JDS Sinhala

1983 කළු ජූලිය: 'සිර කුටිය තුළ හතර ගාතයෙන් යාමට රාජසුන්දරම්ට නියම විය' - III


පළමු කොටස: දෙමළ විරෝධී හිංසනය හා ගාන්ධියම් ව්‍යාපාරයේ නැගීම - I
දෙවැනි කොටස:  ගාන්ධියම් ව්‍යාපාරයට එරෙහි මර්දනය ඇරඹේ - II

සිය ඇමෙරිකානු සංචාරයෙන් අනතුරුව ප්‍රංශයට පැමිණි අගමැති ආර්.ප්‍රේමදාසට එහිදී ද විදෙස්ගත දෙමළ ප්‍රජාවේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයන්ට මුණ දෙන්නට සිදු විය. අප්‍රේල් 22 දා පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටට රැස්වූ දහසකට ආසන්න පිරිසක් " ගාන්ධියම් ව්‍යාපාරයට අත නොතබනු! , උතුරු නැගෙනහිර හමුදා වාඩිලා ගැනීම් නවතනු! ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරනු !" යනාදී සටන් පාඨ පෙරටු කොටගෙන උද්ඝෝෂණයේ යෙදුනාහ. එය සංවිධානය කර තිබුනේ ප්‍රංශ - තමිල් ඊළම් කවුන්සලය මගිනි.

මේ අතර, අප්‍රේල් අට වැනිදා අත්අඩංගුවට ගත් ගාන්ධියම් නායක අරුලානන්දම් ඩේවිඩ් පනාගොඩ යුද හමුදා කඳවුරට රැගෙන එනු ලැබුණි. පනාගොඩදී ඔහු රඳවා තබන ලද්දේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවාගෙන සිටින අවශේෂ දෙමළ රැඳවියන් පිරිසක් සමග ය. පිටස්තර කිසිවෙකුට ඔහු හමුවීමේ අවස්ථාව ලබා නොදෙන්නට හමුදාව වගබලා ගත්තේය. ගාන්ධියම් නායකයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජී.කුමාරලිංගම් අප්‍රේල් 23 වැනිදා ජනාධිපති ජනාධිපති ජයවර්ධන වෙත විදුලි පණිවිඩයක් යොමු කරමින්, ඩේවිඩ් පනාගොඩ යුද හමුදා කඳවුරේත්, වෛද්‍ය රාජසුන්දරම් ගුරුනගර් හමුදා කඳවුරේත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින බවත්, දෙදෙනාටම නිතිපතා නිරුවත් කොට නොයෙකුත් වධ බන්ධනයන්ට ලක් කරන බවත්, යුද හමුදාව මේ දක්වා මොවුන් හමුවීමට කිසිදු නීතිඥයකුට හෝ පවුලේ ඥාතීන්ට අවස්ථාව ලබා දී නොමැති බවත් විදුලි පුවතක් මගින් දන්වා සිටියේය. මේ අතර ප්‍රජාතන්ත්‍ර අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය (MDDR) වෙනුවෙන් එහි සම ලේකම් නීතීඥ ඇස්.ජී. පුංචිහේවා විසින් ද ජනාධිපතිවරයා වෙත විදුලි පුවතක් යොමු කරමින්  නිර්දෝෂී ගාන්ධියම් නායකයන් වහා නිදහස් කරන ලෙස ඉල්ලා තිබිණ. රෝගී තත්වයෙන් පසුවන වෛද්‍ය රාජසුන්දරම්ට ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව ඉල්ලා සිටිය ද බලධාරීන් විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබුණි. වෛද්‍ය ශාන්ති කරාලසිංහම්ට හා නීතීඥ කුමාරලිංගම්ට  රාජසුන්දරම් හමුවීමේ අවස්ථාව පළමුවරට හිමි වුයේ මෙකී විදුලි පුවත් ව්‍යාපාරයේ බලපෑම හේතුවෙනි.

මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ගුරුනගර් කඳවුරේදී හමුදා බලහත්කාරය යටතේ  වැය ලේඛන සැකසීමට සිදු වූ ගාන්ධියම් ව්‍යාපාරයේ කනගරානි විවේකානන්දන්, හමුදාව හා පොලිසිය විසින් සිය අභිමතය නොතකා තමන් ලවා ව්‍යාජ ගිණුම් සකස්කර ගැනීම මගින් සිය මුලික අයිතිවාසිකම් කඩකරනු ලැබීයැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළාය. "1977 සිට 1980 දක්වා ගාන්ධියම් ව්‍යාපාරයේ සියළුම ගිණුම් සකස් කර ඒවා සුදුසුකම් ඇති විගනක පරීක්‍ෂකවරුන් මාර්ගයෙන් විගණනයට භාජනය කර සමාජ සේවා දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ඒවායේ පිටපත් පොලිසිය හා හමුදාව කාර්යාලයට පැමිණි පළමු අවස්ථාවේම පැහැරගෙන යනු ලැබුණි. 1981 ගිණුම් වාර්තා ඒ වනවිටත් විගණනය සඳහා භාර දී තිබූ හෙයින්, 1982 වර්ෂයට අදාළ ගිණුම් වාර්තා සියල්ලම හමුදාව හා පොලිසිය පැහැරගෙන යනු ලැබිණැ,"යි ඇය පැමිණිලි කර සිටියාය. නමුත් ඒ වන විටත් මේජර් සාලිය කුලතුංග විසින් බලහත්කාරයෙන් සකසන ලද ව්‍යාජ ගිණුම් වාර්තාවට දුබලව සිටි වෛද්‍ය රාජසුන්දරම්ගේ අත්සන ලබා ගැනීමට කටයුතු කර තිබුණේය.

මේ අතර වෛද්‍ය ශාන්ති කරාලසිංහම් රාජසුන්දරම් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී අත්අඩංගුවේ සිටින ගාන්ධියම් නායකයන්ව සිය ඥාතීන්ට මුණගැසීමට අවසර ලබා දෙන මෙන්  නීතිවේදීහු ඉල්ලා සිටියහ. ඒ සදහා අවශ්‍ය අවසරය අධිකරණයෙන් ලැබුණ ද යුද හමුදාව ඊට නිසි ප්‍රතිචාර නොදැක්විය. ගාන්ධියම් නායකයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කුමාරලිංගම් අදාළ අධිකරණ නියෝගය ලැබුණේදැයි දුරකථන මාර්ගයෙන් තහවුරු කරගැනීමට අප්‍රේල් 21 වැනිදා වරුවක් තිස්සේ වෑයම් කළේය. අවසානයේ අදාළ උසාවි නියෝගය ලද බවත්, එය පනාගොඩ කඳවුරට සංඥා මාර්ගයෙන් යවා ඇති බවත් හමුදා නීති අංශය තහවුරු කර සිටියේය. නමුත්, පනාගොඩ කඳුවර භාර අණදෙන නිලධාරියා කියා සිටියේ ලිඛිත නියෝගයක් වශයෙන් එය තමන් වෙත නොලද නිසා එය ලැබෙන තෙක් බලා සිටිය යුතු බව ය. අවසානයේ 22 වැනිදා වනවිට ලිඛිත නියෝගය කඳවුරට ලැබී තිබුණි.  අධිකරණ නියෝගයේ පිටපතක් ද රැගෙන පනාගොඩ හමුදා කඳවුර වෙත ගිය නීතිඥ කුමාරලිංගම්, අදාළ සිදුවීම් පිළිබඳව සඳහන් කරමින් හමුදාපති තිස්ස වීරතුංගට යොමුකරන ලද ලිපියක මෙසේ ලියයි:

"කඳවුරු ප්‍රවේශ දොරටුවට යාබදව ඇති මිලිටරි පොලිසියට අයත් කාර්යාල කාමරයේ පැය එකහමාරක් පමණ රැඳී සිටීමට මට සිදුවිය. අනතුරුව, සවස හතරට පමණ දුරකථනය ඔස්සේ කතාකළ  සාජන් මේජර් දොඩංගොඩ එදින රහස් පොලිසිය විසින් රැඳවියන් ප්‍රශ්න කරමින් ඇති නිසා ඔවුන් බැලීම සඳහා මට අවසර දිය නොහැකි බවත්, මා විසින් එවා ඇති උසාවි නියෝගයේ දැක්වෙන කාල සීමාව වන සවස 5 වනවිට එකී ප්‍රශ්න කිරීම් අවසන් නොවනු ඇති බවත් දන්වා සිටියේය. මම ඊට මාගේ තදබල විරෝධය පා එය වනාහී අභියාචනාධිකරණ නියෝගයක් නොතකා හැරීමක් බව ඔහුට දන්වා සිටියෙමි.....අවසානයේ අප්‍රේල් 23 වැනිදා මට ඩේවිඩ් හමුවී කතාකරන්නට අවස්ථාව ලැබුණු අතර ඊට පෙර දිනයේ අභියාචනාධිකරණ නියෝගයත් අතැ'තිව මා පිටත රැඳී සිටින අතරතුර සහකාර පොලිස් අධිකාරී පුණ්‍ය ද සිල්වා හමුවේ බොරු පාපොච්චාරණයකට අත්සන් කිරීමට බලකරමින් පොලිස් නිලධාරීන් විසින් ඩේවිඩ්ට පහර දී තර්ජනය කර ඇත."

