඩක් ටැමිල් නෙට් වෙබ් අඩවිය සඳහා අවංකව කැප වී වාර්තා කළේය. ෂෙල් ප්‍රහාර නොතකා සිවිල් වැසියන් ඝාතනය කෙරුණු තැන් කරා ගිය ගිය ඔහු සේයා රූ ගනිමින්, චන්ද්‍රිකා දුරකථන භාවිතය දත් අයගේ උපකාරයෙන් එම සේයා රූ සහ වාර්තා රටින් බැහැරට යැවීය. ඔහු විසින් සපයන ලද සිවිල් වැසියන්ගේ මරණ පිළිබඳ සංඛ්‍යාවන් වෙනත් නිවැරදි මූලාශ්‍ර විසින් ලබාදුන් සංඛ්‍යා හා මැනවින් සැසඳිණ."

මරණය නොතකා වන්නියේ මිනිස් සංහාරය බාහිර ලෝකයට වාර්තා කරන්නට දිවි පරදුවට තබා ක්‍රියාකළ ඒ අප්‍රකට තරුණයා, අප්පුතුරෛ ලෝකීසන් ය.

යාපනයේ, පේදුරුතුඩුවේ උපන් ලෝකීසන්, සිය දිවියේ වැඩි කලක් ගතකළේ වන්නියේ ගමින් ගමට අවතැන් වන යුද අනාථයෙකු වශයෙනි. 24 වැනි වියේදී ටැමිල් නෙට් වෙබ් අඩවියට සම්බන්ධ වන්නට පෙර 'ඊළනාදම්' පත්‍රයේ සේවය කළ ලෝකීසන්, වන්නියේ අවසාන ලේ වැගිරීම් වාර්තාකරණයේ දී දක්වන ලද කැපවීම පිළිබඳව ටැමිල් නෙට් වෙබ් අඩවියේ නිර්දය විවේචකයන්ගෙන් පවා, පැසසුම් ලද්දේය. සිය වයෝවෘද්ධ මව්පියන්ද කැටුව ගමින් ගමට අවතැන්ව යමින් සිය මාධ්‍ය වගකීම ඉටු කළ ඔහු සැපයූ වාර්තා ජාත්‍යන්තර ජනමාධ්‍ය විසින් නිරන්තරයෙන් උපුටා දක්වන ලද්දේ ඒවායේ නිරවද්‍යභාවය පිළිබඳ පැවති විශ්වාසය හේතුවෙනි. 2007 ඔක්තෝබර් මාසයේ නැගෙනහිර විසුවමඩු ප්‍රදේශයේ ඔහු විසූ නිවස ගුවන් හමුදා ප්‍රහාරයකින් මුළුමණින්ම විසුණු වූ අතර තුවාල ලත් ඔහුගේ මව්පියන් කිලිනොච්චි රෝහලට හැරළවූ ලෝකීසන් වන්නිය ගම් බිම් පුරා සිය යතුරු පැදියේ නැගී සැරිසරමින් ප්‍රහාරයන් හා මරණ ගැන වාර්තා කළේය.

'මම කරපු කාර්යය, වන්නියේ වෙනත් මාධ්‍යකරුවෙකු කරපු කාර්යයට වඩා විශේෂ කැපවීම් සහගත එකක් නෙවෙයි' ඔහු කියයි. 'එකම වෙනස වුණේ වන්නියේ සිදුවන සංහාරය ගැන මගේ වාර්තාවලින් බාහිර ලෝකයට දැනුම්දීමට මට තිබුණු හැකියාව විතරයි.'

මරණයෙන් ගැළවී හමුදා පාලන ප්‍රදේශයන් කරා පැමිණි ලෝකීසන්, හමුදා අත් අඩංගුවට පත්වීමෙන් බේරී ඉන්දියාවට පලාගොස් වලංගු ගමන් බලපත්‍රයක් පවා නොමැතිව රහසිගතව ජීවත්වෙන අතරවාරයේම සිය අත්දැකීම් ලිවීම ආරම්භ කළේය. වසරකට වැඩිකලක් ඉන්දියාවේ ගතකළ දුෂ්කර දිවිය අවසානයේ  2010 ඔක්තෝබරයේ දී, යුරෝපයේ දේශපාලන රැකවරණ ලද හෙතෙම, වන්නියේ මිනිස් සංහාරය හා බැඳුණු සිය වෘත්තීය අත්දැකීම් කෘතියක් වශයෙන් පළ කිරීමට දැන් සූදානම්ව සිටියි.

දෙමළ ජනයා වන්නියේ මිනිස් දඩබිමෙහි අත්හැර දමා එන්නට එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්ය මණ්ඩලය ගත් තීරණයට හත් වසරක් පිරෙන මේ සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ 30 වැනි මානව හිමිකම් සැසිය ජීනීවාහි මුළුදෙමින් තිබේ.

අතීතය ගැන JDS හා දීර්ඝව කතා කරන්නට ‍පළමුවරට ලෝකීසන් එකඟ වූයේ, සිය වෘත්තීය දිවිය පිළිබඳ කවර හෝ ප්‍රවෘත්ති මාධ්‍යයකට කතා කිරීමෙන් වැළකී ගතකළ හය වසරක් අවසානයේදී ය. ලංකාවේ නිල ඉතිහාසයේ කිසිදා නොලියවෙන අප්‍රතිහත කැපවීම් සහ මිනිස් වීරත්වයන් පිළිබඳ පීඩිතයන්ගේ ඉතිහාස කතාවේ අත්හළ නොහැකි වික්‍රමාන්විත පරිච්ඡේදයක් අප්පුතුරෛ ලෝකීසන්ගේ ජීවන අත්දැකීම් විසින් චිත්‍රණය කරයි.

සටහන: භාෂණ අබේවර්ධන


යුද්ධයක් තුළ හැදී වැඩුණු  ඔබ ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයට අවතීර්ණ වෙන්න තීරණය කළ පසුබිම මොන වගේ එකක්ද?

