JDS Sinhala

මිනිස් ලේ වැකි දවස්: 'නිරුවතින් ඇවිද යන මට ඔවුහු පා පහර දුන්හ‍‍' - I

ප්‍රවේශ සටහනක්:

සොලමන් අරුලානන්දම් ඩේවිඩ් (1924 - 2015) හෙවත් එස් ඒ ඩේවිඩ් දෙමළ ජාතික අරගලයේ වැදගත් පරිච්ඡේදයක පුරෝගාමී ප්‍රමුඛයෙකි. යාපනයේ කයිට්ස් හි කරම්පන් ග්‍රාමයේ උපන් හේ,  '50 දශකයේ දී විදේශගතව වාස්තු විද්‍යාව හා නගර සැළසුම් පිළිබඳ මෙල්බර්න් හා ලීඩ්ස් සරසවි කේන්ද්‍ර කොටගෙන වැඩිදුර අධ්‍යයනයෙහි යෙදුණේය. ඉක්බිති පෙරළා දිවයිනට පැමිණ හෙතෙම කෙටි කලක් සහකාර වාස්තු විද්‍යාඥයෙකු හා නගර සැළසුම් ශිල්පියෙකු ලෙස රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ සේවය කළේය. අනතුරුව යළිත් විදේශගතව යුරෝපයේත්, උතුරු ඇමරිකාවේත්, අප්‍රිකාවේ හා නැගෙනහිර ආසියාවේත් නාගරික සැළසුම් පිළිබඳ අධ්‍යයනයන්හි නිරත වූ හෙතෙම ලිවර්පූල් හි ජ්‍යෙෂ්ඨ නගර සැළැසුම් ශිල්පිියෙකු වශයෙන් ද, මොම්බාසා හි රජයේ ප්‍රධාන වාස්තු විද්‍යා ශිල්පියා ලෙසද කළ රැකියා අත්හැර 1972දී පෙරළා දිවයිනට දෙවන වරට ද පැමිණියේ දෙමළ ජනයා මුහුණ දුන් සාමූහික ඉරණමට එරෙහිව පූර්ණකාලීනව කැපවීමේ අධිෂ්ඨානයෙනි.

වාස්තු විද්‍යාඥ ඩේවිඩ්, දෙමළ ජනයා අතර ගෞරවාදරයට පාත්‍ර වූ  "ගාන්ධියම් ඩේවිඩ්" බවට රූපාන්තරණය වූයේ මේ දෙවැනි ගමනේදී ය. 1977 දී වාමාංශික ක්‍රියාධරයෙකු වූ වෛද්‍ය සෝමසුන්දරම් රාජසුන්දරම් හා එක්ව ගාන්ධියම් ව්‍යාපාරය බිහිකිරීමෙහි ලා පුරෝගාමී වූ හෙතෙම, 1977 හා 1978 දෙමළ විරෝධී ප්‍රහාරයන් මගින් මධ්‍යම කඳුකරයෙන් පළවා හරින ලද දහස් සංඛ්‍යාත වතු දෙමළ ජනයාට අත්‍යවශ්‍ය පහසුකම් සළසමින් ඔවුන් වන්නියේ යළි පදිංචි කිරීමට මූලිකත්වය ගෙන ක්‍රියා කළේය. උතුරු නැගෙනහිර පළාත්වල ආදර්ශ සමූහ ගොවිපොළ 12කට වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කිරීම මගින් දෙමළ මෙන්ම සිංහල දිළිඳු පවුල් සඳහා ජීවනෝපායයන් සම්පාදනයට ගාන්ධියම් ව්‍යාපාරය දායක විය.

නමුත් ජයවර්ධන රජයේ විවෘත මර්දනකාරීත්වයට ගාන්ධියම් ව්‍යාපාරය ඉලක්ක වන්නට වැඩි කලක් ගත නොවිණ. 1983 අප්‍රේල් මාසයේදී ගාන්ධියම් වයාපාරයේ සියළු කාර්යාල මුද්‍රා තැබීමට ක්‍රියාකළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව, අප්‍රේල් 06 වැනිදා වෛද්‍ය රාජසුන්දරම් වවුනියාවේදී ද, අප්‍රේල් 07 වැනිදා එස් ඒ ඩේඩිඩ් කොළඹදී ද අත් අඩංගුවට ගනු ලැබිණ. 'ත්‍රස්තවාදයට ආධාර සැපයීමේ' චෝදනා යටතේ රහස් පොලිස් මූලස්ථානයේත්, පනාගොඩ හමුදා කඳවුරේත් රඳවාගෙන පහරදීම් හා වධ බන්ධනයන්ට ලක් කරන ලද ඩේවිඩ් සහ රාජසුන්දරම්, ජූනි මාසයේදී වැලිකඩ බන්ධනාගාරයට මාරුකර යැවිණ.

