JDS Sinhala

1983 කළු ජූලිය: දෙමළ විරෝධී හිංසනය හා ගාන්ධියම් ව්‍යාපාරයේ නැගීම - I


ර්මිෂ්ඨ රාජ්‍යයක් ගොඩනැගීමේ පොරොන්දුව පෙරදැරිව, 1977 ජූලි මාසයේ බලයට පත් එක්සත් ජාතික පක්‍ෂයේ මැතිවරණ ජය සැමරීමේ ශේෂ පත්‍රය අනාවරණය කරන ලද්දේ පොලිස්පතිවරයාගේ වාර්ෂික වාර්තාවෙනි. වසර අවසානයේ දී නිකුත් කෙරුණු එවකට පොලිස්පති ආනා සෙනෙවිරත්නගේ මෙකී වාර්තාවට අනුව ජයග්‍රාහකයන් විසින් මුදාහළ ප්‍රචණ්ඩ ප්‍රහාරවලින් පුද්ගලයින් 131 දෙනකු මරා දමා තිබිණි. 1977 ජුලි 15 වැනිදා සිට සැප්තැම්බර් 13 වැනිදා දක්වා පොලිසියට ලැබී තිබුණු මුළු පැමිණිලි සංඛ්‍යාව 3,327 කි. ඉන් 1,209 ක් කොල්ලකෑම් ය. 1,141 ක් නිවාස හා දේපල ගිණි තැබීම් ය. ස්ත්‍රීන් ලිංගික අතවරයට ලක් කිරීමේ සිද්ධි 74 කි.

පොදුවේ සියලු විරුද්ධ පාක්ෂිකයන්ට එරෙහිව දියත් කෙරුණු මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගේ ප්‍රධානතම ගොදුර වූයේ දෙමළ ජනයා ය. ඝාතනය වූ 131 දෙනාගෙන් 120 දෙනෙක්ම දෙමළ ජාතිකයෝ වූහ. ප්‍රහාරයට ඉලක්කවූවන්ගෙන් බහුතරය වූ දහස් සංඛ්‍යාත කඳුරට දෙමළ ජනයා දිවි ගලවාගනු පිණිස උතුරු -නැගෙනහිර පළාත්වලට පළා ගියෝය. මෙසේ රට මැදින් අවතැන්ව පළා එන දහස් සංඛ්‍යාත අනාථ දෙමළ ජනයාගේ ජීවිත නගා සිටුවීම හෝ සුබ සාධනය සම්පාදනය කිරීම රජයේ ප්‍රමුඛතාවක් නොවුණි. ගාන්ධියම් ව්‍යාපාරය ගොඩනැංවීමට බල පෑ පසුබිම නිර්මාණය වූයේ දෙමළ ජනයා විෂයෙහි ක්‍රියාත්මක වූ මෙම හිංසනයන් හා නොතකා හැරීමේ පිලිවෙත මගිනි.

'80 දශකයේදී, දකුණේ සිංහල ජාතික පත්තර රොත්ත විසින් 'කුමන්ත්‍රණකාරී ත්‍රස්ත සංවිධානයක්' වශයෙන් බෞතීස්ම කොට සිංහලයන්ට හඳුන්වා දුන් ගාන්ධියම් ව්‍යාපාරයේ ඇත්ත ඉතිහාසය, ගතව ගිය තිස් පස් අවුරුද්ද ඇතුළත දෙමළ ජනයා මුහුණදුන් රාජ්‍ය මර්දනයේ පීඩක රටා වටහා ගැනීමට වැදගත් අවකාශයක් පාදා දෙයි. 1983 කළු ජූලියට තිස් පස් අවුරුද්දක් පිරෙන මොහොතක, ඒ ඉතිහාස කතාව පිළිබඳ අදටත් සැඟව පවතින තතු විමර්ශනයට ලක්කොට නිසියාකාරව ලියා තබන්නට අප උත්සාහ කරන්නේ, ඓතිහාසික නිරාකූලතාව විසින් දේශපාලන නිරාකූලතාවට මග පාදන නිසා ය.

