JDS Sinhala

මිනිස් ලේ වැකි දවස් II : 'සොල්දාදුවෝ අප පෙළට සිටුවා කුරුමාණම් ඇල්ලූහ‍'

පළමු කොටස: 'නිරුවතින් ඇවිද යන මට ඔවුහු පා පහර දුන්හ‍‍'

එක්දහස් නවසිය අසූ තුනේ 'කළු ජූලියේදී' වැලිකඩ බන්ධනාගාරය තුළ දෙමළ දේශපාලන සිරකරුවන් ඉලක්ක කොට සිදුකළ ම්ලේච්ඡ සංහාරයෙන් දිවි ගළවාගත් ගාන්ධියම් ව්‍යාපාරයේ පුරෝගාමී සමාරම්භකයෙකු වූ සොලමන් අරුලානන්දන් ඩේවිඩ් විසින් එයින් සිව් මසකට පසු ලියන ලද සාක්‍ෂි සම්පිණ්ඩනයක පළමු කොටස අපි දෙසතියකට පෙරාතුව පළ කළෙමු. මේ පළවන්නේ එහි දෙවැනි හා අවසාන කොටස ය.

වැලිකඩදී දිවි ගළවාගත් ඩේවිඩ් ඇතුළු දෙමළ දේශපාලන රැඳවියන් 19 දෙනකු මඩකළපුව බන්ධනාගාරයට මාරුකර යවන ලද්දේ ජූලි 28 වැනිදා ය. ඒ, නිරායුධ දෙමළ රැඳවියන් 53 දෙනකු වර්ගවාදී සිංහල සිරකරුවන් විසින් ඝාතනය කිරීමෙන් ඉක්බිතිව ය. මඩකළපුව බන්ධනාගාරයේ දෙමසක් ගත කළ ඩේවිඩ්, 1983 සැප්තැම්බර් 23 වැනිදා දෙමළ ඊළම් මහජන විමුක්ති සංවිධානයත් (PLOTE), දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයත් (LTTE), ඊළම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණත් (EPRLF) දායකවීමෙන් දියත් කළ සැළැස්මක ආධාරයෙන් බන්ධනාගාරය බිඳ පලා ගිය සිරකරුවන්ට එක් විය. මඩකළපුවේ රඳවා සිටි දේශපාලන සිරකරුවන් 42 දෙනකු නිදහස් කරගත් එකී සැළැස්ම සඵල කරගනු පිණිස එස්. ඒ. ඩේවිඩ්ට අමතරව, ඉක්බිති එළඹි සිව් වසර තුළ දෙමළ ජාතික අරගලයේ කැපී පෙනෙන වැඩ කොටසක් ඉටු කළ තම්බපුල්ලේ (පනාගොඩ) මහේස්වරන්, රාමලිංගම් පරමදේවා, ඩග්ලස් දේවානන්දා, පරන්තන් රාජන්, නාගලිංගම් මානික්කදාසන්, වර්ධරාජා පෙරුමාල් ඇතුළු දේශපාලන සටන්කාමීන් ගණනාවක්ම හවුල් වූහ. අන්‍යෝන්‍ය පසමිතුරුකම් සහිත සංවිධාන අතර එකඟතාවන් ගොඩනඟා ගැනීමට මූලිකත්වය සැපයීම පිළිබඳව එස් ඒ ඩේවිඩ් පසුව බොහෝ දෙනෙකුගේ පැසසුමට පාත්‍ර විය.

'දෙමළ ජනයා මැඩලා නසාලන සමූල ඝාතක පිළිවෙත් හෙළිදරව් කරනු පිණිස මම මගේ සිරුර ද ආත්මය ද මගේ පැවැත්මේ අවසන් හුස්ම පොද ද කැප කරමි'යි හෙතෙම 1983 නොවැම්බරයේදී 'ටැමිල් ටෛම්ස්' සඟරාවට ලීවේය.  එතැන් සිට 33 වසරකට පසු මරණය අභිමුඛ වන තෙක් ඔහු ඒ වචන දිවි හිමියෙන් රැක්කේය. තිස් තුන් වසක් පිටුවහලේ දිවි ගෙවා තම නිජබිමේ වැළලෙන්නට පෙරළා පැමිණි වයෝවෘධ මිනිසෙකු සිය කර මතින් ගෙනගොස් ගෞරව පූර්වකව මිහිදන් කරන්නට සිය ගණනක් දෙමළ ජනයා  2015 ඔක්තෝබරයේදී කිලිනොච්චියට රැස් වූයේ ඒ නිසා ය. 