ලෝකීසන්: මම වන්නියේදි පළමුවෙනි වතාවට උසස් පෙළ ලිව්වේ 2000දි. දෙවෙනි පාරත් කරන්න අවශ්‍යයි කියලා හිතුණ නිසා 2001දීත් ආයෙමත් ලියලා ගෙදර ඉන්න අතරවාරයේ තමයි මාධ්‍ය වෘත්තිය ගැන ම‌ගේ උනන්දුව වර්ධනය වුණේ. කොයිතරම් දුෂ්කරතා යටතේ ජීවත් වුණත්, වන්නියට ලැබෙන වීරකේසරී පත්තරෙත්, කොළඹ මුද්‍රණය කරන වෙනත් පත්තරත් පුළුවන් හැම වෙලාවෙම තාත්තා ගෙදරට ගෙනාවා. වීරකේසරී ඉරිදා පත්තරේ ලැබෙන්නේ ගොඩාක් ප්‍රමාද වෙලායි. අනෙක් අතින් වන්නියට ලැබෙන සීමිත පිටපත් ප්‍රමාණයෙන් පත්තරයක් වෙන් කරගන්න එකත් පහසු කටයුත්තක් නෙවෙයි. නමුත් ඒ පත්තර කියවන හැම වෙලාවෙම මට හිතුණ දෙයක් තමයි, අපේ ජීවිතවල ගැටළු පිටස්තර ලෝකයට කියන්න හැකියාවක් මාධ්‍යවේදි වෘත්තියෙන් ලැබෙන බව. උදාහරණයක් විදියට කියනවා නම් අපි ඉගෙනගත්තේ නොසෑහෙන දුෂ්කරතා මැද. ආර්ථික අගහිඟකම් විතරක් නෙවෙයි, යුද්ධය නිසාම නිර්මාණය වුණු ජීවිත අවදානමක් මැද තමයි අපි ඉගෙන ගත්තේ. අනෙක් අතින්, ඉස්කෝලවල ප්‍රමාණවත් ගුරුවරුවත්, මූලික සම්පත්වත් තිබුණේ නැහැ. අපි හැම දෙනෙක්ම ජීවිතයේ මුහුණ දෙන දුෂ්කරතා ගැන එළියට කියන්න හැකියාව මාධ්‍යවේදියෙකුට තියෙන බව ඒ කාලයේත් මට හැමවිටම තේරුම් ගිය දෙයක්. මේ වෘත්තිය ගැන ආශාව ඇතිවුණේ ඒ විදියටයි.

‘ඊළනාදම්’ පත්තරයේ ප්‍රධාන වගකීමක් දරපු කෙනෙක් මට මුණ ගැහුණේ ඒ අතරතුරයි. ඒ 2002 අවුරුද්දේයි. මගේ පවුලේ පසුබිම ගැනත්, ලිවීම සම්බන්ධයෙන් මට තියෙන උනන්දුව ගැනත් කිසියම් අදහසක් ඒ වෙනකොටත් ඔහුට තිබුණා. ‘ඊළනාදම්’ පත්තරයට සම්බන්ධ වීමේ අවස්ථාව ලැබුණේ ඔහු හරහායි. ඒ අනුව මට ‘ඊළනාදම්’ පත්තරයේ කර්තෘවරයා මුණ ගැහෙන්න අවස්ථාව ලැබුණා. මාණ්ඩලික වාර්තාකරුවෙකු විදියට පුහුණුවෙමින් වැඩ කිරීමේ අවස්ථාව මට හිමි වුණේ ඒ අනුවයි. වාර්තාකරුවෙක් විදියට මට නිසි අඩිතාලම වැටුණෙත්, කිසියම් පිළිගැනීමක් නිර්මාණය වුණෙත් ‘ඊළනාදම්’ පත්තරයේ වැඩ කිරීම හරහායි.

මුල්කාලීන වාර්තා සහ ලිපිවලට මූලික වශයෙන් තේමා කරගත් විෂයයන් හෝ සිදුවීම් ගැන  කිසියම් මතකයක් තියෙනවාද?

ලෝකීසන්: මගේ මාධ්‍යවේදී ජිවිතය ඇරඹුණේ 2002 සටන් විරාමයත් එක්කමයි. ඒ නිසා මා ලියපු මුල් වාර්තාවලට බහුල වශයෙන් පදනම් වුණේ යුද්ධය නැවතීමත් එක්කම මුහුණ දෙන්න තිබුණු සාමාජීය ගැටළුයි. පාසැල්වල සම්පත් ඌනතාව, දරුවන් මුහුණ දෙන අධ්‍යාපන ගැටළු වගේ මමත් පෞද්ගලිකවම අත් වින්ද ප්‍රශ්න මුල් කරගෙන තමයි මගේ මුල් වාර්තා ලියැවුණේ. අනෙක් අතින් සාම ක්‍රියාදාමය හා බැඳුණු වර්ධනයන් ගැනත් මට වාර්තාකරන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම විදේශ දූත පිරිස්, නැතිනම් තානාපති නියෝජිතයන් වන්නියට ආවම ඒ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවලට සහභාගී වෙලා අදාළ වාර්තා කිරීම් කරන්නත් මට සමහර අවස්ථාවල සිදුවුණා.

මේ අතරේ 2004දී සුනාමි විනාශය හේතුවෙන් දුෂ්කර කාලයක් යළිත් උදා වුණා. ඒ නිසා මට ඒ දක්වා ලියන්න තිබුණු තේමාවන්වලට වඩා වෙනස් කාරණාවලට අවධානය යොමු කරන්න සිද්ධ වුණා. සුනාමිය හේතුවෙන් විපතට පත් වුණු ජනතාව ආරක්‍ෂා කරන්න හෝ  නැවත නඟා සිටුවන්න අවශ්‍ය සම්පත් සහ ආධාර, ප්‍රමාණවත් තරම් වන්නියට ලඟා වුණේ නැහැ. ඒ නිසා ඒ ඒ ප්‍රදේශවල ජනතාව මුණගැහිලා, කතා කරලා ඒ විනාශයෙන් දිවි බේරාගත්තු මිනිස්සුන්ගේ ජීවිත ගැනත්, ඒ අයගේ අත්දැකීම් ගැනත් තොරතුරු රැස් කරගෙන මම ඊළනාදම් පත්තරයට ලිපි පෙළක් ලියන්න පටන් ගත්තා. මේ ලිපි පෙළ, වන්නියේ ජීවත් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යකරුවන් සහ ලේඛකයන් වැනි අයගේ ඇගයීමට පාත්‍ර වුණු නිසා ඒ ලිපි ‘අලෙයිල් වඩුක්කල්’ නමින් පොතක් වශයෙන් පළ කිරීම දෙවනුව සිද්ධ වුණා.