1983 කළු ජූලියේදී වැලිකඩ බන්ධනාගාරය තුළ දියත් වූ ඝාතන ක්‍රියාදාමයට අරුලානන්දම් ඩේවිඩ් මැදි වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ආරක්‍ෂක අංශ සහ බන්ධනාගාර අධිකාරියේ විවෘත අනුබලය සහිතව දෙමළ සිරකරුවන් රඳවා සිටි මැදිරි තුළට ඇතුල් වූ සිංහල සිරකරුවෝ, ජූලි 25 සහ 27 යන දෙදින තුළ දී දෙමළ රැඳවියන් 53 දෙනකු කපා කොටා ඝානය කළහ. දෙමළ - සිංහල ජනයා අතර සහයෝගීතාව ගොඩනඟනු වස් කැප වී ක්‍රියා කළ වෛද්‍ය සෝමසුන්දරම් රාජසුන්දරම්, ඔහු රඳවා සිටි සිර මැදිරියෙන් පිටතට ඇදගෙන වුත් මැරෙන තුරු පහර දෙන ලද්දේ ජූලි 27 වැනිදා ය. නමුත් ආත්මාරක්‍ෂාව සඳහා පෙරළා සටන් කොට දිවි ගළවාගත් ඩේවිඩ් ඇතුළු පිරිසක් මඩකළපු බන්ධනාගාරයට මාරු කර යැවිණ.

සිය දිවිය අහඹු වාසනාවකින් දිගු වූ බව දැනසිටි ඩේවිඩ්, සැප්තැම්බර් 23 වැනිදා මඩකළපු බන්ධනාගාරය බිඳ සිරභාරයෙන් ගැළවී ගිය සිරකරුවන් හා එක් වී වන්නියට පලා ගියේය. අනතුරුව 1984 දී වන්නියේ සිට බෝට්ටුවකින් මදුරාසියට පලාගිය හේ පුරා තිස් වසක් පිටුවහලේ ජීවත් විය.  2015 අවසාන භාගයේදී පෙරළා සිය නිජබිම කරා අප්‍රසිද්ධියේම ආ හෙතෙම ඒ වසරේ ඔක්තෝබර් 11 වැනිදා කිලිනොච්චියේදී සිය 91 වසක් දිගු සප්‍රතිපත්තික දිවි සැරිය නිම කළේය. 'මගේ දේහය දෙමළ නිජබිමෙහි වළලා දමන්නැයි' 2013 දී ඔහු කළ ඉල්ලීම අනුව ඔක්තෝබර් 14 වැනි බදාදාවේ අරුලානන්දම් ඩේඩිඩ්ගේ නිසල දේහය කිලිනොච්චියේදී මිහිදන් කෙරුණි.

1983 කළු ජූලියේදී වැලිකඩ බන්ධනාගාරයේ දී එල්ල වූ වර්ගවාදී ප්‍රහාරය පිළිබඳ සිය මතකය ගොණු කරමින් ඩේවිඩ් විසින් ලියන ලද මෙම ලිපිය 'ටැමිල් ටෛම්ස්' සඟරාවේ මුල්වරට පළ වූයේ, ඒ සිදුවීම්වලින් සිව් මසකට පසු 1983 නොවැම්බරයේදී ය.

කළු ජූලියට සිව් තිස් වසක් සැපිරෙන මේ ජූලියේදී පළමු වරට පූර්ණ වශයෙන් සිංහල බසට නඟා පළකැරෙන මෙම ලිපිය, ලේ බත් 'ජාතිකානුරාගයේ' නීච පරිච්ඡේදයක් පිළිබඳ පුනරාවර්ජනයකි.

පරිවර්තනය: සනත් බාලසූරිය


දෙමළ ජන ප්‍රදේශ, විශේෂයෙන් යාපනය, ශ්‍රී ලංකාවේ වඩාත් ම නීතිගරුක හා සාමකාමී භූමිභාගය විනැයි ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳ නිරීක්ෂණය කරන ඕනෑ ම මැදිහත් පුද්ගලයෙක් නිසැකව ම සිය ජීවමාන අත්දැකීම් ඇසුරෙන් පවසනු ඇත. එහෙත් අද වන විට, දෙමළ ජන ප්‍රදේශවල ප්‍ර‍චණ්ඩත්වය බෙහෙවින් පැතිරී ඇති බව දෙමළ ජනයාමත්, ඇතැම් විට අභිමානනීය හැඟීමකින් පවා කියාසිටිනු ඇත. එය සිදුවූයේ කෙසේද? මේ කාරණය පිළිබඳ පැහැදිළි අවබෝධයක් ඇති කරගැනීම, ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍ර‍ශ්නයට විසඳුම් සෙවීමේ දී අතිශය තීරණාත්මක වේ.