පරිවර්තනය: සනත් බාලසූරිය


නෙකුත් රැඳවියන්ට මුහුණ පාන්නට සිදු වූ වද හිංසාවන් හා සසඳන කල්හි, මට ලැබුණේ වඩා මෘදු සැලකිල්ලක් බව මා කිව යුතු ය. දොස්තර රාජසුන්දරම් දරුණු ප්‍ර‍හාරයන්ට ලක්විය. ඒ ප්‍ර‍හාරයන්හි දී ඔහුගේ වමත විසන්ධි විය, කන් බෙර පැලිණ, අවස්ථා කිහිපයකදී ම ඔහු සිහිමෘජාවෙන් බිම අත්හැරදමනු ලැබ සිටියේය. මානික්කදාසන් හා රොබට් යන දෙදෙන සෙසු පිරිසෙන් වෙන්කොට රැගෙන ගොස්, බිහිසුණු ලෙස පහර දෙන ලදහ. ඒ ප්‍ර‍හාරයන්ගෙන් සති ගණනකට පසු පවා ඔවුන් සිය ආහාර වේල ලබාගැනීමට අමාරුවෙන් පැමිණියේ දරුණු වේදනාවෙන් පීඩා විඳිමිනි. බොහෝ විට ඔවුන්ට ඇවිදගැනීමට පවා නොහැකි විය.

ශාරීරික වදහිංසාවන්ට ද වඩා දැරිය නොහැකිවූයේ මානසික පීඩාවන්ය. සියලු අසික්ෂිත බැණඅඬගැසීම්වල හරය ඊළම වූ අතර, හැම සොල්දාදුවෙක්ම තමන්ට හිතුණු ඕනෑම විටෙක දෙමළ ජනයා පිළිබඳ නොසරුප් සැඳැහුම් අප වෙත දමා ගැසූහ.

දිනක් වෛද්‍ය රාජසුන්දරම්ට සතර ගාතෙන් ඇවිද යාමටත්, බල්ලෙක් මෙන් බිරීමටත් අණකරන ලදී. කෑම හිස මත තබාගෙන වේගයෙන් ඇවිද යාමට අපට නිරන්තරයෙන්ම අණ කැරිණි. තවත් අවස්ථාවකදී දිය පිරී, මඩවී තිබූ අංගනය වටා බඩගාගෙන යාමට තරුණයෙකුට නියෝග කරන ලදී. රැඳවියන්ගේ ආත්ම ගෞරවය හා ජීව ගුණය විනාශ කිරීමට විචක්ෂණ ක්‍ර‍මෝපායයන් යොදා ගැනිණි.

පරපීඩක හැසිරීම්

පනාගොඩ කඳවුරේදී මුහුණ දෙන්නට සිදුවූ වඩාත්ම දරාගත නොහැකි සිදුවීමක් වූයේ, වයස පහලවත් විස්සත් අතර පාසල් ශිෂ්‍ය භටයන් සති අන්තවල එහි ගෙනා අවස්ථාවන්හිදී අපට එරෙහිව සිදුකළ පරපීඩාකාරී හැසිරීම්ය. දිවගොස් ඔවුන් ඉදිරිපිට බිම තැබූ අපේ කෑම රැගෙන යාමට අපට නියෝග කැරුණේ, අප දෙස බලා සිටීමට, අපට සිනාසීමට හා අප පිළිබඳ විවිධ නොසරුප් දෑ පැවසීමට ඔවුන්ට ඉඩ සලසමිනි. ඇතැම් සොල්දාදුවෝ අප හැමෙකෙක් පිළිබඳවම සජීවී විස්තර විචාරයක් ඒ සිසුන්ට සැපයූහ. අනාතතයේදී දෙමළ ජනයා වදහිංසාවට පමුණුවන, ඔවුන් අඩපන කරන, දෙමළාට වෛර කරන නව පරම්පරාවක් බිහිකිරීමේ වගකීම ඇතැම් විට මේ ඔස්සේ හමුදාව ඉටුකළා විය හැකි ය.