ටැමිල් නෙට් වෙනුවෙන් වාර්තාකරණයේ යෙදෙන්න පුළුවන්ද කියන යෝජනාව ඉදිරිපත් වෙන්නත් කිසියම් දුරකට මේ ලිපි පෙළ ඉවහල් වුණා. දෙමළ ජනතාව මුහුණ දී තිබෙන ප්‍රශ්න හැකිතාක් පිටතට අනාවරණය කළ යුතුයි කියන මතයේ පිහිටා සිටි මට ඒ යෝජනාව පිළිගන්න කිසිම පැකිළීමක් තිබුණේ නැහැ. නමුත් එක අතකින් ඒ අයට අවශ්‍ය තරම් හොඳින් ඒ කාර්යය කරන්න හැකියාවක් තිබෙනවාද කියන ගැටළුව මට තිබුණා. අනෙක් අතින්, දෙමළ මාධ්‍යයන්ට සම්බන්ධව වැඩ කරලා ලබපු අත්දැකීම් විතරක් තිබුණ කෙනෙක් විදියට, ඉංග්‍රීසි භාෂාවෙන් ජාත්‍යන්තර පාඨක පිරිසකුත් ඉලක්ක කරගෙන යන ටැමිල් නෙට් එක සඳහා ඕනෑ කරන ගුණාත්මක මට්ටම සහිතව වාර්තාකරණයේ යෙදෙන්න පුළුවන් වේවිද කියන දෙගිඩියාව මට තිබුණා. ඒ ප්‍රශ්න තිබියදීත්, වැඩ කරන්න පුළුවන්ද කියලා ඇහුවම, ’ඔව්’ කියන උත්තරය මම දුන්නා. මම ටැමිල් නෙට් වෙනුවෙන් වාර්තාකරණය පටන් ගත්තේ ඒ විදියටයි.

මේ යෝජනාව ආවේ සිවරාම් හරහාද?

ලෝකීසන්: නැහැ. මම ඊළනාදම් වැඩ කරන කාලයේ සිවරාම් වන්නියට යන එන වෙලාවට අපේ කාර්යාලයට ආවම මම ඔහු දැකලා, කතා බහ කරලා තියෙනවා. නමුත් මම නිල වශයෙන් ටැමිල් නෙට් වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්තේ සිවරාම් ඝාතනය කළාට පස්සෙයි. සිවරාම් පැහැරගෙන ගිහින් මරා දමන වෙලාව වෙනකොට මම ඊළනාදම් පත්තරයේ වැඩ කරන අතරේම යාපනයේ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාව හදාරමින් හිටියේ. ඒ ඝාතනයෙන් පසුවයි ටැමිල් නෙට් හා සම්බන්ධව වැඩ කරන්න කැමතිද කියන එක ගැන නිල වශයෙන් මගේ කැමැත්ත විමසුවේ. 

ඔබ කියන ආකාරයට ටැමිල් නෙට් සඳහා වාර්තාකරණය පටන් ගත් කාලය සහ යුද්ධය ආරම්භ වූ කාලය එකිනෙකට ඉතාම ආසන්නයි. යුද්ධය ආරම්භ වීමත් එක්කම ඔබ ඒ දක්වා සිදු කළ ආකාරයේ වාර්තාකරණයට වඩා වෙනස් තේමාවන් සහ සිදුවීම් පිළිබඳ වාර්තා ටැමිල් නෙට් වෙබ් අඩවියට සම්පාදනය කිරීමේ අභියෝගයට මුහුණ දුන්නේ කොහොමද?

ලෝකීසන්: මම අයිති පරම්පරාව හැදුණේ යුද්ධයත් එක්කමයි. ෂෙල් හඬට සහ ගුවන් ප්‍රහාරවල ශබ්දයට අපි ළමා වියේ ඉඳන්ම  කණ හුරු වුණු පරම්පරාවක්. 2002න් ඇරඹුණු සටන් විරාමය නිසා අපේ ජීවිතවලට සාපේක්‍ෂ සන්සුන්කමක් ලැබුණු බව ඇත්ත. ඒ, අර කලින් කියූ ෂෙල් සහ ගුවන් ප්‍රහාරවල ශබ්දය නැවතුණු නිසායි. නමුත් අපේ මුල් ගම්බිම්වලට ගිහින් නිදහස්ව එදිනෙදා ජීවිතය ගත කරන්න පුළුවන් අවස්ථාවක් මේ කියන සාම කාලය තුළ වුණත් අපට ලැබුණේ නැහැ. කොහොම වුණත් ඕමන්දෛ මුරපොළින් වන්නියට ගෙනෙන බඩු භාණ්ඩ සම්බන්ධයෙන් කලින් පැවති සම්බාධක අයෙමත් පැනවෙන්න පටන් ගන්නකොට ළඟ එන යුද්ධය ගැන ඉව අපිට දැනුනා. නමුත් මම තව දුරටත් යාපනය විශ්ව විද්‍යාලයේ ජන මාධ්‍ය ඩිප්ලෝමාවට දිනපතා වන්නියේ ඉඳන් යාම කරගෙන ගියා. මුහමාලෛ හමුදා මුරපොළේ ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශවලින් මම වගේ තරුණයන්ට එල්ල වෙන පීඩිනය වැඩි වෙන්න පටන් ගත්තේ මේ කාලයේදීයි. හැමදාම මම යන එනකොට නවත්වලා මම යාපනයට යන - එන හේතුව ගැන පැයක් දෙකක් ප්‍රශ්න කරන එක සාමාන්‍ය දෙයක් බවට පත් වුණා. ඒ හැම අවස්ථාවකදීම මම වන්නියේ ජීවත් වන බවත්, මාධ්‍යයට සම්බන්ධව කටයුතු කරන නිසා යාපනයේ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාව කරන බවත් මම ඒ අයට කිව්වා.

නමුත් මගේ විශ්ව විද්‍යාල ගමන නැවතුණේ මේ කාලයේ එක්තරා සිදුවීමක් නිසායි. 2005 අවසාන වී ගෙන එන කාලයේ දවසක් මාව මුරපොළේදී නවත්වලා ප්‍රශ්න කරපු බුද්ධි අංශ සාමාජිකයන් කිව්වා ඊ ළඟ පාර එනකොට එල්ටීටීඊ සංවිධානයෙන් සාමාජික හැඳුනුම් පතක් අරගෙන එන්න කියලා. මම කිව්වා, මට එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයෙක් නොවී මට ඔවුන්ගෙන් සාමාජික හැඳුනුම්පතක් ලබාගන්න බැහැ කියලා.  ඒ පාර ඔවුන් කිව්වා, එහෙම හැඳුනුම්පතක් නැතුව ඊ ළඟ පාර ආවොත් මාව අත් අඩංගුවට ගන්න බව. මේ නිසා අන්තිමේදී  කරමින් තිබුණ මාධ්‍ය පාඨමාලාව දිගටම කරගෙන යන්න බැරි තත්ත්වයක් උදා වුණාම මම පාඨමාලාව අත්හැරලා දාලා ගෙදර නැවතුණා.