ඩේවිඩ් හා රාජසුන්දරම් 

1976 වසරේ වව්නියාවේදී අරඹන ලද ගාන්ධියම් ව්‍යාපාරය, මහත්මා ගාන්ධිගේ ජීවන දර්ශනය අනුයන අල්පේච්ඡ හා සරළ ජීවන රටාව පදනම් කර ගනිමින් දුප්පත්කම තුරන් කිරීමත්, නොසළකා හැරීම් හා ප්‍රචණ්ඩත්වය පිටු දැකීමත් මුලික පදනම සේ සළකා වැඩ කළ ස්වෙච්ඡා සාමූහිකයකි. ඊට මුල පුරන ලද්දේ, වෘත්තියෙන් ගෘහ නිර්මාණ හා නගර සැලසුම් ශිල්පියෙකු වූ සොලමන් අරුලානන්දම් ඩේවිඩ් හෙවත් එස්. එස්. ඩේවිඩ් ය. ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නයිජීරියාව සහ කෙන්යාව යනාදී රටවල අධ්‍යාපන කටයුතු හා වෘත්තීය කටයුතුවල නියැලෙමින් දොළොස් වසරක් ගතකර මව්රට පැමිණි ඩේවිඩ්, රාජ්‍ය සේවයට එක්වනු වෙනුවට දේශීය ගොවිතැන පිළිබඳව අවධානය යොමු කරමින් කටයුතු කළ නෙදුන්කර්නි නාවලර් සාමුහික ගොවිපල හා සම්බන්ධ වන්නට තීරණය කළේය. අඩු කාලයකදී වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ ගොවි තාක්ෂනික ශිල්ප ක්‍රම පිළිබඳව අවබෝධය සහිත කෘෂි සහායකයන් වශයෙන් තරුණයන් 20 දෙනෙකු පුහුණු කිරීම ආරම්භ කරනු ලැබුවේ ඩේවිඩ්ගේ මූලිකත්වයෙනි.

ඩේවිඩ් හා එක්ව ගාන්ධියම් ව්‍යාපාරයේ සංවිධාන බරට උර දෙන්නට මූලිකත්වය ගත් තවත් පුද්ගලයෙක් විය. ඒ, වෙහෙස නොතකා, කැපවීමෙන් ක්‍රියාකළ සමාජ - දේශපාලන ක්‍රියාධරයකු ද වූ වෛද්‍ය සෝමසුන්දරම් රාජසුන්දරම් ය.

යාපනේ කොකුවිල්හි සෝමසුන්දරම් ගුරු යුවලගේ දරුවන් හය දෙනා අතරින් තුන් වැන්නා ලෙස 1943 මාර්තු 23 වැනිදා උපත ලැබු රාජසුන්දරම්, කොකුවිල් හින්දු විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද අතර, පසුව ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනය සඳහා යාපනයේ හින්දු විදුහලට ඇතුල් විය. උසස් පෙළ හොඳින් සමත් වූ හෙතෙම කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වූයේ 1963දී ය. වෛද්‍ය උපාධිය සමත්වීමෙන් පසු මුලින් ලුණුගල හා පුස්සැල්ලාවේ වතු ආශ්‍රිත රෝහල්වල සේවය කළ රාජසුන්දරම්, වතු දෙමළ ජනයාගේ පීඩිත දිවි පෙවෙත මුල්වරට අවබෝධ කරගැනීමෙන් මහත් සේ කම්පනයට පත් වූ බව ඔහු ඇසුරු කළ පිරිස් කියති. වතු කම්කරුවන්ගේ සුභ සාධනය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරමින් සිය උපරිම ශක්තිය යොදවමින් වෙහස වන්නට ඔහු ක්‍රියා කළේ එබැවිනි. වතුකරය ආශ්‍රිතව ගෙවූ දිවිය ඔහුගේ සමාජ - දේශපාලන දැක්ම හැඩගැන්වීමේ ලා තීරණාත්මක බලපෑමක් එල්ල කළේය.