නිරුවත දැකීමේ අසාමාන්‍ය කුතුහලයක් සහිත කෝප්‍ර‍ල්වරයෙක් එහි සිටියේය. දිනක් මගේ සිරකුටියේදී, ඇඳුම් උනාදමන ලෙස ඔහු මට නියෝග කළේ ය. මම එය ප්‍ර‍තික්ෂේප කළෙමි. එදා පටන් පනාගොඩින් පිටවන තුරු ම, මා‘මෘදු‘ වදහිංසාවන්ට ලක්කිරීමට ඔහු කටයුතු කළේය. සිරකුටියේ බංකුවක් උඩ නැග පැය ගණන් දෑත් ඔසවාගෙන සිටීමට හෝ සිරකුටිය තුළ දිගින් දිගට ම උඩපනිමින් සිටීමට හෝ පැය ගණනක් වටේට කරකැවීමට ඔහු මට අණ කළේය. තව තවත් වධ බන්ධන පමණක් උරුම වන බැවින් මේවා ගැන පැමිණිලි කිරීමෙන් පලක් නොවිණි. වරක් මම කෝප්‍ර‍ල්වරයකුට එරෙහිව පැමිණිලි කළෙමි. එ කල්හි ඔහුත්, රාජකාරියේ සිටි සාජන්ට්වරයාත් මා සිරමැදිරියේ යකඩ ගේට්ටුවට තබා මාංචු ලූ අතර, මා මුදාහැරියේ පැය බාගයකට පසු, අණදෙන නිලධාරියා පැමිණෙන බවට ආ පුවතත් සමඟිනි.

දින ගණන් එක දිගට මා මාංචු දමනු ලැබ සිටි කාලයේ එක් සීතල රාත්‍රියක මගේ අත් පා හිරිවැටිණි. ඒ හිරිවැටීම මගේ පපුව කරා කෙමෙන් පැමිණෙන බවක් මට හැඟිණි. මම මරණීය සංත්‍රාසයක ගැලුණෙමි. මැඩ පවත්වාගත නොහැකි වෙව්ලුමකින් මැඩුණු මම, කොන්ක්‍රීට් බංකුවෙන් බිමට වැටෙමින් සිටියෙමි. මා මියයන තුරු ම වෙව්ලමින් සිටිනු දකින්නට කැමැති වූවාක් මෙන්, රාජකාරියේ යෙදී සිටි කෝප්‍ර‍ල්වරයා ඒ මු‍ළු කාලය පුරා ම මා දෙස සන්සුන්ව බලාගෙන සිටියේය. මෙහි පසුවට සඳහන් කැරෙන සානුකම්පිත සාජන්ට්වරයා රාජකාරියේ සිටින බව මට හදිසියේ මෙනෙහි විය. මම ඔහුට හඬගෑවෙමි. ඔහු පැමිණ මා මාංචුවලින් නිදහස් කර, දෑත් දෙපා පිරිමැද, බ්ලැන්කට්ටුවක් ද ගෙනැවිත් දී වැතිරී නිදාගන්නැ‘යි මට කීවේ ය. එහෙත් අණදෙන නිලධාරියා පැමිණියහොත් මට මෙන්ම ඔහුට ද දඬුවම් කරනු ඇති බව මම ඔහුට කීවෙමි. අණදෙන නිලධාරියා නිවාඩු ගොස් බැවින් බිය නොවන්නැ‘යි කී ඔහු, තමන් ඒ රාත්‍රියේ කාර්යභාර ප්‍ර‍ධානියා බවත්, හොඳින් නිදාගන්නා ලෙසත් මට කීවේ ය.

රැඳවියන්ට මැරෙන තුරු ප්‍ර‍හාර

කෙසේ වෙතත්, වදහිංසාවන් මගේ මනසේ සදහට මුල්බැස ගත්තේය. අණදෙන නිලධාරී උඩුගම්පොල නොසිටි දිනෙක, වෙනත් බලලත් තරුණ නිලධාරියෙක් බීමතින් පැමිණ 34 දෙනකුගෙන් පමණ සැදි අප පිරිසට නිරුවතින් කඳවුරු අංගනයට යන ලෙස නියෝග කළේය. එය වැසි සහිත සීතල රාත්‍රියක් වූ අතර, අඩි 30 x60 පමණ වූ අංගනයේ අඟල් තුනක් පමණ දිය පිරී තිබිණි. අපට බිම වැතිරෙන්නැ‘යි අණකළ නිලධාරියා දෑත්වලින් හා දනහිස්වලින් ඒ ජලයෙන් පිරි මිදුලේ ඉදිරියටත් පසුපසටත් බඩගාන්නැයි අපට නියම කළේය. මේ විචක්ෂණ වධක ක්‍ර‍මයෙන් නිලධාරියා හා සොල්දාදුවන් මහත් සේ ප්‍රීතියට පත්වුණු අතර, සිදුවීමෙන් දින ගණනාවකට පසුව ද ඒ ගැන මෙනෙහි කර ඔවුහු මහ හඬින් සිනාසුනහ.