මේ කාලය වෙනකොට මහ ජනයා අතර සටන් විරාමය ගැන තිබුණු බලාපොරොත්තු ක්‍රමයෙන් හීන වෙමින්, 'අපිට කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ' වගේ හැඟීමක් තමයි පැවතුණේ. රජයේ හමුදා පාලන ප්‍රදේශවල තරුණයන් වෙඩි තබා ඝාතනය කෙරෙන සිදුවීම් ගැන ප්‍රවෘත්ති නිතර නිතර පත්තරවල පළ වුණා. වන්නියට තිබුණ ප්‍රධාන  ප්‍රවේශ මාර්ග පූර්ව දැනුම්දීමකින් තොරව හිටි හැටියේ වහන්න පටන් ගත්තා. මේ කාලයේ තමයි, ආණ්ඩුවේ දිගු දුර විහිදුම් බලකායේ මෙහෙයුම් මන්නාරම, වවුනියාව, මනාල්ආරු (වැලිඔය) වගේ පැතිවල කොටි සංවිධානයේ පාලනය යටතේ තිබුණු ප්‍රදේශ ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ. මුලින් මේවාට ගොදුරු වුණේ දර හොයන්න ගිය මිනිස්සු, දඩයමින් ජීවත් වුණ මිනිස්සු  වගේ පිරිස්. ඊ ළඟට වෙනත් සාමාන්‍ය මිනිස්සු ක්ලේමෝ ප්‍රහාරවලට ඉලක්ක වෙන්න පටන් ගත්තා. එක පැත්තකින්, සාකච්ඡාවලට විරුද්ධව දකුණේ ජාතිවාදී බලවේග ශක්තිමත් වීම නිසා අවිනිශ්චිත හැඟීමකින් හිටිය ජනයා මේ ප්‍රහාර එක්ක තව දුරටත් ව්‍යාකූලභාවයට පත්වුණා. සාම සාකච්ඡාවලට අදාළවත්, සාමාන්‍ය ජන ජීවිතය ගැනත්  ප්‍රවෘත්ති වාර්තා කරමින් හිටිය මම, 2005 අවුරුද්දේ අග වෙනකොට ආරම්භ වුණ මේ සිදුවීම් එක්ක වෙනස් ආකාරයක ප්‍රවෘත්ති වාර්තාකරණයකට ක්‍රමානුකූලව යොමුවුණා.

ඉපදුන කාලෙ ඉඳන්ම යුද්ධමය පසුබිමක හැදී වැඩුණ මට මේ විදියේ සිදුවීම් ආගන්තුක වුණේ නැහැ. ඒ නිසාම ඒ සිදුවීම් වාර්තාකරණය විශාල අභියෝගයක් වුණෙත් නැහැ. නමුත් ඇත්තෙන්ම දුෂ්කර දේ වුණේ, ඊට කලින් යුද පෙරමුණට සම්බන්ධ අත්දැකීමක් නැති මට, යුද පෙරමුණේ සිද්ධවෙන දේ වාර්තාකරණයට සිද්ධවීමයි. අනෙක් අතින්, උදාවෙලා තිබුණ සන්සුන් වාතාවරණය ඇතුළේ සාමාන්‍ය ජනයාගේ ජීවන දුෂ්කරතා ගැන බාහිර ලෝකයට කියන්න තිබුණ අවස්ථාව ටිකෙන් ටික ඇහිරිලා, ආයෙමත් යුද්ධයක් වාර්තා කරන්න සිදුවීම ඉතාමත්ම වේදනාකාරී දෙයක්.

වාර්තාකරණයේදී තොරතුරු ලබා ගැනීමත්, ලබාගත් තොරතුරු යුද කලාපයක සිට ටැමිල් නෙට් වෙබ් අඩවියට යැවීමේ ක්‍රියාවලියත් සාමාන්‍ය තත්ත්වයක් තුළ ප්‍රවෘත්ති වාර්තාකරණයට හාත්පසින්ම වෙනස්. පැවතුණු දුෂ්කරතා මැද ඒ අභියෝගයට ඔබ මුහුණ දුන්නේ කොහොමද?

ලෝකීසන්: ඒ කාලේ වන්නියට පැතිරුණු දුරකථන පහසුකම් තිබුණේ නැහැ. ඒ වෙනුවට එක් එක් ප්‍රදේශවලට මෝටරෝලා රේඩියෝ පණිවුඩ සන්නිවේදන උපකරණ යොදාගෙන පිහිටුවපු දුරකථන මධ්‍යස්ථාන තමයි තිබුණේ. වාර්තාකරණයට අදාළව ගොඩ නැගිලා තිබුණ යාන්ත්‍රණය තිබුණේ ඊළනාදම් පත්තරේ ප්‍රදේශීය වාර්තාකරුවන් වශයෙන් වැඩ කරපු අය මත ගොඩ නැඟුණු ජාලය විතරයි. ඇත්තෙන්ම ඒ හා සමාන වාර්තාකරුවන් ජාලයක් ටැමිල් නෙට් එක වෙනුවෙන් ගොඩ නැඟීමේ අදහසක් මම වුණත් යෝජනා නොකළේ ඒ තරම් බිහිසුණු දැවැන්ත යුද්ධයක් එයි කියලා කොහෙත්ම අනුමාන නොකරපු නිසායි. නමුත් යුද්ධය ටිකෙන් ටික දරුණු වෙන්න පටන් ගත්තට පස්සේ ප්‍රාදේශීයව තොරතුරු ලබාගන්න අවශ්‍ය සම්බන්ධකම් කිසියම් ප්‍රමාණයකට ගොඩ නංවාගන්න මම කටයුතු කළා. ප්‍රශ්නය වුණේ එහෙම ක්‍රියා කරන්න හැකියාවක් හා සූදානමක් තිබුණු අයට, ඒ ඒ ප්‍රදේශවල සිදුවන සිදුවීම් ඉක්මණින් මට ලැබෙන්න සළස්වන්න ක්‍රමයක් නොතිබුණු එකයි. සිද්ධියක් ගැන තොරතුරක් සනිනිවේදනය කරන්න, අවශ්‍ය වුණාම, මම කලින් කියපු විදියේ දුරකථන මධ්‍යස්ථානයක් හොයාගෙන සෑහෙන දුරක් ගිහින් තොරතුරු දන්වන එක තමයි තිබුණු එකම ක්‍රමය. ඊළනාදම් පත්තර කන්තෝරුවේ දුරකථනයට කතා කරලා තමයි තොරතුරු දෙන්න තිබුණේ.  ඒ වෙනකොට ටැමිල් නෙට් සංස්කාරක මණ්ඩලයෙන් මට සැටලයිට් දුරකථනයක් දීලා තිබුණා. කිසියම් තොරතුරක් ලැබුණාම මම ඒ ප්‍රදේශයට ගිහින් ඒ තොරතුර තහවුරු කරගෙන ටැමිල් නෙට් එකට දන්වන්න කටයුතු කළා. මම වගේ අය මුහුණදුන් අනෙක් ගැටළුව වුණේ එහෙම ප්‍රදේශයකට ඉක්මණින් යන්න ක්‍රමයක් සොයාගන්න එකයි.