සියලු නිහතමානීත්වයන් පෙරදැරිව, මම යහපත් මිනිසුන්ගේ අවධානයට ඒ පිළිබඳ මගේම වූ විග්‍ර‍හය ඉදිරිපත් කරමි. නිහදස ලැබීමෙන් පසු ඩී එස් සේනානායක කඳුකරයේ මිලියනයක් දෙමළ ජනයාගේ ඡන්ද අයිතිය උදුරාගැනීමට කටයුතු කළේ ය. සුළු ජාතීන්ට පිළිගැනීමක් ලබාදීම තදින් ම ප්‍ර‍තික්ෂේප කළ ඔහු, සිංහලයන් රටේ අවිවාදිත පාලකයන් බවට පත්කළේ ය. ඔහු දෙමළ භූමිය තුළ රාජ්‍ය ජනපදකරණය ආරම්භ කළ අතර, දෙමළ භූමියේ බෞද්ධ සිද්ධස්ථාන ස්ථාපිත කළේ ය. සිය සිංහල පමණක් පනත හා බෞද්ධාගමට අග‍්‍රස්ථානය පිරිනැමීමේ ප්‍ර‍තිපත්තිය ඔස්සේ බණ්ඩාරනායක තවදුරටත් මේ ක්‍රියාවලියම අනුගමනය කළේ ය. ඔහු රාජ්‍ය සේවයෙන් දෙමළ ජනයා පලවා හැරියේ ය. දෙමළ ජනයා ශ්‍රී ලංකාවේ දෙවැනි පන්තියේ පුරවැසියන් බවට පත්කළේ ය. පසුකලෙක ජේ ආර් ජයවර්ධන ද ඒ මාර්ගය ම ගත් අතර, සිරිල් මැතිව්, ප්‍රේමදාස, ඇතුලත්මුදලි හා ගාමිනී දිසානායක විසින් සංවිධානය කරන ලද මැරයන් යොදාගනිමින් හා රටේ සන්නද්ධ සේවාවන්ගේ පූර්ණ සේනා බලය ද සහිතව ඔහු ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකත්වයේ ආර්ථිකමය හා භෞතික අවසානය ආරම්භ කළේ ය. තාප්පයට හේත්තු කරන ලදුව, ඉදිරියට යාගත නොහැකිව, සිය ජීවිත අවදානමේ වැටී තිබියදී, දෙමළ ජනයා, විශේෂයෙන් තරුණ දෙමළ ජනයා සිය ආත්මාරක්ෂාව උදෙසා ආයුධ අතට ගත්හ. ක්‍රියාවට එරෙහි ප්‍ර‍තික්‍රියාවක් වූ මෙය කර්මයේ නොවැළැක්විය හැකි ඵලය විය. කොතරම් භයංකර සේ පෙනුණ ද, අප මේ දක්වා අත්දුටුවේ ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයන්ට එරෙහි වර්ග සංහාරයේ ආරම්භය පමණෙකි.

මහා අවමානයක්

ජේ ආර් ජයවර්ධනගේ ඊනියා ‘ධර්මිෂ්ඨ සමාජයක්‘ රෙජීමය යටතේ ඕනෑ ම පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට මෙන්ම නඩු විභාගයකින් තොරව රඳවාගැනීමටත් හැකි වන අතර, ඕනෑ ම පුද්ගලයෙක් මරාදැමීමටත්, කිසිදු මරණ පරීක්ෂණයකින් තොරව වළලා දැමීමටත් හැකි ය. තතු එසේ වුව, ශ්‍රී ලංකාව තුන්වැනි ලෝකයේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය පිළිබඳ ආදාර්ශයක් ලෙස හැඳින්වෙන අතර, ඇමරිකාවේ නායකත්වය යටතේ ජර්මනිය, ජපානය බ්‍රිතාන්‍යය හා අරාබි රටවල් ඇතුළු ලෝකයේ ධනවාදී රාජ්‍ය වෙතින් පැසසුම් හා ආධාර අනුබල ලබමින් සිටී. මේ තත්ත්වය බුද්ධියට හා විසි වැනි සියවසේ මනුෂ්‍යත්වයේ හෘදය සාක්ෂියට විශාල අවමානයකි.

ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත මුළු ශ්‍රී ලංකාවට ම බලපැවැත්වෙන්නක් වුවද, එහි අදාළවීම වැඩි වශයෙන් බලපැවැත්වූයේ දෙමළ ජනයාට හා විශේෂයෙන් දෙමළ තරුණයන්ට ය.

ශ්‍රී ලංකාවේ ඕනෑ ම පුද්ගලයෙක් කිසියම්ම හෝ නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ හෝ අදාළ බවක් දක්වන්නේය යි විශ්වාස කිරීමට හෝ සැකකිරීමට හේතු ඇතැයි අමාත්‍යවරයා සිතන්නේ නම්, එම තැනැත්තා මාස 18ක් දක්වා රඳවා තබාගැනීමට ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හැකිවෙයි. (මෙම රැඳවුම විශේෂ නියෝග මත මාස තුනෙන් තුනට අලුත් කළ හැක.) මෙම නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට, තාප්පයක පෝස්ටර් ඇලවීම පවා ඇතුළත් වන අතර, ඒ සඳහා මරණ දඬුවම පවා පැනවිය හැකි ය.