ගුරුනගර් සිට පනාගොඩට

මේ අතර, 1983 අප්‍රියෙල් 26 වැනිදා නෙදර්ලන්ත පාර්ලිමේන්තු සැසිවාරයේ දී එවකට විපක්‍ෂය වූ කම්කරු පක්ෂයේ නියෝජතියන් විසින් ගාන්ධියම් නායක අත්අඩංගුවට ගැනීම පිළිබඳව ප්‍රශ්න ගණනාවක් සභාගත කරනු ලැබිණ. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන ඇති ඔවුන් ව කිසිදු නඩු විභාගයක් නොමැතිව රඳවා ගැනීම පිළිබඳව අවධානය යොමු කළ කම්කරු පක්ෂය, ඔවුන් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුවට බලකරන්නැයි නෙදර්ලන්ත රජයෙන් ඉල්ලා සිටියේය.

අත් අඩංගුවට ගත් දිනයේ සිට ඉතා කුඩා සිරමැදිරියක රඳවා කෘර වධ බන්ධනයට ලක් කරමින් සිටි වෛද්‍ය රාජසුන්දරම්ගේ එක අතක් වැලමිට ආසන්නයෙන් බිඳී තිබුන අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය කිසිසේත් යහපත් නොවිණි. ඒ බව සඳහන් කරමින් ජනාධිපතිවරයාට යළිත් විදුලි පුවතක් යොමු කිරීමට නීතිඥ ජි.කුමාරලිංගම් කටයුතු කළේය. අවසානයේදී රාජසුන්දරම් ගුරුනගර් සිට පනාගොඩ හමුදා කඳවුරට මාරු කර යැවුණි. ඒ තීරණය වෛද්‍ය රාජසුන්දරම්  කබලෙන් ලිපට ඇද දැමුවාක් වැනි එකක් විය. එවකට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි ලෙස සිටි වෛද්‍ය ඇම්.ඇස්.ඇල් සල්ගාදු විසින් රාජසුන්දරම් සම්බනධයෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව පනාගොඩ හමුදා වධ දීම් ගැන කදිම සාක්ෂියකි. එහි මෙසේ දැක් වේ:

"පනාගොඩ හමුදා බැරැක්කවල රඳවාගෙන සිටි 47 හැවිරිදි සෝමසුන්දරම් රාජසුන්දරම්, 1983 මැයි 12 වැනිදා පස්වරු 2.10ට බැරැක්ක ගොඩනැගිල්ලේ ඉදිරිපස කාමරයේදී මම පරීක්‍ෂා කළෙමි. මගේ සහායක වෛද්‍ය එස්. ප්‍රේමරත්න ද මා සමග විය. රාජසුන්දරම් සෙමින් පිරික්සුම් කාමරයට ඇතුල් වූ අතර මා පැමිණි කාරණය පැහැදිලි කරන තෙක් ඔහු තැතිගත් ස්වභාවයක් පෙන්නුම් කළේය. වවුනියාවේ නීතීඥ කුමාරලිංගම් නමැත්තෙක් විසින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අයැදුම්පතකට අනුව ඔහුගේ තත්ත්වය පරීක්ෂා කිරීමට මා පැමිණි බව මම ඔහුට පැහැදිලි කළෙමි....මැයි 07 වැනිදා ගුරුනගර් හමුදා කඳවුරේ සිට පනාගොඩට තමන් ගෙන එන විට මධ්‍යම රාත්‍රිය එළඹ තිබූ බව රාජසුන්දරම් ප්‍රකාශ කළේය. තමන්ට හඳුනාගත හැකි හමුදා ඇදුමින් සැරසුණු නිලධාරීන් දෙදෙනෙක් විසින් ඔහුව වාහනයෙන් බිමට බස්සවා රැගෙන ගොස් සිර කුටියක් තුළට තල්ලු කර තිබේ. තල්ලු කළ වේගයට ඔහුව කුටිය තුළ ඇද වැටී ඇත. ඔහු මාබල් ඇල්ලූ පොලාවේම වැතිරී නින්දට ගොස් තිබේ. පාන්දර තුනට පමණ ඔහුට වැලි අහුරු දමා ගසා ඇති මුත් ඔහු දිගටම නිදාගෙන ඇත. 8 වැනිදා පාන්දර 5.30ට පමණ තුවායක් පමණක් ඇඟ ලා ගත් හමුදා නිලධාරියෙක් සිර මැදිරියට පැමිණ ඔහුගේ උදරයට පහර දී තිබේ. එයින් ඔහුට හුස්ම ගැනීමේ අපහසුවක් ඇතිව ඇති අතර ඒ පුද්ගලයා විසින්ම ඔහුගේ කෙස් වැටියෙන් ඇද උරපතුවලට පහර දී ඇත. අඩ හෝරාවකට පමණ පසු තවත් හඳුනාගත හැකි හමුදා නිළධාරියෙක් පැමිණ ඔහුගේ හිසට සහ උරහිස්වලට මිනිත්තු දෙකක් පමණ පහර දී පිටව ගොස් ඇත. 8 වැනිදා සවස 5 ට පමණ පැමිණි ලුතිනන් බක්මීවැව සහ හඳුනාගත හැකි තවත් හමුදා සෙබළුන් තිදෙනෙකු විසින් සපත්තුවලින් ද, වැළමිටි, මුෂ්ටි සහ දණහිස්වලින් ද ඔහුට පස්වරු 5 සිට 9 පමණ වතුරු පහර එල්ල කොට ඇත. ඉක්බිති ඔහු නිරුවත් කොට තබා ඇති අතර ආහාර ගැනීමට ඉඩ දී තිබුණේ ද නිර්වස්ත්‍රව හිඳිමිනි. යළිත් මධ්‍යම රාත්‍රියේ සිරමැදිරියෙන් එළියට ගත් ඔහුට සිරකුටි දෙකක් තුළ දෙපයින් එල්ලා සිටි රැඳවියන් දෙදෙනෙකු පෙන්වා පහරදෙමින් 1981දී සමුළුවක් පැවැත්වූ බව පිළිගන්නා මෙන් බලකර තිබේ. නැවතත් ඔහුගේ සිර මැදිරියට රැගෙන විත් අළුයම 1.30 ට පමණ ඔහුගේ ඇඳුම් යළිත් ලබා දී ඇත.......මැයි 10 වැනිදා තර්ජන කිරීම් හා බැන වැදීම් හැරුණු කොට ඔහුට පහර දීමක් නොවුණු නමුත් ව්‍යායාම සඳහා යැයි කියමින් සිර කුටිය තුළ හතර ගාතයෙන් ඔබ මොබ යාමට ඔහුට නියම කෙරුණි.  11 වැනිදා ඔහුගේ නීතීඥයන් හමු වූ විට තමන්ට සිදු වූ දෑ හෙළිකිරීම හේතුවෙන්, 12 වැනිදා පෙරවරු 9.30 සිට පස්වරු 1.00 දක්වා සිටගෙන සිටීමට ඔහුට අණකර විනාඩි පහක විරාමයක් ගැනීමට ඉඩ දී තිබේ. පරීක්ෂාව සඳහා මා හමුවට ගෙනඒමට විනාඩි 10කට පෙර, හඳුනාගත හැකි නිලධාරීන් දෙදෙනකු විසින් 8 වැනිදා සිදු වූ දෑ හෙළි නොකරන මෙන් ඔහුට තර්ජනය කර ඇත....කණක් පිටුපසත්, පපුවේ සහ හිස පිටුපසත්, උදරයේත් වේදනාවන් ගැන මා හමුවේ පැමිණිලි කළ හෙතෙම කණ් දෙකෙහිම ගුමු හඬක් නැගෙන බව කීවේය."