ගුරුනගර් හා අලිමංකඩ කඳවුරුවලදී රැඳවියන්ට මැරෙන තුරු පහර දුන් බව, පසුව වැලිකඩ දී මට කතාබස් කරන්නට ඉඩ ලද සගයන්ගෙන් අසන්නට ලැබිණි. බෝතල්, යකඩ පොලු හා ලී රිටි ඔවුන්ගේ ගුද මාර්ගවලට ඇතුළු කර තිබිණි. වදදීම් සඳහා මිරිස්කුඩු යොදාගැනුණු අතර, මිරිස් පිලිස්සූ දුමාරය නහයට හා මුවට අල්ලන ලදී. යකඩ පොලු හා පයිප්පවලින් ලේ ගලන තුරු ඔවුන්ට පහර දී තිබිණි. බිඳින ලද බෝතල්වලින් ඔවුන්ගේ සිරුරු කපා දැමිණි. සිහි මෘජා වනතුරු පහර දී, දින ගණන් හාමතේ තබා, අධික ලුණු සහිත ආහාර කෑමට බල කර, දිගු කාලයක් තිස්සේ ඉහළට නඟන ලද දෑත් බිත්තිවලට තබා දම්වැල් ලා දිගටම බැඳ තබා තිබුණහ. ඇතැම්හු වසර දෙක හමාරකට වැඩි කාලයක් රැඳවුම් භාරයේ සිට ඇති අතර, ඒ මුළු කාලය පුරා ම වධ හිංසනයන්ට ලක් වී ඇත්තාහ.

සානුකම්පිත සාජන්ට්වරයා

මේ සියලු ශාරීරික හා මානසික වධහිංසාවන් අතරතුර පවා, අසීමිත දයානුකම්පාවේ පිරිසුදු කිරණක් මා ආත්මය මත නොමැකෙන සලකුණක් තැබීය. බුදුන්ගේ දයානුකම්පාවේ උපරිම පරිමාව මම අත්දුටුවෙමි. එ් සිංහල හමුදා සාජන්ට්වරයකුගේ ගතිගුණ හා ක්‍රියාවන් ඔස්සේ ය. රැඳවියන්ට පහර දෙනු, ගුටිඅනිනු, එල්ලා තබනු ඔහු කඳුළු පිරි දෑසින් බලා සිටියි. සියල්ල සන්සුන් වූ පසු ඔහු සිරකුටි විවර කර, පහර කෑවුන්ට වේදනා නාශක ආලේපන ගල්වා පිරිමැද, උණුසුම් පොරෝනාවලින් වැසුවේය.

මේ උතුම් ආත්මයේ සම්මුඛය හා මිත්‍ර‍ත්වය හමුවේ මා මුහුණ පෑ සියලු දුක්බර මොහොතවල් ශුන්‍ය වී ගියාක් මෙනි. මේ සාජන්ට්වරයාගේ ආධ්‍යත්මයේ වූ දයානුකම්පාවෙන් සියයෙන් එකක්වත් පාලකයන් සතු විණි නම්, ශ්‍රී ලංකාව කොතරම් උදාරතර හා උතුම් භූමියක් වන්නට ඉඩ තිබිණිද?

වැලිකඩට මාරුවීම

1983 ජුනි මැද හරියේදී පමණ, බුරුසු, කොසු හා තේ රැගෙන ආ රැඳවියෝ, අප වැලිකඩ බන්ධනාගාරයට ගෙන යන බවට වූ පුවත රහසින් කොඳුරා කීහ. එහි තව දුරටත් වදහිංසා සිදු නොවනු ඇත. අප බලන්නට අමුත්තන්ට පැමිණිය හැකිවනු ඇති අතර, එකිනෙකා හා කතා කරන්නටත්, පොත් හා පත්තර කියවන්නටත් අවසර ලැබෙනු ඇත. මේ ප්‍ර‍වෘත්තියෙන් අනතුරුව සාමාන්‍යයෙන් සිර මැදිරි තුළ මන්දස්මිතයන් මෙන්ම ඇතැම් විට විහිළු තහලු ද පැතිරිණි.