අධිකරණ විනිසුරන් විසින් රැඳවියන් රිමාන්ඩ් බන්ධනාගාරයන්හි රඳවා තබාගැනීමට නියෝග කළ අවස්ථාවන් පිළිබඳ හාස්‍යජනක නිදසුන් ද හමුවේ. නීතියට අනුකූලව රැඳවියන් රිමාන් බන්ධනාගාර වෙත රැගෙන ගොස් ඔවුන්ගේ නම් බන්ධනාගාර ලේඛනවල ඇතුළත් කරන නමුත්, ඉන් අනතුරුව ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව රැඳවියන් වධබන්ධනයන්ට ලක්කිරීම සඳහා හමුදා කඳවුරු වෙතට රැගෙන යැවෙයි. බෞද්ධ ධර්මිෂ්ටකම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ ඒ අන්දමිනි.

යමකු අත්අඩංගුවට ගෙන දින විස්සක් ඇතුළත සාමාජිකයන් තිදෙනකුගේ මණ්ඩලයකට අභියායචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසාදීමේ මානුෂීයය යි පෙනෙන විධිවිධානයකින්, ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත නම් තිත්ත බෙහෙත් පෙත්තට සීනි තැවරුමක් යොදා ඇත. මෙය පැහැදිළිව ම ජාත්‍යන්තර මානව හිමිකම් විමර්ශනයන්ගෙන් ගැලවී සිටීමේ උපායක් පමණි. සැබවින් ම මේ විධිවිධානය යෙදවීමෙහි දුෂ්ට කූටෝපායයන් පෙනෙන්නට තිබේ. මගේ ම සිද්ධියේ දී, අභියායචන පත්‍ර‍ය අවසන් දවසේ එනම් මා අත්අඩංගුවට ගැනීමෙන් විසි වැනි දිනයේ දී භාරදෙනු ලැබුණු නමුත්, දින දහයකට පසුදාතමක් යෙදිණ. ජාතික මට්ටමෙන් ව්‍යාප්තව පවත්නා වංචාව මේ අධම සිංහලාධිපත්‍යයික ආණ්ඩුවෙන් හා එහි ආරක්ෂක හමුදාවන්ගේ බලසීමාවෙන් බැහැරව පවතින්නක් නොවේ.

මම මේ අමානුෂික පනතේ විධි විධාන යටතේ අත්අඩංගුවට පත් වී, රැඳවුම් භාරයේ මරණාසන්න වනතුරු වධ බන්ධනයට ලක්කරන ලද්දෙමි. මගේ සිරුරෙන් හා ආත්මයෙන් මා දරාගත් මරණීය වධ වේදනාවන්ගෙන් අනාගත පරම්පරාව බේරාගත හැකිවනු ඇතැයි යන බලාපොරොත්තුවෙන්, ජේ ආර් ජයවර්ධනගේ සිරගෙවල් තුළ මගේ අත්දැකීම් වාර්තා කර තැබීමට මම කැමැත්තෙමි.

මම දැන් 59 හැවිරිදි වෙමි. සෘජු අවංකත්වයෙන්, බුද්ධියෙන් හා දැඩි වෙහෙස මහන්සියෙන් මම පීඩිත ග්‍රාමීය කොන්දේසිවල සිට ශ්‍රී ලංකාවේ මෙන් ම ඕස්ට්‍රේලියාවේ, එක්සත් රාජධානියේ, නයිජීරියාවේ හා කෙන්යාවේ වාස්තු විද්‍යාඥයෙක් හා නගර නිර්මාණ ශිල්පියකු ලෙස සේවය කිරීමේ තත්ත්වය දක්වා ඉදිරියට ආවෙමි. 1958 දී සිංහල පමණක් පනත සම්මත වීමත් සමඟ, දෙමළ ජාතිකයෙකුට ශ්‍රී ලංකාව තුළ ගෞරවණීය තත්ත්වයක් නැතැයි යන අදහසින් අවංකව ම මා පෙළුණෙන්, මම ශ්‍රී ලංකා ආණ්ඩුවේ වාස්තු විද්‍යාඥ තනතුරින් ඉවත් වී විදෙස් ගතවීමි.

ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් දෙදෙනකු විසින් එකල කරන ලද ප්‍ර‍කාශ තවමත් මා සවනත රැව් දේ. සෙනෙට් සභික, කීර්තිමත් රාජ නීතීඥ නඩේසන් මෙසේ කීවේ ය. “අපි අපේ මාවත් වෙන් වන තැනට පැමිණ සිටින්නෙමු. සමාදානයෙන් අපට නික්ම යන්නට ඉඩදෙන්න.“ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මෙසේ කීවේ ය: “එක් භාෂාවක්, ජාතීන් දෙකක්.“ ඔවුන් ගේ දූරදර්ශීභාවය කාලය විසින් මුළුමනින් සනාථ කර තිබේ.

මගේ ජනතාව වන දෙමළ ජාතිකයන්ගේ විඳවීම්වලින් ඔවුන් මුදාගැනීම වෙනුවෙන් මුළුමනින් කැපවීම උදෙසා මම 1972 දී ආපසු ශ්‍රී ලංකාවට පැමිණියෙමි. යුරෝපය, ඇමරිකාව, ඊස්රායලය, අප්‍රිකාව හා ඈත පෙරදිග ඇතුළු ලොව වටා පැවැති විවිධාකාර ක්‍ර‍මයන් පිළිබඳ කියැවීමෙන් හා පෞද්ගලික නිරීක්ෂණයන් ඔස්සේ කළ සාවධානී අධ්‍යයනයකින් අනතුරුව, මගේ ජනතාවගේ සුධීමත්භාවයට හා සම්ප්‍ර‍දායයන්ට වඩාත් ම ගැලපෙන ක්‍ර‍මය ලෙස ගාන්ධියානු මාදිලිය තෝරාගත් මම, මගේ ජනතාව ගාන්ධියම් ජීවන රටාවක් කරා ක්‍රමානුකූල ව ගෙන ඒමට කටයුතු කළෙමි.