මේ සිදුවීමෙන් සිව් වසරකට පසු, 1987 මැයි පළමුවැනිදා නාරාහේන්පිට අභයාරාමයේ විහාර භූමිය තුළ පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමෙන් මියගිය ජයවර්ධනපුර සරසවියේ සිසු කිත්සිරි මෙවන් රණවක හා ඛණිජ තෙල් සංස්ථාවේ ලෙස්ලි ආනන්දලාල් කිරිබත්ගොඩ යන දෙදෙනාගේ මෙන්ම, 1988දී වෙඩි තබා  ඝාතනය කරන ලද විජය කුමාරණතුංගගේ ද පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකරන ලද්දේ ඉහතින් නම් සඳහන් කළ අධිකරණ වෛද්‍ය නිලධාරී සල්ගාදු විසිනි.

උඩුගම්පොලගේ පරපීඩක වික්‍රම

ගාන්ධියම් නායකයන් පනාගොඩ හමුදා කඳවුර වෙත රැගෙන එන විටත් තවත් බොහෝ රැඳවුම්කරුන්වන් කායික හා මානසික වධ බන්ධනයන්ට ලක් කරමින් රඳවා සිටියහ. ඔහු බොහෝ දෙනා දේශපාලන හා වෙනත් ඒ හා සම්බන්ධ ක්‍රියාවන්ට සැක පිට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත් අඩංගුවට පත් වුවන්ය. රැඳවියන් බාර වගකීම පැවරී තිබුනේ එවකට යුධ හමුදා පොලිසියේ ලුතිනන්වරයෙකු වූ පද්මසිරි උඩුගම්පොළ වෙතය. 88/ 89 වකවානුවේ දී සිංහල තරුණ තරුණියන් වධ බන්ධනයට ලක් කරමින් මරා දැමුණු කොළඹ තුරඟ තරඟ ක්‍රීඩා මණ්ඩපයේ හා හෙන්රි පේද්‍රික් ක්‍රීඩාංගණයේ පවත්වාගෙන ගිය හමුදා වධකාගාර ක්‍රියාත්මක වූයේ මොහු යටතේ ය. ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර අත්අඩංගුවට ගෙන මරා දැමීමට එක් වූ හමුදා ප්‍රධානීන් අතර පද්මසිරි උඩුගම්පොළගේ නම ද සඳහන් ය.

තමිල් ඊළාම් මහජන විමුක්ති සංවිධානයේ (PLOTE) නාගලිංගම් මාණික්කදාසන්, ට්‍රැක්ටර් ශ්‍රී හෙවත් පත්මනාදන්, මාදගල් බාලාජි, ඥානප්‍රගාසම් ඥාණසේකරම් හෙවත් පරන්තන් රාජන්, කන්දයියා රාජේන්ද්‍රන් හෙවත් රොබට්, ඇස් .ගනේෂලිංගම් හෙවත් ෆාරුක් සහ ඥාණමුත්තු නවරත්නසිංහම් යන අයද, ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණේ (EPRLF) කතිරවේලු නිත්‍යානන්ද දේවානන්දා හෙවත් ඩග්ලස් දේවානන්දා, තේවනායගම් බාස්කරන් , පොන්නම්බලම් දේවකුමාර් සහ පොන්නයියා තුරේරාජ් හෙවත් තංගතුරේ යන අයද, ඊළාම් විප්ලවකාරී ශිෂ්‍ය සංවිධානයේ (EROS) අන්තෝනි පිල්ලෛ අලගිරි හා තමිල් ඊළාම් විමුක්ති සංවිධානයේ (TELO) මුතුකුමාර් ශ්‍රී කුමාර් යන අයද, දේශපාලන සංවිධානයක් නිශ්චිතව සඳහන් නොවන අමිර්තනායගම් පිලිප් කුමාරකුලසිංහම්, ඇස්.යෝගරාජ්, ආරියම්පිල්ලෛ මාරියම්පිල්ලෛ, සින්නතම්බි සුබ්‍රමානියම්, සිවපදුමන් නීතිරාජ්, පසුව පනාගොඩ මහේස්වරන් නමින් ප්‍රකට වූ තම්බිපිල්ලෛ මහේෂ්වරන්, කන්දසාමි සර්වේස්වරන්, සෝමසුන්දරම් මනෝරන්ජන්, අරුමුගම් සේයන් හෙවත් අප්පු, තමෝදරපිල්ලෛ ජෙයමුහුන්දන්, සෙල්ලසාමි කුමාර්, සෙල්ලප්පා රාජරත්නම්, කුමාරසාමි ගනේෂලිංගම් සහ කුලසිංහම් කුමාර් යන අයද පනාගොඩ හමුදා කඳවුරේ රඳවාගෙන සිටියේ නිරන්තර වධ බන්ධනයට ලක් කරමින් ය.