1970 වසරේදී වෛද්‍ය ශාන්ති කරාලසිංහම් සමඟ යුග දිවියට එළඹි 'දොස්තර රාජසුන්දරම්', මහනුවර ලේක්සයිඩ් වෛද්‍ය මධ්‍යස්ථානය ආරම්භ කිරීමට මූලික්තවය ගත්තේය. රාජසුන්දරම් යුවළ විසින් 'වවුනියා ක්ලිනික්' නමින් වෛද්‍ය චිකිත්සක ආයතනයක් ආරම්භ කරන ලද්දේ එයින් තුන් වසරකට පසු ය. නමුත් පීඩිත වතු කම්කරුවන්ගේ දුක්ඛිත ජීවන පැවතුම් විසින් ඇතිකළ කම්පනයෙන් මිදෙන්නට සෝමසුන්දරම් රාජසුන්දරම් අසමත් විය. වතු කම්කරුවන් මුහුණු දෙන දෛනික ශ්‍රම සූරාකෑමත්, දුගීභාවයත්, මර්දනකාරී සේවා කොන්දේසිත් කෙරෙහි අවධානය යොමුකරමින් එංගලන්තයේ 'Granada TV ' මගින් නිෂ්පාදනය කෙරුණු 'The Price of a Cup of tea' නම්  වාර්තා චිත්‍රපටිය සඳහා සහාය වන්නට හෙතෙම, 1973 දෙසැම්බරයේදී සිය මිතුරු වෛද්‍ය ආර්.ශ්‍රී පත්මනාදන් සමග යළිත් වතුකරයට ගියේය. අරුලානන්දම් ඩේවිඩ් හා වෛද්‍ය සෝමසුන්දරම් අතර මිත්‍ර සන්ථවයට පදනම නිර්මාණය වූයේ ඔහු සතු වූ මෙකී පැතිරුණු සමාජ අවබෝධයයි.

ගාන්ධියම් උත්පත්ති කතාව

ඩේවිඩ් හා රාජසුන්දරම්ගේ මූලිකත්වයෙන් යුතු ගාන්ධියම් ව්‍යාපාරයේ මෙහෙයුම් සංවිධාන ව්‍යුහය සමන්විත වුයේ ක්‍රියාකාරී කමිටුවක් මගිනි. එහි ආරම්භක සාමාජිකයන් ලෙස වව්නියා නගර සභාවේ හිටපු නගරාධිපතිවරයෙකු වූ එස්. සුබ්‍රමානියම් ද, වව්නියාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු වූ ටී. නල්ලතම්බි ද, විශ්‍රාමික පොලිස් නිලධාරියකු වූ කේ.රාජසුන්දරම් ද, විගණනය හා ගිණුම්කරණය පිළිබඳව රාජ්‍ය සේවයේ වසර 40ක පළපුරුද්දක් ඇති ප්‍රවීණ විගණකාධිකාරිවරයකු වූ එස්.කන්දප්පු සහ කෘෂි උපදේශකයෙකු වූ තම්බිරාජ් ද කටයුතු කළේය.

'ගාන්ධියම් ව්‍යාපාරය හැටියට මුලින්ම සමාජ සේවා වැඩ සටහනක් දියත් කළේ 1978 දී මඩකලපුව හරහා හමා ගිය සුළි සුළඟින් විපතට පත් අයට උදව් කිරීමෙනුයි. ත්‍රිකුණාමලෛ සිට බෝට්ටුවලින් අරගෙන ගිය කෑම ඒ අයට දීලා කොක්අඩිචෝලෛවල ඉදිකරපු තාවකාලික කඳවුරක ඉඳන් අවුරුදු දෙකක් විතර අපි වැඩ කළා' යි ජේඩීඑස් හා ප්‍රකාශ කළ ජෙනී ජයචන්ද්‍රන්, ගාන්ධියම් ව්‍යාපාරයේ ආරම්භයේ සිටම ඒ හා සම්බන්ධ ස්වේච්ඡා සේවිකාවක් ලෙස කටයුතු කළ අයෙක් වූවාය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගාන්ධියම් ව්‍යාපාරයේ වැඩ කටයුතු සඳහා ඇයි මුලින් එක් වූයේ සිය මව සමගිනි.