මම මේ කියන තත්ත්වය ගැන යම් අදහසක් ඇති කරගන්න පහසුවෙන විදියේ සිද්ධියක් - දෙකක් උදාහරණ වශයෙන් කියන්නම්. පළමුවෙනි සිද්ධිය වුණේ 2006දීයි. අගෝස්තු මාසේ මුල් සතියෙදි පුදුකුඩියිරුප්පු - නෙදුන්කෙර්නි පාරේ ඇම්බියුලන්ස් එකකට ක්ලේමෝර් ප්‍රහාරයක් එල්ල වුණා. ඒක වුණේ මහ රාත්‍රියේදී යි. නෙදුන්කෙර්නි ඉස්පිරිතාලේ ඉඳන් අමාරු වුණු ගැබිනි මවක් පුදුකුඩියිරුප්පු රෝහලට අරගෙන ගිහින් ආපහු නෙදුන්කෙර්නි රෝහලට එමින් තිබුණ ඇම්බියුලන්ස් රථයකට තමයි මේ ප්‍රහාරය එල්ල වුණේ. ඒ වෙනකොට ඒකේ හිටියේ නෙදුන්කෙර්නි ප්‍රදේශයට හිටිය අවුරුදු හැට ගාණක් වයස එකම වෛද්‍යවරයාත්, එයාගේ බිරිඳත්, හෙදියෝ දෙදෙනෙකුත්, වාහනේ ඩ්‍රයිවරුත් විතරයි. ප්‍රහාරය එල්ල කළේ හමුදාවේ දිග දුර විහිදුම් බලකායේ සෙබළුන් විසිනුයි. ප්‍රහාරයෙන් වාහනේ ගිය පස් දෙනාම මැරුණා. කිලිනොච්චියේ හිටිය මට සිද්ධිය දැනගන්න ලැබුණේ පාන්දර 4.45ට විතර. මම පැය භාගයක් වගේ ඇතුළත  ‘ඊළනාදම්’ පත්තරේ වැඩ කරපු සහෝදරයෙක් එක්ක කිලිනොච්චියෙන් පිටත් වුණා. හොඳටම හානි වුණ ඇම්බියුන්ස් එක ඒ වෙනකොට තිබුණේ පාරෙන් මීටර් 75ක් විතර ඈතිනුයි. ප්‍රහාරයට ගොදුරු වුණ අයගේ මළ සිරුරු ඒ වෙනකොටත් නෙදුන්කෙර්නි රෝහල් මෘත ශරීරාගාරයට ගෙනිහින් තිබුණත්, ඒ අයගේ සමහර ශරීර කොටස් පාර අයිනේ තැනක වෙන වෙනම එකතු කරලා තිබුණා. මම ඒවායේ ඡායාරූප ගන්න අමාරු නිසා නෙදුන්කෙර්නි රෝහලට ගිහින් මෘත දේහවල පින්තූර අරගත්තා. ඒ වෙනකොටත් එතනට ඇවිත් හිටිය සටන් විරාම නිරීක්‍ෂණ කමිටු නියෝජිතයන්ගෙත් ප්‍රකාශ අරගෙන මම දැන් ආපහු එන්න තීරණය කරලා රෝහලෙන් එළියට ආවා. නමුත් තිබුණු ප්‍රශ්නය තමයි ආපහු එන්නේ මොන පාරෙන් ද කියන එක. ඇම්බියුලන්ස් එකට ප්‍රහාර එල්ල වුණු පාරෙන් ආයෙමත් ආවොත් තවත් ක්ලේමෝ තියෙන්න ඉඩ තියෙන බව මම දැනගෙන හිටියා. මාත් එක්ක ගිය ‘ඊළනාදම්’ පත්තරේ කෙනා විවාහ වෙලා සතියයි. ඒ නිසා එයාගේ ආරක්‍ෂාව ගැනත් මට වැඩියෙන් බයක් තිබුණා. ඒ නිසා මම කල්පනා කළා නෙදුන්කෙර්නි ඉඳන් පුලියන්කුලම්වලට ගිහින් එතැනින් කිලිනොච්චියට එන්න. ඒ පාරෙන් තමයි සටන් විරාම නිරීක්‍ෂණ කමිටු සාමාජිකයන් ආවෙත්. ඒ නිසාම ඒ පාරේ කිසියම් ආරක්‍ෂාවක් ඇති කියලා පොඩි විශ්වාසයක් තිබුණා. මම මෝටර් සයිකලේ ඒ පාරට දාගෙන හැකිතාක් උපරිම වේගයෙන් ආවා. වවුනියාවට ආපහු ගමන් කරපු නිරීක්‍ෂණ කමිටු වාහනේ ආවේ අපිට පිටු පස්සෙන්. එහෙම එනකොට අපිට මීටර් 50 - 60ක් විතර දුරින් මහා සද්දයක් එක්ක පස් - ගල් අහසට විසි වුණා. බයිසිකලේ පෙරළාගෙනම අපි බිම දිගා වුනා. ඒත් එක්කම විරුද්ධ පැත්තේ ඉඳන් වේගයෙන් ආපු සිවිල් බස් රථයේ ඩ්‍රයිවර් කිව්වා ‘යන්න එපා, ආමි එක වෙඩි තියෙනවා’ කියලා. ඒ බස් එකේ මිනිස්සු 50-60කට වැඩිය පිරිලා හිටියේ. පිපිරීම දැකපු නිසා නිරීක්‍ෂණ කමිටු වාහනේත් අපි හිටිය තැනට මීටර් 100ක් විතර ඈතින් නවත්තලා තියෙනවා මම දැක්කා. දිග දුර විහිදුම් බලකායේ සෙබළු අපි යමින් තිබුණු දිසාවට විරුද්ධ පැත්තට යන බස් රථය ඉලක්ක කරලායි ක්ලේමෝ එක පිපිරෙව්වේ. බස් රථයත්, අපේ සයිකලේත් බේරුණේ තත්පර කිහිපයක අහම්බයකින්. උදේ 5.30ට විතර ගිය අපි ආපහු ආවේ රෑ 7ත් පහුවෙලා. මේ 2006දී, යුද්ධය පටන් අරන් මාසයක් ගතවෙන්න කලින් පැවැතුණු තත්ත්වය.