ගාන්ධියම් ව්‍යාපාරය

විඩා නොවැටෙන ජවසම්පන්න ක්‍රියාධරයකු වූ වව්නියාවේ දොස්තර රාජසුන්දරම් සමග එක්ව වසර පහක් තුළ අපි ශ්‍රී ලාංකීය දෙමළ ජනයාගේ පාරම්පරික නිජබිම වූ යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, වව්නියා, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශ පුරා ඉතා යහපත් දිස්ත්‍රික් මධ්‍යස්ථාන ජාලයක් ගොඩනැඟුවෙමු. අප අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට තිහක පමණ සාමාන්‍ය සිසුන් සංඛාවක් සිටින පෙර පාසල් 450ක ග්‍රාමීය දරුවන්ට දිනපතා කිරි හා ත්‍රිපෝෂ ද, ළදරු පාසල් අධ්‍යාපන පහසුකම් ද සැපයෙමින් තිබිණි. වව්නියාවේ, ත්‍රිකුණාමලයේ හා මඩකලපුවේ පිහිටි අක්කරයේ ආදර්ශ ගොවිපොළවල් 12ක් තුළ ආර්ථික, සමාජ හා සංස්කෘතික පුනර්ජීවනය සඳහා වූ සරල ම, ආරක්ෂිත ම හා වේගවත් ම මාවත පෙන්වා දෙමින් තිබිණි. මූලික නිවාරණ හා ප්‍ර‍තිකාරක ඖෂධ සහිත ජංගම සායන දුෂ්කර ගම්මාන වෙත සෞඛ්‍ය පහසුකම් සැපයී ය. පුහුණු මධ්‍යස්ථානයකින් සෑම මාස තුනකට වරක් ම තිහත් හතලිහත් අතර තරුණ කාන්තාවන් පිරිසක් ඔවුන්ගේ ගම්වල ගාන්ධියම් වැඩකටයුතු සඳහා පුහුණු කැරෙමින් පැවතිණි. මීට අමතර ව, අනෙකුත් සමාජ සේවා සංවිධාන සමඟ එක්ව ගාන්ධියම් ව්‍යාපාරය තේ වතුවල සරණාගත පවුල් 5,000කට සාම්ප්‍ර‍දායික දෙමළ ගම්වාසීන් අතර ආරක්ෂිත ව පදිංචි වීමට උදව් කරමින් සිටියේ ය. ගාන්ධියම් ව්‍යාපාරයේ වැඩකටයුතුවල ගුණාත්මක බව හා ප්‍ර‍මාණාත්මක බව, විදෙස් ආධාර ආයතනවල හා විදෙස්ගත ව වෙසෙන දෙමළ ජනයාගේ ආකර්ෂණය බෙහෙවින් දිනාගත් අතර, අපි වසරකට රුපියල් 5,000,000ක අයවැයක් සමඟ ගනුදෙනු කරමින් සිටියෙමු.

සිංහල ආණ්ඩුව අප මත ඔවුන්ගේ පරීක්ෂාකාරී දෑස රඳවාගෙන සිටින බව අපි මේ මුළු කාලය තුළ ම දැන සිටියෙමු. 1983 අප්‍රේල් මාසයේ දී ආණ්ඩුව මා හා දොස්තර රාජසුන්දරම් අත්අඩංගුවට ගැනීමේ තීරණාත්මක පියවර ගත්තේය.

අත්අඩංගුවට ගෙන මාස තුන හමාරක් හුදෙකලා සිර අඩස්සියක රඳවා තැබීමෙන් හා සිරුර හා මනස දැඩි වධබන්ධනයට ලක්කිරීමෙන් පසු අප වෙත 1983 ජූලි මස 22 වැනි දා ලබාදුන් අධිචෝදනාවන්හි අඩංගු වූ චෝදනා වූයේ,

1. උමා මහේෂ්වරන් මුණගැසීම හා ඒ පිළිබඳ පොලීසියට දැනුම් නොදීම.
2. සන්දදියාර් මුණගැසීම හා ඒ පිළිබඳ පොලීසියට දැනුම් නොදීම.
3. උමා මහේෂ්වරන්ට හා සන්දදියාර්ට ඉන්දියාවට පැන යාමට උපකාර කිරීම‍.

මේ චෝදනා මත අප වසර පහළොවේ සිට විස්ස දක්වා සිර දඬුවමකට යටත් කළ හැකි විය.