මේ අර්ධ ගැලවීමේ දිනය 1983 ජුනි මස 27 වැනිදාට යෙදී තිබිණි. මිලිටරි ට්‍ර‍ක් රථ, සන්නද්ධ රථ හා ජීප්වලින් සැදි පරිපූර්ණ යුද්ධයකට ප්‍ර‍මාණවත් තරමේ සන්නද්ධ රථ පෙළපාලියකින් අප වැලිකඩට රැගෙන යැවිණි. හමුදා උපාය උපක්‍ර‍ම කෙරෙහි වන සිය අසන්තෝෂය යටපත් කරගැන‍ීමට අසමත් වූ දයානුකම්පිත සාජන්ට්වරයා ප්‍ර‍සිද්ධියේ කියා සිටියේ “මේ 34 දෙනාව මං තනියම සී ටී බී බස් එකක යාපනේට අරන් ගිහින් ආපහු එක්කගෙන එන්නම්!“ කියා ය. සත්‍යය හා මිත්‍යාව අතර සැබෑ මිණුම මෙය විය.

වැලිකඩ බන්ධනාගාරයේ දී ශාරීරික ප්‍ර‍හාරයන් ගැන බියක් නොතිබුණත්, කෑමවල, වැසිකිලි හා සනීපාරක්ෂක පහසුකම්වල තත්ත්වය බෙහෙවින් අයහපත් විය. සියලු දෙනාම පාහේ පළමු සති දෙක ඇතුළත ආහාර මාර්ගාශ්‍රිත රෝගාබාධවලට ගොදුරු වූහ. සමහරුන් බන්ධනාගාර රෝහල වෙත ගෙන යන ලද නමුත්, සිංහල බන්ධනාගාර වෛද්‍යවරුන්ගෙන් හා සාත්තු සේවක සේවිකාවන් ගෙන් ඔවුනට හරිහමන් ප්‍ර‍තිකාරයක් නොලැබිණි. බත්වල බෙහෙවින් ගල් හැපුණු අතර, ආහාර ඉතා ම නීරස විය.

විනාඩි පහළොවක කාලයකට පමණක් එළිමහන් ශරීරාභ්‍යාස ව්‍යායාමවලට අවසර තිබිණි. දවසේ පැය 23කුත් විනාඩි 45ක් අපි හුදෙකලා සිර මැදිරිවල සිරගතව සිටියෙමු. උදෑසන මුහුණ කට සෝදාගැනීමට හා වැසිකිලි යාමට විනාඩි දහයක අවසරයක් ලැබිණි. ඉන් බැහැර වේලාවක දී වැසිකිලි යාමට අවශ්‍ය විනි නම්, ඒ සඳහා අපට මහ හඬින් කෑගැසීමටත්, සිර කුටි විවර කර අප එළියට ගන්නැ‘යි ජේලර්වරුන්ට ආයාචනා කිරීමටත් සිදුවිය. ඊට ඉඩලැබුණේ ද මහත් නොමනාපයෙන් හා ඇතැම් විට නින්දිත වචන ප්‍ර‍හාරයන් ද සහිතව ය.

මටත් දොස්තර රාජසුන්දරම්ටත් එරෙහි නඩුව 1983 ජූලි මස 22 වැනි දා බුලර්ස් පාරේ ‍උසාවියේදී කැඳවුණු අතර, එහිදී අප රිමාන්ඩ් බන්ධනාගාරයෙන් රැඳවුම් බන්ධනාගාරයට මාරුකරන්නැ‘යි දොස්තර රාජසුන්දරම් විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේය. විනිසුරුවරයා ඊට එකඟ වූ අතර, අතිගරු පියතුමන්ලාත්, දොස්තර ධර්මලිංගම්, දොස්තර ජෙයකුලරාජා, නිත්‍යානන්දන් මහතා හා කෝවෛ මහේසන් සමඟින් අප දෙදෙනාත් ජූලි 23 වැනි දා තරුණ වාට්ටුවට මාරුකරන ලදී.