මම කියන්න යන දෙවෙනි සිද්ධිය සිද්ධ වුණේ 2007 ජනවාරි මාසයේදී යි. මන්නාරමේ පඩහුතුරෛ ගම්මානය කෆීර් ප්‍රහාරයක් එල්ල වුණු බව මම දැන ගන්න කොට උදේ 7.30ට විතර ඇති. මම ඊළනාදම් කන්තෝරුවේ ඉඳන් තේ එකක් බොන්න කඩේට ගිය වෙලාවේ එතැන හිටිය විමුක්ති කොටි සංවිධානයේ දේශපාලන අංශයේ සාමාජිකයෙක් මගෙන් ඇහුවා ‘අයි මන්නාරමේ ගියේ නැද්ද කියලා’. මම ‘ඇයි’ කියලා ඇහුවම එයා කිව්වා ‘ඔහේ හරිම වාර්තාකාරයෙක්නේ, මන්නාරමේ පඩහුතුරෛ ගමට කෆීර් ගහලා’ කියලා. ඒ අයට ලැබෙන ඉක්මණින් තොරතුරු අපිට ලැබෙන්නේ නැහැ. මම දන්න කොමියුනිකේෂන් සෙන්ටර් එකක් මන්නාරමේ තිබුණ නිසා මම ඉක්මණින් ඒ අයට කතා කරලා ඇහුවා මෙහෙම සිද්ධියක් වෙලාද කියලා. සිද්ධිය තහවුරු කරගත්ත ගමන්ම මම බයිසිකලෙන් මන්නාරමේ යන්න පිටත් වුණා. ඒක සෑහෙන දුරක්. මිනිස්සු වැඩිය ගැවසෙන්නේ නැති මූකලන් පාර. දුර දිග විහිදුම් බලකාය නිතරම ඇතුල්වෙන බවට සැක කරපු පැත්තක් නිසා ක්ලේමෝර් අවදානමත් තිබුණා. ඒ වෙනකොටත් වන්නියේ පෙට්‍රල් හිඟයි. ඒ නිසාම පෙට්‍රල්වලට භූමි තෙල් කළවම් කරලා තමයි මම බයිසිකලය දිව්වේ. ඒ පාරේ මොකක් හරි දෝෂයක් නිසා බයිසිකලය හිටියොත්, උදව්වක් ගන්නවත් ක්‍රමයක් ළඟපාතක තිබුණේ නැහැ. කොහොම හරි මම ඉස්සෙල්ලාම ගියේ මුලන්ගාවිල් රෝහලට. ඒ ඉස්පිරිතාලේ ශල්‍යාගාරයේ සාමාන්‍යයෙන් රෝහල් මෘත ශරීරාගාරයක තියෙන ඉඩ කඩවත් තිබුණේ නැහැ. බරපතල තුවාල සිද්ධ වුණු අය ඒ ශල්‍යාගාරයෙන් එළියේ බිම තැන තැන වැටිලා හිටියා. සිද්ධියෙන් මිය ගිය දරුවෙක් ලැබෙන්න හිටිය අම්මා කෙනෙක්ගේ මිනියත්, ඉපදෙන්නත් කලින් මැරුණු ඒ දරුවාගේ සිරුරත් ඊට එහා පැත්තේ දාලා තිබුණා. මම එතැන ඉඳන්ම ටැමිල් නෙට් එකේ මගේ කර්තෘ මණ්ඩල ප්‍රධානියාට කතා කරලා සිදුවීම කිව්වා. නමුත් ඔහු මට කිව්වා ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියට අනුව ප්‍රහාර එල්ල කරලා තියෙන්නේ ‘මුහුදු කොටි කඳවුරකට’ කියලා නිවේදනය කරලා තියෙන නිසා මම කියන කතාව ඔප්පු කරන්න අවශ්‍ය තහවුරු කළ හැකි සාක්‍ෂි අවශ්‍යයි කියලා. ඒ පාර මම මුලන්ගාවිල් රෝහලේ ඒ වෙනකොට හිටිය ගම්වැසියන්ගෙන් ප්‍රකාශ ගත්තා මේ කාරණාවේ ඇත්ත - නැත්ත අහලා. ඉන් පස්සේ ඒ තොරතුරු ටැමිල් නෙට් එකට යවලා මම සිද්ධිය වුනු තැනට පිටත් වුණා. ඒ ළඟ පාතකවත් මුහුදු කොටි කඳවුරක් තිබුණේ නැහැ. ඒ ගමේ ජීවත්වුණේ යාපනයේ සහ තවත් පැතිවලින් අවතැන් වෙලා ආව, සම්පූර්ණයෙන්ම මුහුදු රස්සාවෙන් එදා වේල හොයාගන්න ධීවර පවුල්. හරියටම ඒ වෙලාවේ සිද්ධිය ගැන දැනගෙන මන්නාරමේ රදගුරු රායප්පු ජෝසප් පියතුමා එතැනට ආවා. මම රායප්පු පියතුමාගෙනුත් සිද්ධිය ගැනත්, ඒ ගමේ පසුබිම ගැනත් කෙටි ප්‍රකාශයක් අරගෙන ඒ හඬ පටය හැකි ඉක්මණින් ටැමිල් නෙට් එකට යැව්වා. උදේ 7.30ට පිටත්වුණු මම ආයෙමත් කිලිනොච්චියට එනකොට රෑ 10ත් පහුවෙලා. ලේයි, මිනියි දැකලා මම දවසම කෑවෙත් නැහැ. මහ රෑම සවිස්තරාත්මක වාර්තාවක් ටැමිල් නෙට් එකට යවන්න මට තිබුණත්, මගේ සැටලයිට් ටර්මිනල් එකේ බැටරි  ඒ වෙනකොට සම්පූර්ණයෙන්ම බැහැලා. ඉන්ටර්නෙට් පහසුකම් තිබුණේ ‘ඊළනාදම්’ පත්තර කන්තෝරුවේ විතරයි. නමුත් සාමාන්‍යයෙන් රෑ 12න් පස්සේ ඒ ඉන්ටර් නෙට් පහසුකම නවත්වනවා. ඒ නිසා ඊට කලින් මම ඊළනාදම් කන්තෝරුවට ගිහින් වාර්තාව සකස් කරලා යවලා ඉවරවෙලා කන්තෝරුවෙම නිදාගත්තා. මේ වෙනකොට යුද්ධය පටන් අරන් මාස හයක්වත් ගතවෙලා නැහැ.           