මම යම් පමණක නිදහසක් අත්විඳ තිබූ අතර, එය ආස්වාදනය කර සිටියෙමි. මට හා මගේ ජනතාවට පූර්ණ නිදහසක් ලබාගැනීම මට අවශ්‍ය විය. ඒ වෙනුවට මම පූර්ණ පරාධීනත්වයෙහි සිරවුණෙමි. එය නරකාදියක් විය. පූර්ණ නිදහස නිසැකව ම ස්වර්ගයේ විය හැකි බව මම දැන් අවබෝධ කරගනිමි.

'ඔබ මහත්මයෙක්'

1983 අප්‍රේල් 7 වැනිදා රාත්‍රී 11.30ට කොළඹ වයි එම් සී ඒ හි අංක 9 දරණ මගේ කාමරයේ දොරට කිසිවෙක් තට්ටුකළේ ය. මම දොර විවර කළෙමි. රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරී පුන්‍යා ද සිල්වා මහතාගේ නායකත්වයෙන් යුතු සී අයි ඩී හා පොලිස් නිලධාරීන් පිරිසක් කාමරයට ඇතුළු වූහ. සියලු කබඩ්, ලාච්චු, පෙට්ටි විවෘත කර, සියලු පෞද්ගලික ලියකියැවිලි ඇද දැමූ ඔවුහු, ඇඳුමක් හෝ මාරු කරගන්නට ඉඩ නොදී, මට තමන් පසුපස එන්නැ යි නියෝග කළහ. කොළඹ කොටුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතරවැනි තට්ටුවට රැගෙන ගිය මට කාර්යාල මේසය මත නිදාගැනීමට සැලැස්විණි. පසුදා උදෑසන, මා බියෙන් හා වියවුලෙන් සිටින අතර, සැරපරුෂ මුහුණින් දත්මිටි කමින් පෙනී සිටි සීඅයිඩී නිලධාරීන් මා කීතු කර මුහුදට විසිකර දමන බවට තර්ජනය කළෝ ය. ඇතැම් නිලධාරීන් ගේ මුහුණුවල කරුණාවන්ත බවක් මා දුටු බවත්, එක් නිලධාරියෙක් කල්පනාකාරී ලෙස මට සිය නිවසින් උදේ ආහාරය ගෙනැවිත් තිබූ බවත් ඔවුන්ට සාධාරණයක් කරනු වස් කිව යුතු ය. ඉතා ආචාරශීලී වූ රහස් පොලිසියේ විජේතිලක මහතා විසින් මා ප්‍ර‍ශ්න කරන ලද නමුත්, වෙනත් නිලධාරියෙක් දිගින් දිගටම මට තර්ජනය කරමින් සිටියේ ය. මිට මොලවාගත් දෑතින් යුතුව මා කරා වේගයෙන් පැමිණ, මගේ උරහිස් සපා කා, දෑත් ඔසවන්නැයි ද ඒ ඉරියව්වෙන්ම පැය බාගයකට ආසන්න කාලයක් නැඟී සිටින්නැයි ද ඔහු මට නියෝග කළේය.

ඊළඟ දිනයේ පුන්‍යා ද සිල්වා මහතා මා ප්‍ර‍ශ්න කළේ ය. ‘ඩේවිඩ් මහත්මයා, මං ත්‍ර‍ස්තවාදයට සම්බන්ධ මිනිසුන් සිය ගණනක් පරීක්ෂාවට ලක්කරලා තියෙනවා. ඔබේ අවංකකම හා ස්වයං කැපවීම ගැන මගේ සැකයක් නැහැ, මම ඔබේ පරමාදර්ශ සමඟ එකඟ නොවෙනවා වෙන්න පුළුවන්. ඒත් අවසානය තෙක්ම මා ඔබට මහත්මයෙක් හැටියට ගරුකරනවා.'

සිය ප්‍ර‍ශ්නකිරීම් අවසානයේදී එසේ කීමට මේ නිලධාරියාට ධෛර්යය තිබිණි.

මගේ හිසේ වූ මහා බරක් ඉවත් විය. ඉමහත් ආචාරශීලීත්වයෙන් හා කරුණාවෙන් මට සැලකූ පුන්‍යා ද සිල්වා හා විජේතිලක යන මහත්වරුන් මම මගේ අවසන් දිනය දක්වා ගෞරවයෙන් යුතුව සිහි කරමි.

'වෘකයන් අතර නග්න ව'