"මනුෂත්වය ගැන කිසිදු හැගීමක් නැතිව ඉතාමත් කුරිරු විදිහට තමයි අපි ඔක්කොටම සැලකුවේ. අපිට දිනපතා දරුණු විදියට පහර දුන්නා. ලුතිනන් උඩුගම්පොළ මත්පැන් වීදුරුවක් තොල ගාමින් තමයි අපිට වධ දීලා සන්තෝෂ වෙන්නේ," පනාගොඩ හමුදා බැරැක්කයේ වධ බන්ධනයන්ට ලක්ව ඉන්පසු වැලිකඩ සිරගෙදර සංහාරයෙන් ද දිවි ගලවා ගත් ඊළාම් විප්ලවකාරී ශිෂ්‍ය සංවිධානයේ (EROS) ක්‍රියාකාරිකයෙකු වූ අන්තෝනිපිල්ලෛ අලගිරි තිස්පස් වසරකට එපිට සිය අත්දැකීම් ජේඩීඑස් හා බෙදාගනිමින් ප්‍රකාශ කළේය.

යාපනේ මාදගල් පදිංචිකරුවෙකු වූ අලගිරි ලන්ඩනයේ අධ්‍යාපන කටයුතු කරමින් සිටින අතර තුර නිවාඩුවක් සඳහා නිවෙසට පැමිණි විට අත්අඩංගුවට ගැනුනි. පසුව මාදගල් හමුදා කඳවුර හරහා පනාගොඩ හමුදා කඳවුරට ගෙන එන ලද ඔහු ගාන්ධියම් නායකයන් හා අනෙකුත් දේශපාලන රැඳවියන් සමඟ රඳවා ගෙන වධ බන්ධනයන්ට පාත්‍ර කෙරිණ.

වයස් භේදයකින් තොරව දරුණු ලෙස පහර කෑමකට ලක්වීමට සෑම රැඳවියෙකුටම සිදු වූ අතර ඔවුන් සමඟ සිටි වැඩිමහල්ලා වූ 53 හැවිරිදි ගාන්ධියම් සභාපති ඇස්.ඒ. ඩේවිඩ් ද, 47 හැවිරිදි වෛද්‍ය රාජසුන්දරම් ද ඒ අතර වූහ. අලගිරි පවසන ආකාරයට හමුදා සෙබළුන්ගේ වඩාත් අමානුෂික ප්‍රහාරයන්ට ගොදුරු වුයේ නාගලිංගම් මානික්කදාසන් හා කන්දයියා රාජේන්ද්‍රන් නොහොත් රොබට් යන රැඳවියන් ය.

පනාගොඩ මහේස්වරන්

"ලුතිනන් උඩුගම්පොළ නිතරම කියන කතාවක් තමයි මෙතනින් පැනලා යන්න හැදුවොත් පෙනේර වගේ හිල් වෙන්න වෙඩි තියනවා කියලා. ඒ අභියෝගය බාරගන්න තම්බිපිල්ලේ මහේස්වරන් සුදානම් වෙන බව අපිට දැනුනා. ඔහු ඉතා සුක්ෂම කෙනෙක්. කොහොම හරි එයා කුඩුවේ කම්බි කපාගෙන කඳවුරෙන් පැන්නා. කොහොම පැනගත්තාද කියලා හිතාගන්නත් අමාරුයි." අලගිරිගේ මතකය අනුව ඒ, 1983 අප්‍රියෙල් පළමු වැනිදා ය.