පැරණි ගොවි පරම්පරාවන් විසින් දියුණු කොට ප්‍රගුණ කළ අඩු කලකින් වැඩි ඵලදාවක් ලබා ගැනීමේ තීව්‍ර වගා ශිල්ප ක්‍රම මගින් කෘෂි කර්මාන්තය ඉදිරියට ගෙනයාම ගැන ආරම්භයේදීම ගාන්ධියම් ව්‍යාපාරය සිය අවධානය යොමු කළේය. ඒ කෙරෙහි වඩා බලපෑම් සහගත වුයේ ලංකාවේ ගොවි ජනපද ව්‍යාපාර ගැන සිදුකල අධ්‍යනයකි. 1965 වසරේ දී ඉඩම් කොමිසමේ සභාපති ලෙස කටයුතු කළ බී.එච්. ෆාමර් විසින් සම්පාදනය කළ වාර්තාවක් මගින් කියා සිටියේ මිනිස් ශ්‍රමය, සතුන්, බීජ, පස , ජලය සහ වායුගෝලය යොදා ගනිමින් අවම උත්සහායන් සහිත උපරිම නිෂ්පාදනයක් අත්පත් කර ගැනීමේ වඩා සාර්ථක ක්‍රමය ඇත්තේ යාපන අර්ධද්වීපයේ බව ය. එවැනි ක්‍රමයන් පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදැක්වීමෙන් ගොවි ජනපද ව්‍යාපාර බොහොමයක් පසු කාලීනව අසාර්ථක වූ බව ද ෆාමර් පෙන්වා දී තිබිණ. ගාන්ධියම් ව්‍යාපාරය විසින් පුල්මුඩ්ඩෛ හා නැදුන්කර්නි සමුහ ගොවිපල ආරම්භ කරනුයේ මෙවැනි කරුණු ගැන අවධානය යොමු කරමින්ය. පසුව මරුතෝට්ටෛ, කල්ලාර්, කෙන්ට් ෆාර්ම්, මනියාර්කුලම් දක්වා ව්‍යාප්ත කරන ලද්දේ මෙකී ගොවිපොළ ව්‍යාපෘතියයි.

"1977දි යූඑන්පී ආණ්ඩුවේ පශ්චාත් මැතිවරණ භීෂණය හින්දා කඳුකරේ දෙමළ මිනිස්සු දහස් ගණනක් උතුරු නැගෙනහිර පළාත්වලට පලා එන්න පටන් ගත්තා. ඒ වෙනකොට පුනරුත්ථාපන වැඩ කටයුතුවල යෙදිලා හිටියේ ටී.ආ.ර්ආර්.ඕ. (Tamil Relief & Rehabilitation Organization - TRRO) එක. එත් ආණ්ඩුවේ මර්දනය වගේම ඒ සංවිධානයේ ඇතුලේ තිබුණු ප්‍රශ්න හේතුවෙන් ලැබෙමින් තිබුණු ආධාරත් අඩුවෙමිනුයි තිබුනේ. ඒ නිසාම, කඳුකරේ සරණාගතයන් ගැන අභියෝගය බාර ගන්න වුණේ ගාන්ධියම් ව්‍යාපාරයටයි" ජෙනී කියයි.

සරණාගත පවුල් ප්‍රමාණය වැඩිවත්ම ගාන්ධියම් ව්‍යාපාරය විසින් අක්කරයක ආදර්ශ ගොවිපල ක්‍රමයක් හඳුන්වා දුනි. ඉඩම් සකස් කිරීම, වාරිමාර්ග සැපයුම්, අස්වැන්න නෙළීම, ගබඩා කිරීම ආදී කටයුතු ගැන ගොවීන්ට එමගින් අවබෝධයක් ලබා දුන් අතර මුලික ප්‍රාග්ධනය ලෙස සෑම පවුලකටම රුපියල් 5000ක මුදලක් ලබා දීමට ගාන්ධියම් ව්‍යාපාරය ක්‍රියා කළේ 50%ක් නැවත ගෙවීමේ පොරොන්දුවට යටත්ව ය.