මා පනාගොඩ හමුදා කඳවුරේ රඳවා තබාගැනීමට ආරක්ෂක ඇමැතිවරයා නියෝග කළ බව, එදින සන්ධ්‍යාවේ මට දැනගන්නට ලැබිණි. මා පනාගොඩට රැගෙන ගිය විජේතිලක මහතා මා හමුදාවට බාරදුන්නේය. ඔහු පිටව ගිය වහාම මා වටකරගත් හමුදා සොල්දාදුවෝ 20දෙනෙක් පමණ මට එක් මුල්ලකට යන ලෙස නියෝග කළහ. කිසිවෙක් නියෝගයක් දුන් අතර, සොල්දාදුවෙක් මගේ පපුවට පහර දුන්නේ ය. මට මුත්‍ර‍ පහවිය. කමිසය හා කලිසම ගලවා දමන්නැ‘යි ඔවුහු මට නියෝග කළහ. ඔවුන් සියලු දෙන මගේ නිරුවතට මහ හඬින් සිනාසුණු අතර, ශබ්ද නඟා කළ අසික්ෂිත කතා ද විය. සොල්දාදුවන් පසුකරමින් ඇවිද යන ලෙස ඔවුහු මට නියෝග කළ අතර, මා එසේ යන අතර ඔවුහු අත්වලින් හා පයින් මට පහර දුන්හ. හුදෙකලා සිරකුටියකට මා දැමූ ඔවුහු එහි මා සිර කළහ. පසුදා උදෑසන, දත් මැදීමට බුරුසු බෙදා හැරි සහ තේ බෙදා දුන් සෙසු දෙමළ රැඳවියෝ මා සැනසූහ. එතැන් පටන් උදෑසන හා සන්ධ්‍යා පරීක්ෂණයන්හි දී අණදෙන නිලධාරී උඩුගම්පොල මා මරාදමන බව කියමින් මට තර්ජනය කළේය. රැකවලෙහි සිටි සෙබළු හම් පටි සහ දැලිපිහි සමඟ පැමිණ දෑත් යකඩ ග්‍රිල් දොර මත තබන්නට අණකර ඇඟිලි කපාදමන බවට තර්ජනය කළහ. කොන්ක්‍ර‍ීට් බංකුවක් මත නැගීසිටිමින් දෑත් ඔසවාගෙන කරකැවෙන්නැ‘යි ඔවුහු මට අණ කළහ. අසභ්‍ය වචනයෙන් මට බැන වැදුණු ඔවුහු දෙමළ ජනයාට ගැරහූහ. සති දෙකක් තිස්සේ මට නීතීඥයකු මුණගැසීමට ඉඩ නොදුන්හ. නීතීඥ කුමාරලින්ගම් හමු වූ වහාම මගේ අත්දැකීම් ගැන ඔහුට කී මම, හමුදාව විසින් පළිගනු ලබතැයි බියෙන් මේ ගැන කිසිවකුටත් දැනුම් නොදෙන ලෙස ඉල්ලා සිටියෙමි. එහෙත් ඔහු බෙහෙවින් විස්තරාත්මක තොරතුරු ඇතුළත් විදුලි පණිවුඩයක් ජනාධිපතිවරයාටත් හමුදා හා පොලිස් ප්‍ර‍ධානීන්ටත් යැවීය. දින තුනක් ඇතුළත කුමාරලින්ගම්ගේ පැමිණිල්ල පිළිබඳ තොරතුර හමුදාවට ලැබුණු අතර, පුරා දින හතරක් මම එක දිගට විලංගු ලා සිටියෙමි. සති දෙකක් යන තුරු මට නෑමට අවසර නොලැබුණු අතර, කියවීමටද කිසිදු දෙයක් ලබා නොදෙන ලදී.

සැබෑ ත්‍ර‍ස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට, රඳවාගැනීමට හා සිරගත කිරීමට යම් යුක්ති සහගත බවක් තිබුණත්, පනාගොඩ රැඳවියන් අතර බොහෝ අහිංසක පුද්ගලයෝ වූහ.

කිසිදු ‘ත්‍ර‍ස්තවාදී‘ ක්‍රියාකාරකමකට සම්බන්ධයක් නැති 24 හැවිරිදි තරුණයකු වූ ජයදාස් එහි සිටියේය. මැදපෙරදිග රැකියාවක් ලබාගැනීම සඳහා ඔහු රැකියා නියෝජිතයෙකුට රුපියල් 50,000ක් ලබා දී තිබූ අතර, රැකියා නියෝජිතයා ඔහුගෙන් ගැලවෙනු පිණිස ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබිණි. ඔවුහු ඔහු වහා ම රැඳවුම් භාරයට ගත්හ. ඔහු වැලිකඩ සිරගෙදර සංහාරයේ දී යන්තම් දිවිගලවාගත් අතර තවමත් මඩකලපුව බන්ධනාගාරයේ රැඳවුම් භාරයේ සිටී.

පනස් වියැති අන්ධ භාවයට ආසන්න තත්ත්වයක සිටි පුද්ගලයෙක් වූ බාලසිංහම් ද එහි සිටියේ ය. ඔහු ළිඳක් හෑරීම සඳහා ඩයිනමයිට් ප්‍ර‍වාහනය කර ඇත. ඔහු අත්අඩංගුවට ගැනුණු අතර, රැඳවුම් භාරයේ පසුවිය. බලසම්පන්න සිංහල නීතීඥයන්ගේ සහායෙන් ඔහු වැලිකඩ බන්ධනාකාරයේ සංහාරයට දින කිහිපයකට ඉහත දී නිදහස ලැබීය.