බන්ධනාගාර ඝාතන

1983 ජූලි මස 25 වැනි දා සිංහල සිරකරුවෝ බන්ධනාගාරයේ දේවස්ථාන කොටසේ රඳවා සිටි රැඳවියන්ට ප්‍ර‍හාරයක් එල්ල කළහ. කුට්ටිමනි, ජෙගන් සහ තන්ගතුරෙයි ඇතුළු සිරකරුවන් 35 දෙනකු එහිදී ඝාතනය කරනු ලැබිණි. ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව කුට්ටිමනිගේ දෑස් උ‍ගුලුවා දමන ලද අතර, ඝාතකයෝ ඔහුගේ රුධිරය පානය කළහ. බන්ධනාගාරයේ එක් කොටසක සිටි කුට්ටිමනි ඇතුළු දෙමළ ජාතිකයන් හය දෙනකු මරාදැමූ ඝාතකයෝ, අනෙක් කොටසේ සිටි තවත් දෙමළ 29 දෙනකු ද ඝාතනය කළහ. මයිල්වාගනම් නම් 16 හැවිරිදි ළමයා ප්‍ර‍හාරකයන් විසින් වෙන් කරන ලදුව සිර කුටියක වකුටු වී සිටියේය. ඔහු මෙසේ සිටිනු දුටු ජේලර්වරයෙක්, පිහියකින් ඇන ඔහු ද මරාදැම්මේය.

ප්‍ර‍හාරය “ලේ පිපාසිත සිංහල යක්ෂයන්ගේ ආශාව සංසිඳවීමට කළ බිලි පූජාවක්" ලෙස අමාත්‍ය ඇතුලත්මුදලි ඉතා දක්ෂ ලෙස හඳුන්වද්දී, ඝාතනය කරන ලද 35 දෙනකුගේ සිරුරු වැලිකඩ බන්ධනාගාර අංගනයේ ගෞතම බුද්ධ ප්‍ර‍තිමාව ඉදිරිපස ගොඩගසා තිබිණි.

තවමත් ජීවතුන් අතර සිටි ඇතැමෙක් අත් ඔසවමින් උදව් ඉල්ලා කෑ ගැසූ නමුත්, මළ සිරුරු ගොඩ අස්සේම ඔවුන්ට ද මැරෙන තුරු පහර දෙන ලදී.

අනතුරුව ප්‍ර‍හාරකයෝ පළමු තට්ටුවේ විවෘත කොටස් ඔස්සේ තවත් ගොඩනැගිලි කොටසකට ඇතුළු වීමට උත්සාහ කළ නමුත්, එහි සිටි ජේලර්වරු එම කොටසේ යතුරු ප්‍ර‍හාරකයන්ට දීම ප්‍ර‍තික්ෂේප කරමින්, ඔවුන් එතැනින් පිටත්කර යැවීමට නම්මා ගත්හ.

දෙවැනි සමූහ ඝාතනය

මේ කොටසේ සිටි රැඳවියන් 28 දෙනකු තරුණ වාට්ටුවේ බිම් මහලට මාරු කර යවන ලද අතර, අපි නව දෙනෙක් පළමු මහලේ රඳවනු ලැබ සිටියෙමු. 26 වැනිදා සියල්ල යළි සන්සුන් විය. එහෙත් 27 වැනි දා සවස 2.30 ට පමණ  තරුණ වාට්ටුව වටා කෑකෝගැසීම් නැඟෙමින් පැවැති අතර, ආයුධ සන්නද්ධ සිරකරුවෝ පිරිසක් සීමා තාප්පය දිගේ ඉහළට නගින්නටත්, තරුණ වාට්ටුවට ඇතුළු වන ගේට්ටු බිඳ දමන්නටත් පටන් ගත්හ. පොරෝ, කඩු, අලවංගු, යකඩ බට හා ලී මේස-පුටු කකුල්වලින් සන්නද්ධ 40කට ආසන්න සිරකරුවෝ පිරිසක් අපේ දොර ඉදිරිපස ප්‍රාදූර්භූත වී එහි අගුල කැඩීමට පටන් ගත්හ. මේ අවස්ථාවේ දොර කරා ගිය දොස්තර රාජසුන්දරම්, අප කිසිදු සොරකමකට හෝ මිනීමැරුමකට සම්බන්ධ නැති බැවින් අප අත්හැර දමන ලෙසත්, හින්දූන් වශයෙන් අප ප්‍ර‍චණ්ඩත්වය විශ්වාස නොකරන බවත්, බෞද්ධයන් වශයෙන් ඔවුන් ද ඝාතන සිදු නොකළ යුතු බවත් කියමින් ඔවුන් ඉදිරියේ බැගෑපත් වුණේය. ඒ අතරතුර දොර හදිසියේ ම විවර වූ අතර, එළියට ඇද ගනු ලැබූ දොස්තර රාජසුන්දරම්ගේ හිසට යකඩ පොල්ලකින් පහර දෙන ලදී. ඔහු පිරිස මැද ඇද වැටිණි. ඉතිරි වූ අප පිරිස පුටු සහ මේස කඩා ඒවායේ ලී දඬු අත දරාගෙන, පැය බාගයක කාලයක් ප්‍ර‍හාරයකයන්ගෙන් බේරී සිටීමට සමත් වීමු.