රාජ්‍ය උදහස

1977 හා 1978 කඳුකරයෙන් පලවා හරින ලද වතු දෙමළ ජනයා හුදෙක් සරණාගත ප්‍රවාහයක ඇරඹුමක්  පමණක් විය. ජෙනී ජෙයචන්ද්‍රන් පවසන ආකාරයට 1983 වන විට සරණාගත පවුල් ඇතුළුව මුළු පවුල් 5000ක් ගාන්ධියම් ව්‍යාපාරය යටතේ රැකවරණය ලබමින් සිටියහ. ගම්මාන 36ක නැවත පදිංචි කරවූ සරණාගතයන්ට අවශ්‍ය සුභ සාධන කටයුතු සැලසීම වෙනුවෙන් සෑම පවුල් 100 කටම එක් ස්වේච්ජා සේවිකාවක් බැගින් යොදවන ලදී. සෑම පවුලකින්ම රුපියල් දෙකක් අයකර ගනු ලැබූ අතර ඉන් එක් රුපියලක් ස්වේච්ජා සේවිකාවන්ගේ මාසික දීමනා සඳහා වෙන් කෙරෙනු අතර අනෙක් රුපියල ග්‍රාම සංවර්ධන අරමුදලට බැර කෙරිණි.

"සාමාන්‍යයෙන් කුඩා දරුවන් 30ක් විතර ඉන්න පෙර පාසල් 450ක් දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවා තිබුණා. අපිට හොඳ ජාලයක් තිබුණා යාපනය, කිලිනොච්චි, වව්නියා, මන්නාරම්, මුලෛතිවු, ත්‍රිකුණාමලෛ, හා මඩකළපුව කියන දිස්ත්‍රික්වල. හැම තැනම දිස්ත්‍රික් මධ්‍යස්ථාන තිබුණා. සෑම දරුවෙකුටම දවසකට කිරි වීදුරුවක් හා ත්‍රිපෝෂ ලබා දුන්නා. කුඩා දරුවන් 3000ක් විතර ගාන්ධියම් යටතේ රැකවරණය ලැබුවා. වෛද්‍ය සායන, දැනුවත් කිරීමේ වැඩසටහන්, ක්‍රියාත්මක වුණා. සෑම ගමකම වැඩ කරන්න තරුණ - තරුණියෝ 20 ක් 30 ක් පුහුණු කරනවා. ගුරුකුලම් ප්‍රධාන ට්‍රේනින් සෙන්ටර් එක තිබුනේ කිලිනොච්චියේ. ඊට අමතරව සෑම මාසෙකම ප්‍රගති සමාලෝචන රැස්වීම්, සංස්කෘතික වැඩසටහන් පැවැත්වුණා. ඩේවිඩ් අයියාත්, ඩොක්ටර් රාජසුන්දරම් එහෙම තමයි මේ රැස්වීම් මෙහෙය වන්නේ. ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් කරන්නේ. ඩොක්ටර් නම් හැමතැනම දුවනවා. අද වව්නියා හිටියොත් හෙට මඩකළපුවේ, අනිද්දා මුලෛතිව්," ජෙනී ජෙයචන්ද්‍රන්ගේ ආවර්ජනයන් තවමත් සජීවී ය.