වව්නියාවේ පදිංචි 26 හැවිරිදි ගනේෂලින්ගම් ද එහි සිටියේ ය. ගුවන් හමුදා භටයෙකුට පහර දුන් කිසියම් නාඳුනන තරුණයෙක් ඔහු සේවය කළ වෙළෙඳ සලට ඔහු නොසිටි අවස්ථාවක දී තුවක්කුවක් විසිකර තිබිණි. ඔහු රැඳවුම් භාරයේ පසු වූ අතර, වැලිකඩ බන්ධනාගාරයේ දී ඝාතනයට ලක්විය.

පෝස්ටර් රැගෙන ගිය තරුණයෝ බොහෝ දෙනෙක් ද එහි වූහ. මාක්ස්වාදී දර්ශනය පිළිබඳ පන්තිවලට සහභාගී වූ තරුණයෝ එහි වූහ. දෙමළ ජාතිකයන් සඳහා වෙනම ඊලාම් රාජ්‍යයක් සම්බන්ධයෙන් පොත් සමඟ අත්අඩංගුවට පත් තරුණයෝ ද එහි වූහ.

නාවික හමුදා නිලධාරියකු විසින් දෙමළ ජාතිකයන් පිරිසක් ත්‍රිකුණාමලයේදී ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීමෙන් අනතුරුව, තමන්ගේ ආරක්ෂාව සලසාගන්නැ‘යි දෙමළ ජනයාගෙන් ඉල්ලා සිටි 75 වියැති දොස්තර එස් ඒ ධර්මලිංගම් ද එහි සිටියේ ය.

පසුගිය දශකය පුරා ඊළමට පක්ෂ ව එළිපිට කතාකළ සුදන්දිරන් පුවත්පතේ කර්තෘ 46 හැවිරිදි කෝවෙයි මහේසන් ද එහි සිටියේ ය.

මේ සියල්ලෝම ත්‍ර‍ස්තවාදීන් ලෙස වර්ග කර, වයස හෝ තරාතිරම සම්බන්ධයෙන් නොතකා රඳවා තබාගනිමින් වධ බන්ධනයන්ට ලක් කැරුණේ දරුණු අපරාධකාරයන්ටත් අන්ත අන්දමිනි.

අපකීර්තිමත් ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම්වල හා රඳවා තබාගැනීම්වල ඇති වගකීම් විරහිත හා පළිගන්නා සුළු ස්වභාවයේ ප්‍ර‍මාණය ඉහත සිදුවීම්වලින් මැනගත හැකි ය.

බීමත් උඩුගම්පොළ

දොස්තර රාජසුන්දරම් පනාගොඩ හමුදා කඳවුරට ගෙන ඒමෙන් පසු, දෙමළ රැඳවියන්ට සිදුවන පහරදීම් වඩා කෘෘර ද, නිරන්තර සිදුවන්නේ ද විය. හැම දවසක් ඇර දවසක්ම, තමන්ට රිසි වූ ඕනෑම වෙලාවක අණදෙන නිලධාරී උඩුගම්පොල බීමතින්, තවත් අරක්කු වීදුරුවක් අතැතිව පැමිණ සිර මැදිරි විවෘත කර රැඳවියන් නිරුවත් කර ඔවුන්ට අතින් පයින් පහරදී නින්දා අපහාස කළේ ය. මුළු රාත්‍රිය පුරාමත්, පාන්දරත් වේදනාවෙන් කරන කෑමොර දීම් මට අසන්නට ලැබුණු අතර, උස් ජනෙල් පොලුවල හිස පහළට සිටින්නට එල්ලන ලද නිරුවත් සගයන් මට දකින්නට ලැබිණි. නිරුවත් රැඳවියන් අංගනය වටා පසුපසින් එලවා ලුහුබඳිනුත්, පීවීසී පයිප්ප හා යකඩ පොලු අත දැරූ හයත් අටත් අතර සොල්දාදුවන් පිරිසක් ඔවුන්ට පහර දෙනුත් මම දුටිමි.

අණදෙන නිලධාරී උඩුගම්පොල දිනක් බීමතින් මගේ සිරමැදිරිය විවෘත කර, ඇඳුම් උනා දමා කොන්ක්‍ර‍ීට් බංකුව මත මුනින් අතට දිගාවන්නැයි මට අණකළේ ය. මගේ පිට හා දෙපා පාගාගෙන ඉන්නැ‘යි සොල්දාදුවන් තිදෙනකුට අණකළ ඔහු, මගේ තට්ටම්වලට පහර දුන්නේ ය. අවසන ඔවුහු අඩපණ වූ මා බංකුව මත අතහැර දමා ගියහ.

තවත් දිනෙක සපත්තු දෙකක් අතැතිව ඔහු බීමතින් මගේ සිරකුටියට පැමිණ මගේ මුහුණට හා හිසට පහර දුන්නේ ය. මගේ තොල් පැලී ලේ ගලන්නට විය. ලේ සෝදාගන්නැ‘යි මට නියෝග කළ ඔහු මුළු රැය පුරා මට නිරුවතින් නිදාගන්නට සැලැස්වීය.☐

දෙවැනි කොටස: 'සොල්දාදුවෝ අප පෙළට සිටුවා කුරුමාණම් ඇල්ලූහ‍'

අරුලානන්දම් ඩේවිඩ්


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.