හමුදාව එහි පිමිණ කඳුළු ගෑස් ගසද්දී මැරපිරිස විසිර ගියහ. අනතුරුව සොල්දාදුවන් දෙදෙනෙක් අප අට දෙනා එක පෙළට සිටුවා වෙඩිතැබීමට කුරුමානම් ගනිමින් සිටියදී, පහළ සිටි අණදෙන නිලධාරියා ඔවුන්ට පහළට එන්නැ‘යි අණ කළේය. එවිට සොල්දාදුවන් අප ද පහළට එළවාගෙන ගිය අතර, දිවිගලවාගත් සියලු දෙනා තරුණ වාට්ටුව ඉදිරිපිට අඩිපාරේ පෙළගස්වා සිටියහ. අපේ සගයන්ගේ මළ සිරුරු අප වටා විසිර තිබෙනු පිටතට ඇවිද යන අපි දුටුවෙමු. අපට ජීවත් වෙන්නට ඉඩහැරීම නින්දාවක් බවට අනෙක් සිරකරුවන් කෑගසනු අපට ඇසිණි.

කුඩා වෑන් රියකට නැගීමට අපට අණ කැරුණු අතර, බන්ධනාගාර පරිශ්‍ර‍යෙන් ඉවතට ගෙන යන ලද අප හමුදා ට්‍ර‍ක්රථයකට නංවන ලදී. මුහුණු බිමට සිටින සේ එහි බිම වැතිරෙන්නැයි අපට අණ කැරිණි. සිය හිස් එසැවූ කිහිප දෙනා සොල්දාදුවන් විසින් පයින් මඩින ලදී. කටුනායක ගුවන් තොටුපොළ කරා යන තුරු ම ඇතැම් සොල්දාදුවෝ අසභ්‍ය වදනින් දෙමළ ජාතියට හා ඊළමට දෙස් දෙවොල් තැබූහ. පසුදා පාන්දර වන තුරු අප ගුවන් තොටුපොළෙහි තබාගන්නා ලදී. අපි දිය පොදක් හෝ බීම ප්‍ර‍තික්ෂේප කළෙමු. අනතුරුව අප ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකට නංවන ලද අතර, මඩකලපුව ගුවන් තොටට පැමිණෙන තුරු හිස් බිමට නවාගෙන වාඩි වී සිටින මෙන් නියෝග කැරිණි. එතැන් පටන් අප විවෘත වෑන් රියකින් මඩකලපුව බන්ධනාගාරයට ගෙන යන ලදී. එහිදී අප අනුකම්පා පෙරදැරි ව, සිනා මුහුණින් පිළිගැනිණි. උණු තේ පිළිගැන්විණි. යථා සිහි කල්පනාවටත්, යම් ආකාරයක ආරක්ෂාවකටත් අප පත් බව අපට හැඟිණි.