කඳවුරේ ආරක්ෂාව ගැන වහසි බස් දෙඩූ ලුතිනන් උඩුගම්පොලව ලැජ්ජාවට පත් කරමින් පනාගොඩ කඳවුරෙන් මහ දවල් පැන යාමට සමත් වූ පුංගුඩතිව්හි උපන් තම්බිපිල්ලෛ මහේස්වරන් මුලින් අත්අඩංගුවට පත්වන විට ලන්ඩන් සරසවියේ ක්වීන්ස් කොලිජියේ අවසන් වසරේ රසායනික ඉංජිනේරු විද්‍යාව හදාරමින් සිටියේය. සරසවි නිවාඩුවකට ලංකාවට පැමිණ සිටිය දී 1981 ජුනි 19 වැනිදා හමුදා අත්අඩංගුවට ගනු ලැබූ ඔහු ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා ගන්නා ලදී.

පනාගොඩින් පලා යාමෙන් මාස දෙක හමාරක් ගතවන තුරු ආරක්ෂක අංශ මගහැර සිටීමට සමත් වූ මහේස්වරන් ජූනි මස මැද භාගයේ පෑලියගොඩ ප්‍රදේශයේ සැඟව සිටියදී යළි පොලිස් අත්අඩංගුවට ගනු ලැබ පනාගොඩ හමුදා බැරැක්කය වෙත රැගෙන එනු ලැබීය.

"මහේස්වරන්ට ඉතාමත්ම අමානුෂික විදිහට හමුදාව පහර දුන්නා. ඇවිදගෙන යන්න බැරි විදිහට කකුල් කඩලා තිබුණේ. අපිට පෙන්වනකොට දත් කඩලා, ඇගේ හැම තැනකින්ම ලේ ගලනවා. අපි හැමෝටම මහේශ්වරන්ව ගෙනත් පෙන්නුවා. එහෙම පෙන්වීමෙන් හමුදාවට කියන්න ඕනේ වෙලා තිබුනේ පැනලා යන්න හැදුවොත් උඹලාටත් මේ ටික තමයි වගේ දෙයක්," යි අලගිරි කීය.

කෙසේ වුවද, ගාන්ධියම් නායකයන් අත් අඩංගුවට ගෙන වධහිංසා පමුණුවමින් ව්‍යාජ පාපොච්ඡාරණවලට අත්සන් ගැනීමෙන් පමණක් ආණ්ඩුව සෑහීමකට පත්වන බවක් නොපෙනුණි. 1983 ජුනි පළමු වැනිදා රාත්‍රියේ වව්නියාව නගරයට කිලෝ මීටර් දෙක හමාරක් පමණ එපිටින් වූ කෝවිල්කුලම්හි ගාන්ධියම් ආදර්ශ ගොවිපලට කඩා වැදුණු හමුදා භටයෝ එය සහමුලින් ගිනිබත් කළහ. සියලුම බෝග වගාවන් විනාශ කරමින්, මඩු සහ ප්‍රධාන ගොඩනැගිල්ල ද, ට්‍රැක්ටර් තුනක් හා වෑන් රථයක් ද හමුදා සෙබළු ගින්නට බිලි දුන්නෝය. අනතුරුව ගොවිපොළේ සිටි ගොවීන් 12 දෙනකුද ප්‍රශ්න කිරීමට යැයි පවසා ආසන්නයේ පිහිටි ඊරට්පෙරියකුලම් හමුදා කඳවුරට රැගෙන යනු ලැබුණි. ජුනි දෙවැනිදා අළුයම් කාලයේදී ගාන්ධියම් ව්‍යාපාරයේ වව්නියා කාර්යාලයත් විනාශ කර දැමූ හමුදා සෙබළු කාර්යාලය අසළ තිබු වෑන් රථයක් ද ගිනිබත් කළහ.

40,000කට වැඩි දෙමළ සරණාගත ජනයාගේ සුබසාධනය වෙනුවෙන් කැප වී ක්‍රියා කරන්නට උතුරු - නැගෙනහිර පැවති එකම සහන සේවා සංවිධානය වූ ගාන්ධියම් ව්‍යාපාරයේ ගෙළ වටා රාජ්‍ය මර්දනයේ සැහැසි තොණ්ඩුව දිනෙන් දින තද කරන්නට ආණ්ඩුව තීරණය කර ඇති බව සක්සුදක් සේ පැහැදිලි වෙමින් තිබුණි.☐

(මතු සම්බන්ධයි)

අවසාන කොටස: සිංහල සිරකරුවෝ ඇද වැටුණු රාජසුන්දරම්ට මැරෙන තුරු පහර දුන්හ - IV

අතුල විතානගේ


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.