මෙම වැඩසටහන් වෙනුවෙන් ජාත්‍යන්තර සහන සේවා සංවිධාන වලින් මෙන්ම විදෙස් ගත දෙමළ ප්‍රජාවගෙන් ද ගාන්ධියම් වෙත ආධාර උපකාර ලැබුණි. ජෙනී පවසන පරිදි ඊට බල පෑ මූලික හේතුව වූයේ ගාන්ධියම් ව්‍යාපාරය විසින් සහන සේවා කටයුතු සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලැබූ විනිවිද පෙනෙන සුළු පිළිවෙත හා ප්‍රමිතියයි. සෑම සතයක්ම සරණාගත ජනයාගේ සුභ සාධනය වෙනුවෙන් යොදවනු ලැබීමත්, නිත්‍ය විගණන කටයුතුත්, ඩේවිඩ් හා රාජසුන්දරම්ගේ කැපවීමත් යන සියළු කාරණා ගාන්ධියම් ව්‍යාපාරයට ආධාර කළවුන්ගේ විශ්වාසය තහවුරු කිරීමට බලපෑවේය.

නමුත් ගාන්ධියම් ව්‍යාපාරයේ කටයුතු පිළිබඳ රාජ්‍ය උදහස යොමුවීමට වැඩි කලක් ගත නොවුණි. රාජ්‍ය අනුග්‍රහ සහිතව කඳුකරයෙන් පලවාහරින ලද වතුකරයේ දෙමළ ජනයාට සහන සැළසීමත්, ඒ පිළිබඳ ජාත්‍යන්තරයේ අවධානය යොමු කරමින් ආධාර උපකාර ලබා ගැනීමත් පිළිබඳව ආණ්ඩුව කිපී සිටියේය. අනෙක් අතින්, කඩිනම් මහවැලි ව්‍යාපාරය හරහා උතුරු නැගෙනහිර පළාත් හි සැලසුම් කළ සිංහල ජනපදකරණ වැඩසටහනට ගාන්ධියම් ව්‍යාපාරය විසින් ගෙනයන සහන සේවා හා නැවත පදිංචි කිරීමේ කටයුතු බාධාවක් ලෙස සැළකු ආණ්ඩුව ඊට එරෙහිව මර්දනයේ පිහිට පතන්නට නැඹුරු විය. 1979 වසරේ සිටම රජයේ අභ්‍යන්තර ආරක්ෂක අංශය (ISD) විසින් ඉතාමත් සැලසුම් සහගතව ගාන්ධියම් ව්‍යාපාරයේ කටයුතු කඩාකප්පල් කිරීමට ප්‍රයත්න දරන ලද්දේ ඒ අනුව ය. විදේශ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට අනුයුක්ත කොට සිටි ආරක්ෂක බුද්ධි අංශ නිලධාරීන් හරහා පුළුල් ප්‍රචාරයක් ගෙන යනු ලැබුවේ විදේශීය සංවිධාන වලින් ලැබෙන ආධාර ත්‍රස්තවාදී කටයුතු සඳහා යොදා ගන්නා බවකි. ගාන්ධියම් ව්‍යාපාරයට ඇති ජාත්‍යන්තර පිළිගැනීම පළුදු කරමින්, ලැබෙන ආධාර නවත්වා එහි කටයුතු අඩපණ කිරීම මෙවැනි ප්‍රචාරයක අරමුණ වූ බව පැහැදිලි ය. මෙකී සාවද්‍ය ප්‍රචාරයන්ට අනුපූරකයක් වශයෙන්, ආණ්ඩුවේ සහ ආණ්ඩුවේ සහාය ලබන ජාතිවාදී දේශීය මාධ්‍යයන් ද මෙකී අසත්‍ය ප්‍රචාරක මෙහෙයුමට එවුල් කරගනු ලැබුණි. ගාන්ධියම් නායකයන්ටත්, ක්‍රියාකාරීකයන්ට හා ආධාරකරුවන්ටත් එරෙහිව රාජ්‍ය මර්ධනය කැඳවීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම මෙකී මාධ්‍ය මෙහෙයුම්වල අරමුණ විය.☐

(මතු සම්බන්ධයි)

දෙවන කොටස: ගාන්ධියම් ව්‍යාපාරයට එරෙහි මර්දනය ඇරඹේ - II

අතුල විතානගේ


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.