පලායාම

එතෙක් වූ රැඳවුම් අත්දැකීම් හා සැසඳීමේ දී, මඩකලපු බන්ධනාගාරය මිහිපිට ස්වර්ගයක් විය. සැබැවි, අපි සිරගත කරනු ලැබ සිටියෙමු. එහෙත් අවම වශයෙන් මනුෂ්‍ය ගෞරවය අපට ලැබිණ. උපරිම ආරක්ෂාව සහිත බන්ධනාගාරයක් හෝමාගම නම් සිංහල ප්‍රදේශයේ ලහි ලහියේ ගොඩනඟමින් තිබෙන බව අපට මඩකලපුවේ දී දැනගන්නට ලැබිණි. අතීතයේ සියලු තැතිගන්වන සුළු අත්දැකීම් සමඟින්, අපේ ඉතිරි ජීවිත කාලය ගෙවෙන්නට යන්නේ කෙබඳු නරකාදියකදැ‘යි යන්න අපට කදිමට සිහියට නඟාගත හැකි විය. මාරාන්තික ව්‍යායාමයක් වුවත්, බන්ධනාගාරය බිඳ පලායාමට අපි අධිෂ්ඨාන කර ගතිමු. ඇතුළතින් හා පිටතින් සිදු වූ මනා සම්බන්ධීකරණ ක්‍රියාදාමයකින් අනතුරුව, 1983 සැප්තැම්බර් 23 වැනි දා අපි බන්ධනාගාරය බිඳ පළා ගියෙමු. සියලු දේශපාලන සිරකරුවන් ලේ පිපාසිත සිංහල වර්ගවාදීන්ගේ නිය පසුරෙන් ගැලවී යාම ගැන අපි සතුටු වෙමු. සිංහල යක්ෂයන්ගේ මාරාන්තික ග්‍ර‍හණයෙන් දෙමළුන් බේරාගැනීම උදෙසා අවශ්‍ය නම් ජීවිත වුව දන් දීමට අපි සූදානම් වී සිටියෙමු.

මා පළාගියේ උමා මහේෂ්වරන්ගේ කණ්ඩායම සමඟිනි. අතර මඟ දී එම කණ්ඩායමෙන් මඟහැරුණු මම, අවසන ඔවුන්ගේ සහෝදරවරුන් විසින් සොයාගනු ලැබ, ආපසු ආරක්ෂාව කරා ගෙන එනු ලැබීමි. ඔවුන් මගේ පළායාමේ ගමන සංවිධානය කළ හා ක්‍රියාවේ යෙදවූ විචක්ෂණ විලාසය හා කෞෂල්‍යය, දෙමළ ඉතිහාසයේ ත්‍රාසජනක පරිච්ඡේදයකි. අති බිහිසුණු අන්‍ධකාර ම සමයන්හි දී පවා, ගම්බිම්වල හා වන ගහණවල තිබූ සිය කුඩා නිවෙස් කරා යාමට තරම් දෙමළ ජනයා අතර ධෛර්යය හා නිර්භීතභාවය තිබූ බවට අනාගත දෙමළ පරම්පරාවන්ට දැනගත හැකිවනු වස්, එය යම් දිනෙක විස්තරාත්මකව හෙළිදරව් කිරීමට මම බලාපොරොත්තු වෙමි.

'මම කැපවෙමි'

ලොව සියලු ධනවාදී රටවල පූර්ණ ආර්ථික, ද්‍ර‍ව්‍යමය හා තාක්ෂණ නිපුණතා පිහිටාධාර යටතේ සිය ගොතරතර වුවමනාවන් ක්‍රියාවේ යෙදවීමට ශ්‍රී ලංකා ආණ්ඩුව දැනටමත් දැවැන්ත මිලිටරි සූදානමක නිරත ව සිටී. මේ සමූල ඝාතනය වළක්වන්නැයි ද, දෙමළ ජනයා සිංහල ජාතිවාදීන්ගේ නිය පසුරෙන් බේරාගන්නැයි ද ලොව පුරා සිටින යහපත් මනුෂ්‍යයන්ගේ, විශේෂයෙන් ලොව පුරා විසිරී පැතිරී සිටින දෙමළ ජාතිකයන්ගේ අවධානය වෙනුවෙන් මම හඬ නඟා කියා සිටිමි. මා ගැන කියන්නේ නම්, මම මගේ සිරුර ද ආත්මය ද මගේ පැවැත්මේ අවසන් හුස්ම පොද ද මේ සඳහා කැප කරමි. ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනයා, සිදුවන්නට යන විනාශය දැකීමට පසුබට වෙමින්, සිය සැපතෙහි හා දේපොළෙහි ගැලී සිටි අතර, ඒ සියල්ල සිංහල ප්‍ර‍හාරයන් නම් සැඩ දිය පහරට බිළි විය. විදෙස්ගත ශ්‍රී ලාංකේය දෙමළ ජනයා සිය ‍සැපතෙහි ගැලී අලස ව වැද හොවිමින් සිය නෑ සනුහරය ඔවුන් උපන් බිම තුළ අත්හැර දැමීමෙහි කිඳී යාමට ඉඩ හැර බලා නො සිටිය යුතු ය.☐

අරුලානන්දම් ඩේවිඩ්


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.