මේ සිද්ධි ගැන මම කිව්වේ මගේ වාර්තාකරණ ජීවිතයේ ‘අමතක නොවන ත්‍රාස ජනක අත්දැකීම්’ ගැන කතාවක් විදියට නෙවෙයි, 2006න් පස්සේ හැමදාම මම ඇතුළු වන්නියේ මාධ්‍යවල වැඩ කරපු අපි හැමෝටම සිදුවීම් වාර්තා කරන්න සිද්ධවුණු වාතාවරණය ගැන අදහසක් ඇති කරන්නයි. මින් පස්සේ කාලෙදි වාර්තාකරණයේදී අපිට දිනපතා මුහුණ දෙන්න සිදුවුණු තත්ත්වය මීට වඩා ගොඩාක් බිහිසුණුයි.

මම එකතු කරගත් තොරතුරු ටැමිල් නෙට් වෙබ් අඩවියට යවපු විදියත් මම කියන්නම්. මට තිබුණු පහසුකම් වුණේ ටැමිල් නෙට් එකෙන් දීලා තිබුණ තුරායා (Thuraya) සැටලයිට් දුරකථනයත්, අන්තර් ජාලයට සම්බන්ධ වෙන්න පාවිච්චි කරපු බීගාන් (BGAN) සැටලයිට් ටර්මිනල් එකත්, ලැප් ටොප් පරිගණකයත්, SLR කමරාවකුත්, මගේ මෝටර් සයිකලෙත් විතරයි. කාර්යාලයක මේසයක වාඩිවෙලා පරිගණකයක් පාවිච්චි කරලා, අන්තර් ජාලෙට සම්බන්ධ වෙලා මරණ බයක් නැතුව තොරතුරු යවන අත්දැකීමක් මට නැහැ. සිද්ධිය වුණු තැනට කොහොම හරි ගිහින්, සිද්ධවෙලා තියෙන හානියේ තරම, සිද්ධිය සිදුවුණ තැන ඉඳන් ළඟම තියෙන නගරයට, පාසැලට, රෝහලට  තියෙන දුර ආදිය හැම දෙයක්ම හොයලා සිදුවීම් වාර්තා කරන්නයි මම ටැමිල් නෙට් එක හරහා පුහුණුවෙලා තිබුණේ.

2007න් පසුව එළඹුණු අවුරුදු දෙක හමාරක කාලය තුළ දිගින් දිගටම අවතැන් වෙමින් මුලතිවු ප්‍රදේශයට පලාගිය ජනයා එක්ක ඔබත් ගමන් කළා. මේ කාලය තුළ දෙමළ ජනයා අත්විඳි ජීවිතය ගැන ආවර්ජනාත්මකව කතා කරන්න පුළුවන්ද?

ලෝකීසන්: මෙතැනදි මම අවධාරණය කරලා කියන්න අවශ්‍ය දෙයක් තමයි, මේ යුද්ධය ශ්‍රී ලංකා රජය ඉතාමත්ම හොඳින් සැළසුම් කරලා දියත් කරපු යුද්ධයක් බව. මම මෙතැනදි කියන්නේ කොටි සංවිධානයේ යුදමය බලය ඉලක්ක කරලා කරපු සැළසුම් ගැන නෙවෙයි. මම කතා කරන්නේ සාමාන්‍ය ජනයාගේ දෛනික සාමූහික ජීවිතය විනාශ කරන්න තිබුණු සැළැස්ම ගැනයි. ඒ සැළසුම් ගැන දකුණේ සාමාන්‍ය මිනිස්සු දන්නේ නැහැ වගේම පිළිගන්නත් අකමැති වෙන්න පුළුවන්. නමුත් දිග දුර විහිදුම් බලකායේ සෙබල කණ්ඩායම් ගිළන් රථ, පාසැල් වෑන් හා මගී බස් රථ ආදිය  ඉලක්ක කරලා එල්ල කරපු ක්ලේමෝ ප්‍රහාරවලින් පටන් ගත්ත යුද සැළැස්ම, ඊ ළඟ අධියර වෙනකොට  වන්නියේ වැඩ කරපු අන්තර් ජාතික සහන සේවා නියෝජිතයන් ඒ ප්‍රදේශවලින් පිටමං කරලා, අන්තර් ජාතික මාධ්‍යයට තහනම් ‍කලාපයක් බවට පත්කරන තැනට වර්ධනය වුණා. ඊ ළඟට ආහාර සහ ‌ඖෂධ සම්භාධක පනවලා, රෝහල්, ළමා නිවාස, එක්සත් ජාතීන්ගේ ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන, රජය විසින්ම නම් කරපු යුද මුක්ත කලාප ආදිය ඉලක්ක කරලා එල්ල කරපු ගුවන් සහ ෂෙල් ප්‍රහාර සහිත අධියරකට මාරු වීම විසින් පෙන්නුම් කළේ කොටි සංවිධානයේ පරිපාලනය බලපවත්වපු ප්‍රදේශ තුළ ජීවත් වීමට තෝරාගෙන තිබුණු සාමාන්‍ය ජනයා සුජාත යුද ඉලක්කයක් වශයෙන් සළකා ක්‍රියා කරන්න ආණ්ඩුව තීරණය කර තිබූ බවයි.

2008 අවුරුද්ද අවසාන භාගය වෙනකොට, මේ විදියට මන්නාරමේ ඉඳන් අවතැන් වෙමින් ආ ජනතාව ඇතුළු දස දහස් ගාණක් ජනයා කිලිනොච්චි නගරයට ඒකරාශී වෙලායි හිටියේ. මුළු කිලිනොච්චි නගරය පුරා, ගස් යටයි, කඩ පිල්වලයි, ඉඩක් තියෙන හැම තැනකම මිනිස්සු තාවකාලික කූඩාරම් අටවාගෙන ජීවත් වුණා. යුද්ධය ඒ වෙනකොට තදින් ඇවිළෙමින් තිබුණේ මල්ලාවි ප්‍රදේශය ආසන්නයේයි. මගේ මතකයේ හැටියට කොටි සංවිධානයේ දකුණු දිග පෙරමුණු ආරක්‍ෂක වළල්ල ඒ වෙනකොට තිබුණේ කිලිනොච්චි නගරයට කිලෝ මීටර් අටකට - නවයකට දුරිනුයි. ගුවන් ප්‍රහාරවලට ගොදුරු වුණු අය ඇරෙන්න සිවිල් වැසියන්ගේ මරණ සංඛ්‍යාව මේ කියන කාලයේ සාපේක්‍ෂව අඩුව තිබුණේ සාමාන්‍ය ජනතාව හිටපු ප්‍රදේශ සහ හමුදා සේනාංක අතර මැදින් පැවතුණු කොටි සංවිධානයේ ආරක්‍ෂක වළල්ල නිසායි.

නමුත් කිලිනොච්චිවල අවතැන් වෙලා හිටපු 150,000කට වැඩි ජනතාවම ඉලක්ක කරලා මුලින්ම ෂෙල් ප්‍රහාර එල්ල කළේ පුදුමුරිප්පු ප්‍රදේශයටයි. 2008 අගෝස්තු මාසයේ අග එල්ල කරපු මේ පළමු ෂෙල් ප්‍රහාරවලින් උන් හිටි තැන් අහිමි වෙලා හිටිය දරුවෝ දෙන්නෙක් එක්ක පවුල් තුනක පස් දෙනෙක් හෝ හය දෙනෙක් මැරුණා. ප්‍රහාරයට ගොදුරු වුණු ඒ තරුණ පවුල්වල සාමාජිකයන් මන්නාරමේ කල්ලියාඩි ප්‍රදේශයේ මුලින් පදිංචි වෙලා ඉඳලා ගමෙන් ගමට අවතැන් වෙවී කිලිනොච්චියේ පුදුමුරිප්පුවලට වෙනකම් ඇවිත් පැල් දෙක තුනක් අටවාගෙන ජීවත් වුණ අයයි. මේ ප්‍රහාරයෙන් දවස් තුන හතරක් ඇතුළත දෙවෙනි ෂෙල් ප්‍රහාරයකුත් මේ ප්‍රදේශයටම එල්ල වුණා. කිලිනොච්චියේ ඉන්න ජනයාවම ඉලක්ක කරලා පහර දෙන්න යන බවට මරණ බය ඇතිවුණේ මේ ප්‍රහාර නිසායි. මේ සිදුවීම්වලින් සතියක් වගේ කාලයක් ඇතුළත තමයි ආරක්‍ෂක අමාත්‍යංශයේ නියෝගය මත ජාත්‍යන්තර සහන සේවා සංවිධාන වන්නියෙන් පිටවෙලා ගියේ. ඒ මොහොත වෙනකම් වන්නියේ මිනිස්සු මහ පාරේ ගස් යට නිදාගන්න විදිය, කන්න දෙයක් නැතුව, රෝහල් පහසුකම් නැතුව ගෙවන ජීවිත ගැන සාක්ෂියක් කියන්න බාහිර සාක්‍ෂිකරුවෙක් විදියටවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෝ ඉඳීම මිනිස්සුන්ට මානසිකව හයියක් වෙලා තිබුණා. සහන සේවා සංවිධාන පිටවෙලා යන්න පටන් ගන්නවාත් එක්කම මිනිස්සු දැනගත්තා ලංකාවේ හමුදාව සමූල සංහාරයකට පසුබිම සකස් කරගන්න බව. මිනිස්සු එක්සත් ජාතීන්ගේ කිලිනොච්චි කාර්යාලය ඉස්සහරට ඇවිත් යන්න එපා කියලා ආයාචනා කළේ කාගෙවත් ඉගැන්නුම් බහකට නෙවෙයි, මරණ බයට. ඒක මම ඇස් දෙකෙන්ම දැක්කා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමහර නියෝජිතයෝ පස්සේ කාලේ තමන්ගේ වරදකාරී හෘදය සාක්‍ෂියෙන් ගැළවෙන්න ප්‍රකාශ කළේ මිනිස්සු එක්සත් ජාතීන්ට යන්න එපා කියලා උද්ඝෝෂනය කළේ කොටි සංවිධානයේ බල කිරීමට කියලායි. නමුත් සාමාන්‍ය තර්ක බුද්ධියක් තියෙන කෙනෙකුට තේරෙන්න ඕනි අවතැන් වුණු 150,000ක් මිනිස්සු ගස්, ගල් යට නිදාගන්න තැනකට ෂෙල් ප්‍රහාර, ගුවන් ප්‍රහාර එල්ල වෙනකොට, සිද්ධවෙන්න යන දේ ගැන සාක්‍ෂියක් කියන්න බාහිර සංවිධානයක් නැති වේවි කියන බය මිනිස්සුන් තුළ ඇති වෙන්න කවුරුවත් බලපෑම් කරන්න අවශ්‍ය නැති බව. ඇත්තටම වුණේ යුද්ධය තුළම කාලාන්තරයක් ජීවත් වුණු මිනිස්සු ඉවෙන් දැනගෙන හිටියා ඊ ළඟට සිද්ධ වෙන්න යන දේ මොන වගේද කියලා.

දැන් තියෙන එක්සත් ජාතීන්ගේ වීඩියෝ සාක්‍ෂිවලින්ම පෙන්නුම් කරනවා නේද, මේ කියන කාරණාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන්ට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ වයසක මිනිස්සු කියලා? නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන්, යන්න එපා කියලා ආයාචනා කරමින් හිටපු මිනිස්සුන්ව නොතකා පිටවෙලා ගියේ ‘අපි ස්ථිර වශයෙන්ම පිටවෙලා යනවා නෙවෙයි, අපි ගිහින් මාසයක් ඇතුළත ඔය හැමෝගෙම ආරක්‍ෂාව සහතික කරන්න ආයෙමත් එනවා’ කියන බොරු පොරොන්දුව දීලායි. මේ විදියේ පොරොන්දුවක් මිනිස්සුන්ට දුන්නා කියලා දැන් ඒ කිසි කෙනෙක් කියන්නේ නැහැ.

UN එක පිටවෙලා ගියේ දස දහස් ගණන් මිනිස්සුන්ගේ මරණ සහතික ලියන්න ඉඩදීලා බව අපි හැමෝම දැනගත්තා.☐

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.